හදවත පිටට පනින, ආත්මය බිමට නැමෙන, සුගන්ධනීය සුමුදු මල් දම් වැනි ප්‍රේමාරාධනා හිසේ දවටගෙන, බලාපොරොත්තුව මැරෙන්නට පෙර ප්‍රේමයෙන් මුසපත් වන්නට ආරාධනා කරන ඔහුගෙ කාව්‍ය සංකල්පනා කඩිනමට සිංහලයට නගන්න තැත් කරමින් මට එයාව මරන්න දුකයි.
සුනේත්‍රා රාජකරුණානායක
කොරෝනාව ජීයෝවන්නි බොකාසියො මතකය අලුත් කළා. සාතන්ගේ ජය ! කලු වසංගතය නොහොත් මී උණ අත හරිමින් බොකාසියෝ ආශ්‍රය කොට තිබුණත් මේ පාර එය තව දුරටත් එපා කරන්න බැරි වසංගත පීඩනය දැනුණා.

ක්‍රි.ව. 1347, ඔක්තෝම්බරය කලු මුහුදෙන් සිසිලියට නැව් 12 ක් ආවා. මෙසිනා වරායට රැස් වූ සිසිලියානුවන් තිගැස්සුණා. නැව්වල මළ සිරුරු ! යාන්තමට පණ තිබුණ නාවිකයන්ගෙ නහරවල් කලුවෙලා ඉදිමිලා. ලේ සැරව ගලන නාවිකයන්ට ඒ නැව් වලින්ම පිට වෙන්න කිව්වා. එතකොට ප්‍රමාදයි. වසංගතය වරායෙන් ගොඩට ගියා. යුරෝපීය ජන ගහණයෙන් තුනෙන් එකක් මිය ගියා. පස් වසරක ශාපය නැවත නොඑන්න නං යහපත් ගුණධර්මත් පිරිසිදුකමත් පවත්වාගෙන යා යුතු බව පල්ලිවල දේශණා කරන්න ඇති. නමුත් යුරෝපයට ලෙඩ වෙන්නෙ නැතුව, යුද්ධ කරන්නෙ නැතුව ඉන්න බැරිවුණා.
වසංගතය යුරෝපයට එන්නට පෙර චීනය, ඉන්දියාව, පර්සියාව, සිරියාව හා ඊජිප්තුවෙ පැවතෙන බව ආරංචි වී තිබුණා. 1313 දී උපත ලද බොකාසියා කළු වසංගතයට සාක්ෂිකරුවෙක්.
බොකාසියො නීතිය හා පරිපාලනය ඉගෙනීමට 1337 දී නේපල්ස් ගියා. සාහිත්‍යයට ඇදී යාමෙන් නිල සුදුසුකම් හිමිකර ගැනීම අතහැරියා. 1348 දී නැවත ෆ්ලොරන්ස් නගරයට ආවම මිනිහාට වැදගත් නිලතල හිමි වුණා. තානාපති සාකච්ඡා සඳහා වෙනත් නගරවලට ගියේ ෆ්ලෝරන්ස් නගරය නියෝජනයටයි. යුරෝපීය පුනරුද ව්‍යාපාරයේ ආරම්භකයන් අතර කැපී පෙනුණ බොකාසියෝ ලතින් බසින් හා ටස්කනි ප්‍රාදේශීය ඉතාලි බසින් ලියුවා.
බොකාසියෝ මිත්‍රයා, මාර්ගෝපදේශකයා හා ගුරුතුමා හැටියට සැලකුවේ ෆ්‍රැන්චෙස්කො පෙත්‍රාකා නොහොත් ඉංග්‍රීසියෙන් කියන විදයට පෙට්ට්‍රාකා යි. පුනරුද ව්‍යාපාරයේ ආරම්භක විද්වතකු, කවියකු හා දැඩි මානව හිතවාදියකු වූ පෙත්‍රාකා කිතුනු ආශ්‍රමික පුස්තකාල පීරමින් දැනුම හෙව්වා. පැරණි ලේඛනවලට ඉව කළා. ඔහුගේ පරමාදර්ශි කාව්‍යවලින් ආමන්ත්‍රණය කළේ මනෝමය ලෝරා කෙනෙකුටයි. නීතිය හැදෑරු ඔහු එය අතහැරියේ එම වෘත්තිකයන් නීතියටත් තමාන්ටත් වංචනික බව පෙනීයාමෙන්. බොකාසියෝ ලතින් ඉගෙනීමටත් ලේඛන කලාවටත් යොමු වුණේ පෙත්‍රාකාගේ මඟපෙන්වීමෙන්.
