The Most/Recent Articles

Showing posts with label culture. Show all posts
Showing posts with label culture. Show all posts

කොරෝනා සමයේ බොකාසියෝ පොරෝණාව!

හදවත පිටට පනින, ආත්මය බිමට නැමෙන, සුගන්ධනීය සුමුදු මල් දම් වැනි ප්‍රේමාරාධනා හිසේ දවටගෙන, බලාපොරොත්තුව මැරෙන්නට පෙර ප්‍රේමයෙන් මුසපත් වන්නට ආරාධනා කරන ඔහුගෙ කාව්‍ය සංකල්පනා කඩිනමට සිංහලයට නගන්න තැත් කරමින් මට එයාව මරන්න දුකයි.

සුනේත්‍රා රාජකරුණානායක

කොරෝනාව ජීයෝවන්නි බොකාසියො මතකය අලුත් කළා. සාතන්ගේ ජය ! කලු වසංගතය නොහොත් මී උණ අත හරිමින් බොකාසියෝ ආශ්‍රය කොට තිබුණත් මේ පාර එය තව දුරටත් එපා කරන්න බැරි වසංගත පීඩනය දැනුණා.


ක්‍රි.ව. 1347, ඔක්තෝම්බරය කලු මුහුදෙන් සිසිලියට නැව් 12 ක් ආවා. මෙසිනා වරායට රැස් වූ සිසිලියානුවන් තිගැස්සුණා. නැව්වල මළ සිරුරු ! යාන්තමට පණ තිබුණ නාවිකයන්ගෙ නහරවල් කලුවෙලා ඉදිමිලා. ලේ සැරව ගලන නාවිකයන්ට ඒ නැව් වලින්ම පිට වෙන්න කිව්වා. එතකොට ප්‍රමාදයි. වසංගතය වරායෙන් ගොඩට ගියා. යුරෝපීය ජන ගහණයෙන් තුනෙන් එකක් මිය ගියා. පස් වසරක ශාපය නැවත නොඑන්න නං යහපත් ගුණධර්මත් පිරිසිදුකමත් පවත්වාගෙන යා යුතු බව පල්ලිවල දේශණා කරන්න ඇති. නමුත් යුරෝපයට ලෙඩ වෙන්නෙ නැතුව, යුද්ධ කරන්නෙ නැතුව ඉන්න බැරිවුණා.

වසංගතය යුරෝපයට එන්නට පෙර චීනය, ඉන්දියාව, පර්සියාව, සිරියාව හා ඊජිප්තුවෙ පැවතෙන බව ආරංචි වී තිබුණා. 1313 දී උපත ලද බොකාසියා කළු වසංගතයට සාක්ෂිකරුවෙක්.

බොකාසියො නීතිය හා පරිපාලනය ඉගෙනීමට 1337 දී නේපල්ස් ගියා. සාහිත්‍යයට ඇදී යාමෙන් නිල සුදුසුකම් හිමිකර ගැනීම අතහැරියා. 1348 දී නැවත ෆ්ලොරන්ස් නගරයට ආවම මිනිහාට වැදගත් නිලතල හිමි වුණා. තානාපති සාකච්ඡා සඳහා වෙනත් නගරවලට ගියේ ෆ්ලෝරන්ස් නගරය නියෝජනයටයි. යුරෝපීය පුනරුද ව්‍යාපාරයේ ආරම්භකයන් අතර කැපී පෙනුණ බොකාසියෝ ලතින් බසින් හා ටස්කනි ප්‍රාදේශීය ඉතාලි බසින් ලියුවා.

බොකාසියෝ මිත්‍රයා, මාර්ගෝපදේශකයා හා ගුරුතුමා හැටියට සැලකුවේ ෆ්‍රැන්චෙස්කො පෙත්‍රාකා නොහොත් ඉංග්‍රීසියෙන් කියන විදයට පෙට්ට්‍රාකා යි. පුනරුද ව්‍යාපාරයේ ආරම්භක විද්වතකු, කවියකු හා දැඩි මානව හිතවාදියකු වූ පෙත්‍රාකා කිතුනු ආශ්‍රමික පුස්තකාල පීරමින් දැනුම හෙව්වා. පැරණි ලේඛනවලට ඉව කළා. ඔහුගේ පරමාදර්ශි කාව්‍යවලින් ආමන්ත්‍රණය කළේ මනෝමය ලෝරා කෙනෙකුටයි. නීතිය හැදෑරු ඔහු එය අතහැරියේ එම වෘත්තිකයන් නීතියටත් තමාන්ටත් වංචනික බව පෙනීයාමෙන්. බොකාසියෝ ලතින් ඉගෙනීමටත් ලේඛන කලාවටත් යොමු වුණේ පෙත්‍රාකාගේ මඟපෙන්වීමෙන්.

බොකාසියෝ කිව්වා කිකිළියෝ දහ දෙනෙකුට එක කුකුළෙක් සිටියාම ප්‍රමාණවත් වුණාට එක ස්ත්‍රියකට පුරුෂයන් දස දෙනෙකු වුණත් සෑහෙන්නෙ යාන්තමටයි කියලා. ඔහු එහෙම කියන්න ඇත්තේ ස්ත්‍රීන් පහත් කිරීමට නෙවෙයි පුරුෂයන්ගෙ සීමිත බව පෙන්වීමටයි. ඔහු සිංහල බයිබලයේ ඒව ලෙස හැඳින්වෙන ලොව ප්‍රථම ස්ත්‍රියගෙ (කිතුණු විශ්වාස අනුව) සිට සාන්තුවරියන් හා වෙනත් ප්‍රකට ස්ත්‍රීන් 106 දෙනෙකුගේ කතාන්තර පොතකට ගොනු කළා. ඊට පෙරත් කවුරුවත් එහෙම වැඩක් කරලා තිබුණෙ නැහැ. අතින් ලියා චිත්‍ර ඇඳ තිබු ඔහුගේ ලතින් පිටපත 1473 දී මුද්‍රණය වුණා. ඔහු ගොනු කළ කතාවල ස්වාධීන ස්ත්‍රීන් ඉන්න නිසා මා වරින්වර එම චරිත ගැන කතාකොට තියෙනවා. සාන්තුවරියන් හැර අනිත් අය පිරිමින් හා හරි හරියට යුද්ධ කරනවා. ස්වාමිපුරුෂයො නැතුව ජීවත්වෙන්න ප්‍රිය කරනවා. ඔහු සඳහන් කරන්නේ අනාගත වාක්‍ය කියු ස්ත්‍රීන් සිබිල්වරියන් ලෙස හැඳින්නු බවයි. ඒ වචනයෙ ලතින් අර්ථය සියොස් + බයිල්ස් = දිව්‍ය මනස යි.

බොකාසියෝ මිය යන තුරු “වරින්වර සංස්කරණය කළ දිකැමරන්” කළු වසංගත සමයෙ ස්ත්‍රීන් සත් දෙනකු හා පුරුෂයන් තිදෙනකු කියන කතා එකතුවක්. ෆ්ලොරන්ස් හී දේවස්ථානයක දී හමුවන මේ කණ්ඩායමට නගරයෙන් පැන යන්නට මූලිකත්වය දෙන්නෙ පොම්පිනා නම් වැඩිහිටි ස්ත්‍රියයි. ඔහු මේ කෘතියට “දස දිනක විනෝදාශ්වාදය” ලෙස උප මාතෘකාවකුත් යොදනවා. මෙය ලිවීමට සය වසරක් ගත වූ බව කියවෙනවා.


මේ චරිත යම් උගත්කමක් හා ධනයක් ඇති අය විය යුතුයි. ඔවුන් දෙසතියකට නැවතෙන්න යන්නෙ වතුර මලක් සහිත උද්‍යානයක් පිහිටි මන්දීරයකටයි. මේසෙට කෑම තියන්න සේවකයෙකුත් ඉන්නවා. ගී ගයලා, නටලා විනෝදවෙලා කෑම මේසයට වාඩිවෙන ඔවුන් යාඥා කරන බවක් සඳහන් වෙන්නෙ නැහැ. නමුත් ඉරු දිනවලට මේ ලෞකික කතන්දර නොකියන බව පෙනෙනවා. කෑමෙන් පසු වතුරමල අසලට යනවා. එක දවසට එක්කෙනෙක් කතා සබාව මෙහෙයවනවා. පළමු දවසෙ මෙහෙයුම පොම්පිනාගෙන්. ඒ ඒ දවසට රැජිනක් හෝ රජකු පත්කර ගන්නවා.

මධ්‍යධරණි දූපත් ගණනාවකිනුත්, ඊජිප්තුව, බැබිලෝනියාව, ඉන්දියාව වැනි රටවලිනුත් වෙළෙඳුන් හරහා එකතු වූ කතා ඉදිරිපත් වෙනවා. වසංගතයට පෙර සිට පැවති විනෝද, මිථ්‍යා, ජන හා ආගමික කතා මෙන්ම ආදර හා කාම කතා බොකාසියෝ නැවත පාවිච්චි කරනවා. හිතෝපදේශය, පංචතන්ත්‍රය, රාමායනය හා බෞද්ධ කතාත් යුරෝපීයකරණය වෙමින් වෙනස් වූ අයුරු අධ්‍යයනයටත් හොඳයි. කාලිදාසගේ සකුන්තලා කතාව ආශ්‍රයෙනුත් වෙළෙන්දො යුරෝපයට ගෙනා කතාවක් බෙකාසියෝ පාවිච්චි කරන්නෙ තමන් එකතු කරන කෑලිත් එක්කයි.

සෑම දිනකම දසවන කතාව කියන දියොනියෝ ඒ දවසෙ කතා මෙහෙයවන කෙනා නියම කරන තේමාවෙන් පිට කැමති දෙයක් කිව හැකියි. ඒ නිසා දියෝනියෝ බොකාසියොගෙම හඬ වගෙයි පෙනෙන්නෙ.

මෙයින් ආගමික සංස්ථාවට තදින් පහර වැදෙනවා. පූජකයන්ගෙ රහසිගත ස්ත්‍රී සබඳතා කියවෙනවා. කන්‍යාරාමවල රහස් පිටට පනිනවා. එක කතාවක ආබ්‍රහම් නමැති යුදෙව්වෙක් රෝමයට යනවා. පූජ්‍ය පක්ෂයෙ චර්යාව අයහපත් බව දකිනවා. නමුත් මෙච්චර වංචනික නියෝජිතියො ඉන්න ආගමකට මිනිස්සු විශාල වශයෙන් හැරෙන්නෙ ඒ ආගමෙ දෙවියන්වහන්සෙ ඇත්තටම යහපත් කෙනෙක් විය යුතු වග කල්පනා කරනවා. ආබ්‍රහම් රෝමයේ ආගමට බැඳෙන්නෙ ඒ අතරමැදියන් කෙසේ වෙතත් දෙවියන්වහන්සෙගෙ ආශිර්වාදය විශ්වාස කරමින්.

අලිබෙක් නම් ක්‍රිස්තියානු නොවන තරුණිය දෙවියන්ට සමීපවීමට කාන්තාරයට යනවා. ඇයට රස්ටිකෝ නම් පූජකයා හමුවෙනවා. සාතන්ව නිරයට යවන පිළිවෙල ඔහු කියාදෙන්නෙ ඇගේ කන්‍යාභාවය ස්වර්ගයට යවමින්. නමුත් අලිබෙක් සාතන්ව නිරයට යවන්න රස්ටිකෝට වඩා උනන්දු වෙනවා. පසු කාලයක මේ කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට වැඬේ සම්පූර්ණයෙන්ම ඉටු කරන්න ඔවුන් බිය වුණා. තාක්ෂණික ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන් පරිවර්තනය අමාරුවන නිසා ඇතැම් කොටස් ඉතාලි බසින් තියනවා. මේ කතාව වෙළෙඳුන් අතර, වෙනත් කතාකාරයන්ගෙන්, ජනකතාවලින් එහෙම ගත්තු බවට සාක්ෂි හමු වී නැහැ. ඒ නිසා එය බොකාසියෝ විසින්ම නිර්මාණය කළ බව පෙනෙනවා.

ශේක්ෂ්පියර් මේ කතා සමහරක් අරගෙන ඔප දමලා, දඟ කවලා, තමා අසා කියවා තිබූ උපදේශ වාග් රාග උපක්‍රම මගින් අමුනලා මහා නාට්‍යකරුවෙක් වුණා. එයින් පෙනෙන්නෙ මිනිහාගෙ අනිත් කතාත් “ඔර්ජිනල්” නැති බවයි. වැනීසියෙ වෙළෙන්දා එහෙම බොකාසියෝ සරණෙන් ගොඩගිය බව ඉතා පැහැදිලියි. මෙහෙම කියන්නෙ විභාගවලට දිවට දුක් දෙමින් කටපාඩම් කළ ශේක්ෂ්පියර් කෑලි ගැන තරහින් නෙවෙයි. දැන් ඒවා මතකත් නෑ. ඒවායින් ප්‍රයෝජන ගත් අවස්ථාත් තිබුණා. නමුත් අලිබෙක් හා රස්ටිකෝ සාතන්ව නිරයටම යැවූ ක්‍රමය වේදිකාවකට ගේන්න ශේක්ෂ්පියරුත් බය වෙන්නැති කියන හිනාව මේ කොරෝනා ශෝකයටවත් පාලනය වෙන්නෙ නැහැනෙ.

ඇල්බර්ටෝ නම් පූජකයා ස්ත්‍රියක් රවටාගන්නෙ දේවදූතයන්ගෙ නායකයා ගාබි්‍රයෙල් ඇයට පෙම්කරන බව කියමින්. ගාබි්‍රයෙල්ට ඕන වෙනවලු ඇගේ සිරුරට රිංගන්න ! ඇල්බර්ටෝට පසුව නිසි දඬුවම් ලැබෙනවා. නමුත් කතාවක් ඊට පෙර යුදෙව් සොසේෆස් කතා අතරත්, පංචතන්ත්‍රයෙත්, අරාබි නොසොල්ලාසයෙත් තිබූ බවට විචාරකයෝ පෙන්නා දී තිබෙනවා. මෙය දස දෙනාගෙ සභාවට කිව්වෙ පැම්පිනා. ඇය එය තමන්ගෙ කතාවක් හැටියට කියලා නැති නිසා වරදක් කියන්නත් බැහැ.

ලොරෙට්ටා නම් ස්ත්‍රිය ක්‍රීට් දූපතට පැන ගිය සහෝදරියන් තිදෙනකු හා පෙම්වතුන් ගැන කියනවා ලොකු අක්කා තම පෙම්වතා මරන්නෙ ඊර්ෂ්‍යාවෙන්. දෙවනියා අක්කාව බේරා ගන්නෙ ක්‍රීට් දූපතේ ඩියුක්වරයාට සිරුර පුද කරමින්. ඇගේ පෙම්වතා ඇය මරනවා. බාල නංගියි පෙම්වතායි විත්තිකරුවන් කරනවා. වද විඳින්න බැරිකමට ඔවුන් නොකළ වරද පිළිගන්නවා. ඔවුන් මුර භටයින්ට පගා දීලා රෝඞ්ස් දූපතට පැනලා යනවා. නමුත් ඔවුන් දුකට පත් වී මිය යාම මට දරාගන්න බෑ. මං ලිව්වා නං ඒ දෙන්නාව මහළු වයසටම ගෙනියනවා. නමුත් මේ පොතේම වෙනත් කතාවල ප්‍රේමය එතරම් දුකෙන් දුකට පත් කරන්නෙ නැහැ.

