රුපියල් බිලියන ගණන් වැය කරමින් අසපු ගොඩනගන චීවරධාරීන්ගෙන්ද මෙරටට අඩුවක් නොමැත. සමාජ මාධ්‍ය වල රඟදෙන රහතුන්ද සුලබව දැකිය හැකිය. අධර්මවාදී, අවිනීත භික්ෂු වේශධාරීන් සිටිත් නම් ඔවුන් සිය නිකායෙන් නෙරපන බව 2020 මැයි 21 දින නිවේදනය කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි විසිනි.
ප්‍රභාශ්වර
තායිලන්ත විද්වතෙකු වන ආචාර්ය කරුණා කුසලාසයට අනුව, තායිලන්තය වෙත අශෝක අධිරාජයා විසින් ථෙරවාද බුදු දහම හඳුන්වාදෙන ලද්දේ ක්‍රිස්තු පූර්ව 03 වැනි සියවසේදීය. ක්‍රිස්තුවර්ෂ 1002 සිට 1182 දක්වා, කාම්බෝජය හා තායිලන්තය යන රාජ්‍යන් දෙකම පාලනය කළ සුර්යවර්මන් රජ පෙළපත හරහා මහායාන බුද්ධාගම තායි ජනයා අතර ප්‍රචලිත වූ බව තායිලන්තයේ ලොජ්බුරි පළාතෙන් සොයාගත් ශිලා ලිපියක සටහන්ව තිබේ. ක්‍රි.ව 1057 දී බුරුමය පාලනය කළ අනුරුද්ධ රජතුමා, තායිලන්තයේ උතුරු හා මධ්‍යම පෙදෙස් කාම්බෝජ සූර්යවර්මන්වරුගේ ග්රහණයෙන් මුදවාගෙන තම අණසකට නතු කරගත්තේය. “බුරුම බුදුදහම” එම ප්‍රදේශ තුළ ව්‍යාප්ත කරන ලද්දේ අනුරුද්ධ රජු විසිනි. ක්‍රි.ව 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ මහා පරාක්‍රමබාහු රජතුමා, එකල එරට සිල්වත් භික්ෂුවක් වූ දිඹුලාගල කස්සප තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් 07 වන ධර්ම සංඝායනාව පවත්වනු ලැබීය.

මෙමගින් නියම ථෙරවාද බුදු දහම සහ විනය ලංකාව තුළ මැනවින් ස්ථාපිත වීය යන පණිවුඩය බුරුමය, ලාඕසය හා තායිලන්තය වැනි දේශයන් වෙත ලැබුණු සැනින් එම රටවල භික්ෂූන් උපසම්පදාව සඳහා ලංකාද්වීපය බලා පැමිණෙන්නට විය. මහා පරාක්‍රමබාහු රජු විසින් ප්‍රචලිත කළ ථෙරවාද දහම තායිලන්තය තුළ ස්ථාපිත වූයේ “ලංකාවම්ස” බුද්ධ ධර්මය යන නාමයෙනි. ක්‍රි.ව 1747 සිට 1781 දක්වා ලංකාව පාලනය කරනු ලැබුවේ දකුණු ඉන්දියානු රජ පෙළපතේ දෙවැන්නා වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. රජු හා ලන්දේසි අතර හටගත් නොනැවතුනු සංග්රාම රැල්ල හේතුවෙන් මෙම යුගයේදී ලංකාවේ බුදු දහම සීඝ්රයෙන් පිරිහී යාම නොවැළැක්විය හැකි විය. එම තත්වය දැක කම්පාවට පතිවුනු තායිලන්තයේ බොරොම්කොට් රජු (ක්‍රි.ව 1733 – 1758) ලංකාවේ බුදු දහම නගා සිටුවනු වස්, තායි තෙරුන් දෙපලක් වූ උපාලි සහ ආරියමුනි ප්රමුඛ සංඝයාවහන්සේලා කණ්ඩායමක් ලංකාවට එවීය. එසේ හඳුන්වාදුන් දහම ලංකාව තුළ ස්ථාපිත වූයේ “ශ්‍යාමොපාලි වම්ස” යන නමිනි. මෙරට සියම් නිකාය ආරම්භ වුයේ එලෙසිනි. ධර්මයේ පුනරුදය වෙනුවෙන් තායිලන්තයේ උපාලි ස්ථවිරයින් කෙතරම් වෙහෙසුනිද යත් උන්වහන්සේ අපවත් වී වදාළේ ද ශ්‍රී ලංකා භූමියේදී ය.
