The Most/Recent Articles

Showing posts with label Politics. Show all posts
Showing posts with label Politics. Show all posts

ගෝඨාගේ මාධ්‍යය හමුව ගැන පසු විපරමක්

දේශපාලන භේදයකින් තොරව මේ රටේ සිදු වී ඇති සමාජ කඩා වැටීම හඳුනා ගත යුතුව ඇත. එයට පිළිතුරු ලබා දිය හැක්කේ සාමුහික වෑයමකිනි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි 

ගෝඨාබය රාජපක්ෂ මහතා අනවශ්‍යය මොහොතක අනවශ්‍යය පිරිසක් පිරිවරාගෙන ගොස් ජනමාධ්‍යය හමුවක් පැවැත් වූයේය. එය නොකළ යුතුව තිබු දෙයකි. එසේම ඔහුගේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ අවධියට සාපේක්ෂව මේ වන විට ඔහුගේ අදහස් වල ඇති ක්‍රමෝපායික බව හීන වෙමින් තිබේ. දේශපාලන පක්ෂවල නායකයින් යැයි තමන් හඳුන්වා ගත්තද, ඔහු වටා සිටින බොහෝ දෙනෙකුට ඔහු හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොමැතිනම් ජනතා බලයක් හෝ දේශපාලන බලයක් නැත. එනයින් බලන කල්හී මොවුහු බොහෝ දෙනෙකු වෙනම දේශපාලන පක්ෂවල නායකයින් ලෙස හැඳින්වීමට වඩා, දේශපාලන පරපෝෂිතයින් ලෙස හැඳින්වීම අර්ථාන්විතය. 

අදාළ ජනමාධ්‍යය හමුවේදී "ද හින්දු" පුවත්පතේ මෙරට වාර්තාකාරිණිය විසින් රාජපක්ෂ මහතා වෙත යොමු කළ ප්‍රශ්ණය සහ එහිදී ඔහුගේ හැසිරීම විවිධ පාර්ශවයන් විසින් විවේචනය කරමින් සිටිති.  අදාළ ගැටලුවට නිවැරදිව සවන් දී සැලකිය යුතු වෙලාවක් ගැනීම වෙනුවට ඔහුගේ  ශරීර බාසාව ( බොඩි ලැන්ග්වේජ්) විසින් ඔප්පු වූයේ, මාධ්‍යවේදිනිය හමුවේ රාජපක්ෂ මහතා අසමත් වූ ස්වභාවයකි. අවාසනාවට මෙන්, ඊට විනාඩි කිහිපයකට පසු, "ද අයිලන්ඩ්" පුවත්පතේ පුවත් කතෘ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු, ගෝඨාබය රාජපක්ෂ මහතාට වැදගත් වන කාරණයක් මතු කිරීමට උත්සහ කළද, ඔහු ඉන් ප්‍රයෝජනයක් ගත්බවක් නොපෙනුණි.

ගෝඨාබය රාජපක්ෂ මහතා
එම කාරණයේ ඇති වැදගත්කම විමසීම වැදගත් වන්නේ, වාර්ගික ප්‍රචණ්ඩත්වය ( එය යුද්ධයක් ලෙස බොහෝ දෙනෙකු නම් කරති. එය වැරදි භාවිතයකි.) අවසාන වූ වහාම ඊට ප්‍රතිචාර දැක්වීමේදී, ශ්‍රී ලංකාව රාජ්‍යයක්, ලෙස වරද්දා ගත් මූලික හැසිරීම එහි ගැබ්වී ඇති හෙයිනි.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙය මනාව විමසා බැලිය යුතු කාරණයකි. මන්ද, ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස දුර්වල වීම හෝ දුර්වල කිරීම සඳහා මෙම මූලික කාරණය ඉතාම බරපතළ ලෙස හේතු වී ඇති හෙයිණි. ඇතැමුන් මෙය නිර්ලජ්ජිත ලෙස භාවිතා කරති.

එවැනි ගැටලුවක් කුමන හෝ තැනකදී අසන අවස්ථාවකදී රාජ්‍යය නායකයෙකු හැසිරිය යුතු ආකාරය කෙසේද? මැතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළද මෙම ගැටලු යළි යළිත් අසනු ඇත. එසේම, බලයේ සිටින්නා කවුරුන් වුවද එවැනි ගැටලු හමුවේ නිරුත්තර වීම හෝ පිළිතුරු ලබා නොදීම හෝ වෙනයම් හැසිරීමකින් ප්‍රතිචාර දැක්වීම සෑම විටම දක්නට ලැබෙන පොදු දුර්වලතාවයකි. මෙය වෙනස් විය යුතුව ඇත. ජාතිකත්වය ගැන පුරසාරම් දෙඩීමෙන් වැඩක් නැත. ඒ වෙනුවෙන් පෙනී සිටීමේ කෞශල්‍යයක් තිබිය යුතුය.

එහිදී, ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස ශමින්ද්‍ර විසින් මතුකළ කාරණය වැදගත් වේ. එනම් වාර්ගික ප්‍රචණ්ඩත්වයේ අවසාන භාගය ගැන පමණක් නොව, හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට බලහත්කාර අතුරුදන් වීම් සිදුවූ අතර ඒ සියල්ල සඳහා ස්වාධීන වෝහාරික විඝනණයක් අවශ්‍ය වේ. එසේම ඉන්දීය සාම සාධක හමුදාව, මෙරටට "සාමය" උදා කිරීම උදෙසා කළ "කැපකිරීම්" වල ආනිසංසය ඉතාම බරපතළ විය. එහිදී දෙමළ වාර්ගික පුද්ගලයින් රාශියක් අතුරුදන් වූ බවත්, බොහෝ දෙමළ වාර්ගික ස්ත්‍රීන් ලිංගික හිංසනයට ලක් වූ බවත්, පිළිගත හැකි ස්වාධීන වාර්තා සාක්ෂි සහිතව සඳහන් කොට තිබේ. අතුරුදන් වීමේ ගැටලුව එක් තනි ආණ්ඩුවක් මත හෝ රාජ්‍යය පාර්ශවයට පමණක් එල්ල කළ හැකි චෝදනාවක් නොවේ. මේ නිසා මෙම ගැටලුව දේශපාලන පක්ෂ භේදයකින් තොරව විමසා බැලිය යුතු කාරණයකි. එය සමස්ථ සමාජය හමුවේ ඇති, විසඳාගත යුතු ගැටලුවකි.

මේ හා සමාන ගැටලුවක් කිසියම් පුද්ගලයෙකු (මාධ්‍යවේදියෙකු හෝ වෙනත් පුද්ගලයෙකු) රාජ්‍යය නායකයෙකුගෙන් හෝ ප්‍රතිපත්ති තීරකයෙකුගෙන්  ඇසූ විට, පළමුව එම ගැටලුවට පිළිතුරු ලබා දීමට පෙර තවත් ගැටලුවක් හෝ ගැටලු කිහිපයක් ප්‍රශ්න අසන සභාවෙන් ලබා ගැනීම ඉතා වැදගත් උපක්‍රමයක් ලෙස බොහෝ දෙනෙකු භාවිතා කරති. එය සාර්ථක උපායකි. ඒ සඳහා අවස්ථාවක් නොමැති නම්, මෙවැනි බරපතළ කාරණා සැහැල්ලුවට ගැනීමට වඩා, ඊට පිළිතුරු දීමේදී ඒ හා සමානව කලාපීය සහ ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සිදුවීම් විමසා බලමින් අදාළ ගැටලුවට තමන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය ගැන සාධනීය පිළිතුරක් ලබා දීම වැදගත් වේ. අවාසනාවට මෙන් රාජපක්ෂ මහතාට එම උපායන් දෙකම එහිදී අහිමි විය.

මෙම ගැටලුව ඇසූ මාධ්‍යවේදිනියට හෝ වෙනත් ඉන්දීය ජාතික මාධ්‍යවේදියෙකුට, කාශ්මීරයේ ඉන්දීය හමුදාව විසින් සිදුකොට ඇති බරපතළ අතුරුදන් කිරීම් ගැන හෝ සමූහ මිනීවළවල් ගැන, ඉන්දීය හමුදාවෙන් හෝ එරට දේශපාලන බලධාරීන්ගෙන් ඇසිය හැකිද? එසේම ඉන්දීය හමුදාව ඉන්දියාවේ ඊශාන දිග ප්‍රාන්ත වල ( අරුනාචල් ප්‍රදේශ්, ඇසෑම්, මනිපුර්, මෙගාලය, මිශෝරාම්, සිකීම්, ත්‍රීපුර) සිදු කොට ඇති බලහත්කාර අතුරුදන් කිරීම් ගැන ඇසිය හැකිද?

ඇසෑම් හී 1983 පෙබරවාරි මාසයේදී සිදු වූ නෙල්ලි සමූහ ඝාතනය ඉතිහාසයෙන් වසන් කොට ඇති මනුෂ්‍යය අපරාධ වලින් එකකි. ඒ ගැන සෙවීම සඳහා කොමිෂන් සභාවක් පත් කළේය.  ඝාතනයට ලක්  වූ නිරායුධ වැසියන් සංඛ්‍යාව දහස් ගණනක් බව හෙළිදරව් විය. නමුත් කොමිෂන් වාර්තාව පොදු ජනතාවගෙන් සඟවා තැබුවේය. එය දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ වඩාත් භයානකම ජන සංහාර වලින් එකක් ලෙස ඉතිහාසයේ සඳහන් වී ඇත. මේවා ගැන කතා කරන්නේ කවුරුන්ද? ඒවා ගැන ලිවීමට මාධ්‍යය නිදහසක් තිබේද? ඒවාට සිදුකළ සාධාරණය කුමක්ද?

ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව රටක් ලෙස වඩාත් උසස් විනයකින් සහ වගකීමකින් කටයුතු කර ඇති බව ඔප්පු කොට තිබේ. ඒවා සාමූහික වගකීම් ලෙස ගනිමින් බොහෝ දෙනෙකු කටයුතුකොට ඇත. මේ ඇත්ත පිළිගැනීම වෙනුවට විවිධ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මෙවැනි බරපතල සමාජ කාරණා විකෘති කිරීම නොහොඹිනා කටයුත්තකි. නමුත් සිදු වී ඇත්තේ එයයි.

ගෝඨාබය රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනය ගැන විවිධ ගැටලු ඇතැමුන්ට තිබිය හැකිය. එසේම ඔහු සමග එකඟ විය නොහැකි කාරණා රාශියක් තිබිය හැකිය. නමුත්, දේශපාලනික භේදයකින් තොරව මේ රටේ සිදු වී ඇති සමාජ කඩා වැටීම හඳුනා ගත යුතුව ඇත. එයට පිළිතුරු ලබා දිය හැක්කේ සාමුහික වෑයමකිනි.

බොහෝ රටවල සිදු වන සහ සිදු වූ ගැටුම් වලට සාපේක්ෂව, මෙරට සිදු වූ වාර්ගික ගැටුම්වලින් පසු ජන ජීවිතය නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක විය. ඉන් බොහෝමයක් සාර්ථක විය. අවුල ඇත්තේ එතන නොව, ඒ කරපු හොඳ වැඩ ටික ලෝකය හමුවේ විකුණා ගැනීමට නොහැකිව අසමත් වීමය.

අවස්ථාවාදී පණ්ඩිතයින් ගොන්නක් රාජ්‍යයේ නායකයා සහ ප්‍රතිපත්ති තීරකයින් මුලාවේ හෙළීය.  ත්‍රස්තවාදය පිළිබඳ ව්‍යාජ විශේෂඥයින්, ගත් කතුවරයින් වූ "රණවිරුවන්", දුර්වල නමුත් මහන්තත්වයෙන් පෙළෙන දේශහිතෛශීන්, යහපාලන විශේෂඥයින්, ආදී බොහෝ දෙනෙකු බිහි වූවද ඔවුහු සිදු කරනු ලැබුවේ, තම තමන්ගේ පෞද්ගලික චරිතය පුම්බා ගැනීම සඳහා කටයුතු කිරීම මිස රාජ්‍යයේ හොඳ නම රැකගැනීම වෙනුවෙන් කටයුතු කිරීම නොවේ.  එසේම, ගෝඨාබය රාජපක්ෂ මහතාට එරෙහිව නගන චෝදනා රාශියක ඇති සැබෑ ස්වරූපය ගෙන බැලීමේදී  පෙනී යන්නේද, ඒවාට පිළිතුරු ලබා දිය යුත්තේ වත්මන් ආණ්ඩුව මිස ඒ මහතා නොවන බවයි.

2015 දී බලය පත් වූ ආණ්ඩුව, රාජපක්ෂ පරිපාලනය තුළදී සිදු වූ අපරාධ ගැන ලෝකය දෙවනත් කළේය. බලයට පැමිණි වහාම ඒ ගැන පරීක්ෂණ ආරම්භ කළේය. ඇතැම් අවස්ථා වලදී අගතියට පත් පාර්ශවවල පවුල්වල සාමාජිකයින් මෙරට තානාපති සේවයට අනියුක්ත කරනු ලැබීය. ඔවුහුගේ ජීවිත සුඛිත-මුදිත කළේය. එය හොඳ දෙයකි.

නමුත්, වසර පහකට ආසන්න කාලයක් ගතවිය. අපරාධකරුවන් සොයා ගැනීමට හෝ ඔවුහුට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට සමත් වූයේ නැත. එනම්, ගැටලුව ඇත්තේ, රාජපක්ෂ පරිපාලනය තුළ යැයි කීම විහිළුවකි. මන්ද, බොහෝ නොවිසිඳුණු දෑ පවතින්නේ වත්මන් ආණ්ඩුවේ දුර්වලතාවයන් නිසාය. ආණ්ඩුව දුර්වල නම්; එය ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට අසමත් වන්නේ නම්. ඊට වගකිව යුත්තේ ආණ්ඩුව මිස විපක්ෂය නියෝජනය කරන පිරිස නොවේ. මෙය මූලික කරගෙන ප්‍රතිචාර දැක්වීම සහ තම පරිපාලන කාලය තුලදී සිදු වූ වැරදි හේතුවෙන් ඇති වී ඇති සැක සංකා නැතිවන ලෙස කරුණු කාරණා ගෙනහැර දැක්වීම සෑම විටම වැදගත් වේ.

එසේම, මැතිවරණයකදී වැදගත් වන්නේ මේ වන විටත් කැමැත්ත දිනාගෙන ඇති පිරිස කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නොවේ. ඒ වෙනුවට, නව බලවේග තමන් දෙසට ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කිරීමද ඒහා සමානව වැදගත් වේ.

තම අපේක්ෂාව ජයග්‍රහණය නම්, ගෝඨාබය රාජපක්ෂ මහතා මූලික වශයෙන් අවදානය යොමු කළයුතු පරාසය මෙය යැයි අපට සිතේ. මැතිවරණය ජයග්‍රහණය කිරීම පමණක් නොව ජයග්‍රහණයකින් පසු සාර්ථක පරිපාලනයක් ගොඩ නැගීම මනා සිහියෙන් සහ ප්‍රවේශමෙන් කළ යුතු කටයුත්තකි.

බලයට පත්වන්නා කවුරුන් වුවද ඔහු සාර්ථක පාලකයෙකු වන්නේ ඔහු සමග සිටින කණ්ඩායමේ එනම් තමන් වටා ඒකරාශී වන සැබෑ දැනුමක් සහ  අවංක  චේතානාවක් ඇති පිරිස මතය.

ගෝඨා වෙනුවට මෛත්‍රී ?

ජනාධිපති සිරිසේන මහතා නියමිත මොහොත එන තෙක්  නිලය ඇල්ලීමට අර අදින ආකාරයක්  දිස්වේ. 


කතුවැකිය

වෙනදා මෙන්ම මේ දිනවලත් රටේ දේශපාලනය  ඉතාම උණුසුම්ය. මෙරට ප්‍රධාන ආහාරය වී ඇත්තේ දේශපාලනයය. මාධ්‍යය වල ප්‍රසිද්ධ වන වාර්තා දෙස බැලුවද, වෙනත් ඕනෑම තැනක සිදුවන දෑ සලකා බැලුවද, දේශපාලනය ප්‍රධාන වේ. ඉන් තොර ලෝකයක් අපට නැත. එය මෙරට පමණක් නොව බොහෝ රටවලද එසේමය. දේශපාලනය යනු සියල්ලමැයි.  

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධරයින් දෙදෙනෙකු වන ගාමිණි වියන්ගොඩ මහතා සහ මහාචාර්යය තේනුවර මහතා, පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයාගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් ගරු අධිකරණයේ පිහිට පතා ඇත. රටක පුරවැසියන් ලෙස ඔවුහුට ඒ සඳහා පූර්ණ අයිතියක් ඇත. 

එසේම, ඔවුහුගේ පැමිණිල්ල ගැන විශ්ලේෂණය කරනු ලැබූ වික්ටර් අයිවන් මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ආගමන සහ විගමන නීතිය හිතා මතාම උල්ලංඝනය කොට ඇති බව සඳහන් කරනු ලබයි. අයිවන් මහතාගේ පැහැදිළි කිරීම විසින් මෙම කාරණයේ ඇති බරපතල තත්වය මනාව විමසීමට ලක්කොට ඇත. 

රටක ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම යනු එම රටේ ඉරණම තීන්දු කිරීමකි. එසේම මීට සති කිහිපයකට පෙර ගෝඨාබය රාජපක්ෂ මහතා රටේ ස්වාධීන අධිකරණ ක්‍රමයක් තිබීමේ වැදගත්කම සහ රටක නීතිය සෑම අයෙකුටම සමාන ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත්කම ගැන දීර්ඝ වශයෙන් විශේලශ්ණය කළේය. ඒ ඔහු විසින් සංවිධානය කරනු ලැබූ සමුළුවකදීය. ඒ නිසා මෙම කාරණය මූලික කරගෙන මතු වී ඇති බරපතල තත්වය ගැන වෙන කාටත් වඩා හොඳ අවබෝධයක් ඔහුට ඇතැයි අපි විශ්වාස කරමු.



කෙසේ වෙතත්, අවසාන තීන්දුව ගරු අධිකරණය විසින් ලබා දීමට නියමිතය. 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිදු වූ “ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය” අවස්ථාවේදී රටේ අධිකරණය,  එහි ස්වාධීනත්වය සහ ගෞරවය ඔප්පු කළ ආකාරයෙන්ම මෙම තීරණාත්මක කාරණයද විසඳි යනු ඇතැයි අපි විශ්වාස කරමු. 

ගරු අධිකරණයේ තීන්දුව, ගෝඨාබය රාජපක්ෂ මහතාට වාසී වුවහොත් එනම් ඔහු නිවැරදි කරු වුවහොත් කිසිඳු අවහිරයක් නොමැතිව තම සටන ඉදිරියට රැගෙන යා හැකිය. නමුත්, අධිකරණ තීන්දුව බැරිවෙලාවත්, ගෝඨාබය රාජපක්ෂ මහතාට අවාසී ලෙස ලබා දුන්නොත් ඊට අවශ්‍යය විකල්පයක් තිබිය යුත්තේය. එවැනි තත්වයක් මතු වුවහොත් සිදුවිය හැකි දේ කුමක් විය හැකිද?

මීට පිළිතුරු ලබා දීම සඳහා ජනධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගනුදෙනුව වෙත අවදානය යොමු කිරීම වැදගත් වේ.