බොකාසියෝ කිව්වා කිකිළියෝ දහ දෙනෙකුට එක කුකුළෙක් සිටියාම ප්‍රමාණවත් වුණාට එක ස්ත්‍රියකට පුරුෂයන් දස දෙනෙකු වුණත් සෑහෙන්නෙ යාන්තමටයි කියලා. ඔහු එහෙම කියන්න ඇත්තේ ස්ත්‍රීන් පහත් කිරීමට නෙවෙයි පුරුෂයන්ගෙ සීමිත බව පෙන්වීමටයි. ඔහු සිංහල බයිබලයේ ඒව ලෙස හැඳින්වෙන ලොව ප්‍රථම ස්ත්‍රියගෙ (කිතුණු විශ්වාස අනුව) සිට සාන්තුවරියන් හා වෙනත් ප්‍රකට ස්ත්‍රීන් 106 දෙනෙකුගේ කතාන්තර පොතකට ගොනු කළා. ඊට පෙරත් කවුරුවත් එහෙම වැඩක් කරලා තිබුණෙ නැහැ. අතින් ලියා චිත්‍ර ඇඳ තිබු ඔහුගේ ලතින් පිටපත 1473 දී මුද්‍රණය වුණා. ඔහු ගොනු කළ කතාවල ස්වාධීන ස්ත්‍රීන් ඉන්න නිසා මා වරින්වර එම චරිත ගැන කතාකොට තියෙනවා. සාන්තුවරියන් හැර අනිත් අය පිරිමින් හා හරි හරියට යුද්ධ කරනවා. ස්වාමිපුරුෂයො නැතුව ජීවත්වෙන්න ප්‍රිය කරනවා. ඔහු සඳහන් කරන්නේ අනාගත වාක්‍ය කියු ස්ත්‍රීන් සිබිල්වරියන් ලෙස හැඳින්නු බවයි. ඒ වචනයෙ ලතින් අර්ථය සියොස් + බයිල්ස් = දිව්‍ය මනස යි.
බොකාසියෝ මිය යන තුරු “වරින්වර සංස්කරණය කළ දිකැමරන්” කළු වසංගත සමයෙ ස්ත්‍රීන් සත් දෙනකු හා පුරුෂයන් තිදෙනකු කියන කතා එකතුවක්. ෆ්ලොරන්ස් හී දේවස්ථානයක දී හමුවන මේ කණ්ඩායමට නගරයෙන් පැන යන්නට මූලිකත්වය දෙන්නෙ පොම්පිනා නම් වැඩිහිටි ස්ත්‍රියයි. ඔහු මේ කෘතියට “දස දිනක විනෝදාශ්වාදය” ලෙස උප මාතෘකාවකුත් යොදනවා. මෙය ලිවීමට සය වසරක් ගත වූ බව කියවෙනවා.
මේ චරිත යම් උගත්කමක් හා ධනයක් ඇති අය විය යුතුයි. ඔවුන් දෙසතියකට නැවතෙන්න යන්නෙ වතුර මලක් සහිත උද්‍යානයක් පිහිටි මන්දීරයකටයි. මේසෙට කෑම තියන්න සේවකයෙකුත් ඉන්නවා. ගී ගයලා, නටලා විනෝදවෙලා කෑම මේසයට වාඩිවෙන ඔවුන් යාඥා කරන බවක් සඳහන් වෙන්නෙ නැහැ. නමුත් ඉරු දිනවලට මේ ලෞකික කතන්දර නොකියන බව පෙනෙනවා. කෑමෙන් පසු වතුරමල අසලට යනවා. එක දවසට එක්කෙනෙක් කතා සබාව මෙහෙයවනවා. පළමු දවසෙ මෙහෙයුම පොම්පිනාගෙන්. ඒ ඒ දවසට රැජිනක් හෝ රජකු පත්කර ගන්නවා.
මධ්‍යධරණි දූපත් ගණනාවකිනුත්, ඊජිප්තුව, බැබිලෝනියාව, ඉන්දියාව වැනි රටවලිනුත් වෙළෙඳුන් හරහා එකතු වූ කතා ඉදිරිපත් වෙනවා. වසංගතයට පෙර සිට පැවති විනෝද, මිථ්‍යා, ජන හා ආගමික කතා මෙන්ම ආදර හා කාම කතා බොකාසියෝ නැවත පාවිච්චි කරනවා. හිතෝපදේශය, පංචතන්ත්‍රය, රාමායනය හා බෞද්ධ කතාත් යුරෝපීයකරණය වෙමින් වෙනස් වූ අයුරු අධ්‍යයනයටත් හොඳයි. කාලිදාසගේ සකුන්තලා කතාව ආශ්‍රයෙනුත් වෙළෙන්දො යුරෝපයට ගෙනා කතාවක් බෙකාසියෝ පාවිච්චි කරන්නෙ තමන් එකතු කරන කෑලිත් එක්කයි.
