The Most/Recent Articles

Showing posts with label අගමැති. Show all posts
Showing posts with label අගමැති. Show all posts

කළු මාධ්‍යට අගමැතිගෙන් අභියෝගයක්


අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මාධ්‍ය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත් තමන්ගෙන් හෝ සිය කාර්යාලයෙන් නොවිමසා ‍මෙවැනි තොරතුරු සමාජගත කරමින් සිටින බවත්ය.





මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති පැවසුවේ,





''මම කණගාටුයි කියන්න අද කැබිනට් එකේ විශාල කරුණු තියෙනවා කැබිනට් එකේ ඉන්නේ කවුද , නැත්තේ කවුද කියලා. සියලුම ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු පත්කරාට පස්සේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා. මොකද කැබිනට් මණ්ඩලේ වැඩකරන්නේ පාර්ලිමේන්තුවට. කැබිනට් මණ්ඩලේ කවුද දැම්මේ නැත්තේ කියලා. සමහර කාරණා අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරගෙන යනවා.






වෙන වෙන මත තියෙනවා. මට පුදුම හිතුණේ මං එවලා නැති නම් ද එවලා තියෙනවා. මං දැක්කා අපේ විජිතමුණි සොයිසා මන්ත්‍රීතුමාගේ නම මම එව්වේ නැහැ. එතුමා හරි වාසනාවන්තයෙක් මොකද හැම මාධ්‍යටම නඩු දැම්මහම කොච්චර හම්මවෙයිද මිලියන 100 ක් එකතු කරයිද ?, එක්කෙනෙක්ගෙන් මිලියන 10 ගත්තොත් කොහොමද ?






තුන් හතර දෙනෙක් ඉන්නවා. මං එව්වේ නැති ඒවා, ඕනනම් මං ලියුම ඉදිරිපත් කරන්නම්. මං මේ සභාවට කියන්නම්. මේකයි කියන්නේ කළු මාධ්‍ය කියලා. අපි දැක්කා මේ කළු මාධ්‍ය ඔක්තෝබර් 26 වෙනිදා ඉඳන් මොකක්ද කරේ කියලා.
දැන් මේක අපෙන් ඇහුවද ? මගේ කාර්යාලයෙන් ඇහුවද ? මගේ කතාව දානවද ? මාධ්‍යයේ. මේවා නිවැරදි කරනවද ? සල්ලි තියෙනවා නේද ගෙවන්න. ඉතිං එතුමලා නඩු දානවා නම් මං හිතන්නේ එතුමට කිසිම ප්‍රශ්නයක් නැහැ ඊළඟ ඡන්දෙට ඕන තරම් මුදල් හොයාගන්න පුළුවන්.





පාර්ලිමේන්තුවෙත් තියෙන්න ඕන. නම් එවන්නේ අගමැති කාර්යාලයෙන්. අපි කතාකරගෙන යනවා. කතාකරලා විසඳගන්න පුළුවන්. කොහොමද මේ මාධ්‍ය ?. මේගොල්ලෝ බැලුවේ ඔක්තෝබර් 26 වෙනිදා ඉඳන් ඔක්කොම ලොකු ඒවා. මං හිතන්නේ මේ කළු මාධ්‍ය ගැන ජනවාරි මාසේ අපි හොඳ විවාදයක් මෙහේ තියලා නම් කරන්න ඕන ඔක්කොම උඩ ඉඳන් පල්ලෙහටම. ඒවා ගැන කියනකොට මාධ්‍ය අපිට සම්පූර්ණ සජීවි විකාශයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
අපිට මාධ්‍ය නැතිකරන්න වැඩක් නැහැ, ඒත් රටට හෙළිකරන්න ඕන. මොකද අපි තමයි නිදහස් මාධ්‍ය වෙනුවෙන් සටන් කළේ. කියන්න ඕන ටික මං කියනවා. කරුණාකරලා චෙක් පොත් ලෑස්ති කරලා තියාගන්න. මේ මන්ත්‍රීවරු හතර පස් දෙනාට අඩු ගාණේ මිලියන 50 – 100 ක් 200 ක් ගෙවන්න.‘‘ යන්නයි.


නව කැබිනට් මණ්ඩලය රැස්වේ - අතුරු සම්මත ගිණුම සිකුරාදා


අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ කැබිනට් මණ්ඩලය අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනපති ලේකම් කාර්යාලයේදී අද (20) දිවුරුම් දුණි.





නව අමාත්‍යවරු දිවුරුම් දීමේ අවස්ථාව වාර්තා කිරීමට ජනමාධ්‍ය ආයතනවලට අවසර හිමි නොවූ අතර මේ පිළිබඳ තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශයේ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණි.





ඉන් අනතුරුව පළමු කැබිනට් හමුව ද පැවති අතර මෙහිදී අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ලැබුණු බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මාධ්‍යයට පවසා සිටියේය.





මාධ්‍යයට කරුණු පැහැදිලි කළ නව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අදාළ අතුරු සම්මත ගිණුම සිකුරාදා (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව පවසා සිටියේය.









අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. අනෙකුත් ඇමතිවරුන්, 





ජෝන් අමරතුංග මහතා සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා - බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
රවුෆ් හකීම් මහතා නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
තිලක් මාරපන මහතා විදේශ කටයුතු අමාත්‍ය
රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
රවී කරුණානායක මහතා - විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
වජිර අබේවර්ධන මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
රිෂාඩ් බදුර්දීන් මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
පාඨලී චම්පික රණවක මහතා - මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
නවීන් දිසානායක මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය
පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
රංජිත් මද්දුමබණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
සජිත් ප්‍රේමදාස මහතා - නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
පලනි දිගම්බරන් මහතා - කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන .
චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන අමාත්‍ය
අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
සාගල රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
හරින් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
දයා ගමගේ මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය


මේ මඩවගුරට විධායක ජනපති ක්‍රමය ඕනද ?






ව්‍යවස්ථා අර්බුදයේ අවසානයකට





මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත්, අගමැති වශයෙන් රනිල් වික‍්‍රමසිංහ පසුගිය ඉරිදා පත් කරනු ලැබීමත් සමග, ඔක්තෝබර් මාසයේ සිට මේ රට ගැලී සිටි ව්‍යවස්ථා අර්බුදයේ අවසානයකට අප ළඟා වෙමින් සිටින බවක් පෙනේ. මේ අර්බුදය හටගත්තේ, ජනාධිපති සිරිසේන විසින්ම පාර්ලිමේන්තුව හරහා ගෙන එන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව ඔහු විසින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහව අදූරදර්ශී ආකාරයෙන් එම ධුරයෙන් පහකරනු ලැබීමත් සමග ය.





මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබුණු අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ඔහුව අගමැති ධුරයට පත් කරනු ලැබීම මගින් මුළු රටම අවුලකට ඇද දමන ලදී. එසේම ඒ ක‍්‍රියාව, ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ අවස්ථාවක් වශයෙන් ද සනිටුහන් වුණි. අලුතෙන් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ගත නොහැකි වූ විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැර ඊළඟ මහ මැතිවරණයකට දින නියම කෙළේය.





එහි ප‍්‍රතිඵලයක් වූයේ ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේත්, අලූත් අගමැතිවරයෙකු ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම අභියාචනාධිකරණය ඉදිරියේත් අභියෝගයට ලක්වීම ය. අගමැති රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වා ගැනීමට නොහැකි වූ පසු ඔවුන් කෙළේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමයි. ඒ සඳහා ඔවුන් හේතුවක් කර ගත්තේ, කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කරන්නේය යන චෝදනාවකි.





මෙහිදී, මහින්ද රාජපක්ෂට අගමැති තනතුර හෙබවීමට බලයක් නැති බව ප‍්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 කුගේ අත්සනින් යුතුව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණි. ඒ අනුව, දෙසැම්බර් 3 වැනි දා නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය, පෙත්සම විභාග කොට අවසන් වන තෙක්, මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ ක‍්‍රියාකාරීත්වය වාරණය කෙළේය. එහිදී දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සැලකිල්ලට ගැනීමෙන් පසුව අභියාචනාධිකරණය කියා සිටියේ බලයක් නැති පුද්ගලයෙකු අගමැතිවරයෙකු හෝ කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කිරීම මගින් පිළිසකර කළ නොහැකි හානියක් රටට සිද්ධ විය හැකි බවයි.





අනතුරුව දෙසැම්බර් 13 වැනි දා සත්-පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්, ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම ව්‍යවස්ථා විරෝධී බව ඒකමතිකව තීන්දු කෙළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටවත්, හදිසි මහ මැතිවරණයක් කැඳවීමටවත් ජනාධිපතිවරයාට බලයක් නැති බව එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුනි. ඔක්තෝබර් 26 වැනි දා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහව එම ධුරයෙන් අහෝසි කිරීමේ පටන් ජනාධිපතිවරයා විසින් ඇති කළ අවුල මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග තවත් උග‍්‍ර විය.






ජනපති ඝාතනය ගැන කිසිම සාක්ෂියක් නැහැ









ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් තිබිණැයි කියන සිද්ධිය අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් බරසාරව සැලකිල්ලට ගෙන කටයුතු කෙළේ නැති බව ජනාධිපතිවරයාගේ එක් චෝදනාවකි. ඇත්ත වශයෙන්ම රනිල් වික‍්‍රමසිංහව එම ධුරයෙන් ඉවත් කිරීමට අවසාන වශයෙන් පාදක වුණේ එම කාරණය බව ජනාධිපතිවරයා කියයි. එහෙත් කණගාටුවට කාරණය වන්නේ, ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තිබූ එවැනි කුමන්ත‍්‍රණයක් පිළිබඳ කිසි සාක්ෂියක් ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණ මගින් හෙලිවී නොතිබීමයි. ඒ මගින් පැහැදිළි වී ඇත්තේ මේ ඝාතන කුමන්ත‍්‍රණ නාටකය මගින් මුළු රටක්ම අවුලකට ඇද දැමූ බවත්, මාස දෙකකට ආසන්න කාලයක් ආණ්ඩුවක් නොමැතිව ගමන්ට කිරීමට මේ රටට සිදු වූ බවත් ය.





මේ අතර, ‘අලූතෙන් පත්කළ ආණ්ඩුව’ පාර්ලිමේන්තුව තුළ යකා නැටීමත්, ඉවත් කළ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු පිහියක් වැනි ආයුධයක් පාර්ලිමේන්තුව තුළ තර්ජනාත්මකව ප‍්‍රදර්ශනය කිරීමත් සමග දෙපාර්ශ්වය අතර ගැටුම තවත් තීව‍්‍ර විය. කෙසේ වෙතත්, අභියාචනාධිකරණය මගින් රාජපක්ෂ ඇතුළු පිරිස වාරණය කරමින් දෙන ලද තීන්දුව ඉවත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමත් සමග මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් විය.





මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ආණ්ඩුවකින් තොරව ගමන් ගත් රටට ඒ අර්බුදයෙන් ගොඩඒමට දැන් පිළිවන් වෙතැයි සිතිය හැකිය. තාවකාලික අයවැය යෝජනාවක් දැන් සම්මත කර ගත හැකිය. එවැන්නක් නොමැතිව, 2019 ජනවාරි මාසය වන විට මුළු රටම එක තැනක හිර වීමට තිබුණි. මන්ද යත්, ආණ්ඩුකරණය සඳහා අවශ්‍ය කරන කිසි මූල්‍ය ප‍්‍රතිපාදනයක් සලසා ගැනීමේ වෙනත් ක‍්‍රමයක් නොවුණු බැවිනි. ලබන වසරේ ගෙවීමට නියමිත ඩොලර් බිලියනයකට වැඩි මුදල පවා සම්පාදනය කර ගැනීමේ හැකියාවක් අපට නොතිබුණි.





මේ අවුල් වියවුල් සියල්ල ඉදිරියට ඇදෙද්දී ජනාධිපති සිරිසේන එක දිගටම කියමින් සිටියේ, රනිල් වික‍්‍රමසිංහව අගමැති ධුරයට පත් නොකරන බවයි. කෙසේ වෙතත්, අවසානයේදී සිහි කල්පනාවෙන් යුත් යම් උපදෙසක් මත, පසුගියදා (දෙසැම්බර් 16) රනිල් වික‍්‍රමසිංහ එම තනතුරේ පිහිටුවීමට ජනාධිපතිවරයාට සිදු විය.





මේ දෙමාසයක වින්නැහියෙන් රටට අත් වූ එක දෙයක් තිබේ. එනම් ජනාධිපති තනතුරත්, පාර්ලිමේන්තුවත් හෑල්ලූවට ලක්වීමයි. එසේම ඒ ප‍්‍රශ්නය නිසා පෙන්නුම් කළ තවත් කාරණයක් ද තිබේ. එනම්, තනි පුද්ගලයෙකුගේ අතේ බලය ගොනුවන විධායක ජනාධිපති ක‍්‍රමයක් විසින් රටකට කළ හැකි විපත කොතරම් ද යන්නයි. ඒ අනුව, මේ දක්වා සෑම දේශපාලන පක්ෂයක් විසින්ම විටින් විට හෙළාදැක ඇති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ හදිසි වැදගත්කම අපට ඒ මගින් අවබෝධ කර දී තිබේ.





















(2018 දෙසැම්බර් 17 වැනි දා ‘ඩෙිලි මිරර්’ පුවත්පතේ පළවූ,  “A President Stopped in his Tracks & A Country in a Quagmire"  නමැති කතුවැකියේ සිංහල පරිවර්තනය .  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


මහින්ද යයි - රනිල් නැවත අගමැති පදවියේ අනිද්දා දිවුරුම් දීමට නියමිතයි






අනිද්දා දිනයේදී (දෙසැම්බර් 16 ඉරිදා) උදෑසන 10.00 ට රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. 





එමෙන්ම, එළඹෙන සඳුදා (17) නව කැබිනට් මණ්ඩලය ද දිවුරුම් දීමට නියමිතය. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනපති විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ට්වීටර් ගිණුමේ සඳහන් කර තිබේ. 





 






නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ට්වීටර් ගිණුමට නිකුත් කරඇති පණිවිඩය








කෙසේවුවත්, ජනපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශයට පත්කර නැත. 



















මෛත්‍රී නිවැරදිද..?

විශ්ව ඉන්ද්‍රජිත්


2002 ඔක්තෝබර් 1 සහ 3 දීපු නඩු තීන්දුවෙ හැටියට, විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය තියෙන්නෙ මේ රටේ මහජනතාවටයි. ජනාධිපති සහ පාර්ලිමේන්තුව ඒවා සඳහා කාලෙන් කාලෙට පත්වෙන භාරකරුවන් පමණයි.


ඒ අධිකරණ තීන්දුවට අනුව:


(1). transfer of powers from one organ to another (organs are: legislative, executive, judiciary), or


(2). relinquish of power from an organ, or


(3). remove a power from an organ is a violation of articles 3 and 4 of the constitution.


ඒ කියන්නෙ එක් ආයතනයකට (විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය) තියන බලයක් තවත් ආයතනයකට පැවරීම හෝ, අයින් කිරීම හෝ අතහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 3 හා 4 වගන්ති වලට පටහැනියි. ඒක නිසා එහෙම දෙයක් කරනවනම් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍යමයි.


ජනාධිපතිවරයට අවුරුද්දකට පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්කම විධායකය සතු බලයක්. අවුරුද්දකට වඩා ඒ සීමාව දීර්ඝ කරනවනම් කෙසේද කල යුත්තෙ කියල ඒ නඩු තීරණයෙදි සඳහන් වුනා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලා, පාර්ලිමේන්තු කාලයෙන් අඩක් වන අවුරුදු 3ක් (මොකද ඒ කාලෙදි පාර්ලිමෙන්තුව පත්වුනෙ අවුරුදු 6කට) දක්වා ඔය කාල සීමාව දීර්ඝ කලොත් ඒක ව්‍යවස්ථාවෙ 3 හා 4 වගන්ති උල්ලංගනය කිරීමක් වෙන්නෙ නෑ, නමුත් ඊට වඩා වැඩියෙන් දීර්ඝ කරනවනම් ජනමත විචාරනයකින් අනුමත විය යුතුයි කියල. දැන් පාර්ලිමේන්තු කාලය අවුරුදු 5ක් වන නිසා, උපරිම ලෙස ඕක දීර්ඝ කරන්න පුලුවන් වන්නෙ අවුරුදු 2 හමාරකට පමනයි.


ජනමත විචාරණයකින් තොරව ඊට වඩා දීර්ඝ කළහොත් සිදුවෙන්නෙ:


- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත් පටහැනියි


- ව්‍යවස්ථාවෙ 3 හා 4 වගන්තිත් උල්ලංගනය කිරීමක්


- ජනතාව සතු විධායක බලය අහිමි කිරීමක්.


70 (1) පිළිගතහොත් වෙන්නෙ ඔය උල්ලංගනය කිරීම් සිදුවෙන එක.


හැබැයි ඒ වෙනුවට, 33(2) පිළිගතහොත්, ඔය කිසිම උල්ලංගනය කිරීමක් වෙන්නෙත් නෑ. ඒ කියන්නෙ:


- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත් එකඟයි


- ව්‍යවස්ථාවෙ 3 හා 4 වගන්ති වලටත් එකඟයි


- ජනතාව සතු විධායක බලයට පටහැනි ක්‍රියාවක් වෙන්නෙත් නෑ.


ඒක නිසා අපි අධිරණයෙන් ඇසිය යුත්තෙ, 33(2) පිළිගන්න්න බැරිනම්, ඉහත කී දේවල් උල්ලංගනය නොවෙන ලෙස ව්‍යවස්ථාවෙ කුමන වගන්තිය යටතෙද කටයුතු කළ යුත්තෙ කියල අපිට පෙන්නන්න කියන එකයි.


ඒක 70(1) වෙන්න බෑ, මොකද 70(1) ඔය ඔක්කොම උල්ලංහනය කරනව.

ව්‍යවස්ථාවට එරෙහිව යක්ෂාවේශවී සිටින ජනාධිපතිවරයෙක්

- ගාමිණී වියන්ගොඩ - 


 

විධායක ජනාධිපතිගේ ආශාවන් හා රුචිකත්වයන් අනුව රාජ්‍ය පාලනයක් ගෙන යන පළමු වතාව


රටේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නොව, රටේ විධායක ජනාධිපතිවරයාගේ ආශාවන්ට සහ රුචිකත්වයන්ට අනුව රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන නිදහස් ලංකාවේ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයා විසින් පත්කරන ලදැයි කියන ආණ්ඩුවක් වශයෙන් ආණ්ඩු දෙකක් මේ අවස්ථාවේ රටේ  පවතින බවක් පෙනේ. ආණ්ඩු දෙකක් එක විට රටක පැවතීම තාර්කික නැත. ව්‍යවස්ථානුකූල නැත. එනිසා, දැනට රටේ කිසි ආණ්ඩුවක් නොපවතින බව කතානායකවරයා ප‍්‍රකාශයට පත්කොට තිබේ. එවැනි තත්වයක් හැඳින්වෙන්නේ අරාජිකත්වයක් වශයෙනි.


ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සිටී. පත්කරන ලදැයි කියන ආණ්ඩුව, පාර්ලිමේන්තුවෙන් පිටත සිට රට මෙහෙයවයි. ඒ පාර්ලිමේන්තුවෙන් පිටස්තර ආණ්ඩුව විධායක ජනාධිපතිවරයාගේ මනදොළ අනුව පත්කර ගත් ‘ආණ්ඩුව’ වන නිසා, පොලීසිය සහ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය පාලනයේ මර්මස්ථාන ඔවුන් අත්කරගෙන සිටී. ඇඟට දැනෙන ආණ්ඩුව ඔවුන්ගේ ය. ඒ නිසාම, විධායකය සතු ව්‍යවස්ථා-විරෝධී එකී පාලනය ‘ආණ්ඩුව’ වශයෙනුත්, ව්‍යවස්ථානුකූල පාර්ලිමේන්තු ආණ්ඩුව ‘විපක්ෂය’ වශයෙනුත්, බහුතරයක් මාධ්‍ය තුළ සහ සාමාන්‍ය ව්‍යවහාරය තුළ, මේ අවස්ථාවේ හැඳින්වෙනු දක්නට ලැබේ.


ආණ්ඩුව යැයි කියන පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ලොව එකම රට ලංකාවයි


තමන් ආණ්ඩුව යැයි කියා ගන්නා පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ එකම රටත් ලංකාවයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ, විපක්ෂ කණ්ඩායම් සහ සුළුතර කණ්ඩායම් විසින් පාර්ලිමේන්තුව වර්ජනය කරනු ලැබීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ හැම තැනකම පාහේ පාර්ලිමේන්තු බහුතරයකින් ආණ්ඩුවක් සමන්විත වන්නේ වුවත්, සුළුතරයේ ආණ්ඩු රටවල් කරවන අවස්ථා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළ නැතිවා නොවේ. එහෙත් ඒ, පාර්ලිමේන්තුවේ වෙනත් පාර්ශ්ව සහ පක්ෂවල නිල නොවන සහයෝගය මත ය. මන්ද යත්, රාජ්‍ය පාලනය සඳහා සෑම කටයුත්තකටම පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය කරන බැවිනි. එනිසා, තනි පක්ෂයකට බහුතරයක් නැතත්, වෙනත් පක්ෂවල සහයෝගයෙන් සුළුතර ආණ්ඩුවක් කරගෙන යාමට පුළුවන් කමක් තිබේ.


 

එහෙත් ලංකාවේ ජනාධිපතිවරයාගේ වර්තමාන ‘ආණ්ඩුව’, ඒ දෙකෙන් එකකටවත් නොගැනෙන පාලනයකි. එය, බහුතර ආණ්ඩුවක් වන්නේත් නැත. සුළුතර ආණ්ඩුවක් වන්නේත් නැත. බහුතර ආණ්ඩුවක් නොවන්නේ, පාර්ලිමේන්තුව තුළ තමන් කෙරෙහි වන බහුතරයක් පෙන්වීමට මේ දක්වා එය අසමත්ව ඇති බැවිනි. සුළුතර ආණ්ඩුවක් නොවන්නේ, එවැනි සුළුතර ආණ්ඩුවක් වශයෙන් පවා පාර්ලිමේන්තුව තුළ පෙනී සිටීම ඔවුන් ස්වේච්ඡුාවෙන්ම මේ මොහොතේ අතහැර දමා ඇති බැවිනි. එය අද හුදෙක්, විධායක බලය දරණ එක පුද්ගලයෙකුගේ ආශාවක් සහ රුචිකත්වයක් මත කටයුතු කිරීම සඳහා, පාර්ලිමේන්තුවෙන් පිටස්තරව පවත්වාගෙන යන රංචු ගැසීමකි. මේ කාරණය, හුදෙක් දේශපාලන සංවාදයක් තුළ සාමාන්‍යයෙන් කෙරෙන ආකාරයේ ‘අනෙකා’ හෙලාදැකීමක් වශයෙන් නොගන්න. එය ඔබටම වාස්තවික පරීක්ෂාවට ලක්කළ හැකිය.


දැන් පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින මන්ත‍්‍රීන් සංඛ්‍යාව කීයද ? එය ගණන් බැලිය හැකි එක ක‍්‍රමයක් වන්නේ, දැන් පාර්ලිමේන්තුවට සහභාගී වන මන්ත‍්‍රීන් සංඛ්‍යාව ගණන් බැලීමෙනි. ඒ ප‍්‍රමාණය, (අර, සේනානායක පවුලෙන් පැවත එන්නේ යැයි කියන ‘භාණ්ඩය’ මේ මොහොතේ සිටින ස්ථානය අනුව ගත් විට) 123 කි. පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීන් සංඛ්‍යාව 225 කි. ඒ අනුව, පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ 102 කි. (ඒ අතරේ, වර්ජනය කිරීමට නොව, වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුවට නොඑන පිරිසකුත් සිටිති.) ඒ කෙසේ වෙතත්, මේ සමස්තය, මොන පැත්තකින් ගත්තත් සුළුතරයක් මිස බහුතරයක් නොවේ. පසු ගිය ඔක්තෝබර් 26 වැනි දා සිට, ජනාධිපති සිරිසේන ගණිත පටලැවිල්ලක සිරව සිටී. ගණිතය තරම් නිශ්චිත දෙයක් විද්‍යාව තුළ නැත. ඒකක දෙකට, ඒකක දෙකක් එක් කළ විට, එය ඒකක හතරක් බව ව්‍යවහාරික ලෝකය ඒකමතිකව පිළිගනී. එහෙත් එතරම් නිශ්චිත නැති මුත් සාමාන්‍ය ඇසට පැහැදිළිව පෙනෙන තවත් කප්පරක් දේවල් ගැන කිසි ලැජ්ජාවකින් තොරව මේ වන විට බොරු කරන සහ බොරු කියන සිරිසේන, මේ අංකගණිතය ගැනත් දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ බොරු කරමින් සිටී. ඔහු කියන්නේ, 102 යනු පාර්ලිමේන්තුවේ බහුතරය බවයි.



රාජපක්ෂලා මේ සැකහැර ඔප්පු කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට නැති බවයි


 මේ මගින් රාජපක්ෂලා සැක හැර ඔප්පු කොට පෙන්වා ඇත්තේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් තමන්ට නොමැති බවයි.


පසුගිය 25 වැනි දා විදේශ මාධ්‍යවේදීන් සමග පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත තිබුණත් රනිල් වික‍්‍රමසිංහට හෝ සරත් ෆොන්සේකාට තමා අගමැති ධුරය නොදෙන බවයි. මේ ගැන අපේ රටේ උත්තරීතර ලියවිල්ල වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ කුමක් ද ?


‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.’’ (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය).


එහෙත් ඉහත කී පරිදි, රනිල් වික‍්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා වෙත පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුම් කළත් තමා ඒ දෙන්නාගෙන් කිසි කෙනෙකු අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරන්නේ නැතැයි ජනාධිපතිවරයා කියන විට, ඉහත කී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය අපට කියැවීමට සිද්ධ වන්නේ මෙසේය:


‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති, රනිල් වික‍්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා නොවන, මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය’’.


ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද ? 


මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවබෝධ කරගෙන ඇති පරිදි, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු, තමාගේ අභිමතයට අනුගතව, තමාට පහළින් සහ තමාට යටත්ව සිටින ලියවිල්ලක් විය යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන නැමැති පුද්ගලයා මේ රට කරවන්නේ 1815 ට කලින් දවසක විණි නම්, ඔහුගේ මේ කල්ක‍්‍රියාව අපට යුක්ති සහගත කර ගැනීමට ඉඩ තිබුණි. එදා ලංකාවේ පැවති රජ ක‍්‍රමයට අනුගත සම්ප‍්‍රදාය යටතේ, රජුට බලය පැවරුණේ දළදා ස්වාමීන් වහන්සේගෙන් ය. දළඳා ස්වාමීන් වහන්සේ අත්පත් කර ගත් තැනැත්තා ලංකාවේ රජ කමට සුදුස්සා බවට සම්මතයක් එදා තිබුණි. ඊට තරමක් ඈත කාලයක, එනම් 18 වැනි සියවසේ අවසාන කාලයට ඉහතින් යුරෝපයේ රාජ්‍ය ක‍්‍රමයේ සම්මත සම්ප‍්‍රදායත් එයම විණි. ඔවුන්ගේ රජවරුන්ට රාජ්‍යත්වයේ බලය ලැබුණු බව විශ්වාස කෙළේ දෙවියන් වහන්සේගෙනි. එනම්, ලෝකයේ හැම තැනකම රජුගේ හෝ නායකයාගේ බලයේ උල්පත වුණේ ලෝකෝත්තර ප‍්‍රභවයක් බවයි. මේ ලෝකෝත්තර මූලාශ‍්‍රය හෙවත් බලයේ ප‍්‍රභවය සාමාන්‍ය ජනතාවට පරීක්ෂාවට ලක්කළ නොහැකි විය. ඒ රාජකාරිය එදා ඉෂ්ට කෙළේ, පූජක පංතියයි. යුරෝපයේ නම් පල්ලිය ය. ලංකාවේ නම්, පන්සල ය.



ලෝකයා, එම රාජ්‍ය ක‍්‍රමයෙන් ප‍්‍රජානත්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමයට සංක‍්‍රමණය වූ පසු, මේ බල මූලාශ‍්‍රය උඩුයටිකුරු විය. එය, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන වචනය තුළම ගැබ්ව තිබේ. ප‍්‍රජාව යනු ජනතාවයි. තන්ත‍්‍රය යනු පාලනයයි. එනම් ජනතාවගේ පාලනයක් බව ය. එහිදී, බලය උත්පාදනය වන්නේ හෙවත් බලයේ තිඹිරිගෙය වන්නේ, දෙවියන් වහන්සේ හෝ ආගමක් හෝ නොව, ජනතාව ය. එය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ මෙසේ සඳහන් කොට තිබේ:


‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.’’


ඒ පරමාධිපත්‍යයේ ස්වභාවය සහ එය ක‍්‍රියාත්මක වන ආකාරය දන්වා ඇති ලියවිල්ල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. දෙවියන් වහන්සේගෙන් එදා රජුට ලැබුණු බලය පාලනය කිරීමට දෙවියන් වහන්සේ මහ පොළොවේ වැඩ සිටියේ නැත. මහ පොළොවේ පය ගසා සිටි මහජනතාවට දෙවියන් වහන්සේව ප‍්‍රශ්න කිරීමට බලයක් තිබුණේ නැත. අද එය මුළුමණින් අනිත් පැත්තට හරවමින්, බලයේ අයිතිකාරයා වන මහජනතාව, තමාව පාලනය කිරීමට පාලකයාට බලය පවරන්නේ, පාලකයා විසින් එම බලය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන්නේ ද යන්න බලාකියා ගැනීමට මාර්ගයක් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ද සකසා එය රටේ රාජ්‍යකරණයේ මුල්ගල වශයෙන් ස්ථාපිත කර ඇති තත්වයක් තුළ ය. එතැන් පටන් පාලකයා කටයුතු කළ යුත්තේ, ඒ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මිස, හිතුවක්කාරීව හෝ අත්තනෝමතිකව හෝ නොවේ.


රටක ව්‍යවස්ථාවක අඩංගුව මූලික නියාමය ජනපති අවබෝධ කරගත යුතුයි


රාජ්‍යකරණයට අදාළව රටක ව්‍යවස්ථාවක අඩංගු ඒ මූලික නියාමය සිරිසේන මුලින්ම අවබෝධ කර ගත යුතුය. ඔහු කියන ‘සම්ප‍්‍රදාය’ අයත් වන්නේ රජ කාලයට බව එවිට ඔහුට වැටහෙනු ඇත. රජ වෙන්නට සිටි මහින්ද රාජපක්ෂට 2015 ජනවාරි 8 වැනි දා අත්වූ ඉරණම, මේ රටේ වෙනත්  ඕනෑම පුද්ගලයෙකුටත් අනාගතයේ වලංගු වන බව, අවසාන වශයෙන්, මේ අවස්ථාවේ සිරිසේනට සිහිකැඳවීමට කැමැත්තෙමි.


 

(වීඩියෝව අන්තර්ජාලයෙනි)

 

සබැඳි පුවත් 


 

ඡන්දය කුමකටද ? කුමක් සඳහා ද ?

 

රනිල් සමග අසාර්ථක දීගය; අර්බුදය කෙළවර මහා විනාශයක්


වික්ටර් අයිවන්


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පෙර ජනාධිපති ධුරය හෙබවූ අය අතරින්ජේ.ආර්. ජයවර්ධන හා මහින්ද රාජපක්ෂ පදවියේ බලපරාක්‍රමය හා තේජස වැඩියෙන්ම ප්‍රදර්ශනය කළ ජනාධිපතිවරුන්ලු දෙදෙනා ලෙස සැලකිය හැකිය. ඒලු දෙදෙනාට එසේ කරන්නට අවශ්‍ය තරම් බලය ඔවුන් හොබවන ලද ජනාධිපති ධුරයෙන් ඔවුන්ට ලැබී තිබුණි. ජේ.ආර්. ජයවර්ධනගේම වචනවලින්කියතොත් ජනාධිපතිට පුළුවන්කම නොතිබුණේ පිරිමියෙක් ගැහැනියක් කරන්නට හා ගැහැනියක් පිරිමියෙක් කරන්නට පමණය. ජනාධිපතිවරයකු පිස්සු වැටුණු තත්ත්වයකට පත්වුවහොත් ඔහු තනතුරෙන්ඉවත් කරන්නට දීර්ඝ කාලයක් ගතවන නිසා “අපට නුසුදුසු ජනාධිපතිවරයකු පමණක් නොව, පිස්සු වැටුණු ජනාධිපතිවරයකු ගැන පවා ඉවසිලිවන්ත වීමට සිදුවන බවලු කීවේ ව්‍යවස්ථා විශාරදයකු වන කොල්වින්ආර්. ද සිල්වාය.


සුභ සහ යස


බලය ප්‍රදර්ශනය කිරීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ මොහොතේදී රඟදක්වමින් තිබෙන සංදර්ශනය හිටපු ජනාධිපතිවරුන් කවරෙක්වත් මීට පෙර රඟදක්වා නැති අසමසම ගණයෙහිලා සැලකිය හැකි සංදර්ශනයක් ලෙස සැලකිය හැකිය. එම සංදර්ශනයේ තිබෙන මහජනයා හෝ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පොලිසිය හා ත්‍රිවිධ හමුදාව තවමත් හඳුනා ගෙන නැති වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ සියල්ල එසේ කරමින් සිටිනුයේ එසේ කිරීමට අවශ්‍ය බලයක් නැතුව බවය. පරණ ජනාධිපතිවරුන් සමග ගත් විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සැලකිය හැක්කේ බොහෝ දුරකට විධායක බලය අහිමි කරනු ලැබූ නාමමාත්‍රික ජනාධිපතිවරයකු වශයෙනි. 19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට තිබූ එම බලය අහෝසි කරන ලදි. ජනාධිපතිවරයා හැසිරෙන්නේ සිංහයකු ලෙසිනි. එහෙත් ව්‍යවස්ථාව අනුව ඔහු සිංහයකු නොව, සිංහ වෙස් ගත් පුද්ගලයකු පමණය. එහෙත් සිංහ වෙස් ගත් පුද්ගලයා සැබෑ සිංහයකු සේ ජනතාව බියගැන්වීමට සමත් වී තිබේ. මෙය ‘සුභ සහ යස’ නාටකයේ නිර්මාණශීලී නව සංස්කරණයක් ලෙස සැලකිය හැකිය.


යස වෙනුවට රජවී සිටියේ සැබෑ රජු නොව දොරටුපාලයා වුවත් මහජනයා ඒ බව දැන නොසිටියේය. ඔවුන් සුභ දැක්කේ සැබෑ රජු ලෙසය. එම මංමුලාව මේ අර්බුදය තුළද ඊට වෙනස් ආකාරයකින්ක්‍රියාකරනු දැකිය හැකිය. 19 වැනි සංශෝධනයේ හොඳ නරක කුමක් වුවත් එම සංශෝධනය ජනාධිපතිවරයාට තිබෙන විධායක බලය ඉවත් කොට ජනාධිපතිවරයා විශාල ප්‍රමාණයකට නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයකට පත් කළේය. මෙම ව්‍යවස්ථා සංශෝධනය අගමැතිවරයා තමන් වෙත බලය හිමිකර ගැනීමේ අරමුණින් ක්‍රියාවට නගන ලද්දක්වීම හේතු කොටගෙන ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට හේතුවූ මෙම ව්‍යවස්ථා සංශෝධන ගැනවත් බලතල විෂයෙහි එය ඇති කරන ලද වෙනස්කම් පිළිබඳවත් මහජනයාට කරුණු පැහැදිලි කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. අනෙක් අතට ජනාධිපතිවරයා තේරී පත්වී තිබුණේ පරණ ක්‍රමයටය. බලතල අහිමි කිරීමක් සිදුවූයේ ඉන්පසුවය. ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේද නායකයා වීම හේතු කොටගෙන බලතල අහිමිකර තිබියදීත් ධුරයට ආවේණික පරණ තේජස භුක්ති විඳීමට ජනාධිපතිවරයාට ඉඩදී තිබුණි. ඒ නිසා ජනාධිපතිවරයා පෙර භුක්ති විඳි බලතල රාශියක් අහිමි කිරීම තුළ ජනාධිපතිවරයා විශාල ප්‍රමාණයකට නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට පත් කර තිබෙන බව මහජනයා තබා රාජ්‍ය නිලධාරීහුවත් හරි හැටි නොදැන සිටියේය. කොටින්ම 2020 ජනාධිපතිවරණයට තරග කරන්නට උනන්දුවක් දැක්වූ අපේක්ෂකයෝ පවා එම යථාර්ථය දැන නොසිටියහ. 19න් බිහිවී තිබෙන ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු මිස විධායක බලතල ඇති ජනාධිපතිවරයකු නොවේය කියන විවාදය පළමුවරට කරළියට ගෙනාවේ මෙම ලියුම්කරුය. ජනාධිපතිවරයා ආණ්ඩු වෙනසක් ඇති කරන ප්‍රාතිහාර්ය ක්‍රියාවට නගන ලද්දේද ඒ විවාදය පැවති කාලයේදීමය.