මීට මාස කිහිපයකට පෙර කා අතරත් ප්‍රචලිත වූ කාරණයක් වූයේ, ජනාධිපති සිරිසේන මහතා මීලඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්ත ලැබී තිබුණු බවයි. එසේම සිරිසේන මහතාද එය ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටි බව දේශපාලන ආරංචි මාර්ග සනාථ කළේය. ඒ වෙනුවෙන් බොහෝ දේශපාලනික කටයුතු තිරය පිටුපසින් සිදු වූ බව රහසක් නොවේ. 

නමුත් ඔක්තෝම්බර් මාසයේ සිදු කළ දේශපාලන කෝලාහලයෙන් තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට අසමත් වූ පසු ඊට සහභාගී වූ බොහෝ දෙනෙකු විසිරී ගිය අතර, සිංගප්පූරුවේදී වෛද්‍යප්‍රතිකාර ලබා මෙරටට පැමිණි ගෝඨාබය මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම ලහි ලහියේ සිදුවිය. එය කිසිවෙකුගේ හෝ වුවමණාවට බලෙන් සිදුවූවාක් වැනි ස්වභාවයක් නිරීක්ෂණය විය. 

පොදු ජන පෙරමුණ සම්මේලනයේදී අදාළ නිවේදනය නිකුත් කිරීමට පැය කිහිපයක පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යය නියෝජිතයින් අතර හමුවක් පැවැත්වූයේ ඒ මහතාගේ නිවසේදීය. එහිදී ඍජු සහ වක්‍ර අදහස් රාශියක් ඉදිරිපත් වූ බව පැහැදිළිය. නමුත් ඒවා බොහෝමයක් රාජපක්ෂ මහතා මවිත කිරීමට සමත් වූ දෑ වීම නිසා ගෝඨාබය රාජපක්ෂ මහතා වහාම ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නම් කළේද යන්න දන්නේ ඒ මහතා ඇතුළු කිහිප දෙනෙකු පමණි. 

නමුත් මේ වන විට රටේ ඇතිවී තිබෙන්නේ රාජපක්ෂ මහතා බලාපොරොත්තු නොවූ දේශපාලන ප්‍රවණතාවයකි. රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිධූරය සඳහා තරග කිරීමට වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබේ යැයි සිහිනෙන්වත් නොසිතන්නට ඇත. එසේම, තම බලාපොරොත්තුව  ඉටු වූ පසු සජිත් ප්‍රේමදාස මහතා ඉතාම සීඝ්‍රයෙන් ජාතික නායකයෙකුගේ භූමිකාව පිළිඹිඹු කරන ආකාරය බොහෝ දෙනෙකුගේ මවිතයට හේතු වී ඇත. 

මෙම ප්‍රවණතාවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉතාම හිතකර අන්දමින් නිර්මාණය වී තිබීම සැලකිය යුතු කාරණයකි. එසේම මීට දින කිහිපයකට ඉහතදී, සිරිසේන මහතා තමන් ඉතාම සෞඛ්‍ය සම්පන්න බවත් තමන්ට තව දුරටත් රටට සේවය කළ හැකිබවත් සපත කළේය. ඉන් පසු රටේ නීතිය අභිබවමින්, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණඩායමේ දේශපාලන පැවැත්ම තහවුරු කළ බව සඳහන් කළ හෙතම පොදුජන පෙරමුණට සහය වන්නේ, තම එකඟතා වලට එකඟ වන්නේ නම් පමණක් බව සඳහන් කළේය. ඒ අතර වැදගත් මංගල ත්‍යාගයක් ලෙස රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්‍ෂ යළිත් නාවික හමුදා සේවයේ පිහිටුවීමට තීරණය කළේය. මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ න්‍යෂ්ඨික පවුල ආකර්ෂණය කර ගැනීමකි. 

මෙම සන්දර්භය තුළ, ගෝඨාබය මහතාට ජනාධිපතිවරණය තරග කිරීම සඳහා නෛතික අයිතියක් නැති බව ගරු අධිකරණය තීන්දු කළහොත්, මහින්ද රාජපක්ෂ මහතාට කළ හැකි හොඳම තීන්දුව මෛත්‍රිපාල සිරිසේන මහතා කරළියට ගෙන ඒම විය හැකිය. ඊට ඔහුගේ න්‍යෂ්ඨික පවුලේ බලවත් ආශීර්වාදය ලැබෙනු ඇත. මෙම යථාර්තය ඉතාම හොඳින් දැනගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය කටයුතු කරනවා විය හැකිය.  මහින්ද අගමැති, මෛත්‍රී ජනපති ගැන මුලින්ම කතා බහ වූයේ මීට මාස කිහිපයට පෙරදීය. 

මීට ස්වල්ප වේලාවකට පෙර පක්ෂයේ මාධ්‍යම කාරක සභාව කිසිඳු අවසන් තීන්දුවක් නොගෙන තම රැස්වීම අහවර කරනු ලැබුවේ එළඹෙන ඔක්තෝම්බර් පස්වනදා යළි මුණ ගැසීමට තීන්දු කිරීමෙන් අනතුරුවය. පස්වනදා එනම්, ගරු අධිකරණය හමුවේ ගෝඨාබය රාජපක්ෂ මහතාට අදාළ පැමිණිල්ල විභාග කොට දින දෙකකින් පසුය. 

ජනාධිපති සිරිසේන මහතා නියමිත මොහොත එන තෙක්  නිලය ඇල්ලීමට අර අදින ආකාරයක් මින් දිස්වේ. මේ නිසා,  ඉදිරි දින කිහිපය තුළ පෙරදා නොවූ විරූ දේශපාලනික අත්දැකීමක් රටේ ජනතාවට අත්විඳීමට සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහළය. 

ලංකාවේ ක්‍රිකට් සහ කෝප් කමිටුව - Set a thief to catch a thief

කෝප් කමිටුවේ කටයුතු මහජනතාවට විවර වීම ඉතාම හොඳ කටයුත්තකි. එසේම කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති මහතා සිදුකරන්නේ වැදගත් මෙහෙවරකි. ඔහු හොරෙක් නොවේ. 

කතුවැකිය 

සිරි ලංකාව වගේ රටක් ලෝකයේ කොහේවත් නැත. මේ රටේ සිදු වන දේ අමුතුය. රටේ පළමු රජ්ජුරුවෝ පිටරටින්  පැමිණි අයෙක් වූවා සේම රටේ අන්තිම රජ්ජුරුවෝද එසේමය.  මේ වන විට රට පුරාම කතාවෙන ප්‍රධාන මාතෘකාව වන ඉදිරි ජනාධිපතිවරණයේ හැඩතලද එසේමය. රටට සැබෑ නායකයෝ නැත. හැම එකෙක්ම නායකයෙක් වීමට උත්සහ කරති. කරේ රත්තරං බැඳගත් කටුස්සන් සෑම තැනකම පාහේ නැංගුරම් ලා සිටිති. ඉන්න තරමක් ඉන්නේ, තැන දුටු තැන වල ඉහ ගන්නා ජාතියේ කොටසකි. උන්ට අපි පාලකයෝ සහ නිලධාරීන් යැයි කියමු. බොහෝ තැන් වල සේවය කරන නිලධාරීන්ට, දේශපාලනඥයිනට සේම, රාජ්‍යය සම්පත් අවභාවිතය කිරීමට හැරෙන්නට වෙනත් කිසිම වුවමණාවක් නැත. 


මේ අතර කෝප්  කමිටුවේ තවත් එක් හමුවක් ඊයේ පවත්වනු ලැබීය. සාමාජ මාධ්‍ය වලට ස්තූති වන්නට, අදාළ කමිටුවේදී  දැක්වූ අදහස්  සජීවීව විකාශය කරනු ලැබීය. රටට සහ ජනතාවට වැදගත් වන්නේ විවිධ දේශපාලන න්‍යාය පත්‍ර සපුරා ගැනීම සඳහා ජනතාවගේ කාලය සහ මොළ ගෙඩි ව්‍යාකූල කරන රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා නොවේ. ඒවාට වියදම් කරන කාලය,  සමාජ මාධ්‍යය සහ අනෙකුත් නව මාධ්‍යය වලට වියදම් කිරීම යහපත්ය. 

කෝප් කමිටුවේ කටයුතු මහජනතාවට විවර වීම ඉතාම හොඳ කටයුත්තකි. පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කරන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු විකාශය කොට රටේ ආරක්ෂක කටයුතු අදූරදර්ශී ලෙස දේශපාලනීකරණය කිරීම සිදු කළද මෙම කෝප් කමිටුවේ හමුවීම් සියල්ලම සජීවීව විකාශය කිරීම ඉතාම හොඳ කටයුත්තකි. එසේම කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති මහතා සිදුකරන්නේ වැදගත් මෙහෙවරකි. ඔහු හොරෙක් නොවේ.

කෝප් කමිටුව සහ මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ඊයේ උදෑසන රට හමුවේ රඟපෑ නාට්‍යය ඉතාම වැදගත්ය. දෙපාර්ශවයේ සංයුතියද ඉතාම අගනේය.  ප්‍රශ්ණ අසනු ලැබූ පාර්ශවය මෙන්ම ඊට පිළිතුරු ලබා දුන් අයද ලංකාවේ සැබෑ සමාජ ව්‍යුහයේ නියම හරස්කඩකි.

"Set a thief to catch a thief" යැයි  කියමනක් ඉංග්‍රීසි බාසාවේ තිබේ. එහි සරල අර්ථය වන්නේ, හොරෙක් අල්ලා ගැනීම සඳහා හොරෙක් ස්ථානගත කළ යුත්තේය, යන්නය. අදාළ කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස වාඩී වී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් සහ රාජ්‍යය අමාත්‍යවරුන් දෙස බැලීමේදී කිව යුත්තේ එයයි.

කෝප් කමිටුව විසින් සිදු කර ඇති මූලික දේශපාලනික න්‍යාය වන්නේ හොරෙක් අල්ලා ගැනීම සඳහා තවත් හොරෙක් හෝ හොර රංචුවක් ස්ථානගත කිරීමය.  ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන විමසනු ලැබූ ඇතැමුන් ශතයක දෙයක් වංචා නොකළ ශාන්තු වරුන්සේ හැසිරීම ඉතාම විනෝද ජනකය. මහජන දේපල, පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් විසින් මංකොල්ල කෑම ගැන වැදිබණ දෙසන මෙම බොහෝ මහත්වරුන්ගේ චරිතද එසේමය. උන්ට යහපාලනය, රජපාලනය, සම්මුතිවාදය, පවුල්වාදය වැදගත් නැත. උන්ට අවශ්‍යය වන්නේ "ප්‍රසන්ටේජ්" එකය. එනම්, කොමිස් මුදල හෙවත් ඔවුහුගේ බසින් "මාකප්" එකය.

පම්පෝරිය වැඩියෙන් හෙළන්නා කුමක් හෝ සඟවා ගැනීමට උත්සහ කරෙන්නෙකි. මේ සුදු ඇඳගත් සහ බටහිර පන්නයට හැඳගෙන කැඩුණු ඉංග්‍රීසියෙන් සහ නොගැලපෙන සිංහලෙන් දොඩන මහත්වරුන්  ඔක්කෝගෙම ඇත්ත කැරැට්ටුව ඒකය. ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන විශාල කම්පාවෙන් කතාකරන සුජීව සේනසිංහ හෝ මන්හිදානන්ද අලුත්ගමගේ වැනි අයවලුන්ට තම වත්කම් ගැන සත්‍යය වාර්තාවක් රට හමුවේ ඉදිරිපත් කළ හැකිද? මේ මිනිසුන් කරන ජනතා සේවයේ තරම සැඟවී ඇත්තේ එතැනය. ඔක්කොම අමූලික බොරුව සහ අහංකාරකම කරපින්නා ගත් නිශාචර චෞරයින් රෑනකි. ඔවුහුගේ එකම සුදුසුකම තවත් හොරෙක් අල්ලා ගැනීමට ඉතාම කෙටි කාලයකින් දක්ෂ වීමය. කෝප් කමිටුවට ඔවුහු වැදගත් වන්නේ ඒ නිසාය.

එසේම,  මෙරට ක්‍රිකට් පරිපාලනය අතිශය දූෂිත සහ කිසිඳු ගරුත්වයක් දිනා නොගත් ආයතනයකි. ක්‍රිකට් ක්‍රීඩාව ලංකාව  මුළුමනින්ම යහපත් ලෙස වෙනස් කිරීමට හැකියාව තිබූ ක්‍රීඩාවකි. මූල්‍යමය වශයෙන් පමණක් නොව ජාතික සමගිය සහ විදෙස් ප්‍රතිපත්තිය මුවහත් කිරීමටද එය භාවිතා කළ යුතුව තිබුණි. නමුත්, ජාතියේ අවාසනාවට, පාදඩ මාෆියාවක් බවට පත් වූ එය, රටට අපකීර්තියක් ලබා දෙනු ලැබීය.

උග්‍ර ලෙස, නිලධාරීවාදයට සහ දේශපාලනීකරණයට ගොදුරු වූ මෙම ආයතනයට සිදු වූ නස්පැත්තිය කෙතරම්ද යන්න, අඩි තිස්දහසක් උඩ ගුවනේදී මගී ගුවන් යානයක දොර ඇරීමට උත්සහ කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වෙස්ගත් බේබද්දෙකුගේ කෙරුවාවෙන්ම පෙනේ. ඔහු කෙහෙළිය රඹුක්වැල්ල නමැති දේශපාලනඥයාගේ පුත්‍රයාය. ඒහා සමාන සිදුවීම් රාශියකි. 

බලයට පත් වූ සෑම ආණ්ඩුවකම සිටි කඳ පණුවන් රාජ්‍යයට සේවය කිරීමට වඩා, රාජ්‍යය සම්පත් ඇති  තැන් වලට කෙළ හලා ඒවායෙන්  තම  මඩිය තර කර ගැනීමට උත්සහ කළා මිස රටට සහ අසරණ ජනතාවට සේවයක් කිරීමට උත්සහ කළේ නැත. ඔවුහුට ජනතාව යනු තම වාසිය වෙනුවෙන් භාවිතා කළ හැකි විෂයයන්ය.

මේ නිසා, සැබෑ ක්‍රීඩකයින්ට ඉදිරියට පැමිණීමට තිබූ මාර්ග අවහිර කළා පමණක් නොව දක්ෂයින් ඇතිවීමට ඇති අවස්ථාවද අහුරුවාලනු ලැබීය. මෙය ක්‍රිකට් වලට පමණක් අදාළ කාරණයක් නොවේ. රටේ සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත වී ඇත්තේ මෙයයි. වීදියේ සෙල්ලම් කරන කොලු ගැටයෙකු කොළඹ ගෙනවිත් ඔහු ලෝකයේ හොඳම ක්‍රීඩකයෙකු බවට පත්කොට නිරහංකාරව ආඩම්බර වන රාමනායකලා වැනි මිනිසුන් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ නැත.

කෙසේ හෝ වේවා, කෝප් කමිටුව හේතුවෙන් සැඟවී ගඳ ගසමින් තිබෙන කුණු මතුපිටට පාවෙමින් තිබේ.  ඒවායේ දුර්ගන්දය දසත පැතිරෙමින් තිබේ. වැදගත් වන්නේ  ශක්තිමත් රාජ්‍යය ප්‍රතිපත්ති භාවිතා කොට කුණුවී ඇති තුවාලය ශුද්ධ කිරීමය. එලෙස ශුද්ධ කරන විට තව එක් හිරගෙදරක් පමණක් නොව හිරගෙවල් සීයක් තැනීමට සිදුවුවද කම් නැත. වැදගත් වන්නේ, මේ රටේ ජනතාවට තම ආත්මගරුත්වයක් ඇතිව ජීවත් වීමට ඇති වටපිටාව සකස් කිරීමය. පාලකයෙකු අවශ්‍යය වන්නේ එම භාරදූර කාර්යයට මිස වෙන ඉලව්වකට නොවේ.  

රනිල්-සජිත්-කරු ඇතුළු එජාපය අනුරට සහය දිය යුතුය

අනුර සියලු අභියෝග  ජයගනු ලැබුවේ, වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය තුළ මතු වූ ගැටුම් වලින් ගොඩ ගිය ආකාරයෙකි. ශූක්ෂ්ම දේශපාලනඥයෙකුට අවශ්‍යය වන්නේ එවැනි දේශපාලනික චින්තනයකි. දේශපාලනික වශයෙන් ඉහළ තත්වයේ උපාශීලී පුද්ගලයෙකු ලෙස අනුර කුමාර දිසානායක සැලකිය හැකිය. 

දෙවැනි කතුවැකිය 


මේ මොහොතේ කළ හැකි හොඳම දේ කුමක්ද? පවතින සාධක මනාව කළමනාකරණය කළහොත් විපල්වීය දේශපාලනික පියවරක් ගත හැකිය. එනම් විධායක ජනාධිපතිධූරය අහෝසි කොට 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමය. ඉන් පසු සම්මානනීය ජනාධිපතිවරයෙකු පත්කිරීමය. විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාගෙන් පසු එම සම්මානනීය ජනාධිපති ධූරය දැරීමට ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දෙන්නේ නම්, එය වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතාට පැවරීමේ වරදක් අපට නොපෙනේ. වික්‍රමසිංහ-සිරිසේන-සම්බන්ධන්-හකීම්-චම්පික සහ  අනුර දිසානායක දේශපාලන කඳවුරට හෙවත් දේදුනු වර්ණ දේශාපාලන රටාවට කළ හැකි  ඓතිහාසික කටයුත්තක් මෙන්ම විප්ලවීය දේශපාලන පියවරක් ලෙස එය හැඳින්වීම වරදක් නැත. නමුත් අපි ජාතියක් ලෙස එතරම් වාසනාවන්ත යැයි පුරාජේරු දෙඩීම කමකට නැත.

මන්ද, බලය හමුවේ කවුරුත් තම තණ්හාවේ ප්‍රමාණය මැන බලන්නෝ වෙති.  බලය හමුවේ ගන්නා තීන්දු තීරණ රාශියක් රාජ්‍යයේ හෝ ජනතාවගේ සුභ සිද්ධිය දෙවැනි කොට සලකන කාරණාය. මෙරට මෙන්ම බොහෝ රටවල ඉතිහාසය මෙයයි. ඊට කදිම නිදසුනක් මෑතකදී ජනාධිපති සිරිසේන මහතා විසින් සඳහන් කළේය. එනම් වසර 35 ක් කාම්බෝජයේ අගමැති ලෙස කටයුතු කරන හුන් සෙන්ගෙන් තවත් වසර කීයක් බලයේ ඉන්න බලාපොරොත්තු වන්නේ දැයි ජනාධිපතිවරයා ඇසූ විට අගමැතිතුමා, වසර දහයක් වත් ඉන්නා ඕනා යැයි පිළිතුරු දුන්නේලු. ලෝකයේ  දේශපාලන බලයේ ඇති ව්‍යාකූලභාවය සහ අප්‍රසන්නකම මෙවැනි නිදසුන් වලින් සනාථ වේ. මේ නිසා ජනතාවාදී විප්ලවීය දේශපාලන පියවරක් ගනීවි යැයි, පෞද්ගලික බලය කේන්ද්‍රීය කරගෙන තම චින්තනය සකස්කරගෙන ඇති අයවලුන්ගෙන් බලාපොරොත්තු වීම එතරම් සුදුසු නොවේ. කෙසේ වෙතත්, අපි එවැනි පරමාදර්ශයක් මේ පොළවේ සිදුවේවා යැයි පතමු.

එය එසේ සිදු නොවී, ජනාධිපතිවරණය පවත්වන්නේ යැයි උපකල්පනය කළහොත් වත්මන් ආණ්ඩුව හමුවේ ඇති හොඳම පියවර කුමක්ද?

