The Most/Recent Articles

Showing posts with label ජනපති. Show all posts
Showing posts with label ජනපති. Show all posts

'ආයතන ප්‍රධානීන් පත්කිරීම ප්‍රමාදවීමේ වගකීම අගමැති කාර්යාලය භාරගත යුතුයි' - ජනපති






නව අමාත්‍ය මණ්ඩලය පත් කර සති 03 කට වැඩි කාලයක් ඉක්ම ගිය ද ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බව පැවසු ජනාධිපතිතුමා එය සම්පූර්ණයෙන් වැරදි මතයක් බව ඊයේ (13) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අතර පැවති හමුවකදී පැවසුවේය.





මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු අතර, එමෙන්ම අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප‍්‍රමාදයට හේතු වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ පිළිබඳ කිසිදු වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බව සඳහන් කළේය.










https://www.facebook.com/1960441840868863/videos/vb.1960441840868863/1193728417432439/?type=2&theater




මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා පැවසුවේ,





මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන පසුබිමක ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බවයි.










නීතිය උල්ලංඝනය කිරීම් ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට ඇති ව්‍යවස්ථාවය වගකීම














- ආචාර්ය නිහාල් ජයවික‍්‍රම -









ජනපති සිය බලතල වලට පිටින් කටයුතු කළොත් ඒ ගැන ප්‍රශ්න කළහැකියි





‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද, ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක‍්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය’’ යනුවෙන් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තියේ සඳහන් වෙයි. එබැවින්, ජනාධිපතිවරයාගේ ක‍්‍රියාවන් සම්බන්ධයෙන්, විශේෂයෙන් තමන්ගේ බලතලවලට පිටතින් ඔහු කටයුතු කර ඇති බවක් පෙනෙන අවස්ථාවක එම ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් කරුණු දැක්වීමක් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාමය වගකීමක් ඇත්තේය. එසේ කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයක් හරහා ඔහුට දෝෂාරෝපණය කිරීමට හෝ ඔහුගේ ඉල්ලා අස්වීමක් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තුවට පිළිවන් වන්නේය.









ආත්ම ගරුත්වයක් ඇති ජනපතිවරයෙකු මේ යෝජනාවට ප්‍රතිචාර දක්වන අන්දම දනී









ආත්ම ගෞරවයක් ඇති ජනාධිපතිවරයෙකු, පාර්ලිමේන්තුව සම්මත කර ගත් එවැනි යෝජනාවකට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න දන්නවා ඇත. තව ද, චේතනාන්විතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හෝ රාජද්‍රෝහීත්වය, අල්ලස, දුෂ්චර්යාව, දූෂණය හෝ සදාචාර විරෝධය පිළිබඳ වරදකට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයෙකු වරදකරුවකු කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ඉල්ලා සිටින්නේ නම්, ජනාධිපතිවරයෙකු එම ධුරයෙන් පහ කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.









ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම දෝෂාභියෝගයකට ප්‍රමාණවත්ය





ගිය මාසයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගයක් ප‍්‍රකාශයට පත්කිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කොට ඇති බවට ඒකමතිකව තීන්දු කෙළේය. එය, දෝෂාභියෝගයක් සඳහා ප‍්‍රමාණවත් වරදකි. ඒ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාමය පැනවීම ඉතා සරළ භාෂාවෙන් සටහන් කොට ඇති නිසාම, ‘තමා නීතිඥයෙකු නොවන’ බවටත්, තමා කටයුතු කෙළේ ‘කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන්ගේ උපදෙස් පරිදි’ බවටත් ජනාධිපතිවරයා කියා සිටි නිදහසට කාරණය පිළිගත නොහැක්කේය.









එය ව්‍යවස්ථාවේ 70 (1) දෙවැනි ඡේදයේ සඳහන් වන්නේ මෙසේ ය: ‘‘පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’ එබැවින්, ඒ සරළ වාක්‍යයේ තේරුම ජනාධිපතිවරයාට වටහාගත නොහැකි වුයේ කෙසේද යන්න විමසා සිටීමට පාර්ලිමේන්තුවට අයිතිය ඇත්තේය.








