මහේෂ් හපුගොඩ
ඉතිහාසය ඇතුලේ සාර්ථක අවසන් සංග්‍රාමයක් වෙනුවෙන් සේනා සම්පාදනය කරලා ඒ වෙනුවෙන් මාර වෙහෙසක් වෙන්නේ වළගම්බා. ඒක එක්තරා ගරිල්ලා අත්දැකීමක් අද දවසේ අර්ථයෙන් ගත්තම. ඒ මහන්සිය වගේම වළගම්බා ආපසු අනුරාධපුරයට ඇවිල්ල ඒ සංග්‍රාමය අවසානයක් දක්වා සාර්ථකව අරන් ගියා.
ඒ වගේම තමයි වළගම්බා හැංගිලා හිටියේ වැඩිපුරම ගල් ගුහාවල. ඒ කියන්නේ ලංකාවේ මධ්‍යම කඳුකරය ආසන්නයේ සබරගමු පළාතේ බොහොමයක් ගල් ගුහාවල. ඒ ගල්ගුහා වල කුඩා කුඩා පන්සල් දකින්නත් පුළුවන් (cave temples). ඒවා ඔක්කොම කෙරෙව්වෙත් වළගම්බා. ඒ පන්සල් අද හොඳ තෝතැන්නක් ඓතිහාසික 'ගුහා සංචරණය' ලංකාවේ ප්‍රවර්ධනය කරන්න (cave tourism).
ගල් ගුහා මතක් උනේ ඉතිහාසය අද දවසේ ඉඳන් පසු අර්ථකතනය කරන්න ගත්තම විමුක්තිගේ ''අහසින් වැටෙයි'' ඊයේ තරංගනී ශාලාවේ ආයෙත් බලල.
අහසින් වැටුණු කතා නායකයා මේ මහා ඩිස්තොපික ඝාතන සෙවනැල්ලෙන් බේරෙන්න කරන්නේ ගහක තියන ගුලකට රිංගන එක. ඒකට රිංගල ජීවිතේ බේරගන්න හදන එක. පස්සේ පුළුවන් 'මාමල' මරන්න. දැන් ඕනි පණ බේරාගන්න. මේ ගුහාව (ගුල) විමුක්ති ගෙනෙන්නේත් ඉතිහාසයේ මොකක්දෝ කුමාරයෙක්ගේ කතාවක් පදනම් කරගෙන.
ඒ කියන්නේ කණ්නාඩියෙන් පස්ස බලනකොට (A) ඇත්තටම පේන්නේ අතීතය නෙවෙයි (B) වර්තමානය (Not B). වෙන විදියකට කිව්වොත් අතීතය නොවන දෙය. මෙන්න මේක තමයි විමුක්ති මේ ෆිල්ම් එකෙන් ගේන්න හදන ප්‍රවාදය. A කියන ස්ථානයේ ඉඳල පසු ආවර්තිතව B දෙස බලනකොට පේන්නේ B නෙවෙයි. වෙනත් දෙයක්. C වෙන්නත් පුළුවන්.
මේ අනුව අනාගතයේ අර්ථයෙන් අද දවසේ හොයාගන්න ගුහාව වැදගත්. බයේ රිංගලා ඉන්න නෙවෙයි. අවස්ථාව එන කල් පසුබහින්න. වළගම්බා කළා වගේ.
මේ අනුව කතා නායකයා 'අහසින් වැටිලා' ටවුමේ අලකලංචි මැද්දෙන් යන්නේ ගමට. ස්වභාවධර්මය දෙසට. ස්වභාව ධර්මයේ තිබෙන ගහක තමයි අවසන් සැඟවුම් ස්ථානය තෝරාගන්නේ. හරියට මවගේ ඇකය වගේ. නැත්නම් ගර්භාෂය වගේ (womb). අතර මඟදී වුණත් උදව්කරන්නේ වයසක අම්මා කෙනෙක්. දුටුගැමුණුට කළා වගේ.
නමුත් විමුක්ති අර ජැක්සන් ඇන්තනී ගෙනාපු ඉතිහාසයෙන් සාර්ථකව වෙනස් වෙනවා. ඒක වැදගත්.
මේක ලංකාවේ අරගල ඉතිහාසය එක්ක සැසඳෙනවා. ජවිපෙ වගේම විමුක්ති කොටි කියන පාර්ශව දෙකම තෝරාගත්තේ කැලේ.
නගරය තෝරා ගත්ත ගෝල්ෆේස් අරගල මොඩලයට අල්ලාගෙන ඉන්න පුළුවන් උණේ මාස තුනක් විතරයි. වන්නි කැලේ කොටි අවුරුදු තිහක් අල්ලාගෙන හිටිය. ජවිපෙ අවුරුදු ගණනක් අල්ලාගෙන හිටිය.
ඒ නිසා මම අවිඥාණිකව මෑතදී ලිව්වා ආයේ අරගල කරන්න කොළඹ එන්න එපා කියල. විමුක්ති කියන්නෙත් ඊට ටිකක් සමාන අදහසක්. මේ ෆිල්ම් එක 2009 කරනකොට කොටි සංවිධානය අවසන් වෙලත් නැහැ. ගෝල්ෆේස් කියල එකක් දැකල තිබ්බෙත් නැහැ. බංකොලොත් ලංකාවක් කියල එකක් දැනගෙන හිටියෙත් නැහැ.
ඒ නිසා විමුක්තිගේ ෆිල්ම් එක ස්ථානගත වෙන්නේ කාලයට නිරපේක්ෂක තැනක. සාපේක්ෂව නිරපේක්ෂක තැනක. එහෙම ෆිල්ම් මේ කාලයේ කෙරෙනවා අඩුයි. ඒ ෆිල්ම් එක තනිකර රූපකයක්. ගිහිල්ල බලන්න.
Post a Comment