සෑම දිනකම දසවන කතාව කියන දියොනියෝ ඒ දවසෙ කතා මෙහෙයවන කෙනා නියම කරන තේමාවෙන් පිට කැමති දෙයක් කිව හැකියි. ඒ නිසා දියෝනියෝ බොකාසියොගෙම හඬ වගෙයි පෙනෙන්නෙ.
මෙයින් ආගමික සංස්ථාවට තදින් පහර වැදෙනවා. පූජකයන්ගෙ රහසිගත ස්ත්‍රී සබඳතා කියවෙනවා. කන්‍යාරාමවල රහස් පිටට පනිනවා. එක කතාවක ආබ්‍රහම් නමැති යුදෙව්වෙක් රෝමයට යනවා. පූජ්‍ය පක්ෂයෙ චර්යාව අයහපත් බව දකිනවා. නමුත් මෙච්චර වංචනික නියෝජිතියො ඉන්න ආගමකට මිනිස්සු විශාල වශයෙන් හැරෙන්නෙ ඒ ආගමෙ දෙවියන්වහන්සෙ ඇත්තටම යහපත් කෙනෙක් විය යුතු වග කල්පනා කරනවා. ආබ්‍රහම් රෝමයේ ආගමට බැඳෙන්නෙ ඒ අතරමැදියන් කෙසේ වෙතත් දෙවියන්වහන්සෙගෙ ආශිර්වාදය විශ්වාස කරමින්.
අලිබෙක් නම් ක්‍රිස්තියානු නොවන තරුණිය දෙවියන්ට සමීපවීමට කාන්තාරයට යනවා. ඇයට රස්ටිකෝ නම් පූජකයා හමුවෙනවා. සාතන්ව නිරයට යවන පිළිවෙල ඔහු කියාදෙන්නෙ ඇගේ කන්‍යාභාවය ස්වර්ගයට යවමින්. නමුත් අලිබෙක් සාතන්ව නිරයට යවන්න රස්ටිකෝට වඩා උනන්දු වෙනවා. පසු කාලයක මේ කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට වැඬේ සම්පූර්ණයෙන්ම ඉටු කරන්න ඔවුන් බිය වුණා. තාක්ෂණික ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන් පරිවර්තනය අමාරුවන නිසා ඇතැම් කොටස් ඉතාලි බසින් තියනවා. මේ කතාව වෙළෙඳුන් අතර, වෙනත් කතාකාරයන්ගෙන්, ජනකතාවලින් එහෙම ගත්තු බවට සාක්ෂි හමු වී නැහැ. ඒ නිසා එය බොකාසියෝ විසින්ම නිර්මාණය කළ බව පෙනෙනවා.
ශේක්ෂ්පියර් මේ කතා සමහරක් අරගෙන ඔප දමලා, දඟ කවලා, තමා අසා කියවා තිබූ උපදේශ වාග් රාග උපක්‍රම මගින් අමුනලා මහා නාට්‍යකරුවෙක් වුණා. එයින් පෙනෙන්නෙ මිනිහාගෙ අනිත් කතාත් “ඔර්ජිනල්” නැති බවයි. වැනීසියෙ වෙළෙන්දා එහෙම බොකාසියෝ සරණෙන් ගොඩගිය බව ඉතා පැහැදිලියි. මෙහෙම කියන්නෙ විභාගවලට දිවට දුක් දෙමින් කටපාඩම් කළ ශේක්ෂ්පියර් කෑලි ගැන තරහින් නෙවෙයි. දැන් ඒවා මතකත් නෑ. ඒවායින් ප්‍රයෝජන ගත් අවස්ථාත් තිබුණා. නමුත් අලිබෙක් හා රස්ටිකෝ සාතන්ව නිරයටම යැවූ ක්‍රමය වේදිකාවකට ගේන්න ශේක්ෂ්පියරුත් බය වෙන්නැති කියන හිනාව මේ කොරෝනා ශෝකයටවත් පාලනය වෙන්නෙ නැහැනෙ.