සිසිලිය අසල ලිපාරි දූපතාංශුවෙ ධනවත් කොන්ස්ටන්ටියා පවුලෙ තරුණියක් දුප්පත් මාර්තුස්සියෝ හා පෙමින් බැඳෙනවා. යහපත් ගති ඇති බුද්ධිමත් කෙනෙක් වුණත් කොන්ස්ටන්ටියා පවුල ඔහුගේ මංගල යෝජනවා ප්‍රතික්ෂේප කරනවා. ඔහු වාසනාව සොයා නැව් නගිනවා. මුහුදු කොල්ලකරුවන්ට අහුවෙනවා. ටියුනිස්වල සිරගත වී දුක් විඳිනවා. පෙම්වතියත් ස්වර්ගයට යනකොට හබල් සහිත මාළු ඔරුවක් දකිනවා. ඒක පැදගෙන යනකොට කුණාටුවකට අහුවෙනවා. ඔරුව පාවෙන්නෙ ටියුනිස් ආසන්නයේ සූසා නගරයටයි. මහළු ධීවර ස්ත්‍රියක් පිරිස කැඳවා ඇය බේරගන්නවා. ඔරුවෙ නින්දට වැටී සිටි ඇය අවදිකොට ලතින් බසින් කතා කරන්නෙ, ඇගේ ඇඳුම අනුව ක්‍රිස්තියානි කෙනෙක් බව වටහාගෙනයි. තමා මරනයට පත් නොවූ බව ඇයට වැටහෙනවා.

පවුලේ නම විනා බෞතීස්ම කළ නම සඳහන් නොවන මේ කොන්ස්ටන්ටියා මහළු ස්ත්‍රිය හා ජීවත්වන අනෙකුත් ස්ත්‍රීන් හා පදිංචි වෙනවා. ඔවුන් ජීවත්වෙන්නෙ මැහුම් ගෙතුම්වලින්. මේ අතර ග්‍රෙනේඩාවෙන් එන ප්‍රභුවරයෙක් මියුනිස් හී බලය අල්ලා ගන්න හදනවා. සිරගතව ඉන්න පෙම්වතා මාර්තුස්සියො රජුට පණිවිඩයක් යවනවා යුද්ධෙට උපකාර කළ හැකි බව කියමින්. රජු ඔහු කැඳවනවා. ඔහු එවකට යොදාගත් දුනු හා ඊතල ඊට වඩා සියුම් ලෙස හදන්න උපදෙස් දෙනවා. එතකොට ටියුනිස් ඊතල අහුලාගෙන නැවත පාවිච්චි කරන්න සතුරන්ට බැහැ. සතුරු දුනු හා ඊතල ඊට වඩා විශාලයි. නමුත් ටියුනිස්වරුන්ට සතුරු ඊතල නැවත පාවිච්චි කළ හැකියි. යුද්ධය දිනනවා. පෙම්වතා වරප්‍රසාදලාභි ධනවතකු වෙනවා. ඔහුගේ වීර ක්‍රියා ප්‍රචලිත වෙනවා. මළ බවට ආරංචි වී තිබූ පෙම්වතා ජීවතුන් අතර බව දැන කොන්ස්ටන්ටියා ඔහු හමුවෙන්න යනවා. මහළු ස්ත්‍රිය ඒ හමුවට උපක්‍රමයක් යොදනවා. ඔවුන් විවාහවෙලා ඒ උපකාර කළ ස්ත්‍රියත් එක්කම ලීපාරියට යන්නෙ ජයග්‍රාහි ලෙසයි. මේක කියවලා ඉවර වුණාම දෙමළ හෝ හින්දි හෝ චිත්‍රපටියක් වගේ දැනෙනවා.

පදුතෝ නගරයේ නීතිය අනුව අනියම් සබඳතාවකට වරදකාරිය වන ස්ත්‍රීන් පණ පිටින් පුච්චන්නටයි නියමය. පිලිප්පා පෙම්වතා එක්කම සැමියාගෙ අතට අහුවෙනවා. නිහඬව වරදකාරිය වී මරණය භාර නොගෙන උසාවියට යන්න ඇය තීරණය කරනවා. ඇගේ සියුමැළි වැදගත් පෙනුමට නඩුකාරයාට දුක හිතෙනවා.

“මැඩම් තමාගෙ සැමියා රිනල්ඩො ඔබ වරදෙ බැදී සිටිනු අතට අසු වූ බවට චෝදනා කරනවා. නීතියට අනුව මට තමාට මරණ දණ්ඩනය දෙන්න පුළුවන් වෙන්නෙ තමුන් චෝදනාව පිලිගත්තොත් විතරයි. මේ චෝදනාව සත්‍යයද?” නඩුකාරයා පිලිප්පාට ඒක ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තබමින් කතා කළා.

“ස්වාමීනි ඒක සත්‍යයයි. මේ නීති තියෙන්නෙ අසරණ ස්ත්‍රීන්ට විතරයි. නීති හදලා තියෙන්නෙ අපෙන් අහලා නෙවෙයි. මේ උසාවියත් මුලු ලෝකයත් ඉදිරියෙ මං මේ නීතියෙ අසාධාරණ බව ප්‍රකාශ කරනවා. ඒ අනුව ඔබතුමාගෙ තීන්දුවත් නිර්පාක්ෂික නැහැ”

මෙයින් කැළඹෙන රිනල්ඩො උසාවියෙන් පැන යනවා. සෙනඟ ඇගේ මතයට පක්ෂපාතිව කෑ ගසනවා. ඇය ජයග්‍රාහි ලෙස ගෙදර යනවා !

කතා කියන්නෙ මේ මන්දීරයෙ විවිධ ස්ථානවල සැහැල්ලුවෙන් ඇතැම්විට පලස් මත බිම ඉඳගෙන කතා කියනවා. ඒ ඒ දවසෙ මෙහෙයවන්නා කතාවල ගුණදොස් දක්වනවා. බොකාසියොගේ භාර්යාව ගැන දැන ගන්නට නැතත් ඔහුට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. මට මේ විදියටම තව වසරක් ගෙවෙනතුරු බොකාසියෝ එක්ක තනිවෙන්න ආසයි. ඒත් කොරෝනාව අවසන්වෙලා අපේ ජිවිත සාමාන්‍යය තත්ත්වයට එන්න ඕන.

හදවත පිටට පනින, ආත්මය බිමට නැමෙන, සුගන්ධනීය සුමුදු මල් දම් වැනි ප්‍රේමාරාධනා හිසේ දවටගෙන, බලාපොරොත්තුව මැරෙන්නට පෙර ප්‍රේමයෙන් මුසපත් වන්නට ආරාධනා කරන ඔහුගෙ කාව්‍ය සංකල්පනා කඩිනමට සිංහලයට නගන්න තැත් කරමින් මට එයාව මරන්න දුකයි. අහා ! මේ කොරෝනා සමයේ වසර හත්සිය ගණනකට පෙර සිටි බොකාසියෝ අසල වැතිරී සිටීම මතු එළඹෙන මැතිවරණය ගැන සිතීමට වඩා සැනසීමක් !

බුදු සසුන පිරිසුදු කිරීමේ “තායි” පිළිවෙත

රුපියල් බිලියන ගණන් වැය කරමින් අසපු ගොඩනගන චීවරධාරීන්ගෙන්ද මෙරටට අඩුවක් නොමැත. සමාජ මාධ්‍ය වල රඟදෙන රහතුන්ද සුලබව දැකිය හැකිය. අධර්මවාදී, අවිනීත භික්ෂු වේශධාරීන් සිටිත් නම් ඔවුන් සිය නිකායෙන් නෙරපන බව 2020 මැයි 21 දින නිවේදනය කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි විසිනි.

ප්‍රභාශ්වර

තායිලන්ත විද්වතෙකු වන ආචාර්ය කරුණා කුසලාසයට අනුව, තායිලන්තය වෙත අශෝක අධිරාජයා විසින් ථෙරවාද බුදු දහම හඳුන්වාදෙන ලද්දේ ක්‍රිස්තු පූර්ව 03 වැනි සියවසේදීය. ක්‍රිස්තුවර්ෂ 1002 සිට 1182 දක්වා, කාම්බෝජය හා තායිලන්තය යන රාජ්‍යන් දෙකම පාලනය කළ සුර්යවර්මන් රජ පෙළපත හරහා මහායාන බුද්ධාගම තායි ජනයා අතර ප්‍රචලිත වූ බව තායිලන්තයේ ලොජ්බුරි පළාතෙන් සොයාගත් ශිලා ලිපියක සටහන්ව තිබේ. ක්‍රි.ව 1057 දී බුරුමය පාලනය කළ අනුරුද්ධ රජතුමා, තායිලන්තයේ උතුරු හා මධ්‍යම පෙදෙස් කාම්බෝජ සූර්යවර්මන්වරුගේ ග්‍රහණයෙන් මුදවාගෙන තම අණසකට නතු කරගත්තේය. “බුරුම බුදුදහම” එම ප්‍රදේශ තුළ ව්‍යාප්ත කරන ලද්දේ අනුරුද්ධ රජු විසිනි. ක්‍රි.ව 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ මහා පරාක්‍රමබාහු රජතුමා, එකල එරට සිල්වත් භික්ෂුවක් වූ දිඹුලාගල කස්සප තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් 07 වන ධර්ම සංඝායනාව පවත්වනු ලැබීය. 


මෙමගින් නියම ථෙරවාද බුදු දහම සහ විනය ලංකාව තුළ මැනවින් ස්ථාපිත වීය යන පණිවුඩය බුරුමය, ලාඕසය හා තායිලන්තය වැනි දේශයන් වෙත ලැබුණු සැනින් එම රටවල භික්ෂූන් උපසම්පදාව සඳහා ලංකාද්වීපය බලා පැමිණෙන්නට විය. මහා පරාක්‍රමබාහු රජු විසින් ප්‍රචලිත කළ ථෙරවාද දහම තායිලන්තය තුළ ස්ථාපිත වූයේ “ලංකාවම්ස” බුද්ධ ධර්මය යන නාමයෙනි. ක්‍රි.ව 1747 සිට 1781 දක්වා ලංකාව පාලනය කරනු ලැබුවේ දකුණු ඉන්දියානු රජ පෙළපතේ දෙවැන්නා වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. රජු හා ලන්දේසි අතර හටගත් නොනැවතුනු සංග්‍රාම රැල්ල හේතුවෙන් මෙම යුගයේදී ලංකාවේ බුදු දහම සීඝ්‍රයෙන් පිරිහී යාම නොවැළැක්විය හැකි විය. එම තත්වය දැක කම්පාවට පතිවුනු තායිලන්තයේ බොරොම්කොට් රජු (ක්‍රි.ව 1733 – 1758) ලංකාවේ බුදු දහම නගා සිටුවනු වස්, තායි තෙරුන් දෙපලක් වූ උපාලි සහ ආරියමුනි ප්‍රමුඛ සංඝයාවහන්සේලා කණ්ඩායමක් ලංකාවට එවීය. එසේ හඳුන්වාදුන් දහම ලංකාව තුළ ස්ථාපිත වූයේ “ශ්‍යාමොපාලි වම්ස” යන නමිනි. මෙරට සියම් නිකාය ආරම්භ වුයේ එලෙසිනි. ධර්මයේ පුනරුදය වෙනුවෙන් තායිලන්තයේ උපාලි ස්ථවිරයින් කෙතරම් වෙහෙසුනිද යත් උන්වහන්සේ අපවත් වී වදාළේ ද ශ්‍රී ලංකා භූමියේදී ය.

වත්මන් තත්ත්වය

තායිලන්තය තුළ බුදු දහමේ විවිධ ප්‍රභේද පැවතියද, ඒවාට අයත් භික්ෂූ, භික්ෂුනීන් කිසිදු අසමගියකින් තොරව සහජීවනයෙන් ධර්ම ප්‍රචාරණ කටයුතු වල නියැලෙන බව ආචාර්ය කරුණා කුසලාසය අවධාරනය කරයි. සමස්ත සංඝ සමාජය කෙරෙන්නේ මහානිකායට හා ධම්මයුත්තික නිකායට අයත් සංඝනායක හිමිවරුන්ගෙන් සැදුම්ලත් සංඝ සභාවක් මගිනි. මෙම සභාව ක්‍රියාත්මක වන්නේ, තායිලන්ත රජයට අයත් ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධවය. තායිලන්තයේ ජනගහනයෙන් 95% ක්ම අදහන්නේ බුද්ධාගමය. තායිලන්තයේ සංඝයාවහන්සේලා වෙත වාර්ෂිකව දායකයින් විසින් පිරිනමන පුණ්‍යාධාර ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 3.6 කි. එරට පිහිටුවා ඇති පන්සල් 40,000 තුළ භික්ෂූන්වහන්සේලා ලක්ෂ 03 කට වැඩි සංඛ්‍යාවක් දිවි ගෙවති. ගිහියන්ටද මාස කිහිපයක් හෝ ඊට වැඩි කාලයක් පැවිදි ජීවිතයක් ගත කොට ආපසු සාමාන්‍ය දිවියට එළැඹීමට අවස්ථාව, තායි සංඝ සභාව විසින් පිරිනමනුයේ ඕනෑම අයෙකුට බුදු දහම ගැඹුරින් හා ප්‍රායෝගිකව හැදෑරීම පහසු කිරීම සඳහාය. රජ පවුලේ සාමාජිකයින්ගේ සිට, බහුතරයක් වන සාමාන්‍ය පවුල් කුටුම්බයන්හි පුද්ගලයින් දක්වාම විවර කොට තිබෙන මෙම අනගි අවස්ථාවෙන් සැවොම නොමඳව මහත් ඵල හා ආනිසංස නෙලා ගනිති. තායි ගිහියන් හා සංඝයා අතර මනා සහජීවනයක් ගොඩනැගී ඇත්තේ මේ නිසාය. “මං බුදු වුනා, මං රහත් වුනා” කියමින් හොර මහණුන්ට තායි ජනතාව රැවටීම, ලෙහෙසි පහසු නොවන්නේ බොහෝ ගිහියන්ද තාවකාලික පැවිදි ජීවිතයක් ගතකොට සැබෑ බුදු දහම හා භාවනාව හොඳින් ප්‍රගුණ කොට ඇති හෙයිනි. යම් භික්ෂුවක් හෝ සාමනේර නමක් අපරාධ ක්‍රියාවක යෙදුනහොත්, තායි රජය ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නේ, මහානායක හිමිවරුන්ගේ අනුදැනුම මත ඔහුගේ චීවරය ඉවත්කිරීමෙන් අනතුරුවය. මන්ද බුදුන්ට පුදන ගෞරවය, තායි ජනතාව විසින් සිවුරටද ඒ අයුරින්ම දක්වන නිසාය. තායි භාවනා මධ්‍යස්ථානවල පැවැත්වෙන දින දහයේ භාවනා වැඩසටහන්, ඇමරිකානුවන් හා යුරෝපීයයන් අතරද ඉතා ජනප්‍රියය. එහෙත් පුන්‍යාධාර ලෙස වැඩි වැඩියෙන් අතට මුදල් ලැබීම සාසනයේ පිරිහීමට හේතුවක් විය.