අපි ගෙවා දමමින් සිටින්නේ, වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණයට දැමිය හැකි හොඳම අශ්වයා ගැන වාද විවාද සහ විවිදාකාරයේ කුමන්ත්‍රණ පවත්වන කාලයකි. කොසොල් රජුගේ සිහින දහසය සනාථ කරමින්, සෑම දෙනෙකුම නායකයෙකු වීමට උත්සහ දරති. නැති සිහින මවා පාති.

වත්මන් ආණ්ඩුවේ සංයුතිය ගෙන බැලුව හොත් මේවන විට ජනාධිපතිධූර අපේක්ෂත්වය අපේක්ෂාවෙන් වැඩිම මුදලක් වියදම් කොට ඇත්තේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාය. ඔහුට සිංහල ග්‍රාමීය ප්‍රජාවගේ විශාල කැමැත්තක් ඇතිබව ඇතැමුන් කියති. එසේම ඔහු දිනන අශ්වයා බව බොහෝ දෙනෙකු කැටතියා සපත කරමින් සිටිති.

සජිත්  ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරය සඳහා සුදුසුද නැද්ද යන්න ඔහුගේ කටයුතු සහ ප්‍රතිපත්ති මූලික කරගෙන ගැඹුරෙන් විමසා බැලිය යුතු කාරණයකි. කෙසේ නමුත් හෙතම පසුගිය දින කිහිපය පුරා ඉදිරිපත් කළ අදහස් දැක්වීම් දෙස බලන විට අපේ තකසේරුව අනුවනම් සජිත් ජනාධිපති වීම සඳහා සිහින දැකීම එතරම් යෝග්‍යය ව්‍යායාමයක් ලෙස නොපෙනේ. එසේම ඔහුට ජාතික නායකත්වයකට සතු ගුණාංග ඇති බව තවමත් පෙන්වා නැත. ඔහුගේ නිවාස ව්‍යාපෘතිය කේන්ද්‍ර කරගෙන ඇත්තේ පනහ සහ හැට දශක වල ජනාවාස ඉදිකිරීමේ මූලික සංකල්ප වලට අනුවය. එය වත්මන් ලෝකයට ගැලපෙන ලෙස වහාම වෙනස්විය යුතුය.

******

******

විශේෂයෙන් ස්වභාවික සම්පත් වඩාත් හොඳින් කළමනාකරණය කොට සුහුරු නගර ( ස්මාර්ට් සිටි) වෙත අවදානය යොමු කරමින් ස්වභාවික විපත් වලට ගොදුරුවීමේ අවදානම නැති කිරීම අත්‍යවශ්‍යය වේ. ඒ වෙනුවට ඉතුරු වී ඇති රජයේ ඉඩම් පවරාගෙන ඒවායේ කුඩා කුඩා නිවාස තැනීමෙන් රටේ ඇති විශාල ගැටලුව විසඳෙන්නේ නැත. ඔහු නියෝජනය කරන දේශපාලාන සම්ප්‍රදායේ ඇති අවලස්සන, අදාළ ආදර්ශ ගම්මාන වලට නම් තැබීමේදී ඔප්පු කොට ඇත. "ලෝක පූජිත - සදා නොමැකෙන " ආදී ගෝත්‍රිකවාදී සංකල්ප ඉදිරියට ගනිමින් සිදුකරණ කටයුතු හැකි වහාම වෙනස් විය යුතු වේ. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරය සඳහා සිහින දැකීමට පෙර ජාතික සහ ජාත්‍යන්තර වෙළඳපොළ  න්‍යාමනයන් සහ ජාත්‍යන්තර දේශපාලනය හමුවේ ලංකාව ඉදිරියට ගමන් කළ හැකි ආකාරය ගැන මනා සිහියෙන් හැදෑරීම වැදගත් වේ. කරු ජයසූරිය මහතා ගැන සඳහන් කිරීමට ඇති මූලික කාරණාද ඒ හා සමානය. ව්‍යාජ සමීක්ෂණ එළියට දැමු  පමණින් රටේ නායකත්වයට සුදුසු යැයි නිර්ණය කිරීම මුලාවකි.

කෙසේ හෝ වේවා! සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හමුවේ ඇති අභියෝගය හිතනාවට වඩා බරපතළ එකකි. වාසනාවට මෙන්, එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි මාර්ගයක් තිබේ. එම මාර්ගය සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය මූලික කරගනිමින් නිර්මාණය වී නැත. එම මාවත සකස් වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධානය සමග සිටින පාර්ශ්වයන්, අනුර කුමාර දිසානායක සමග අත්වැල් බැඳ ගැනීම ඔස්සේය. එය දිනිය හැකි මාර්ගයකි. එසේම රටේ අනාගතය ගැන යම්කිසි ධනාත්මක බලාපොරොත්තුවක් තැබිය හැකි මාර්ගයකි. එබැවින් මේ ගැන විමසා බැලීම ඉතාම වැදගත් වේ.

පුරාණ ග්‍රීක ශාස්තෘවරුන් සඳහන් කොට ඇති අකාරයට බහුජන කැමැත්ත යනු මුලාවක් බව මේවන විට ප්‍රජාතන්ත්‍රවාදය නමැති සුන්දර සංකල්පය දූෂණය වී ඇති ආකාරය දෙස දකින ඕනෑම අයෙකුට පැහැදිළි වේ. මොන අයිතිය ගැන වහරණු ලැබුවද,  සර්වජන ඡන්දබලය යනු මුලාවකි. රාජ්‍යයේ කටයුතු සඳහා උචිත නායකයෙකු තෝරා ගැනීමට එම රාජ්‍යයේ සියලුම පුරවැසියන්ට කළ නොහැකිය. එය කළ හැක්කේ එම රාජ්‍යයේ පරිපාලනය සහ අනාගත අවශ්‍යතා ගැන අවබෝධයක් ඇති පිරිසටය. එම තෝරා ගැනීමේ බලය ලබා දෙන පිරිස තෝරා ගැනීම මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. නමුත් දශක ගණනාවක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වජන ඡන්දබලය නමැති මුලාවේ  වැටී ඇති ජාතියක් වන අපට ගොඩ ඒමට ඇත්තේද වැටී සිටින ළිං කටෙන්මය. මේ නිසා ශ්‍රී ලාංකිකයින් වන අප හමුවේ ඇති අභියෝගයද එසේමය.

ඒ අනුව අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ සන්ධානයට වැදගත් වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර දිසානායක මහතාට සහෝගය දැක්වීම සඳහා පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමය. එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කිරීමට මෙන්ම  ව්‍යවස්තානූකූලව රටේ පවතින තත්වය මනාව විසඳා ගැනීම සඳහා පිටිවහලක් වේ.

එසේම දේශපාලනික වශයෙන් ගත්කළ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධානය ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දීම ඓතිහාසික වේ. දශක දෙකක පමණ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගත වී අනෙකාට සහයෝගය දුන්නේය. මෙවර සැලකිය යුතු ජන විශ්වාශයක් ඇතුව ඔවුහු තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට ඇත. ඊට පෙර එම පක්‍ෂය දේශපාලනිකව ගත්කළ ඉතාම වැදගත් ආයෝජනයක් ලෙස සැලකිය හැකි 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබීය. එසේම දිසානායක දේශපාලනික වශයෙන් මනා සිහියෙන් කටයුතු කරනු ලබන තරුණ නායකයෙකි. ඔහු, තම පක්ෂය තුළ බලය ඇල්ලූ ආකාරය ඉතාම ආකර්ශනීය වේ. විමල් වීරවංශ මහතා සමාජවාදියෙකු ලෙස උගුර ලේ රහවන තෙක් කතාකොට ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනික වශයෙන් ගොඩ දමා පක්ෂයේ කැපිලි වලට හසු වී හඬමින් නික්ම ගොස් සදාකාලීක කොන්ද පරළු වූ දේශපාලනඥයෙකු බවට පත් වුවද අනුර සියලු අභියෝග  ජයගනු ලැබුවේ, වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය තුළ මතු වූ ගැටුම් වලින් ගොඩ ගිය ආකාරයෙකි. ශූක්ෂ්ම දේශපාලනඥයෙකුට අවශ්‍යය වන්නේ එවැනි දේශපාලනික චින්තනයකි.

දේශපාලනික වශයෙන් ඉහළ තත්වයේ උපාශීලී පුද්ගලයෙකු ලෙස අනුර කුමාර දිසානායක සැලකිය හැකිය. විවිධ පෞද්ගලික කාරණා ඉදිරියට දමමින් යම්කිසි කෙනෙකුට අපහාස කිරීමට වඩා වැදගත් වන්නේ ඔහු ගැන සාධනීයව විමසා බැලීම සහ ඔහුගේ ඉගෙන ගැනීමය.

මෙවැනි වටපිටාවක් තුළ වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ඉතාම අගනා දේශපාලිනික පියවර වන්නේ, වික්‍රමසිංහ මහතා ඇතුළු සන්ධානය මෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවය අනුර කුමාර දිසානායක පොදු අපේක්ෂකයා බවට පත් කිරීමය. එය ඔවුහු වෙළී සිටින දේශපාලන අඝාධයෙන් නම්බු පිටින් ගොඩ ඒම සඳහා ගතහැකි විපල්වීය පියවරකි. එය රාජ්‍යයේ යහපතට හේතු වේ.

අනුර කුමාර දිසානායක ගාලු මුවදොර පැවති රැළියේදී තම දේශපාලන සගයින් සමග

රාජ්‍යය බුද්ධි සේවයට චෝදනා කිරීම නිවැරදිද?

එම ලැබුණු තොරතුරු, ජාතික බුද්ධි ප්‍රධානියාද, ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිතුමාට දැනුම් දී තිබේ. නමුත්, හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පතිතුමා කියන්නේ, තොරතුරු ලබා දුන්නද අදාළ වගකිව යුතු පාර්ශ්වය එතරම් බරපතළ ලෙස දන්වමින් එම තොරතුරු ලබානොදුන් බවයි. මෙය අසත්‍ය කාරණයකි.

අබ්දුල් කරීම්

මෙම ලිපිය ලිවීමට තීරණය කරණු ලැබුවේ, මේ වන විට රටේ මතු වී ඇති ප්‍රධානතම ගැටලුව සම්බන්ධයෙන්  බුද්ධි අංශ ප්‍රධාන මාතෘකාව බවට පත් වී ඇති හෙයිණි.  අසත්‍යය සහ බරපතළ ලෙස දේශපාලනීකරණය කරනු ලැබූ කාරණා ඉතාම අනතුරුදායක මට්ටමින් ඉදිරිපත් වීම හේතුවෙන් මෙම ලිපිය රටේ ප්‍රධාන ජනමාධ්‍යන් වල අවදානය පිණිස යොමු කිරීමට තීරණය කරණු ලැබුවෙමි. මෙය ප්‍රසිද්ධ කිරීම හෝ නොකිරීම එම මාධ්‍යන් වල සේවය කරන කතෘ මහත්ම-මහත්මීන් සතු කාරණයකි. නමුත් මා මෙහිදී සහතික කරණු කරනු ලබන්නේ, මෙය රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සහ ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා රචනා කිරීමට තීරණය කළ බවයි. අල්ලාහ් දෙවියන්ගේ  නාමයෙන් මා මෙම සටහන ලියනු ලබන්නේ අනාගතයේ සිදුවීමට ඉඩතිබේ යැයි අනුමාන කළ හැකි විනාශයන් වලින් අපේ රටට සහ ජනතාවට බේරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනය කරමිනි.  



මා සුන්නි නිකායට අයත් ඉස්ලාම් භක්තිකයෙකු වේ. සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා ලෙස මා උපත ලැබුවෙමි. මාගේ මුල් අධ්‍යාපනය  සිංහල භාෂාවෙන්ද සහ පසුව අපේ මුල් පවුල විතැන්වීම නිසා සිදු වූ දුෂ්කරතාවයන් නිසා දෙමළ පාසලකද ඉගෙන ගැනීමට වාසනාව ලැබුණු පුද්ගලයෙකි. මා හට හෙළිදරව් කිරීමට වුමණාවක් තිබුණද, මාගේ පවුලේ ඇතැම් කාරණා හෙළිදරව් කිරීම එතරම් සුදුසු නැති බව මා සිතමි. නමුත්,  මාගේ සේවයට අදාළ ඇතැම් කරණු ප්‍රයෝජනයට ගනිමින් මෙම සටහන ලියා තැබීමට තීරණය කළෙමි. මන්ද, වත්මන් සමාජ වටපිටාව අනාගත අඳුරු සේයාවන් පල ප්‍රතිමූර්තියක් වී ඇති බැවින් ඇතැම් වැදගත් කරනු ගැන මාගේ අදහස ප්‍රකාශ කිරීම අනාගතයේ එල්ල විය හැකි අභියෝග ජය ගැනීමට හේතුවේ යැයි මා සිතන හෙයිණි.  

විශේෂයෙන්, වත්මන් ආණ්ඩුව විසින්, පාස්කු ඉරිදා ප්‍රහාරය යනුවෙන් බොහෝ දෙනෙකු විසින් හඳුන්වන ලංකා ඉතිහාසයේ ඉස්ලාම් භක්තික අන්තවාදීන් විසින් කළ පළමු බරපතළ  ත්‍රස්ත ක්‍රියාව ගැන විමර්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත්කර ඇති විශේෂ කාරක සභාවේ කටයුතු වලට පිටිවහලක් වීම සඳහා මාගේ අදහස් දැක්වීම වැදගත් යැයි සිතමි. එම සභාව ඉදිරියේ ප්‍රධාන පුද්ගලයින් රාශියක් සාක්ෂි දී ඇත. විශේෂයෙන්  ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍යය පොලිස්පති සිසිර මෙන්ඩිස්‌ මහතා, ඇපපිට නිදහස් කොට ඇති  නියෝජ්‍ය පොලිස් අධිකාරි නාලක ද සිල්වා මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ වත්මන් ලේකම්  ශාන්ත කොට්ටෙගොඩ මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු, සහ අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා යන මහත්වරුන් මෙම විශේෂ සභාව ඉදිරියේ සාක්‍ෂී දෙනු ලැබූහ. මොවුහු සාක්ෂි ලබාදුන් ආකාරය සහ එම සාක්ෂිවලදී හෙළිදරව් නොකළ යුතු ඇතැම් කාරණා හෙළිදරව් කළ ආකාරය ගැන මා ඉතාම කනගාටුවට පත්වෙමි.

දේශපාලනඥයින් අවස්ථාවාදීන් බව අපි සියල්ලෝම දන්නෙමු. නමුත්, රාජ්‍යයේ ගරුත්වය සහ ප්‍රතිරූපය වෙනුවෙන් රටේ ජනතාවගෙන් බහුතරය විශ්වාසය තබාගෙන සිටින නිලධාරීන්ට අවස්ථාවාදීන් ලෙස පමණක් කටයුතු කළහැකිද? මෙය මා මාගේ සැඟවී ගතකළ  ජීවිතයේදී නැවත නැවතත් අත්දැකීමට සිදුවී ඇති අවාසනාවන්ත කාරණයකි.

මා බුද්ධි අංශයට පළමු පෙළ තොරතුරු සපයනන්නෙකු ලෙස සම්බන්ධ වූයේ  ආර්. ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වී මාස කිහිපයක් ගිය පසුය. මාගේ සක්‍රීය සේවය ආරම්භ වූයේ 1995 අප්‍රේල් මාසයේදී තෙවැනි ඊළාම් සටන ආරම්භ වීමට මාස කිහිපයකට පෙරදීය. කොටි සංවිධානයේ මුහුදු කොටි බලකාය විසින් නාවික හමුදාවට අයත් සූරයා සහ රණසුරු බෝට්ටු දෙක පුපුරා හැර සටන විරාමය අවසන් කළේය. ඉන් මාසයකට පසු කොටි සංවිධානයේ සාමාජිකයින් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රක්කයේ කල්ලරව ගමේදී සාමන්‍යය වැසියන් 42කු පමණ මරා දැමූහ. එය  මාගේ ජීවිතය වෙනස් කළඑක් ප්‍රධාන සිදුවීමක් විය. මන්ද, මා කාලයක් තිස්සේ දැන හඳුනාගත් සිංහල ජාතික මිතුරියක්ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවාය.

මේ අකාරයෙන්,  තාවකාලීක ඇස්බන්ධනයක් වූ සටන් විරාමය බිඳී ගොස් කොටි සංවිධානය තම මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. කොටි සංවිධනානය සෑම් මිසයිල ලෙස සාමන්‍යයෙන් හඳුන්වන ස්ටින්ගර් වර්ගයේ ආයුධ පළමුවරට තම සංවිධානයට එකතු කරගත්තේ මේ කාලයේදීය. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය හමුවේ තිබු අභියෝගය ඉතාම සංකීර්ණ වෙමින් පැවතුණි. බුද්ධි අංශවලට තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කිරීමට සිදු විය. කෙසේ වෙතත්, තෙවැනි  ඊළාම් සටන අවසාන වනවිට සමස්ථ ශ්‍රී ලංකා භූමියෙන් සීයට 30ක ප්‍රමාණයක් කොටි සංවිධානය විසින් පාලනය කරනු ලැබීය.   

විවිධ දේශපාලන අවශ්‍යතාවයන් නිසා ඉතාම අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණදීම හේතුවෙන් ආරක්ෂක අංශ වලට තොරතුරු සැපයීම  සඳහා පුද්ගලයින් (මෝල්) බඳවා ගැනීමද ඉතාම දුෂ්කර කාර්යයක් වි තිබුණි. මේ හේතුවෙන් පොට්ටු අම්මාන්ගේ ටොසි ඔත්තුසේවයට ඉතාම ශක්තිමත්ව රටපුරා විසිරීමට අවශ්‍යය පරිසරය සකස් විය. එම ඔත්තු සේවය එතරම් දුරකට ව්‍යාප්ත වීමට හේතුව වූයේ, කොටි සංවිධානය, තම බුද්ධි අංශය ඉතාම මැනවින් රැකබලා ගත්  හෙයිනි. ඒ වගේම, ආරක්ෂක අංශවල පැවති අසමගිකම් කොටි සංවිධානයට ආශීර්වාදයක් විය. මේ නිසා බොහෝ දෙනෙකුට ජීවීතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. සේවයට එකතු වී වසර කිහිපයකින් පසු මාහට හමු වූ එක්  අමතක නොවන චරිතවත් පුද්ගලයෙකු වූයේ   කන්දයියා යෝහරාසාය. ප්ලොට් මොහාන් ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත ඔහු පසුකාලයකදී කොළඹදී කොටි සංවිධානය විසින් මරා දැමුණු ලැබීය. ඔහු, බුද්ධි අංශයට විශාල සේවයක් කළේය. අපට වැදගත් වූයේ මෙහෙයුමක් කරන විදිය නොව, අපි එම මෙහෙයුමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නය.