නැති බලයක් ආරෝපණය කරගැනීම


දැන් සියලු දෙනා විස්මයට පත්කිරීමට හේතුවන ලෙස ඉහළ අහසේ පියාඹමින් කරණම් ගසමින් සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින්පියඹා යන්නට නොහැකි වන ලෙස තටු කපනු ලැබූ ජනාධිපති කුරුල්ලාය. මීට පෙර සිටි ජනාධිපතිවරුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ ව්‍යවස්ථාවටවත් පාලනය කරන්නට බැරි තරමට ඔවුන්ට තිබූ අසීමිත බලය නිසාය. එහෙත් මේ ජනාධිපතිවරයා එසේ කර තිබෙන්නේ එවැනි බලයක් නොතිබියදීය. පරණ ක්‍රමය යටතේ ජනාධිපතිවරයාට අගමැතිවරයාගේ සිට කැබිනට් මණ්ඩලයේ සිය ලු දෙනා ඉවත් කොට තමන් කැමති අගමැතිවරයකු ඇතුළත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමේ බලය තිබුණි. පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය තිබුණු අතර පාර්ලිමේන්තුවේ කාලය අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසුව ජනාධිපතිවරයා කැමති ́නෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයද තිබුණි. එහෙත් 19 වැනි සංශෝධනයෙන් ඇති කර තිබෙන ජනාධිපතිට අගමැතිවරයා තීරණය කළ නොහැකිය. කැබිනට් මණ්ඩලය තීරණය කළ නොහැකිය.පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන පක්ෂයේ නායකයා අගමැති වන විට කැබිනට් මණ්ඩලය තීරණය කරන්නේද අගමැතිය. ජනාධිපතිවරයාට එසේ තේරී පත්වන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය වෙනස් කළ නොහැකිය. වෙනස් කළ හැක්කේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවකින් පරාජය වන අවස්ථාවකදී පමණය.


ජනාධිපතිවරයා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණු ප්‍රතිපක්ෂයට ආණ්ඩු බලය ලැබෙන ආකාරයට නව අගමැතිවරයකු ඇතුළු නව කැබිනට් මණ්ඩලයක් පත් කරන ලද්දේද, ඉන්පසු පාර්ලිමේන්තුව කල් තබා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේද ව්‍යවස්ථාවෙන්ලැබී තිබෙන බලයක් අනුව නොව, තමන් වෙත ආරෝපණය කරගන්නා ලද කෘත්‍රිම බලයකිනි. එය ව්‍යවස්ථාව ගැන හරි වැටහීමක් නැතිව කරන ලද වරදක් ලෙස පෙනෙන්නේ නැත. ජනාධිපතිවරයාගේ අභිලාෂය අවංක වී නම් මෙවැනි වැඩසටහනකට අතගසන්නට පෙර එවැනි ක්‍රියාමාර්ගයක් නීත්‍යනුකූලද, ව්‍යවස්ථාවට අනුකූලද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසා දැනගැනීමේ හැකියාවක් තිබුණි. එම අවකාශය ප්‍රයෝජනයට නොගත්තේ බාධාවකින්තොරව තමන්ගේ හිතුවක්කාරී හා සාහසික වැඩසටහන ක්‍රියාවට නැගීමේ අරමුණින්වන බව තේරුම් ගැනීම අමාරු නැත.


ජනාධිපතිවරයා තෝරා ගත් මාර්ගය අසම්මතය. සදාචාර විරෝධීය. ප්‍රජාතන්ත්‍ර විරෝධීය. ඉතාමත් බිහිසුණු සේ ම පරමාණු බෝම්බයක් තරම්ම විනාශකාරීය. ජනාධිපතිවරයා දේශපාලන අර්ථයෙන් රඟපාමින් තිබෙන්නේ මරාගෙන මැරෙන බෝම්බකාරයකුගේ භූමිකාවට සමාන භූමිකාවකි. ජනාධිපතිවරයාගේ අලුත් ව වෛරක්කාරයා බවට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ පමණක් නොව, තමන් බලයට පත් කළ සිය ලුසංවිධාන හා එම ජනතාව සමඟත්, මේ මොහොතේ බොරු ආදරයක් මවාපාමින් වැලඳගෙන සිටින තමන්ගේ පරණ වෛරක්කාරයා වූ මහින්ද රාජපක්ෂත්, ඔහුගේ අනුගාමික ජනතාවත් තමන් සමගම මුළු රටත් විනාශ කිරීමේ හා ඒ සියලු දෙනාගෙන් පළිගැනීමේ අරමුණින් ක්‍රියාවට නගන ලද බිහිසුණු හා දුෂ්ට වැඩසටහනක් ලෙස සැලකිය හැකිය.


අර්බුදය කල්තියා දැකීම


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම සඳහා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු කරලියට ගැනීම පිළිබඳ සංකල්පය මහින්ද විරෝධී බලවේගයන් කුල්මත් කරන මත් පෙත්තක් බවට පත්ව තිබුණු අවස්ථාවකදී එම සංකල්පය ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ එකම පුද්ගලයා මා විය හැකිය. මා ඒ ගැන සෝභිත හිමියන් හමුවී ඒ හිමියන්ටද අනතුරු ඇඟවීමක් කළෙමි. කොහෙන් හෝ ඇහිඳගෙ එන මිනිසකු යොදාගෙන මහින්ද පරාජය කළත් ජයග්‍රාහී මිනිසා ඊළඟට හිතුවක්කාරී ලෙස ක්‍රියාකරන තැනකට ගියහොත් ඔහු පාලනය කරන්නට තිබෙන ක්‍රමය කුමක්දැයි මම සෝභිත හිමියන්ගෙන් ප්‍රශ්න කළෙමි. සෝභිත හිමියන් මාලු දෙස බලා සිටියා මිස මා නගන ලද ප්‍රශ්නයට කිසිදු පිළිතුරක් දුන්නේ නැත. ඒ වනවිට මහජනයාගේ මහත් ආස්වාදයට හේතුවී තිබුණු සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සීමිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළද මාගේ බලවත් විරෝධයට හා විවේචනයට හේතුවිය. සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ආණ්ඩු ක්‍රමයක් තුළ තිබෙන වැරදි හෝ අඩුපාඩුකම් නිවැරදි කළ හැකි වුවත් සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින්එක් ආණ්ඩු ක්‍රමයක් නැති කොට තවත් අ ලුත්ආණ්ඩු ක්‍රමයක් ඇති කළ නොහැකි බවත්, එය පිළිගත් ව්‍යවස්ථා සම්පාදන මූලධර්මයන්ට මුළුමනින් පටහැනි බවත් ජයම්පති වික්‍රමරත්න සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය වෙනුවෙන්ඉදිරිපත් කර තිබෙන 19 වැනි සංශෝධනය මුළු මහත් ආණ්ඩු ක්‍රමය අවුල් ජාලාවක් බවට පත් කොට රට අරාජික තත්ත්වයකට තල් ලුකිරීමට හේතුවනු ඇති බවත් මම කියා සිටියෙමි. ඒ අවස්ථාවේදීවත් මා කරන ලද අනතුරු ඇඟවීම තේරුම් ගැනීමට අවශ්‍ය හික්මීම හා පරිචය යහපාලන වැඩසටහන කරට ගත් නායකයන්ට නොතිබුණි. එම නිශ්චිත මොහොතේදී රාවය පවා නිල වශයෙන් පෙනී සිටියේ 19 වැනි සංශෝධනය වෙනුවෙනි. රාවය ඇතුළු බොහෝ විචාරකයන්ට 19 වැනි සංශෝධනය වෙලාගෙන තිබූ විනාශකාරී පිළිකාව නොපෙනුණේය.

ඔවුන්ට පෙනුණේ බාහිර ආටෝපය සඳහා එයට එල්ලා තිබුණ තොරතුරු පනත, ජනාධිපතිගේ නිල කාලය අවුරුදු පහ දක්වා අඩු කිරීම, ජනාධිපතිගේ බලතල සීමා කිරීම වැනි දිළිසෙන දේවල් පමණය. 19 වැනි සංශෝධනය අවුල්සහගත ආකාරයට වුවත් සම්මත කරගැනීමෙන් පසුව ඊළඟට ඇතිවිය හැකි ලොකු අර්බුදයක් ගැන පුනරුද ව්‍යාපාරය වෙනුවෙන්රටට ලොකු අනතුරු ඇඟවීමක් කළෙමි. 19 වැනි සංශෝධනය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අංගවිකල තත්ත්වයකට පත් කොට සමස්ත ආණ්ඩු ක්‍රමය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබෙන බවත්, ඒ නිසා ලංකාව ලොකු අරාජික තත්ත්වයකට තල් ̈වීමට ඉඩ තිබෙන බවත් කීවෙමි. ඉන්පසු ව්‍යවස්ථා අර්බුදය කරලියට එන්නට පෙර මාස කිහිපයක් තිස්සේම ජනාධිපතිවරණයට පෙර ලංකාවේ ලොකු ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීමට ඉඩක් තිබෙන බවත් දැන් ලංකාව තිබෙන්නේ පූර්ණ අරාජකත්වයක මුව විට බවත් පුන පුනා කීවෙමි. පුනරුද ව්‍යාපාරය විසින්ප්‍රකාශිත එම අනාවැකියද දැන් හොඳින් සනාථ වී තිබෙන්නේ යැයි කිව හැකිය.


අවසානය


ජනාධිපතිගේ මරාගෙන මැරෙන දේශපාලන ක්‍රියාන්විතය දුරගොස් තිබෙන තරම අනුව එම වැඩසටහන පරාජය කිරීමේ හැකියාවක් නැත. ඔහු විසින්රට මත හෙළන ලද පරමාණු බෝම්බය එහි අවසානය දක්වාම පුපුරනු ඇත. ඉන් රටට සිදුවනු ඇති විනාශයද අතිවිශාලය. එය එක යුගයක් මුළුමනින්අවසන් කිරීමට හේතුවනු ඇත. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ පමණක් නොව පරණ යුගයේ සිය ̈ම නායකයන්ද, කුණුවී තිබෙන රාජ්‍ය හා සිය ලුආයතන ක්‍රමද ආණ්ඩු ක්‍රමය හා ව්‍යවස්ථාවද මුළුමනින් නැති භංග කිරීමට හේතුවනු ඇත. රටේ සමස්ත ආර්ථිකයද විනාශ කිරීමට හේතුවී රට පූර්ණ බංකොළොත් තත්ත්වයකට පත්කිරීමට හේතුවී රටේ මහජනතාවද නොමරා මරණ තත්ත්වයකට පත්කිරීමට හේතුවනු ඇත.

ඊළඟ යුගය ආරම්භ කිරීමට සිදුවනු ඇත්තේ මහා විනාශයකින් පසු එය ඉතිරි කරන අළු දූවිලි හා සුන්බුන් මත්තෙහිය. සෑමලු දෙයක්ම අලුතෙන් ගොඩ නගා ගන්නා තැනකින්කටයුතු ආරම්භ කිරීමට රටට සිදුවනු ඇත. ජනතාවට ප්‍රඥාව තිබේ නම් ජපනුන්ට හා ජර්මනුන්ට මෙන් ඇතිවූ මහා විපත සැපතක් බවට හරවා ගැනීමේ පුළුවන්කමක්ද ඇත්තේය.

මිරිස්කුඩු ප්‍රහාර සහ හිංසාකාරී අවි රැගෙන ඒම ගැන පරීක්‍ෂණ කරනවා- කථානායක

කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තු  සභා ගැබ තුළට හිංසාකාරී අවි රැගෙන ඒම සහ මිරිස්  කුඩු ප්‍රහාරයක් එල්ල වීම පිළිබද මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බවයි. මේ සම්බන්දව  අද 19 වනදා කථානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනය පහතින්..




 

 

සබැඳි පුවත් 

 

”ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි” – කතානායකගෙන් ජනපතිට පිළිතුරක්

සිරිසේන ජනපතිගෙන් කථානායකට මධ්‍යම රාත්‍රියේ පිළිතුරක්

විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට – කථානායක නිවේදනය කරයි 

පාර්ලිමේන්තුව හෙටට කල්දැමේ 

 

''අගමැති වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාව ආරම්භයක් පමණයි‘‘ - රාජිත

නියෝජ්‍ය කතානායක  ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පාර්ලිමේන්තුව රැස්වූ අතර විනාඩි හතක්වැනි කෙටි කාලයකදී පාර්ලිමේන්තුවේ කටයුතු පැවැත්වුණි.  ලබන 23  වැනිදා  උදෑසන 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණි.


ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ, ''අගමැති වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාව ආරම්භය පමණයි.‘‘ යන්නයි.


මෙමගින් රටේ අර්බුදයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවට මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සේනාරත්න මහතා පැවසුවේ, ‘‘රටේ අර්බුදයක් ඇතිවෙන්නේ කොහොමද ?, නීත්‍යනුකූල නොවන විදියට අගමැතිවරයෙකු පත්කිරීම හරහානේ අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත වේ නම් ඒ අවස්ථාවේදීම අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා කියලා. එතකොට දැන් ඒ ගැන කතාකරන්න දෙයක් නෑ. අහෝසි වෙලා තියෙන්නේ. ඔවුන්ට පඩි නඩි ගෙවීම නීති විරෝධීයි. 


මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ‘‘මේ සැණකෙළිය දිගින් දිගටම යයි. කෝටි ගණනක් වැය කරයි. රැස්වීම්, සාකච්ඡා ගැන කතාකරනවා. මේ සියලු දේ දකිනකොට සිනමා ක්ෂේත්‍රයේ තියෙන එමී සම්මාන, ඔස්කාර් සම්මාන වලට වැඩිය උසස් සම්මාන ලබාදෙන වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන.‘‘ යන්නයි.


 


 

නපතිතුමා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂට රජය මගින් ලබාදෙන අරමුදල් වහාම නතර කළයුතු බව දක්වමින් එජාපය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙකු කථානායකතුමා වෙත මෝසමක් ඉදිරිපත් කළහ. 

සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ

සුනන්ද දේශප්‍රිය


තුරුම්පු කියා සිරිසේන ඇද්දේ ජෝකරයෙක්


තුරුම්පු කියා සිරිසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර ඇඳුමට බැස සිටින සෙයකි.


අහන අහන හැමෝම අද මෙරට කියන, අසන කතාව කුමක්ද ?. එනම්, ‘මේ මිනිසාට අන්ද කයිප්පු කැවුණේ කොහොමද ?’ කියා ය. වෙස්වෙලා ගෙන මහ රෑ ගමින් ගම යමින් රටෙහි ඇත්ත සෙවූ ජනප්‍රවාද ගත රජතුමා මෙන් ඇත්තට ම සිරිසේනට වෙස් මූණක් දාගෙන රට වටේ රෑට රෑට යන්නැයි උපදෙසක් දෙන්නට ඔහුගේ කේවට්ට උපදේශකයින්ට බැරිද ?


 

‘රජතුමා හෙළුවෙන්‘



රටේ ජනයා සිරිසේන ගැන කියන කතා ඇත්තට ම ඔහු දන්නේ නැතිවාවත්ද ?, ‘රජතුමා හෙළුවෙන්‘ යැයි කියන්නට සමත්කම ලැබෙන්නේ සව්වන්ට සහ කේවට්ටයින්ට නොව කොලු ගැටයකුට පමණ ය. රටේ මිනිස්සු තමා ගැන කියන දේ දන්නේ නම් සිරිසේනට සිදුවන්නේ අපේ පැතිවල මිනිස්සු අපතයින්ට කියන ලෙස බනිස්ගෙඩි දෙකක් අරං ගල් ගෙඩියක් බැඳගෙන බඩද පලාගෙන මුහුදට පනින්නට ය.


සමහර විට තවමත් රටෙහි ජනප්‍රියම දේශපාලනඥයා රාජපක්ෂම විය හැකිය. සිරිසේනගේ පාපයට, කර ගැසීමෙන් ඔහු කළේ දුවන කෝච්චියකට පැනීම ය. සිරිසේන විසින් රටේ ඇතිකළ වියවුලේ පාපය දැන් අයත් වන්නේ වික්‍රමසිංහට නොව රාජපක්ෂට ය.  සිරිසේනට මුක්කු ගහනන්නට ගිය රාජපක්ෂ දෙමළ මුස්ලිම් පක්ෂ ද සිය පසමිතුරන් බවට පත් කර ගත්තේ ය.


රාජපක්ෂට දුවන කෝච්චියක් - වික්‍රමසිංහට වේග බෝට්ටුවක්


ඇත්ත වශයෙන් ම නම් කිදාබසිමින් සිටි වික්‍රමසිංහට සිරිසේන විසින් ලබා දුන්නේ වේග බෝට්ටුවකි. (ඒ බෝට්ටුවෙන් වික්‍රමසිංහ තනියම බුදුවන්නට ගියහොත් යළි කිඳා නොබසිනු ඇතැයි කිව නොහැකි ය.)


මේ සටහන ලියන්නේ 15 වන බ්‍රහස්පතින්දා ලංකාවේ වේලාවෙන්  අළුයම ය. ඉදිරි පැය 24 ඇතුළත අර්බුදය විසඳන බවට සිරිසේන කියා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අතරම වාර්තා වන්නේ සියළු අමාත්‍යාංශයන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස සිරිසේන නියෝග කර ඇති බවකි.  සිරිසේනට දැන් අවශ්‍ය නම් යළිත් වතාවක් පාර්ලිමේන්තුව කල් තැබිය හැකිය. ඒ මගින්ද සිදුවනු ඇත්තේ අර්බූදය තවත් උග්‍රවීම පමණි.


දැන් සිරිසේන බලයෙන් කොතරම් දූෂ්‍ය වී ඇත් ද යත් ඔහු විසින් කතානායක කරු ජයසූරිය පිළිගන්නේ ද නැත. ඔහු තවමත් පිළිගන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය නැති රාජපක්ෂගේ අනීතික ආණ්ඩුවයි. තමන් රාජපක්ෂ අගමැති ලෙස පත්කීරීම සාධාරණ කිරීමට ‘පොඩි එකාගේ ලියුම’ක් යවමින් සිරිසේන කියන්නේ  2015 ජනවාරියේ දී වික්‍රමසිංහ අගමැති බවට පත් කළේ ද බහුතරයක් නොමැතිව බවයි. නමුත්, සිරිසේන වසන් කරන්නට යන්නේ ඔහු පොදු අපේක්ෂකයා ලෙස කළ මුල් කතාවෙහිදී ම තමා ජනාධිපතිවුවහොත් වික්‍රමසිංහ අගැමති කරවන බවට ප්‍රකාශ කළ බවය. ඔහු ලද ජනවරමට ඒ පොරොන්දුව ද ඇතුළත්ව තිබුණි.


