සිරිසේන ගේ ඉරණම හා රටේ ඉරණම

අසේල සිරිවර්ධන


සිරිසේන ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 දින හදිසියේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගර්හිත කරවන ආකාරයට ගත් තීන්දුව හා එහි විපාක ඇති කරන්නේ පුද්ගලිකව මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමවින්හට හෝ එහිදී පිල් රැකගත් හෝ පිල් මාරු කළ කිහිප දෙනෙකුට පමකන් නොවේ, මුළු රටට ම ය. මහින්ද රාජපක්ෂ දිවුරුම් දීම, රනිල් වික්‍රමසිංහ සිරවීම හා 19 සංශෝධනය ගර්හිත කරවීමේ තැත් නිසා ඇතිවන විපාක 1982 කුප්‍රකට ජනමතවිචාරණය තරම්ම අහිතකර බලපෑම් රටට එල්ල කරණු නිසැකය.


දැනටමත් පෙනෙන අන්දමට ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ආරක්‍ෂිත නොවෙන බව ලොව සැම තැනම ප්‍රචාරය වී ගොසිනි. ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති සමග එක්ව කළ කුඩා සෙල්ලම මේ වනවිට ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ලෙස අන්තර්ජාතික වශයෙන් හංවඩු ගැසී අවසානය, දේශීය වශයෙන් රජයේ හා පුද්ගලික මාධ්‍ය ජනතාවට කුමක් කීවත් ‘කුමන්ත්‍රණය’ ඉදිරි වසර කීපය පුරාම ශ්‍රී ලංකාවේ නම සමග එකම වාක්‍යයේ යෙදීම ජනපතිට හෝ හිටපු ජනපතිට හෝ ඔවුන්ගේ තක්කඩි න්‍යායාචාර්ය කැලතට හෝ වැළැක්විය නොහැකිය.


ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හරිමින් අසමත් වූ සිය ප්‍රධාන සැලසුම වන මහින්ද-සිරිසේන ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවට අතුරු සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ අන් සියලු අගතීන් අතරේ වුවද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයක් අතර සදාචාරයේ ඉතුරු-බිතුරු හෝ ඇති බව පෙන්වමින් ඔහුට බහුතරය අහිමි කරවමිනි. ඔහු බහුතරය හදා ගැනීමට අසමත් වූ බවත්, මන්ත්‍රී වරුන්ට පැති මාරුවට දුන් අල්ලස බිලියන භාගයක් දක්වා ඉහළ ගිය බවත් 11 වැනිදා ජනාධිපතිවරයා ගේ අව්‍යක්ත හා වාගාඩම්බරයන් ගෙන් වැසී ගිය ප්‍රකාශය මගින් එළිදරව්විය.


ඔහු සුපිරි වර්ගයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස නම් කරමින් නොසන්සුන් මොහොතක, අකාලයේ කැඳවන මහමැතිවරණය මගින් පෙන්නුම් කරන්නේ ඔහු ක්‍රියා පටිපාටි, ස්වාධීන කොමිෂන් සභා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාදායකය, අධිකරණය ආදී ශිෂ්ට බවේ සියලු සංකේතයන් නොසළකා හරිමින් කටයුතු කරන බවයි. එය වැඩිදුරටත්, මහජනයාගේ ඇඟේ ගැසූ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය. එමගින් රට අස්ථාවර කරමින්, ආර්ථිකය කඩා වැටීම, විදේශ ණය වාරික ගෙවීමට අසමත් වීම, ආයෝජන රට හැර යෑම වේගවත් කෙරුණි.


1982 ජේ ආර් ජයවර්ධන මැතිවරණ සිතියම ඇකිලීමට ගෙන ආ ජනමතවිචාරණය ද පෙනුණේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවක් ලෙසිණි. එහිදී ඔහු තිබුණු ආණ්ඩුවේ කාලය දිගුකළේය. නමුත් සමාන්තරව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් හා ක්‍රියාවලීන් අවුල් කරමින් ඔහු ගත් එම පියවර නිසා රටේ ‘අත්තනෝමතිකබව’ වීරත්වයක් ලෙස කුලුගැන්වුනි. එම අවුරුද්දෙම (මේ මොහොතේ සැඟවී ක්‍රියාත්මක වන) අධිකරණය බියගැන්වීමේ ක්‍රියාව විනිසුරුවන්ගේ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම හා ඒවාට ගල් ගැසීම දක්වා දුරදිග ගියේය. එම සිදුවීම් කූටප්‍රාප්ත කිරීමට කුප්‍රකට නැක්සලයිට් කුමන්ත්‍රණය හා ජනපති ඝාතන තැත ඉදිරියට ගෙනවිත් විජය කුමාරතුංග හිර හිරීම මගින් සිය ක්‍රියාව සාධාරණීකරණය කිරීමට ඔහු උත්සාහ කළේය. විමසිල්ලෙන් බලන කෙනෙකුට එම ඉතිහාසයම පෙළගැස්ම වෙනස්ව නැවත සිදුවෙමින් පවතින බව පෙනී යනු ඇත.