බොහෝ තොරතුරු දෙන්නන් සතුරු ප්‍රහාර වලින් මියයන විට හෝ තුවාල ලබන විට අපට අවබෝධ වූ මූලික කාරණයක් තිබුණි. එනම්, බුද්ධි අංශවල දියුණුව සහ ඒවාගේ අවශ්‍යතාවයන් ගැන බොහෝ  දේශපාලනඥයින් කතාබහ කළද ඒවා ගැන එතරම් අවබෝධයක් ඔවුහුට තිබුණු බවක් අපට නොපෙනුණි. ඇතැම් දේශපාලනඥයින් රටට ආදරය කරණ බව මිනිසුන් ඉදිරියේ ඒත්තු ගැන්වීම සඳහා බුද්ධි අංශ ගැන කතා  කළහ. තවත් සමහරුන්, ඕනෑම කුණුගොඩක් බුද්ධි අංශ මත පැටවීමට පහසු නිසා බුද්ධි අංශ ඔවුහුගේ ප්‍රධාන මාතෘකාව බවට පත්විය. නමුත්, බුද්ධි අංශයක පැවතිය යුතු මූලික ධර්මතාවයන්, ඒවායේ ජාතික මෙහෙවර, ඒවා දියුණු කිරීම සඳහා ගතයුතු රාජ්‍යය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආදිය ගැන කිසිම ගැඹුරු දැනීමක් බොහෝ දෙනෙකුට නොතිබුණි.

අපි මුහුණ දුන් අභියෝග, අපේ පවුල්වල පැවති  දුෂ්කරතා තේරුම් ගැනීම, ආදී කාරණා සඳහා මෙම ආයතනවල ඉහළපෙලේ සිටියේ ඉතාම සුළු පිරිසකි. භූමි මට්ටමේ මෙහෙයුම්කරුවන් ලෙස අපට මුහුණ දීමට තිබු අභියෝග රාශියක් වූ අතර ඉහළ නිලධාරීන් බොහෝ දෙනෙකු උත්සහ කරනු ලැබුවේ, තොරතුරු කරුවන්ගෙන් ලැබෙන තොරතුරු විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් ඉතාම අප්‍රසන්න ලෙස භාවිතා කිරීමටය. මේ නිසා ඇතැම් දේශපාලනඥයින් සේම මෙම බුද්ධි සේවාවල සේවය කළ නිලධාරීන්ද, ජාතික අවශ්‍යතාවයන් වලට වඩා තම පෞද්ගලික අවශ්‍යතා සහ අරමුණු වලට මූලිකත්වය ලබාදුන් අවස්ථා රාශියක් තිබේ. බොහෝ දෙනෙකු පමණ ඉක්මවා වර්ණනා කරනු ලබන රාජපක්ෂ යුගය කෙරෙහිද, තොරතුරු ලබාදෙන්නන් වශයෙන් අප බොහෝ දෙනෙකුට එතරම් ප්‍රියමනාපයක් නොතිබුණි.  බලයට පත් වූ සහ විපක්ෂය නියෝජනය කරන බොහෝ දේශපාලනඥයින්ට බුද්ධි අංශ ගැන එතරම් අවබෝධයක් නොතිබීම බොහෝ අවස්ථාවලදී සතුරන්ට ඉතාම පහසු පරිසරයක් නිර්මාණය කළේය. එම අනවබෝධය රටේ ජනතාව, මාධ්‍යය සහ අනෙකුත් සමාජ කණ්ඩායම් අතර විශාල හිස්බවක් නිර්මාණය කර තිබේ. 

තොරතුරු එකතු කරන්නන් ලෙස දිවයිනේ සෑම තැනකටම  යෑම, හමුවෙන ඕනෑම තරාතිරකම පුද්ගලයෙකු සමග අදහස් හුවමාරු කරගැනීම ඉතාම වැදගත් වේ. මේ සඳහා අදාළ ප්‍රදේශ ගැන දැනුවත් වීම පමණක් නොව එම පිරිස් අනුගමනය කරන ප්‍රාදේශීය භාෂා ගැන අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යය කාරණයකි. එසේම, තම සතුරා, සතුරාගේ සතුරා ගැන පමණක් නොව තම මිතුරා සහ මිතුරාගේ මිතුරන් ගැනද එක හා සමාන අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යය වේ. අපි විසින් එකතු කරන තොරතුරු මත බොහෝමයක් මෙහෙයුම් තීරණය වේ. මේ නිසා ලැබෙන සෑම තොරතුරක්ම බරපතල තොරතුරු වේ. එම තොරතුරු මත පදනම් වී  සතුරු ප්‍රහාර වළක්වා ගැනීම සඳහා අවශ්‍යය බලය ඇති අධිකාරිය, ලැබෙන සෑම තොරතුරක්ම බරපතළ ලෙස සැලකිය යුතු වේ. 

පාර්ලිමේන්තු විශේෂ සභාව ඉදිරියේ සාක්ෂි දුන් බොහෝ දෙනෙකු ඉදිරිපත් කළ අදහසක්  වූයේ රාජ්‍යය බුද්ධි අංශ ප්‍රධානියා ලබාදුන් තොරතුරු ප්‍රකාරව අප්‍රේල් 09 වැනිදා ජාතික බුද්ධි ප්‍රධානියා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට තොරතුරු දැනුම් දී ඇති බවයි. එසේම, අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද මෙම කාරණය සනාථ කළේය. මෙහිදී මෙම නිලධාරීන් දෙදෙනා ඇතුළු  අනෙකුත් අය රාජ්‍යය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂක ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක්   එල්ල කරනු ලැබුවෝය. කුමන හෝ හේතුවකට ඇතැම් මාධ්‍යය මෙම නිලධාරීන්ගේ අවශ්‍යතාව ඉටු කළේය. මට දැනෙන හැටියට මෙම ප්‍රහාර මාලාවේ අරමුණ  රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා මානවසිකව ඇදවැට්ටවීම සහ ඔහුගේ අනන්‍යතාවය මාධ්‍යය ඉදිරියේ හෙළිදරව් කිරීමය.

බුද්ධි අංශයට සමබන්ධ වී  තොරතුරු සපයන්නෙකු ලෙස යුදහමුදා බුද්ධිසේවයේ සහ රාජ්‍යය බුද්ධි සේවයේ කටයුතු කළ අයෙකු ලෙස  මා හට පෙනෙන්නේ මෙහිදී රාජ්‍යය බුද්ධි සේවයෙන් කිසිඳු වරදක් සිදු වී නැති බවයි. රාජ්‍යය බුද්ධි සේවයේ වත්මන් ප්‍රධානියා සමග කිසිම දිනක මා කටයුතු කොට නැති නමුත්, සාක්ෂි ලබා දුන්  නිලධාරීන්ගේ සාක්ෂි ගැන සැලකීමේදී පෙනීයන මූලික කරණය නම් රාජ්‍යය බුද්ධි සේවය ප්‍රහාරයට දින දහහතරකට පමණ පෙර අදාළ ප්‍රහාරය ගැන 90% ක පමණ තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාට දැනුම් දී ඇති බවයි.

එම ලැබුණු තොරතුරු, ජාතික බුද්ධි ප්‍රධානියාද, ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිතුමාට දැනුම් දී තිබේ. නමුත්, හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පතිතුමා කියන්නේ, තොරතුරු ලබා දුන්නද අදාළ වගකිව යුතු පාර්ශ්වය එතරම් බරපතළ ලෙස දන්වමින් එම තොරතුරු ලබානොදුන් බවයි. මෙය අසත්‍ය කාරණයකි.

සිසිර මෙන්ඩිස් මහතා විසින් තම සාක්ෂියේදී සඳහන් කරනු ලැබුවේ, "අයිස් ඔන්ලි" සහ "ටොප් සීක්‍රට්" ලෙස වර්ගීකරණය කරනු ලැබූ ලිපියක් පොලිස්පතිතුමාට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට යැවූ බවය. එලෙස වර්ගීකරණය කරනු ලැබූ ලිපියක් බරපතළ ලෙස නොදැනුණේ ඇයිද? යන ගැටලුව ඕනෑම අයෙකුට මතුවන මූලික ගැටලුවකි. එසේම, බරපතළ ලෙස දැන්වීමට නම් අනුගමනය කළයුතු වෙනත් ක්‍රියාමාර්ගයක් (එනම් පරුෂ වචනයෙන් බැණීම හෝ කම්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම වැනි ක්‍රමයක් අනුගමනය කිරීම) තිබේද යන්න අදාළ නිලධාරීන් පැහැදිළි කළයුතුව තිබේ. මේ නිසා රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන ජේයිෂ්ඨ නියෝජ්‍යය පොලිස්අධිකාරි නිලන්ත ජයවර්ධන මහතාට චෝදනා කිරීමට උත්සහ කිරීම අසාදාරණ කටයුත්තක් පමණක් නොව එය රටේ මහජනතාව නොමග යැවීමට උත්සහ කිරීමකි. නිවැරදිව කටයුතු සිදුකළ තම සගයාගේ රෙදි ගැලවීමට යෑමෙන් පළමුව නිරුවත්වන්නේ තමන් බව මෙම සාක්ෂිකරුවන් බොහෝ දෙනෙකුට අමතක වී ඇත.  "ටොප් සීක්‍රට්” ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ ඉතාම බරපතළ කාරණයක් වනබව  ඔත්තුසේවා ගැන අයන්න දන්නා පුද්ගලයින් පවා දනිති.

කෙසේ වෙතත්, දේශපාලන අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම සඳහා පෙනෙන සත්‍යය අමතක කිරීම කාලාන්තරයක් තිස්සේ මේ රටේ තිබුණු පුරුද්ද වේ. මේ හේතුවෙන්, ඉතාම දක්ෂ බුද්ධි අංශ සාමාජිකයින්ට සහ නිලධාරීන්ට ජීවිතය පවා අහිමි විය. ජීවිත අහිමිවීම් වලින් බොහෝමයක් සිදුවූයේ අනවශ්‍යය අවස්ථාවලදී එම බුද්ධි අංශ නිලධාරීන්ගේ සහ සාමාජිකයින්ගේ අනන්‍යතාවයන් හෙළිදරව් කිරීම හේතුවෙනි. මෙම කනගාටුදායක වැඩපිළිවෙලේ සාක්ෂිකරුවෙකු ලෙස මා එය ඉතාම පැහැදිළිව මතක් කරන්නෙමි.  

මා හට මේ ආකාරයෙන් ලිවීමට හැකි වූයේ ඉතාම වාසනාවන්ත ලෙස අවස්ථා රාශියකදී ජීවිතය බේරා ගැනීමට අල්ලාහ් දෙවියන්වහන්සේ උදව්කළ නිසායැයි මා විශ්වාස කරමි. අදටත් මා ඇතුළු සගයින් විසින් සිදුකළ මෙහෙයුම් ගැන දන්නේ ඉතාම සුළුපිරිසක් පමණි. එසේම, අපේ පවුලේ සාමාජිකයින් පවා අපි බුද්ධි අංශයට සම්බන්ධ වී සේවය කළ බව තවමත් දන්නේ නැත.  එක්තරා මොහොතක අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් සහ ආශීර්වාදයෙන්, අපි ඉපැදුණු මේ රට අනතුරට ලක් වූ අවස්ථාවේදී බේරා ගැනීමේමොහොත උදා වී ඇති බව අදිටන් කරගත් හෙයින් අපි ඊට සම්බන්ධ වූයෙමු.

රාජ්‍යයක බුද්ධි සේවා වගවීමට සහ වගකීම්වලට යටත්විය යුතු බව පරම සත්‍යයකි. නමුත්, විවිධ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම ආයතන වල ආකෘතිය, ඒවා මෙහෙයුම්කරන ආකාරය, ආදීය ගැන ප්‍රසිද්ධ සමාජයේ කතාබහා වීම එතරම් හොඳ පුරුද්දක් ලෙස මා දකින්නේ නැත. අපි අපේ බුද්ධි අංශ සහ ඒවායේ මෙහෙයුම්කරුවන් නඩත්තු කළ යුත්තේ පරම්පරා ගණනාවක් ඉදිරියට සිතීමෙන් මිස පටු දේශපාලන වාසී ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නොවේ.  මා කිසිම පුද්ගලයෙකු නිවැරදි කිරීම සඳහා මෙම සටහන නොලියු බවත් ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ආරක්ෂාව සහ ඉදිරි දියුණුව අපේක්ෂාවෙන් පමණක් මෙම සටන ලියු බවත් මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඉන්ෂාල්ලාහ්!

2020: ගෝඨා - රනිල් මිතුදමේ ඇති රහස කුමක්ද?

ගෝඨාබගේ ඉදිරිපත් වීම, රනිල්ට වාසියක් වන බව ඔප්පු කරනු ලැබුවේ, අද ඊයෙක නොවේ

කතුවැකිය 

ලංකාවේ දේශපාලනය යනු, හිතලුවක් නොව, හිතලුවක් සේ මතුපිට තලය තුළ හැසිරෙමින් අභ්‍යන්තර ව්‍යුහය තුළ සැරිසරන ඉතාම ශූක්‍ෂම සිදුවීම් දාමයක ප්‍රතිඵලයකි. මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් වාරයක් ජනාධිපතිධූරයේ සිටීම සඳහා දැඩි වුවමණාවක්  තිබේ. එම වුමණාවේ ඇති පරාමිතීන්, මූලික කරගෙන පසුගිය ඔක්තෝම්බර් මාසයේදී හෙතම විසින් දියත් කළ මෙරට දේශපාලන ඉතිහාසයේ වඩාත් කූඨතම දේශපාලනික උපාය ගැන යළිත් විමසා බැලීම වැදගත් වේ.  

රනිල් වික්‍රමසිංහ 
දින 52ක් පුරා සිදු වූ දේශපාලන කලහය අවසානයේ ප්‍රතිඵල දෙකක් අප හමුවේ නිර්මාණය විය. පළමුවැන්න, මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩ නැගෙමින් තිබු විශාල ජන බලවේගය බෙදී වෙන්වී ඇති අතර එය කේඩෑරී වෙමින් තිබේ. එය, එය විසින්ම ප්‍රශ්ණ කරන තත්වයකට තල්ලු වී ඇති අතර මීට පෙර එකිනෙකා අතර පැවති සමගිය දෙදරා ගොස් තිබේ. දෙවැන්න, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩ නැගෙමින් තිබු ප්‍රභල ජනතා විරෝධය තනුක වී තිබේ. 

මෙම මූලික දේශපාලන ප්‍රවණතාවයන් දෙක විසින් නිර්මාණය කොට ඇති තෙවැනි දේශපාලන සන්තෑසිය නම්, මෛත්‍රිපාල නිශ්චිත දේශපාලන බලවේගයක් බවට පත් කිරීමය. ඔහු සතුව ඇති ජන බලය ඉතාම සීමා සහිත  වුවත් එය මීළඟ දේශපාලන වෙනස ඇතිකිරීමට හෝ පවතින දේශපාලනික තත්වය ඉදිරියට රැගෙන යෑම සඳහා ප්‍රත්ක්ෂේප කළ නොහැකි කාරණයක් බවට පත් වී තිබේ. නමුත්, මෙය මහින්ද පාර්ශවය මෙන්ම එක්සත් ජාතික පක්ෂය අවතක්සේරු කර ඇති ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි. 

දැනට පවතින දේශපාලන තත්වය වඩාත් සරලව ගෙන බැලුවහොත් මෙසේ විග්‍රහ කළ හැකිය. එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහතා මීලඟ ජනාධිපතිධූර අපේක්ෂකයා බවට පත් කිරීමේ වුමණාවක් තිබේ. අනෙක් පසින් ගෝඨාබය රාජපක්ෂ මහතාට රටේ ජනාධිපති වීම සඳහා දැඩි වුමණාවක් තිබේ. කරු සහ සජිත් යනු ඒක්සත් ජාතික  පක්ෂයේ ( පෙරමුණෙ) සැබෑ දේශපාලන සැලසුම සාර්ථක කර ගැනීම සඳහා භාවිත කරන මූලික විෂයන් පමණි. කරුණු කෙසේ වුවද ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණයක් තිබේ. එනම්, රනිල් මෙහිදී දේශපාලනික වාසනාවන්තයා ලෙස මතුවෙමින් සිටීමයි.  

ගෝඨාගේ ඉදිරිපත්වීම රනිල්ට වාසියක් මිස අවාසියක් නොවේ. මෙනිසා, රනිල්, ගෝඨා බේරා ගැනීමට කළ හැකි ඕනෑම දෙයක් සිදුකරමින් ජනාධිපතිවරණ වේදිකාව දක්වා ඔහු රැගෙන ඒමට අවශ්‍යය කටයුතු සිදුකළ හැකිය.

ගෝඨාට එරෙහිව ඇමරිකාවේ නඩු පවරා ඇතැයි ඊයේ දිනයේ පල වූ පුවත් හා සමාන දෑ ඉදිරි දින වලදීද ප්‍රචාරය විය හැකි නමුත්, ඔහුට ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම සඳහා එවැනි දෑ එතරම් බලපෑමක් සිදු කරනු ඇතියි සිතිය නොහැකිය. නීතියේ මූලික පිළිගැනීම යනු, " චූදිතයෙකු ස්වාධීන අධිකරණ ක්‍රමවේදයක් ඔස්සේ වරදකරුවකු කරන තෙක් ඔහු නිවැරදි කරුය." යම්කිසි කාරණයකට, සැකකරුවකු වූ පමණින් ඔහුට හෝ ඇයට හිමි මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට ලෝකයේ කිසිඳු රටකට බලයක් නැත.  

කෙසේ හෝ වේවා, ගෝඨාගේ  ඉදිරිපත් වීම, රනිල්ට වාසියක් වන්නේ මන්ද? විසඳාගත යුතු මූලික කාරණය මෙයයි. 

ගෝඨාබගේ ඉදිරිපත් වීම, රනිල්ට වාසියක් වන බව ඔප්පු කරනු ලැබුවේ, අද ඊයෙක නොවේ. එය ඔප්පු වූයේ 2005, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට ඉදිරිපත් වීමෙන් පසු මුහුණ දුන් අසීරු තත්වයටය.

මහින්ද, කොටි සංවිධනයට මුදල් දී, රනිල්ගේ ජයග්‍රහණය වළක්වා කෙසේ හෝ ජනාධිපති ධූරය ලබා ගැනීමට සමත් වූ බව පැවසුවේ අදාළ ගනුදෙනුව ගැන වඩාත් හොඳින් දැනසිටි ශ්‍රීපති සූර්යාරච්චිය. එය කිසිවකු විසින් ප්‍රත්ක්ෂේප නොකළහ. මහින්ද මෙය අමතක කොට ඇතැයි සිතිය නොහැකිය. නමුත් පසුගිය ඔක්තෝම්බර් මාසය දක්වා මහින්ද ගොඩ නගමින් සිටි දේශපාලන බලය එම සියලු අභියෝග ජයගැනීමට හැකි බලවේගයකි. නමුත් එහි හුළං ගොස් දැන් පැටලී ඇත්තේ උභතෝකෝටිකයකය.

2020 යනු වසර 15 කට පසු උදාවන තත්වයයි. උතුරු නැගෙනහිර ජනතා කැමැත්ත රනිල්ට අවාසි ආකාරයෙන් හැසිරවීම සඳහා ප්‍රභල දේශපාලන බලවේගයක් ගොඩ නැගී නැත. එසේම, දෙමළ සහ මුස්ලිම් ජන සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වී ඇති අතර, ඔවුහුට හිමි ඡන්දබලයද ඊට සමගාමීව වැඩි වී තිබේ.  ඊට අමතරව, දකුණේ දේශපාලනය විවිධ පාර්ශවයන් මූලික කරගෙන බෙදී තිබේ. මහින්ද, අභිමුඛව සිටින ඇතැමුන්ට මෛත්‍රී අරහං වන අතර තවත් අයවලුන්ට ගෝඨා අරහංය. ඔක්තොම්බර් මාසයේදී සිදු කළ දේශපාලන ක්‍රමෝපාය විසින් හිතා මතා හෝ අහම්බෙන් සිදු කරනු ලැබූ ප්‍රභල දේශපාලන මෙහෙයුම එයයි. 