ඇල්බර්ටෝ නම් පූජකයා ස්ත්‍රියක් රවටාගන්නෙ දේවදූතයන්ගෙ නායකයා ගාබි්‍රයෙල් ඇයට පෙම්කරන බව කියමින්. ගාබි්‍රයෙල්ට ඕන වෙනවලු ඇගේ සිරුරට රිංගන්න ! ඇල්බර්ටෝට පසුව නිසි දඬුවම් ලැබෙනවා. නමුත් කතාවක් ඊට පෙර යුදෙව් සොසේෆස් කතා අතරත්, පංචතන්ත්‍රයෙත්, අරාබි නොසොල්ලාසයෙත් තිබූ බවට විචාරකයෝ පෙන්නා දී තිබෙනවා. මෙය දස දෙනාගෙ සභාවට කිව්වෙ පැම්පිනා. ඇය එය තමන්ගෙ කතාවක් හැටියට කියලා නැති නිසා වරදක් කියන්නත් බැහැ.
ලොරෙට්ටා නම් ස්ත්‍රිය ක්‍රීට් දූපතට පැන ගිය සහෝදරියන් තිදෙනකු හා පෙම්වතුන් ගැන කියනවා ලොකු අක්කා තම පෙම්වතා මරන්නෙ ඊර්ෂ්‍යාවෙන්. දෙවනියා අක්කාව බේරා ගන්නෙ ක්‍රීට් දූපතේ ඩියුක්වරයාට සිරුර පුද කරමින්. ඇගේ පෙම්වතා ඇය මරනවා. බාල නංගියි පෙම්වතායි විත්තිකරුවන් කරනවා. වද විඳින්න බැරිකමට ඔවුන් නොකළ වරද පිළිගන්නවා. ඔවුන් මුර භටයින්ට පගා දීලා රෝඞ්ස් දූපතට පැනලා යනවා. නමුත් ඔවුන් දුකට පත් වී මිය යාම මට දරාගන්න බෑ. මං ලිව්වා නං ඒ දෙන්නාව මහළු වයසටම ගෙනියනවා. නමුත් මේ පොතේම වෙනත් කතාවල ප්‍රේමය එතරම් දුකෙන් දුකට පත් කරන්නෙ නැහැ.
සිසිලිය අසල ලිපාරි දූපතාංශුවෙ ධනවත් කොන්ස්ටන්ටියා පවුලෙ තරුණියක් දුප්පත් මාර්තුස්සියෝ හා පෙමින් බැඳෙනවා. යහපත් ගති ඇති බුද්ධිමත් කෙනෙක් වුණත් කොන්ස්ටන්ටියා පවුල ඔහුගේ මංගල යෝජනවා ප්‍රතික්ෂේප කරනවා. ඔහු වාසනාව සොයා නැව් නගිනවා. මුහුදු කොල්ලකරුවන්ට අහුවෙනවා. ටියුනිස්වල සිරගත වී දුක් විඳිනවා. පෙම්වතියත් ස්වර්ගයට යනකොට හබල් සහිත මාළු ඔරුවක් දකිනවා. ඒක පැදගෙන යනකොට කුණාටුවකට අහුවෙනවා. ඔරුව පාවෙන්නෙ ටියුනිස් ආසන්නයේ සූසා නගරයටයි. මහළු ධීවර ස්ත්‍රියක් පිරිස කැඳවා ඇය බේරගන්නවා. ඔරුවෙ නින්දට වැටී සිටි ඇය අවදිකොට ලතින් බසින් කතා කරන්නෙ, ඇගේ ඇඳුම අනුව ක්‍රිස්තියානි කෙනෙක් බව වටහාගෙනයි. තමා මරනයට පත් නොවූ බව ඇයට වැටහෙනවා.
පවුලේ නම විනා බෞතීස්ම කළ නම සඳහන් නොවන මේ කොන්ස්ටන්ටියා මහළු ස්ත්‍රිය හා ජීවත්වන අනෙකුත් ස්ත්‍රීන් හා පදිංචි වෙනවා. ඔවුන් ජීවත්වෙන්නෙ මැහුම් ගෙතුම්වලින්. මේ අතර ග්‍රෙනේඩාවෙන් එන ප්‍රභුවරයෙක් මියුනිස් හී බලය අල්ලා ගන්න හදනවා. සිරගතව ඉන්න පෙම්වතා මාර්තුස්සියො රජුට පණිවිඩයක් යවනවා යුද්ධෙට උපකාර කළ හැකි බව කියමින්. රජු ඔහු කැඳවනවා. ඔහු එවකට යොදාගත් දුනු හා ඊතල ඊට වඩා සියුම් ලෙස හදන්න උපදෙස් දෙනවා. එතකොට ටියුනිස් ඊතල අහුලාගෙන නැවත පාවිච්චි කරන්න සතුරන්ට බැහැ. සතුරු දුනු හා ඊතල ඊට වඩා විශාලයි. නමුත් ටියුනිස්වරුන්ට සතුරු ඊතල නැවත පාවිච්චි කළ හැකියි. යුද්ධය දිනනවා. පෙම්වතා වරප්‍රසාදලාභි ධනවතකු වෙනවා. ඔහුගේ වීර ක්‍රියා ප්‍රචලිත වෙනවා. මළ බවට ආරංචි වී තිබූ පෙම්වතා ජීවතුන් අතර බව දැන කොන්ස්ටන්ටියා ඔහු හමුවෙන්න යනවා. මහළු ස්ත්‍රිය ඒ හමුවට උපක්‍රමයක් යොදනවා. ඔවුන් විවාහවෙලා ඒ උපකාර කළ ස්ත්‍රියත් එක්කම ලීපාරියට යන්නෙ ජයග්‍රාහි ලෙසයි. මේක කියවලා ඉවර වුණාම දෙමළ හෝ හින්දි හෝ චිත්‍රපටියක් වගේ දැනෙනවා.
