2020: ගෝඨා - රනිල් මිතුදමේ ඇති රහස කුමක්ද?

ගෝඨාබගේ ඉදිරිපත් වීම, රනිල්ට වාසියක් වන බව ඔප්පු කරනු ලැබුවේ, අද ඊයෙක නොවේ

කතුවැකිය 

ලංකාවේ දේශපාලනය යනු, හිතලුවක් නොව, හිතලුවක් සේ මතුපිට තලය තුළ හැසිරෙමින් අභ්‍යන්තර ව්‍යුහය තුළ සැරිසරන ඉතාම ශූක්‍ෂම සිදුවීම් දාමයක ප්‍රතිඵලයකි. මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් වාරයක් ජනාධිපතිධූරයේ සිටීම සඳහා දැඩි වුවමණාවක්  තිබේ. එම වුමණාවේ ඇති පරාමිතීන්, මූලික කරගෙන පසුගිය ඔක්තෝම්බර් මාසයේදී හෙතම විසින් දියත් කළ මෙරට දේශපාලන ඉතිහාසයේ වඩාත් කූඨතම දේශපාලනික උපාය ගැන යළිත් විමසා බැලීම වැදගත් වේ.  

රනිල් වික්‍රමසිංහ 
දින 52ක් පුරා සිදු වූ දේශපාලන කලහය අවසානයේ ප්‍රතිඵල දෙකක් අප හමුවේ නිර්මාණය විය. පළමුවැන්න, මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩ නැගෙමින් තිබු විශාල ජන බලවේගය බෙදී වෙන්වී ඇති අතර එය කේඩෑරී වෙමින් තිබේ. එය, එය විසින්ම ප්‍රශ්ණ කරන තත්වයකට තල්ලු වී ඇති අතර මීට පෙර එකිනෙකා අතර පැවති සමගිය දෙදරා ගොස් තිබේ. දෙවැන්න, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩ නැගෙමින් තිබු ප්‍රභල ජනතා විරෝධය තනුක වී තිබේ. 

මෙම මූලික දේශපාලන ප්‍රවණතාවයන් දෙක විසින් නිර්මාණය කොට ඇති තෙවැනි දේශපාලන සන්තෑසිය නම්, මෛත්‍රිපාල නිශ්චිත දේශපාලන බලවේගයක් බවට පත් කිරීමය. ඔහු සතුව ඇති ජන බලය ඉතාම සීමා සහිත  වුවත් එය මීළඟ දේශපාලන වෙනස ඇතිකිරීමට හෝ පවතින දේශපාලනික තත්වය ඉදිරියට රැගෙන යෑම සඳහා ප්‍රත්ක්ෂේප කළ නොහැකි කාරණයක් බවට පත් වී තිබේ. නමුත්, මෙය මහින්ද පාර්ශවය මෙන්ම එක්සත් ජාතික පක්ෂය අවතක්සේරු කර ඇති ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි. 

දැනට පවතින දේශපාලන තත්වය වඩාත් සරලව ගෙන බැලුවහොත් මෙසේ විග්‍රහ කළ හැකිය. එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහතා මීලඟ ජනාධිපතිධූර අපේක්ෂකයා බවට පත් කිරීමේ වුමණාවක් තිබේ. අනෙක් පසින් ගෝඨාබය රාජපක්ෂ මහතාට රටේ ජනාධිපති වීම සඳහා දැඩි වුමණාවක් තිබේ. කරු සහ සජිත් යනු ඒක්සත් ජාතික  පක්ෂයේ ( පෙරමුණෙ) සැබෑ දේශපාලන සැලසුම සාර්ථක කර ගැනීම සඳහා භාවිත කරන මූලික විෂයන් පමණි. කරුණු කෙසේ වුවද ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණයක් තිබේ. එනම්, රනිල් මෙහිදී දේශපාලනික වාසනාවන්තයා ලෙස මතුවෙමින් සිටීමයි.  

ගෝඨාගේ ඉදිරිපත්වීම රනිල්ට වාසියක් මිස අවාසියක් නොවේ. මෙනිසා, රනිල්, ගෝඨා බේරා ගැනීමට කළ හැකි ඕනෑම දෙයක් සිදුකරමින් ජනාධිපතිවරණ වේදිකාව දක්වා ඔහු රැගෙන ඒමට අවශ්‍යය කටයුතු සිදුකළ හැකිය.