එනයින් බලන කල මෛත්‍රී එහිදී දැනුවත්ව හෝ නොදැනුවත්ව සහෝගය දක්වා ඇත්තේ රනිල් වික්‍රමසිංහට මිස මහින්ද රාජපක්ෂට නොවේ. මෙම තත්වය හමුවේ, රනිල් වික්‍රමසිංහ මහතා, තමන්ට එරෙහිව දේශපාලන බලවේගයක් නිර්මාණය නොවීමට අවශ්‍යය පරිසරය සකස් කළහොත්, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරමුණ එනම් දෙවැනිවරටත් ජනාධිපති වීමේ සිහිනය බොඳ වනු ඇත.

තම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා  වික්‍රමසිංහ මහතා, ගෝඨා තමන්ට රිසි අයුරින් භාවිතා නොකරාවී යැයි කිව නොහැකිය.සියල්ලට හොරෙන්, ඉතාම ශක්තිමත් වී ඇති මෙම ගෝඨා-රනිල් මිතුදමේ රහස මෙයයි.  

අපේ බුවා කරළියට


නවතම දේශපාලන හාස්‍ය උත්පාදන වැඩසටහන "අපේ බුවා" අද දින සිට ආරම්භ විය. ටී.ටී.වී. ආයතනය විසින් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන මෙම වැඩසටහන සතියේ සෑම අඟහරුවාදා දිනයකදීම විකාශය කරනු ලබන්නේ යුටියුබ් ඔස්සේය. 

ජනාධිපතිවරණ හීනය හා ජනාධිපති සතු ‘කුරුවල්කාර බලය’


- එස්. අයි. කීතපොන්කාලන්  -

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වල හීනය - ජනාධිපතිවරණය 

ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය ගැන හිතාගෙන ඊට අදාළ කළමණා සකස් කරමින් සහ උපායික පියවර ගනිමින් සිටී. අගමැති රනිල් වික‍්‍රමසිංහ ගිය මාසයේ උතුරේ කළ සංචාරය එවැනි එක් උපායික පියවරකි. මන්ද යත්, දෙමළ ඡන්ද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ගණන් බැලීම් තුළ ඇතුළත් ප‍්‍රධාන සාධකයක් විය යුතුව ඇති බැවිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, 2015 තමන්ගේ පරාජය කෙරෙහි මුස්ලිම් ඡන්ද බලපෑ ආකාරය ගැන හොඳින් දැනුවත්ව සිටින නිසා දැන් ඔහු මුස්ලිම් කණ්ඩායම් මුණගැසෙමින් සිටී. මේ අයුරින් අප ප‍්‍රවේශ වෙමින් සිටින්නේ මැතිවරණ සෘතුවකට ය. පැහැදිලිවම, මෙවර අයවැය තුළත් ඒ කාරණය නිරූපණය කෙරෙනු ඇත.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට වෙනම ප‍්‍රශ්න වගයකට මුහුණදීමට සිදුව තිබේ. තමන් ජනාධිපති වන්නේ එක වරක් පමණක් බවට කලකට ඉහත ඔහු කියා ඇතත්, දැන් දෙවැනි වාරයක් සඳහාත් තරග බිමට බැසීමට ඔහු සූදානමින් සිටී. 2018 ඔක්තෝබර් මාසයේදී ඔහු මහින්ද රාජපක්ෂව අගමැති තනතුරේ පිහිටෙව්වේ මේ අරමුණ පෙරදැරිව ය. එහෙත් ඔහුගේ ඒ අරමුණ සාර්ථක නොවුණි. මාස දෙකක් ඇතුළත, රට කලින් තිබුණු තත්වයට යළි පත්විය. ඒ ඔක්තෝබරයේ ඔහු එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් කෙළේ තමාගේ අනාගත ජනාධිපති අපේක්ෂාවට එම පක්ෂයෙන් සහායක් නොලැබෙන බව දැන ගත් පසුව ය.

මේ උභතෝකෝටිකය තුළ සිරිසේනට වෙනත් පක්ෂවල ඡන්ද කඳවුරක් වෙත හැරීමට බල කෙරුණි. එහිදී පැහැදිලිවම ඔහු ඉදිරියේ ඇති එකම තෝරා ගැනීම වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ය. ඒ අනුව, මාධ්‍ය වාර්තා ද පෙන්වා දෙන පරිදි, සිරිසේන ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිත දිනා ගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටී. ඒ කාරණය පෙරදැරිව ඔහු සමග සාකච්ඡුා පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ද වගබලා ගනිමින් සිටී.


ශ්‍රීලනිප - පොදුජන පෙරමුණු සන්ධානයකට ඉඩ තිබේද ? 

සිරිසේන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පෙරමුණේ තබා ගන්නා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ-ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානයකට ඉඩ තිබේ ද ?. එසේ වීමට ඇති ඉඩකඩ හොඳටම අඩු ය. එසේ වෙතත්, ඒ කාරණය ගැන සිරිසේන සමග සාකච්ඡා කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදුව ඇත්තේ ඇයි ? එසේ වන්නේ, ජනාධිපති සිරිසේන සතුව ඇති ‘කුරුවල් කිරීමේ’ බලය නිසා ය. 

මේ කාරණය සම්බන්ධයෙන් තරග බිමට බැස සිටින සියළු පාර්ශ්ව, 2018 පළාත් පාලන මැතිවරණයේ ලද ඡන්ද ප‍්‍රතිශතයන් සැලකිල්ලට ගනිමින් කටයුතු කරන බව පෙනෙන්ට තිබේ. එහිදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 44.69 ක් ලබා ගත් අතර, සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව සියයට 13.38 ක් ලබා ගත්තේය. 

එයින් පසුව, ගත වු අවුරුද්දක කාලය තුළ රාජපක්ෂ පාර්ශ්වය අලූතෙන් ඡන්දදායක පිරිසක් තමන්ගේ පැත්තට දිනාගෙන ඇති බවක් පෙනෙන්ට නැත. ඒ වෙනුවට, 2018 ඔක්තෝබරයේ ඇති වු අර්බුදය තුළ එම පාර්ශ්වය කටයුතු කළ ආකාරය නිසා, එතෙක් ඔවුන් සමග සිටි ඡන්දදායක පිරිසක් ඔවුන්ට අහිමි වී ගොස් ඇතිවාට සැක නැත. පැහැදිලිවම, ඒ අර්බුදය නිසා එක්සත් ජාතික පක්ෂයට නව ජීවයක් ආවේය. එතෙක් එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටි විශාල පිරිසක් එම අර්බුදය තුළ නැවතත් එම පක්ෂය වෙත ඇදී ආ බවක් පෙනෙන්ට තිබුණි. 

අනිත් අතට, ජනාධිපතිවරණයකදී දෙමළ ඡන්දදායක ප‍්‍රජාව තමන්ගේ පැත්තට දිනා ගැනීමේ හැකියාවත් එක්සත් ජාතික පක්ෂයට තිබේ. එම පිරිස ඉහත කී පළාත් පාලන ඡන්දයේදී සිටියේ වෙනම මැතිවරණ කඳවුරක් වශයෙනි. එම දෙමළ ඡන්ද ප‍්‍රමාණය, ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා දිනවීම සඳහා සහසුද්දෙන් ප‍්‍රමාණවත් වෙතැයි කීමට පුළුවන් කමක් නැත. එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය බොහෝ කොට සිංහල දකුණේ ඔවුන් කටයුතු කරන්නේ කෙසේද යන්න මත රැඳී පවතී. 


ශ‍්‍රීලනිප සන්ධානයකින් තොරව පොදුජන පෙරමුණ ඉදිරියට යයිද ? 

මේ තත්ත්වය තුළ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග වන සන්ධානයකින් තොරව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලාපොරොත්තු තබා ගත හැකි වන්නේ සියයට 45 ක ඡන්ද පමණ ප‍්‍රමාණයක් පමණි. එහෙත් ජනාධිපතිවරණයක් ජයග‍්‍රහණය කිරීම සඳහා සියයට 50 ක් සහ එක ඡන්දයක් අඩු වශයෙන් අවශ්‍ය කරයි. ඒ නිසා, පැහැදිලිවම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ ගැන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ උනන්දුවක් දක්වනවාට සැකයක් නැත. ඒ නිසාම, ජනාධිපතිවරයා සමග සන්ධානයකට යාමේ උවමනාවත් ඔවුන්ට තිබෙනවා ඇත. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, 2018 පළාත් පාලන ඡුන්දයෙන් තමන් ලබා ගත් ‘කුසලානය’ ඉතිරි සියයට 5 ඡන්ද ප‍්‍රතිශතයක් වෙනුවෙන් කැප කිරීමට ඔවුන් සුදානම් ද යන්නයි. එම මැතිවරණයේ දී මේ පක්ෂ ලබා ගත් ඡුන්ද ප‍්‍රතිශත සැලකිල්ලට ගන්නේ නම්, මේ පක්ෂ දෙක අතර ඇති වන  ඕනෑම සන්ධානයක වැඩි පංගුව සහ වැඩි වාසිය යා යුත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බව පැහැදිලි ය. එබැවින්, සිරිසේනට එම ‘කුසලානය’ භාර දීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කැමති වෙතැයි සිතීම උගහට ය. 


සිරිසේන නැවත වරක් ජනපතිවේද ? 

සිරිසේන නැවත වරක් ජනාධිපති වීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් අනුමත නොවීමට ඇති අනෙක් වැදගත් හේතුව වන්නේ, මෑතකදී ලද අත්දැකීම් ය. ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණයකින් සිරිසේන ජය ගතහොත් ඉන් පසු ඔහු කෙරෙහි බලයක් අභ්‍යාස කිරීමේ ඉඩක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබෙනු ඇත. දෙවැනි වරටත් ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමෙන් පසු, තමන්ගේ පාර්ශ්වකරුවාට එරෙහිව සිරිසේන නොයතැයි කිව හැකි සහතිකයක් ඇත්තේ නැත. එය, ඉතා මෑතකදී තමන් උගත් තිත්ත පාඩමක් ඇසුරෙන් එක්සත් ජාතික පක්ෂය අනෙක් පාර්ශ්වවල සැලකිල්ල සඳහා මේ වන විට ඉතිරි කොට ඇති වැදගත් අත්දැකීමකි.

කෙසේ වෙතත්, සිරිසේන ජනාධිපති අපේක්ෂකත්වයට වෙනම ඉදිරිපත් වීම, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය කෙරෙහි ඉතා අවාසිදායක අන්දමින් බලපානු ඇත. මන්ද යත්, එම කඳවුරේ වැදගත් කුඩා ඡුන්ද ප‍්‍රතිශතයක් ඔහු විසින් ඩැහැ ගනු ලබන බැවිනි. ඒ නිසා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක‍්‍රීඩා සැලැස්ම කුරුවල් කිරීමේ හැකියාව සිරිසේනට තිබේ. එම කඳවුර සමග සිරිසේන සාකච්ඡුාවට පිවිස සිටින්නේ ඒ කුරුවල් කිරීමේ හයිය තමා අතේ තබාගෙන ය.

මහින්ද රාජපක්ෂට මේ අකරතැබ්බය වැටහෙන සෙයක් පෙනේ. සිරිසේන සමග සාකච්ඡුාවල ඔහු නිරත වන්නේ එබැවිනි. මේ සාකච්ඡා වලින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට අපේක්ෂා කරන අරමුණු දෙකක් හඳුනාගත හැකිය: (1) ජනාධිපතිවරයාව තරහ කර නොගැනීම (2) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔහු වෙනම තරග බිමට බැසීම වැළැක්වීම. ‘‘එක දිගට සාකච්ඡුා කරමින්, එහෙත් ඉල්ලන දේ නොදෙමින් ඔහොම යමු’’ යන්න, බොහෝ විට මේ මොහොතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ වන බව පෙනේ. 

වර්තමානයේ එම පක්ෂය සිරිසේන සමග කරගෙන යන සාකච්ඡා වට පසුපස ඇත්තේ, සන්ධානයක් තුළ සිරිසේනට පොදු අපේක්ෂකත්වය නොදී සිටීමේ හැකියාව උරගා බැලීමක් විය හැකිය. එහෙත් එවැනි තර්කයක් දිගේ සිරිසේනගේ සිත නොරිදවා කොපමණ දුරක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට යා හැකි වේ ද යන්න ප‍්‍රශ්නයකි. සිරිසේන විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකු නොවේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණකින් තොරව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සිරිසේනව තරග බිමට තල්ලූ කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කැමැත්තක් දක්වනු ඇත. එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක වනු ඇත්තේ එවැනි තත්වයකි. 


සිරිසේනගේ ‘කුරුවල් කිරීමේ හයිය

කුමන අයුරකින් හෝ ජනාධිපති අපේක්ෂකත්වය සිරිසේනට නොදෙමින් ඔහු සමග යම් සන්ධානයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගා ගත්තොත්, ඒ සඳහා යම් වරදාන සැපයීමටත් සිදුවනු ඇත. ඉන් එකක් විය හැක්කේ, එම සන්ධානය ජය ගත්තොත්, සිරිසේනට ඒ ආණ්ඩුවේ අගමැති තනතුර පිරිනැමීමයි. හිටපු ජනාධිපතිවරුන් පසු කලෙක අගමැතිවරුන් වශයෙන් පිළිගැනීමේ පුරුද්දක් දැන් ලංකාවේ ජනතාවට තිබේ. සිරිසේන සතු මේ ‘කුරුවල් කිරීමේ හයිය’ සමග ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ කෙසේද යන්න ඉදිරියේදී බලා ගැනීමට තිබේ. සිරිසේනගේ තීරණයක් ගැන නොතකා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියට යා හැකි වේද? ඒ අනුව, සිරිසේන සතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප‍්‍රමාණය අතහැර දැමීමට තරම් දිරියක් ඔවුන්ට තිබෙනු ඇත් ද ? ඒ සියල්ල, ඉදිරියේදී බලා ගැනීමට නියමිත දේවල් ය.





(2019 මාර්තු 5 වැනි දා Colombo Telegraphවෙබ් අඩවියේ පළවූ, එස්. අයි. කීතපොන්කාලන් ලියූ, “Presidential Election & the President's Spoiler Power" නැමති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


GMOA අද තුට්ටු දෙකේ දේශපාලන ව්‍යාපෘතියක් වෙලා -- රාජිත




රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද ‘තුට්ටු දෙකේ දේශපාලන ව්‍යාපෘතියක්‘ බවට පත්වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න අද (16) අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යංශය ගැන සොයාබැලීමට ජනපති කොමිසමක් පත්කරන බවට වූ පුවත සාවද්‍ය බවත් මෙය රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් පතුරුවා හරින අසත්‍ය කතාවක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඊයේ දින තමන්ට දුරකතන ඇමතුමක් දුන් ජනපතිතුමා මේ ගැන පැවසූ බවත් අදාළ කොමිසම පිළිබඳ විමසූ අවස්ථාවේදී, ‘මොන කොමිෂන් ද ඩොක්ටර්, අමාත්‍යංශෙකට විරුද්ධව කොහොමද ජනාධිපති කොමිෂම් පත්කරන්නේ‘ යැයි පැවසූ බවත්, ‘කොමිෂන් එකක් පත්කරනවා නම් ජනාධිපතිවරයෙක් පත්කරන්නේ රජයට විරුද්ධව මිසක් අමාත්‍යංශෙකට විරුද්ධව නෙමේ. මං කිසිම දෙයක් කතා කරේ නැහැ. ඒගොල්ලෝ කතා කරා. මං ඕක තමයි කිව්වේ‘ යනුවෙන් පිළිතුරු දුන් බවත් අනාවරණය කළේය.

'චන්ද්‍රිකා මැතිනිය අපේ පක්ෂයට නැවත හානියක් කරන්නේ නැහැ' - ශාන්ත බණ්ඩාර


අද (7) කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවේදී එහි සභාපති ශාන්ත බණ්ඩාර පැවසුවේ, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග නැවත වතාවක් ශ්‍රීලනිපයට හානියක් නොකරන බව තමන් තදින් විශ්වාස කරන බවයි.





මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ,





‘‘හෙට දවසේ ඕනම තැනක සාමාන්‍යයෙන් ආසන සංවිධායකවරු 40 ක් විතර එකතුකරගෙන සාකච්ඡාවක් කරන්න පුළුවන් මට්ටමක් මටත් තියෙනවා. හැබැයි, ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ පක්ෂේ කඩාගෙන ගිහිල්ලා වෙනම ගොඩනැගෙයි කියලා. ශ්‍රීලනිපෙන් කැඩිලා කවුරුවත් ගිහිල්ලා නැහැ. අපේ ජාතික සංවිධායකතුමා ඉන්නවා, පක්ෂයේ වැඩ බලන ලේකම්තුමා, හිටපු ලේකම්තුමත් ඉන්නවා සක්‍රියව අපේ දේශපාලනයේ. ඒවා අපි ඔක්කොම සාකච්ඡා කරලා කරන්නේ.





චන්ද්‍රිකා අපේ පක්ෂයට නැවත හානියක් කරන්නේ නැහැ






සමහර අයට ඕනකම තියෙනවා මේ ශ්‍රීලනිප ය තවදුරටත් කඩන්න. ඒ කැඩීම තුළ වෙනත් දේශපාලන පක්ෂ වලට මේ රටේ බලය ලේසියෙන් ලබාගැනීම සඳහා තමයි ඒ උපක්‍රම කරන්නේ. හැබැයි අපිත් දන්නවා ඒ උපක්‍රම. ඒ නිසා මතුපිටින් දේශපාලනය වෙනස්, අපේ ඊට වඩා ගැඹුරු දේශපාලනයක් තියෙන්නේ, අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අපේ පක්ෂයට නැවත හානියක් කරන්න උත්සහ දරයි කියලා. මොකද එතුමියට යම් වැරදීමක් ඉතිහාසය තුළ සිදුවුණා. ඒ වැරදීම එතුමිය නිවැරදි කරගෙන තමයි ශ්‍රීලනිපයට නැවත ඇවිල්ලා, මේ රටේ දෙවතාවක් විධායක ජනාධිපතිධූරය දරමින් මේ රටට විශාල සේවාවක් කරන්න හැකියාව ලැබුණේ. ඒ නිසා පාඩම් ඉගෙනගත්ත ශ්‍රේෂ්ඨ නායිකාවක් හැටියට කවදාවත් අපි විශ්වාස කරන්නේ නැහැ එවැනි තත්ත්වයකට එයි කියලා.





ගැටළු තැනි පක්ෂයක් නැහැ - සිත් තැවුලක් තිබෙනවා නම් රට වෙනුවෙන් අපිට එකතුවෙන්න චන්ද්‍රිකා මැතිනියට ආරාධනා කරනවා






අපි ඉල්ලීමක් කරනවා ශ්‍රීලනිපයේ තරුණ පෙරමුණ හැටියට ගරු, චන්ද්‍රිකා මැතිණියගේ යම් හෝ සිත් තැවුලක්, ගැටළුවක් තියෙනවා නම් ඒවා පැත්තකින් තියලා රට වෙනුවෙන් කරන දේශපාලනේ, එතුමියට කිසිසේත්ම දක්ෂිණාංශික දේශපාලනයට යොමුවෙන්න බැහැ. දක්ෂිණාංශික දේශපාලනයට එතුමියට උදව් කරන්න බැහැ, ඒ නිසා එතුමිය විශේෂයෙන්ම අපේ රටේ දැවැන්තම සේවාව කරපු, මේ පක්ෂය බිහිකරපු දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගෙත්, මේ රටට අතිශ්‍රේෂ්ඨ සේවාවක් කරපු දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙත් දියණිය හැටියට ශ්‍රීලනිපයට අබමල් රේණුවකින් වත් හානියක් කරන්න උත්සහ දරන්නේ නැතිවෙයි.






