‘ඔබතුමාගේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටියි‘ජනාධිපති වෙත සන්දේශයක්


– විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

ශ‍්‍රී ලංකාව සිය ආකර්ෂණීය සමාජ දර්ශක පිළිබඳ නිදහස ලැබූ දා සිටම ලබන ගෞරවය හා අගයකිරීම් ලැබුණේ මූලික ආයතන දෙකක් ස්ථාපිත කිරීම හා ආරක්ෂා කිරීම නිසාය. ඒ මූලික ආයතන දෙක වූකලි නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපන සේවයයි. මේ අංශ දෙක නිසා කිසිම කෙනෙකුට වෙනස්කම් කිරීමක් නොමැතිව මූලික අයිතිවාසිකම් දෙකක් ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලංකාවට හැකි විය. සංවර්ධිත යැයි ප‍්‍රසිද්ධ රටවල්, තමන්ගේ ධනවත්බව කෙසේ වෙතත්, මේ නිදහස් සෞඛය හා නිදහස් අධ්‍යාපනය යන ඉලක්ක දෙක සපුරා ගැනීමට තවමත් තැත් දරමින් සිටියි. ඒ නිසා අප ලබා ඇති මේ විශිෂ්ට ජයග‍්‍රහණය කවර තරමේ මිලක් ගෙවා හෝ ආරක්ෂා කර ගත යුත්තකි.

එහෙත් ඔබතුමාගේ නායකත්වය යටතේ පවතින වර්තමාන ආණ්ඩුව නිදහසින් පසු ලංකා සමාජයේ එක් වැදගත් ස්ථම්භයක් වන නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටින්නේ යැයි පෙනී යන බව අප නිරීක්ෂණය කරන්නේ ඉතා කණගාටුවෙනි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හැටියට අපගේ අරමුණ වන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉතා වැදගත් ආයතනයක් වන විශ්ව විද්‍යාල පද්ධතියට සිදු කරමින් තිබෙන හානිය වෙත ඔබගේ අවධානය යොමු කිරීමයි. මෑතකදී ඉසෙඞ් ලකුණු ආන්දෝලනයෙන් ප‍්‍රකාශයට පත් වූ පරිදි ප‍්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනයේ සිදු වී ඇති පරිහාණිය පිළිබඳවද අප ඉමහත් සේ කණගාටු වන නමුත් මේ අවස්ථාවේදී අප අවධානය යොමු කරන්නේ රාජ්‍ය අංශය යටතේ පවත්නා තෘතීය අධ්‍යාපනය පිළිබඳවය.

ඔබේ ආණ්ඩුව හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සහයෝගය දැක්වීමේද, විශ්ව විද්‍යාලවල ස්වෛරීභාවය විනාශ කිරීමේද, සෙමින් නමුත් නිසැක ලෙසම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ කාර්යක්ෂම ක‍්‍රියාකාරිත්වය විනාශ කිරීමේද අරමුණින් යුතුව සිටින්නේය යන්න ඉතා පැහැදිලිව ප‍්‍රකාශට පත් කර ඇත. ඒ නිසා අප පහත සඳහන් කරණු නිරීක්ෂණය කරන්නේ දැඩි සැලකිල්ලකින් හා සාංකාවකිනි:

  • අධ්‍යාපනය සඳහා කෙරෙන ආයෝජනය පහත යාම (ලංකාවේ එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 2% දෙකක් වන අතර එය බොහෝ සංවර්ධනය වන රටවලටද ඇතැම් උපසහරානු අප‍්‍රිකානු රටවල් වැනි ලෝකයේ දුප්පත්ව රටවලටත් වඩා අඩු ප‍්‍රතිශතයකි.)
  • විශ්ව විද්‍යාලවල පුනරාවර්ථන වියදම් වෙනුවෙන් වෙන් කෙරෙන ප‍්‍රතිපාදන කප්පාදු කිරීම (සමහර අවස්ථාවල එය 30% දක්වා කප්පාදු කොට ඇත) .
  • පිළිගත් විශ්ව විද්‍යාල පටිපාටීන් උල්ලංඝනය කරමින් තෘතීය අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා වෙන් වූ මුදල් හමුදා කඳවුරුවල පැවැත්වෙන ඊ නියා නායකත්ව පුහුණුව වැනි අමාත්‍යංශයේ අනුග‍්‍රහය ලබන වැඩසටහන්වලට යොමු කිරීම
  • සීඅයිඑම්ඒ( cima) වැනි පෞද්ගලික ආයතනවලට සහනාධාර සපයමින් විශ්ව විද්‍යාල පද්ධතිය වෙත එන්නට පහසුකම් සැපයීම
  • විශ්ව විද්‍යාලවල ඉතා සුළු දෛනික කටයුතුවලට පවා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වෙමින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කිරීම
  • විශ්ව විද්‍යාල ශිෂ්‍ය කි‍්‍රයාකාරකම් අසාධාරණ ලෙස මර්දනය කරමින් ශිෂ්‍ය ප‍්‍රජාව තුළ පැතිරුණු ආතතියක් නිර්මාණය කිරීම
  • යම් යම් ශිෂ්‍ය කණ්ඩායම් අනෙකුත් ශිෂ්‍ය කණ්ඩායම්වලට එරෙහිව මතු කිරීම මගින් ශිෂ්‍යයන් අතර හිංසනය ඇති කිරීම