ශාසනික විනය

2011 අගොස්තු සිට 2014 මැයි දක්වා තායිලන්තයේ අගමැති ධුරය හෙබවුයේ යින්ග්ලක් ශිනවාත්‍රාය. 2014 දී මිලිටරි කුමන්ත්‍රණයක් හරහා ඇයව බලයෙන් පහ කොට, තායි යුද හමුදාවේ ජෙනරාල්වරයෙකු වූ ප්‍රායුත් චාන්ඕවා රටේ පාලන බලය අල්ලා ගත්තේය. ලේ නොසොල්වා සාමකාමී ලෙස බලයට ඒමට ජෙනරාල් ප්‍රායුත් සමත් වූයේ, ඔහුට කලින් සිටි බහුතරයක් දේශපාලඥයින් (රටේ නමගිය හාමුදුරුවන්ගේ ආශිර්වාදයද ඇතිව) මහා පරිමාන දූෂණ හා වංචාවල නියැලී පොදු මහජනයාගෙ දැඩි පිළිකුලට පාත්‍ර වී සිටි නිසාය. තමාගේ ආණ්ඩුවක් යටතේ දූෂණයට ඉඩක් නොලැබෙන වග ප්‍රායුත් අවධාරණය කර සිටියේය. සිවුරට මුවා වී හොරකම් හා අපචාරවල යෙදෙන හාමුදුරුවන්ටද තමාගෙන් බුරුලක් නොලැබෙන බව බලයට ආ විගස ජෙනරාල් ප්‍රායුත් පැවසීය. තායිලන්තය ඉහළ මධ්‍ය ආදායම් ලබන දේශයක් බවට පත්වුනු පසු වෙළඳ පාරිභෝජනවාදය ට ගිලගත් බවත්, එම අධිපරිභෝජනයෙන් බේරී සිටිමට එහි සංඝ සමාජයේ බහුතරයට නොහැකි වූ බවත් තායි මහාචාර්ය සුලක් සිවරක්සා කියයි. 1990 දී ඔහු සිදු කළ සමීක්ෂණයකට අනුව, තායි හාමුදුරුවරුන්ගෙන් 10% ක් ම “මෙතමෆිට මයින්” නමැති භයානක මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇතැයි අනාවරණය විය. රාත්‍රියේ වෙස්වලාගෙන ගොස් කැරොකේ සමාජශාලාවල ස්ත්‍රීන් සමග නැටීම, මත්පැන් පානය කිරීම හා දුම්බීම යනාදී අපචාර ක්‍රියාවන්ට වැරදිකරුවන් වු භික්ෂූන් 300 කට දැඩි සේ අවවාද කොට නිදහස් කිරීමට තායිලන්ත පොලිසිය හා ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ 2012 වසරේදීය. විපස්සනා භාවනාව කේන්ද්‍රකොටගත් තායි වනවාසී සඟ පරපුර එහි ස්ථාපිත කිරීම සඳහා පුරෝගාමී වුයේ භාවනානුයෝගී සුසිල්වත් භික්ෂුවක වූ අජාන් මුන් භූරිදත්ත (1870 – 1949) තෙරුන් විසිනි. 1949 දී සිදු වූ භූරිදත්ත හිමිගේ අභාවයෙන් පසුව, උන්වහන්සේගේ ප්‍රධාන ගෝලයෙකු වූ යානසම්පන්නෝ නම් තරුණ භික්ෂුව වනවාසී දිවිය අතහැර නගරයට පැමිණ උඩොන් තානි පළාතේ විශාල පන්සලක් ඉදිකරීමට ක්‍රියා කළේය.

මුදලට ගිජුවීම

තම ගුරු හාමුදුරුවන්ගේ කීර්තිය උපයෝගී කොට ගෙන රටේ සුපිරි ධනවතුන්ගේ හා දේශපාලන බලවතුන්ගේ අවධානය තමන් වෙත යොමුකර ගැනීමට යානසම්පන්නෝ සමත් විය. 1997 ආසියානු ආර්ථික අර්බුදයෙන් තායිලන්තය දැඩි පීඩාවකට පත් වූ අවස්ථාවේ එරට මහා භාණ්ඩාගාරය වෙත ඇමරිකන් ඩොලර් මිලියන 8.8 ක් වටිනා රත්තරන් ටොන් 01 ක් සහ මුදලින් ඇමරිකන් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට යානසම්පන්නෝ පියවර ගත්තේය. අවුරුදු 97 ක් ආයුවළඳා, 2011 දී ඔහු මියයන මොහොත වන විටත්, හෙතෙම බිලියනපතියෙකු වූයේ කෙසේද යන්න සෙවීමට කිසිවෙකුත් පෙරට ආවේ නැත. මන්ද යානසම්පන්නෝ සතුව තිබූ දේශපාලන සබඳතා රටේ නීතියට ඉහළින් රැඳී තිබුණු නිසාය. ධම්මකාය නම් වූ භාවනා ක්‍රමයක් මුදල් අය කරමින් උගන්වා, ශ්‍රාවක ශ්‍රාවිකාවන් මිලියනයකට හිමිකම් කී ධම්මචායෝ භික්ෂුව, යානසම්පන්නෝ මෙන් පාලක පක්ෂය සමීපව ඇසුරු කළ අයෙක් නොවීය. 1990 දී ධම්මචායෝගේ චීවරය ඉවත් කොට, දූෂණ චෝදනා මත ඔහුව හිරේ විලංගුවේ දැමීමට තායිලන්ත බලධාරීන් ක්‍රියා කළේ එබැවිනි. රාජසන්තක කරනු ලැබූ ධම්මචායෝගේ වත්කම්වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 02 ඉක්මවීය. ඉතා ශූර ධර්ම දේශකයෙකු ලෙස තායි බෞද්ධයින් අතර නමක් දිනා සිටි ලුවාන් පූ නෙන්කාම් ස්ථවිරයන් හට බොහෝ විට මුල්‍ය අනුග්‍රහය දැක්වුයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන දායකයින්ය. අළුත්ම අළුත් මර්සිඩීස් බෙනස් කාර් 22 ක් ද ඇතුළුව නවීන මෝටර් රථ 70 ක් ඔහු සතුව තිබුනි. සිය පරිහරණය සඳහා ඇමරිකාවෙන් පුද්ගලික ගුවන්යානයක් මිලදී ගත්විට නෙන්කාම් හාමුදුරුවන්ගේ වත්කම් ගැන වහාම පරික්ෂණයක් කළ යුතුයැයි සමාජ මාධ්‍ය හරහා දැවැන්ත හඬක් නැඟුවේ තායි සමාජ ක්‍රියාකාරිකයකු හා නීතිඥවරයකු වූ සොන්ක්‍රාන් ආර්ටිචාරියසාප්ය. 2013 දී නෙන්කාම්ව සාසනයෙන් නෙරපා හැරියද අත්අඩුංගුවට ගැනීමට පෙර ඔහු ඇමරිකාවට පලා ගියේය. ජෙනරාල් ප්‍රායුත් බලයට පැමිණි වහාම නෙන්කාම්ව ඇමරිකාවෙන් පිටුවහල් කරන්නැයි හෙතෙම ඇමරිකානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. එහෙත් දීර්ඝ නීතිමය ක්‍රියාදාමයකින් පසුව ඔහුව තායි රටට ගෙන්වාගනු ලැබූයේ 2017 ජුලි මාසයේදීය. සිය දායකයින් සමග එක්ව ජාත්‍යන්තර හෙරොයින් ජාවාරමක නිරත වූ මග හෙළිදරව් වුණු හෙයින් 2018 අගෝස්තු මාසයේදී තායි අධිකරණය නෙන්කාම්ව වසර 114 කට සිපිරිගෙට යැවීය. 2019 පෙබරවාරි 14 දින තායි සංඝ සභාවේ මහානායක හිමිවරුන් කිහිප දෙනෙක්ද ඇතුළුව හාමුදුරුවන් 19 දෙනෙක් ජෙනරාල් ප්‍රායුත් ආණ්ඩුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ වංචා හා දූෂණ චෝදනා මතය.

වරදට දඬුවම්

ලංකාවේ ජනප්‍රිය පන්සලක භාණ්ඩාගාරික ධුරය වත්මනෙහි දරනුයේ එහි නායක ස්වාමීන්වහන්සේට දාව උපන් පුත් රුවනක් බව මෑතකදී හෙළදරව් විය. සාමනේර හිමිවරුන් දෙදෙනෙකු ලිංගික අපචාරයකට බඳුන් කළ කවි බණ කියූ හිමිනමක් මීට ටික කලකට ඉහතදී බන්ධනාගාර ගත විය. රුපියල් බිලියන ගණන් වැය කරමින් අසපු ගොඩනගන චීවරධාරීන්ගෙන්ද මෙරටට අඩුවක් නොමැත. සමාජ මාධ්‍ය වල රඟදෙන රහතුන්ද සුලබව දැකිය හැකිය. අධර්මවාදී, අවිනීත භික්ෂු වේශධාරීන් සිටිත් නම් ඔවුන් සිය නිකායෙන් නෙරපන බව 2020 මැයි 21 දින නිවේදනය කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි විසිනි. මෙහි බුදු සසුන නොපමාව පිරිසිදු නොකළහොත්, තායිලන්තයේ සිදු වූවාක් මෙන් පාරිභෝජනවාදය විසින් එය ගිලගනු ඇත.

උපුටා ගැනීම: රාවය 

ගෞතම බුදුන්වහන්සේ සමාජ විප්ලව වාදියෙක් ද?

 බුදුන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රථම ධර්ම දේශනාවෙන්ම අත්ථ දීපා විහරථ අත්ථ සරණා අණඥ්ඥ සරණා-ධම්මදීපා විහරථ ධම්ම සරණා අණඥ්ඥ සරණා’ යනුවෙන් දේශනාකර සිටියේ තමාට තමා පහනක් විය  යුතු බවත් අන් සරණක් නොව ධර්මය ඊට මාර්ගය වන බවත්ය.

ජ්‍යේෂ්ඨ නීතිඥ සුනිල් ජයරත්න

තෙමගුල් සමරන බොහෝ බෞද්ධයන් ආමිස පුජාවට බොහෝ ලැදිවෙති. එක් හේතුවක් ප්‍රතිපත්ති පිරීමට  හිත දමනය කරගැනීම පහසු නොවන නිසාය. අනෙක් හේතුව ආමිසයෙන් ලෞකික දියුණුව සඳහා තිසරණයේ හා  දෙවියන්ගේ පිහිටාධාරය ලැබෙතයි අදහන නිසාය.

ගෞතම බුදුන්වහන්සේ
සිද්ධාර්ථ කුමරු ඉපදුණේ බොහෝ චින්තාමය ප්‍රබෝධයක් තිබුණු යුගයක වන අතර වෛදික, උපනිෂද් වැනි බුද්ධි වාදී ඉගැන්වීම් මෙන්ම අන්ධ භක්තිය පෙරටුකොටගත් ඉගැන්වීම් වලින්ද අඩුවක් නොවූ එකල සංශයවාදී, උග්‍ර භෞතිකවාදී, නියතිවාදී, අනියතිවාදී වැනි බහුවිධ දෘෂ්ඨි වාදී ඉගැන්වීම් බහුලව තිබිණ. ෂඩ් ශාස්තෘන් වැනි  පිළිගත් මතධාරීන් හැම කෙනෙක්ම පාහේ තම ධර්මය නිවැරදි ශුද්ධ ධර්මය බව පැවසු නිසා හා අනුගාමිකයන් බොහෝ සිටි නිසා හුදී ජනයාට අද මෙන්ම කුමක් හරිදැයි යන්න තෝරා ගැනීම බෙහෙවින්ම අසීරුවූ බව බුදුන් හමු වී පැන විමසු සිඟාල, වච්ච, කාලාම වැනි තරුණයන් හා බුදුන් පැවැත් වූ සංවාදයන්ගෙන් පැහැදිලි වේ. 

 ඒ බොහෝ අවස්ථාවල බුදුන් කීවේ තම දහම ප්‍රඥාවන්තයන්ට මිස අන්ධ භක්තිකයන්ට නොවන බවයි.

අන්ධ භක්තිකයා හුදු පුද්ගල විශ්වාසය මත කරුණු පිළිගන්නා නමුත් ප්‍රඥාවන්තයා එසේ නොවේ. ඔහු යමක් විශ්වාසකිරීම හෝ නොකිරීම සිදුකරන්නේ බාහිර කරුණු නොසලකා කියනු ලබන දෙය පිළිබඳව නුවණින් විමසා  බැලීමෙනි.

 බුදුන් වහන්සේ තම විමුක්තිය තමා විසින්ම සොයා ගතයුතු බවත් බුදුන්ට පවා කියා දිය  හැක්කේ මාර්ගය  පමණක් බවත් දේශනා කළ සේක. “අත්ථ දීපා විහරථ අත්ථ සරණා-අනඥ සරණා, ධම්ම දීපා විහරථ ධම්ම සරණා-අනඥඥ සරණා” යනු කීවේ එයය.

බුද්ධ කාලීන භාරතීය සමාජයේ පුජක පන්තිය වූ බමුණන් වර්ණ ධර්මය දේශනා කරමින් මෝක්ෂය ලැබීම සඳහා බලි බිලි පුජාවන් පවත්වමින්, ආමිසය වඩමින් සිවුපසෙන් සංග්‍රහ ලැබු අතර රජුන්ද වැසියන්ද තම ග්‍රහනයෙහි තබාගැනීම සඳහා සමාජ චින්තනය හැසිරවීය.බමුණු දහමට අනුව මිනිසා දුක්  හෝ සැප විඳින්නේ පෙර කළ පව හෝ පින  (කර්මය)අනුව වන අතර මෝක්ෂය ලැබීමට ඇති එකම මග බමුණන්ට පුද පඬුරු දෙමින් දෙවියන් සතුටු කිරීම  සඳහා  යාග-හෝම, බලි  බිලි  පුජා පැවැත්වීම  බව ඔවුන්ගේ ඉගැන්වීම විය. උපතින්ම උරුම  වන කරුමය බමුණු දහමට අනුව නියත  වන  අතර එය වෙනස්  කළ හැක්කේ නොපෙනෙන දෙවියන්ට පමණි.

 සමාජයෙහි මිනිසුන්  දුක් විඳිද්දී බමුණන් විසින් අන්ධ භක්තිය මත  සමාජයක් නොමග යවමින් සැප විඳිනු ලබන බව දුටු බෝසතුන් ලෝසත වෙත පතල මහා කරුණාවෙන් තමා සොයා ගත් සත්‍යය දේශනා කරමින් මිනිසුන්ගේ විමුක්තිය තම වීර්යය හා  අධිෂ්ඨානය මගින් තමා තුලින් සොයා ගතයුතු බවත් එය  වෙනත්  දෙවියකුට හෝ බඹෙකුට හෝ සොයා දිය නොහැකි බවත් අවධාරණය කළේය.

තම ආත්ම ලාභය සඳහා අසත්‍යය වැපිරූ බමුණන් ගේ පැවැත්මට බුදුන් හෙළි කළ මෙම සරල සත්‍යය  නිසා මරු පහරක් වැදුණු අතර බමුණන්  බුදුන් නැසීමට පවා උපාය යෙදුයේ රජුන්ගෙන් හා හුදී  ජනයාගෙන් ලැබෙන ලාභ  සත්කාර නොලැ බීම නිසා හටගත් ද්වේශය හා වෛරය හේතුවෙනි.

 තිරසාර ලෙස  පවත්නා පුද්ගලයෙක් හෝ ලෝකයක් නැතැයි  අවබෝධ  කළ  බුදුන්ගේ දැක්මේ හැටියට සියල්ල අනිත්‍ය, දුකඛ, අනාත්ම වන බැවින් කිසිදු ආත්ම ලාභයක් ගැන නොසලකා එරෙහිව එන  බමුණන් අවිහිංසාවේ අවියෙන්  දමනය කොට රජුන්ගේ හා හුදී ජනයාගේ ඉමහත් ගෞරවයට, ආදරයට  හා ප්‍රශංසාවට පාත්‍ර  වූයේය.

මෙලොව සුගතිය උදෙසා පුද්ගල සමාජ විමුක්තියට මග කියා දුන් අතර මෙලොව සුගතියේ පාරප්‍රාප්තිය නිවීම බවත් නිවුණු පුද්ගලයා යලි පුනර්භවයක් නොලබන  බවත් කියමින් නියතිවාදයක් වූ ‘කර්මවාදය’ බිඳ හෙලුවේය.

 ලෞකික සැපයට බර වූ  රජ, මැති,සිටුවරුන්ට මෙන්ම හුදී ජනයාටද, ඇතැම් බමුණන්ටද ඉමිහිරි බවක් ගෙන දුන් මෙම දැක්ම සමාජයේ පිබිදීමක් ජනනය කළේය. 

ලෝභ, දෝස, මෝහ අකුසල  මුලයන් නැසීමට සීල, සමාධි ප්‍රඥා වැඩිය යුතු බව කී උන් වහන්සේ දිවියෙහි යථා ස්වභාවය චතුරාර්ය සත්‍ය මගින් පැහැදිලිකොට එම සත්‍ය දැකීමට ආර්ය අශ්ඨාංගික  මාර්ගය පෙන්වාදුන්නේය. ආර්ය මාර්ගයට පිවිසි පුද්ගලයා තුළ බෝජ්ජංග ධර්ම වැඩෙන බව කී උන්වහන්සේ ඉන් උතුම් නිවන අවබෝධ කර ගතහැකි බවත් නිර්වාණගාමී ආර්ය පුද්ගලයා තුළ ආත්මාර්ථය වෙනුවට පරාර්ථය ඉස්මතු වන බවත් එබැවින් ලෞකික මෙන්ම  ලෝකෝත්තර සැපයෙහි නොඇලෙන බවත් තම පැවැත්ම තුලින්ම පෙන්වා දුන්නේය. 