ජනපතිගේ මතකය නැති වෙලාද ?









ජනාධිපතිවරයා විසින් රටේ ව්‍යවස්ථාව චේතනාන්විතවම උල්ලංඝණය කිරීමේ ක‍්‍රියාවලිය පටන් ගත්තේ ඔක්තෝබරයේ එක් සිකුරාදා වක අගමැති රනිල් වික‍්‍රමසිංහව එම ධුරයෙන් පහ කිරීමට කටයුතු කිරීමෙනි. ඊට මාස කිහිපයකට කලින් මේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා සිටි අයෙකි. අගමැතිවරයා ඉවත් කිරීමේ බලයක් අපේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා දී නැත. කලින් ජනාධිපතිවරයාට තිබුණු එම බලය 2015 අප්‍රේල් මාසයේ සම්මත කර ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කොට තිබුණි. ඒ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ද ජනාධිපතිවරයාගේම ආණ්ඩුව විසිනි. එබැවින්, එකී ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාව සිදු කරන ලද්දේ මතකයේ අතපසු වීමක් නිසා ද, නැත්නම් හිතාමතාම තවත් ව්‍යවස්ථා විරෝධී අවශ්‍යතාවක් සපුරා ගැනීම සඳහා ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.









ජනාධිපතිවරයාගේ මේ ව්‍යවස්ථා විරෝධී ගමන, මහින්ද රාජපක්ෂව අගමැති තනතුරේ පිහිටුවීමෙන් තවදුරටත් ඉදිරියට ඇදුණි. අංක 225 දක්වා ගණන් කළ හැකි ඕනෑම පුද්ගලයෙකුට, මහින්ද රාජපක්ෂට පක්ෂව එම ප‍්‍රමාණයෙන් භාගයකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නොතිබුණු බව දැන ගැනීමට පුළුවන් කම තිබුණි. එබැවින්, ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට අනුව, රාජපක්ෂ යනු ‘පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා’ බව ජනාධිපතිවරයා තීරණය කෙළේ කෙසේද යන්න ඔහුගෙන් අසා සිටීමේ බලය පාර්ලිමේන්තුවට තිබේ.









ජනාධිපතිවරයාගේ ඊළඟ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාව වුණේ පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමයි. එසේ කිරීමට ඇත්තෙන්ම ඔහුට බලය තිබේ. එහෙත් එසේ කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ කතානායකවරයාගේ උපදෙස් පරිදි බවට සම්ප‍්‍රදායක් තිබේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක් එසේ වාරාවසාන කරන්නේ, මන්ත‍්‍රීවරුන්ට විරාමයක් ලබා දීමට හෝ ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම පහසු කරලීමට ය. එබැවින් තමාගේ තනි කැමැත්තට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව මේ කියන අවස්ථාවේ වාරාවසාන කෙළේ, මහින්ද රාජපක්ෂට තමාගේ බහුතරය ‘සපයා ගැනීම’ සඳහා කාලය ලබා දීමේ සැඟවුණු අරමුණින් ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමේ බලය පාර්ලිමේන්තුවට තිබේ.









මහින්දට බහුතරය හොයාගන්න රු.මි. 500 ක්









මහින්ද රාජපක්ෂට අවශ්‍ය බහුතරය සපයා ගැනීමට ඔහුට නොහැකි වුණේ රුපියල් මිලියන 500 ක් වැනි අති විශාල මුදලක් ඒ සඳහා මන්ත‍්‍රීවරුන් විසින් ඉල්ලා සිටීම නිසා යැයි ඊට පසුව රූපවාහිනියේ කළ කතාවකදී ජනාධිපතිවරයා කියා සිටියේය. එබැවින්, එවැනි අපරාධ ක‍්‍රියාවක් දියත් වෙමින් සිටි බවට දැනුවත්ව සිටීමට අමතරව, එම ක‍්‍රියාවට සෘජුව හෝ වක‍්‍රව තමනුත් සහභාගී වී ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමේ අයිතියක් පාර්ලිමේන්තුවට තිබේ. එසේ කර ඇත්නම් එය, ‘අල්ලසක්, දුෂ්ක‍්‍රියාවක් හෝ දූෂණයක්’ වන්නේය. එයින් ඕනෑම එකක්, ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ප‍්‍රමාණවත් ය.