සිරිසේන කුණාටුව



අනෙක් අතට වික්‍රමසිංහට විරුද්ධව ඒ වන විටත් සිරිසේනගේ නායකත්වය යටතට පත්ව තිබූ ශ්‍රීලනිපය පියවරක් ගත්තේ ද නැත. වික්‍රමසිංහ අගමැති බවට පත් නොකරන ලද්දේ නම් සිරිසේනට වහාම ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවීමට සිදුවන්නට තිබුණි. එසේ වූයේ නම් වික්‍රමසිංහ ලෙහෙසියෙන්ම පාර්ලිමේන්තු බහුතරය දිනා ගන්නටත් තිබුණි. වික්‍රමසිංහට වැරදුණේ බැදුම්කර වංචාව හෙළිදරව් වී මහා අපවාදයක් බවට පත්වීම නිසා ය.


සිරිසේන විසින් නීති විරෝධී ලෙස රාජපක්ෂ අගමැති කිරීමෙන් පටන් ගත් දුෂ්ඨ දාම ක්‍රියාදාමය දැන් මුළු රටම වෙලා ගත් දේශපාලන ආර්ථික සමාජීය කුණාටුවක් බවට පත්ව තිබේ.  හෙට සිදුවන්නේ කුමක්දැයි දන්නා කෙනෙක් නැත.  එකක් පසු පස එකක් බැගින් අර්බූද වැලක් ඇති වේගෙන යයි.


සිරිසේන පාර්ලිමේන්තු බහුතරය පිළිනොගන්නේ නම් කතානායක පිළිනොගන්නේ නම් ව්‍යවස්ථාව පිළිනොගන්නේ නම් ඔහුට යා හැක්කේ කොහාටද‍ ?. කතානායකවරයාගේ තීන්දු සහ වාර්තා පිළිනොගන්නා නිසා සිරිසේන හමුනොවීමට විශ්වාස භංග යෝජනාවට පක්ෂ වූ සියළු දේශපාලන පක්ෂ බදාදා රැයෙහි තීරණය කිරීම ඔහුට එල්ල වූ අලුත්ම කණේ පහර ය. විශ්වාස භංගයකින් පරාජය වූ රාජපක්ෂ අගමැති තනතුරේ තබා ගැනීමත්, ඒ සමඟම අහෝසි විය යුතු ඇමැති මණ්ඩලය එලෙසම පවත්වා ගැනීමත් වැරදි බවට කවරකු හෝ අධිකරණයට ගිය හොත් සිරිසේනට වැලේ වැල් නැතිවනු ඇත.


සිරිසේන බූරු පිටියක මෙන් තුරුම්පු ඇදීමෙන් රටක දේශපාලනය හැසිරවිය හැකි යැයි සිතා සිටි සෙයකි. මහා කයිවාරුවක් ගසා ඔහු තුරුම්පු ඇද්දේ වික්‍රමසිංහ පරාජය කරනු පිණිස ය. ඔහුගේ රාජපක්ෂ තුරුම්පුව දැන් පාර්ලිමේන්තුවෙහි කැපී ගොසිනි. විසුරුවා හැරීමේ තුරුම්පුව කල් ගියේ ය. යළිත් කල් දැමිම හැරුණ විට දැන් ඔහුට ඇත්තේ එකම එක තුරුම්පුවක් පමණි. එනම් ඍජු ආඥාදායකත්වයේ තුරුම්පුව පමණි.


දැන් ඔහුට කියා දේශපාලන පක්ෂයක් ද නැත. වැඩි කල් නොගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඔහුගෙන් ගිලීහි යන්නට ද ඉඩ තිබේ. එහි පාරම්පරික අයිතිකාර පාර්ශ්වයන් දැන ඇහැ ගසාගෙන ඉන්නේ යළි පක්ෂය අල්ලා ගන්නට ය. සිරිසේනටය කියා එකදු දේශපාලනඥයකුවත් නැති දවසක් උදාවන බව දැන්ම ලියා තැබිය හැකි ය.


ඔක්තෝබර් 26 දා තමා විසින් දියත් කළ දේශපාලන කුමන්ත්‍රණය දැන් සිරිසේනට ඉදිරියට ගෙන ගිය හැක්කේ ලේ සහ බෝම්බ දුමාරය මැදින් පමණි.  නැත්නම් ඔහු ආපසු හැරී ආණ්ඩු බලය වික්‍රමසිංහට ලබා දිය යුතුය.  ඒ වනාහී සිරිසේනට හීනෙන්වත් සිතිය නොහැකි තෝරා ගැනීමකි. මන්ද යත්, එසේවුවහොත් සිරිසේන - රාජපක්ෂ නීති විරෝධී ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කළ බොහෝ දෙනෙකු උපමා උපමේය ව්‍යවහාර බසින් කියන්නේ නම් ගහේ යන්නට ඉඩ තිබෙන නිසා ය. ඇත්ත වශයෙන්ම නම් දිනෙක ව්‍යවස්ථාව කෙළෙසා දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම සම්බන්ධයෙන්, සමහරවිට දස වසරකට පසු හෝ සිරිසේන ද ගහේ යන්නට ඉඩ තිබේ.  ඔහු විසින් රට ගෙන යමින් සිටින්නේ පතුලක් නැති අඳුරු අගාධයකට ය.


සිරිසේන වැටුණේ ඔහුගේම කේවට්ටයන් කැපූ වලක


යුද ආඥාදායකත්වයක් මෙරට ඇති කිරීම ලෙහෙසි නොවේ. එවැනි හැකියාවක් තිබුණේ නම් ඒ රාජපක්ෂට පමණ ය. නමුත් අසල්වැසි ඉන්දියාව ගැන නොසිතා එවැනි පියවරකට මොළේ ඇති දේශපාලනඥයකු යන්නේ නැත.  පූජිත වැනි අපූජිතයකු යොදා ගෙන පොලිස් රාජ්‍යයක් ඇති කිරීමට ද නොහැකි ය.


ස්වකීය කේවට්ටයින්ගේ කීම් බස් අසා සිරිසේන තමන් විසින්ම කපා ගත් මෙම වළෙන් ඔහු ගොඩ එන්නේ කෙසේද යන ප්‍රශ්ණයට තාර්කික පිළිතුරක් සෙවීම දුෂ්කරය‍. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය සාර්ථක වෙනු ඇතැයි එතරම් විශ්වාසයක් තබා ගැනීමට ද නොහැකිය. මන්ද යත් සාධාරණ හේතු සාධක නොමැති නම් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරියට ගෙන යාමට අවසර නොදෙන නිසා ය. දැන් ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුව කල් දමන්නැයි එකී කේවට්ටයින්ම උපදෙස් දෙන බව කියනු ලැබේ. සිරිසේන ඒ මඩවලටත් නොබසිනු ඇතැයි කීමට නොහැකි ය.


දැන් අවසානයට මේ ටිකත් කිව යුතුය.


2015 මැද භාගයේ දී  සිරිසේනගේ සව්වකු මට පණිවිඩයක් එවී ය. ඒ පයින්ඩයෙන් කියැවුණේ රාජපක්ෂ ගැන මා ‘රාවය‘ පුවත්පතට ලියූ ලිපි කිහිපයක් පොත් පිංචක් ලෙස පළ කිරීමට අලුත පත්ව සිටි ජනපති සිරිසේනට සිතක් පහළ වී ඇති බව යි. ඒ 2015 අගෝස්තු මැතිවරණයේ දී රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරය පිණිස ය‍.


පණිවිඩය ගෙනා සව්වා මට මෙසේ කීවේය: ‘ජනාධිපතිතුමා කවදාවත් කීයටවත් රාජපක්ෂට නම් යළි තැනක් දෙන්නේ නෑ’ ඒ ලිපි කිහිපය සිරිසේනගේ දායකත්වයෙන් පිටපත් ලක්ෂයක් ම මුද්‍රණය කරන ලද්දේ ‘වහල් බවින් නිදහස්වීම’ යන නමිනි.


සිරිසේනට අමතක වී තිබූ ‘වහල් බවින් නිදහස්වීම’ ලිපි මාලාව



සිරිසේන විසින් ම තෝරා එහි ඇතුළත් කරන ලද ලිපි මෙසේ ය: ‘ පොලිස් රාජ්‍යය, හිට්ලර් සහ මානව හිමිකම් මතක් වීම’; ‘මෙන්න රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන යහපාලනය’; 19වන සංශෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය; ‘පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකිද ?’.


 

සිරිසේනට අමතක වී තිබෙන බව පෙනෙන ඒ ඉතිහාසය යළි මතක් කළ යුතු යැයි සිතුණේ ඔහුගේ නීතිඥයා ලෙස පසුගිය 12දා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙනී සිටි නීතිපතිවරයාගේ නින්දා සහගත තර්ක දුටු විට ය. නීතිපතිගේ තර්ක අනුව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරුවා ඇති විටෙක පවා ඒ පිළිබඳ නඩු විභාග කිරිමට මෙරට කිසිම අධිකරණයකට අයිතියක් නැත. එමෙන්ම ඔහු තර්ක කළේ 19වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල කිසිසේත් ම සීමා කර නැති බවට යි. (නීතිපතිවරයාගේ භූමිකාව රජවාසළ කවටයකු වීම නොව ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම යැයි හිටපු පුවත්පත් කතුවරයකු සමාජ ජාලයකට ලියා තිබුණි.) සිරිසේනට වසර පහක් නොව හයක් ම බලයේ සිටිය හැකි යැයි කියන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පස්ස බිම ඇණ ගත්තේද මේ නීතිපතිම ය.


 යමෙකු වසළයෙකු වන්නේ සිය ක්‍රියාවෙන්මය



සිරිසේන විසින්ම දායකත්වය සපයා මුදුණය කරන ලද ඉහත කී පොත් පිංචේ  ඇතුළත් වූ එක් ලිපියක් 19වන සංශෝධනය අරභයා ය‍. දැන් සිරිසේන කියන්නේ ඉන් තමාගේ බලතල සීමා නොවූ බව ය. සිරිසේන වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඉදිරිපත් කරන ලද තර්ක අනුව ඔහුට ඕනෑම අවස්ථාවක ඕනෑම වාර ගණනාවක් සිය සිතැඟි අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ය.


පුරවැසි බලය එකතුවෙහි මූලිකයකු වූ මහාචාර්ය සරත් විජේසූරිය, සිරිසේනට ජන්දය දෙන්නැයි තමා කළ ඉල්ලීමට සමා වන්නැයි මහා ජනයාගෙන් ඇයද සිටියේ මාදුළුවාවේ සමරු රැළියෙහිදී ය. ඒ මට්ටමින් ම සිරිසේන බලයට ගෙන ඒමට දරදිය ඇද්දාවූ දඹර අමිල හිමි කීයේ ‘මහ රජාණන් මැදමූළන ජනේලයක එල්ලලූ අපට සිරිසේන පොළාන්නරුවේ පඹයකු සේ එල්ලීම මහ ලොකු දෙයක් නොවන’ බවයි.


ඉතින් අපි කුමක් කියමු ද ?, බුදු වදනින් මෙසේ කියමු : යමෙකු වසළයකු වන්නේ ක්‍රියාවෙනි !

මහින්ද සමග ආණ්ඩුව ගෙදර යයි..

කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඔක්තෝබර් 26 වනදා අග්‍රමාත්‍යවරයා ලෙස පත් කළ මහින්ද රාජපක්‍ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමෙන්තුවේ බහුතරයේ විශ්වාසය නොමැති බව අද නොවෙම්බර් 16 වනදා යලිත් තහවුරු බවයි. එම නිසා සුදුසු ඉදිරි පියවර ගන්නා ලෙස කථානායකතුමා ජනපතිතුමාට දන්වා තිබේ. අද 16 සවස කථානායකතුමා විසින් ජනපතිතුමාට යැවූ ලිපිය පහතින්.

ආඥාදායකයා වහා පලවා හැරිය යුතුය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයේ සද්භාවීය අරමුණ වන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම වැළැක්වීම යන්න, වර්තමාන ජනාධිපතිවරයා සිය ක්‍රියා කලාපය හරහා උල්ලංඝනය කරමින් සිටීමයි. ඔහු මේ අපයෝජනය කරමින් සිටින්නේ, ඔහු ජනපති ධුරයට පත් කිරීම සඳහා සිය ඡන්දය භාවිත කළ ජනතාවගේ ජනමතයයි. ජනමතයට සපුරා පටහැනිව අද ඔහු කටයුතු කරමින් සිටින්නේ කුරිරු ගුණමකු ආඥාදායකයකු ලෙසිනි.

සතියේ සිකුරාදාව ළඟා වෙන විට වෙනදා නම් යම් සහනදායී බවක් සිතට දැනුණත් පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදායින් පසුව එළඹුණු සෑම සිකුරාදාවක් ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගයන ජනතාව මහත් අසහනයට සහ කම්පනයට පත් කළේය. තවත් සිකුරාදාවක් එළඹෙමින් තිබේ. පසුගිය අඟහරුවාදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ බදාදා රැස්වූ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව මගින් පරාජයට පත්කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග පිළිබඳව ඇති කරගත් යම් සහනශීලී සිතුවිල්ලකින් නින්දට යාමට සැරසුණු සැනින් නැවතත් ජනාධිපතිවරයා තම මුග්ධ ආඥාදායකත්වය විදහාපාමින් කතානායක වරයාට ලිපියක් යැවීය.


රජයේ උත්තරීතර නෛතික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ආකාරයෙන් හෑල්ලුවට ලක් කළ වෙනත් කිසිදු ලාංකීය නායකයෙකු මගේ මතකයේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එහි වචනාර්ථයන්හි එල්බ ගත් අවස්ථාවාදී දේශපාලකයන්ගේ ස්වාභිමතය ඉටු කිරීමට යොදා ගන්නා අත්තනෝමතික ලියවිල්ලක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමට නූගත් ජනාධිපතිවරයෙකුට හැකි නම්, ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කුමකට ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම තුලින් බලාපොරොත්තු වන ප්‍රධානම කාරණය වන්නේ නීතියේ රන් රෙගුලාසි (Golden rules) වලට යටත්ව රාජ්‍යයක උත්තරීතර නීතිය විවරණය කිරීමයි. එනම්, කිසියම් නීතියක් පැනවීමේ පරම අරමුණ කුමක්ද යන්න සහ එම නීතිය හරහා සද්භාවයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දැක්විය යුතු අනිවාර්ය අවධානයයි.
අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වචනවල තිබෙන අඩුපාඩු සොයමින් ඒවායේ එල්ලී තම අවස්ථාවාදී පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට උත්සාහ කරන ජනාධිපතිවරයාත්, ඔහු වටා සිටින බලලෝභීන් සහ නීති උපදේශකයනුත් හිතාමතාම මග අරින්නේ පරමාදර්ශී ලෙස සැලකෙන මෙම රන් රෙගුලාසි පිළිබඳ මූලධර්මය යි.


මෙහිදී අවධානයට ලක් කළ යුතු කාරණා දෙකක් තිබේ. පළමුවැන්න නම්, ජනාධිපතිවරයා පුනරුච්චාරණය කරන ආකාරයට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇතැයි තමා කල්පනා කරන අයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ හැකි බැවින් 2015 ජනවාරි 8 වෙනිදා කළ පරිදිම ඔහු කැමැති පුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බවත්, ඒ සඳහා ආණ්ඩුවේ බහුතරයක් පෙන්වීම අවශ්‍ය නොවන බවත්ය. මෙය නම් යහපාලනය ගෙන ඒමට ශපථ කළ ජනතා නියෝජිතයකු විසින් සිහිනයකින්වත් කළ යුතු ප්‍රකාශයක් නොවේ. ඔහු මේ උත්සාහ කරන්නේ, යහපාලනය ගෙන ඒමට මුල් වූ සද්භාවී දේශපාලන වටපිටාව, දැන් ඔහු විසින් ම ඇති කර තිබෙන දූෂිත අවස්ථාවාදී දේශපාලන ව්‍යාකූලත්වය සමග සමාන කිරීමට උත්සාහ දැරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කරන ලද්දේ විධායක ජනාධිපතිවරයාගේ අසහාය බලතල අඩු කිරීමට මිස වැඩි කිරීමට නොවේ. එබැවින් ජනතා ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගත් අගමැතිවරයෙකු සිටියදී, තමා කැමති වෙනත් අයෙකු හිටි අඩියේ අගමැති ධුරයට පත් කිරීම දරුණු අඥාදායකත්වයක් මිස, ප්‍රජාතන්ත්‍රවාදයේ කිසිදු මූලධර්මයකට අදාළ කළ නොහැකිය.


දෙවැනි කාරණය වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයේ සද්භාවීය අරමුණ වන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම වැළැක්වීම යන්න, වර්තමාන ජනාධිපතිවරයා සිය ක්‍රියා කලාපය හරහා උල්ලංඝනය කරමින් සිටීමයි. ඔහු මේ අපයෝජනය කරමින් සිටින්නේ, ඔහු ජනපති ධුරයට පත් කිරීම සඳහා සිය ඡන්දය භාවිත කළ ජනතාවගේ ජනමතයයි. ජනමතයට සපුරා පටහැනිව අද ඔහු කටයුතු කරමින් සිටින්නේ කුරිරු ගුණමකු ආඥාදායකයකු ලෙසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජනතා පරමාධිපත්‍යය දිගින් දිගටම නොසලකා හැරීම තුළ ජනාධිපතිවරයා පෙන්වන මෙම ආඥාදායකත්වයට පිළිතුරු දිය යුත්තේ ද ජනමතයෙන් ම ය.


එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමතය අවස්ථාවාදී දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් අර්ථකථනය කරගත හැකි මෙවලම් බවට පත් කර ගැනීමට එරෙහිව, වගකිවයුතු ලාංකීය පුරවැසියන් ලෙස ආඥාදායක ජනාධිපතිවරයා පලවා හැරීමට වහා පෙළගැසිය යුතු ව තිබේ.


