ලංකාවේ ක්‍රිකට් සහ කෝප් කමිටුව - Set a thief to catch a thief

කෝප් කමිටුවේ කටයුතු මහජනතාවට විවර වීම ඉතාම හොඳ කටයුත්තකි. එසේම කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති මහතා සිදුකරන්නේ වැදගත් මෙහෙවරකි. ඔහු හොරෙක් නොවේ. 

කතුවැකිය 

සිරි ලංකාව වගේ රටක් ලෝකයේ කොහේවත් නැත. මේ රටේ සිදු වන දේ අමුතුය. රටේ පළමු රජ්ජුරුවෝ පිටරටින්  පැමිණි අයෙක් වූවා සේම රටේ අන්තිම රජ්ජුරුවෝද එසේමය.  මේ වන විට රට පුරාම කතාවෙන ප්‍රධාන මාතෘකාව වන ඉදිරි ජනාධිපතිවරණයේ හැඩතලද එසේමය. රටට සැබෑ නායකයෝ නැත. හැම එකෙක්ම නායකයෙක් වීමට උත්සහ කරති. කරේ රත්තරං බැඳගත් කටුස්සන් සෑම තැනකම පාහේ නැංගුරම් ලා සිටිති. ඉන්න තරමක් ඉන්නේ, තැන දුටු තැන වල ඉහ ගන්නා ජාතියේ කොටසකි. උන්ට අපි පාලකයෝ සහ නිලධාරීන් යැයි කියමු. බොහෝ තැන් වල සේවය කරන නිලධාරීන්ට, දේශපාලනඥයිනට සේම, රාජ්‍යය සම්පත් අවභාවිතය කිරීමට හැරෙන්නට වෙනත් කිසිම වුවමණාවක් නැත. 


මේ අතර කෝප්  කමිටුවේ තවත් එක් හමුවක් ඊයේ පවත්වනු ලැබීය. සාමාජ මාධ්‍ය වලට ස්තූති වන්නට, අදාළ කමිටුවේදී  දැක්වූ අදහස්  සජීවීව විකාශය කරනු ලැබීය. රටට සහ ජනතාවට වැදගත් වන්නේ විවිධ දේශපාලන න්‍යාය පත්‍ර සපුරා ගැනීම සඳහා ජනතාවගේ කාලය සහ මොළ ගෙඩි ව්‍යාකූල කරන රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා නොවේ. ඒවාට වියදම් කරන කාලය,  සමාජ මාධ්‍යය සහ අනෙකුත් නව මාධ්‍යය වලට වියදම් කිරීම යහපත්ය. 

කෝප් කමිටුවේ කටයුතු මහජනතාවට විවර වීම ඉතාම හොඳ කටයුත්තකි. පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කරන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු විකාශය කොට රටේ ආරක්ෂක කටයුතු අදූරදර්ශී ලෙස දේශපාලනීකරණය කිරීම සිදු කළද මෙම කෝප් කමිටුවේ හමුවීම් සියල්ලම සජීවීව විකාශය කිරීම ඉතාම හොඳ කටයුත්තකි. එසේම කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති මහතා සිදුකරන්නේ වැදගත් මෙහෙවරකි. ඔහු හොරෙක් නොවේ.

කෝප් කමිටුව සහ මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ඊයේ උදෑසන රට හමුවේ රඟපෑ නාට්‍යය ඉතාම වැදගත්ය. දෙපාර්ශවයේ සංයුතියද ඉතාම අගනේය.  ප්‍රශ්ණ අසනු ලැබූ පාර්ශවය මෙන්ම ඊට පිළිතුරු ලබා දුන් අයද ලංකාවේ සැබෑ සමාජ ව්‍යුහයේ නියම හරස්කඩකි.

"Set a thief to catch a thief" යැයි  කියමනක් ඉංග්‍රීසි බාසාවේ තිබේ. එහි සරල අර්ථය වන්නේ, හොරෙක් අල්ලා ගැනීම සඳහා හොරෙක් ස්ථානගත කළ යුත්තේය, යන්නය. අදාළ කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස වාඩී වී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් සහ රාජ්‍යය අමාත්‍යවරුන් දෙස බැලීමේදී කිව යුත්තේ එයයි.

කෝප් කමිටුව විසින් සිදු කර ඇති මූලික දේශපාලනික න්‍යාය වන්නේ හොරෙක් අල්ලා ගැනීම සඳහා තවත් හොරෙක් හෝ හොර රංචුවක් ස්ථානගත කිරීමය.  ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන විමසනු ලැබූ ඇතැමුන් ශතයක දෙයක් වංචා නොකළ ශාන්තු වරුන්සේ හැසිරීම ඉතාම විනෝද ජනකය. මහජන දේපල, පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් විසින් මංකොල්ල කෑම ගැන වැදිබණ දෙසන මෙම බොහෝ මහත්වරුන්ගේ චරිතද එසේමය. උන්ට යහපාලනය, රජපාලනය, සම්මුතිවාදය, පවුල්වාදය වැදගත් නැත. උන්ට අවශ්‍යය වන්නේ "ප්‍රසන්ටේජ්" එකය. එනම්, කොමිස් මුදල හෙවත් ඔවුහුගේ බසින් "මාකප්" එකය.