ඒ සියල්ලෙන් ම සිදුවුණේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේත සියල්ල ගැන මහජන විශ්වාසය භංග වී යාමයි. ජේ ආර් ජයවර්ධන සඟවා කළ දෙය මෛත්‍රිපාල සිරිසේන එළිපිට කරණ බවයි. 1982 ඉහත සිදුවීම් වල කුටප්‍රාප්තිය වූයේ 1983 ජාතිවාදී කෝලාහල කිරීමට සිරිල් මැතිව්ට හා ඔහුගේ කණ්ඩායමට අවිචාරාත්මක අවකාශයක් විවෘත වීමයි. (සිරිසේන සමග සිරිල් මැතිව් ලා ගණනාවක් සිටිති). එනිසා ඉන්දියානු මැදිහත්වීමද, 1988-89 ජවිපෙ කැරැල්ලද එම සිදුවීම් දාමයේ ම ඉදිරි විපාක ලෙස ලක් සමාජය මත පාත් විය. එකල බලයේ සිටිමින් මේ සිදුවීම් වලට අත එසවූ රනිල් වික්‍රමසිංහ මෙකල එක්තරා අන්දමක වින්දිතයෙක් වීම සරදම් සහගත තත්වයක් වුවත්, මෛත්‍රිපාල සිරිසේනගේ හා මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් එයින් සාධාරණී කරණය නොවන්නේ ඔවුන් පෙනී පෙනී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බැවිණි. ඉහත සමීකරණයට අලුතෙන් ඇතුල්ව ඇති සමාජ මාධ්‍ය මගින් එම යුක්තියුක්ත නොවෙන ක්‍රියාවන් සාධාරණීකරණය කරන ආධානග්‍රාහීන් තමන් උඩගෙඩි දෙන ‘අත්තනෝමතික’ බවේ ඉදිරි විපාකයන්ට වගකීමට, තමන්ට ද එලෙසම සිදුවන බව සිහියේ තබා ගත යුතුය.


තවද තම ක්‍රියාවන්ගෙන් සිරිසේන ජනාධිපති වරයා අපේක්ෂා කළ අන්දමේ ප්‍රතිඵල නොලැබෙන බව මේ වන විට සහතිකය. ඔහුට සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ගේ පසුපස යාමට මිසක රාජපක්ෂලා මෙහෙයවීමට නොවේ. ඔහුගේ 2020 ජනාධිපති සිහිනය, 113 සාදා ගැනීමට ඔහුගේ නොහැකියාව නිසා අවලංගු වී ගියේය. දැනටද මහින්ද රාජපක්ෂ හා ඔහු අතර ආරක්ෂක පළිහක් ලෙස ක්‍රියා කරන්නේ 19 වන සංශෝධනය බව තේරුම් නොයනවා නම් ජනාධිපති සිරිසේනට කිසිදු විකල්පයක් ඉතුරු නොවෙනු ඇත. ඔහුගේ වලංගුභාවය පවතින්නේ මැතිවරණ තරඟ ලැයිස්තු හදන තෙක් පමණි. ඉන්පසුව ඔහුට අපකීර්තිමත් ලෙස විශ්‍රාම යාමට සිදුවනු ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක දුරදිග නොබලා 1970 ආණ්ඩුවේ කාලය අවුරුද්දකට දිගු කරගත් නිසා ශ්‍රීලනිපය පමණක් නොව ඔවුන් හා සම්බන්ධ සියලු බලවේග අවුරුදු 17කට අවලංගු වී ගියේය. මෛත්‍රිපාල සිරිසේන දුරදිග නොහිතා කළ ක්‍රියාවේ ප්‍රතිඵල ලෙස ශ්‍රී ලංකාවේ ඉරණම කොතැනකට යොමු වී ඇත්දැයි දන්නා දෙවියෙකු වත් ඇත්දැයි සිතිය නොහැකිය.


මේ ලිපිය පළ වනවිට අධිකරණය සිය ඓතිහාසික තීන්දුව ප්‍රකාශ කර තිබීම නිසා රටේ ඉරණම වෙනස් වී තිබිය හැකිය. එයින් ඔක්තෝබර් 26 දින ට පෙරළා යා හැකි බවක් කියවේ නම් ඉදිරියේ ඇතිවිය හැකි දුර්විපාක තරමක් දුරට හෝ අඩු කර ගත හැකි බව අවසානයේ සටහන් කළ යුතුය.