ගෝඨාගේ මාධ්‍යය හමුව ගැන පසු විපරමක්

දේශපාලන භේදයකින් තොරව මේ රටේ සිදු වී ඇති සමාජ කඩා වැටීම හඳුනා ගත යුතුව ඇත. එයට පිළිතුරු ලබා දිය හැක්කේ සාමුහික වෑයමකිනි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි 

ගෝඨාබය රාජපක්ෂ මහතා අනවශ්‍යය මොහොතක අනවශ්‍යය පිරිසක් පිරිවරාගෙන ගොස් ජනමාධ්‍යය හමුවක් පැවැත් වූයේය. එය නොකළ යුතුව තිබු දෙයකි. එසේම ඔහුගේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ අවධියට සාපේක්ෂව මේ වන විට ඔහුගේ අදහස් වල ඇති ක්‍රමෝපායික බව හීන වෙමින් තිබේ. දේශපාලන පක්ෂවල නායකයින් යැයි තමන් හඳුන්වා ගත්තද, ඔහු වටා සිටින බොහෝ දෙනෙකුට ඔහු හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොමැතිනම් ජනතා බලයක් හෝ දේශපාලන බලයක් නැත. එනයින් බලන කල්හී මොවුහු බොහෝ දෙනෙකු වෙනම දේශපාලන පක්ෂවල නායකයින් ලෙස හැඳින්වීමට වඩා, දේශපාලන පරපෝෂිතයින් ලෙස හැඳින්වීම අර්ථාන්විතය. 

අදාළ ජනමාධ්‍යය හමුවේදී "ද හින්දු" පුවත්පතේ මෙරට වාර්තාකාරිණිය විසින් රාජපක්ෂ මහතා වෙත යොමු කළ ප්‍රශ්ණය සහ එහිදී ඔහුගේ හැසිරීම විවිධ පාර්ශවයන් විසින් විවේචනය කරමින් සිටිති.  අදාළ ගැටලුවට නිවැරදිව සවන් දී සැලකිය යුතු වෙලාවක් ගැනීම වෙනුවට ඔහුගේ  ශරීර බාසාව ( බොඩි ලැන්ග්වේජ්) විසින් ඔප්පු වූයේ, මාධ්‍යවේදිනිය හමුවේ රාජපක්ෂ මහතා අසමත් වූ ස්වභාවයකි. අවාසනාවට මෙන්, ඊට විනාඩි කිහිපයකට පසු, "ද අයිලන්ඩ්" පුවත්පතේ පුවත් කතෘ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු, ගෝඨාබය රාජපක්ෂ මහතාට වැදගත් වන කාරණයක් මතු කිරීමට උත්සහ කළද, ඔහු ඉන් ප්‍රයෝජනයක් ගත්බවක් නොපෙනුණි.

ගෝඨාබය රාජපක්ෂ මහතා
එම කාරණයේ ඇති වැදගත්කම විමසීම වැදගත් වන්නේ, වාර්ගික ප්‍රචණ්ඩත්වය ( එය යුද්ධයක් ලෙස බොහෝ දෙනෙකු නම් කරති. එය වැරදි භාවිතයකි.) අවසාන වූ වහාම ඊට ප්‍රතිචාර දැක්වීමේදී, ශ්‍රී ලංකාව රාජ්‍යයක්, ලෙස වරද්දා ගත් මූලික හැසිරීම එහි ගැබ්වී ඇති හෙයිනි.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙය මනාව විමසා බැලිය යුතු කාරණයකි. මන්ද, ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස දුර්වල වීම හෝ දුර්වල කිරීම සඳහා මෙම මූලික කාරණය ඉතාම බරපතළ ලෙස හේතු වී ඇති හෙයිණි. ඇතැමුන් මෙය නිර්ලජ්ජිත ලෙස භාවිතා කරති.

