මැකී යන ගල් කඳු - ද්‍රෘෂ්‍ය කලා ඇසින්




දශක දෙක තුනකට පෙර ගල් කැඩීම සිදු කරන ලද්දේ අතින් බෝරදමා කුළුගෙඩිය ප‍්‍රයෝජනයට ගෙන අවශ්‍යතාවන් ට අනුව ය. නමුත් වර්තමානය වන විට මෙම කර්මාන්තය නවීන යන්ත්‍රෝපකරණ භාවිත කරමින් මහාපාරිමාණව සිදු කරයි. එවැනි ගල්කොරිවල විශාලත්වය මනිනුයේ වර්ගකිලෝමීටර්වලනි. ගල්කොරියක් යනු පාෂාණය කඩා ඉවත් කරන විවෘත්ත ප‍්‍රදේශයක් වුව ද පොදුවේ ගත්කල එහි ස්වාභාවික පිහිටීම, ගල්වළේ සැලැස්ම, ප‍්‍රමාණය, සමාන්‍ය ක‍්‍රියාකාරීත්වය, අවට පරිසරය සහ භූ විද්‍යාත්මක සාධක ද තීරණාත්මක වේ.


ගල් කැඩීම ඉතා සංවේදී හා සංකීර්ණ කාරණයකි. එක් අතකින් ගල්වළවල් මගින් සමාජයේ විවිධ අවශ්‍යතා සපුරාලයි. ඒ අතර රැකියා උත්පාදනය, දේශීය ආර්ථිකයට දායක වීම, ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ආදී වටිනාකම් කිහිපයක් ඇත. නමුත් ගල්කොරියේ ක‍්‍රියාකාරීත්වය පරිසරයට හා මිනිසාට සැලකිය යුතු ඍණාත්මක බලපෑමක් ද ඇති කරයි. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටා තිබෙන කුඩා ගල් කඳු මෙලෙස කඩා විනාශ කිරීමෙන් භූ විෂමතාව ද වෙනසකට ලක්ව ඇත. එමගින් ක්ෂුද්‍ර හා මහාපරිමාණව ස්වාභාවික පරිසරයේ ආවේනිකත්වය බිඳවැටෙමින් පවතී.


ගල්කොරි හිමිකරුවන්ගේ හා සේවකයින්ගේ ආර්ථිකය සරු වුව ද කිලෝමීටර් තුනක පමණ අරයකින් යුක්ත භූමි ප‍්‍රදේශයක ජීවත්වන ජනතාව එමගින් දැඩි අපහසුතාවයකට පත් වේ. එක් ගල්කොරියකින් මසකට කඩා ඉවත්කළ හැකි ගල් කියුබ් ප‍්‍රමාණය නීතිගතකර තිබුනද හිමිකරුවන් විසින් සීමාව ඉක්මවා ගල් කැඩීම සිදු කරනු ලබයි. විශාල ලොරි රථවල ගල් ප‍්‍රවාහනය කිරීමෙන් ඒ අවට මාර්ග පද්ධතිය ද අබලන් වේ. නිතර ඒ අවට ඇවිස්සෙන දුවිලි අංශු ක්ෂුද්‍ර හා කලාපීය වශයෙන් පැතිර යයි. එමගින් අසල්වාසීන් ට ශ්වසන අබාද, කැස්ස, ඇදුම වැනි රෝග වැළඳෙයි. පරිසර පද්ධතිය ද සම්පූර්ණයෙන්ම වෙනසකට ලක්වේ. බෝර දැමීමෙන් සිදුවන දෙදරායාම් හා කම්පන, ගොඩනැගිලි හා නිවාස ආදිය ට සිදුවන හානි, දිය රැඳෙන ගල්වළවල් තුළ මදුරුවන් බෝ වීම, ජලය අපවිත‍්‍රවීම, වායු දුෂණය, ශබ්ධ දුෂණය, වගුරු බිම් නිර්මාණය වීම, පාංශු ඛාදනය, භූමියේ මතුපිට හා භූ ගත ජලය ගලායාමේ මාර්ග වෙනස් වීම ආදි බලපෑම් රාශියක් එමගින් ඇති වේ.


ගල්කොරි තුළින් හානිකර වායූ විමෝචනය කිරීම, දුවිලි අංශු හේතුවෙන් ශාක පත‍්‍රවල පටක මියයාම, පත‍්‍ර කහ පැහැ ගැන්වී හරිතප‍්‍රද හීනවීම, පත‍්‍ර වැටීම, මල්වල දුවිලි අංශු තැන්පත් වීම ආදී වශයෙන් ශාකවලට ද නොයෙකුත් බලපෑම් සිදු වේ. මත්ස්‍යයින් සහ වෙනත් ජලජ ජීවීන්, කෘමීන්, අපෘෂ්ඨවංශීන්, උරගයින්, කුරුල්ලන්, ක්ෂීරපායින්, දිලීර සහ ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු ජීවී විශේෂ බොහෝමයක් ඇතුළත්වූ ජෛව විවිධත්වයට ද එහි බලපෑම විහිදේ.


නමුත් නිවැරදිව සැළසුම් කිරීම සහ කළමණාකරණය, පාරිසරික ව්‍යුහයේ පිහිටීම පාලනය කෙරෙන ප‍්‍රතිපත්ති හා රෙගුලාසි දැඩි ලෙස අනුගමනය කිරීම හා ක‍්‍රියාත්මක කිරීම මගින් බොහෝ බලපෑම් අවම කරගත හැකිය. ඕනෑම පුද්ගලයෙකුට සියැසින් දැකගත හැකි විනාශයක් වුව ද මෙය කිසිදිනක නොවිසඳෙන මානව හා පාරිසරික ගැටලූවක් බවට පත්ව තිබේ. ස්වාභාවික සම්පත් මෙලෙස අවිධිමත් ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් විනාශ කර දැමීම අනාගත යහපැවැත්ම පිළිබඳ අපේක්ෂාවන් නොසලකා හැරීමකි. දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ මෙවැනි ගල්කොරි ව්‍යාප්තව ඇත. ”නිර්නාමික පිවිසුම” මෙවර සංචාරය ඔස්සේ උක්ත සමාජ පාරිසරික ගැටලූව තේමා කරගනිමින් සාමුහික කලා ක‍්‍රියාකාරකම් සිදු කර ඇත




සබැඳි පුවත් 

යකඩ අංගනයකින් බිහිවූ අපූරු කලා කෘති

'නිර්නාමික පිවිසුම' - ෆයිනස් පරිසර හානිය දුටු අන්දම