ආචාර්ය ඉන්දි අකුරුගොඩ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

සිරිසේන ගේ ඉරණම හා රටේ ඉරණම

අසේල සිරිවර්ධන


සිරිසේන ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 දින හදිසියේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගර්හිත කරවන ආකාරයට ගත් තීන්දුව හා එහි විපාක ඇති කරන්නේ පුද්ගලිකව මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමවින්හට හෝ එහිදී පිල් රැකගත් හෝ පිල් මාරු කළ කිහිප දෙනෙකුට පමකන් නොවේ, මුළු රටට ම ය. මහින්ද රාජපක්ෂ දිවුරුම් දීම, රනිල් වික්‍රමසිංහ සිරවීම හා 19 සංශෝධනය ගර්හිත කරවීමේ තැත් නිසා ඇතිවන විපාක 1982 කුප්‍රකට ජනමතවිචාරණය තරම්ම අහිතකර බලපෑම් රටට එල්ල කරණු නිසැකය.


දැනටමත් පෙනෙන අන්දමට ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ආරක්‍ෂිත නොවෙන බව ලොව සැම තැනම ප්‍රචාරය වී ගොසිනි. ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති සමග එක්ව කළ කුඩා සෙල්ලම මේ වනවිට ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ලෙස අන්තර්ජාතික වශයෙන් හංවඩු ගැසී අවසානය, දේශීය වශයෙන් රජයේ හා පුද්ගලික මාධ්‍ය ජනතාවට කුමක් කීවත් ‘කුමන්ත්‍රණය’ ඉදිරි වසර කීපය පුරාම ශ්‍රී ලංකාවේ නම සමග එකම වාක්‍යයේ යෙදීම ජනපතිට හෝ හිටපු ජනපතිට හෝ ඔවුන්ගේ තක්කඩි න්‍යායාචාර්ය කැලතට හෝ වැළැක්විය නොහැකිය.


ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හරිමින් අසමත් වූ සිය ප්‍රධාන සැලසුම වන මහින්ද-සිරිසේන ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවට අතුරු සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ අන් සියලු අගතීන් අතරේ වුවද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයක් අතර සදාචාරයේ ඉතුරු-බිතුරු හෝ ඇති බව පෙන්වමින් ඔහුට බහුතරය අහිමි කරවමිනි. ඔහු බහුතරය හදා ගැනීමට අසමත් වූ බවත්, මන්ත්‍රී වරුන්ට පැති මාරුවට දුන් අල්ලස බිලියන භාගයක් දක්වා ඉහළ ගිය බවත් 11 වැනිදා ජනාධිපතිවරයා ගේ අව්‍යක්ත හා වාගාඩම්බරයන් ගෙන් වැසී ගිය ප්‍රකාශය මගින් එළිදරව්විය.


ඔහු සුපිරි වර්ගයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස නම් කරමින් නොසන්සුන් මොහොතක, අකාලයේ කැඳවන මහමැතිවරණය මගින් පෙන්නුම් කරන්නේ ඔහු ක්‍රියා පටිපාටි, ස්වාධීන කොමිෂන් සභා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාදායකය, අධිකරණය ආදී ශිෂ්ට බවේ සියලු සංකේතයන් නොසළකා හරිමින් කටයුතු කරන බවයි. එය වැඩිදුරටත්, මහජනයාගේ ඇඟේ ගැසූ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය. එමගින් රට අස්ථාවර කරමින්, ආර්ථිකය කඩා වැටීම, විදේශ ණය වාරික ගෙවීමට අසමත් වීම, ආයෝජන රට හැර යෑම වේගවත් කෙරුණි.


1982 ජේ ආර් ජයවර්ධන මැතිවරණ සිතියම ඇකිලීමට ගෙන ආ ජනමතවිචාරණය ද පෙනුණේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවක් ලෙසිණි. එහිදී ඔහු තිබුණු ආණ්ඩුවේ කාලය දිගුකළේය. නමුත් සමාන්තරව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් හා ක්‍රියාවලීන් අවුල් කරමින් ඔහු ගත් එම පියවර නිසා රටේ ‘අත්තනෝමතිකබව’ වීරත්වයක් ලෙස කුලුගැන්වුනි. එම අවුරුද්දෙම (මේ මොහොතේ සැඟවී ක්‍රියාත්මක වන) අධිකරණය බියගැන්වීමේ ක්‍රියාව විනිසුරුවන්ගේ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම හා ඒවාට ගල් ගැසීම දක්වා දුරදිග ගියේය. එම සිදුවීම් කූටප්‍රාප්ත කිරීමට කුප්‍රකට නැක්සලයිට් කුමන්ත්‍රණය හා ජනපති ඝාතන තැත ඉදිරියට ගෙනවිත් විජය කුමාරතුංග හිර හිරීම මගින් සිය ක්‍රියාව සාධාරණීකරණය කිරීමට ඔහු උත්සාහ කළේය. විමසිල්ලෙන් බලන කෙනෙකුට එම ඉතිහාසයම පෙළගැස්ම වෙනස්ව නැවත සිදුවෙමින් පවතින බව පෙනී යනු ඇත.


ඒ සියල්ලෙන් ම සිදුවුණේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේත සියල්ල ගැන මහජන විශ්වාසය භංග වී යාමයි. ජේ ආර් ජයවර්ධන සඟවා කළ දෙය මෛත්‍රිපාල සිරිසේන එළිපිට කරණ බවයි. 1982 ඉහත සිදුවීම් වල කුටප්‍රාප්තිය වූයේ 1983 ජාතිවාදී කෝලාහල කිරීමට සිරිල් මැතිව්ට හා ඔහුගේ කණ්ඩායමට අවිචාරාත්මක අවකාශයක් විවෘත වීමයි. (සිරිසේන සමග සිරිල් මැතිව් ලා ගණනාවක් සිටිති). එනිසා ඉන්දියානු මැදිහත්වීමද, 1988-89 ජවිපෙ කැරැල්ලද එම සිදුවීම් දාමයේ ම ඉදිරි විපාක ලෙස ලක් සමාජය මත පාත් විය. එකල බලයේ සිටිමින් මේ සිදුවීම් වලට අත එසවූ රනිල් වික්‍රමසිංහ මෙකල එක්තරා අන්දමක වින්දිතයෙක් වීම සරදම් සහගත තත්වයක් වුවත්, මෛත්‍රිපාල සිරිසේනගේ හා මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් එයින් සාධාරණී කරණය නොවන්නේ ඔවුන් පෙනී පෙනී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බැවිණි. ඉහත සමීකරණයට අලුතෙන් ඇතුල්ව ඇති සමාජ මාධ්‍ය මගින් එම යුක්තියුක්ත නොවෙන ක්‍රියාවන් සාධාරණීකරණය කරන ආධානග්‍රාහීන් තමන් උඩගෙඩි දෙන ‘අත්තනෝමතික’ බවේ ඉදිරි විපාකයන්ට වගකීමට, තමන්ට ද එලෙසම සිදුවන බව සිහියේ තබා ගත යුතුය.


තවද තම ක්‍රියාවන්ගෙන් සිරිසේන ජනාධිපති වරයා අපේක්ෂා කළ අන්දමේ ප්‍රතිඵල නොලැබෙන බව මේ වන විට සහතිකය. ඔහුට සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ගේ පසුපස යාමට මිසක රාජපක්ෂලා මෙහෙයවීමට නොවේ. ඔහුගේ 2020 ජනාධිපති සිහිනය, 113 සාදා ගැනීමට ඔහුගේ නොහැකියාව නිසා අවලංගු වී ගියේය. දැනටද මහින්ද රාජපක්ෂ හා ඔහු අතර ආරක්ෂක පළිහක් ලෙස ක්‍රියා කරන්නේ 19 වන සංශෝධනය බව තේරුම් නොයනවා නම් ජනාධිපති සිරිසේනට කිසිදු විකල්පයක් ඉතුරු නොවෙනු ඇත. ඔහුගේ වලංගුභාවය පවතින්නේ මැතිවරණ තරඟ ලැයිස්තු හදන තෙක් පමණි. ඉන්පසුව ඔහුට අපකීර්තිමත් ලෙස විශ්‍රාම යාමට සිදුවනු ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක දුරදිග නොබලා 1970 ආණ්ඩුවේ කාලය අවුරුද්දකට දිගු කරගත් නිසා ශ්‍රීලනිපය පමණක් නොව ඔවුන් හා සම්බන්ධ සියලු බලවේග අවුරුදු 17කට අවලංගු වී ගියේය. මෛත්‍රිපාල සිරිසේන දුරදිග නොහිතා කළ ක්‍රියාවේ ප්‍රතිඵල ලෙස ශ්‍රී ලංකාවේ ඉරණම කොතැනකට යොමු වී ඇත්දැයි දන්නා දෙවියෙකු වත් ඇත්දැයි සිතිය නොහැකිය.


මේ ලිපිය පළ වනවිට අධිකරණය සිය ඓතිහාසික තීන්දුව ප්‍රකාශ කර තිබීම නිසා රටේ ඉරණම වෙනස් වී තිබිය හැකිය. එයින් ඔක්තෝබර් 26 දින ට පෙරළා යා හැකි බවක් කියවේ නම් ඉදිරියේ ඇතිවිය හැකි දුර්විපාක තරමක් දුරට හෝ අඩු කර ගත හැකි බව අවසානයේ සටහන් කළ යුතුය.




ආඥාදායක දේශපාලනයට එරෙහිව සටන් කිරීම හැර විකල්පයක් නොමැත - ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලන මූලධර්ම ගරු කටයුතු පුරවැසියෙකුගේ ඉතා වැදගත් අවශ්‍යතා බවට පත් විය යුතු යැයි මම විශ්වාස කරමි. නමුත් දේශපාලන අවස්ථාවාදීන් විසින් සිය පෞද්ගලික අරමුණු සපුරා ගැනීම වස් බොහෝ ව්‍යාජයන් සමාජගත කරමින් සිටින වාතාවරණයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන මූලධර්ම වෙනුවෙන් පෙනී සිටීම සියතින් ගෙල සිඳ ගැනීමක් බව දැන දැනම, ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන බියකරු ආඥාදායක දේශපාලන ප්‍රවණතාවලට එරෙහිව සටන් කිරීම අත් නොහැරිය යුතුය. ජන මනස වියවුලට පත්කරන මෙවන් අරාජික දේශපාලන සන්දර්භයන් තුළ නිහඬව සිටීම ශාස්ත්‍රඥයෙකුට තරම් නොවේ යයි මට සිතේ. මෙම සටහන එම සිතුවිල්ලේ ප්‍රතිඵලයකි.



ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය. රාජ්‍යයක් සතු උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අත්තනෝමතික ලෙස අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් තුළින් මීට දෙසතියකට පෙර උද්ගත වූ දේශපාලන අර්බුදය තුළින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඇති ග්‍රාම්‍ය, නොමේරූ දැනුම මට්ටම සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ ජනමතය කෙරෙහි ඔහු තුළ ඇති අතිශය දරුණු නොසැලකිලිමත් භාවයයි. ජනාධිපතිවරයා විසින් තමාම එක්තරා යුගයක ප්‍රතික්ෂේප කරන ලද බලවේග සමඟ නැවත එකතු වී කුමන්ත්‍රණකාරී සහ දූෂිත ලෙස ආණ්ඩු බලය අත්පත් කර ගැනීමට උත්සාහ දැරීම හරහා සමස්ත ශ්‍රී ලංකාවම අනතුරුදායක අස්ථාවරත්වයක් කෙරෙහි නැඹුරු කර ඇති බව දැනටමත් පැහැදිලිය. ජාත්‍යන්තර අපකීර්තිය, ආර්ථික අර්බුදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලීන්හි සහ පරිපාලන යාන්ත්‍රණයන්හි ඇනහිටීම, දරුණු ආණ්ඩුකරණ පසුබෑමක පෙරනිමිති පෙන්වයි.



මහජන නියෝජිතයන්ට ජනමතය අභියෝගයට ලක් කළ නොහැකිය. ජනමතය අභියෝගයට ලක් කිරීම වනාහි රාජ්‍යයක පුරවැසියන් විසින් එකහෙළා ප්‍රතික්ෂේප කළ යුත්තකි. පුරවැසියන් විසින් සිය ඡන්දයෙන් තෝරා පත් කරන්නේ තමා නියෝජනය කිරීම සඳහා, තම ඉල්ලීම් නියෝජන ආයතනවල ඉදිරිපත් කිරීම සඳහා නියෝජිතයන් මිස, අතීත රජවරුන් මෙන් වන්දනාමාන සහ බැලමෙහෙවර කිරීමට යටත්වැසියන්ට නියෝග කරන ආඥාදායකයන් පිරිසක් නොවේ. එබැවින් 2015 ජනවාරි 8 වැනිදා ජනතා ඡන්දයෙන් පත් කරගත් ජනාධිපතිවරයාද ජනතා නියෝජතයෙකු මිස, නියෝග හරහා ජනමතය වැළැක්විය හැකි ආඥාදායකයෙකු නොවේ. නමුත් ඔහු පසුගිය දෙසතිය තුළ හැසිරුනේ දරුණු ආඥාදායකයෙකු ලෙසින් වීම ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අගයන සියල්ලන්ගේ දැඩි පිළිකුලටත් විවේචනයටත් ලක් විය. නීත්‍යානුකූල අගමැතිවරයෙකු සිටියදී, කුමන්ත්‍රණකාරී ලෙස නීති විරෝධී අගමැතිවරයෙකු පත් කිරීම, නීත්‍යානුකූල අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීම වැළැක්වීම සඳහාත්, තමා විසින් පත්කළ 'ව්‍යාජ' අගමැතිවරයාට බහුතරය නිර්මාණය කරගැනීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 'මිලයට ගැනීම' දිරිමත් කිරීමට 'සහන කාලයක්' ලබා දීම සඳහාත් පාර්ලිමේන්තුව අනපේක්ෂිත ලෙස වාරාවසාන කිරීම ආදී වශයෙන් ජනතා පරමාධිපත්‍යය භයානක ලෙස විනාශ කිරීමට ජනාධිපතිවරයා යොමුවීම අතිශයින් ඛේදජනකය.


පාර්ලිමේන්තුව වහා කැඳවා ඇති වී තිබෙන අරාජික තත්වයට පිළියම් යොදන්නැයි දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලීම් නොකඩවා ඉදිරිපත් වුවද ඒ සියල්ල මගහරිමින් සිට අවසානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත වතාවක් උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් අත්තනෝමතික තීරණය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ දැඩි විවේචනයට ලක්විය යුත්තකි.



19 වැනි සංශෝධනයේ 17 වැනි වගන්තිය මගින් පහත දැක්වෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය විතැන් කරයි.



"(1) ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය:


එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය."



මෙහි පැහැදිලිව සඳහන් වන්නේ, නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහොත් මිස, එහි පළමු රැස්වීම පැවැත් වූ දින සිට අවුරුදු හතරක් සහ මාස හයක් අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බවයි. එබැවින් ජනාධිපතිවරයා ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවත්, ඔහු දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ සිය ආත්මාර්ථකාමී දේශපාලන ආශාවන් මුදුන්පත් කර ගැනීමට බවත් පැහැදිලිය. යහපාලනය පිළිබඳ පොරොන්දු දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ජනාධිපතිවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සහ ආචාර ධාර්මික වටිනාකම් පිළිබඳ සිය පෙර ස්ථාවරයන් ක්ෂණිකව පසෙක තබා කුරිරු ආඥාදායකයකු ලෙස හැසිරෙන විට ජනතාවගේ භූමිකාව කුමක් විය යුතුද?



මේ මොහොතේ අප ඉදිරියේ ඇත්තේ අනවශ්‍ය මැතිවරණයකි. ජනතාව විසින් අපේක්ෂා නොකළ සහ ඉල්ලා නොසිටි මැතිවරණයක් වෙනුවෙන් අතිමහත් මහජන මුදල් ප්‍රමාණයයක් වැය කිරීමට නියමිතව තිබේ. මැතිවරණ අවශ්‍ය ජනතාවට ද? එසේ නැතිනම් ජනතා නියෝජිතයන්ට ද? මේ මොහොතේ නම් මැතිවරණයක් අවශ්‍ය වී තිබෙන්නේ ජනමතය මුදලට හෝ දූෂිත ආකාරයෙන් පැහැර ගැනීමට සැලසුම් කරන ආඥාදායකයන් සුළු පිරිසකට පමණි. ශ්‍රී ලංකාවේ අද පවතින අස්ථාවර සහ අරාජික වාතාවරණය තම අවස්ථාවාදී දේශපාලන ඉලක්ක සපුරා ගැනීම පිණිස මෙම ආඥාදායකයන් විසින් නිර්මාණය කරන ලද්දක් බව අප මතක තබා ගත යුතුය. මෙම දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට නම් කළ යුත්තේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ එකතු වී ජනමතය අපයෝජනය කිරීමට සහ ආඥාදායක බලාධිකාරියට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ස්ථාපිත කරගැනීම වෙනුවෙන් සටන් වැදීම පමණි. මෙය කිසිසේත්ම පහසු ඉලක්කයක් නොවේ. එබැවින් ඔබගේ උනන්දුව, කැපවීම සහ ධෛර්යය සජීවීව පවත්වා ගනිමින්, වර්තමාන ශ්‍රී ලංකාවේ ආඥාදායක දේශපාලනයට එරෙහිව සටන් කිරීම අත්‍යවශ්‍යය. උපරිම ධාරිතාවයකින් සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, ඔබගේ නිශ්ශබ්දතාවය මේ මොහොතේ කිසිදු ප්‍රතිඵලයක් අත් කර නොදෙන බවත් මෙහිලා සටහන් කළ යුතුය.


 

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය

රුහුණ විශ්වවිද්‍යාලය

සිරිසේන කකුලට වෙඩි තබා ගැනීම

කුමන්ත්‍රණයකින් බලය ඇල්ලීම ශ්‍රී ලංකා භුමියේ සිදුවිය නොහැකි දෙයක් ලෙස තරයේ ඇදහූ යුගයක් විය. ඒ යුගය 2018 ඔක්තෝබර් 26 වෙනිදා සවස අවසන් වී ගියේය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව කළ නොහැකි හා ආචාරධාර්මිකව කළ නොයුතු ක්‍රියාවක් වන බලහත්කාරයෙන් හා වංචනික අන්දමින් අගමැති වරයෙක් පත්කිරීම ජනාධිපති සිරිසේන විසින් කර ඇත. ඔහු එයින් රට ව්‍යවස්ථාමය අර්බුදයකට ඇද දැම්මා පමණක් නොව, රාජපක්ෂ සමයේ ගත් ණය වාරික ගෙවීම, ඇමෙරිකානු ඩොලරයේ අසාමාන්‍ය මිළ විචලනය හා ආනයන-අපනයන පරතරය ආදියෙන් තදින් බැට කමින් සිටි ආර්ථිකයට කණේ පහරක් එල්ල කළේය.