වත්මන් තත්ත්වය
තායිලන්තය තුළ බුදු දහමේ විවිධ ප්‍රභේද පැවතියද, ඒවාට අයත් භික්ෂූ, භික්ෂුනීන් කිසිදු අසමගියකින් තොරව සහජීවනයෙන් ධර්ම ප්‍රචාරණ කටයුතු වල නියැලෙන බව ආචාර්ය කරුණා කුසලාසය අවධාරනය කරයි. සමස්ත සංඝ සමාජය කෙරෙන්නේ මහානිකායට හා ධම්මයුත්තික නිකායට අයත් සංඝනායක හිමිවරුන්ගෙන් සැදුම්ලත් සංඝ සභාවක් මගිනි. මෙම සභාව ක්‍රියාත්මක වන්නේ, තායිලන්ත රජයට අයත් ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධවය. තායිලන්තයේ ජනගහනයෙන් 95% ක්ම අදහන්නේ බුද්ධාගමය. තායිලන්තයේ සංඝයාවහන්සේලා වෙත වාර්ෂිකව දායකයින් විසින් පිරිනමන පුණ්‍යාධාර ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 3.6 කි. එරට පිහිටුවා ඇති පන්සල් 40,000 තුළ භික්ෂූන්වහන්සේලා ලක්ෂ 03 කට වැඩි සංඛ්‍යාවක් දිවි ගෙවති. ගිහියන්ටද මාස කිහිපයක් හෝ ඊට වැඩි කාලයක් පැවිදි ජීවිතයක් ගත කොට ආපසු සාමාන්‍ය දිවියට එළැඹීමට අවස්ථාව, තායි සංඝ සභාව විසින් පිරිනමනුයේ ඕනෑම අයෙකුට බුදු දහම ගැඹුරින් හා ප්‍රායෝගිකව හැදෑරීම පහසු කිරීම සඳහාය. රජ පවුලේ සාමාජිකයින්ගේ සිට, බහුතරයක් වන සාමාන්‍ය පවුල් කුටුම්බයන්හි පුද්ගලයින් දක්වාම විවර කොට තිබෙන මෙම අනගි අවස්ථාවෙන් සැවොම නොමඳව මහත් ඵල හා ආනිසංස නෙලා ගනිති. තායි ගිහියන් හා සංඝයා අතර මනා සහජීවනයක් ගොඩනැගී ඇත්තේ මේ නිසාය. “මං බුදු වුනා, මං රහත් වුනා” කියමින් හොර මහණුන්ට තායි ජනතාව රැවටීම, ලෙහෙසි පහසු නොවන්නේ බොහෝ ගිහියන්ද තාවකාලික පැවිදි ජීවිතයක් ගතකොට සැබෑ බුදු දහම හා භාවනාව හොඳින් ප්‍රගුණ කොට ඇති හෙයිනි. යම් භික්ෂුවක් හෝ සාමනේර නමක් අපරාධ ක්‍රියාවක යෙදුනහොත්, තායි රජය ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නේ, මහානායක හිමිවරුන්ගේ අනුදැනුම මත ඔහුගේ චීවරය ඉවත්කිරීමෙන් අනතුරුවය. මන්ද බුදුන්ට පුදන ගෞරවය, තායි ජනතාව විසින් සිවුරටද ඒ අයුරින්ම දක්වන නිසාය. තායි භාවනා මධ්‍යස්ථානවල පැවැත්වෙන දින දහයේ භාවනා වැඩසටහන්, ඇමරිකානුවන් හා යුරෝපීයයන් අතරද ඉතා ජනප්‍රියය. එහෙත් පුන්‍යාධාර ලෙස වැඩි වැඩියෙන් අතට මුදල් ලැබීම සාසනයේ පිරිහීමට හේතුවක් විය.
