යකඩ අංගනයකින් බිහිවූ අපූරු කලා කෘති


කලාව සමාජ සංවර්ධනය වෙනුවෙන් 

සමාජ සංවර්ධනය උදෙසා මැදිහත්වන කලා ව්‍යාපෘති සැලකිය යුතු වැදගත්කමකින් යුක්ත ය. එමගින් සාධනීය හා ප‍්‍රමාණවත් බලපෑමක් සිදු වේ. නමුත් කලා ව්‍යාපෘති සැළසුම් කිරීම හා දියත් කිරීම සඳහා මුදල් යෙදවීමේ ක‍්‍රමවේදය තීරණාත්මක සාධකයක් බවට පත්වේ. වෙනත් ක්ෂේත‍්‍ර හා සලකා බැලීමේදී කලාවෙන් ලැබෙන ප‍්‍රතිලාභය මුදලින් ප‍්‍රමාණ කල නොහැකි ය. ඇතැම් පුද්ගලයින් තුළ පවතින එක් අදහසක් වන්නේ ''මුදල්, කාලය හා ශ‍්‍රමය කැප කර ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුභසිද්ධිය උදෙසා කලාකෘති නිෂ්පාදනය කිරීම කළ නොහැක්කකි'' යන්න යි. එසේ වුවද වඩා නිර්මාණශීලි ප‍්‍රවේශ වෙත එළඹීමෙන්, විකල්ප ක‍්‍රමවේද අත්හදා බැලීමෙන් හා ඒ පිළිබඳ විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමෙන් එවැනි අදහස් සංශෝධනය කර ගත හැකිය, යන්න අපගේ හැඟීමයි.

යකඩ අංගනයෙන් බිහිවූ නිර්මාණයක්

ලාංකීය සමාජයේ පෝෂණය ලබමින් කලාවට අලුත් අරුතක් 

ඒ සඳහා මගපෙන්වීමක් ලබා ගැනීමට නම් ලාංකීය සමාජ සංස්කෘතිය තුළ සාම්ප‍්‍රදායිකව පැවත එන ඇතැම් පුරුදු හා හැසිරීම් දෙස නැවත හැරීබැලීමක් සිදුකිරීම වටී. එවිට, පූජා කිරීමට රැගෙන යන මල් වට්ටියක් සරසන ආකාරය හා පිළිවෙල, මුව අං හෝ ගෝන අං තට්ටුවක් ලෑල්ලකට සම්බන්ධකර බිත්තියක සවි කිරීම, මිදුල ඇමදීමේදී පොල් අත්තේ රටාව අනුකරණය කිරීම, කිසියම් රටාවකට හැඳි දමා කුස්සියේ එල්ලා තබන හැඳිආකන තිබෙන සෞන්දර්යය නිතැතින් ම සිහියට නැගේ. කල්පනාවට නැගිය හැකි එවැනි පුරුදු කොපමණ තිබේද?. වෙහෙස මහන්සි වී කරන රැකියාව හෝ දෛනික කටයුතු අතරෙහි මුණගැසෙන සිද්ධි, ද්‍රව්‍ය හා වස්තු තුළින් කලාත්මක රසයක් ඉස්මතු කරගන්නේ කෙසේද?. අපගේ මනසට නැගෙන එවැනි ගැටලූ පර්යේෂණයට ලක්කල හැක්කේ අප විසින් සිදුකරන ව්‍යාපෘති තුළින්ම ය.

කලා නිර්මාණයක්

ද්‍රෘෂ්‍ය කලා සංචාරය යනු කුමක්ද ? 

ඉහත කාරණා පිළිබඳව ද සැළකිලිමත් වෙමින් ‘නිර්නාමික පිවිසුම’ නව කලා ව්‍යාපෘතියක් සැළසුම් කර තිබේ. එය නම් කර තිබෙන්නේ ‘දෘශ්‍ය කලා සංචාරය’ යනුවෙනි. ඒ අනුව ස්වාභාවික පිහිටීමේ වෙනස්කම් සහිත තෝරාගත් භූමි ප‍්‍රදේශ කිහිපයක හා විවිධ සංස්කෘතික ලක්ෂණ හෙබි සමාජ කණ්ඩායම් සොයා සංචාරයක යෙදීමට තීරණය කර ඇත. ඒ අතරතුර ඔවුහු පුද්ගල හා සාමුහික වශයෙන් කලා ක‍්‍රියාකාරකම්වල නිරත වෙති. කලා ක‍්‍රියාකාරකම් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ඒ අවට පරිසයෙන් ම සපයා ගැනීමට සැළකිලිමත් වේ. ඊට අමතරව සම්මුඛ වන ප‍්‍රජාව ද ඒ සඳහා දායක කර ගනී. දැනට මූලික සංචාර දෙකක් සිදු කර ඇත. මෙම ලිපිය මගින් දෙවන සංචාරය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබේ.
කලා නිර්මාණයක්