පම්පෝරිය වැඩියෙන් හෙළන්නා කුමක් හෝ සඟවා ගැනීමට උත්සහ කරෙන්නෙකි. මේ සුදු ඇඳගත් සහ බටහිර පන්නයට හැඳගෙන කැඩුණු ඉංග්‍රීසියෙන් සහ නොගැලපෙන සිංහලෙන් දොඩන මහත්වරුන්  ඔක්කෝගෙම ඇත්ත කැරැට්ටුව ඒකය. ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන විශාල කම්පාවෙන් කතාකරන සුජීව සේනසිංහ හෝ මන්හිදානන්ද අලුත්ගමගේ වැනි අයවලුන්ට තම වත්කම් ගැන සත්‍යය වාර්තාවක් රට හමුවේ ඉදිරිපත් කළ හැකිද? මේ මිනිසුන් කරන ජනතා සේවයේ තරම සැඟවී ඇත්තේ එතැනය. ඔක්කොම අමූලික බොරුව සහ අහංකාරකම කරපින්නා ගත් නිශාචර චෞරයින් රෑනකි. ඔවුහුගේ එකම සුදුසුකම තවත් හොරෙක් අල්ලා ගැනීමට ඉතාම කෙටි කාලයකින් දක්ෂ වීමය. කෝප් කමිටුවට ඔවුහු වැදගත් වන්නේ ඒ නිසාය.

එසේම,  මෙරට ක්‍රිකට් පරිපාලනය අතිශය දූෂිත සහ කිසිඳු ගරුත්වයක් දිනා නොගත් ආයතනයකි. ක්‍රිකට් ක්‍රීඩාව ලංකාව  මුළුමනින්ම යහපත් ලෙස වෙනස් කිරීමට හැකියාව තිබූ ක්‍රීඩාවකි. මූල්‍යමය වශයෙන් පමණක් නොව ජාතික සමගිය සහ විදෙස් ප්‍රතිපත්තිය මුවහත් කිරීමටද එය භාවිතා කළ යුතුව තිබුණි. නමුත්, ජාතියේ අවාසනාවට, පාදඩ මාෆියාවක් බවට පත් වූ එය, රටට අපකීර්තියක් ලබා දෙනු ලැබීය.

උග්‍ර ලෙස, නිලධාරීවාදයට සහ දේශපාලනීකරණයට ගොදුරු වූ මෙම ආයතනයට සිදු වූ නස්පැත්තිය කෙතරම්ද යන්න, අඩි තිස්දහසක් උඩ ගුවනේදී මගී ගුවන් යානයක දොර ඇරීමට උත්සහ කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වෙස්ගත් බේබද්දෙකුගේ කෙරුවාවෙන්ම පෙනේ. ඔහු කෙහෙළිය රඹුක්වැල්ල නමැති දේශපාලනඥයාගේ පුත්‍රයාය. ඒහා සමාන සිදුවීම් රාශියකි. 

බලයට පත් වූ සෑම ආණ්ඩුවකම සිටි කඳ පණුවන් රාජ්‍යයට සේවය කිරීමට වඩා, රාජ්‍යය සම්පත් ඇති  තැන් වලට කෙළ හලා ඒවායෙන්  තම  මඩිය තර කර ගැනීමට උත්සහ කළා මිස රටට සහ අසරණ ජනතාවට සේවයක් කිරීමට උත්සහ කළේ නැත. ඔවුහුට ජනතාව යනු තම වාසිය වෙනුවෙන් භාවිතා කළ හැකි විෂයයන්ය.

මේ නිසා, සැබෑ ක්‍රීඩකයින්ට ඉදිරියට පැමිණීමට තිබූ මාර්ග අවහිර කළා පමණක් නොව දක්ෂයින් ඇතිවීමට ඇති අවස්ථාවද අහුරුවාලනු ලැබීය. මෙය ක්‍රිකට් වලට පමණක් අදාළ කාරණයක් නොවේ. රටේ සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත වී ඇත්තේ මෙයයි. වීදියේ සෙල්ලම් කරන කොලු ගැටයෙකු කොළඹ ගෙනවිත් ඔහු ලෝකයේ හොඳම ක්‍රීඩකයෙකු බවට පත්කොට නිරහංකාරව ආඩම්බර වන රාමනායකලා වැනි මිනිසුන් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ නැත.

කෙසේ හෝ වේවා, කෝප් කමිටුව හේතුවෙන් සැඟවී ගඳ ගසමින් තිබෙන කුණු මතුපිටට පාවෙමින් තිබේ.  ඒවායේ දුර්ගන්දය දසත පැතිරෙමින් තිබේ. වැදගත් වන්නේ  ශක්තිමත් රාජ්‍යය ප්‍රතිපත්ති භාවිතා කොට කුණුවී ඇති තුවාලය ශුද්ධ කිරීමය. එලෙස ශුද්ධ කරන විට තව එක් හිරගෙදරක් පමණක් නොව හිරගෙවල් සීයක් තැනීමට සිදුවුවද කම් නැත. වැදගත් වන්නේ, මේ රටේ ජනතාවට තම ආත්මගරුත්වයක් ඇතිව ජීවත් වීමට ඇති වටපිටාව සකස් කිරීමය. පාලකයෙකු අවශ්‍යය වන්නේ එම භාරදූර කාර්යයට මිස වෙන ඉලව්වකට නොවේ.