ශාසනික විනය
2011 අගොස්තු සිට 2014 මැයි දක්වා තායිලන්තයේ අගමැති ධුරය හෙබවුයේ යින්ග්ලක් ශිනවාත්රාය. 2014 දී මිලිටරි කුමන්ත්‍රණයක් හරහා ඇයව බලයෙන් පහ කොට, තායි යුද හමුදාවේ ජෙනරාල්වරයෙකු වූ ප්රායුත් චාන්ඕවා රටේ පාලන බලය අල්ලා ගත්තේය. ලේ නොසොල්වා සාමකාමී ලෙස බලයට ඒමට ජෙනරාල් ප්රායුත් සමත් වූයේ, ඔහුට කලින් සිටි බහුතරයක් දේශපාලඥයින් (රටේ නමගිය හාමුදුරුවන්ගේ ආශිර්වාදයද ඇතිව) මහා පරිමාන දූෂණ හා වංචාවල නියැලී පොදු මහජනයාගෙ දැඩි පිළිකුලට පාත්‍ර වී සිටි නිසාය. තමාගේ ආණ්ඩුවක් යටතේ දූෂණයට ඉඩක් නොලැබෙන වග ප්රායුත් අවධාරණය කර සිටියේය. සිවුරට මුවා වී හොරකම් හා අපචාරවල යෙදෙන හාමුදුරුවන්ටද තමාගෙන් බුරුලක් නොලැබෙන බව බලයට ආ විගස ජෙනරාල් ප්රායුත් පැවසීය. තායිලන්තය ඉහළ මධ්‍ය ආදායම් ලබන දේශයක් බවට පත්වුනු පසු වෙළඳ පාරිභෝජනවාදය ට ගිලගත් බවත්, එම අධිපරිභෝජනයෙන් බේරී සිටිමට එහි සංඝ සමාජයේ බහුතරයට නොහැකි වූ බවත් තායි මහාචාර්ය සුලක් සිවරක්සා කියයි. 1990 දී ඔහු සිදු කළ සමීක්ෂණයකට අනුව, තායි හාමුදුරුවරුන්ගෙන් 10% ක් ම “මෙතමෆිට මයින්” නමැති භයානක මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇතැයි අනාවරණය විය. රාත්‍රියේ වෙස්වලාගෙන ගොස් කැරොකේ සමාජශාලාවල ස්ත්‍රීන් සමග නැටීම, මත්පැන් පානය කිරීම හා දුම්බීම යනාදී අපචාර ක්‍රියාවන්ට වැරදිකරුවන් වු භික්ෂූන් 300 කට දැඩි සේ අවවාද කොට නිදහස් කිරීමට තායිලන්ත පොලිසිය හා ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ 2012 වසරේදීය. විපස්සනා භාවනාව කේන්ද්‍රකොටගත් තායි වනවාසී සඟ පරපුර එහි ස්ථාපිත කිරීම සඳහා පුරෝගාමී වුයේ භාවනානුයෝගී සුසිල්වත් භික්ෂුවක වූ අජාන් මුන් භූරිදත්ත (1870 – 1949) තෙරුන් විසිනි. 1949 දී සිදු වූ භූරිදත්ත හිමිගේ අභාවයෙන් පසුව, උන්වහන්සේගේ ප්‍රධාන ගෝලයෙකු වූ යානසම්පන්නෝ නම් තරුණ භික්ෂුව වනවාසී දිවිය අතහැර නගරයට පැමිණ උඩොන් තානි පළාතේ විශාල පන්සලක් ඉදිකරීමට ක්‍රියා කළේය.
මුදලට ගිජුවීම
තම ගුරු හාමුදුරුවන්ගේ කීර්තිය උපයෝගී කොට ගෙන රටේ සුපිරි ධනවතුන්ගේ හා දේශපාලන බලවතුන්ගේ අවධානය තමන් වෙත යොමුකර ගැනීමට යානසම්පන්නෝ සමත් විය. 1997 ආසියානු ආර්ථික අර්බුදයෙන් තායිලන්තය දැඩි පීඩාවකට පත් වූ අවස්ථාවේ එරට මහා භාණ්ඩාගාරය වෙත ඇමරිකන් ඩොලර් මිලියන 8.8 ක් වටිනා රත්තරන් ටොන් 01 ක් සහ මුදලින් ඇමරිකන් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට යානසම්පන්නෝ පියවර ගත්තේය. අවුරුදු 97 ක් ආයුවළඳා, 2011 දී ඔහු මියයන මොහොත වන විටත්, හෙතෙම බිලියනපතියෙකු වූයේ කෙසේද යන්න සෙවීමට කිසිවෙකුත් පෙරට ආවේ නැත. මන්ද යානසම්පන්නෝ සතුව තිබූ දේශපාලන සබඳතා රටේ නීතියට ඉහළින් රැඳී තිබුණු