එතුමියත් විශේෂයෙන්ම අපේ මේ ප්‍රගතිශීලී කඳවුර ශක්තිමත් කරන්න නායකත්වය දෙයි, ඒක තමයි අපේ ඉල්ලීම සහ ප්‍රාර්ථනය. අද මොන පක්ෂෙ ද ගැටළු නැත්තේ. ගැටළු නැති දේශපාලන පක්ෂයක් නම් කරන්න. ජනතා විමුක්ති පෙරමුණ ද ජාතික හෙළ උරුමෙ ද එක්සත් ජාතික පක්ෂය ද පොදුජන පෙරමුණ ද මොකේද ගැටළු නැත්තේ. හැම දේශපාලන විවිධ අභ්‍යන්තර ගැටළු තියෙනවා. යම් යම් තනතුරු තියෙනවා. ඒක ලැබුණේ නැත්නම් චූටි කතාබහක් ඇතිවෙනවා. ඒ වගේ පොඩි පොඩි ගැටළු නැති තැනක් නැහැ. ශ්‍රීලනිප ආසන සංවිධායකවරු, දිස්ත්‍රික සංවිධායකවරු 350 කට වඩා ඉන්නවා. ඒකෙන් දැන් දෙන්නෙක් ගියපුවම හානියක් වෙනවද?. යම් මතවාදීමය ගැටළුවත් තියෙනවා නම් ඒවා එකතු කරන්න කටයුතු කරනවා.‘‘ යන්නයි.


























දෝෂාභියෝගය හෝ දෝෂාරෝපණය : සදාචාරමය අනිවාර්යයක්











- සරත් ද අල්විස් -





‘‘ඒ ගෑනිත් එක්ක මං නිදිවැද්දේ නැහැ’’- බිල් ක්ලින්ටන්






‘‘රටේ කවුරුත් දන්නවා මං නීතිඥයෙක් නෙවෙයි කියලා’’- මෛත‍්‍රීපාල සිරිසේන





මෛත්‍රීගේ දෙහි කැපීම






එපා වාහෙට පලා බෙදන්නා සේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසු, එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් දෙපැත්තේ වාඩි කරවගෙන මෛත‍්‍රීපාල සිරිසේන දෙහි කැපුවේය. එහිදී ඔහු අනාවරණාත්මක ප‍්‍රකාශ කිහිපයක් කෙළේය.





විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරවීමට යැයි සිතාගෙන අප විසින් වරදවා බලයට පත්කර ගත් පුද්ගලයාගේ අතිජාත අංගෝපාංග ගණනාවක් එහිදී හෙළි විය. ඔහු තරයේ ඇදහූ ඇතැම් විශ්වාස, සංස්කෘතික ගති ලක්ෂණ හෝ අරටුගත හරපද්ධති මොන තරම් දැඩිව එහිදී ප‍්‍රකාශයට පත්විණි ද යත්, ඒ ගැන සංවාදයකට හෝ අතරමැද සාකච්ඡාවකට කිසි ඉඩක් ඉතිරි නොකෙරුණි.





‘‘අපේ ආගම, සිරිත්විරිත් සහ භාෂාව වගේ දේවල් එක්ක තියෙන බලවේග ඉතා ශක්තිමත්. දේශපාලන බලවේගවලට වඩා ආණ්ඩු හදන්නෙත්, කඩන්නෙත්, ඒ සංස්කෘතික බලවේග විසිනුයි. අපේ භික්ෂූන් වහන්සේලාට විරුද්ධව නඩහබ ගේනකොට මං මේක ඉතා පැහැදිළිව පෙන්නලා දුන්නා. එහෙම දේවල්වලදී අපි පරිස්සම් වෙන්න ඕනේ.





‘‘අපේ පන්සල්වලට, දේවාලවලට පෙරහැරවල් කරන්න අලි ඇත්තු නැහැ. ඒක නිසා ඒ වගේ කාරණයක් ගැන නඩු කියනකොට ඒකෙන් සංස්කෘතික වශයෙන් සහ සමාජ-ආගමික වශයෙන් ලොකු විරෝධයක් ඇති වෙනවා. ඒක නිසා මං ඉල්ලා හිටියා මේකේ නීතිය පිළිබඳ ප‍්‍රශ්නේ බලලා ඒ අලි ඇතුන් ඒ වැඩවලට නිදහස් කරන්න කියලා. ඔය කියන ප‍්‍රශ්නේ නිසා අපිට මුළු භික්ෂු සාසනේම සහයෝගේ නැති වුණා.’’









අපි ඉන්නේ නීතිය කඩන පුද්ගලයෙකු මුදුනේ තියාගෙන ද ?





ඔහු මේ කරුණු ගෙනහැරපාන්නේ, ‘ජනතා ස්වෛරීත්වයට, ස්පර්ශනීය සහ ඵලදායී ආත්මයක් සහ අරුතක් ගෙන දුන්’ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ය. ඔහුගේ කරුණු පැහැදිලි කිරීම මං සුදනා වර්ගයේ එකකි. කොටින්ම ඔහු කියන්නේ, රනිල් වික‍්‍රමසිංහ ඉවත් කොට ඔහුගේ ආණ්ඩුව ගෙදර යැවීමට, ව්‍යවස්ථාමය යහපැවැත්ම කෙරෙහි තමන් තුළ වන සිල්ලර අවඥාව හොඳටම ප‍්‍රමාණවත් වූ බවයි. ආණ්ඩු හැදීමට සහ කැඩීමට තරම් බලසම්පන්න අර කී බලවේගවල සහයෝගය ලබා ගනු වස් රටේ ව්‍යවස්ථාව සමග මොන නාඩගම් නැටුවත් කමක් නැති බව ය.





පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා උල්ලංඝණයකි. ආණ්ඩු හැදීමට සහ කැඩීමට තරම් බලසම්පන්න වන, අප විසින් පරිස්සමින් රැකබලා ගත යුතු වෙනත් සමාජ බලවේගත් ඇතැයි ජනාධිපතිවරයා කියන විට, ඔහු යාමට යන්නේ මොන දිසාවකදැ යි මොහොතක් නතර වී සොයා බැලීම වටී. නීතිය කඩන කෙනෙකු රාජ්‍යයේ ඉහළම ආසනයේ සිටී නම් ඒ සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක් ද ?





ශ්‍රද්ධාව ඇඳ ගැනීම





‘මහා සංඝ රත්නයට’ ආමන්ත‍්‍රණය කරන විට දේශපාලඥයන් සිටින්නේ ශ‍්‍රද්ධාව ඇඳගෙන ය. ජනාධිපති සිරිසේන විශේෂණ පද දෙකක් එහිදී පාවිච්චි කරයි. ඒ, ‘වන්දනීය සහ පූජණීය’ යනුවෙනි. ඔහුවත් පරාජය කිරීමට සිතාගෙන දෝ සජිත් පේ‍්‍රමදාස තවත් විශේෂණයක් පාවිච්චි කරයි. ඒ, ‘ගෞරවනීය’ යනුවෙනි. මහින්ද රාජපක්ෂ කියන්නේ, ‘අපේ හාමුදුරුවනේ’ කියා ය. ඔහුගේ ශ‍්‍රද්ධා ශෛලිය ඔහුටම ආවේණික, පේටන්ට් බලපත‍්‍රයක් ඇති ඌරුවකි. එක්තරා ආකාරයක නින්දගම් ගතියක් ද එහි තිබේ. අනිත් අය කරන්නේ ඔහු සමග තරගයට මේ සෙල්ලමේ යෙදීමයි.





මේ වනාහී, සහසුද්දෙන්ම ප්‍රෝඩා ආගමිකත්වයක් පුද්ගල දේශපාලනික අවශ්‍යතා සඳහා පාවිච්චියට ගැනීමකි.










අපේ හාමුදුරුවන්






පමණට වැඩියෙන් පෙන්වන යටහත් පහත් නිහතමානය, උපාසක තක්කඩි කමකි. ඕනෑම තැනකට ඔබින විශේෂණ සාගරයක් සජිත් පේ‍්‍රමදාසටත් තිබේ. අගමැතිවරයා දිව්රුම් දීමෙන් පසු ජනාධිපතිවරයාගේ දෙහි කැපිල්ලෙන් අනතුරුව සජිත් පේ‍්‍රමදාස සාටෝපවත්ව ජනාධිපතිවරයා ඇමතුවේ ‘ශ‍්‍රීමත් ජනාධිපතිතුමා’ යනුවෙනි. එය, පට්ට දෙසාබෑමකින් පසුව ආ අපූරු හුරේ දැමිල්ලකි.





මේ රචනාවේ අරමුණ වන්නේ, ව්‍යවස්ථාවේ පූජණීයත්වය ගැන පාර්ලිමේන්තුව විසින් දැන්වත් ජනාධිපතිවරයාට කියා දිය යුතු බව පෙන්වා දීමයි. ජනතා පරමාධිපත්‍යයත් වන්දනීය බව, පූජණීය බව සහ ගෞරවනීය බව, සෙල්ලමට ගත යුතු දෙයක් නොවන බව, ඔහුට කියා දිය යුතුව තිබේ. ‘ශ‍්‍රීමත්’ යන උපසර්ගය, උපයා ගත යුතු දෙයක් බවත්, එය උපයා ගත හැක්කේ ව්‍යවස්ථාව එහි වචනයෙන් මෙන්ම ආත්මයෙන් ද ආරක්ෂා කිරීමෙන් බවත් ඔහුට කියා දිය යුතුව තිබේ.









ඔක්තෝබර් 26 වැනි දා ගැන ඇත්ත









ඔක්තෝබර් 26 වැනි දා සිදු වූ සැබෑව වටහා ගැනීමට ඒ වටා දවටා ඇති ව්‍යාජයන් අප ඉවත් කර ගත යුතුය. ඇත්ත ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණය නිරාවරණය කර ගත හැක්කේ, ඒ බොරුව ඉවත් කර ගැනීමෙන්ම පමණි.





ඒ පැහැදිලි කතාව සරළ ආකාරයෙන් ජනතාවට වටහා දිය හැකි වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව ගෙනෙන දෝෂාභියෝගයකින් හෝ දෝෂාරෝපණයකිනි. අපේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ මොහොතේ ආරක්ෂා කර ගත හැකි ඒකායන මාර්ගය වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමයි.





‘‘මේ රටේ හැමෝම දන්නවා මං නීතිඥයෙක් නොවන විත්තිය. ගැසට් එක නිකුත් කළේ මං තනියම නෙවෙයි. කීර්තිමත් ජනාධිපති නීතිඥ මහත්තුරු ඒකට සම්බන්ධ වුණා. මේ හැම ගැසට් නිවේදනයක්ම නිකුත් කළේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලයි.’’





‘‘මේ මෑතකදී මං නිකුත් කරපු ගැසට් නිවේදනය, විශේෂඥ නීතිඥවරු, ව්‍යවස්ථා විශාරදයෝ එක්ක කතා කරලයි කළේ. ඒ හැම දෙයක්ම මං කළේ සත්භාවයෙන්. ඒ කිසි දෙයක් මං නරක චේතනාවකින් කළේ නැහැ. ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ චේතනාවක් මගේ තිබුණේ නැහැ.’’





මේ මිනිසා නම්, පැහැදිළිවම, තර්කයට සහ හේතු බුද්ධියට යා දෙන පුද්ගලයෙකු නොවේ. අපේ ජනරජයේ ජනාධිපතිවරයා හර පද්ධති නිර්ණය කරගන්නා ආකාරය එබඳු ය. ඒ බව අපේ අවධානයෙන් ගිලිහී යා යුතු නැත. ජනතාවට දැන ගැනීමට අයිතිය ඇති තොරතුරු, බලය දරන්නන් විසින් හංගා තබා ගැනීම නොහොබී. ජනාධිපතිවරයා කර ඇති මෙවැනි ප‍්‍රකාශ නිසි බලධාරී ආයතනයක් මගින් පරීක්ෂාවට ලක්කළ යුතුව තිබේ. එය සිදු කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ අත්සන සහිතව බාර දෙන දෝෂාභියෝග යෝජනාවකින් පමණි.





ඔහු අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙල ග‍්‍රහණයෙන් ගත්තා පමණක් නොව, ඊට වඩා හොඳින් ඔහු එය කෙළේය. මුලින්ම ඔහු කෙළේ පාර්ලිමේන්තුවේ අවනත භාවය සහ යටහත් භාවය ඉල්ලා සිටීමයි. එහෙත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 122 ක් ඊට විරෝධය පෑහ. මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී නාඩගමේ කොටස්කරුවන් වීම ඔවුහූ තරයේ ප‍්‍රතික්ෂේප කළහ. තමා ඒ සියල්ල කෙළේ ප‍්‍රවීණ නීතිවේදීන් සද්භාවයෙන් සහ අවංක භාවයෙන් දුන් උපදෙස් මත බව දැන් ඔහු කියයි. ඒ නීතිවේදීන් කවුදැයි දැන ගැනීමට ඉල්ලා සිටීමේ අයිතියක් අපට තිබේ.






https://www.facebook.com/maithripalas/videos/195850641266101/




මෛත‍්‍රීපාල සිරිසේන අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත්, ව්‍යවස්ථානුකූල භාවයටත් තර්ජනයකි









මුලින්ම, මෛත‍්‍රීපාල සිරිසේන නැමැති ජනාධිපතිවරයා අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ව්‍යවස්ථානුකූල භාවයට ඉතා පැහැදිළිව, ඉතා නිශ්චිතව සහ හිතාමතා විණ කැටීමට බලා සිටින තර්ජනයකි. එවැන්නෙකුට එරෙහිව දෝෂාභියෝගයක් හෝ දෝෂාරෝපණයක් ඉදිරිපත් නොකිරීම, නීතියට ඉහළින් වෙට්ටු දාන ජනාධිපතියෙකු බලයේ තබා ගැනීමකි. ඔහු බැලූවේ රටේ ව්‍යවස්ථානුකූල භාවය දූෂණය කිරීමටයි.





ඔහුගේ ත‍්‍රස්තවාදී සෙල්ලමට එරෙහිව නැගී සිටි පාර්ලිමේන්තු බහුතරයට, දෝෂාභියෝගයක් හරහා ඔහුව ඉවත් කිරීමට අවශ්‍ය තුනෙන් දෙකක බලයක් නොතිබිය හැකිය. එහෙත් සරළ බහුතරයකින් ඔහු කෙරෙහි දෝෂාරෝපණ යෝජනාවක් සම්මත කර ගත හැකිය. ඒ ක‍්‍රියාවලිය ඇරැඹීමට තරම් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුළ තිබේ. ප‍්‍රතිඵලය කුමක් වෙතත් එය වහා සිදු කළ යුතුය.





බලයේ ආධිපත්‍යයට ඉහළින් නීතියේ ආධිපත්‍යය පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය. 2015 ජනවාරි 8 වැනි දා අප නිමාවකට පත්කෙළේ බලයේ ආධිපත්‍යය රජ කළ දශකයකි. ඒ කාරණය අප සටහන් කරගෙන තිබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැමැති ලිස්සන සුළු පුවරුවක බව වෙනම කාරණයකි. වැදගත් වන්නේ, ඒ මගින් මේ ගමන නතර කර ගැනීමට අපට හැකි වූ බව ය. ඒ ජයග‍්‍රහණයන් අප තවදුරටත් ආරක්ෂා කර ගත යුතුව තිබේ.





නීතියේ ආධිපත්‍යය විසින් බලයේ ආධිපත්‍යය දමනය කරනු ලැබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තැත ‘නීතියේ සීමාවෙන් ඔබ්බට ගිය’ ප‍්‍රයත්නයකි. ‘ ඕනෑම ආකාරයක හිතුවක්කාරී බලය අභ්‍යාස කිරීමක වින්දිතයන් වීමෙන් ආරක්ෂා වීමට’ පුරවැසියන්ට ඇති අයිතිය උල්ලංඝණය කිරීමට ගත් ප‍්‍රයත්නයකි.





ඒ පැහැදිලි සහ නිරවුල් අදහස ජනාධිපතිවරයාට නොවැටහෙයි. තමාගේ බලය ව්‍යවස්ථාමය සීමාවන්ට යටත් නැති බවට ඔහු දිගටම තර්ක කරයි. ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් හෝ දෝෂාරෝපණයක් ගෙන ඒමෙන් වැළකී නිහඬව සිටීම යනු, එදා ජනාධිපතිවරයාට විරෝධය පෑ මන්ත‍්‍රීවරුන් 122 ජනාධිපතිවරයාගේ ඇස්බැන්දුම් දේශපාලනයේ උපාසක සහායකයන් බවට අද පත්වීමකි. ඊටත් වඩා, ජනාධිපතිවරයා කියන ඔහුගේ සද්භාවය පිළිගන්නා පිරිසක් බවට පත්වීමකි. කතානායකවරයාගේ ආසනය වෙත මැර පහර එල්ල කළ මදාවියන් ගැන මුනිවත රකින අතරේ කතානායකවරයා පාර්ලිමේන්තු විධිවිධානයන්ට අකුරට අනුගත විය යුතු බවට ජනාධිපතිවරයා කරන ඒ වංචාකාරී දේශනය අනුමත කරන්නන් බවට පත්වීමකි. බයිබලයෙන් දමා ගැසූ වීරවංශව ඇමතිවරයෙකු කළ මේ ජනාධිපතිවරයා ඔහු සමග සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ එකම වේදිකාවකත් අසුන් ගත්තේය.









උගත යුතු පාඩම්





රවි කරුණානායක නැවත කැබිනට් ඇමති තනතුරක් ලබා ගැනීම සහ සංස්කෘතික අමාත්‍යාංශය සජිත් පේ‍්‍රමදාසට භාර දීම අපේ ව්‍යවස්ථානුකූල යහපැවැත්මට අදාල දේවල් නොවේ. කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ය. අනෙකා, සිරිසේන ජනාධිපතිවරයාට වහකදුරු වී සිටින වික‍්‍රමසිංහගේ සහාය නායකයා ය. සෑම දේශපාලඥයෙකුම ස්වාර්ථයට බර වීම ස්වභාවිකයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සහාය නායකයාත්, නියෝජ්‍ය නායකයාත් ඒ ස්වාර්ථයේ අධි මාත‍්‍රාවකින් සජ්ජිත වී සිටිති. මේ ස්වාර්ථය කෙනෙකුගේ ප‍්‍රතිපත්ති කෙරෙහි බලපායි. හරි වැරැද්ද පිළිබඳ පුද්ගලයෙකුගේ ආකල්පය පවා ඒ මගින් වෙනස් විය හැකිය.





මේ අතර රනිල් වික‍්‍රමසිංහ සිය අතවැසි සාගල, අකිල සහ මලික් අමාත්‍ය මණ්ඩලයට අන්තර්ග‍්‍රහණය කරගෙන තිබේ. එස්.බී. දිසානායකගේ මජර වැඩේ සාක්ෂි සහිතව අල්ලා දුන් රංගේ බණ්ඩාරට කිසිවක් නැත. එසේම විනෝදකාමය සහ විවේක සුවය පිළිබඳ අංශය කෙලින් කළ හැක්කේ ජෝන් අමරතුංගටම පමණකැ යි රනිල් වික‍්‍රමසිංහ තීරණය කොට තිබේ. රංගෙ බණ්ඩාර සහ රවි කරුණානායක අතර වෙනසක් තිබේ. රංගෙ බණ්ඩාර සාකච්ඡා පටිගත කරයි. අනෙකා, සාකච්ඡා මතක නැතැයි කියයි.