මහින්ද රාජපක්ෂගේ ‘ආණ්ඩුව’ කෙරෙහි වන විශ්වාසභංග යෝජනා තුනක්ම පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන සිටියදී පවා ජනාධිපතිවරයා ඒවා නොතකා සිටීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය උල්ලංඝණය කිරීමකි. ඒ වගන්තිය මෙසේ ය: ‘‘ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළහොත් අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.’’ ඉහත කී පරිදි විශ්වාසභංග තුනක් සම්මත කර ගැනීමෙන් පසුවත් එම අමාත්‍ය මණ්ඩලය ඉවත් නොකර සිටීමෙන් නොනැවතුණු ඔහු, පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගන්නා ලද එකී විශ්වාභංග යෝජනා තුළ අඩංගු වූ තමා පිළිබඳ ප‍්‍රශංසාත්මක නොවන යම් වාක්‍යයක් ඉවත් කර ගන්නැයි ද ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාමය බලයක් ජනාධිපතිවරයා විසින් එසේ අභියෝගයට ලක්කිරීම පාර්ලිමේන්තුව ඉවසා සිටින්නේ ද ?









අගමැතිවරයා අමාත්‍ය පදවි වලට යෝජනා කළ අය ජනපති ප්‍රතික්ෂේප කිරීම





ඉන් පසුව වාර්තා වු ආකාරයට, අගමැතිවරයා විසින් යෝජනා කරන ලද ඇතැම් පුද්ගලයන් අමාත්‍ය පදවිවලට පත්කිරීම ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම තවත් ව්‍යවස්ථා උල්ලංඝණයකි. ඒ කාරණයේදී අගමැතිවරයාගේ උපදෙස් පිට කටයුතු කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා බැඳී සිටී. ඇත්ත වශයෙන්ම, අමාත්‍ය මණ්ඩලය පිළිබඳ කාරණයේදී ජනාධිපතිවරයාට ඇති එකම කර්තව්‍යය වන්නේ, අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව තීරණය කිරීමත්, අමාත්‍යාංශ සතු විෂයයන් සහ කර්තව්‍යයන් වෙන් කිරීමත් පමණි. එසේ නිශ්චය කරන ලද අමාත්‍යාංශ සඳහා පත්කළ යුත්තේ කවුරුන් ද යන්න තීරණය කිරීම මුළුමණින්ම අගමැතිවරයාගේ කාර්යයකි. එබැවින්, අගමැතිවරයා යෝජනා කළ පුද්ගලයන් ඇමතිවරුන් වශයෙන් පත්කිරීම ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කෙළේ කුමන ව්‍යවස්ථාමය බලයක් මත පදනම්වදැ යි විමසා සිටීමේ අයිතියක් පාර්ලිමේන්තුවට තිබේ.









පොලීසිය හා රජයේ මුද්‍රණාලයත් ජනපති යටතට ගැනීම





අපේ ව්‍යවස්ථාව යටතේ, අමාත්‍යවරයෙකු විය හැක්කේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට පමණි. ආණ්ඩුවේ සෑම විෂයයක්මත්, කර්තව්‍යයක්මත් එකී අමාත්‍යවරුන්ට පැවරිය යුතුව තිබේ. කෙසේ වෙතත්, මීට පෙර නොවූ විරූ විකාර සහගත සංක‍්‍රාන්ති වගන්තියක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කොට තිබේ. ඒ අනුව, ‘‘ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරයට’’ අදාළ විෂයයන් සහ කර්තව්‍යයන් තමන්ටම පවරා ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේනට අවසර පවරා තිබේ. ඔහු දැන් පාවිච්චි කරන්නේ ඒ අවසරයයි. එහෙත් ඉනුත් එහාට යමින් ඔහු මේ වන විට ‘පොලීසිය’ සහ ‘රජයේ මුද්‍රණාලයත්’ තමන් භාරයට ගෙන, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ. පොලීසියේ කාර්යය වන්නේ අභ්‍යන්තර ආරක්ෂාව සහ අපරාධ පරීක්ෂණයි. ආරක්ෂක යන්නෙන් අදහස් වන්නේ, බාහිර බලවේගවලින් රාජ්‍යයේ ආරක්ෂාව සලසාලීමයි.









