'අපිට අ‍පේ ඉරණම සම්පූර්ණයෙන්ම පිළිගන්නට බැහැ' - කසුවෝ ඉෂිගුරෝ

 



මතකයන්. ඔබේ වටිනාම මතකයන් පවා පුදුම සහගත ලෙස ඉක්මනින් මැකී යනවා. නමුත්, මම ඊට එකඟ වෙන්නේ නැහැ. මම වඩාත්ම අගය කරන මතකයන්, ඒවා කිසිදා මැකීයනු මට නොපෙනේ.’

(Never Let Me Go, කසුවෝ ඉෂිගුරෝ)

 


සිය හය වන නවකතාව වූ Never Let Me Go හරහා ජනාදරයට හා පසුකලෙක නොබෙල් සම්මානයට ද පාත්‍ර වුණු කසුවෝ ඉෂිගුරෝ (Kazuo Ishiguro), මේ නවකතාව රචනා කර 20 වසරක් සපිරෙන විටදී The Guardian සමග පිළිසඳරකට එක්වෙමින් පවසන්නේ,  

‘මා පාඨකයින්ගේ සංවේදනා උත්ප්‍රේරිත කිරීමට ඇති බලය ගැන වඩාත් සුපරික්ෂාකාරී වෙනවා.  මට නොබෙල් සම්මානය ප්‍රදානය කරපු අවස්ථාවේදී ඒ ගැන පැවසුවේ, ‘සංවේදනාත්මකව බලවත්’ වගේ වැකියකිනුයි. මගේ ලේඛන වෘත්තිය සාධාරණය කළේ එහෙමයි. මගෙන් ඉතිහාසය ගැන වැඩි යමක් ඉගෙන ගන්න ඔබට නොහැකි වේවි. ඒකට ඉතිහාසඥයෙන් ළඟට යන්න සිද්ධවෙනවා. කෙ‍ාහොම වුණත්, නවකතාකරුවෙකුට පුළුවන් චිත්තවේගීය මානය සපයන්නට. හොඳින් පර්යේෂණ කර ලේඛනගත කර ඇති නමුත්, ප්‍රබන්ධ ‍නොවන පොත්වල ‍නැති, යම් ආකාරයකට චිත්තවේගීය සත්‍යයක් අපි ඉදිරිපත් කරනවා’ යන්නයි.

Never Let Me Go පිළිබඳ ස්මරණය කරන ඉෂිගුරෝ පවසන්නේ, ‘අපිට අ‍පේ ඉරණම සම්පූර්ණයෙන්ම පිළිගන්නට නොහැකියි. අපි ජීවිතයේ විශේෂ කාලපරිච්ඡේද ගැන බලාපොරාත්තුවෙන් ඉන්නේ දිගටම ජීවත් වෙන්නට කැමති නිසා පමණක් නෙවෙයි. මරණය සමඟ එන දුක, වේදනාව හා තනිකමට මුහුණදීමේ වුවමනාවක් අපිට නැති නිසයි. ආදරණීයයන් අහිමිවීම ගැන වගේම වෙන්වෙන්නත් අපි බිය වෙනවා.  

මට ප්‍රංශසා ලැබී තිබෙන්නේ මගේ සුවිශේෂී ශෛලිය හෝ ප්‍රබන්ධ හරහා ‍‍‍ලෝකයේ විශාල අයුතුකම් අනාවරණය කළ නිසා නෙමෙයි. සාමාන්‍යයෙන්, මිනිසුන්ව හඬවන නිර්මාණ සිදුකිරීම වෙනුවෙනුයි. ඔවුන් ඒකට මට නොබෙල් ත්‍යාගයත් ලබාදුන්නා’යන්නයි.


The Guardian ඇසුරිනි




වින්ධ්‍යා ගම්ලත්