 ‘යථාවාදී තථාකාරී-තථාවාදී යථාකාරී’ ගුණයෙන් පිරි උන්වහන්සේගේ විමුක්ති මාර්ගය බමුණු දහමින් පීඩිත සමාජයේ දිළින්දන්ට, අසරණයන්ට,කුලහීනයන්ට හා  කාන්තාවන්ට නව ජීවයක් ගෙන  දුන් අතර  එම දහම වැළඳගත් සිවු වනක් පිරිස සීග්‍රයෙන් වැඩි දියුණු වුයේය. උන්වහන්සේ ද ගම් දනවු සිසාරා  යමින් තම දහම්  පණිවුඩය බෙදා දෙන අතර තම ශ්‍රාවකයන්ටද එසේ කරන ලෙස මග පෙන්වාදුන්නේය. රාෂ්ට්‍ර පාලකයන්ට ගුරු උපදෙස්  දුන් උන්වහන්සේ  මාලිගයේ  වසන දුසිල්වත් රජුන්ගෙන් ලබන දනට වඩා දුගී  පැළේ වාසය කරන සැදැහැවත් දුගියාගේ දානය උසස් කොට සැලකුවේය.

බුදුදහම අසුභ වාදයක්ද? යථාර්තවාදයක්ද?

ජීවිතයේ අතෘප්තකර බව නිසා එය දුකක්‌ බව කී බැවින් බුදු දහම අසුබ වාදයක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. අපේ ඇතැම්  බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාද දුක ගැනත් කර්මය ගැනත් කරන දේශනා අනුව එබඳු දුර්මථයකට ඉඩ තිබේ. බුදු දහම අසුබ වාදයක් හෝ සුබ වාදයක් නොව යථාර්ත වාදයකි. එසේ වන්නේ ජීවිතයෙහි හා ලෝක ධර්මයන්හි අනිත්‍ය ස්වභාවය පෙන්වාදී ඇති බැවිනි.

අටලෝ දහම, තරාතිරම නොසලකා කාටත් පොදුවේ බලපාන බැවින් ඉන් කම්පා නොවී උපේක්ෂාවෙන් ඉවසීම හා ජීවිතාභියෝග වලදී දිරිමත් වීම මිස මිත්‍යා දිට්ඨියෙන් පිළිතුරු සෙවීම දුක වැඩි කරවන බව පෙන්වා දුන්නේය. 

 ලෝකය දෙවියන්ගේ නියමයකට අනුව ක්‍රියා කරන නියති වාදයකට යටත් වුවක් නොව නියාම ධර්මතාවන් අනුව පවතින්නා වූ  ධර්මතාවක් බව පටිච්ච සමුප්පාද ධර්මය තුලින් පෙන්වා දුන්නේය. මෙකී ධර්මතාව වටහා ගැනීම තුලින් තිර සාර වූ ආත්මයක් නොමැති අවබෝධ කර ගැනීම නිවනට හේතු වන  බවද, උපාදානය දුරු වීමෙන් සංස්කාර ධර්මයන්ගේ නිරුද්ධිය නිසා අනාත්ම වන බවද පෙන්වා දුන්නේය.මෙලෙස නිවන් දැකීමට දරන ව්‍යායාමයේදී පුද්ගලයා යහපතෙහි ගමන් කරන නිසා පුද්ගල විමුක්තිය තුලින් සමාජ විමුක්තිය උදාවීම බුදු මගෙහි අපේක්ෂාව  වීය.

ලෞකික ජීවිතය හා බුදුදහම

ලෞකික විමුක්තිය නොලබා ලෝකෝත්තර විමුක්තිය උදාකර ගත නොහැකි බව චක්කවත්ති සීහනාද, කුඨදන්ත ආදී සුත්‍ර  දේශනාවන්ගෙන් පැහැදිලි කර දී ඇති  අතර පුද්ගල විමුක්තිය සඳහා දුරචාරයන්ගෙන් මිදිය යුතු බව වසල, පරාභව ආදී  සුත්‍ර දේශනාවන්ගෙන් පැහැදිලි කර දී ඇත්තේය.

එක් එක් පුද්ගලයාගේ අධ්‍යාත්මික පරිවර්තනය මගින් සදාචාර සම්පන්න සමාජයක් ස්ථාපිත කිරීම බුදු දහමේ මාර්ගය බව තේරුම් ගැනීම වැදගත්ය. තම ඇතුළාන්තය පිරිසිදුකර නොගෙන බලි බිලි දෙවියන්ට තබා දෙවියන්ට ස්තෝත්‍ර ගායනා කිරීමෙන් මෙලොව පරලොව සුගතිය උදානොවන බව දෙසු  උන්වහන්සේ  අභ්‍යන්තරය අපිරිසිදු බමුණන්ගේ  බාහිර පාරිශුද්ධියද, වර්ණ ධර්මයද පිළිකෙව් කළේය.

 මිසදිටු බවින් මිදීම සඳහා යාග හෝම වෙනුවට සෙත් පිරිත් ශාන්තිකර්මයක් බව දෙසු උන්වහන්සේ බමුණු දහමින් වල්මත් වී සිටි තරුණයන් හරි මග යැවීම සඳහා ව්‍යග්ගපජ්ජ, කාලාම, සිඟාලෝවාද, වච්චගොත්ත, භාරද්වාජ ආදී සුත්‍ර දේශනා කළේය. ආත්මගත ස්ථිතික වූ  සත්වයකු ඇතැයි විශ්වාස කළ  සමාජ සන්ධර්භයක ස්ථිර ආත්මයක් හා ලෝකයක් පිලිබඳ අදහස මිසදිටු අදහසක්  බව කී  උන්වහන්සේ   එය  මනසේ සංස්කරණයක් බවත් සියලු සංස්කාර  ධර්මයන්ගේ  අනියත බව නොදකින්නේ උපදානයක් නිසා බවත් උපාදානයෙන් මිදීමට පටිච්චසමුප්පාදය හා සම්මාදිට්ටිය උපයෝගී කරගත යුතු බවත්  දේශනාකළේය. දම්සක් පැවතුම්, සතිපට්ඨාන,  මෙත්තානිසංස සුත්‍ර දේශනා මගින් සතර බඹ විහරණයෙහි යෙදෙන පවින් මිදුන යහපත් මිනිසකු තැනීම බුදුන්ගේ  අභිලාශය  වූ බව  පැහැදිලිය. 

කම් සැපෙහි ගිජු නොවූ මෙන්ම ශරීරයට දුක් දෙන තවුස් දම්හි නොඇලුණු මැදුම් පිළිවෙත අනුගමනය කරන දෙලොවට වැඩ ඇති ප්‍රයෝගික මිනිසකු තැනීම අරමුණු කරගත් බුදු දහම යහපත් සමාජයකට  මගකියන උපයෝගිතවාදයකි. සන්දෘෂ්ඨික  දහමකි. 

යහපත් සමාජයක් සමාජයක් තුළින් යහපත් පුද්ගලයෙක්ද, යහපත් පුද්ගල සදාචාරයක් තුළින් යහපත් සමාජ සදාචාරයක්ද බුදු දහමේ නිෂ්ඨාව බව රජුන්ට සිටුවරුන්ට ධර්ම රාජ්‍යයක් පිහිටුවන ලෙස කළ දේශනා වලින් පැහැදිලිවේ.

සිවුපස ලාභය අරමුණු කොටගත් බමුණු දහමින් මැඩුණු පන්ති සමාජයක් ස්ත්‍රී-පුරුෂ, සිටු-දිළිඳු, ජාති-කුල වශයෙන් බෙදා වෙනස්කමකට ලක්‌ නොකිරීම බුදුදහමින් අපේක්ෂා කළ බව අනේපිඩු සිටු මැදුරේ දනට නොවැඩ පුන්නා දාසියගේ නිවසට වැඩමවීම, සුනීත, සෝපාක පැවිදි  කිරීම වැනි කතාපුවත් වලින් පැහැදිලි වේ. අසරණයන්ට, ලෙඩුන්ට, අදමිටුවන්ට  පිහිට වීම සඳහා  ආත්ම පරිත්‍යාගයෙන් හා නොබියව  ආදර්ශමත් වූ අයුරු රෝගී පුතිගත්තතිස්ස තෙරණුවන්ට උවැටන් කිරීම, ආලවක, අංගුලිමාල දමනය  කිරීම ආදී බුදු චරිතාදර්ශයන්ගෙන් පැහැදිලි වේ. 

බුදුන් වහන්සේ සමාජ විප්ලවවාදියෙක්ද?

 බුදුන් සමාජ විප්ලවවාදියකු ලෙස සැලකිය හැක්කේ පැවති සාරධර්ම උඩු යටිකුරු කරමින් බමුණු අභියෝග ජය ගනිමින් බුද්ධ කාලීන සමාජයේ පරිවතනයකට මග පෑදූ නිසාය. බුදුන්ගේ විප්ලවයේ සුවිශේෂිත්වය වන්නේ එය වෛරය, මානය, ක්‍රෝධය හා හිංසනයෙන් තොර මහා කරුණාව හා මහා  ප්‍රඥාව අවියක් කොට ගැනීමෙන් සිදු කළයුත්තක් බව පෙන්වාදුන් නිසාය.

විප්ලවවාදියෙක් යැයි කී විට ධනේශ්වර චින්තනයට නතු වී ඉන් ප්‍රතිලාභ අපේක්ෂා කරන නිර්ධන පන්තියේ බොහෝ දෙනා පවා අද බියට පත්වේ.එසේ නොවන්නන් පවා බියට පත් වන හේතුව  වන්නේ මෑත කාලීන සන්නද්ධ අවි ගැටුම් හා අරගල වලින් පෞද්ගලිකවත් පොදුවේත් විඳින ලද පීඩා අනුව එයින් යළි පීඩා විඳීමට ඇති අකමැත්ත හා ඒ පිලිබඳ  සිත්හි  පැන නාගෙන ස්වභාවික  විරෝධය  නිසාය.

දෘෂ්ඨිවාද වෙනසක්‌  නිසා හෝ ජාති  ආගම්  භේදයන්  නිසා යුද්ධය  මගින් මිනිසා ජිවී අජීවී වස්තුන්  හා දේපල විනාශ කිරීම හරහා කරන සමාජ පරිවර්තනයක් ශිෂ්ඨ සම්මත සමාජය අනුමත නොකරයි. එහෙත්  ධනේශ්වර ක්‍රමය විසින් මිනිස් නිදහස හා ගරුත්වයට එරෙහිව මිනිසකු විසින් තවත්  මිනිසකු සුරා  කන විට හා ඒ සඳහා නීතිය දඩමීමා කරගෙන සමාජ බලවේග අවිබලයෙන් හා ආගම දහම උපයෝගී කරගනිමින් මැඬලන විට ඊට එරෙහි වීම ධර්ම සන්ස්තාපනයෙහි ලා කෙරෙන ධර්මයුද්ධක් ලෙස  සමාජය  අනුමත කරයි,  ඉපැරණි හින්දු දහම දහම මෙන්ම නුතන දේශපාලන දහමක් වූ මාක්ස් වාදයද එය අනුමත කරන නමුත් නිර්මල බුදු දහම එය කිසිසේත්ම  අනුමත නොකරයි, මාක්ස්ගේ දහම භාවිතයට  යෙදු ලෙනින් පන්ති  විරහිත පරමාදර්ශී  සමාජයක්‌ තැනීමේ උදාර අභිලාශය ඇතිව බටහිර වැඩවසම් සුරා කෑමට එරෙහි විප්ලය ජයගනු ලැබුවද ධනේශ්වර සමාජ ක්‍රමය විසින් අපේක්ෂිත පරමාදර්ශී සමාජයක  ප්‍රර්ථනා බොඳ  කළේය. 

මාක්ස්වාදය හා බුදුදහම

 ක්‍රමවේදයන්ගේ වෙනසක් වුවද  මාක්ස්  වාදයේ හා බුදු දහමේ අපේක්ෂාවන් අතර වෙනසක් නොවන  බැවින් හා සමාජ දර්ශනයේ පෙරලියක් ඇති කළ හෙයින් බුදු දහම මාක්ස්ගේ දහම හා සැසඳීමට කල්පනා  කළේ අද පවතින ධනේශ්වර සමාජ ක්‍රමයේ පීඩනයෙන් මිදී විමුක්තිය ලබා ගැනීමට බුදු දහමින් පිළිතුරු  ලබාගත  හැකිදැයි පරීක්ෂා කිරීමේ අපේක්ෂාවෙනි. 

මාක්ස්  වාදය ගැන  දීර්ඝ  සාකච්චාවක්  කිරීමට  අදහස් නොකළද  නුතන ලෝකයට මාක්ස්වාදී චින්තන දහරාව විසින් මහඟු බල පෑමක්  ඇති කර  ඇති බව ලෝකයේ  මානව හිමිකම්  හා කම්කරු අයිතිවාසිකම්  පිළිබඳව ඇති සාධනීය වර්ධනයන්ගෙන් පැහැදිලි වේ. 

 බුදු දහම ශ්‍රමය, ධනය හා දේශපාලනයට මුල් තැන් දුන්  දහමක් නොවුවද අර්ථක්‍රමය වෙනස් කිරීමෙන් සමාජ ක්‍රමය වෙනස් කිරීමට අපේක්ෂා කළ මාක්ස් වාදයට වඩා ප්‍රයෝගික හා සරල දහමක් බව පෙරදිග වැසියන් වන අපි කල්පනා කලද මාක්ස් වාදීන් එසේ කල්පනා නොකරයි. මාක්ස් දේවවාදී ආගම් දෙස  ‘බලා ආගම අබිං‘ යයි කීවද බුදුදහමින් මත් නොවූ ධර්මාශෝක බෞද්ධ දර්ශනය, ධර්මිෂ්ඨ සමාජයක් ස්ථාපිත කිරීමටද, බෞද්ධ සංස්කෘතියක්‌ බිහිකිරීමටද උපයෝගී කරගත්තේය. බුදු දහමේ සදාචාර  වටිනාකම්  අනුව යමින් සමාජ  සමානාත්මතාවය හා  යුක්තිධර්මය  ස්ථාපිත කරමින් ලෝක ඉතිහාසයේ කීර්තිමත් අධිරාජයකු ලෙස රන් අකුරින් ධර්මාශෝක නම ලියවී ඇති බව  ඉතිහාසඥයකු  වූ  බෂාම්  තම  ‘අසිරිමත් ඉන්දියාව‘ නැමති නිබන්ධනයෙහි සටහන් කර තිබේ. 

