'චන්ද්‍රිකා මැතිනිය අපේ පක්ෂයට නැවත හානියක් කරන්නේ නැහැ' - ශාන්ත බණ්ඩාර


අද (7) කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවේදී එහි සභාපති ශාන්ත බණ්ඩාර පැවසුවේ, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග නැවත වතාවක් ශ්‍රීලනිපයට හානියක් නොකරන බව තමන් තදින් විශ්වාස කරන බවයි.





මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ,





‘‘හෙට දවසේ ඕනම තැනක සාමාන්‍යයෙන් ආසන සංවිධායකවරු 40 ක් විතර එකතුකරගෙන සාකච්ඡාවක් කරන්න පුළුවන් මට්ටමක් මටත් තියෙනවා. හැබැයි, ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ පක්ෂේ කඩාගෙන ගිහිල්ලා වෙනම ගොඩනැගෙයි කියලා. ශ්‍රීලනිපෙන් කැඩිලා කවුරුවත් ගිහිල්ලා නැහැ. අපේ ජාතික සංවිධායකතුමා ඉන්නවා, පක්ෂයේ වැඩ බලන ලේකම්තුමා, හිටපු ලේකම්තුමත් ඉන්නවා සක්‍රියව අපේ දේශපාලනයේ. ඒවා අපි ඔක්කොම සාකච්ඡා කරලා කරන්නේ.





චන්ද්‍රිකා අපේ පක්ෂයට නැවත හානියක් කරන්නේ නැහැ






සමහර අයට ඕනකම තියෙනවා මේ ශ්‍රීලනිප ය තවදුරටත් කඩන්න. ඒ කැඩීම තුළ වෙනත් දේශපාලන පක්ෂ වලට මේ රටේ බලය ලේසියෙන් ලබාගැනීම සඳහා තමයි ඒ උපක්‍රම කරන්නේ. හැබැයි අපිත් දන්නවා ඒ උපක්‍රම. ඒ නිසා මතුපිටින් දේශපාලනය වෙනස්, අපේ ඊට වඩා ගැඹුරු දේශපාලනයක් තියෙන්නේ, අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අපේ පක්ෂයට නැවත හානියක් කරන්න උත්සහ දරයි කියලා. මොකද එතුමියට යම් වැරදීමක් ඉතිහාසය තුළ සිදුවුණා. ඒ වැරදීම එතුමිය නිවැරදි කරගෙන තමයි ශ්‍රීලනිපයට නැවත ඇවිල්ලා, මේ රටේ දෙවතාවක් විධායක ජනාධිපතිධූරය දරමින් මේ රටට විශාල සේවාවක් කරන්න හැකියාව ලැබුණේ. ඒ නිසා පාඩම් ඉගෙනගත්ත ශ්‍රේෂ්ඨ නායිකාවක් හැටියට කවදාවත් අපි විශ්වාස කරන්නේ නැහැ එවැනි තත්ත්වයකට එයි කියලා.





ගැටළු තැනි පක්ෂයක් නැහැ - සිත් තැවුලක් තිබෙනවා නම් රට වෙනුවෙන් අපිට එකතුවෙන්න චන්ද්‍රිකා මැතිනියට ආරාධනා කරනවා






අපි ඉල්ලීමක් කරනවා ශ්‍රීලනිපයේ තරුණ පෙරමුණ හැටියට ගරු, චන්ද්‍රිකා මැතිණියගේ යම් හෝ සිත් තැවුලක්, ගැටළුවක් තියෙනවා නම් ඒවා පැත්තකින් තියලා රට වෙනුවෙන් කරන දේශපාලනේ, එතුමියට කිසිසේත්ම දක්ෂිණාංශික දේශපාලනයට යොමුවෙන්න බැහැ. දක්ෂිණාංශික දේශපාලනයට එතුමියට උදව් කරන්න බැහැ, ඒ නිසා එතුමිය විශේෂයෙන්ම අපේ රටේ දැවැන්තම සේවාව කරපු, මේ පක්ෂය බිහිකරපු දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගෙත්, මේ රටට අතිශ්‍රේෂ්ඨ සේවාවක් කරපු දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙත් දියණිය හැටියට ශ්‍රීලනිපයට අබමල් රේණුවකින් වත් හානියක් කරන්න උත්සහ දරන්නේ නැතිවෙයි.






එතුමියත් විශේෂයෙන්ම අපේ මේ ප්‍රගතිශීලී කඳවුර ශක්තිමත් කරන්න නායකත්වය දෙයි, ඒක තමයි අපේ ඉල්ලීම සහ ප්‍රාර්ථනය. අද මොන පක්ෂෙ ද ගැටළු නැත්තේ. ගැටළු නැති දේශපාලන පක්ෂයක් නම් කරන්න. ජනතා විමුක්ති පෙරමුණ ද ජාතික හෙළ උරුමෙ ද එක්සත් ජාතික පක්ෂය ද පොදුජන පෙරමුණ ද මොකේද ගැටළු නැත්තේ. හැම දේශපාලන විවිධ අභ්‍යන්තර ගැටළු තියෙනවා. යම් යම් තනතුරු තියෙනවා. ඒක ලැබුණේ නැත්නම් චූටි කතාබහක් ඇතිවෙනවා. ඒ වගේ පොඩි පොඩි ගැටළු නැති තැනක් නැහැ. ශ්‍රීලනිප ආසන සංවිධායකවරු, දිස්ත්‍රික සංවිධායකවරු 350 කට වඩා ඉන්නවා. ඒකෙන් දැන් දෙන්නෙක් ගියපුවම හානියක් වෙනවද?. යම් මතවාදීමය ගැටළුවත් තියෙනවා නම් ඒවා එකතු කරන්න කටයුතු කරනවා.‘‘ යන්නයි.