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ අගමැති වරයා පිළිගන්නා බව නිවේදනය විය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන ඇඟලුම් මිළදී ගන්නා ප්‍රධාන රටක් මෙලෙස ප්‍රකාශ කිරීම එම කර්මාන්තය ම අර්බුදයට යැවීමට හේතු විය හැකිය. දැනටමත් තරඟකාරී බංග්ලාදේශය හා වියට්නාමය, කෙටිකාලීනව ඇඟලුම් සැපයුමෙන් ලොකු කුට්ටියක් කඩා ගනු නියතය.


1982 ලාම්පු කළගෙඩි සෙල්ලම හෙවත් 5/6 පාර්ලිමේන්තුවේ කාලය දික් කිරීමට ජේ ආර් ජයවර්ධන යෙදූ උප්පරවැට්ටිය නිසා බෙලහීන වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් නිසා ඉන් පසුව රට ඇද වැටුණු අගාධය ඉන්දියානු මැදිහත්වීම දක්වාද, රට දෙකොණ විලක්කුවක් වීම දක්වා ඇදී යෑම දක්වාද දිග්ගැස්සුණු බව ඉතිහාසය දන්නෝ දනිති. එයින් සරම් අඳින පංතිය සේම ටයි දමන පංතිය ද එක සේ පීඩාවට පත් විය.


සිරිසේන ජනාධිපතිවරයා දුරදිග නොහිතා කටයුතු කරන බව කවුරුත් දනී. ඔහුගේ ප්‍රකට ‘පත්තරයෙන් දැනගත්තා’ නම් මුග්ධ ප්‍රකාශය තුළ ඇත්තේ තමන් සතු විශ්ලේෂණ විඥානයක් නැති බවයි. එලෙසම 2015 ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොතේ නැවත තරඟ නොකරන බවට කළ ප්‍රකාශය ද දුරදිග නොහිතා කිරීම ගැන ඔහු දැන් කණගාටු වෙනවා විය යුතුය. එය පැහැදිලිව පෙනී යන්නේ ඔහු බලය අත්හැරීමට යන දේශපාලකයෙකු ගේ ලක්ෂණ නොපෙන්වීමයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සිරිසේන ජනාධිපතිවරයා දෙවරක් තරඟ කිරීම කිසිම අයුරකින් වළක්වන්නේ නැත. නමුත් එය ඔහුට 18 වන සංශෝධනය ආවරණය නොකරන ත්‍රිවිධාකාර ආරක්ෂාවක් සපයයි. එයින් පළමු වැන්න වන්නේ තරඟකාරී ආරක්ෂාවයි, මහින්ද රාජපක්ෂ නැවත තරඟ නොකිරීම යනු ඔහුට තරඟ කරන්න වෙන්නේ අත්දැකීම් අඩු අපේක්ෂකයෙකු සමග වීමයි, එලෙසම එමගින් ශ්‍රීලනිපයේ නායකයා ලෙස ඔහුට නිතරඟ අවකාශයක් විවෘත කර තිබුණි. දෙවැන්න වන්නේ ව්‍යවස්ථාදායක ආරක්ෂාවයි, එමගින් ඔහුට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමේ බාධාවක් නොවුන අතර, ඔහුට තමන්ගේ සීමා සලකුණු කිරීම අවශ්‍ය අන්දමට කළ හැකිව තිබුණි. එලෙසම 18 සංශෝධනය විසින් හිටපු ජනාධිපතිවරයා ට ‘යකා නැටීමට’ තිබූ අවස්තාව නැති කර දමා සිරිසේන ජනාධිපතිවරයාට පිරිසිදු ගල්ලෑල්ලක් පවරා තිබුණි. ඔහු එහි ලියාගත්තේ කුමක්දැයි මුළු රටම දැන් දනී.


වඩා වැදගත් හා තීරණාත්මක වන ‘කායික ආරක්ෂාව’ 19 වන සංශෝධනය මගින් සිරිසේන ජනාධිපතිවරයාට පවරා සහතික කර තිබුණේ, ඔහුගේ ආරක්ෂක බලතල වලට කිසිදු අයුරකින් සීමා පැනවීමකින් තොරව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘ජනාධිපති මියගිය විට’ ඇති වන පසු විපාක සම්බන්ධයෙන් බියක් ඇති නොවන අන්දමටය. නමුත් පසුගිය මාස කීපයේ රයිගම අලකේශ්වර ට, චෙන්-හෝ සෙනෙවියා කළ සේ චීන මායමක් ක්‍රියාත්මක විය. එනම්, නාමල් කුමාර හා නාලක සිල්වා කුප්‍රකට කුමන්ත්‍රණය විසින් ගැසූ ගල එහි ඉලක්කය වෙත නිසි ලෙස වැදී ඇත. එයින් සිදුව ඇත්තේ බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව ශ්‍රීලනිපයේ නායකයන් වෙත වැළඳෙන ‘මාව මරාගන්න හදන්නේ, මාව නොමරා මැරුවා’ වැනි සයිකෝසියාවන්ගේ පහසු ගොදුරක් බවට සිරිසේන ජනාධිපතිවරයා පත් වීමයි.


එයින් කලබල වූ සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂිත ආකාරයටම හැසිරෙමින් කිසිසේත් ජනාධිපති තරඟය ට පැමිණිය නොහැකිව සිටි හිටපු ජනාධිපතිවරයාව වංචනික ලෙස අගමැති ධූරයේ පිහිටවා ඇත. එමගින් සිරිසේන ජනාධිපතිවරයා තමාගේ කායික ආරක්ෂාව තර්ජනයට ලක් කර ගෙන ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව අනුව ජනාධිපති වීමට ඇති එකම මාර්ගය පහසුවෙන් ඇර දෙමිනි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ‘ජනාධිපතිවරයා මියගිය විට අගමැති වරයාට ජනාධිපති තනතුරේ දිවුරුම් දිය හැකිය’ යන වගන්තිය අනුප්‍රකාරවයි. මේ මාර්ගයේ යන හිටපු ජනාධිපති කෙනෙකුට නැවත ජනාධිපති තනතුරේ දිවුරුම් දීමට ව්‍යවස්ථාමය බාධාවක් නැත.


දැන් සිරිසේන ජනාධිපතිවරයා සිය අවස්ථාවාදී උපදේශකයින්, මුග්ධ පවුලේ සාමාජිකයින් හා අලුත යාලු වූ පරණ තරහකාරයින් ගේ මිදී පාරට බැසිය යුතුය. ඔහුට හිතවත් කිසිවක් මහපොළොවේ තැන, පෝස්ටර, බැනර, කටවුට් වල ඇත්තේ ‘පොහොට්ටු’ අගමැති කෙනෙකි. දැන් සිරිසේන ජනාධිපතිවරයා ගේ ගේට්ටුව මුර කරන්නේ 2015 ජනවාරි 07 රැයේ ඔහුව මරා දමතියි සිතූ කණ්ඩායමයි.


සිරිසේන ජනාධිපතිවරයා ඔක්තොබර් 26 දා හවස තමාගේම මාපිටිගම බුද්ධරක්ඛිත හා විමලා විජයවර්ධන ව කිට්ටු කරගෙන ඇත. ඔවුන්ට තල්දූවේ සෝමාරාම කෙනෙකු සොයාගැනීම කිසිසේත් අපහසු නොවෙන බව අපටත් වඩා සිරිසේන ජනාධිපතිවරයා දනී.


 - අසේල සිරිවර්ධන විසිනි -

බල කොල්ලය හා අශිෂ්ටත්වය රජ වුණු මෙහෙව් රටේ

ලංකාවයි - සිරි ලංකාවයි


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික‍්‍රමසිංහව තනතුරින් ඉවත් කොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී, ශ‍්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ ජගත් වෙළඳ ප‍්‍රචාරණ පාඨයක් වන ‘‘ලෝකෙන් එකම රට’’ යන්නට අලූත් අරුතක් එක් කෙළේය. ඇත්තෙන්ම, සති අන්තයක් එළැඹෙන එක් සිකුරාදා රෑක, අගමැතිවරයාට කිසිත් නොදන්වා ඔහුව එම තනතුරින් අස් කොට ඒ පිළිබඳ ගැසට් නිවේදනයකුත් නිකුත් කරන වෙනත් රටක් තවත් කොහේ නම් තිබිය හැකි ද ?. ව්‍යවස්ථා විශේෂඥයෙකු නොවන මට, සිකුරාදා රෑ ජනාධිපතිවරයා පෙන්වූ ඒ දේශපාලනික සෙල්ලම පෙනෙන්නේ, නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක් වශයෙනි.



 

2015 දී සිරිසේන සහ වික‍්‍රමසිංහ යන දෙදෙනාගේම ආශිර්වාදය යටතේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමේ අරමුණ වුණේ, අගමැතිවරයාව හිතුමතේ වෙනස් කිරීමට ජනාධිපතිවරයාට තිබූ අත්තනෝමතකික විධායක බලය කප්පාදු කිරීමයි. මේ සංශෝධනය යටතේ අගමැතිවරයාගේ ධුරය අහිමි වනු ඇත්තේ, ඔහුගේ මරණයේදී, ඔහුගේ ඉල්ලා අස්වීමේදී හෝ ඔහුගේ මන්ත‍්‍රී ධුරය අහිමි වීමේදී හෝ පමණි. එසේ නැතහොත්, පාර්ලිමේන්තුවේ විශ්වාසය ආණ්ඩුවට නැති වුණොත් ය. ආණ්ඩුව කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති වීම සිදුවන්නේ, ආණ්ඩුවේ අයවැය පරාජය වීමේදී හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් සම්මත වීමේදී ය. (46.2 සහ 48). එහෙත් ඒ කිසිවක් දැන් සිදුවී නැත.


අලූත් අගමැතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇතත්, එම බලය ඔහුට පාවිච්චි කළ හැක්කේ දැනට බලයේ සිටින අගමැතිවරයාගේ ධුරය ඉහත කී යම් ක‍්‍රමයකින් හිස්ව ඇති අවස්ථාවකදී පමණි. ‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වශයෙන් පත්කරනු ලැබිය යුත්තේය’’ යන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42.4 වගන්තිය යමෙකු ජනාධිපතිවරයාට වැරදියට අර්ථ ගන්වා ඇති බවක් පෙනේ. මේ වගන්තියේ නිවැරදි අරුත වන්නේ ඉලක්කම් පිළිබඳ කාරණයක් බව පැහැදිළි ය. එනම්, පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් සිටින්නේ කාට ද යන්නයි. ඔළුවක් නැති ලංකාවේ පාර්ලිමේන්තුවේ 225 දෙනා අතුරින් අඩු වශයෙන් 113 දෙනෙකුගේ සහාය ඔහුට තිබිය යුතුය. එහෙත් වික‍්‍රමසිංහව ඉවත් කිරීමේදී සහ රාජපක්ෂව පත්කිරීමේදී මේ මූලික අං කගණිතමය කාරණය ජනාධිපතිවරයා පැත්තකට දමා ඇති බවක් පෙනේ. වික‍්‍රමසිංහට පාර්ලිමේන්තුවේ විශ්වාසය නැතැයි සිතන ඔහු, රාජපක්ෂට එම විශ්වාසය ඇතැයි සිතයි.


අගමැතිවරු දෙන්නෙක් - ඇමති මණ්ඩල දෙකක්


එහෙත් එම කාරණයේ නෛතික භාවය පිළිබඳ විනිශ්චය කිරීම ව්‍යවස්ථා විශේෂඥයන්ටත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් (ප‍්‍රශ්නය එතැනට යොමු කළොත්), මම භාර කරමි. මට වඩාත් වැදගත් වන්නේ, මේ දිග හැරුණු සිද්ධියේ සදාචාරය සහ ශිෂ්ටත්වය පිළිබඳ කාරණාව ය. මේ මොහොතේ ලංකාවට අගමැතිවරු දෙදෙනෙකි. ඇමති මණ්ඩල දෙකකි. ඒ අනුව, එක පැත්තකින් රටේ සංවර්ධනය දෙගුණයකින් වැඩි කර ගැනීමටත්, අනිත් පැත්තෙන් දූෂණය සහ දේශපාලනික අල්ලස දෙගුණයකින් වැඩි වීමටත් ඉඩ තිබේ. ඒ සියල්ල අස්සේ, කඩාකප්පල් කිරීමට ලක්ව තිබෙන අපේ දුර්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දීර්ඝ කාලීන පැවැත්ම පිළිබඳ දැඩි අනියත භාවයක් හොල්මන් කරයි. ඇත්ත, මෙහෙම රටක් නම් ලෝකයේ වෙන කොහේවත් නැහැ තමයි. සාමාන්‍ය බුද්ධියක් ඇති දේශපාලඥයන් සිටින, ශිෂ්ටත්වය සහ සදාචාරය පිළිබඳ අල්ප මාත‍්‍ර හැඟීමක් ඇති නායකයන් සිටින වෙන කිසි රටක් මේ විදිහට එක් සිකුරාදා හැන්දෑවක, කතානායකවරයාට පවා නොදන්වා, මුළු රටටම හොරෙන්, රටේ අගමැතිවරයාව ඉවත් කොට වෙනත් අගමැතිවරයෙකුව පත්කරයි ද ? එපමණක් ද ? චණ්ඩිකමින් රජයේ රූපවාහිනී ආයතන අත්පත් කරගෙන අලූත් පාලකයාට කඩේ යාවි ද ?


සිරිසේන ඔහුගේ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ මොරදුන්නේ රාජපක්ෂලාගේ ඥාති සංග‍්‍රහය, ආර්ථිකයේ අවපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන් උල්ලංඝණය කිරීම්වලට එරෙහිව ය. ඒ චෝදනාවලට එදා ලක්වූ පුද්ගලයාම අද රටේ අගමැතිවරයා වශයෙන් පත්කරන්නේ මොන තර්කයක් මත ද ?. ඒ සඳහා ජනාධිපතිවරයා යොදාගෙන ඇති තර්ක, මකියාවෙලී සහ කෞටිල්‍යවත් පරාද කරන තරම් ය. එසේම එය, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සෑම පුද්ගලයෙකුටම නින්දනීය ලෙස ද්‍රෝහී වීමකි. ඒත්, අනිත් පැත්තෙන් බැලූ විට, වර්තමාන ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් මිනිසුන්ගෙන් මේ වෙලාවේ සදාචාරයක් හෝ ශිෂ්ටත්වයක් අප අපේක්ෂා කිරීමත් මෝල් වැඩක් තමයි.



 

වික‍්‍රමසිංහගේ පැත්තෙන් ගත් විට, පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සහ සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්බන්ධතාව තර කර ගැනීමට ඔහු වැඩිමනත් දෙයක් කෙළේ ද නැත. සිරිසේන සහ වික‍්‍රමසිංහ අතර පවතින දේශපාලනික වෙනස්කම් හුදෙක් දෘෂ්ටිවාදී ඒවාම නොවේ. ඒවා සංස්කෘතිකමය කාරණා ද වන්නේය. පංතිමය කාරණා ද වන්නේය. එය, ලෝකය දෙස බලන ආකාරයේ වෙනසක් සනිටුහන් කරන්නකි. පසුගිය දා වික‍්‍රමසිංහ සිය ඉන්දියානු සංචාරයෙන් පසුව නිකුත් කරන ලද ප‍්‍රකාශනය හරහා මෙරටේ ඉන්දීය ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට සිරිසේන අකුල් හෙලීම පිළිබඳව කළ ප‍්‍රකාශය යහපත් දෙයක් නොවේ. ඔහු කී කාරණය සත්‍ය බව ඇත්ත. එහෙත් එය ලංකාවේ දේශපාලනයට ගැලපෙන දෙයක් නොවේ. විශේෂයෙන්ම, ඉන්දීය අගමැතිවරයා හමු වූ වහාම එවැනි ප‍්‍රකාශයක් කිරීම ප‍්‍රඥාගෝචර නැත. සිරිසේන ජාතිය අමතා කළ ආතක්පාතක් නැති කතාව තුළ ඔහු අවධාරණය කෙළේ ඒ කාරණා ය. වික‍්‍රමසිංහ සහ ඔහුගේ සමීපතම කණ්ඩායම රටේ වරප‍්‍රසාදිත පංතියකට අයත් වන බවත්, සාමාන්‍ය මිනිසාගේ හද ගැස්ම නොවැටහෙන පිරිසක් වන බවත් සිරිසේන කීවේය. ඒ කතාව වැරදි නැත. එසේම රජයේ දූෂණ ක‍්‍රියා ගැන ද සිරිසේන කතා කෙළේය. ඒ අතරින්, මහ බැංකු බැඳුම්කර වංචාව ප‍්‍රධාන විය. ඒ සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ ආණ්ඩුව ප‍්‍රමාණවත් පරිද්දෙන් කටයුතු නොකළ බව ඔහුගේ චෝදනාවකි. එය ද සත්‍යයකි.


එහෙත් අපේ හිත් පටලවන සහ අන්දමන්ද කරවන කාරණය වන්නේ මෙවැනිම දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් මීට සුළු කාලයකට පෙරාතුව සිරිසේනම කී පුද්ගලයාව ඔහු විසින්ම දැන් අගමැති තනතුරේ පිහිටුවීමයි. ඊළඟට, එවැනිම දූෂිත ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ගෙන් දැන් අලූත් ඇමති මණ්ඩලයක් ස්ථාපනය කිරීමයි. ඒ කිසිවෙකුගේ එකී දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් සිරිසේනවත්, වික‍්‍රමසිංහවත් ගත වූ කාලය තුළ ක‍්‍රියාත්මක වුණේ නැති බව අපි දනිමු.


ලංකාවේ පාර්ලිමේන්තුව වැඩිම ඉල්ලුමට මන්ත්‍රීවරු වෙන්දේසි වන මාර්කැට්ටුවකි


සිරිසේන කරන ලද මේ ක‍්‍රියාවේ ව්‍යවස්ථානුකූලත්වය සහ නෛතිකත්වය පාර්ලිමේන්තුව වහා කැඳවා පරීක්ෂාවට ලක් කෙළේ නම්, ඔහුගේ අධම ක‍්‍රියාව යම් ආකාරයකින් යුක්ති සහගත කරලීමට ඉඩ තිබුණි. එපමණක් ද නොව. වික‍්‍රමසිංහ ආණ්ඩුව මේ මස 5 වැනි දා සිය අයවැය යෝජනා ඉදිරිපත් කිරීමටත් නියමිතව සිටියේය. එය, වික‍්‍රමසිංහ කෙරෙහි වන විශ්වාස-භංගයත්, රාජපක්ෂ කෙරෙහි වන විශ්වාසයත් පළ කිරීමට අවස්ථාවක් කර ගත හැකිව තිබුණි. වික‍්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගත හැකිව තිබූ ශිෂ්ට සම්පන්න සහ නෛතික ක‍්‍රමය එයයි. ඒ කිසිවක් නොකොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් සිරිසේන කෙළේ රාජපක්ෂලාට මන්ත‍්‍රීවරුන්ව මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමයි. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුම මේ වන විට අත්දැකීමෙන් දන්නා පරිදි, ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, වැඩිම ඉල්ලූමට මන්ත‍්‍රීවරුන්ව වෙන්දේසි කෙරෙන මාරකැට්ටුවකි. ඔවුන්ව තෝරා පත්කර යැවූ අසරණ ජනතාවගේ අපේක්ෂා සහ ප‍්‍රාර්ථනා එහිදී වැදගත් නොවේ.