පැවිදි වෙස් ගත් සිව්පසට කෑදර බමුණන්  විසින් අද පාලකයන්ට බුදුන් අනු දැන නොවදාළ බෞද්ධ අධිපතිවාදයක් දේශනා කළද, ධර්මාශෝක මහණ  බමුණන්ට සැමටද නීතිය පොදුවේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව අදත් පවතින ටැම් ලිපි සාක්ෂි දරණ බව බෂාම් කියයි. මෛත්‍රිය භා කරුණාව පෙරදැරි  වු බුදු දහම ගඟින් එතෙරෙ වීමට පහුරක් සේ උපයෝගී කරගනිමින් ධර්මිෂ්ඨ සමාජයක් තැනුවද, ඔහු  අන්ධ බෞද්ධයකු නොවූ බව ධර්ම සංගායනාවක් පවත්වා ධර්මය හා සසුන පිරිසිදු කිරීමෙන්ද, පිරිවැජියන්ට ආරම තනවා දීමෙන්ද සතුරන්ගෙන් ආරක්ෂාවීමට යුධ ශක්තියෙන් සවිමත් වීමෙන්ද දැක්වු රාජ්‍යතානත්‍රික භාවය අගයන ඉතිහාසඥ රොමිලා තාපර්, රජු යනු ආගමික  නිදහස සහ චින්තන නිදහස ගරු කළ ප්‍රායෝගික මිනිසකු වූ බව කියයි. අශෝක  ටැම් ලිපි වලට අනුව ඔහු වැසියා පියකු හා භාරකරුකු  ලෙස ආරක්ෂා කළ බවත් එසේ කිරීමෙන් මිහිපිට දෙවියකු වීමට අපේක්ෂාකළ බවත් පවසන බෂාම් රජු සතා  සිව්පාවා ගහකොළ ඇතුළු පරිසරය ආරක්ෂාකිරීමට ප්‍රාදේශීය භාරකරුවන් පත් කොට පියවර ගත්බව සෙල් ලිපි හා ටැම් ලිපි වලින්  බව තහවුරු වන බව බෂාම් තවදුරටත් පෙන්වා දෙයි. අදත් දඹදිව වන්දනාවේ යෙදෙන බුද්ධිමත් බැතිමතෙකුට දක්නට ඇති නටබුන් තුලින් ධර්මශෝකගේ ධර්ම රාජ්‍යය කෙබඳු වීදැයි මනනය කලහැකි වේ.

එකල  තම්බපන්නිය ලෙස  අශෝක ටැම් ලිපි වල සඳහන් ලක්‌ දිවටද බුදු දහමේ දායාදය පරිත්‍යග කළ ධර්මාශෝකගේ පුතු හා ධර්මදුතයා වූ මිහිඳු හිමියන් දෙවනපෑතිස් රජුට අනුශාසනා කරමින් වදාලේ ගහ කොළ සතා සිවපාවාගේ පවා භාරකරු වන බැවින් මහපොළොව ඇතුළු සොබා සම්පත් ආත්ම ලාභය  උදෙසා නැසීමට රජුට අයිතියක් නොවන බවය. 

එහෙත් අද අධී සංකරගේ දහමින් මුලා වු ඇතැම් බෞද්ධ වෙස්ගත් බමුණන්, ඉන්දියානු උරුමයක් වූද,  ආසියාතික රටවල පැතිර පවත්නාවුද, නුතන ලෝකයට පහනක් බඳූ වුද, බුදුදහම සිංහල බෞද්ධයාව  පමණක් උරුම දේපළක් සේ විකුණාගෙන ආත්ම පෝෂණයෙහි යෙදීමට පමණක් නොව නොදැමුණු මිනිසුන් හා පාලකයන් නොමග යැවීමට උපයෝගී කරගන්නා සෙයක් පෙනේ. බුදු දහමට මුල්  තැන  දෙනවා නම් කළයුතු වන්නේ ධර්මාශෝක කළාක් මෙන් නුතන ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී මුලධර්ම  හා සැසැඳෙන බෞද්ධ මුලධර්ම අනුව යමින් රට පාලනය කිරීම මිස මාක්ස් කිව් පරිදි ආගම අබිං වලට හරවා  ජනයා  නිවනෙහි නිද්‍රෝපගත කොට ලෝක ධනේශ්වර අර්බුද මැද්දේ වරප්‍රසාද ලත් පන්තියේ ආත්ම පෝෂණය කිරීම නොව හුදී ජනයාට සතුට සමෘර්ධිය ගෙනදෙන අවට ලෝකය හා සුමිතුරු අදීන ධර්ම  රාජ්‍යයක් ගොඩ නැගීමය. 

 බුදුන්ගේ මයිලනුවන් වූද, පිනැති යශෝධරාවන්ගේ පව්කාර සොහොයුරා වුද, දෙවිදත් තෙරුන්  ඥාතිත්වය මත  බුදුන්ගෙන්  වැඩි සැලකිලි  හා තනතුරු ඉල්ලා නොදුන් ද්වේශය මත බුදුන් මරා  බුදු බව  ලැබීමට චණ්ඩ මිනිසුන් ලවා ගල් පෙරලුවේය. එනමුදු අවි බලයට වඩා ප්‍රබල බුදුන්ගේ පවිත්‍ර වූ අධ්‍යාත්මික බලය නිසා බුදුන්ගේ ජීවිතයට පීඩාවක් නොවීය. 

අද සමාජයේ  සිටින දෙවිදත්තෙරලා බුදු දහමට මුවා වී අහිංසක ජනයාට බේ-ගල් පෙරලමින් ධර්මයද  සමාජ සාරධර්මද විනාශ කරමින් තම කම්සැප තරකර ගැනීමට මාන බලන බව පෙනෙන අතර එයද බුදුන්  නැසීමට වෙර දැරීමේ පාපයට සමාන පාපයක්බවද  අවීඡී මහානිරයට වැටීම තරම් පාපයක්  බවද සිහිකට යුතුය.  
 බුදුන්වහන්සේ වදාළ නිවන්මග

නිවන් දැකීමට පිං පව් දෙකම ඉක්මවා යායුතු වන නමුත් කුසල් වඩා සදාචාර මාර්ගයේ ගමන් කිරීමෙන් තොරව අකුසලය හා දුරාචාරය පිටු දැකිය නොහැක්කේය. මෑත කාලයේ විසු හේන්පිටගෙදර ඥාණසීහ, වල්පොල රාහුල, ආනන්ද මෛත්‍රීය වැනි ධර්මධර ග්‍රාම වාසී බුදුපුතුන්ද, ඥාණපොනික, ඥණමෝලී, බෝධී වැනි ආරණ්‍යවාසී සුතධර බුදුපුතුන්ද මේ යුගයේ ඊට දායක වු බව යලි සිහියට නැගීම වැදගත්ය. 

බුදු දහම  අධික  ලෝභය  හා මසුරුකමද තණ්හාවද, කම් සැපද පිටු දකින අතර සොරකම, බොරුකීම, කාම මිත්‍යාචාරය වැනි දුරාචාර ධර්මයන් පිටු දකින නමුදු අද ඇතැම්  දුසිල්වත් භික්ෂුන් සිවුරේ ආවරණය  ලබමින් අදැහැමි පාලකයන්ට ප්‍රශස්ති ගායනා කරයි. අකම්පිත බුදුන් මෙකල වැඩියේ නම් පැරදවූ දසමරුන් රඟන දෙස බලා මහත් සේ කම්පා වනු ඇත.

බුදුන් ගැලවුම්කරුවකු නොව මාර්ගෝපදේශකයකු හා සමාජ විප්ලවවාදියකු වන්නේ දෙවියකුට හෝ අන් කිසිවකුට, කෙනෙකුගේ විමුක්තිය උදාකරදීමට නොහැකි බව මෙන්ම එය තම තමන්  විසින්  උදාකරගත  යුතු බව පැවසූ හෙයිනි. එහෙත් අද බුදු දහම යැයි රැවටී බමුණුදහම් අදහන බැතිමතුන් අධර්මයෙන් ජීවත් වෙමින් පිළිම හා ගස් ගල් ඉදිරිපිට පුද පඬුරු පුජා කොට වැඳ වැටී පිරිවැජි බමුණන්ගේ යාතු කර්ම මගින්  හා දෙවියන්ගේ පිහිටාධාරයෙන් මෝක්ෂය හා ගැලවීම ඉල්ලා සිටිති.

 බුදුන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රථම ධර්ම දේශනාවෙන්ම අත්ථ දීපා විහරථ අත්ථ සරණා අණඥ්ඥ සරණා-ධම්මදීපා විහරථ ධම්ම සරණා අණඥ්ඥ සරණා’ යනුවෙන් දේශනාකර සිටියේ තමාට තමා පහනක් විය  යුතු බවත් අන් සරණක් නොව ධර්මය ඊට මාර්ගය වන බවත්ය.

මාක්ස් සිය අරගලයේ නියමුවන් වැඩකරන පන්තියේ ජනතාව බව කී අතර බුදුන් කීවේ තම  අධ්‍යාත්මික  අරගලයේ නියමුවන් ශ්‍රාවකයන් වන බවය.ප්‍රථම රහතුන්  හැට නමට "චරත  භික්ක්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය අනුකම්පාය දේව මනුස්සානං" යනුවෙන් කීවේ බොහෝ දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, අර්ථ  සිද්ධිය පිණිස කටයුතු කල යුතු බව මිස තම කුල ගෝත්‍ර වශයෙන් බෙදා  පාලනය කරන ආත්මාර්ථකාමී පාලකයන් සතුටු කිරීම නොවන බව සිහි කටයුතුය. සැදැහැවත් බෞද්ධකම  යනු ආමිසය නොව ප්‍රතිපත්තිය රැකීම බවත් තේරුම් ගෙන ධර්මය රකින සමනත්තාව සුරකින යුක්තිය හා සාධාරණත්වය රජයන කීර්තිමත් රාජ්‍යයක් තැනීම ජනයාගේ වගකීම හා අයිතිය බව කවුරුත් දත යුතුය.

ඊට මග කියාදුන් ගෞතම බුදුන් සමාජ විප්ලව වාදියෙක් ලෙස මෙම මහා භද්‍ර කල්පය  තුළ වැජඹෙන අතර සදා පිදුම් ලබනු ඇත.

ඇඟිල්ල නෙවෙයි හඳ දිහා බලන්න රන්ජන්ගෙන් ඉගෙන ගනිමු

ඇත්තටම කපලා වෙන් කළාට පස්සේ පණ නැති කොටසක් බවට පත් උනත් ඒ පණ නැති කොටස පවා එය විසින් ම නටන්න ගන්නවා. එය විසින් ම ක්‍රියාත්මක වෙනවා. එය විසින් ම ආශාවේ අවසානය සොයා යනවා. 

මහේෂ් හපුගොඩ 

එකමත් එක කුමාරිකාවකට මැජික් සපත්තු දෙකක් හම්බ වෙනවා. ගොඩක් ලස්සන නිසා එයා ඒක පැළඳ ගන්නවා. හැබැයි පැළඳ ගත්ත වෙලාවේ ඉඳන් එයාට නටන්න ආශා හිතෙනවා. ඒ නිසා එයාට ඒවා ගලවන්න හිත දෙන්නේ නැහැ. දැන් මෙයා පුරා දවසක්ම නටනවා දැකපු එයාගේ වටේ හිටපු අයට තේරෙනවා මෙයාට මැරෙනකම්ම නටන්න වෙනවා කියල. මොකද එයාගේ ආශාව විසින් දැන් එයා මරණය දක්වා ගෙනියන්න ලඟයි. එයත් දන්නේ නැහැ එයා මැරෙන්න ලඟයි කියල. අන්තිමට රජ වාසලේ වධකයා ඇවිල්ලා එයාගේ කකුල් දෙක කපලා තමයි මේ කුමරිය මරණෙන් බේරා ගන්නේ. හැබැයි කකුල් කෑලි දෙක විතරක් එක්කත් අර මැජික් සපත්තු දෙක නටන එක නම් නැවතුණේ නැහැ...



ජිජැක් කියනවා මෙතන වෙන්නේ ඇය නැතුව උනත් ඇයගේ මදය (core) ක්‍රියාත්මක වෙන එක කියල. ඒකට තමයි රැඩිකල් ආශාව කියල කියන්නේ. මේ තමයි 'ඇයට වඩා වැඩි දෙය' යනුවෙන් මනෝ විශ්ලේෂණයේ හැඳින්වෙන්නේ. කැපුවත් මැරෙන්නේ නැති මිනිස් නොවන මිනිස් දෙය කියලත් මේකට කියන්න පුළුවන්. මෙන්න මේ 'නො-මිනිස්' කොටස කාටවත් යටත් කරන්න බැහැ. ඇත්තට සටන් කරන කොට මේ 'නොමිනිස්' කෑල්ල අවශ්‍ය වෙනවා.

ඇත්තටම කපලා වෙන් කළාට පස්සේ පණ නැති කොටසක් බවට පත් උනත් ඒ පණ නැති කොටස පවා එය විසින් ම නටන්න ගන්නවා. එය විසින් ම ක්‍රියාත්මක වෙනවා. එය විසින් ම ආශාවේ අවසානය සොයා යනවා. ටොම් ඇන්ඩ් ජෙරී වගේ නැවත නැවත උත්ථානය වෙනවා. හිස කඳින් වෙන් කළාට පස්සෙත් සිරි සඟ බෝ රජ්ජුරුවන්ගේ හිස දුගියා වෙත යනවා. ස්වයංක්‍රීයව. ඒක භෞතිකවාදයට අහු වෙන්නේ නැහැ. හැබැයි මනෝ විශ්ලේෂණයට අහුවෙනවා.

මේක කොළඹ ඉන්න බුර්ෂුවා කතානායක ලොක්කාට තේරෙන්නේ නැති නිසා 'කුණුහරප' වෙනුවට 'අසභ්‍ය' කියල රන්ජන්ට ඉඳගන්න කියනවා. රන්ජන් මොකක්දෝ පැහැදිලි කරන්න හදනවා හොරු ගැන. හැබැයි ඔක්කොම එයාගේ මැජික් සපත්තුවේ හිර වෙනවා. එයාගේ කකුල් කපල දානවා පක්ෂය විසින්. ඒත් මැජික් කකුල් ඇවිදින්න ගන්නවා. දැන් තියෙන්නේ හැමෝටම මැජික් එකක්.

රන්ජන් ගේ ආශා ගැටයෙන් මිදිලා අපිට එයා පෙන්නන දේශපාලනයේ අඳුරු අගාධය දකින්න බැහැ. එයා ඉල්ලන්නේ ඒක. මගේ ආශාවේ ඔයාලා හිරවෙන්න එපා කියන එක. ඇඟිල්ල නෙවෙයි හඳ දිහා බලපල්ලා කියන එක. හැබැයි හොරු වෙනුවට රන්ජන් දැක්ක ගමන් අපේ හිතට එන්නේ අම්මෝ මෙයා අර කට්ටිය එක්ක මොන තරම් ආතල් එකක් ගන්න ඇත්ද කියන පරිකල්පනය. මැජික් එක. අපේම ආශාව. එතැනින් එහාට යන්න අපි දන්නේ නැහැ. ෆැන්ටසි එක තරණය කරන්න බැහැ කියන්නේ ඒකට...

'නීල සංධ්වනිය' 31 වැනිදා අල්ගම ඇල්ලේදී




ගිනිගන්නා ඇමසන් වනය ගැන කතාකරන අප ජල සම්පත මෙන්ම ගහකොළ, සතා සිවුපාවුන් තුරන් වී නොයන්නට සිදුකරන්නේ කුමක්ද ?. ඒ වෙනුවෙන් මතු පරම්පරාවට කියාදෙන්නට අවශ්‍ය ආකල්පමය වෙනස ඇතිකරන්නේ කෙසේද ?. 'නීල සංධ්වනිය', සොබාදහමේ අපූර්වත්වය කියාදෙන, ගහකොළට ආදරය කරන්නට කියාදෙන ප්‍රාසාංගික අත්දැකීමකි. සාගර විජේසිංහගේ සංගීත නිර්මාණයක් වන 'නීල සංධ්වනිය', 'ඔපෙරා පාර්ක් පදනම' විසින් සංවිධානය කරන අතර මෙය එළඹෙන අගෝස්තු 31 වැනි සෙනසුරාදා පස්වරු. 3. 00 ට අල්ගම ඇල්ලේදී දියත්වීමට නියමිතය.  


මෙරට සමාජයට 'නීල සංධ්වනිය' වැනි නිර්මාණ වඩ වඩාත් අවශ්‍ය ඇයිදැයි යන්න ගැන පැහැදිලි කරන සාගර විජේසිංහ පවසන්නේ මෙවැනි අදහසකි. 


'නීල සංධ්වනිය' අවශ්‍ය ඇයි ? 