2018 දෙසැම්බර් 28 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මුද්‍රණාලය හා ජාතික මාධය මධ්‍යස්ථානය ජනපති විසින් ආරක්ෂක අමාත්‍යංශයට පවරාගෙන ඇති අයුරු








ආරක්ෂාව හා රජයේ මුද්‍රණාලය සම්බන්ධ වෙන්නේ කොහොමද ? 





ඊටත් වඩා, රාජ්‍ය ආරක්ෂාව සමග රජයේ මුද්‍රණාලය සම්බන්ධ වන්නේ කෙසේදැ යි දන්නවා ඇත්තේ ජනාධිපතිවරයාම පමණි. එබැවින්, පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වන ඇමතිවරයෙකුට පැවරිය යුතු යැයි ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වන විෂයයන් සහ කර්තව්‍යයන් තමන්ගේ භාරයේ තබා ගැනීම ගැනීම ගැන ඔහුට එරෙහිව පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.









ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපතිවරයා ය. ඔහුගේම අභිමතය අනුව දැන් මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් නායකයා ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ/එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු යැයි කියන මහින්ද රාජපක්ෂ දැන් විපක්ෂයේ ද නායකයා යැයි කියැවේ. එබැවින්, ආණ්ඩුවේ නායකත්වය සහ විපක්ෂයේ නායකත්වය ඔහුට එක විට දැරිය හැක්කේ කෙසේද යන්නත්, ඒ භූමිකා දෙකේ එක විට කටයුතු කිරීම ව්‍යවස්ථාවේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය පදනම උල්ලංඝණය කිරීමක් නොවන්නේද යන්නත්, ජනාධිපතිවරයාගෙන් අසා සිටීමට පාර්ලිමේන්තුවට හැකියාව ඇත්තේය.









කථානායකවරයාගේ භූමිකාව






ශ්‍රී ලංකා ජනරජය ජනාධිපතිවරයා විසින් පෙර නොවූ විරූ අරාජකත්වයකට ඇද හෙලූ මාස දෙකක පමණ කාලය තුළ අතිශය ධෛර්ය සම්පන්නව, ගර්වාන්විතව සහ මුහුකුරා ගිය පුද්ගලයෙකු ලෙසින් රටේ යෝනිසෝමනසිකාරය ඇති කැරැවීම සඳහා උර දුන්නේ කතානායක කරු ජයසූරියයි. එබැවින්, අපේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැවත නැවතත් චේතනාන්විතව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඉදිරියට පැමිණ කරුණු දක්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තිය යටතේ කතානායකවරයා වෙත පැවරෙන ව්‍යවස්ථාමය වගකීමකි.

































ආචාර්ය නිහාල් ජයවික‍්‍රම
































(2019 ජනවාරි 7 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “Violating Our Supreme Law: Parliament's Constitutional Duty to Act"නැමති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


මේ මඩවගුරට විධායක ජනපති ක්‍රමය ඕනද ?






ව්‍යවස්ථා අර්බුදයේ අවසානයකට





මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත්, අගමැති වශයෙන් රනිල් වික‍්‍රමසිංහ පසුගිය ඉරිදා පත් කරනු ලැබීමත් සමග, ඔක්තෝබර් මාසයේ සිට මේ රට ගැලී සිටි ව්‍යවස්ථා අර්බුදයේ අවසානයකට අප ළඟා වෙමින් සිටින බවක් පෙනේ. මේ අර්බුදය හටගත්තේ, ජනාධිපති සිරිසේන විසින්ම පාර්ලිමේන්තුව හරහා ගෙන එන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව ඔහු විසින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහව අදූරදර්ශී ආකාරයෙන් එම ධුරයෙන් පහකරනු ලැබීමත් සමග ය.





මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබුණු අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ඔහුව අගමැති ධුරයට පත් කරනු ලැබීම මගින් මුළු රටම අවුලකට ඇද දමන ලදී. එසේම ඒ ක‍්‍රියාව, ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ අවස්ථාවක් වශයෙන් ද සනිටුහන් වුණි. අලුතෙන් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ගත නොහැකි වූ විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැර ඊළඟ මහ මැතිවරණයකට දින නියම කෙළේය.





එහි ප‍්‍රතිඵලයක් වූයේ ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේත්, අලූත් අගමැතිවරයෙකු ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම අභියාචනාධිකරණය ඉදිරියේත් අභියෝගයට ලක්වීම ය. අගමැති රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වා ගැනීමට නොහැකි වූ පසු ඔවුන් කෙළේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමයි. ඒ සඳහා ඔවුන් හේතුවක් කර ගත්තේ, කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කරන්නේය යන චෝදනාවකි.





මෙහිදී, මහින්ද රාජපක්ෂට අගමැති තනතුර හෙබවීමට බලයක් නැති බව ප‍්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 කුගේ අත්සනින් යුතුව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණි. ඒ අනුව, දෙසැම්බර් 3 වැනි දා නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය, පෙත්සම විභාග කොට අවසන් වන තෙක්, මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ ක‍්‍රියාකාරීත්වය වාරණය කෙළේය. එහිදී දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සැලකිල්ලට ගැනීමෙන් පසුව අභියාචනාධිකරණය කියා සිටියේ බලයක් නැති පුද්ගලයෙකු අගමැතිවරයෙකු හෝ කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කිරීම මගින් පිළිසකර කළ නොහැකි හානියක් රටට සිද්ධ විය හැකි බවයි.





අනතුරුව දෙසැම්බර් 13 වැනි දා සත්-පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්, ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම ව්‍යවස්ථා විරෝධී බව ඒකමතිකව තීන්දු කෙළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටවත්, හදිසි මහ මැතිවරණයක් කැඳවීමටවත් ජනාධිපතිවරයාට බලයක් නැති බව එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුනි. ඔක්තෝබර් 26 වැනි දා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහව එම ධුරයෙන් අහෝසි කිරීමේ පටන් ජනාධිපතිවරයා විසින් ඇති කළ අවුල මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග තවත් උග‍්‍ර විය.






ජනපති ඝාතනය ගැන කිසිම සාක්ෂියක් නැහැ









ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් තිබිණැයි කියන සිද්ධිය අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් බරසාරව සැලකිල්ලට ගෙන කටයුතු කෙළේ නැති බව ජනාධිපතිවරයාගේ එක් චෝදනාවකි. ඇත්ත වශයෙන්ම රනිල් වික‍්‍රමසිංහව එම ධුරයෙන් ඉවත් කිරීමට අවසාන වශයෙන් පාදක වුණේ එම කාරණය බව ජනාධිපතිවරයා කියයි. එහෙත් කණගාටුවට කාරණය වන්නේ, ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තිබූ එවැනි කුමන්ත‍්‍රණයක් පිළිබඳ කිසි සාක්ෂියක් ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණ මගින් හෙලිවී නොතිබීමයි. ඒ මගින් පැහැදිළි වී ඇත්තේ මේ ඝාතන කුමන්ත‍්‍රණ නාටකය මගින් මුළු රටක්ම අවුලකට ඇද දැමූ බවත්, මාස දෙකකට ආසන්න කාලයක් ආණ්ඩුවක් නොමැතිව ගමන්ට කිරීමට මේ රටට සිදු වූ බවත් ය.