නිදහස් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ බියගෙන දෙන මෙම වර්ධනයන් වූකලි නිදහස් අධ්‍යාපනය සහතික කිරීමත්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය වර්ධනය කිරීමත් පමණක් නොව ලංකාවේ ආසියාවේ දැනුම් කේන්ද්‍රය කිරීම පිළිබඳවත් වන මහින්ද චින්තනයේ අරමුණු සමග ගලපාලිය හැකි වර්ධනයන් නොවේ. එසේම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ආණ්ඩුවේ අනුමැතිය පවා නැතිව ක‍්‍රියාකරන හිතුවක්කාරී ආකාරය අපට කෙලෙසකවත් තේරුම්ගත නොහැකි තත්ත්වයකි. එසේම ඇමතිවරයා ක‍්‍රියා කරන්නේ විධායකයේ හා කැබිනට් මණ්ඩලයේ සහායෙන් තොරව නම් එය ඉතාමත් භයානක තත්ත්වයක් වන අතර එය වහාම නිවැරිදි කිරීමට ඔබතුමා අපේක්ෂා කරන බවට අපට සැකයක් නැත.

රටෙහි සුබසිද්ධිය වෙනුවෙන්ද, අප රටෙහි විශිෂ්ට උරුමයන්ගෙන් එකක් වන නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ අරමුණින්ද, ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ අපි ඔබගේ කාරුණික සළකා බැලීම පිණිස පහත සඳහන් නිර්දේශ යෝජනා කරමු:

x ඊ ළඟ අවුරුදු දෙක තුළදී අධ්‍යාපනය වෙනුවන් වන රජයේ වියදම් දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% දක්වා වැඩි කිරීමට කි‍්‍රියා මාර්ගයක් සකස් කරන්න

x අධ්‍යාපනයට සම්බන්ධ සියලූ කොටස්කාරයන් හා මහජනයා සමග සාකච්ඡා කර අදහස් හුවමාරු කර ගැනීමේ නිසි ක‍්‍රියාවලියක් ක‍්‍රියාවට දමන තුරු දැනට කරගෙන යන සියලූ උසස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ නවත්වන්න.

x රාජ්‍ය ප‍්‍රතිපාදන ලබන විශ්ව විද්‍යාල පද්ධතියේ මානව හා භෞතික සම්පත් දියුණු කිරීමට වහා පියවර ගන්න.

x විශ්ව විද්‍යාල ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය උත්පේ‍්‍රරණය කරන ස්වාධීන ආයතන ලෙෂ වර්ධනය වීමට ඉඩ සලසා දෙමින් විශ්ව විද්‍යාල දේශපාලනීකරණය ඒවාට අතපොවමින් ක්ෂුද්‍ර කළමනාකරණයෙහි යෙදීම වහාම නවත්වන්න.

x විශ්ව විද්‍යාල පද්ධතිය වෙත වඩාම සුදුසු ආචාර්යවරුන් බඳවා ගැනීම හා රඳවා ගැනීම සඳහා 2011 ජූලි මස 07 වෙනි දින ඉදිරිපත් කරන ලද අන්තර්කාලීන යෝජනාවල එන, 2012 අය-වැය මගින් ක‍්‍රියාත්මක විය යුතුව තිබූ වැටුප් පියවරයන් වහාම ක‍්‍රියාත්මක කරන්න.

x ඉහත සඳහන් ඉල්ලීම කි‍්‍රයාත්මක කිරීම පහසු කිරීම පිණිස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රටෙහි මානව සම්පත් දියුණු කිරීමට කරන සේවයද සේවයට බඳවා ගැනීමේදී හා උසස්වීමේදී අනුගමනය කරන දැඩි පටිපාටියද සළකා ඔවුන් විශේෂ සේවාවකට අයිති පිරිසක් ලෙස සලකන්න.

– විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

2012 අප්‍රේල් මස දීය.