''ලාංකීය සමාජයේ නීල සංධ්වනියක සංකල්පමය අවශ්‍යතාව දැඩිව බලපෑම එය කලාත්මක වශයෙන් ප්‍රබල ස්ථානගතවීමකට හේතුවිය. නූතනයේ අප ජීවත්වන්නේ ඉතා තරඟකාරී කාර්යබහුල සමාජයක නීල සංධ්වනිය තුළින් නූතන ප්‍රේක්ෂකයාට හෝරා දෙකක් තුළ කායික හා මානසික සන්සුන් බවකට ආරාධනා කරනවා.

එම ලබන අපූර්ව අත්දැකීම ප්‍රේක්ෂකයාගේ මුළු ජීවිත කාලය පුරාවටම අමතන නොවන සුවිශේෂී සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පත්කිරීමයි නීල සංධ්වනියේ අරමුණ පරිභෝජනවාදී ආර්ථික රටාවක් තුළ පරිසරිය විශාල තර්ජනයකට මුහුණපාමින් සිටින යුගයක නීල සංධ්වනිය තුළින් සුන්දර පරිසරයක් රැකගැනීමේ වටිනාකම සංගීතමය රසභාවයන් ප්‍රේක්ෂක මනසේ තැන්පත් කිරීමට හැකිවීම ගැන ඇත්තේ සතුටකි. එය වඩාත් උද්දීපනය කිරීමට මෙම ප්‍රසංග මාලාව පවත්වනු ලැබූයේ සොබාව සෞන්දර්යයෙන් අනූන සුන්දර එළිමහන් පරිසර තුළ ඉලෙක්ට්‍රොනික ශබ්ද උපකරණ වලින් තොරවය. කිසිදා කිසිවකු බලාපොරොත්තු නොවන ස්ථානයක පැවැත්වුණු නීල සංධ්වනිය වාර හයක් මේ වනවිට ප්‍රාසාංගික අත්දැකීමක් බවට පත්කර ඇත.

'නීල සංධ්වනිය' සජීවි වාද්‍ය වෘන්ද ප්‍රසංගයක් 

සංගීතමය වශයෙන් නීල සංධ්වනිය වෙනස් තැනක ස්ථානගත වන්නේ එහි ඇති ආකෘතිමය ස්වභාවයේ සුවිශේෂත්වයයි. නිරන්තරයෙන් ඕනෑවටත් වඩා ගීත, මාධ්‍ය මගින් බලෙන් ශ්‍රවණය කරවන යුගයක කිසිදු ගීත ගායනාවකින් තොරව ශ්‍රාවකයා තෘප්තිමත් කරන සජීවි වාද්‍ය වෘන්දයක් ප්‍රසංගයක් වන මෙය පරිසරය හා සංගීතය අතර ඇති සබැඳියාව අර්ථ ගන්වයි. ජනප්‍රිය ගායක ගායිකාවන් නොමැතිව වර්තමානයේ සංගීතය ප්‍රසංගයක් සාර්ථක කරගත හැකිද යන්න විශාල අභියෝගයකි.

සෑමවිටම  පහසුව බලාපොරොත්තු වන ප්‍රේක්ෂකයා විශේෂ සූදානමකින් දුර කතර ගෙවා පැමිණිය යුතු ගමන් මාර්ගයක හුදකලා තැනක පවත්වන ප්‍රසංගයකට ප්‍රේක්ෂකයින් ගෙන්වා ගැනීම ද එම දුෂ්කර ස්ථාන වලට ග්‍රෑන්ඩ් පියානෝවක් වැනි සංගීත ලෝකයේ බරින් වැඩිම සංගීත භාණ්ඩයක් රැගෙන යාම ද අභියෝගයකි. සොබාදහමේ සුන්දරත්වය විඳිමින් විවෘත අවකාශයක් තුළ අව්, වැසි ආදිය මගහරිමින් නීල සංධ්වනිය ප්‍රසංගයක් සාර්ථකව ඉදිරිපත් කිරීම ද සිදුවන්නේ ඕනෑම බාධකයක් හමුවේ සොබාදහමට අවනත වෙමිනි.

සංගීතමය හැකියාව මිනිත්තු 3-4 කට කොටු කරන්නේ ඇයි ?

ගීතය මුල්කරගත් ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ගායකයාගේ සිවිල් බලය පද රචකයාටත් සංගීත නිර්මාණ ශිල්පියාටත්, වාදකයාටත් සාපේක්ෂ්ව අධි නිෂ්චයවීමක් දක්නට ලැබේ. නෛතිකව ගීතයක් පද රචකයාටත්, තනු රචකයාටත් වැඩි අයිතියක් තිබුණත් සාමාන්‍ය ව්‍යවහාරයේ ගීතය නම් කරන්නේම අසවලාගේ ගීතය යනුවෙන් ගායකයාගේ නමිනි. ලංකාවේ බොහොමයක් සංගීතඥයන්ද ඊට රුකුල් දෙමින් තමන්ගේ දැවැන්ත සංගීතමය හැකියාව මිනිත්තු 3 – 4ක ගීතයකට පූජා කරමින් සිටිති. සංගීතඥයින් පරම සංගීතයක් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. භාෂාවකට හිරවී නිර්මාණයක යෙදෙනවාට වඩා සංගීතඥයෙකුට සංගීත ස්වර වලින් පමණක් මුළු සමාජයක්ම විශ්වයට පත්කළ හැකිය. එය ජාතිභේදයෙන් ඔබ්බට ගිය නිදහස් කලාත්මක අවකාශයකි. සංගීතය යනු ලෝකයේ මානවයා ලැබූ පොදු ජයග්‍රහණයකි. එහි රුව ගුණ රසවිඳීමට ජාතිකත්වය ප්‍රශ්නයක් කරගත යුතු නැත. හරිත සංධ්වනිය හැමවිටම මෙම තේමාවේ රැඳී සිටියි. දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂක සහභාගීත්වයක් ද ලැබීමට හරිත සංධ්වනියට වරම් ලැබෙන්නේ එබැවිනි. මෙය වාදකයන්ගේ සූක්ෂ්ම සංගීත භාවිතාවක් ප්‍රේක්ෂකයාට හමුවන ගෙනෙනා අවස්ථාවකි.

නිහඬතාව ගැන කතාකරමු


එමෙන්ම, ලාංකීය සමාජය තුළ නීල සංධ්වනිය මගහැරයාමට නොහැකි වී ඇත්තේ ‘ගොඩනංවන ලද නිහඬතාවට’ (Constructed Silence) මුල් තැන දෙන බැවිනි. මුළු ලංකාවට හඬ ගැන කතාකරන විට මෙම ප්‍රකාශය නිහඬතාව ගැන කතාකරයි. මුළු ලංකාවම ගීතය ගැන කතාකරන විට මෙම ප්‍රසංගය සංගීතය ගැන කතාකරයි. නීල සංධ්වනියේ දාර්ශනික ගැඹුර ලෙස මා දකින්නේ ඉහත සඳහන් කළ නිර්මාණාත්මකව ගොඩනංවන ලද නිහඬතාවයි. එම ශ්‍රවණය කළ හැකි නිහඬතාවයකි. මෙහි ස්වභාව සෞන්දර්යෙන් අනූන මානවයා විසින් උපදවන කෘතිම ශබ්ද වලින් තොර නිශ්ශබ්දතාවට ඉතා ආසන්න පරිසරය නැමති කැන්වසය තුළ සංගීතමය රේඛා නැමති පින්සල් පහර හරඹ කරන අවස්ථාවක් ප්‍රේක්ෂකයා අත්පත් කරගනී.

පරිසරය තේමා කරගත් මෙම නිර්මාණය දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරයේ උන්නතිය උදෙසාා ද යොදාගත හැක.





'හරිත සංධ්වනිය' 

මැකී යන ගල් කඳු - ද්‍රෘෂ්‍ය කලා ඇසින්




දශක දෙක තුනකට පෙර ගල් කැඩීම සිදු කරන ලද්දේ අතින් බෝරදමා කුළුගෙඩිය ප‍්‍රයෝජනයට ගෙන අවශ්‍යතාවන් ට අනුව ය. නමුත් වර්තමානය වන විට මෙම කර්මාන්තය නවීන යන්ත්‍රෝපකරණ භාවිත කරමින් මහාපාරිමාණව සිදු කරයි. එවැනි ගල්කොරිවල විශාලත්වය මනිනුයේ වර්ගකිලෝමීටර්වලනි. ගල්කොරියක් යනු පාෂාණය කඩා ඉවත් කරන විවෘත්ත ප‍්‍රදේශයක් වුව ද පොදුවේ ගත්කල එහි ස්වාභාවික පිහිටීම, ගල්වළේ සැලැස්ම, ප‍්‍රමාණය, සමාන්‍ය ක‍්‍රියාකාරීත්වය, අවට පරිසරය සහ භූ විද්‍යාත්මක සාධක ද තීරණාත්මක වේ.


ගල් කැඩීම ඉතා සංවේදී හා සංකීර්ණ කාරණයකි. එක් අතකින් ගල්වළවල් මගින් සමාජයේ විවිධ අවශ්‍යතා සපුරාලයි. ඒ අතර රැකියා උත්පාදනය, දේශීය ආර්ථිකයට දායක වීම, ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ආදී වටිනාකම් කිහිපයක් ඇත. නමුත් ගල්කොරියේ ක‍්‍රියාකාරීත්වය පරිසරයට හා මිනිසාට සැලකිය යුතු ඍණාත්මක බලපෑමක් ද ඇති කරයි. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටා තිබෙන කුඩා ගල් කඳු මෙලෙස කඩා විනාශ කිරීමෙන් භූ විෂමතාව ද වෙනසකට ලක්ව ඇත. එමගින් ක්ෂුද්‍ර හා මහාපරිමාණව ස්වාභාවික පරිසරයේ ආවේනිකත්වය බිඳවැටෙමින් පවතී.


ගල්කොරි හිමිකරුවන්ගේ හා සේවකයින්ගේ ආර්ථිකය සරු වුව ද කිලෝමීටර් තුනක පමණ අරයකින් යුක්ත භූමි ප‍්‍රදේශයක ජීවත්වන ජනතාව එමගින් දැඩි අපහසුතාවයකට පත් වේ. එක් ගල්කොරියකින් මසකට කඩා ඉවත්කළ හැකි ගල් කියුබ් ප‍්‍රමාණය නීතිගතකර තිබුනද හිමිකරුවන් විසින් සීමාව ඉක්මවා ගල් කැඩීම සිදු කරනු ලබයි. විශාල ලොරි රථවල ගල් ප‍්‍රවාහනය කිරීමෙන් ඒ අවට මාර්ග පද්ධතිය ද අබලන් වේ. නිතර ඒ අවට ඇවිස්සෙන දුවිලි අංශු ක්ෂුද්‍ර හා කලාපීය වශයෙන් පැතිර යයි. එමගින් අසල්වාසීන් ට ශ්වසන අබාද, කැස්ස, ඇදුම වැනි රෝග වැළඳෙයි. පරිසර පද්ධතිය ද සම්පූර්ණයෙන්ම වෙනසකට ලක්වේ. බෝර දැමීමෙන් සිදුවන දෙදරායාම් හා කම්පන, ගොඩනැගිලි හා නිවාස ආදිය ට සිදුවන හානි, දිය රැඳෙන ගල්වළවල් තුළ මදුරුවන් බෝ වීම, ජලය අපවිත‍්‍රවීම, වායු දුෂණය, ශබ්ධ දුෂණය, වගුරු බිම් නිර්මාණය වීම, පාංශු ඛාදනය, භූමියේ මතුපිට හා භූ ගත ජලය ගලායාමේ මාර්ග වෙනස් වීම ආදි බලපෑම් රාශියක් එමගින් ඇති වේ.


ගල්කොරි තුළින් හානිකර වායූ විමෝචනය කිරීම, දුවිලි අංශු හේතුවෙන් ශාක පත‍්‍රවල පටක මියයාම, පත‍්‍ර කහ පැහැ ගැන්වී හරිතප‍්‍රද හීනවීම, පත‍්‍ර වැටීම, මල්වල දුවිලි අංශු තැන්පත් වීම ආදී වශයෙන් ශාකවලට ද නොයෙකුත් බලපෑම් සිදු වේ. මත්ස්‍යයින් සහ වෙනත් ජලජ ජීවීන්, කෘමීන්, අපෘෂ්ඨවංශීන්, උරගයින්, කුරුල්ලන්, ක්ෂීරපායින්, දිලීර සහ ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු ජීවී විශේෂ බොහෝමයක් ඇතුළත්වූ ජෛව විවිධත්වයට ද එහි බලපෑම විහිදේ.


නමුත් නිවැරදිව සැළසුම් කිරීම සහ කළමණාකරණය, පාරිසරික ව්‍යුහයේ පිහිටීම පාලනය කෙරෙන ප‍්‍රතිපත්ති හා රෙගුලාසි දැඩි ලෙස අනුගමනය කිරීම හා ක‍්‍රියාත්මක කිරීම මගින් බොහෝ බලපෑම් අවම කරගත හැකිය. ඕනෑම පුද්ගලයෙකුට සියැසින් දැකගත හැකි විනාශයක් වුව ද මෙය කිසිදිනක නොවිසඳෙන මානව හා පාරිසරික ගැටලූවක් බවට පත්ව තිබේ. ස්වාභාවික සම්පත් මෙලෙස අවිධිමත් ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් විනාශ කර දැමීම අනාගත යහපැවැත්ම පිළිබඳ අපේක්ෂාවන් නොසලකා හැරීමකි. දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ මෙවැනි ගල්කොරි ව්‍යාප්තව ඇත. ”නිර්නාමික පිවිසුම” මෙවර සංචාරය ඔස්සේ උක්ත සමාජ පාරිසරික ගැටලූව තේමා කරගනිමින් සාමුහික කලා ක‍්‍රියාකාරකම් සිදු කර ඇත




සබැඳි පුවත් 

යකඩ අංගනයකින් බිහිවූ අපූරු කලා කෘති

'නිර්නාමික පිවිසුම' - ෆයිනස් පරිසර හානිය දුටු අන්දම

කොළඹ පොත් සල්පිල ජූලි 23 වැනිදා



කොළඹ ජාතික අධ්‍යාපන පොත් සල්පිල එළඹෙන ජුලි 23 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ඇතුළුවීම නොමිලේ.




යකඩ අංගනයකින් බිහිවූ අපූරු කලා කෘති


කලාව සමාජ සංවර්ධනය වෙනුවෙන් 

සමාජ සංවර්ධනය උදෙසා මැදිහත්වන කලා ව්‍යාපෘති සැලකිය යුතු වැදගත්කමකින් යුක්ත ය. එමගින් සාධනීය හා ප‍්‍රමාණවත් බලපෑමක් සිදු වේ. නමුත් කලා ව්‍යාපෘති සැළසුම් කිරීම හා දියත් කිරීම සඳහා මුදල් යෙදවීමේ ක‍්‍රමවේදය තීරණාත්මක සාධකයක් බවට පත්වේ. වෙනත් ක්ෂේත‍්‍ර හා සලකා බැලීමේදී කලාවෙන් ලැබෙන ප‍්‍රතිලාභය මුදලින් ප‍්‍රමාණ කල නොහැකි ය. ඇතැම් පුද්ගලයින් තුළ පවතින එක් අදහසක් වන්නේ ''මුදල්, කාලය හා ශ‍්‍රමය කැප කර ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුභසිද්ධිය උදෙසා කලාකෘති නිෂ්පාදනය කිරීම කළ නොහැක්කකි'' යන්න යි. එසේ වුවද වඩා නිර්මාණශීලි ප‍්‍රවේශ වෙත එළඹීමෙන්, විකල්ප ක‍්‍රමවේද අත්හදා බැලීමෙන් හා ඒ පිළිබඳ විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමෙන් එවැනි අදහස් සංශෝධනය කර ගත හැකිය, යන්න අපගේ හැඟීමයි.