මේ අතර, ‘අලූතෙන් පත්කළ ආණ්ඩුව’ පාර්ලිමේන්තුව තුළ යකා නැටීමත්, ඉවත් කළ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු පිහියක් වැනි ආයුධයක් පාර්ලිමේන්තුව තුළ තර්ජනාත්මකව ප‍්‍රදර්ශනය කිරීමත් සමග දෙපාර්ශ්වය අතර ගැටුම තවත් තීව‍්‍ර විය. කෙසේ වෙතත්, අභියාචනාධිකරණය මගින් රාජපක්ෂ ඇතුළු පිරිස වාරණය කරමින් දෙන ලද තීන්දුව ඉවත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමත් සමග මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් විය.





මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ආණ්ඩුවකින් තොරව ගමන් ගත් රටට ඒ අර්බුදයෙන් ගොඩඒමට දැන් පිළිවන් වෙතැයි සිතිය හැකිය. තාවකාලික අයවැය යෝජනාවක් දැන් සම්මත කර ගත හැකිය. එවැන්නක් නොමැතිව, 2019 ජනවාරි මාසය වන විට මුළු රටම එක තැනක හිර වීමට තිබුණි. මන්ද යත්, ආණ්ඩුකරණය සඳහා අවශ්‍ය කරන කිසි මූල්‍ය ප‍්‍රතිපාදනයක් සලසා ගැනීමේ වෙනත් ක‍්‍රමයක් නොවුණු බැවිනි. ලබන වසරේ ගෙවීමට නියමිත ඩොලර් බිලියනයකට වැඩි මුදල පවා සම්පාදනය කර ගැනීමේ හැකියාවක් අපට නොතිබුණි.





මේ අවුල් වියවුල් සියල්ල ඉදිරියට ඇදෙද්දී ජනාධිපති සිරිසේන එක දිගටම කියමින් සිටියේ, රනිල් වික‍්‍රමසිංහව අගමැති ධුරයට පත් නොකරන බවයි. කෙසේ වෙතත්, අවසානයේදී සිහි කල්පනාවෙන් යුත් යම් උපදෙසක් මත, පසුගියදා (දෙසැම්බර් 16) රනිල් වික‍්‍රමසිංහ එම තනතුරේ පිහිටුවීමට ජනාධිපතිවරයාට සිදු විය.





මේ දෙමාසයක වින්නැහියෙන් රටට අත් වූ එක දෙයක් තිබේ. එනම් ජනාධිපති තනතුරත්, පාර්ලිමේන්තුවත් හෑල්ලූවට ලක්වීමයි. එසේම ඒ ප‍්‍රශ්නය නිසා පෙන්නුම් කළ තවත් කාරණයක් ද තිබේ. එනම්, තනි පුද්ගලයෙකුගේ අතේ බලය ගොනුවන විධායක ජනාධිපති ක‍්‍රමයක් විසින් රටකට කළ හැකි විපත කොතරම් ද යන්නයි. ඒ අනුව, මේ දක්වා සෑම දේශපාලන පක්ෂයක් විසින්ම විටින් විට හෙළාදැක ඇති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ හදිසි වැදගත්කම අපට ඒ මගින් අවබෝධ කර දී තිබේ.





















(2018 දෙසැම්බර් 17 වැනි දා ‘ඩෙිලි මිරර්’ පුවත්පතේ පළවූ,  “A President Stopped in his Tracks & A Country in a Quagmire"  නමැති කතුවැකියේ සිංහල පරිවර්තනය .  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


මහින්ද යයි - රනිල් නැවත අගමැති පදවියේ අනිද්දා දිවුරුම් දීමට නියමිතයි






අනිද්දා දිනයේදී (දෙසැම්බර් 16 ඉරිදා) උදෑසන 10.00 ට රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. 





එමෙන්ම, එළඹෙන සඳුදා (17) නව කැබිනට් මණ්ඩලය ද දිවුරුම් දීමට නියමිතය. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනපති විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ට්වීටර් ගිණුමේ සඳහන් කර තිබේ. 





 






නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ට්වීටර් ගිණුමට නිකුත් කරඇති පණිවිඩය








කෙසේවුවත්, ජනපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශයට පත්කර නැත. 



















පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය අවලංගු කරාවිද ?




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද (5) දිනයේදී අවලංගු කිරීමට සූදානම් බව  නිළ නොලත් ආරංචි මාර්ග හරහා වාර්තා වෙයි.