එවැනි ගැටලුවක් කුමන හෝ තැනකදී අසන අවස්ථාවකදී රාජ්‍යය නායකයෙකු හැසිරිය යුතු ආකාරය කෙසේද? මැතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළද මෙම ගැටලු යළි යළිත් අසනු ඇත. එසේම, බලයේ සිටින්නා කවුරුන් වුවද එවැනි ගැටලු හමුවේ නිරුත්තර වීම හෝ පිළිතුරු ලබා නොදීම හෝ වෙනයම් හැසිරීමකින් ප්‍රතිචාර දැක්වීම සෑම විටම දක්නට ලැබෙන පොදු දුර්වලතාවයකි. මෙය වෙනස් විය යුතුව ඇත. ජාතිකත්වය ගැන පුරසාරම් දෙඩීමෙන් වැඩක් නැත. ඒ වෙනුවෙන් පෙනී සිටීමේ කෞශල්‍යයක් තිබිය යුතුය.

එහිදී, ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස ශමින්ද්‍ර විසින් මතුකළ කාරණය වැදගත් වේ. එනම් වාර්ගික ප්‍රචණ්ඩත්වයේ අවසාන භාගය ගැන පමණක් නොව, හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට බලහත්කාර අතුරුදන් වීම් සිදුවූ අතර ඒ සියල්ල සඳහා ස්වාධීන වෝහාරික විඝනණයක් අවශ්‍ය වේ. එසේම ඉන්දීය සාම සාධක හමුදාව, මෙරටට "සාමය" උදා කිරීම උදෙසා කළ "කැපකිරීම්" වල ආනිසංසය ඉතාම බරපතළ විය. එහිදී දෙමළ වාර්ගික පුද්ගලයින් රාශියක් අතුරුදන් වූ බවත්, බොහෝ දෙමළ වාර්ගික ස්ත්‍රීන් ලිංගික හිංසනයට ලක් වූ බවත්, පිළිගත හැකි ස්වාධීන වාර්තා සාක්ෂි සහිතව සඳහන් කොට තිබේ. අතුරුදන් වීමේ ගැටලුව එක් තනි ආණ්ඩුවක් මත හෝ රාජ්‍යය පාර්ශවයට පමණක් එල්ල කළ හැකි චෝදනාවක් නොවේ. මේ නිසා මෙම ගැටලුව දේශපාලන පක්ෂ භේදයකින් තොරව විමසා බැලිය යුතු කාරණයකි. එය සමස්ථ සමාජය හමුවේ ඇති, විසඳාගත යුතු ගැටලුවකි.

මේ හා සමාන ගැටලුවක් කිසියම් පුද්ගලයෙකු (මාධ්‍යවේදියෙකු හෝ වෙනත් පුද්ගලයෙකු) රාජ්‍යය නායකයෙකුගෙන් හෝ ප්‍රතිපත්ති තීරකයෙකුගෙන්  ඇසූ විට, පළමුව එම ගැටලුවට පිළිතුරු ලබා දීමට පෙර තවත් ගැටලුවක් හෝ ගැටලු කිහිපයක් ප්‍රශ්න අසන සභාවෙන් ලබා ගැනීම ඉතා වැදගත් උපක්‍රමයක් ලෙස බොහෝ දෙනෙකු භාවිතා කරති. එය සාර්ථක උපායකි. ඒ සඳහා අවස්ථාවක් නොමැති නම්, මෙවැනි බරපතළ කාරණා සැහැල්ලුවට ගැනීමට වඩා, ඊට පිළිතුරු දීමේදී ඒ හා සමානව කලාපීය සහ ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සිදුවීම් විමසා බලමින් අදාළ ගැටලුවට තමන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය ගැන සාධනීය පිළිතුරක් ලබා දීම වැදගත් වේ. අවාසනාවට මෙන් රාජපක්ෂ මහතාට එම උපායන් දෙකම එහිදී අහිමි විය.