මේ නාටකය දිග හැරෙන විට රටේ සාමාන්‍ය මනෝ භාවය වී ඇත්තේ එක්තරා උදාසීනත්වයකි. ඊට බොහෝ කොට හේතු වන්නේ, වික‍්‍රමසිංහ පාලනය තුළ තිබූ අකාර්යක්ෂම ස්වභාවයයි. නායකත්වයේ තිබූ අකර්මණ්‍යත්වයයි. එක්තරා ආකාරයකින් රටට බෙහෙවින් අවශ්‍ය කොට තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය විවර වීම හැරුණු කොට, සිරිසේන-වික‍්‍රමසිංහ සභාගයේ වාර්තාව අසතුටුදායක ය. කිසි වැදගත් සංවර්ධන ව්‍යාපෘතියක් නැති, රාජපක්ෂ යුගයේ දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව කිසි ක‍්‍රියා මාර්ගයක් නොගත්, ජීවන වියදම පාලනය කිරීමට කිසි පියවරක් නොගත්, දිවා රෑ තිස්සේ කතා කළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන කිසිවක් නොකළ සහ ආණ්ඩුවේම දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් කිසි පියවරක් නොගත් ඉතිහාසයක් ඊට තිබේ. එහෙත් ඒ තත්වය වික‍්‍රමසිංහට පමණක් බැර කළ හැකි නොවේ. සිරිසේනත් ඊට එක හා සමානව වගකිව යුතුය.


දැන් සිරිසේනගේ නවතම නාටකය නිසා ශ‍්‍රී ලංකාව පාහර රාජ්‍යයක තත්වයට වැටී ඇත. එරට පාර්ලිමේන්තුව, බල කොල්ලයේ සහ අශිෂ්ටත්වයේ තෝතැන්නක් බවට පත්ව ඇත. රටේ ආර්ථිකය, විදේශ සබඳතා සහ ජනතා පරමාධිපත්‍යයත් බල්ලාට ගොස් තිබේ. ශ‍්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය ගැන නාට්‍යයක් රචනා කිරීමට විලියම් ෂේක්ස්පියර්ට කීවොත්, ඔහුගේ එම කෘතිය තුළ එන, අප වැනි සාමාන්‍ය මිනිසුන්ගේ මතකයේ රැඳී සිටිය හැකි එක් වාක්‍යයක් මෙසේ වනු ඇතැයි මට සිතේ: ‘‘ලංකාව රඟමඬලකි. එහි සිටින ගැහැනු පිරිමි කවුරුත් රඟපාති. ඔවුහූ වේදිකාවට පිවිසෙති. පිටව යති. එක් අයෙක් තමාගේ නෘත්‍ය කාලය තුළ භූමිකා කිහිපයක් රඟ දක්වයි.’’


 

ආචාර්ය සසංක පෙරේරා 


 

(2018 නොවැම්බර් 1 වැනි දා ‘ද අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ, ‘‘මෙහෙමත් රටක්, හැබෑටම’’ නැමැති මේ සමග අමුණා ඇති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.


‘‘ගෝලීය සමාජය ප්‍රජාතන්ත්‍රවාදය සමග ඉන්නවා‘‘ - අගමැති රනිල් NDTV ට කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය NDTV රූපවාහිනී නාලිකාව සමග අද (1) දිනයේදී මීට පැය කීපයකට පෙර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය.


එහිදී NDTV මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසූවේ, ‘‘අගමැතිධූරය පුරප්පාඩු නොවූ අවස්ථාවකදී දෙවැනි පුද්ගලයෙකු  ‍අගමැතිවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සමග මේ ගැන සාකච්ඡා කළා. මීට එරෙහිව  ජනමතය ඒකරාශී වී තිබෙනවා‘‘ යන්නයි. 


මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා බවට පත්කිරීම අද, ඊයේ සිදුවූවක් නොවන බව පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා පැවසුවේ,  ‘‘පසුගිය සති කීපය පුරාවටම මහින්ද රාජපක්ෂ හා ජනපතිවරයා අතර පක්ෂ දෙක ඒකරාශී වී ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙකු පත්කර ගැනීම ගැන කතාබහ ඇතිවුණා. මේක ඒ ඩීල් එකේ කොටසක් විය යුතුයි. මොකද, මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න බැහැ. ඉතිං මේක ඔවුන්ගේ ගනුදෙනුව විසඳෙන අන්දම විය යුතුයි‘‘‘


‘‘ගනුදෙනුව අහවර වුණා කියන්නේ රාජපක්ෂ මහත්තයා අගමැති වුණා‘‘ යනුවෙන් මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසන්නේ, ‘‘ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනපතිතුමා ජනාධිපති අපේක්ෂකයා බවට පත්වේවි‘‘ යන්නයි.


ගෝලීය සමාජය ප්‍රජාතන්ත්‍රවාදය සමග සිටින බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළ අතර මේ සිදුවීම පිටුපස ඉන්දීය රෝ සංවිධානයේ මැදිහත්වීම පවතීද ?  යන්න, වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට රනිල් වික්‍රමසිංහ ගත් උත්සහයත් සමග මෙවැන්නක් සිදුවීද ? යන්න, මුදලට විකිණෙන මන්ත්‍රී ධූර ගැන ද අගමැතිතුමා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.


රැඳී සිටින්න: ‘‘මහින්ද මැජික්’’

‘‘මහින්ද මාමා වෙතටයි,


මෛත්‍රී ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ දා පටන්, එවැනි හමුවක් සිදු නොවුණු බව ඔබ දෙන්නාම කී දා පටන්, මොකක් හෝ මරාලයක් කඩා වැටෙන්ට යන බවට යම් හැඟීමක් තිබුණා තමයි. ඒත් ඔබව අගමැති කරපු ආරංචිය මේ පාරාදීසයේ ඉන්න අපි හුඟ දෙනෙකුට ඇස් නිලංකාර කරන සිද්ධියක් වෙච්ච විත්තිය කියන්න  ඕනේ.



 

‘‘මේ විදිහට ආතක්පාතක් නැති වුණේ අපිට විතරක් නෙවෙයි ........‘‘


මේ විදිහට ආතක්පාතක් නැති වුණේ අපිට විතරක් නෙවෙයි. අර කොළ පාට මිනිහත් තවම කියනවා එයයි අගමැති කියලා, විශ්වාස භංගයක් ගේන්නේ නැතුව ඒ තානාන්තරෙන් එයාව අයින් කරන්න බැහැ කියලයි එයා කියන්නේ. ඒකෙත් ඇත්තක් තියෙන බව පේනවා. කොහොම වුණත්, දැන් අපිට අගමැතිලා දෙන්නෙක්ම ඉන්නවා.


පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගේ විශ්වාසේ තාම තියෙන්නේ තමුන්ට කියලා උන්නැහේ කියනවා. කැබිනට් මණ්ඩලය විසුරුවා ඇරලත් නැහැලූ. ඒත් මාමා කියන්නේ, අලූත් ඇමති මණ්ඩලයක් ඉක්මණින්ම පිහිටුවනවා කියලා. ග‍්‍රාම සේවකයෙකුට රටක් භාර දුන්නහම වෙන කොහොම වෙන්න ද?


මෛත‍්‍රී කරපු දේ ව්‍යවස්ථාවට පටහැනි ලූ. ඒක නිසා, අද රටේ ව්‍යවස්ථා අර්බුදයක්ලූ. ඒක වෙන්න පුළුවන්. ඒත් ඒ ගැන කවුරුවත් පුදුම වෙන්න  ඕනේ නැහැ. මොකද, මෛත‍්‍රී කියන්නේ, දුන්න පොරොන්දු ඔක්කොම කඩ කරපු මිනිහෙක් නිසා. මිනිහා මුලින්ම කළේ මාමට පිටිපස්සෙන් ඉඳලා ඇනපු එක. දැන් කොළ පාට මිනිහටත් එයා කිරිච්චිය බස්සලා.


වෙච්ච දේ වුණාවේ. මෛත‍්‍රී සහ මාමා ගැන බලන කොට, කාරණේ වුණේ කොහොමද කියන එක වැදගත් නැහැ. ශිරාණිව අගවිනිසුරු කමෙන් අයින් කරන්න ගත්ත තීරණය නිවැරදියි කියලා මේ මෑතකදීත් මාමා කියලා තිබුණා. පරමාර්ථය ඉෂ්ට වෙනවා නං, ඒක ඉෂ්ට කර ගන්නේ කොයි විදිහෙන්ද කියන එක මාමාට ප‍්‍රශ්නයක් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා.


හැම දෙයක් දැන් රඳා පවතින්නේ, කොළ පාට මිනිහාව අගමැතිකමේ තියා ගන්න තරම් මන්ත‍්‍රීලා ගානක් පාර්ලිමේන්තුවෙන් පෙන්නන්න කොළ පාට පක්ෂයට පුළුවන් ද කියන එක උඩයි. මේ අවුරුද්ද මුලදී, කොළ පාට මිනිහට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනත් කර ගත් හදියෙන් කිසි පාඩමක් ඉගෙනගෙන නැති අර මිනිහා, දැන් කිසි දෙයක් නොවිච්ච ගානට ඉන්නේ, රටේ මනුස්සයෝ දිනපතා මුහුණදෙන අඟහිඟකම් ගැනත් වගේ වගක් නැතිව වගේ.


දැන් ඔක්කොම තියෙන්නේ මාමාගේ අතේ කියලයි පේන්නේ. දැනටමත් අඩු ගානේ කොළ පාට මන්ත‍්‍රීලා දෙන්නෙක් මාමා ළඟට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් එක් කෙනෙක්, ජාතියේ පියාගේ මීමුනුබුරෙක්. මිනිහට කේන්ති ගිහිල්ලා තියෙන්නේ, කොළ පාට මිනිහගෙන් ඇමති කමක් නොලැබිච්ච නිසා. ඉතිං, ඇමති කමක් දීලා මිනිස්සු බා ගන්නත් දැන් මාමාට පුළුවන්.


‘‘අර පොලිස් ලොක්කා විරිත්තගෙන මාමට සැලියුට් ගහන හැටි නං පංකාදුයි....‘‘



අර පොලිස් ලොක්කා විරිත්තගෙන මාමට සැලියුට් ගහන හැටි නං පංකාදුයි. ගෝඨාවයි, මෛත‍්‍රීවයි මරන්න හිටියා කියන සිද්ධිය හරියට හොයලා බැලූවේ නැහැ කියලා මේ ළඟදී මාමා කියලා තිබුණේ මේ මිනිහා ගැන නේ ද ?. ඒකා බලන්නේ එදා වේල හොයා ගන්න එකක් ගැන වෙන්න ඇති. ඉස්සරහට තවත් ඒ වගේ අය හුඟාක් ඉන්න පුළුවන්.


මාම අගමැති වුණා කියලා මිනිස්සු ජය ඝෝෂා කළා. හුඟාක් තැන්වල රතිඤ්ඤා පත්තු කළා. එක පැහැදිළියි. ඒගොල්ලෝ මාමාගෙන් යමක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නිසා, ඉදිරි අවුරුද්දකුත් මාස හතරක කාලේ කරන්න යන මාමාගේ සැලැස්ම අපිට කියන්න  ඕනේ.


මාමාගෙන් වෙන්න පුළුවන් වෙනස්කම් දෙක තුනක් දැනටමත් මට හිතාගන්න පුළුවන්. මත්තල ගුවන් තොටුපොළ ආයෙත් ලාබ ලබයි. ඒ වගේම, මාමාගේ නමින්ම තියෙන වරායත් ලාබ ලබයි. පෙට‍්‍රල් මිල ‘සුටුස්‘ ගාලා පහළ බහියි. ජීවන වියදමත් එහෙමයි. ඊට පස්සේ අපි ඔක්කොම සතුටෙන් සනීපෙන් ඉන්නවා.


ඒ එක්කම මහජනතාවටත් දැන් ටිකක් සැනසිල්ලේ ඉන්න පුළුවන් වේවි. මොකද, දැන් මාමා බලේ ඉන්න කොට, දොස්තරලා හැරෙන හැරෙන පැත්තට වැඩ වර්ජන කරන එකක් නැහැ. පාදෙනියයි, එයාගේ සංගමයයි පූස් පැටව් වගේ ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අර සයිටම් ආයතනයත් මාමාගේ සොඳුරු මග පෙන්වීම යටතේ නැවත උපන්නොත් පුදුමයක් ද ?


‘‘මාමාට පැවරෙන මුල්ම රාජකාරිය මොකක්ද ? .........වැරදිකාරයෝ වෙච්ච අයට මෛත්‍රී ලව්වා සමාව අරගෙන දෙන එකනේ......‘‘


 

දැන් මාමාට පැවරෙන මුල්ම රාජකාරියක් වන්නේ, ඉස්සර මාමාගේ පැත්තේ ඉඳලා වැරදිකාරයෝ වෙච්ච අයට මෛත‍්‍රී ලව්වා සමාව අරගෙන දෙන එකයි. මාමාගේ හිටපු ලේකම් ලලිත්, ඥාණසාර හාමුදුරුවෝ, එතකොට අර දුමින්ද හාදයා වගේ අය ඔබේ පත්වීමෙන් පිනා යාවි. මොකද, තව වැඩි කාලයක් හිරේ තපින්න වෙන එකක් නැති නිසා.


 

‘‘මේ කපේට මාමාව අගමැති කරන්නේ නැහැ කිව්ව කෙනානේ එයා...‘‘



කොහොම වුණත් ඒක මාමාගේ සැලැස්මේ මුල් කොටස විතරයි. එහෙම නේද, මාමේ ? වැඩි කාලයක් මෛත‍්‍රීගේ ගෝලයෙක් විදිහට ඉන්න මාමාගේ කැමැත්තක් නැති විත්තිය මං දන්නවා. මේ කපේට මාමාව අගමැති කරන්නේ නැහැ කියලා දිවුරලා කිව්වෙත් ඔයා මිනිහා නේ. ඒ වගේම, ගිය සැරේ මාමා දින්නා නං, අඩි හයක් තමා පොළොව යටට යන්න තිබුණා කිව්වෙත් ඔයා මිනිහා නේ.


ඒක නිසා මාමේ, අපි දැන් බලාගෙන ඉන්නේ මාමාගේ ඊළඟ අදියර එනකල්. ඒ කියන්නේ, කොළ පාට මිනිසුන් ටිකක් බාගෙන, අපේ ව්‍යවස්ථාව වෙනස් කරගෙන, ආයෙත් සැරයක් අර ලොකු රස්සාව මාමා ගන්නකල්. එහෙම කර ගන්න බැරි වුණොත්, නිල් පාට පක්ෂේ බලය ආයි සැරයක් අරගෙන, මාමා වෙනුවෙන් ඊළඟ වාරේ තරෙඟට දුවන්න ගෝඨාව දා ගන්නකල්.


 

‘‘කොහොම වුණත් මාමේ, අපි ඔයාට ගොඩාක් වාසනාව ප‍්‍රාර්ථනා කරනවා..‘‘



කොහොම වුණත් මාමේ, අපි ඔයාට ගොඩාක් වාසනාව ප‍්‍රාර්ථනා කරනවා. මොකද, මේ වෙලාවේ මාමාට වැඩියෙන්ම තියෙන්න  ඕනේ, වාසනාව. හැමෝම කියන්නේ, කොළ පාට මිනිහා ඉවරයි කියලයි. ඒත්, ඇත්තටම දීර්ඝ කාලීනව ගත්තොත්, ඉවර වෙන්න ඉන්නේ අර මෛත්‍රී. දවසක දොර පෙන්නලා, බැහැපං දොට්ට කියලා මාමා කියපු දවසට, මිනිහා වෙනුවෙන් දුක් වෙන්න කිසි මිනිහෙක් ඉඳියි කියලා මං හිතන්නේ නැහැ.


 

 

ඔබේ ආදරණීය,


පුංචි පුතා


ප.ලි: නම්බුකාර විදිහට දේශපාලනෙන් විශ‍්‍රාම ගන්න වයස දේශපාලඥයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක මට හරි ප‍්‍රහේලිකාවක්. ඒ ගැන හිතන කොට, ඉස්සර හරියට ගැරහීමට ලක්වෙච්ච ජේ. ආර්. සහ කවුරුත් ආදරේ කරපු ඩී. බී. විතරයි ඒක දැනං හිටියේ. ඒත් මාමා එහෙම කොහොම කොරන්නෙයි ? නාමල් බේබිගේ කල වයස එනකල් අල්ලගෙන ඉන්නත් එපැයැ. එතකොට නේ රාජ වංශය පවතින්නේ, නේ ද මාමේ ?''


 

 

 

(2018 ඔක්තෝබර් 8 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Await: Mahinda Magic නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


 

 

 

අගමැති කවුද ? - ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකිද ?

අගමැතිවරයා පත් කිරීම


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.” යනුවෙනි.



 

 

අගමැතිවරයා ඉවත් කිරීම


අගමැතිවරයා ඉවත් කිරීම පිලිබදව කිසිදු ප‍්‍රතිපාදනයක් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත්ව නැත. නමුත්, අගමැතිධූරය හිස්වීම පිළිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(2) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව අගමැති ධූරය හිස්වන ආකාර 3ක් දැක්වේ.




  1. ඉල්ලා අස්වීම

  2. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු නොවීම

  3. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අවසන් වීම


අමාත්‍ය මණ්ඩයේ පැවැත්ම අවසන්වීම සිදුවන අවස්ථාවන්


මේ පිළිබද ප‍්‍රතිපාදන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 48(2) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අවසන් වන්නේ




  1. පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළ විටක

  2. ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ විටෙක


මේ අනුව පැහැදිලි වන්නේ 2018 ඔක්තෝබර් 26 වන දින වන විට අමාත්‍ය මණ්ඩලය විසුරුවා නැති බැවින් අගමැතිවරයා ගේ ධුරය හිස්ව නැති බවයි.