ඔක්තෝබර් 26 වැනි දා දිග හැරුණු සිද්ධි මාලාව රවි කරුණානායකවත්, සජිත් පේ‍්‍රමදාසවත් විමතියට පත්කළ සිද්ධියකැයි මම නොසිතමි. ඒ සිදුවීම් ගැන මංගල සමරවීර සහ රංජිත් මද්දුම බණ්ඩාර වැනි ජ්‍යෙෂ්ඨයන් දැක්වූ ඒ කෝපාවිෂ්ට ප‍්‍රතිචාරය මේ දෙන්නාගෙන් කිසි විටෙක අප දැක්කේ නැත. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් එකාවන්ව නැගී සිටීම, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය නපුරේ භයානක බව ජනතා විමුක්ති පෙරමුණ නිවැරදිව හඳුනා ගැනීම සහ දෙමළ සහ මුස්ලිම් පක්ෂවල දේශපාලඥයන්ගේ සෘජු ප‍්‍රතිචාරය මේ නියෝජ්‍ය නායකයාවත්, සහාය නායකයාවත් විස්මිත කළාට සැක නැත.





සජිත් පේ‍්‍රමදාස සහ රවි කරුණානායක දිව්රුම් දීමේ උත්සවය යම් හේතුවක් නිසා වර්ජනය කිරීමට ගිය බව වාර්තා විය. එහෙත් එය මොන විදිහකින්වත් ජනාධිපතිවරයා කෙරෙහි වන අගෞරවයක් නිසා නොවන බව ජනාධිපතිවරයාට දැනුම් දීමටත් ඔවුන් පියවර ගෙන තිබුණි. මෙය, එදා රනිල් වික‍්‍රමසිංහගේ ශරීර භාෂාවට සපුරා වෙනස් ගතියක් පෙන්නුම් කෙළේය. සිරිසේනගේ දේශනාව ඉදිරියේ වික‍්‍රමසිංහගේ ඇස් විටින් විට උඩ ගියේ දේශකයාගේ රැවටිලිකාර සම්ප‍්‍රප්ප‍්‍රලාපයෙන් තමන්ව ගලවා ගන්නැයි දෙවියන්ගෙන් යදින්නා සේ ය.





සජිත් පේ‍්‍රමදාස දැන් තමාට ලැබී ඇති අමතර සංස්කෘතික අමාත්‍යාංශය ගැන යම් හෝ බරසාර අවධානයක් යොමු කරන්නේ නම්, පිටු 88 කින් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධාන විනිශ්චයත්, සිසිර ද ආබෲ විනිසුරුවරයාගේ පිටු 20 කින් යුත් විනිශ්චයත් සිංහලට පරිවර්තනය කොට ‘පූජණීය, වන්දනීය’ මහා සංඝ රත්නයේ සෑම භික්ෂූ වහන්සේ නමක් අතරේම බෙදා හැරිය යුතුව තිබේ. එසේ කිරීමෙන්, ඔහු ඉතා ගෞරව සම්ප‍්‍රයුක්තව ‘ශ‍්‍රීමත් ජනාධිපතිතුමා’ යනුවෙන් අමතන සිරිසේන ජනාධිපතිවරයාගේ ඔවදන අකුරට පිළිපැද්දා වන්නේය.










පූජණීය, වන්දනීය





නීතියේ ආධිපත්‍යය









නීතියේ ආධිපත්‍යය, තනි පුද්ගලයෙකුගේ අභිමතයේ ආධිපත්‍යය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. මේ භයානක මිනිසා අප මතට කඩා වැටුණා නොවේ. යාවජීව පාලකයෙකු වීමට ගිය සහ රාජකීය පවුල් වංශයක් රෝපණය කිරීමට ගිය මහින්ද රාජපක්ෂ සඳහා වන අතරමැද ආදේශනයක් වශයෙන් අප විසින්ම ඔහුව පත්කර ගන්නා ලදී.





සිරිසේනගේ අනර්ථකාරී ජනාධිපති වරය, වඩාත් ගැඹුරු අර්බුදයක නිරූපණයකි. ඒ වනාහී, තවමත් නොවිසඳී පවතින, තවමත් ආමන්ත‍්‍රණය නොකොට පවතින, ගෝත‍්‍රික ද්වේෂය, අවිචාරය සහ දේශපාලනික කතිකාවේ සර්වාකාර දූෂිත පදනම මත මහින්ද රාජපක්ෂ විසින් අටවන ලද ඒක-අධිකාරිවාදී රෝගයේ අර්බුදයයි. මෙය, ඇමරිකානු නීති විශාරද ෆීලික්ස් ෆ‍්‍රැන්ක්ෆර්ටර් අගේට කියා තිබේ:





‘‘ස්වාධීන අධිකරණයකින් කළමනාකරණය වන නීතියකින් තොරව නිදහස් සමාජයක් පැවතිය නොහැක. නීතිය යනු කුමක්දැ යි තීරණය කිරීමේ බලය තනි පුද්ගලයෙකුට ඇතොත්, වෙනත් ඕනෑම පුද්ගලයෙකුටත් ඒ බලයම හිමි වන්නේය. ඉන් උපදින්නේ, මුලින් වියවුල ය. අනතුරුව, ප‍්‍රජාපීඩනය ය.’’





මෛත‍්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝණය කොට තිබේ. ආණ්ඩු ඇති කිරීමටත්, නැති කිරීමටත් තරම් ප‍්‍රබල බලවේග ඇති බවත්, ඒවා යාප්පුවෙන් තබා ගත යුතුව ඇති බවත් ඔහු කියන විට ඔහුගේ ඉදිරි ගමන් මග ගැන අප මොහොතක් සිතා බැලිය යුතුය. එබැවින්, ජනාධිපති සිරිසේනට විරුද්ධව දෝෂාභියෝගයක් හෝ දෝෂරෝපණ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් වහා විවාදයට ගත යුතුව තිබේ. අවසානයේදී ඒ සඳහා නමින් ඡුන්දය ගත යුතුව තිබේ. එය අපේ ඉදිරි පරම්පරාවට අපෙන් සැලසිය යුතු යුතුකමකි.





අහස කඩා වැටුණත් යුක්තිය ඉෂ්ට කළ යුතුව ඇත. ‘‘මිනිසා යනු තමා කවරෙක් දැයි ඔහු සිතන කෙනා නොවේ. තමා කවරෙක් දැයි ඔහු සඟවන කෙනා ය.’’ මෛත‍්‍රීපාල සිරිසේන ඒ උපහැරණයේ ජීවමානයයි. ‘‘මිනිසා යනු කවරෙක් ද ? මිනිසා යනු මූසල අභිරහස් ගොන්නකි.’’





















(2019 ජනවාරි 1 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “Impeachment or Censure: A Moral Imperative" ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)

















සබැඳි පුවත්









ජනපති අමාත්‍යංශ පවරාගැනීමට ගත් තීරණය නිවැරදිද ?


සහෝදර සමාගම හා සමනල් ජීවිත


ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම කියන එක ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දිය හැකි ඉතාම සරල ආකාරයක් පමණයි. ඒ හැඳින්වීමෙන් ධ්වනිත වන අදහස ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ බහුතරය විසින් සුළුතර කොටස් වල හඬ යටපත් කරනවා කියන එකයි. ඒක හරියට ධනවාදයක් යටතේ ප්‍රාග්ධනයේ හිමිකරුවන්ට ශ්‍රමයේ හිමිකරුවන් සතු අතිරික්තය මුළුමනින්ම පැහැර ගන්න ඉඩ ලැබෙනවා කියනවා වගේ කතාවක්.





සෛද්ධාන්තික අර්ථයෙන් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ සමාජයක ඉතාම කුඩා සුළුතරය වන ඒකීය පුද්ගලයෙකුට තමන්ගේ හඬ මුළුමහත් සමාජය පුරා පතුරවා හරින්න ඉඩ ලැබෙනවා. කාට හරි අහන්න පුළුවන් ඔය කියන විදිහේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන තැනක් පෙන්නන්න පුළුවන්ද කියා. සාධාරණ ප්‍රශ්නයක්!





ලෝකයේ කොහේවත් පරිපූර්ණ නිදහස් වෙළඳපොළක් නැතුවා වගේම සමාජයේ සෑම කෙනෙකුගේම හඬට සමාන ඉඩක් ලැබෙන සෛද්ධාන්තික අර්ථයෙන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදීයැයි කිව හැකි සමාජ නැහැ. නමුත්, ඇතැම් සමාජ වෙනත් සමාජ වලට වඩා ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදීයි. ඒ වගේම, ඇතැම් සමාජ වල වෙනත් සමාජ වලට වඩා ගොඩක් හොඳින් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් සමාජ වල නිදහස් ගනුදෙනු වලට බාධා ගොඩක් අඩුයි!





සමාජයක් ප්‍රමාණවත් තරමින් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඒ සමාජයේ සියළු දෙනා විසින්ම තමන්ගේ හඬ අවදි කළ යුතු නැහැ. එහෙම කරන සැලකිය යුතු පිරිසක් සිටීම ප්‍රමාණවත්. හරියට වෙළඳපොළක් කාර්යක්ෂම වෙන්න ඩීල් නොදා එකිනෙකා සමඟ තරඟ කරන සැපයුම්කරුවන් කිහිපදෙනෙක් සිටීම වුවත් ප්‍රමාණවත් වනවා වගේ. නීතිය නොපිළිපදින සුළු පිරිසක් සිටි පමණින් නීතියේ ආධිපත්‍යය නැති නොවනවා වගේ.





නිදහස් වෙළඳපොලක කාර්යක්ෂමතාවය පෙන්වා දිය හැක්කේ සෑම පුද්ගලයෙකුටම තමන්ට හොඳම දෙය තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා කියන උපකල්පනය යටතේයි. එහෙත් විවිධ හේතු මත සමාජයේ ඇතැම් කොටස් වලට තමන්ට හොඳම දෙය තෝරාගැනීම අසීරු වෙන්න බැරිකමක් නැහැ. මෙවැනි ප්‍රධානම හේතුවක් වෙන්නේ තමන් මුදල් ගෙවා ලබා ගන්නා භාණ්ඩය ගැන නිසි අවබෝධයක් නැති වීමයි. වෙනත් විදිහකින් කිවුවොත් දැනුමේ සීමාවන්. මේ හේතුව නිසා වෙනත් අයෙකු විසින් තමන්ට හොඳම දෙය තමන් වෙනුවෙන් තෝරා දෙනවාට කැමති පිරිස් ඉන්නවා. ඇතැම් රටවල එවැනි අය වැඩියි.





එඬේරන් පසුපස යන්න පුරුදු වී සිටින හරකුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තීරණය වෙන්නේ හරක් බහුතරය ඉන්නේ කොයි එඬේරා එක්කද කියන එක මතයි. තමන් වෙනුවෙන් තීරණ ගැනීම තමන්ගේ නායකයින් විසින් කරනු ඇතැයි බලාපොරොත්තු වන මිනිසුන් වැඩි වන තරමට සමාජයක ප්‍රජාතන්ත්‍රවාදයට බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම වැනි පටු ඉලක්කයකින් එහාට යන්න අමාරුයි. ඒ වගේ සමාජයක ඩීල් හරහා සැලකිය යුතු කාර්යභාරයක් වෙන්න පුළුවන්.





ලංකාවේ දේශපාලනඥයින් අතර විශාල ජන පදනමක් තිබෙන නායකයින් සිටිනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ මොහොතේ එවැනි වැඩිම ජන පදනමක් තිබෙන නායකයා කියා කියන්න පුළුවන්. ඔහුට වඩා ගොඩක් පසුපසින් වුවත්, දෙවැනි තැන ඉන්නේ රනිල්. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ මෙවැනි නායකයින් කේන්ද්‍ර කරගෙනයි. බොහෝ විට එක නායකයෙක් යටකරගෙන වෙනත් අයෙක් මතුවෙන්නේ ගේම් හරහා.





මහින්ද, රනිල් වගේ පළමු පෙළේ නායකයින් ළඟින්ම ඉන්න වෙනත් නායකයින් පිරිසක් ඉන්නවා. පහුගිය දවස්වල මහින්ද ළඟින්ම හිටපු විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල වගේ අය මහින්දගේ පක්ෂයේම අය නෙමෙයි. ඒ අය මහින්ද වටේ කැරකෙන්නේ ගේම් එකක කොටසක් විදිහටයි. මහින්ද නැතුව ඔවුන්ට හුදෙකලා පැවැත්මක් නැහැ. අනෙක් අතට මහින්දටත් තමන්ගේ පැවැත්මට මේ අය අවශ්‍යයි. ඔය විදිහටම චම්පික, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් වගේ එජාප නොවන වෙනත් පක්ෂ වල අය රනිල්ගේ ළඟින්ම ඉන්නේත් මේ අන්‍යෝන්‍ය වාසි නිසායි. ඔය වගේ ප්‍රධාන නායකයෙක් වටා භ්‍රමණය වන දෙවන පෙළේ නායකයෙක් දිහා සූම් කරලා බැලුවොත් ඔයාකාරයටම ඔවුන් වටා භ්‍රමණය වන කිහිප දෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි. ඒ අය වටා භ්‍රමණය වන අයත් ඉන්නවා. මේක තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන වත්මන් ස්වරූපය.





අර පහුගිය දවස්වල සමහර ඇනෝලා අහලා තිබුණා වගේ මටත් ඔය ලේක්හවුස් එක වගේ තැනක මොකක් හරි ලියන රස්සාවක් ගන්න ඕනෑනම් මට ඒක කරගන්න වෙන්නේ කොහොමද? ඇනෝලාම කියනවා වගේ කොච්චර කඩේ ගියත් හාමුට කිට්ටු කරන්න බෑනේ. පටන් ගන්න වෙන්නේ පුළුවන් තැනකින්!





ඉස්සෙල්ලම හාමුට කිට්ටු කරන්න පුළුවන් දෙවන පෙළ නායකයෙක් ගැන හිතන්න වෙනවා. ඊට පස්සේ, ඒ දෙවන පෙළ නායකයාට කිට්ටු කරන්න පුළුවන් තුන්වන පෙළ නායකයෙක් ගැන හිතන්න වෙනවා. එහෙම කෙනෙකුටවත් කිට්ටු කරන්න බැරිනම් සොරි ඩොට් කොම් තමයි!





දැන් ඔය විදිහේ තුන්වන පෙළේ නායකයෙක් හොයාගත්තයි කියමුකෝ. පොරට කිට්ටුවෙන කොටම පොර දන්නවා අපිත් මේ සෙට් වෙන්නේ ගේම් එකකට බව. ඒ වෙලාවේ ඉඳලා පොර අපිට ගේම් එකක් ගහනවා. කැමැත්තෙන්ම ඒ ගේම් එකේ ඉත්තෙක් වෙන්න අපිට සිදු වෙනවා. උඩට යනකම්ම වෙන්නේ ඔය ටිකයි.





උඩම මට්ටමේ ඉන්න රනිල්, මහින්ද වගේ කොයි නායකයාත් ඔය ටික දන්නවා. නැත්නම් ඔය ඉන්න තැනට එන්න බෑනේ! ඒ නිසා, මේ අය ප්‍රසිද්ධියේ හැමවෙලාවෙම වගේ තමන්ගේ ළඟින්ම ඉන්න අය එක්ක පවා වැඩ කරන්නේ මෙතැන තියෙන්නේ ගේමක් බව අමතක නොකරමිනුයි. වටේ ඉන්න අය ලොක්කා ගාව ඉන්නෙත් ඕක දැනගෙන.





තමන් වටේ ඉන්න කවුරුත් ගේම් එකක ඉන්න බව දැන දැනම ඒ වගේ අයත් එක්ක ඉන්න එක සෑහෙන ආතතියක් ඇති කරවන කටයුත්තක්. තමන්ට වැඩි විශ්වාසයක් තියන්න පුළුවන් කවුරු හෝ කණ්ඩායමක් ඉන්නවානම් එය නායකයෙකුට සහනයක්. බොහෝ නායකයින්ට ඒ ආකාරයේ විශ්වාසවන්ත ඇතුළු කවයක් සිටිනවා.





මහින්දට ඔහුගේ සහෝදරයින් ඇතුළු පවුලේ සාමාජිකයින්ව පිට මිනිස්සුන්ට වඩා විශ්වාස කරන්න පුළුවන් නොවෙන්න හේතුවක් නැහැ. ඒ අය වුවත් ගේම් ගහන්න ඉඩ තිබුණත් පවුලේ කෙනෙක් ගහන ගේම් එකක සීමාවක් තියෙනවා. වතුර වලට වඩා ලේ උකුයි කියනවනේ!





රනිල් වටේත් ඔහුට විශ්වාසවන්ත පිරිසක් ඉන්නවා. ඒ විශ්වාසයේ පදනම අදාළ කරුණක් නෙමෙයි!





නායකයෙක් වටේ ඉන්න මේ ආකාරයේ ඇතුළු කවයක් කියන්නේ පිට ඉඳන් ගේම් වලට සෙට් වෙන අයට තියෙන ලොකුම බාධාවක්. ඒ නිසා, මේ අයව බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වෙනවා. ඒ නායකයෝ වටේම කැරකෙන අයගේ පවා.





පහුගිය කාලයේ මහින්දගේ සහෝදර සමාගම බොහෝ විවේචන වලට පාත්‍ර වුණා. මෑතකදී ඒ විවේචන වැඩිපුර යොමු වුණේ නාමල් වෙත. අනික් පැත්තෙන් රනිල්ට ආපු ලොකුම විවේචනයක් වුනේ ඔහු ගත කරනවාය කියන සමනල් ජීවිතය.





මේ විවේචන හරහා මතුවෙන්නේ වත්මන් ලංකාවේ ක්‍රියාත්මකව පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ස්වරූපය මිසක් වෙන දෙයක් නෙමෙයි!





ඉකොනොමැට්ටාගේ බොජුන්හල


ටී.එන්.ඒ - එජාප ගිවිසුම ගැන කතාව බොරුවක් - මරික්කාර්


ටී.එන්.ඒ හා එජාප ගිවිසුමක් ඇති බවට පළවන මත සාවද්‍ය බවත් මෙම ලියැවිල්ල 
විභාෂණ චන්ද්‍රජිත් කොණ්ඩදෙණිය නමැති තැනැත්තෙක් අන්තර්ජාලයට මුදා හැරඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.





මේ සිද්ධිය සම්බන්ධයෙන් එතුමා අද (13) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් යොමුකරන ලද අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, 









''ඊයේ (13) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාතීව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළා 117 ක් දෙනෙක් සහයෝගය දීලා. මේකට එජාප වගේම ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක්ගේ සහයෝගයත් ලැබුණා. ඊට පස්සේ ඉඳලා අන්තර්ජාලයේ ලියැවිල්ලක් ප්‍රචාරය වෙන්න පටන්ගත්තා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ වගේම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාත් අතර ගිවිසුමක් අත්සන් කරාය කියලා.










මේ සහයෝගය ලබාදීම සඳහා උතුරු - නැගෙනහිර එක පළාතක් බවට එකතු කරනවා, ලංකාවේ කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ නැහැ, උතුරු - නැගෙනහිර පළාත් වලින් හමුදාව අයින් කරනවා, උතුරු - නැගෙනහිර පළාත් වලින් බෞද්ධ සිද්ධස්ථාන අයින් කරනවා වැනි කාරණා ගණනාවක් සම්මත වුණා.