මිනිසා දෛනිකව මුහුණදෙන සිදුවීම් සහ ලබා ගන්නා අත්දැකීම් විවිධ වූ ද සංකීර්ණ වූ ද ක්‍ෂේත‍්‍ර වෙත යොමු වේ. ඒවායෙහි සීමාවක් තීරණය කිරීම අපහසු ය. එලැඹෙන මෙහොතේදී කුමන ආකාරයේ සිද්ධියකට, අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවේද යන්න කලින් තීරණය කිරීම ට නොහැකි ය. එහිදී ස්වාභාවික පරිසරය හා අවකාශය, සංස්කෘතික දේපල මෙන්ම මානව සබඳතා තීරණාත්මක සාධක බවට පත් වේ. මිනිසා නෙයෙක්විට ඒ පිළිබඳව සැකයකින්, අවින්ශ්චිත බවකින් හෝ බියකින් පසු වේ. සරළව නිරීක්ෂණය කළ විට එම අවිබිශ්චිතතාව හෝ සැකය පිටුපස පවතින ප‍්‍රාථමික හේතු ලෙස පෙනී යන්නේ තමාගේ හෝ තමා හා අවට සමාජයේ වෙසෙන අනෙකෙකුගේ කිසියම් කායික, වාචසික ක‍්‍රියාවක් නැතිනම් හැසිරීමක් හෝ ස්වභාවික පරිසරය තුළ සිදුවන වෙනස් වීමකි. එබැවින් මිනිසා පොදුවේ ගෙවු කාලයට වඩා එළැඹෙන මෙහොත පිළිබඳ විශේෂිත අවධානයකින් පසුවේ. මෙම සංචාරය තුළදී එවැනි සංකල්පීය පසුබිමක් මත හිඳිමින් කලා ක‍්‍රියාකාරකම් සැළසුම් කිරීම නිර්නාමික පිවිසුමේ එක් අරමුණකි.
නිර්නාමික පිවිසුම කණ්ඩායම


ද්‍රෘෂ්‍ය කලා සංචාරය කඩුවෙලට  

දෙවනි සංචාරක ස්ථානය ලෙස තෝරා ගනු ලැබුවේ කඩුවෙල නගරයට සමීපව පිහිටා ඇති මල්වාන ප‍්‍රදේශයේ පරණ යකඩ අංගනයකි. එම ආයතනයේ හිමිකරුගේ අවසරය ලබා ගැනීමෙන් පසුව සම්පූර්ණ දිනයක් කැප කර එහි සේවකයින් ද දායක කරගනිමින් කලා ක‍්‍රියාකාරකම් රැසක් සිදු කරන ලදී. ඉවතලන එවැනි ද්‍රව්‍ය හා භාණ්ඩ උපයෝගී කරගනිමින් කලාකෘති නිර්මාණය කරන ලද කලාකරුවන් ලංකා කලා ඉතිහාසය තුළ ද මුණ ගැසේ. නමුත් මෙහි ඇති විශේෂත්වයක් වන්නේ ගොඩනගන ලද කලාකෘති කිසිවක් කලාගාරයක් තුළට රැගෙන නොයාමයි.

එම ආයතනය තුළ හා ඒ අසල සිදුකරන ලද කලා ක‍්‍රියාකාරකම් සඳහා ආයතනයෙන් පරිබාහිර පුද්ගලයින් ද කුඩා ළමුන් ද වෙනත් ව්‍යාපාරිකයින් ද දායක වීම නිර්නාමික පිවිසුමේ සාමාජිකයින්ට සතුට ගෙන දෙන කාරුණක් විය. නිර්නාමික පිවිසුමේ අරමුණ වන්නේ ද වැඩි වශයෙන් එවැනි ප‍්‍රජාව දායක කරගනිමින් කලාවේ නියැලීම යි. ඔවුන් කලාව පිළිබඳව හා ලැබුණ අත්දැකීම පිළිබඳව ද සමකාලීන සමාජ දේශපාලනික කරුණු පිළිබඳව ද වැදගත් අදහස් ප‍්‍රකාශ කරන ලදී. ක‍්‍රියාකාරකම් සඳහා භාවිත කරන ලද පරණ යකඩ කැබලි හා භාණ්ඩ නැවත එම ආයතනයට ම භාරදීම විශේෂත්වයකි. ඉදිරියටත් මෙවැනි සංචාර කිහිපයක් සැළසුම් කර 
තිබේ. ඒ පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීමක් මෙම වර්ෂය අවසානයේදී සිදු කිරීම නිර්නාමික පිවිසුමේ අපේක්ෂාවයි.