මෙම ගැටලුව ඇසූ මාධ්‍යවේදිනියට හෝ වෙනත් ඉන්දීය ජාතික මාධ්‍යවේදියෙකුට, කාශ්මීරයේ ඉන්දීය හමුදාව විසින් සිදුකොට ඇති බරපතළ අතුරුදන් කිරීම් ගැන හෝ සමූහ මිනීවළවල් ගැන, ඉන්දීය හමුදාවෙන් හෝ එරට දේශපාලන බලධාරීන්ගෙන් ඇසිය හැකිද? එසේම ඉන්දීය හමුදාව ඉන්දියාවේ ඊශාන දිග ප්‍රාන්ත වල ( අරුනාචල් ප්‍රදේශ්, ඇසෑම්, මනිපුර්, මෙගාලය, මිශෝරාම්, සිකීම්, ත්‍රීපුර) සිදු කොට ඇති බලහත්කාර අතුරුදන් කිරීම් ගැන ඇසිය හැකිද?

ඇසෑම් හී 1983 පෙබරවාරි මාසයේදී සිදු වූ නෙල්ලි සමූහ ඝාතනය ඉතිහාසයෙන් වසන් කොට ඇති මනුෂ්‍යය අපරාධ වලින් එකකි. ඒ ගැන සෙවීම සඳහා කොමිෂන් සභාවක් පත් කළේය.  ඝාතනයට ලක්  වූ නිරායුධ වැසියන් සංඛ්‍යාව දහස් ගණනක් බව හෙළිදරව් විය. නමුත් කොමිෂන් වාර්තාව පොදු ජනතාවගෙන් සඟවා තැබුවේය. එය දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ වඩාත් භයානකම ජන සංහාර වලින් එකක් ලෙස ඉතිහාසයේ සඳහන් වී ඇත. මේවා ගැන කතා කරන්නේ කවුරුන්ද? ඒවා ගැන ලිවීමට මාධ්‍යය නිදහසක් තිබේද? ඒවාට සිදුකළ සාධාරණය කුමක්ද?

ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව රටක් ලෙස වඩාත් උසස් විනයකින් සහ වගකීමකින් කටයුතු කර ඇති බව ඔප්පු කොට තිබේ. ඒවා සාමූහික වගකීම් ලෙස ගනිමින් බොහෝ දෙනෙකු කටයුතුකොට ඇත. මේ ඇත්ත පිළිගැනීම වෙනුවට විවිධ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මෙවැනි බරපතල සමාජ කාරණා විකෘති කිරීම නොහොඹිනා කටයුත්තකි. නමුත් සිදු වී ඇත්තේ එයයි.

ගෝඨාබය රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනය ගැන විවිධ ගැටලු ඇතැමුන්ට තිබිය හැකිය. එසේම ඔහු සමග එකඟ විය නොහැකි කාරණා රාශියක් තිබිය හැකිය. නමුත්, දේශපාලනික භේදයකින් තොරව මේ රටේ සිදු වී ඇති සමාජ කඩා වැටීම හඳුනා ගත යුතුව ඇත. එයට පිළිතුරු ලබා දිය හැක්කේ සාමුහික වෑයමකිනි.

බොහෝ රටවල සිදු වන සහ සිදු වූ ගැටුම් වලට සාපේක්ෂව, මෙරට සිදු වූ වාර්ගික ගැටුම්වලින් පසු ජන ජීවිතය නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක විය. ඉන් බොහෝමයක් සාර්ථක විය. අවුල ඇත්තේ එතන නොව, ඒ කරපු හොඳ වැඩ ටික ලෝකය හමුවේ විකුණා ගැනීමට නොහැකිව අසමත් වීමය.