මේක කූඨ ලියැවිල්ලක්









මේක දැක්කහම රනිල් වික්‍රමසිංහට මහත්තයටත්, සම්බන්ධන් මහත්තයටත් දෙන්නටම කතා කරලා ඇහුවා මෙහෙම ගිවිසුමක් තියෙනවද ? ඇත්තටම මේක මොකක්ද ? කියලා. එතකොට ඒ දෙන්නම කිව්වා මේක කූට ලියවිල්ලක් එහෙම කිසිම ගිවිසුමක් නැහැ, අත්සන් කරලත් නැහැ කියලා.






මේක ව්‍යාජ ලේඛනයක්‘  - ආර්. සම්බන්ධන්  






සම්බන්ධන් මහතා විශේෂයෙන්ම ප්‍රකාශ කළා, ‘‘ඔබතුමා පොලීසියට මේ පිළිබඳ ප්‍රකාශයක් කරනවා නම් ඒ අයට කියන්න පොලීසියට මගෙන් කටඋත්තරයක් ගන්න කියලා. මේක ව්‍යාජ බව මම පොලීසියට කට උත්තරේකින් දෙන්න කැමතියි.‘‘ කියලා. ඒක නිසා අපි පැහැදිලිවම කියන්න කැමතියි නැවත වතාවක් මේ දේශපාලන වාසි සඳහා රට තුළ ජාතිවාදය වඩවන, ලේ වගුරුවන, ලේ රත්කරනන්, ජාතීන් හැටියට බෙදන්න, රට අස්ථාවර කරන්න ගත්තු කූඨ ලේඛනයක්.






මේක අන්තර්ජාලයට දාලා තියෙන්නේ විභාෂණ චන්ද්‍රජිත් කොණ්ඩදෙණිය






ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන අපට දැනගන්න ලැබිලා තියෙනවා විදියට මේ කූඨ ලේඛනය මුලින්ම අන්තර්ජාලයට මුදාහැරියා කියන්නේ විභාෂණ චන්ද්‍රජිත් කොණ්ඩදෙණිය කියලා පුද්ගලයෙක්. අපි දැන් පොලිස් මූලස්ථානයට ලිඛිතව පැමිණිල්ලක් භාරදුන්නා.





වේලේන්ද්‍රන් ඇමතිවුණාම දේශප්‍රේමියා - කරුණා අම්මාන් ශ්‍රී ලංකා එකට අවාම දේශප්‍රේමියා






ටී.එන්.ඒ සංවිධානයේ මන්ත්‍රීවරු 16 දෙනෙක් ඉන්නවා. 14 දෙනෙක් තමයි ඡන්දේ දුන්නේ. එතකොට ටී.එන්.ඒ එක ඡන්දේ දුන්නම මේ ගිවිසුමක් අත්සන් කළා කියලා ඩොකියුමන්ට් එකක් ලොකුවට හදලා අලි, කොටි ගිවිසුමක් තියෙනවා කියලා පෙන්නන්න හදනවා. එතකොට ඒ 16 දෙනාගෙන් 14 දෙනෙක් ඡන්දය දුන්නාම තමයි ඒ අය කොටි වෙන්නේ. ඒ 16 දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච වේලෙන්ද්‍රන් ඇවිල්ලා ඇමතිකමක් ගත්තම ඌ දේශප්‍රේමියා වෙන්නේ. ඒක හරියට දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු කරුණා අම්මාන් ඇවිල්ලා ශ්‍රී ලංකා එකට එකතු වෙනකොට ඔහු දේශප්‍රේමියෙක් වුණා වගේ.






https://www.facebook.com/apiunpofficial/videos/2235936856694468/




 






ඒක හරියට අරන්තලාවේ භික්ෂූන්වහන්සේලා, කාත්තන්කුඩු මුස්ලිම් පල්ලියේ මවුලවිවරු ඝාතනය කළ පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ දේශප්‍රේමී වෙනවා වගේ වැඩක්. ඒ නිසා බල තණ්හාවෙන් බයට කරන වැඩට නාමල් රාජපක්ෂ මහත්තයගේ දෙමළ භාෂාවෙන් තියෙන ට්විටර් එක අරන් බැලුවොත් පහුගිය දවස් වල දේශපාලන හිරකරුවන් ලෙස හදුන්වලා දෙමළ ජාතික හිරකරුවන් නිදහස් කරන්න ඕනයි කියලා දෙමළ ට්වීටර් එකේ දැම්මේ නාමල් රාජපක්ෂ. අපි නෙමෙයි. ඊළඟට එතුමාලට මතක් කරලා දෙන්න ඕන පහුගිය ඔක්තෝබර් මාසේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ තියෙන කොට මමත් ගියා රැස්වීමට. එහිදී ජනපතිතුමා තමයි තීන්දුව අරගෙන ත්‍රිවිද හමුදාවට උපදෙස් දුන්නේ හමුදාවට අත්‍යවශ්‍ය ඉඩම් ටික තියාගෙන ඉතුරු ටික දෙසැම්බර් 31 වෙනිදට කලින් නිදහස් කරන්න කියලා.






මේ වෙනකොට අධිකරණයේ නඩුවක් තියෙනවා 2015 ජනවාරි 8 වැනිදා ඡන්දෙට සමගාමීවත් අලි - කොටි ගිවිසුමක් තියෙනවා, මෛත්‍රී - කොටි ගිවිසුමක් තියනෙවා කියලා මේ වගේ කූඨ ලියැවිල්ලක් හැදුවා.






අවුරුදු තුන හමාරක් අපි රට පාලනය කළා. එහෙම ගිවිසුමක් තිබ්බා නම් ඒ ගිවිසුම ප්‍රකාරව වැඩකරන්න ඕන වෙනවා. '' 


සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය






ගාමිණී වියන්ගොඩ













සතිය ගතවිය - විසඳුමක් නැතිද ? ජනපතිතුමනි









තව සතියකින් ප‍්‍රශ්නය විසඳා දෙන බවට ජනාධිපති සිරිසේන පසුගිය 4 වැනිදා පොරොන්දු වූවේය. එනම්, විසඳුමක් ඔහු අතේ ඇති බව ය. එහෙත්, විසඳීමට ඇති ප‍්‍රශ්නයේ නිර්මාතෘ රනිල් වික‍්‍රමසිංහ බවත් ඔහු කීවේය. සිරිසේන කියන මේ කතාව, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් උදවිය වෙනත් ආකාරයකින් කියමින් සිටිති. ඔවුන්ට අනුව, ප‍්‍රශ්නයට හේතුව වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ඔවුන් කියන කතාවේ ඇත්තක් තිබේ.









සිරිසේන විසින් පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබීම ප‍්‍රශ්නයක් වුණේ, ඒ වන විට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගෙන තිබුණු නිසා ය. එසේ නොවුණි නම්, එනම්, අපට තිබුණේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහිත 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නම්, ඇත්තෙන්ම ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ ඉවත් කිරීම කිසි ප‍්‍රශ්නයකට තුඩු දීමට මොනම ඉඩක්වත් නොවුණි. මන්ද යත්, පරණ ව්‍යවස්ථාවේ හැටියට, ජනාධිපතිවරයාගේ අත්සන යටතේ අගමැතිවරයා ඉවත් කිරීම ඕනෑම අවස්ථාවක කළ හැකිව තිබුණු බැවිනි. එය එම ව්‍යවස්ථාවේ 47 (අ) යටතේ පැහැදිළිව සඳහන්ව තිබුණි. එහෙත් එය 19 වැනි සංශෝධනය යටතේ ඉවත් කොට ඇත.









ඊළඟට, සිරිසේන ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් ප‍්‍රශ්නයක් වුණේ, 19 ව්‍යවස්ථා සංශෝධනය නිසා ය. මන්ද යත්, ඊට කලින් ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුවේ ආයු කාලයෙන් වසරක් ගිය තැන ජනාධිපතිවරයාට කැමති ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිව තිබුණි. වර්තමාන පාර්ලිමේන්තුව ආරම්භ කෙරුණේ 2015 අගෝස්තු මාසයේ නිසා, 2016 අගෝස්තු මාසයෙන් පසු පරණ ව්‍යවස්ථාව යටතේ ඕනෑම අවස්ථාවක එසේ විසුරුවා හැරීමට හැකි විය යුතුව තිබුණි. ඒ අනුව, 2018 ඔක්තෝබර් 26 වැනි දා සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම කිසි විදිහකින් ප‍්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ජනාධිපතිවරයාට එසේ විසුරුවා හැරිය හැකි බලය පැවරෙන්නේ පාර්ලිමේන්තුවට වසර හතර හමාරක කාලයක් ගත වූ පසුව පමණි. ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් අද ප‍්‍රශ්නයක් වී ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ය.









ඉතිං, ප‍්‍රශ්නය මෙසේ විග‍්‍රහ කිරීමෙන් කෙනෙකු බලාපොරොත්තු වන්නේ කුමක් ද ? ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ආදී සියලූ බල කේන්ද්‍ර විධායකයේ අණසකට යට කළ හැකි ආකාරයේ ආණ්ඩු ක‍්‍රමයක් තිබිය යුතු බවයි. එනම් සියලූ රාජ්‍ය අංශ මෙහෙයවීමේ පූර්ණ බලය විධායකයට තිබිය යුතු බවයි. වෙනත් විදිහකින් කිවහොත්, මහින්ද රාජපක්ෂ පන්නයේ විධායක ජනාධිපති ධුරයටත් වඩා ගොරතර විධායකයක් රටට අවශ්‍ය කරන බවයි.









හැට දෙලක්ෂයේ ඡන්දයට වුණේ මොකක්ද ?









2015 ජනවාරි 8 වැනි දා මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව ඡන්දය පාවිච්චි කෙළේ ඒ විධායක බලාධිකාරී ක‍්‍රමය අහෝසි කොට, විධායක ජනාධිපති ක‍්‍රමයමත් අහෝසි කිරීමටයි. ඒ නිසාම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා, විධායක ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවත්, විධායක ජනාධිපතිවරයා සහ අධිකරණයත් අතර වන සහසම්බන්ධතාව වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කෙළේය. එනම්, පාර්ලිමේන්තුව සහ අධිකරණය යන බල ආයතන දෙක, විධායක ජනාධිපතිවරයාගේ දඬු අඬුවෙන් මුදවා ගැනුණු බවයි. ‘ගෙදර යන ගමන්’ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත්කළ රාජපක්ෂ ක‍්‍රමවේදය ඉවත් කොට, ‘ව්‍යවස්ථා සභාවක්’ හරහා එම විනිසුරන් ඇතුළු රජයේ වෙනත් උසස් නිලතල දරණ පුද්ගලයන් පත්කිරීමට, ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පියවර ගැනුණු බවයි. අද කුමක් කීවත්, ඒ මතය සමග, රාජපක්ෂ පවුලම 2015 ජනවාරියෙන් පසු එකඟත්වය පළ කළහ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඔවුන් සියල්ලන්ම පාර්ලිමේන්තුව තුළ ඒ සඳහා ඡුන්දය පාවිච්චි කෙළේ එබැවිනි.









ඇත්තෙන්ම, දැන් ප‍්‍රශ්නය වන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොව, ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති සිරිසේන විසින් නිදැල්ලේ උල්ලංඝණය කරනු ලැබ තිබීමයි. එම සංශෝධන ඇති කර ගත් දා පටන් එය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම කොටසක්ව තිබේ. දැන් එය, තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. මේ ලියවිල්ල සමග ගනුදෙනු කරන පුද්ගලයන් ඊට අනුගතව හැසිරිය යුතුවා මිස, ඒ ව්‍යවස්ථාව පුද්ගලයන්ගේ ඕනෑ එපාකම්වලට අනුව හැසිරෙන්නේ නැත. යමෙකු එය උල්ලංඝණය කළොත් එය එම පුද්ගලයාගේ වරදකි. උදාහරණයක් වශයෙන්, කෝච්චියකට කෙනෙකු යට වීම කෝච්චියේ වරදක් නොව, යට වූ තැනැත්තාගේ වරදකි. තමා කෝච්චි පාර හරහා යන විට කෝච්චියක් පැමිණීම වරදක් යැයි එම පුද්ගලයාට කිව හැකි ද ?









19 විවේචනය කරමින් රටේ බලය ඉල්ලීම









ජේ. ආර්. ජයවර්ධනගෙන් පටන් ගෙන මහින්ද රාජපක්ෂ දක්වා අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විවිධාකාරයෙන් වෙනස් කර ගත්තේ තමන්ගේ බලය තර කර ගැනීම සඳහා ය. පළමු වරට, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්, විධායකයේ එම බලය සීමා කොට, පාර්ලිමේන්තුවේ බලය පුළුල් කෙරුණු අතර, අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතන ස්වාධීන කෙරුණි. එනම්, රාජ්‍ය බල කදම්භය තුලනය කෙරුණි. ඒ ක‍්‍රමය වැරදි යැයි යමෙකු කියන්නේ නම්, ඔහු / ඇය ඉල්ලා සිටින්නේ වෙන දෙයක් නොව, තනි පුද්ගලයෙකු රජ කැරැවිය හැකි ක‍්‍රමයකි. මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස අද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරන අතරේම තමන් අතට නැවත වරක් බලය ඉල්ලා සිටීම ඉතා භයානක දෙයක් වන්නේ එබැවිනි.









රටේ ප‍්‍රධාන පුරවැසියා මෙසේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම නිසා දැන් මාසයකටත් වැඩි කාලයක් තිස්සේ මුළු රටම අවුලට පත්ව තිබේ. මේ අවුල විසඳා ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ ‘මස් රාත්තලම’ ඉල්ලා සිටිය යුතු නැති බව සමහරු කියති. කෝඳුරු තෙල් හත් පට්ටයකුත් මදි වගක් මේ අවස්ථාවේ නොකිව යුතුව ඇති බවත් තවත් අය කියති.









ඇත්තෙන්ම, මස් රාත්තලම දැන් ඉල්ලා සිටින්නේ කවුද ? මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාම අනුමත කළත් තමන් රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්කරන්නේ නැතැයි කියන පුද්ගලයා වැටෙන්නේ කොයි ප‍්‍රවර්ගයට ද? තමාගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින්, පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වය යටපත් කරමින්, හුදෙක් ස්වකීය ආශාව මත කටයුතු කරන ජනාධිපති සිරිසේන නොවේ ද, මස් රාත්තලම ඉල්ලා සිටින පුද්ගලයා ?









අනිත් පැත්තෙන්, මස් රාත්තලම ඉල්ලා සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ යැයි උපකල්පනය කරමින්, ඔහු සහ ඔහුගේ පක්ෂය වෙනත් අයෙකු අගමැති ධුරයට පත්කිරීම සඳහා මේ අවස්ථාවේ ඉඩ දිය යුතුව ඇතැයි අපි මොහොතකට සිතමු. එවිට ඇති වන්නේ මෙවැනි තත්වයකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සෑම අර්ථයකින්ම නිසරු ලියවිල්ලක් බවට පත්වන්නේය. විධායක ජනාධිපතිවරයා ඉන් මතුවට, රටේ ව්‍යවස්ථාව මායිම් නොකරන්නේය. ව්‍යවස්ථාව මායිම් නොකරන පාලකයෙක් රටේ වෙනත් නීතියකට ගරු කරතැයි සිතිය නොහැක. ඒ සියල්ලටමත් වඩා, රටක් සහ සමාජයක් වශයෙන් එකී අත්තනෝමතික හැසිරීම අනුමත කරමින් අප සියල්ලන් විසින් එකී විධායක මාදිලිය අනුමත කළා වන්නේය. ඒකාධිපතියන් පහසුවෙන් බිහි වන්නේ එවැනි සමාජයකිනි.






https://www.youtube.com/watch?v=CdpWFcUk8p8








ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ෆැසිස්ට්වාදය අතර දෝලනයක





ප‍්‍රශ්නයක් විසඳා ගැනීමට මාර්ග දෙකක් ඇතැයි අපි මොහොතකට සිතමු. ඉන් එක් මාර්ගයක් අනුගමනය කිරීම සඳහා අවශ්‍ය කරන්නේ එක් පුද්ගලයෙකුගේ කැමැත්ත පමණි. ඒ කැමැත්ත මත ප‍්‍රශ්නය විසඳා ගැනීමෙන්, වෙනත් කිසි ප‍්‍රශ්නයක් ඇති නොවන්නේ නම්, එය ප‍්‍රශස්ත විසඳුමක් වන්නේය. අනිත් මාර්ගයෙන් ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහාත් අවශ්‍ය වන්නේ එක් පුද්ගලයෙකුගේ කැමැත්ත පමණක් යැයි සිතමු. එහෙත්, ඒ පුද්ගලයාගේ කැමැත්ත මත ප‍්‍රශ්නය විසඳන අවස්ථාවේ, තවත් ප‍්‍රශ්න රාශියක් ඒ මගින් අලූතෙන් උත්පාදනය කෙරේ නම්, එය ප‍්‍රශ්නය විසඳීමේ ප‍්‍රශස්ත මාර්ගය විය නොහැක.









දැන් මෙය, සිරිසේනට සහ වික‍්‍රමසිංහට ආදේශ කොට බලන්න. සිරිසේනගේ මතය ජය ගත්තොත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුව ආදී සියලූ ආයතන සහ පාලන පද්ධති බෙලහීන වන්නේය. විකෘති වන්නේය. වික‍්‍රමසිංහගේ මතය ජය ගත්තොත්, එවැනි ප‍්‍රතිවිපාකයකින් තොරව, අප පසුගිය ඔක්තෝබර් 25 වැනි දා සිටි තත්වයට ආපසු ගමන් කරන්නේය.









මෙය, රනිල් වික‍්‍රමසිංහ අගමැති කැරැවීම සඳහා කෙරෙන සටනකැයි යමෙකු සිතන්නේ නම්, එය එම අදහසට පක්ෂව සිතුවත් (කැපුවත් කොළ වර්ගයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සිතන ආකාරයෙන්), විපක්ෂව සිතුවත් (රාජපක්ෂලා නොවන සියල්ලන් යූ.ඇන්.පී කාරයන් යැයි සිතන්නන්) කරන්නේ, කැලය කියා ගස හඳුනා ගැනීමකි.









අප අද මුහුණදෙන අර්බුදය තුළ ගොඩනැගෙන සංකල්පීය ආස්ථාන (විධායකය ද, ව්‍යවස්ථාදායකය ද ?) මතුපිටින් නියෝජනය කරන්නේ පුද්ගලයන් වීම (සිරිසේන-මහින්ද-රනිල්) වැලැක්විය හැකි දෙයක් නොවේ. ප‍්‍රශ්නයේ මූලයම පුද්ගලික වන නිසා (‘රනිල්ට මම කැමැති නැහැ’- සිරිසේන) ඒ ප‍්‍රශ්නය වෙතින් මතුවන සංකල්පීය ආස්ථානයන්ට පුද්ගල කේන්ද්‍රීය ගතියක් ආරෝපණය වීම කොහෙත්ම වැලැක්විය නොහැක. එහෙත් ඒ හේතුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ෆැසිස්ට්වාදය අතර තේරීම අප මොහොතකට හෝ අවුල් කර ගත්තොත්, මේ දෙපාර්ශ්වයේම යකඩ සපත්තුවක් යට ජීවත් වීමට අපට සිදුවන කාලය වැඩි ඈතක නොවන බව මතක තබා ගත යුතුය.





















වීඩියෝව - රූපවාහිනී පුවත් ඇසුරිනි 













සබැඳි පුවත් 









ව්‍යවස්ථාවට එරෙහිව යක්ෂාවේශවී සිටින ජනාධිපතිවරයෙක්