ගෝඨාට එරෙහිව ඇමරිකාවේ නඩු පවරා ඇතැයි ඊයේ දිනයේ පල වූ පුවත් හා සමාන දෑ ඉදිරි දින වලදීද ප්‍රචාරය විය හැකි නමුත්, ඔහුට ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම සඳහා එවැනි දෑ එතරම් බලපෑමක් සිදු කරනු ඇතියි සිතිය නොහැකිය. නීතියේ මූලික පිළිගැනීම යනු, " චූදිතයෙකු ස්වාධීන අධිකරණ ක්‍රමවේදයක් ඔස්සේ වරදකරුවකු කරන තෙක් ඔහු නිවැරදි කරුය." යම්කිසි කාරණයකට, සැකකරුවකු වූ පමණින් ඔහුට හෝ ඇයට හිමි මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට ලෝකයේ කිසිඳු රටකට බලයක් නැත.  

කෙසේ හෝ වේවා, ගෝඨාගේ  ඉදිරිපත් වීම, රනිල්ට වාසියක් වන්නේ මන්ද? විසඳාගත යුතු මූලික කාරණය මෙයයි. 

ගෝඨාබගේ ඉදිරිපත් වීම, රනිල්ට වාසියක් වන බව ඔප්පු කරනු ලැබුවේ, අද ඊයෙක නොවේ. එය ඔප්පු වූයේ 2005, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට ඉදිරිපත් වීමෙන් පසු මුහුණ දුන් අසීරු තත්වයටය.

මහින්ද, කොටි සංවිධනයට මුදල් දී, රනිල්ගේ ජයග්‍රහණය වළක්වා කෙසේ හෝ ජනාධිපති ධූරය ලබා ගැනීමට සමත් වූ බව පැවසුවේ අදාළ ගනුදෙනුව ගැන වඩාත් හොඳින් දැනසිටි ශ්‍රීපති සූර්යාරච්චිය. එය කිසිවකු විසින් ප්‍රත්ක්ෂේප නොකළහ. මහින්ද මෙය අමතක කොට ඇතැයි සිතිය නොහැකිය. නමුත් පසුගිය ඔක්තෝම්බර් මාසය දක්වා මහින්ද ගොඩ නගමින් සිටි දේශපාලන බලය එම සියලු අභියෝග ජයගැනීමට හැකි බලවේගයකි. නමුත් එහි හුළං ගොස් දැන් පැටලී ඇත්තේ උභතෝකෝටිකයකය.

2020 යනු වසර 15 කට පසු උදාවන තත්වයයි. උතුරු නැගෙනහිර ජනතා කැමැත්ත රනිල්ට අවාසි ආකාරයෙන් හැසිරවීම සඳහා ප්‍රභල දේශපාලන බලවේගයක් ගොඩ නැගී නැත. එසේම, දෙමළ සහ මුස්ලිම් ජන සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වී ඇති අතර, ඔවුහුට හිමි ඡන්දබලයද ඊට සමගාමීව වැඩි වී තිබේ.  ඊට අමතරව, දකුණේ දේශපාලනය විවිධ පාර්ශවයන් මූලික කරගෙන බෙදී තිබේ. මහින්ද, අභිමුඛව සිටින ඇතැමුන්ට මෛත්‍රී අරහං වන අතර තවත් අයවලුන්ට ගෝඨා අරහංය. ඔක්තොම්බර් මාසයේදී සිදු කළ දේශපාලන ක්‍රමෝපාය විසින් හිතා මතා හෝ අහම්බෙන් සිදු කරනු ලැබූ ප්‍රභල දේශපාලන මෙහෙයුම එයයි. 

එනයින් බලන කල මෛත්‍රී එහිදී දැනුවත්ව හෝ නොදැනුවත්ව සහෝගය දක්වා ඇත්තේ රනිල් වික්‍රමසිංහට මිස මහින්ද රාජපක්ෂට නොවේ. මෙම තත්වය හමුවේ, රනිල් වික්‍රමසිංහ මහතා, තමන්ට එරෙහිව දේශපාලන බලවේගයක් නිර්මාණය නොවීමට අවශ්‍යය පරිසරය සකස් කළහොත්, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරමුණ එනම් දෙවැනිවරටත් ජනාධිපති වීමේ සිහිනය බොඳ වනු ඇත.

තම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා  වික්‍රමසිංහ මහතා, ගෝඨා තමන්ට රිසි අයුරින් භාවිතා නොකරාවී යැයි කිව නොහැකිය.සියල්ලට හොරෙන්, ඉතාම ශක්තිමත් වී ඇති මෙම ගෝඨා-රනිල් මිතුදමේ රහස මෙයයි.