නිසාය. ධම්මකාය නම් වූ භාවනා ක්‍රමයක් මුදල් අය කරමින් උගන්වා, ශ්‍රාවක ශ්‍රාවිකාවන් මිලියනයකට හිමිකම් කී ධම්මචායෝ භික්ෂුව, යානසම්පන්නෝ මෙන් පාලක පක්ෂය සමීපව ඇසුරු කළ අයෙක් නොවීය. 1990 දී ධම්මචායෝගේ චීවරය ඉවත් කොට, දූෂණ චෝදනා මත ඔහුව හිරේ විලංගුවේ දැමීමට තායිලන්ත බලධාරීන් ක්‍රියා කළේ එබැවිනි. රාජසන්තක කරනු ලැබූ ධම්මචායෝගේ වත්කම්වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 02 ඉක්මවීය. ඉතා ශූර ධර්ම දේශකයෙකු ලෙස තායි බෞද්ධයින් අතර නමක් දිනා සිටි ලුවාන් පූ නෙන්කාම් ස්ථවිරයන් හට බොහෝ විට මුල්‍ය අනුග්‍රහය දැක්වුයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන දායකයින්ය. අළුත්ම අළුත් මර්සිඩීස් බෙනස් කාර් 22 ක් ද ඇතුළුව නවීන මෝටර් රථ 70 ක් ඔහු සතුව තිබුනි. සිය පරිහරණය සඳහා ඇමරිකාවෙන් පුද්ගලික ගුවන්යානයක් මිලදී ගත්විට නෙන්කාම් හාමුදුරුවන්ගේ වත්කම් ගැන වහාම පරික්ෂණයක් කළ යුතුයැයි සමාජ මාධ්‍ය හරහා දැවැන්ත හඬක් නැඟුවේ තායි සමාජ ක්‍රියාකාරිකයකු හා නීතිඥවරයකු වූ සොන්ක්‍රාන් ආර්ටිචාරියසාප්ය. 2013 දී නෙන්කාම්ව සාසනයෙන් නෙරපා හැරියද අත්අඩුංගුවට ගැනීමට පෙර ඔහු ඇමරිකාවට පලා ගියේය. ජෙනරාල් ප්රායුත් බලයට පැමිණි වහාම නෙන්කාම්ව ඇමරිකාවෙන් පිටුවහල් කරන්නැයි හෙතෙම ඇමරිකානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. එහෙත් දීර්ඝ නීතිමය ක්රියාදාමයකින් පසුව ඔහුව තායි රටට ගෙන්වාගනු ලැබූයේ 2017 ජුලි මාසයේදීය. සිය දායකයින් සමග එක්ව ජාත්‍යන්තර හෙරොයින් ජාවාරමක නිරත වූ මග හෙළිදරව් වුණු හෙයින් 2018 අගෝස්තු මාසයේදී තායි අධිකරණය නෙන්කාම්ව වසර 114 කට සිපිරිගෙට යැවීය. 2019 පෙබරවාරි 14 දින තායි සංඝ සභාවේ මහානායක හිමිවරුන් කිහිප දෙනෙක්ද ඇතුළුව හාමුදුරුවන් 19 දෙනෙක් ජෙනරාල් ප්රායුත් ආණ්ඩුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ වංචා හා දූෂණ චෝදනා මතය.
වරදට දඬුවම්
ලංකාවේ ජනප්‍රිය පන්සලක භාණ්ඩාගාරික ධුරය වත්මනෙහි දරනුයේ එහි නායක ස්වාමීන්වහන්සේට දාව උපන් පුත් රුවනක් බව මෑතකදී හෙළදරව් විය. සාමනේර හිමිවරුන් දෙදෙනෙකු ලිංගික අපචාරයකට බඳුන් කළ කවි බණ කියූ හිමිනමක් මීට ටික කලකට ඉහතදී බන්ධනාගාර ගත විය. රුපියල් බිලියන ගණන් වැය කරමින් අසපු ගොඩනගන චීවරධාරීන්ගෙන්ද මෙරටට අඩුවක් නොමැත. සමාජ මාධ්‍ය වල රඟදෙන රහතුන්ද සුලබව දැකිය හැකිය. අධර්මවාදී, අවිනීත භික්ෂු වේශධාරීන් සිටිත් නම් ඔවුන් සිය නිකායෙන් නෙරපන බව 2020 මැයි 21 දින නිවේදනය කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි විසිනි. මෙහි බුදු සසුන නොපමාව පිරිසිදු නොකළහොත්, තායිලන්තයේ සිදු වූවාක් මෙන් පාරිභෝජනවාදය විසින් එය ගිලගනු ඇත.
උපුටා ගැනීම: රාවය
Post a Comment