සිය නොපනත්කම් නිසා මහජන මතය හමුවෙහි කුජීත වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දරට තමා ස්තුතිවන්ත වන්නේයැයි අගමැති වික්‍රමසිංහ කියා තිබුණේ පසුගිය 29 දා වනාතවිල්ලුවෙ හි පැවැති රැස්වීමක දීය.
පූජිත ජයසුන්දර පොලිස්පතිකම ලබා ගැනීමට බෝධිපූජා පැවැත්වූ දිනයේ සිටම නොගැලපෙන අජූත දේ කිරීමට ඇති සිය හපන්කම පෙන්වා තිබේ. තනතුරක් ලබා දෙන සේ බෝධියකට පුද පූජා කිරීම බුදු දහමට පමණක් නොව නීතියේ පාලනයට පටහැනි නොපනත්කමකි. පසුගිය දාක පාසලකට ගොස් නටන ලද නෙයියාඩමම පූජිත අපූජිත කිරීමට ප්‍රමාණවත්ය. සිය නොපනත්කම් නොසලකා ජූජිත ජයසුන්දර අපූරුවට දිගටම සිය ධුරයේ වැජඹෙයි. ඊට එක් හේතුවක් වික්‍රමසිංහගේ ප්‍රශංසාවෙන් දැක ගත හැක. වික්‍රමසිංහට පුජිත ජයසුන්දර අවශ්‍ය ය.
වික්‍රමසිංහවාදී ජනමාධ්‍ය පූජිතගේ හපන්කම් ගැන කියන්නේ නෑ
ශ්‍රී ලංකාවේ මෙවැනි නිලධාරීන්ගේ දේශපාලනය තේරුම් ගැනීමට එක් අපූරු ක්‍රමයක් තිබේ. එනම් ඔහු විවේචනය කරන්නේ සහ ඔහු ආරක්ෂා කරන්නේ කුමන ජනමාධ්‍යදැයි, විශේෂයෙන්ම කුමන වෙබ් අඩවි මගින්දැයි විමසා බැලීමයි. රනිල් වික්‍රමසිංහවාදී කිසිිම මාධ්‍යයක් පූජිත ජයසුන්දරගේ නොපනත්කම් විවේචනයට ලක් කරන්නේ නැත.
පූජිත ජයසුන්දර යටතේ පොලීසිය පත්ව ඇති තත්වය ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාවෙන් තවත් පැහැදිලි වෙයි. මේ කුමන්ත්‍රණය හෙළි කරන ලද තැනැත්තා පොලීසියට ඔත්තු සපයා මුදල් සොයා ගන්නා ඔත්තුකරුවෙකි. ඒ අතරවාරයේම ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද වැටුප ලබා ගෙන තිබේ. ඔහු ජනපති යටතේ පවත්නා මත්ද්‍රව්‍ය නිවාරණ බලකායේ වැටුප් ලබන සේවකයෙකි. පොලීසිය සිය ඔත්තුකරුවකු ලෙස යොදා ගෙන ඇත්තේ ජනපති යටතේ වැටුප් ලබන සේවකයෙකි. කොපමණ අගයක්ද ?
වික්‍රමසිංහවාදී ජනමාධ්‍ය පූජිතගේ හපන්කම් ගැන කියන්නේ නෑ
මෙම ක්‍රමන්ත්‍රණය ගැන පොලීසිය කළ පරීක්ෂන මගින් තෝමස් නම් ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගෙන මහත් ප්‍රසිද්ධියක් දුන්නේ ය. මේ ඉන්දීය ජාතිකයා ඉන්දීය රෝ නම් ඔත්තු සේවායෙහි නියෝජිතයෙකු යැයි ජාතික යැයි කියා ගන්නා පුවත්පත් පවා වාර්තා කළෝය. නමුත්, ඉන්දීය පොලීසිය වාර්තා කළේ මේ පුද්ගලයා දීර්ඝ කාලයක් මානසික ආබාධයකින් පෙළෙන බවයි. ජනපති ඝාතනයට ඉන්දීය ජාතිකයාද සම්බන්ධ යැයි මාධ්‍ය වාර්තා කළේ පොලීසිය කීවා යැයි කියමිනි. පොලීසිය එවැනි තොරතුරු මාධ්‍යට ලබා දෙන්නට ඇතැයි විශ්වාස නොකාරීමට හේතුවක් නැත. තවමත් ඒ මිනිසා සිරභාරයේ ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන පොලිස් ඔත්තුකරුවකු හා එක්ව ඉන්දීය රෝ ඔත්තු සේවය ඒ ජනපතිම ඝාතනය කරන්නට උගුල් ඇටවූයේ යැයි සිහ මොළයක් ඇති අයකු කල්පනා කරනු ඇත්ද ?