අවස්ථාවාදී පණ්ඩිතයින් ගොන්නක් රාජ්‍යයේ නායකයා සහ ප්‍රතිපත්ති තීරකයින් මුලාවේ හෙළීය.  ත්‍රස්තවාදය පිළිබඳ ව්‍යාජ විශේෂඥයින්, ගත් කතුවරයින් වූ "රණවිරුවන්", දුර්වල නමුත් මහන්තත්වයෙන් පෙළෙන දේශහිතෛශීන්, යහපාලන විශේෂඥයින්, ආදී බොහෝ දෙනෙකු බිහි වූවද ඔවුහු සිදු කරනු ලැබුවේ, තම තමන්ගේ පෞද්ගලික චරිතය පුම්බා ගැනීම සඳහා කටයුතු කිරීම මිස රාජ්‍යයේ හොඳ නම රැකගැනීම වෙනුවෙන් කටයුතු කිරීම නොවේ.  එසේම, ගෝඨාබය රාජපක්ෂ මහතාට එරෙහිව නගන චෝදනා රාශියක ඇති සැබෑ ස්වරූපය ගෙන බැලීමේදී  පෙනී යන්නේද, ඒවාට පිළිතුරු ලබා දිය යුත්තේ වත්මන් ආණ්ඩුව මිස ඒ මහතා නොවන බවයි.

2015 දී බලය පත් වූ ආණ්ඩුව, රාජපක්ෂ පරිපාලනය තුළදී සිදු වූ අපරාධ ගැන ලෝකය දෙවනත් කළේය. බලයට පැමිණි වහාම ඒ ගැන පරීක්ෂණ ආරම්භ කළේය. ඇතැම් අවස්ථා වලදී අගතියට පත් පාර්ශවවල පවුල්වල සාමාජිකයින් මෙරට තානාපති සේවයට අනියුක්ත කරනු ලැබීය. ඔවුහුගේ ජීවිත සුඛිත-මුදිත කළේය. එය හොඳ දෙයකි.

නමුත්, වසර පහකට ආසන්න කාලයක් ගතවිය. අපරාධකරුවන් සොයා ගැනීමට හෝ ඔවුහුට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට සමත් වූයේ නැත. එනම්, ගැටලුව ඇත්තේ, රාජපක්ෂ පරිපාලනය තුළ යැයි කීම විහිළුවකි. මන්ද, බොහෝ නොවිසිඳුණු දෑ පවතින්නේ වත්මන් ආණ්ඩුවේ දුර්වලතාවයන් නිසාය. ආණ්ඩුව දුර්වල නම්; එය ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට අසමත් වන්නේ නම්. ඊට වගකිව යුත්තේ ආණ්ඩුව මිස විපක්ෂය නියෝජනය කරන පිරිස නොවේ. මෙය මූලික කරගෙන ප්‍රතිචාර දැක්වීම සහ තම පරිපාලන කාලය තුලදී සිදු වූ වැරදි හේතුවෙන් ඇති වී ඇති සැක සංකා නැතිවන ලෙස කරුණු කාරණා ගෙනහැර දැක්වීම සෑම විටම වැදගත් වේ.

එසේම, මැතිවරණයකදී වැදගත් වන්නේ මේ වන විටත් කැමැත්ත දිනාගෙන ඇති පිරිස කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නොවේ. ඒ වෙනුවට, නව බලවේග තමන් දෙසට ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කිරීමද ඒහා සමානව වැදගත් වේ.

තම අපේක්ෂාව ජයග්‍රහණය නම්, ගෝඨාබය රාජපක්ෂ මහතා මූලික වශයෙන් අවදානය යොමු කළයුතු පරාසය මෙය යැයි අපට සිතේ. මැතිවරණය ජයග්‍රහණය කිරීම පමණක් නොව ජයග්‍රහණයකින් පසු සාර්ථක පරිපාලනයක් ගොඩ නැගීම මනා සිහියෙන් සහ ප්‍රවේශමෙන් කළ යුතු කටයුත්තකි.

බලයට පත්වන්නා කවුරුන් වුවද ඔහු සාර්ථක පාලකයෙකු වන්නේ ඔහු සමග සිටින කණ්ඩායමේ එනම් තමන් වටා ඒකරාශී වන සැබෑ දැනුමක් සහ  අවංක  චේතානාවක් ඇති පිරිස මතය.