යකඩ අංගනයෙන් බිහිවූ නිර්මාණයක්

ලාංකීය සමාජයේ පෝෂණය ලබමින් කලාවට අලුත් අරුතක් 

ඒ සඳහා මගපෙන්වීමක් ලබා ගැනීමට නම් ලාංකීය සමාජ සංස්කෘතිය තුළ සාම්ප‍්‍රදායිකව පැවත එන ඇතැම් පුරුදු හා හැසිරීම් දෙස නැවත හැරීබැලීමක් සිදුකිරීම වටී. එවිට, පූජා කිරීමට රැගෙන යන මල් වට්ටියක් සරසන ආකාරය හා පිළිවෙල, මුව අං හෝ ගෝන අං තට්ටුවක් ලෑල්ලකට සම්බන්ධකර බිත්තියක සවි කිරීම, මිදුල ඇමදීමේදී පොල් අත්තේ රටාව අනුකරණය කිරීම, කිසියම් රටාවකට හැඳි දමා කුස්සියේ එල්ලා තබන හැඳිආකන තිබෙන සෞන්දර්යය නිතැතින් ම සිහියට නැගේ. කල්පනාවට නැගිය හැකි එවැනි පුරුදු කොපමණ තිබේද?. වෙහෙස මහන්සි වී කරන රැකියාව හෝ දෛනික කටයුතු අතරෙහි මුණගැසෙන සිද්ධි, ද්‍රව්‍ය හා වස්තු තුළින් කලාත්මක රසයක් ඉස්මතු කරගන්නේ කෙසේද?. අපගේ මනසට නැගෙන එවැනි ගැටලූ පර්යේෂණයට ලක්කල හැක්කේ අප විසින් සිදුකරන ව්‍යාපෘති තුළින්ම ය.

කලා නිර්මාණයක්

ද්‍රෘෂ්‍ය කලා සංචාරය යනු කුමක්ද ? 

ඉහත කාරණා පිළිබඳව ද සැළකිලිමත් වෙමින් ‘නිර්නාමික පිවිසුම’ නව කලා ව්‍යාපෘතියක් සැළසුම් කර තිබේ. එය නම් කර තිබෙන්නේ ‘දෘශ්‍ය කලා සංචාරය’ යනුවෙනි. ඒ අනුව ස්වාභාවික පිහිටීමේ වෙනස්කම් සහිත තෝරාගත් භූමි ප‍්‍රදේශ කිහිපයක හා විවිධ සංස්කෘතික ලක්ෂණ හෙබි සමාජ කණ්ඩායම් සොයා සංචාරයක යෙදීමට තීරණය කර ඇත. ඒ අතරතුර ඔවුහු පුද්ගල හා සාමුහික වශයෙන් කලා ක‍්‍රියාකාරකම්වල නිරත වෙති. කලා ක‍්‍රියාකාරකම් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ඒ අවට පරිසයෙන් ම සපයා ගැනීමට සැළකිලිමත් වේ. ඊට අමතරව සම්මුඛ වන ප‍්‍රජාව ද ඒ සඳහා දායක කර ගනී. දැනට මූලික සංචාර දෙකක් සිදු කර ඇත. මෙම ලිපිය මගින් දෙවන සංචාරය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබේ.
කලා නිර්මාණයක්


මිනිසා දෛනිකව මුහුණදෙන සිදුවීම් සහ ලබා ගන්නා අත්දැකීම් විවිධ වූ ද සංකීර්ණ වූ ද ක්‍ෂේත‍්‍ර වෙත යොමු වේ. ඒවායෙහි සීමාවක් තීරණය කිරීම අපහසු ය. එලැඹෙන මෙහොතේදී කුමන ආකාරයේ සිද්ධියකට, අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවේද යන්න කලින් තීරණය කිරීම ට නොහැකි ය. එහිදී ස්වාභාවික පරිසරය හා අවකාශය, සංස්කෘතික දේපල මෙන්ම මානව සබඳතා තීරණාත්මක සාධක බවට පත් වේ. මිනිසා නෙයෙක්විට ඒ පිළිබඳව සැකයකින්, අවින්ශ්චිත බවකින් හෝ බියකින් පසු වේ. සරළව නිරීක්ෂණය කළ විට එම අවිබිශ්චිතතාව හෝ සැකය පිටුපස පවතින ප‍්‍රාථමික හේතු ලෙස පෙනී යන්නේ තමාගේ හෝ තමා හා අවට සමාජයේ වෙසෙන අනෙකෙකුගේ කිසියම් කායික, වාචසික ක‍්‍රියාවක් නැතිනම් හැසිරීමක් හෝ ස්වභාවික පරිසරය තුළ සිදුවන වෙනස් වීමකි. එබැවින් මිනිසා පොදුවේ ගෙවු කාලයට වඩා එළැඹෙන මෙහොත පිළිබඳ විශේෂිත අවධානයකින් පසුවේ. මෙම සංචාරය තුළදී එවැනි සංකල්පීය පසුබිමක් මත හිඳිමින් කලා ක‍්‍රියාකාරකම් සැළසුම් කිරීම නිර්නාමික පිවිසුමේ එක් අරමුණකි.
නිර්නාමික පිවිසුම කණ්ඩායම


ද්‍රෘෂ්‍ය කලා සංචාරය කඩුවෙලට  

දෙවනි සංචාරක ස්ථානය ලෙස තෝරා ගනු ලැබුවේ කඩුවෙල නගරයට සමීපව පිහිටා ඇති මල්වාන ප‍්‍රදේශයේ පරණ යකඩ අංගනයකි. එම ආයතනයේ හිමිකරුගේ අවසරය ලබා ගැනීමෙන් පසුව සම්පූර්ණ දිනයක් කැප කර එහි සේවකයින් ද දායක කරගනිමින් කලා ක‍්‍රියාකාරකම් රැසක් සිදු කරන ලදී. ඉවතලන එවැනි ද්‍රව්‍ය හා භාණ්ඩ උපයෝගී කරගනිමින් කලාකෘති නිර්මාණය කරන ලද කලාකරුවන් ලංකා කලා ඉතිහාසය තුළ ද මුණ ගැසේ. නමුත් මෙහි ඇති විශේෂත්වයක් වන්නේ ගොඩනගන ලද කලාකෘති කිසිවක් කලාගාරයක් තුළට රැගෙන නොයාමයි.

එම ආයතනය තුළ හා ඒ අසල සිදුකරන ලද කලා ක‍්‍රියාකාරකම් සඳහා ආයතනයෙන් පරිබාහිර පුද්ගලයින් ද කුඩා ළමුන් ද වෙනත් ව්‍යාපාරිකයින් ද දායක වීම නිර්නාමික පිවිසුමේ සාමාජිකයින්ට සතුට ගෙන දෙන කාරුණක් විය. නිර්නාමික පිවිසුමේ අරමුණ වන්නේ ද වැඩි වශයෙන් එවැනි ප‍්‍රජාව දායක කරගනිමින් කලාවේ නියැලීම යි. ඔවුන් කලාව පිළිබඳව හා ලැබුණ අත්දැකීම පිළිබඳව ද සමකාලීන සමාජ දේශපාලනික කරුණු පිළිබඳව ද වැදගත් අදහස් ප‍්‍රකාශ කරන ලදී. ක‍්‍රියාකාරකම් සඳහා භාවිත කරන ලද පරණ යකඩ කැබලි හා භාණ්ඩ නැවත එම ආයතනයට ම භාරදීම විශේෂත්වයකි. ඉදිරියටත් මෙවැනි සංචාර කිහිපයක් සැළසුම් කර 
තිබේ. ඒ පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීමක් මෙම වර්ෂය අවසානයේදී සිදු කිරීම නිර්නාමික පිවිසුමේ අපේක්ෂාවයි.


ආදරයේ දේශපාලනය තෝරා ගනිමු



 - මහේෂ් හපුගොඩ - 


දෙවියන්ගේ අපූර්ව නිර්මාණයක් ලෙස ලෝකය සැලකෙන්නේ නම් ඒ දෙවියන් විසින් නිර්මාණය කල සියලු දේ වචනයට නගන්නේ මිනිසා ය. මෙම අප මෙතක් නොදන්නා යථාව (නොදන්නා දෙය) වචනයට නැඟීම ක්‍රිස්තියානියේ කියවෙන්නේ අඳුරෙන් ආලෝකය වෙත යාම යනුවෙනි. ඒ දිව්‍යමය උරුමය වචනයට නැගීම ප්‍රථමයෙන් කරනු ලබන්නේ ලොව පුළුල්ම ක්‍රිස්තියානි අධිරාජ්‍යය පිහිටවූ ඉංග්‍රීසි ජාතියයි. ඒ ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය හරහාය. දෙවියන් මැවූ සියලු දෙයට අර්ථයක් එය විසින් දීමට උත්සාහ කරයි. ස්වභාව ධර්මය නම් යථාව (උමතුව) වචනය නම් සංකේතනයට ගෙන ඒම එහි කාර්යය වේ. ඒ දිව්‍යමය උමතුව ලෙහා දීම සඳහා උදව් කරන්නේ ද උමතු මිනිසෙක් වීම ඉතාම පහසුවෙන් අවබෝධ කරගත හැකිය. 

The Professor and the Madman (2019) චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වන්නේ ඉහත ශබ්ද කෝෂය නිෂ්පාදනය කිරීමේ ශ්‍රමය සහ වේදනාව සම්බන්ද කතාන්දරයයි. නමුත් යුරෝපීය ක්‍රිස්තියානි කලා කෘතියක් ලෙස සැලකිය හැකි සත්‍ය පෙරළුම (twist) තුල ඇත්තේ බෞද්ධ පදනමක් වීම ඉතාම වැදගත් කරුණකි. ඒ විළියම් චෙස්ටර් මයිනර් හට එල්සා සමාව දෙන අවස්ථාව අපට 'වෛරයෙන් වෛරය නොසන්සිදේ' යන බෞද්ධ නියමය මනාව ප්‍රදර්ශනය කර වීම හරහාය. තම ස්වාමි පුරුෂයා ඝාතනය කල තැනැත්තාට පවා සමාව දීම මතු නොව පෙරළා ආදරය කිරීම දක්වා ඇයගේ මෛත්‍රිය ඉස්මතු වන අනුවේදනීය අවස්ථාවක් චිත්‍රපට කරු අප වෙත ප්‍රධානය කරයි. අනෙකා මුණගැසිය (encountering the Other) හැක්කේ වෛරය හරහා නොව වෛරයේ විලෝමය වන මෛත්‍රිය හරහා බව අපට කියා දුන්නේ බුදුන් වහන්සේ ය.

ඒ ඔස්සේ ඉහත චිත්‍රපටය සම්මත යුදෙව් ක්‍රිස්තියානි මූලයෙන් ක්‍රිස්තියානි බෞද්ධ මූලයක් වෙත ගමන් කර තිබේ. මේ පෙරළුම යනු යුරෝපය තුල ගැඹුරින් ඉස්මතු වන නව දේශපාලනික යුරෝ - ආසියාතික විකසිත වීමකි. මේ තත්වය පවතින්නේ නූතන බවට පිටින් නොව නූතන සද්භාවය තුළම ය. මා යෝජනා කරන්නේ පරිකල්පනීය පිරිසිදු සිංහල - බෞද්ධ සාරයක් සොයා ආපසු යනු වෙනුවට අප මෙම නව විකසිත වීම කෙරෙහි සවිඥානික විය යුතු බවයි.

දෙවියන් නිපද වූ අපුර්ව දෙය වූ මිනිසාට කල හැකි උතුම්ම දෙය ආදරය යන්න මෙම චිත්‍රපටයේ මහත් වූ තේමාවයි. දෙවියන්ගේ උමතුව වචනයට ගෙන ඒම පිණිස ශබ්ද කෝෂයට මහත් ලෙස ඉවහල් වන 'උමතු මිනිසාගේ' (විළියම් චෙස්ටර් මයිනර්) උමතුව සුව කරන්නේ ගැහැණියක් වීම මෙම චිත්‍රපටයේ අනුවේදනීය බව තවත් වැඩි කරන්නකි. මිනිසා සුවපත් වන්නේ ආදරය තුලින් මිස අන් කිසිවක් ඔස්සේ නොවේය යන්න මෙම කලා කෘතිය අප වෙත ගෙන එන වැදගත්ම බෞද්ධ - ගාන්ධියානු - පෙරදිග පණිවුඩයයි. 'ඔබ ආදරය කරන්නේ නම් ඉනික්බිති පවතින්නේ කුමක් ද' (if love, then what?) යන එල්සා ගේ පැනයට (ප්‍රෙහේලිකාවට) ඇයම පිළිතුරු රැගෙන ඔහු වෙත එයි. ඒ උත්තරය නම් සත්‍යය ඔහු වෙත ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන ලෙස ඇය මානසික රෝහලේ (මෙවිට මතක් වන්නේ මිචෙල් ෆුකෝ ගේ උමතුව සහ ශිෂ්ටාචාරයයි) දොරටුව ඉදිරිපිට පිස්සියක මෙන් ඉල්ලා සිටින්නීය. ඇය සොයාගත් උත්තරය වන්නේ 'ආදරයෙන් ඉනික්බිති පවතින්නේ ද ආදරය ම පමණක් වේ' (if love, then love) යන්නයි. ආදරයෙන් පසුව අන් කිසිවක් පවතින්නේ නැත. එහි විලෝමය වන වෛරයට සත්‍ය ආදරයෙන් පසු ඉඩක් නැති බව ඇය අවබෝධ කර ගෙන ඇත. ඇය ලොවට හඬගා ඒ සත්‍ය කියා සිටින්නීය. ඒ යථාව හෙළි කරන ඇය දෙස විනිශ්චය ශාලා වල සිටින පිරිමින් තුෂ්නිම්භූතව බලා සිටි. පිරිමි ලෝකයට ඇයගේ ගැඹුරු සත්‍යය ඉදිරියේ තාර්කික (සායනික) උත්තරයක් ගොනු කර ගත නොහැක. ඔවුන් නිරුත්තරව බලා සිටී. එසේනම් ආදරය යනු ලොව පවතින වඩාත්ම දේශපාලනික දෙය විය නොහැකිද ?

අන් කිසිවකින් මිනිසා සුවපත් කල නොහැකි තැන එසේ නම් අප ආදරයේ දේශපාලනය තෝරා ගනිමු. 






''බෝසත් චරිත රඟපානා බුදු පුත්තූ - දරු දෙදෙනෙකුගෙ සෙනෙහස හිර කරගත්තු''


මුහුණුපොතේ පළකල 'අර්ධ' ‍කෙටිකතාව මගින් ආගමකට අපහාස කළ බවට වූ චෝදනාව මත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ චෝදනා ගොනු කෙරුණු ශක්තික සත්කුමාර ඔහුගේ ආදරණීය බිරිඳ යනූෂා ලක්මාලි විසින් රචනා කරන ලද කවියකි. (ශක්තිකව නිදහස් කරන ලෙස ඉල්ලා එළඹෙන ජූනි 17 වැනි සඳුදා දින සවස 3.00 ට කොළඹ කොටුවේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය)

''හිමයේ ගිහින් මල් යහනක නිදනවද
කුසගින්නට රස පලවැල බුදිනවද
වානක් තරම් උණු කඳුළැලි හෙළනවද
කෑගලු අහස යට සීතල දැනෙනවද

කොහා තමයි අවුරුදු ගැන මතක් කළේ
එරබදු මලුත් දුක දැනිලයි හිනා වුණේ
කිරිබත නැතුව ලිප ඇඬුවයි බඩගින්නේ
ගිනි වෙඩි කරල් ගිනිගත්තයි හිත ඇතුළේ

සඳ එන මඟට තරු කඳුළැලි ඇන්දා ය
නුඹ හින්දා නො නිවෙන ගින් උහුලාය
වැහි නැතුවත් වැව තාමත් උතුරාය
සීතල මතක නිල් දිය රැලි බින්දාය

මහමෙර වගේ ගෙදරක බර අරගත්තූ
නුඹ හට පරාදයි හිමියනි අලි ඇත්තූ
බෝසත් චරිත රඟපානා බුදු පුත්තූ
දරු දෙදෙනෙකුගෙ සෙනෙහස හිර කරගත්තු''





උපුටාගැනීම - ඕ පියුම වෙබ් අඩවිය


සබැඳි පුවත්




මේ ෆ්‍රීඩාගේ හඬද ?