දැන් වාර්තා වන්නේ මෙම කුමන්ත්‍රණයට අදාළ යැයි කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම ඔහු සමඟ අමානාපකම් තිබූ වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුද මෙම කුමන්ත්‍රණ නාටකයෙහි ප්‍රධාන චරිතයක් බවයි. පොලිස් ඔත්තුකාර ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයා සමඟ මෙකී දෙවැනිව කී නියෝජ්‍ය පොලිස්පතිවරයාද සම්බන්ධ බව කියනු ලැබේ.
ඊටත් වඩා කුතුහලය දනවන පරිච්ඡේදය වන්නේ පළමුව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදල් ඉපයීම පිණිස මත්කුඩුු ජාවාරම්කාර පතාල නායකයින් සමඟ සමීප සබඳතා පැවැත් වූ බව වාර්තා වෙන්නට පටන් ගෙන තිබිමයි. මෙවැනි එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු මිනී මරා දැන් ඉන්නේ මහ උළු ගෙදරය. ඔහු මිනී මැරුවේද කප්පම් ගන්නටය.
මේ සියල්ල සිදුවන්නේ ඔහු විසින් පොලීසියේ සේවකයකුට පහර දෙනු වීඩියෝ ගත වූ පොලිස්පති ජයසුන්දර යටතේය. දැන් අගමැති වික්‍රමසිංහ රටේ අපරාධ අඩු කර ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්නේ අන්න ඒ පොලිස්පතිවරයාට ය.
අලි මදිවාට හරක් කීවා සේ දැන් පූජිත ජයසුන්දර ද කියන්නේ මෙම ක්‍රමන්ත්‍රණය ගැන හෙළි කරන්නට තමා ළඟද කරුණු තිබෙන බවයි. එවැනි කරුණූ තිබේ නම් සඟවා ගෙන සිටීම පොලිස්පතිවරයකුට සෑහේ ද ?
ජයසුන්දර නිහඬ ඇයි
ඔහු යටතේ අපරාධ මර්දනය කොතරම් හොදින් සිදුවන්නේ ද යත් යාපනයේ නීතිය හා සාමය රැකීමට යුද හමුදාවට විශේෂ බලතල දීම ගැන කල්පනා කිරිමට පවා ආණ්ඩුවට සිදුව තිබේ. පොලිස්පති පූජිත තක්කඩි පට්ට හොරෙක් සහ පොලිස් ඉතිහාසයේ ලොකුම දූෂිතයා ඔහු යැයි වාචාල විපක්ෂ දේශපාලනඥකු ප්‍රසිද්ධියේ කීවේ බොරු නම් තමන්ට නඩු පවරන ලෙස අභියෝග කරමිනි. ජයසුන්දර නිහඬ ය. එවැනි චෝදනා හමුවෙහි පිළිතුරු බැදීමට බැරි පොලිස්පති කෙනෙකු ඇති පොලීසිය කුමක්වනු ඇත්ද ?
මෙරට පොලීසියේ යහපත් විනය ගරුක නිලධාරීන් සිටින බව ඇත්තය. නමුත් ඔවුන්ට තැනක් නැත. නමුත් කණගාටුවතට මෙන් තැනක් ඇත්තේ ජයසුන්දර වර්ගයේ නිල ඇඳුම් හැදි කෝළම් දේශපාලනඥයින්ට පමණි. පොලිස් සේවයේ පිරිහීිම රටක නීතියේ පාලනය පිරිහීමකි. පොලිස් සේවය බාරව සිටින ඇමැතිවරයා ගැන අහන්නට ලැබෙන්නේ කප්පරකට වරක් ය. ඔහු අද සිටින දුර්වලම සහ වැඩකටම නැති ඇමැතිවරයෙකි.