පදුතෝ නගරයේ නීතිය අනුව අනියම් සබඳතාවකට වරදකාරිය වන ස්ත්‍රීන් පණ පිටින් පුච්චන්නටයි නියමය. පිලිප්පා පෙම්වතා එක්කම සැමියාගෙ අතට අහුවෙනවා. නිහඬව වරදකාරිය වී මරණය භාර නොගෙන උසාවියට යන්න ඇය තීරණය කරනවා. ඇගේ සියුමැළි වැදගත් පෙනුමට නඩුකාරයාට දුක හිතෙනවා.
“මැඩම් තමාගෙ සැමියා රිනල්ඩො ඔබ වරදෙ බැදී සිටිනු අතට අසු වූ බවට චෝදනා කරනවා. නීතියට අනුව මට තමාට මරණ දණ්ඩනය දෙන්න පුළුවන් වෙන්නෙ තමුන් චෝදනාව පිලිගත්තොත් විතරයි. මේ චෝදනාව සත්‍යයද?” නඩුකාරයා පිලිප්පාට ඒක ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තබමින් කතා කළා.
“ස්වාමීනි ඒක සත්‍යයයි. මේ නීති තියෙන්නෙ අසරණ ස්ත්‍රීන්ට විතරයි. නීති හදලා තියෙන්නෙ අපෙන් අහලා නෙවෙයි. මේ උසාවියත් මුලු ලෝකයත් ඉදිරියෙ මං මේ නීතියෙ අසාධාරණ බව ප්‍රකාශ කරනවා. ඒ අනුව ඔබතුමාගෙ තීන්දුවත් නිර්පාක්ෂික නැහැ”
මෙයින් කැළඹෙන රිනල්ඩො උසාවියෙන් පැන යනවා. සෙනඟ ඇගේ මතයට පක්ෂපාතිව කෑ ගසනවා. ඇය ජයග්‍රාහි ලෙස ගෙදර යනවා !
කතා කියන්නෙ මේ මන්දීරයෙ විවිධ ස්ථානවල සැහැල්ලුවෙන් ඇතැම්විට පලස් මත බිම ඉඳගෙන කතා කියනවා. ඒ ඒ දවසෙ මෙහෙයවන්නා කතාවල ගුණදොස් දක්වනවා. බොකාසියොගේ භාර්යාව ගැන දැන ගන්නට නැතත් ඔහුට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. මට මේ විදියටම තව වසරක් ගෙවෙනතුරු බොකාසියෝ එක්ක තනිවෙන්න ආසයි. ඒත් කොරෝනාව අවසන්වෙලා අපේ ජිවිත සාමාන්‍යය තත්ත්වයට එන්න ඕන.
හදවත පිටට පනින, ආත්මය බිමට නැමෙන, සුගන්ධනීය සුමුදු මල් දම් වැනි ප්‍රේමාරාධනා හිසේ දවටගෙන, බලාපොරොත්තුව මැරෙන්නට පෙර ප්‍රේමයෙන් මුසපත් වන්නට ආරාධනා කරන ඔහුගෙ කාව්‍ය සංකල්පනා කඩිනමට සිංහලයට නගන්න තැත් කරමින් මට එයාව මරන්න දුකයි. අහා ! මේ කොරෝනා සමයේ වසර හත්සිය ගණනකට පෙර සිටි බොකාසියෝ අසල වැතිරී සිටීම මතු එළඹෙන මැතිවරණය ගැන සිතීමට වඩා සැනසීමක් !
Post a Comment