ෆ්‍රීඩා කාර්ලෝ 20 වන සියවසේ ජීවත් වූ විශිෂ්ටතම කලා ශිල්පිනියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක ද වූවාය. 

මෙක්සිකෝවේ ජීවත් වූ ඇගේ මරණයෙන් පසුව විකාශය වූ වැඩසටහනක කොටසක් සොයාගැනීමට මෙක්සිකානු පුස්තකාලය පසුගියදා සමත් විය. ෆ්‍රීඩාගේ සැමියා වූ දියෝගෝ රිවෙයිරා සම්බන්ධ වූ El Bachiller නම් ගුවන්විදුලි වැඩසටහනේදී ඔහු ගැන ලියවුණු රචනාවක් (Portrait of Diego) ඇය විසින් ඉදිරිපත් කරයි.  

මෙම පටිගත කිරීම 1953 හෝ 1954 දී සිදුවූ බවට උපකල්පනය කෙරේ. සැබෑවටම මෙහි ඇසෙන හඬ ෆ්‍රීඩා කාර්ලෝගේ නම් ඒ පිළිබඳ අඛණ්ඩව ගවේෂණය කරන බව මෙක්සිකානු සංස්කෘතික කටයුතු අංශයේ ලේකම් අල්ජෙන්ඩ්‍රා ෆස්ට්‍රෝ පවසයි. මෙතෙක් ශේෂවී තිබෙන එකම හඬ පටය වනු ඇති බවද පැවසේ.

El Bachiller  ගුවන්විදුලි වැඩසටහනේ 1300 කට අධික හඬපට මෙක්සිකාවේ හඬපට සංරක්ෂිත පුස්තකාලය සතුව පවතී.  







The Guardian ඇසුරිනි 

ශ්‍රී ලංකා සිනමා පාසලේ අධ්‍යයන කටයුතු ඇරඹේ


ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා සිනමා පාසලේ සමාරම්භක උත්සවය පසුගියදා සිදුවිය. ශ්‍රී ලංකා සිනමා පාසලේ අධ්‍යක්ෂ ලෙස ජාත්‍යන්තර සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර කටයුතු කරයි. සිනමා පාසලේ අධ්‍යයන කටයුතු හා එහි කාර්යභාරය පිලිබඳ මෙදින හැඳින්වීමක් සිදුවූ අතර 
එහිදී සිනමා පාසලේ නිල වෙබ් අඩවිය ද එළිදැක්වුණි. 

මේ අවස්ථාවට රංගන ශිල්පීන් වන රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනි මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි අනූෂා ගෝකුල, පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් එක්වී සිටිහය.  

 සිනමා පාසලේ අධ්‍යයන කටයුතු පසුගිය සෙනසුරාදා (8) දින ආරම්භ විය. 

මෙහි දැක්වෙන්නේ සමාරම්භක අවස්ථාවේ ඡායාරූපයන්ය. 






''ලංකාවේ සිනමාවේ චිත්‍රපට පෝලිමක් නැහැ'' - නුවන්




නුවන් ජයතිලක මේ දිනවල තිරගත වන ළමා සිනමා සිත්තමක් වන  'සුළඟ අප රැගෙන යාවි' සිනමාපටයේ අධ්‍යක්ෂවරයාය. මෙහි පළවන්නේ ලාංකේය සිනමාව ගැන ඔහු සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකි. 

ලංකාවේ අද දවස ගැන කලාකරුවෙක් විදිහට මොකද හිතන්නේ ?

ඇත්තටම වුණු දේවල් එක්ක ගොඩාක් අවුල් තත්ත්වෙක ඉන්නෙ. මොකද අපි කවුරුත් නොහිතන දේවල් මේ රටේ වුණා. ඒ ඔක්කොටම වැඩිය ඒ ප්‍රශ්නය මුල් කරගෙන තමන්ගේ ගොඩ වැඩි කර ගන්න දඟලන දේශපාලකයෝ දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා. ගෝලීය ත්‍රස්තවාදය ලෙස හැඳින්වුණත් මේක විසඳන්නේ හරිම ගෝත්‍රික විදිහට. වැරැද්ද එකිනෙකා මත පටවමින් කටයුතු කරන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. අනෙක් ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්නය ගම් මට්ටමට යනකොට ජාතිවාදී, වර්ගවාදී හැඩයක් අරන් තියෙනවා. ඒ තත්ත්වය ටිකක් භයානකයි. නමුත් මේ ප්‍රශ්නයේ වගකීම ගන්න කවුරුවත් නැහැ. මෙන්න මේ වගේ අලකලංචි ගොඩක් මැද ඉන්නේ. ඒක ඇත්තටම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. කලාකරුවෙකු විදිහට මෙච්චර කාලයක් අපි කරපු දේවලින් වැඩක් නැහැ කියලයි හිතෙන්නේ.

මේ ආකාරයේ ප්‍රශ්න හටගන්න තරම් අපට කොතැනද වැරදුණේ ?

අපට දිගටම වැරදිලා තියෙන්නේ. අපි එකම වැරැද්ද ආයේ ආයෙත් කරනවා. අපේ ඉතිහාසය ගත්තොත් දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ ඉඳලා මේ දක්වාම ඔය වගේ ගැටලු වෙලා තියෙනවා. යුද්ධ, ජාතීන් අතර ප්‍රශ්න, පවුල් අතර ප්‍රශ්න ඉතිහාසය ඇතුළේ හමු වෙලා තියෙනවා. පනහේ දශකයේදී පවා මුස්ලිම් ප්‍රශ්නය තිබිලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු තිහක් විතර යද්දි දෙමළ මිනිසුන් එක්ක අපට ප්‍රශ්න තිබිලා තියෙනවා. ඔහොම බලද්දි අපට විවිධ ජන වර්ග එක්ක ගැටලු තිබිලා තියෙනවා. ඒත් අපි ඒ ප්‍රශ්න දිහා බලලා තියෙන්නෙ හරිම ගෝත්‍රික විදිහට. මේ ප්‍රශ්න හරිම ගෝත්‍රික තැනකට වැටිලා තියෙනවා එහෙම වුණාම අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගිය මොහොමඩ්ලාට, අපිත් එක්ක එකට සෙල්ලම් කරපු පාතිමාලට මොකද වෙන්නේ. මම ජීවත් වන ලන්ඩන් නගරයේත් ඔය වගේ ප්‍රශ්න වුණා. ප්‍රශ්න විසඳනවා මිසක් තවත් පිරිසක් කොන් කරගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ.

'සුළඟ අප රැගෙන යාවි' සිනමාපටයට මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර මොනවගේද ?‍

මෙහෙමයි මේ වෙලාවේ නම් ප්‍රතිචාර මොනවත් ලැබෙන්නේ නැහැ. මොකද කට්ටිය හෝල්වලට එනවා අඩුයි සහ හෝල් වහලා තිබුනණේ. ෆිල්ම් එක සිනමා ශාලාවේ තිබුණට ඒක බලන්න එන සෙනඟ අඩු වීමක් මේ ප්‍රශ්නයත් එක්ක තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ ප්‍රේක්ෂකාගාරය හිස්. සියලුම කලා කටයුතු මේ දේවලුත් එක්ක අකර්මණ්‍ය වෙලා තියෙනවා. නමුත් මේ සිදුවීම් වෙන්න කලින් ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ වගේම මුල් කාලයේදී අපි විදුලි කප්පාදුවකටත් හසුවුණා. ගොඩාක් හෝල්වල ජෙනරේටර්ස් නෑ ඒ වගේ අර්බුදයකට හසු වුණා. ඒ ප්‍රශ්න විසඳගෙන ෆිල්ම් එක ජනතාව අතරට යනවත් එක්කම තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ.

'සුළඟ අප රැගෙන යාවි' සිනමාපටය නිර්මාණය කරලා කාලෙකට පසුවයි තිරගත කරන්නේ. එහෙම වුණේ සිනමාවේ ඇතැයි කියන චිත්‍රපට පෝලිම නිසාද ?

ඔය පෝලිම කියන දේ මාධ්‍ය හදපු බොරුවක්. එහෙම පෝලිමක් කියලා දෙයක් නැහැ. ඕනෙම එකක සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට පිටින් ඉන්න අය ඒ සිස්ටම් එක ගැන දන්නේ නැහැ. එහෙම වුණාම ඒ මිනිස්සු එක එක දේවල් කියනවා. ඒ සිස්ටම් එකේ ඉන්නෙ නැතුව පිට ඉඳලා ඕනෙම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුළුවන්. මම පවා චිත්‍රපටය නිර්මාණය කරලා අවුරුදු පහක් යනකල් ඒ සිස්ටම් එකෙන් පිට ඉඳලා තියෙන්නෙ. එහෙම පෝලිමක් කියලා දෙයක් නැහැ. අපේ රටේ ප්‍රවීණම අධ්‍යක්ෂවරුන් ගත්තොත් ඔවුන් පසුගිය මාස හයේ කරපු සිනමා පට දැන් හෝල්වලට එන්න සූදානම්. ආචාර්ය සුනිල් ආරියරත්න කියන්නේ ඒ ශ්‍රේණියේ චිත්‍රපටය අධ්‍යක්ෂවරයෙක්. ඔහු නිර්මාණය කරපු විජයබා කොල්ලය තිරගත කරන්න සූදානම්. මගේ සිනමා පටයට පස්සේ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ගත්ත ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය තිරගත වෙලා අවසන්. ඒවා වගේම මගේ සිනමා පටය එක්ක ජාත්‍යන්තරය නියෝජනය කරපු අශෝක හඳගමගේ ‘ඇගේ ඇස අග’ චිත්‍රපටය තිරගත වුණා. ඊට පස්සේ ඔහුගේ අලුත් චිත්‍රපටයටය මේ ඊයේ පෙරේදා තිරගත වුණා. එහෙම තියෙද්දී සිස්ටම් එකෙන් පිට ඉඳලා අපිට කෑගහනවා චිත්‍රපට පෝලිමක් තියෙනවා කියලා. ලංකාවේ සිනමාවේ චිත්‍රපට පෝලිමක් නැහැ. ඒක බොරු කතාවක්.

සමහර අධ්‍යක්ෂවරු මේ පිළිබඳ කතා කරද්දී බොහෝ විට රජයට චිත්‍රපට සංස්ථාවට චෝදනා කරනවා දැකලා තියෙනවා?

සිනමාව කියන්නේ කර්මාන්තයක්. පුද්ගලික අංශය මඟින් මුදල් ආයෝජනය කරලා නිර්මාණය කරන චිත්‍රපටය පුද්ගලික අංශයේ සිනමාහල්වලට නිදහස් කරනවා. මේක තනිකරම පුද්ගලික ව්‍යාපාර හැඩයක් ගන්නේ.

කලාවට සහ කලා නිර්මාණයකට සමාජයේ ප්‍රශ්න උදෙසා යම් දෙයක් සිදු කළ හැකියි. මෙවන් ව්‍යසනයක් නැවත ඇති නොවෙන්න කටයුතු කරන්න කලාකරුවන් අතර යම් කතාබහක්, එකතු වීමක් සිදු වුණේ නැද්ද?

නැහැනෙ. දැනට කලා කලාකරුවන් කියලා අපි දන්නේ, හඳුන්වලා දීල තියෙන්නේ මාධ්‍ය විසින් හඳුන්වනු ලැබූ එක්තරා පිරිසක් විතරයි. ඉතින් ඒ මිනිස්සු එක එක දේශපාලන පක්ෂ එක්ක බෙදිලා ඉන්නේ. ඉතින් මේ ප්‍රශ්න ගැන කතා කරන එක ජීවිතේට වෙන්නේ නැහැ. ඒක පසුගිය දේශපාලන පොරපිටිය දැක්කාම හිතාගන්න පුළුවන්කම තියෙනවා. පවුල්වලටයි දේශපාලන පක්ෂවලටයි කඩේ ගිහිල්ලා ඒ දේවල් කරන්නේ කලාකාරයෝ. ඉතිං ඒ යක්කුන්ගෙන් අර වගේ දෙයක් බලා බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි මම නම් ඉන්නේ ඒ කියපු කලාකාරයෝ ගොඩේ නෙමෙයි.


පශ්චාත් යුද සමයේ එන සිදුවීම් හෝ යුද සමයේ සිදුවූසිදුවීම් අලලා සිදු කරන සමහරනිර්මාණවලින් තවත් ජාතියක් කෙරෙහි වෛරී සහගත හැඟීමක් ඇති වෙන්න පුලුවන් නේද?

80/90 දශකයේ තමයි ඔය යුද්ධය කේන්ද්‍ර කරගෙන නිර්මාණ හැදුනේ. දැන් නම් නැහැ. යුද්ධය තිබුණා කියන එක මිනිස්සුන්ට දැන් අමතකයි. අපේ සිනමාව හරි චූල කලාවක්. ඒක දැවැන්ත කලාවක් නෙමෙයි. ඉන්දියාවේ සිනමා කර්මාන්තය ඉතාමත් විශාලයි. ඒ වගේම ඒ මිනිස්සු සිනමාව එක්ක බද්දයි. අපේ මිනිස්සු එහෙම නෑ පවුලක ඉන්න සාමාජිකයන්ගෙන් කීදෙනෙක්ද කලාවට ලැදි අය ඉන්නේ. සිංහල සංස්කෘතිය ඇතුළේ කලාව රසවිඳීම කියන කාරණය නැති දෙයක්. ඉතින් එහෙම වෙද්දි ඔය ඔබ කියූ කලා නිර්මාණ තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ගෙන් නැත්තටම නැතිවෙලා යනවා. ඉන්දියාවේ තරු ගණයේ නළු නිළියන්ට පුළුවන් තීරණ ගන්න. අපේ සිනමාවේ තරු දශක කිහිපයකට උඩින් හිටියා. නමුත් දැන් තරු නැහැ. දැන් තරු ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ. උදාහරණයකට ගත්තොත් මහේන්ද්‍ර පෙරේරා කියන්නේ සිනමාවේ තරුවක්. නමුත් යම් කිසි දෙයක් පිළිබඳ ඔහු කියන කතාවද ප්‍රබල වෙන්නෙ, කුමාර් සංගක්කාර කියන කතාවද ප්‍රබල වෙන්නේ අන්න ඒ නිසා අපේ සංස්කෘතියත් එක්ක බද්ධ ‍වෙනවාද කියලායි අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ.

ස්වාධීන සිනමාකරුවෙකුට මොන වගේ පිළිගැනීමක්ද ලංකාව තුළ තියෙන්නේ?

ස්වාධීන තියා මොනම සිනමාකරුවෙකුටවත් මෙහි පිළිගැනීමක් නැහැ. පිළිගැනීම කියන දේ හදා ගන්න තමයි තියෙන්නේ. භික්ෂුවකගේ ඉඳලා ගුරුවරයෙකු දක්වාම පිළිගැනීම කියන දේ හරිම ලොකු ප්‍රශ්නයක්. ඒකට විවිධ මාධ්‍ය භාවිත කරමින් පිළිගැනීම කියන දේ හදා ගන්න වෙනවා.

ඔබ ලංකාවේ සිනමාව ගැන කලකිරීමෙන්ද කතා කරන්නෙ?

නැහැ මට ලංකාවේ සිනමාව ගැන ලොකු අවුලක් නැහැ.

ඊළඟ සිනමා නිර්මාණය ගැනත් යම් කිසිඉඟියක් දෙමු නේද?

ඊළඟ සිනමා නිර්මාණය අනිවාර්යයෙන් පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි සිනමා පටයක් වේවි. මොකද පවුලේ සැමට එකට ඉඳලා නරඹන්න පුළුවන් සිනමා පට තමයි ප්‍රේක්ෂකාගාරයේ දිනලා තියෙන්නේ. වාණිජද කලාත්මකද කියලා නැහැ වැඩිපුර ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි නිර්මාණයක් සිදු කරනවා.



හෂාන් අනුරාධ