ගෝඨාභයගේ අළුගෝසුවා
ගෝඨාභය රාජපක්ෂට සිටි අළුගෝසුවකු ගැන රාජපක්ෂ කඳවුරෙන්ම දැන් හෙළිදරව්වක් සිදුව තිබේ. මේ හෙළිදරව්ව කරන්නේ උග්‍ර රාජපක්ෂවාදියකු වන කේ. ටී. රාජරත්නම් නම් මාධ්‍යවේදියෙකි. ඔහු ඒෂියන් ට්‍රිබියුන් නම් එතෙර සිට පවත්වාගෙන යන වෙබ් අඩවියේ කතුවරයා ය.
2012 වසරෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය බිය වැද්දවීමට එවූ රාජපක්ෂ සේනාවෙහි කේ.ටී. රාජරත්නම්ද සිටියේ ය. පාප් වහන්සේ බැහැ දැකීමට ජනාධිපති රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ ගිය අවස්ථාවට රාජරත්නම් ද එක් වූ බව කියනු ලැබේ.
දැන් ඔහු විසින් යාපනයේ සිට ලියන ලද ලිපියකින් කියන්නේ මේජර් ජෙනරල් මහින්ද හතුරුසිංහ ගෝඨාභයගේ ශ්‍රී ලංකාවේ අළුගෝසුවා බවයි. අසනීප වී යුද හමුදා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි එම ජෙනරල්වරයාට සිදුවූයේ දෙවියන් විසින් දඩුවම් පැමිණ වීමකැයි මහින්ද රාජපක්ෂ අනුගාමික රාජරත්නම් පවසයි. හතුරුසිංහ බරපතල ලෙස අසනීප වීම ගැන රාජරත්නම් කතා කරන්නේ සතුටිනි.
සිය ලිපියෙහි රාජරත්නම් පවසන්නේ මේජර් ජෙනරල් හතුරුසිංහ යාපනයේ හින්දු කෝවිල් වැනසූ බවය. පැහැර ගැනීම් සිදු කළ බවය. දෙමළ ජාතිකයින්ට වදහිංසා පමුණුවා ඝාතනය කළ බවය.
2010 සිට 2014 දක්වා යාපනයේ ආරක්ෂක හමුදා සේනාධිපති වූ හතුරුසිංහ යාපනය පුරා භීම සමයක් ඇති කළේ යැයි ද රාජරත්නම් චෝදනා කරයි. 2017 දී ‘යහපාලන’ ජනාධිපති විසින් මෙම යමපල්ලා යුද හමුදා මූලස්ථානයෙහි කැප්ටන් ජෙනරාල් වශයෙන් උසස් වීමක් දෙන ලද බවද ඔහු කියා සිටී.
කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි පාවිච්චියට ගත හැකිව තිබූ යන්ත්‍රෝපකරණ අබිලි දුව්‍ය ලෙස කුණු කොල්ලයට විකිණීමට ද හතුරුසිංහ සම්බන්ධ බව දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් විය. ඔහුට විරුද්ධව ජනාධිපති සිරිසේන කිසිදු පියවරක් ගත්තේ නැත.
1983 කළු ජූලිය අවස්ථාවෙහි වැලිකඩ සිරගෙදර ආරක්ෂාව බාරව සිටියේ ද මෙම හතුරුසිංහමය යැයි කියනු ලැබේ. සිරගෙදර තුළ රඳවා සිටි දෙමළ සැකකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දරුණූ තුවාල ලබා සිටි පිරිස් රෝහලට ගෙන යාම එකී යුද හමුදාව විසින් ප්‍රතික්ෂේප කළ බව ද සාක්ෂි සහිතව වාර්තා වී තිබේ.
රාජපක්ෂ අනුගාමික රාජරත්නම් කරනු ලබන මෙම චෝදනා යුද අපරාධ ගණයට වැටෙන ඒවාය. ගෝඨාභයගේ අලුගෝසුවා විසින් යුද අපරාධ කළ බවට හදිසියේම රාජපක්ෂ අනුගාමික රාජරත්නම් ප්‍රකාශ කිරීම පිටුපස වෙනත් හේතු තිබිය හැකිය. එ් කෙසේ වෙතත් ඔහුගේ හෙළිදරව්ව යුද්ධයේ නාමයෙන් සාමාන්‍ය ජනයා මරා දමන ලද බවට තවත් සාක්ෂියකි.
(2018. 10.07 දින රාවය පුවත්පතේ පළවූවකි)
සුනන්ද දේශප්‍රිය
Post a Comment