 


පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් කැබිනට් මණ්ඩලය විසිරෙන්නේද ?

 

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වන්නේ ජාතික ආණ්ඩුවේ නොවේ. ජාතික ආණ්ඩුව පිහිටුවන පාර්ලිමේන්තු යෝජනාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙනඑන්නේ 2015 සැප්තැම්බර් මස 2 වන දින වන අතර ඔහු අගමැති ලෙස පත්වන්නේ 2015 අගොස්තු මාසයේය. එම මාසයේම අමාත්‍යවරුන් කිහිප දෙනෙක් දිවුරුම් දෙන ලදී.


 

2015 සැප්තැම්බර් 2 වන දින යෝජනාවෙන් පොදුජන එක්සත් පෙරමුණ ඉවත් වූ විට සිදුවන්නේ ආණ්ඩුව 2015 සැප්තැම්බර් මස 2 වන දින යෝජනාවට පෙර තිබූ තත්වයට පත් වීම මිස විසිරීම නොවේ. කැබිනට් සාමාජිකයින්ගේ සංයුතිය වෙනස් කිරීමෙන් ආණ්ඩුවේ අඛණ්ඩතාවට බාධාවක් නොවන බව ව්‍යවස්ථාවේ 43(3) ව්‍යවස්ථාවේ දක්වා තිබේ.


 

‘‘ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.”


2015 ජනවාරි 9 වනදා සිදුවීම මේ හා සමානද ?


2015 ජනවාරි 9 වනදා වන විට මෙරට ක‍්‍රියාත්මක වූයේ 18 වන සංශෝධනය දක්වා සංශෝධන මගින් සංශෝධනය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි එහි අගමැතිවරයාගේ ධුරය අවසන් වන ආකාර 3ක් ඇත.




  1. ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම

  2. ඉල්ලා අස්වීම

  3. පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරය අවසන් වීම


 

නමුත්, වර්තමානයේ භාවිතා වන්නේ 19 වන සංශෝධනයෙන් සංශෝධනය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. එහි එවැනි ප‍්‍රතිපාදනයක් නොමැත.


එසේම 2015 ජනවාරි මාසයේදී හිටපු අගමැති ඉවත් කර නව අගමැති පත් කරන්නේ එය ජනාධිපතිවරණයේ මැතිවරණ පොරොන්දුවක් පරිදිය. එබැවින් ඒ සදහා ජනතා අනුමැතියක්ද පවතී. එසේම 2015 ජනවාරි 20 වන දින පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී මෙම අගමැති ධූරය කිසිවෙකු විසින් අභියෝගයට ලක් කලේ නැත. ඒ වෙනුවට නිමල් සිරිපාල සිල්වා මහතා ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස පත් කිරීම එහිදී සිදුවිය.


අගමැති ඉවත් කිරීම සදහා අර්ථ නිරූපන ආඥා පනතේ ප‍්‍රතිපාදන භාවිතා කළ හැකිද ?


අර්ථ නිරූපන ආඥා පනතේ 14(ඊ) වන වගන්තිය දක්වන්නේ යම් නිලධාරියකු පත්කළ තැනැත්තාට ට ඔහුව ඉවත් කිරීමේ බලය පැවරෙන බවයි. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පත්කිරීම් සම්බන්ධයෙන් මෙම වගන්තිය භාවිතා කල නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් පිළිගෙන ඇත. (එක් තීන්දුවක් නම් අතපත්තු එදිරිව මහජන බැංකුව(1997(1) ශ‍්‍රී ලංකා නීතිවාර්තා 208)(SC refarance-03/08)


එසේම එකී පනතේ සදහන් වන්නේ  ''නිළධාරියෙකු” ඉවත් කිරීමක් සම්බන්ධයෙනි. අගමැතිධුරය නිලධාරියකු නොවේ.


මෙම තත්වය නිසා ඇතිවන නීතිමය ගැටලූ




  • අගමැතිවරුන් දෙදෙනෙකු සිටීම මත නීත්‍යානුකූල භාවය පිළිබද සැකය

  • අමාත්‍ය මණ්ඩල පත් කිරීම ආදී නව අගමැතිවරයා පත් කිරීමට අදාල ආනුශංගික කරුණුවල නීත්‍යානුකූලභාවය පිළිබද සැක මතුවීම (අමාත්‍ය මණ්ඩලය පත් කිරීම / ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා නියෝජනය වැනි)

  • ජනාධිපතිවරයා භාරයේ පවතින අමාත්‍යංශවල හැර අනෙක් අමාත්‍යංශවල නිලධාරීන්ට කටයුතු කිරීමේදී අමාත්‍යවරයාගේ අණ පිළිපැදීමේදී ඇතිවන අපැහැදිලිතා.


 


මෙම ගැටලූව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳාගත හැකි ද ?


මේ පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි අවස්ථා කිහිපයක් ඇත. එනම් මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ ජනාධිපතිවරයා විසින් අධිකරණයේ මතය විමසීමක් වශයෙනි. සමහර විට අභියාචනාධිකරණයේ රිට් ආඥාවක් ඉල්ලිය හැකිවුවත් මෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපනයක් පවතින බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවනු ඇත. එවැනි අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදිය හැකි තීරණ 3කි.


 

  1. අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකග බවට තීරණය කිරීම

  2. අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කිරීම

  3. පෙත්සම නිශ්ප‍්‍රභා කිරීම


 

මෙම තීරණ 3න් කුමන තීරණය දෙනු ලැබූවද  ආණ්ඩුවේ පැවැත්ම තීරණය වන්නේ ආසන්තම දින පැවැත්වෙන පාර්ලිමේන්තුවේදීය. එහිදී බහුතර බලය පෙන්විය හැකි පුද්ගලයාට අගමැතිධුරය ලබාදිය යුතුය.


 

 

හොරා පොලිස් පොලීසිය හා අගමැති

අගමැතිතුමා -  පොලිස්පති ගැන කියන්නේ මොනවද ? 

සිය නොපනත්කම් නිසා මහජන මතය හමුවෙහි කුජීත වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දරට තමා ස්තුතිවන්ත වන්නේයැයි අගමැති වික්‍රමසිංහ කියා තිබුණේ පසුගිය 29 දා වනාතවිල්ලුවෙ හි පැවැති රැස්වීමක දීය.


පූජිත ජයසුන්දර පොලිස්පතිකම ලබා ගැනීමට බෝධිපූජා පැවැත්වූ දිනයේ සිටම  නොගැලපෙන අජූත දේ කිරීමට ඇති සිය හපන්කම පෙන්වා තිබේ. තනතුරක් ලබා දෙන සේ බෝධියකට පුද පූජා කිරීම බුදු දහමට පමණක් නොව නීතියේ පාලනයට පටහැනි නොපනත්කමකි. පසුගිය දාක පාසලකට ගොස් නටන ලද නෙයියාඩමම පූජිත අපූජිත කිරීමට ප්‍රමාණවත්ය. සිය නොපනත්කම් නොසලකා  ජූජිත ජයසුන්දර අපූරුවට දිගටම සිය ධුරයේ වැජඹෙයි. ඊට එක් හේතුවක් වික්‍රමසිංහගේ ප්‍රශංසාවෙන් දැක ගත හැක. වික්‍රමසිංහට පුජිත ජයසුන්දර අවශ්‍ය ය.


වික්‍රමසිංහවාදී ජනමාධ්‍ය පූජිතගේ හපන්කම් ගැන කියන්නේ නෑ 

ශ්‍රී ලංකාවේ මෙවැනි නිලධාරීන්ගේ දේශපාලනය තේරුම් ගැනීමට එක් අපූරු ක්‍රමයක් තිබේ. එනම් ඔහු විවේචනය කරන්නේ සහ ඔහු ආරක්ෂා කරන්නේ කුමන ජනමාධ්‍යදැයි, විශේෂයෙන්ම කුමන වෙබ් අඩවි මගින්දැයි විමසා බැලීමයි. රනිල් වික්‍රමසිංහවාදී කිසිිම මාධ්‍යයක් පූජිත ජයසුන්දරගේ නොපනත්කම් විවේචනයට ලක් කරන්නේ නැත.


පූජිත ජයසුන්දර යටතේ පොලීසිය පත්ව ඇති තත්වය ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාවෙන් තවත් පැහැදිලි වෙයි. මේ කුමන්ත්‍රණය හෙළි කරන ලද තැනැත්තා පොලීසියට ඔත්තු සපයා මුදල් සොයා ගන්නා ඔත්තුකරුවෙකි. ඒ අතරවාරයේම ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද වැටුප ලබා ගෙන තිබේ. ඔහු ජනපති යටතේ පවත්නා මත්ද්‍රව්‍ය නිවාරණ බලකායේ වැටුප් ලබන සේවකයෙකි. පොලීසිය සිය ඔත්තුකරුවකු ලෙස යොදා ගෙන ඇත්තේ ජනපති යටතේ වැටුප් ලබන සේවකයෙකි. කොපමණ අගයක්ද ?


වික්‍රමසිංහවාදී ජනමාධ්‍ය පූජිතගේ හපන්කම් ගැන කියන්නේ නෑ 

මෙම ක්‍රමන්ත්‍රණය ගැන පොලීසිය කළ පරීක්ෂන මගින් තෝමස් නම් ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගෙන මහත් ප්‍රසිද්ධියක් දුන්නේ ය. මේ ඉන්දීය ජාතිකයා ඉන්දීය රෝ නම් ඔත්තු සේවායෙහි නියෝජිතයෙකු යැයි ජාතික යැයි කියා ගන්නා පුවත්පත් පවා වාර්තා කළෝය. නමුත්, ඉන්දී‍ය පොලීසිය වාර්තා කළේ මේ පුද්ගලයා දීර්ඝ කාලයක් මානසික ආබාධයකින් පෙළෙන බවයි. ජනපති ඝාතනයට ඉන්දීය ජාතිකයාද සම්බන්ධ යැයි මාධ්‍ය වාර්තා කළේ පොලීසිය කීවා යැයි කියමිනිපොලීසිය එවැනි තොරතුරු මාධ්‍යට ලබා දෙන්නට ඇතැයි විශ්වාස නොකාරීමට හේතුවක් නැත. තවමත් ඒ මිනිසා සිරභාරයේ ය‍. ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන පොලිස් ඔත්තුකරුවකු හා එක්ව ඉන්දීය රෝ ඔත්තු සේවය ඒ ජනපතිම ඝාතනය කරන්නට උගුල් ඇටවූයේ යැයි සිහ මොළයක් ඇති අයකු කල්පනා කරනු ඇත්ද ?


දැන් වාර්තා වන්නේ මෙම කුමන්ත්‍රණයට අදාළ යැයි කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම ඔහු සමඟ අමානාපකම් තිබූ වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුද මෙම කුමන්ත්‍රණ නාටකයෙහි ප්‍රධාන චරිතයක් බවයි. පොලිස්   ඔත්තුකාර ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයා සමඟ මෙකී දෙවැනිව කී නියෝජ්‍ය පොලිස්පතිවරයාද සම්බන්ධ බව කියනු ලැබේ.


ඊටත් වඩා කුතුහලය දනවන පරිච්ඡේදය වන්නේ පළමුව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදල් ඉපයීම පිණිස මත්කුඩුු ජාවාරම්කාර පතාල නායකයින් සමඟ සමීප සබඳතා පැවැත් වූ බව වාර්තා වෙන්නට පටන් ගෙන තිබිමයි. මෙවැනි එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු මිනී මරා දැන් ඉන්නේ මහ උළු ගෙදරය. ඔහු මිනී මැරුවේද කප්පම් ගන්නටය.


මේ සියල්ල සිදුවන්නේ ඔහු විසින් පොලීසියේ සේවකයකුට පහර දෙනු වීඩියෝ ගත වූ පොලිස්පති ජයසුන්දර යටතේය. දැන් අගමැති වික්‍රමසිංහ රටේ අපරාධ අඩු කර ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්නේ අන්න ඒ පොලිස්පතිවරයාට ය‍.


අලි මදිවාට හරක් කීවා සේ දැන් පූජිත ජයසුන්දර ද කියන්නේ මෙම ක්‍රමන්ත්‍රණය ගැන හෙළි කරන්නට තමා ළඟද කරුණු තිබෙන බවයි. එවැනි කරුණූ තිබේ නම් සඟවා ගෙන සිටීම පොලිස්පතිවරයකුට සෑහේ ද ?


ජයසුන්දර නිහඬ ඇයි  

ඔහු යටතේ අපරාධ මර්දනය කොතරම් හොදින් සිදුවන්නේ ද යත් යාපනයේ නීතිය හා සාමය රැකීමට යුද හමුදාවට විශේෂ බලතල දීම ගැන කල්පනා කිරිමට පවා ආණ්ඩුවට සිදුව තිබේ. පොලිස්පති පූජිත තක්කඩි පට්ට හොරෙක් සහ පොලිස් ඉතිහාසයේ ලොකුම දූෂිතයා ඔහු යැයි වාචාල විපක්ෂ දේශපාලනඥකු ප්‍රසිද්ධියේ කීවේ බොරු නම් තමන්ට නඩු පවරන ලෙස අභියෝග කරමිනි. ජයසුන්දර නිහඬ ය. එවැනි චෝදනා හමුවෙහි පිළිතුරු බැදීමට බැරි පොලිස්පති කෙනෙකු ඇති පොලීසිය කුමක්වනු ඇත්ද ?


මෙරට පොලීසියේ යහපත් විනය ගරුක නිලධාරීන් සිටින බව ඇත්තය. නමුත් ඔවුන්ට තැනක් නැත. නමුත් කණගාටුවතට මෙන් තැනක් ඇත්තේ ජයසුන්දර වර්ගයේ නිල ඇඳුම් හැදි කෝළම් දේශපාලනඥයින්ට පමණි. පොලිස් සේවයේ පිරිහීිම රටක නීතියේ පාලනය පිරිහීමකි. පොලිස් සේවය බාරව සිටින ඇමැතිවරයා ගැන අහන්නට ලැබෙන්නේ කප්පරකට වරක් ය. ඔහු අද සිටින දුර්වලම සහ වැඩකටම නැති ඇමැතිවරයෙකි.


ගෝඨාභයගේ අළුගෝසුවා

ගෝඨාභය රාජපක්ෂට සිටි අළුගෝසුවකු ගැන රාජපක්ෂ කඳවුරෙන්ම දැන් හෙළිදරව්වක් සිදුව තිබේ. මේ හෙළිදරව්ව කරන්නේ උග්‍ර රාජපක්ෂවාදියකු වන  කේ. ටී. රාජරත්නම් නම් මාධ්‍යවේදියෙකි. ඔහු ඒෂියන් ට්‍රිබියුන් නම් එතෙර සිට පවත්වාගෙන යන වෙබ් අඩවියේ කතුවරයා ය. 


2012 වසරෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය බිය වැද්දවීමට එවූ රාජපක්ෂ සේනාවෙහි කේ.ටී. රාජරත්නම්ද සිටියේ ය. පාප් වහන්සේ බැහැ දැකීමට ජනාධිපති රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ ගිය අවස්ථාවට රාජරත්නම් ද එක් වූ බව කියනු ලැබේ.


දැන් ඔහු විසින් යාපනයේ සිට ලියන ලද ලිපියකින් කියන්නේ මේජර් ජෙනරල් මහින්ද හතුරුසිංහ ගෝඨාභයගේ ශ්‍රී ලංකාවේ අළුගෝසුවා බවයි. අසනීප වී යුද හමුදා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි එම ජෙනරල්වරයාට සිදුවූයේ දෙවියන් විසින් දඩුවම් පැමිණ වීමකැයි මහින්ද රාජපක්ෂ අනුගාමික රාජරත්නම් පවසයිහතුරුසිංහ බරපතල ලෙස අසනීප වීම ගැන රාජරත්නම් කතා කරන්නේ සතුටිනි.


සිය ලිපියෙහි රාජරත්නම් පවසන්නේ මේජර් ජෙනරල් හතුරුසිංහ යාපනයේ හින්දු කෝවිල් වැනසූ බවය. පැහැර ගැනීම් සිදු කළ බවය. දෙමළ ජාතිකයින්ට වදහිංසා පමුණුවා ඝාතනය කළ බවය.


2010 සිට 2014 දක්වා යාපනයේ ආරක්ෂක හමුදා සේනාධිපති වූ හතුරුසිංහ යාපනය පුරා භීම සමයක් ඇති කළේ යැයි ද රාජරත්නම් චෝදනා කරයි. 2017 දී ‘යහපාලන’ ජනාධිපති විසින් මෙම යමපල්ලා යුද හමුදා මූලස්ථානයෙහි කැප්ටන් ජෙනරාල් වශයෙන් උසස් වීමක් දෙන ලද බවද ඔහු කියා සිටී.


කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි පාවිච්චියට ගත හැකිව තිබූ යන්ත්‍රෝපකරණ අබිලි දුව්‍ය ලෙස කුණු කොල්ලයට විකිණීමට ද හතුරුසිංහ සම්බන්ධ බව දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් විය. ඔහුට විරුද්ධව ජනාධිපති සිරිසේන කිසිදු පියවරක් ගත්තේ නැත.


1983 කළු ජූලිය අවස්ථාවෙහි වැලිකඩ සිරගෙදර ආරක්ෂාව බාරව සිටියේ ද මෙම හතුරුසිංහමය යැයි කියනු ලැබේ.  සිරගෙදර තුළ රඳවා සිටි දෙමළ සැකකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දරුණූ තුවාල ලබා සිටි පිරිස් රෝහලට ගෙන යාම එකී යුද හමුදාව විසින් ප්‍රතික්ෂේප කළ බව ද සාක්ෂි සහිතව වාර්තා වී තිබේ.


රාජපක්ෂ අනුගාමික රාජරත්නම් කරනු ලබන මෙම චෝදනා යුද අපරාධ ගණයට වැටෙන ඒවාය. ගෝඨාභයගේ අලුගෝසුවා විසින් යුද අපරාධ කළ බවට හදිසියේම රාජපක්ෂ අනුගාමික රාජරත්නම් ප්‍රකාශ කිරීම පිටුපස වෙනත් හේතු තිබිය හැකිය. එ් කෙසේ වෙතත් ඔහුගේ හෙළිදරව්ව යුද්ධයේ නාමයෙන් සාමාන්‍ය ජනයා මරා දමන ලද බවට තවත් සාක්ෂියකි.


(2018. 10.07 දින රාවය පුවත්පතේ පළවූවකි)


සුනන්ද දේශප්‍රිය