 

මැතිවරණයක් වුවමනා කාහටද? කුමකටද?

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

මැතිවරණ වනාහි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ මූලිකාංගයකි. නුතන රාජ්‍යයන්හි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ක්‍රියාවට නැංවෙන්නේ මහජනතාව මැතිවරණවලදී සිය ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයන් මගින්බැවින් අප එය හඳුන්වන්නේ “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙනි. ඒ අනුව මහජන නියෝජිතයන් යනු, මහජන මතයේ ප්‍රකාශනය වන අතර, ඔවුන් විසින්තමා ව්‍යවස්ථාදායකය වෙත තෝරා පත්කර එවන ලද ජනතාව නියෝජනය කළ යුතු ද වේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය වෙත අවධානය යොමු කිරීමේදී ප්‍රධාන ප්‍රවණතා කීපයක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න නම්, ජනාධිපතිවරයා විසින් හදිසියේ කුමන්ත්‍රණකාරී ලෙස නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා ඉවත්කර, ඔහුම ප්‍රධාන කොටගත් බලවේග විසින් 2015 දී පරාජයට පත්කළ දූෂිත යැයි චෝදනා ලත් අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීම යන කාරණය සපුරා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී  ක්‍රියාවක් ලෙස ගෙන ඊට විරුද්ධව රට පුරා විවිධ පිරිස් විසින් නොනවත්වා ගෙන යන අරගලයයි.

දෙවැන්න නම්, ජනාධිපතිවරයාගේ සියලු අත්තනෝමතික ක්‍රියා සාධාරණීකරණය කරමින් රාජපක්ෂවාදී වහල් ස්ථාවරයේම සිටිමින් අවිචාරවත් ලෙස ඔවුන්ගේ සියලු දූෂිත ක්‍රියා නොදුටුවාසේ නැවත රජ පවුලක් පාලන බලයට ගෙන ඒම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින පිරිසගේඅතාර්කික බලමුළුව යි.

තෙවැන්න නම්, කුමන පාර්ශවයක් නියෝජනය කරන්නේ දැයි පැහැදිලිව සිතාගත නොහැකි නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පිරිස පිළිබඳව යම් යම් පෞද්ගලික අමනාපකම් ඇති කරගත්, සැඟවී පහරදීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පරාජය කිරීමට උත්සාහ දරනපිරිසගේඅවස්ථාවාදී බලවේගයයි.මොවුන්ගේ හැසිරීම මගින් පිළිබිඹු වන්නේ දිනන පැත්තට සහාය පළකර වරප්‍රසාද දිනා ගැනීමේ චේතනාව යි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීමට වඩාත්ම වුවමනා වී ඇත්තේ ද ඒ වෙනුවෙන් තම කාලය විශාල ලෙස කැප කරන්නේ ද මේ පිරිසයි. අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව අක්‍රිය කර, ජනමතය මුදලට ගන්නට උත්සාහ දරනජනාධිපතිවරයා සහ ඔහුගේ පිහිටෙන් “ගොඩ යාමට” තැත් කරමින් සිටින දූෂිත මහජන නියෝජිතයන් විසින් ද එක හඬින් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසයි. මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම්, මෙම පිරිස් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුනාගන්නේ මැතිවරණය පැවැත්වීම පමණක් ද යන්නයි. ශ්‍රී ලංකාවේ මේ මොහොතේමැතිවරණයක් අවශ්‍ය කාටද? පැහැදිලි බහුතරයක් සහිත දැනට තිබෙන පාර්ලිමේන්තුව ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මැතිවරණයක් යනු,එක් එක් පුද්ගලයන්ගේ පුද්ගලික බල ආශාවන් මුදුන්පත් කර ගැනීම අරභයා, සිතැගි අවස්ථාවක පැවැත්විය හැකි ක්‍රියාවලියක් නොවේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම් ඒවා නිසි කලට නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීම අත්‍යවශ්‍යය. මැතිවරණ පැවැත්විය යුතු නිසි කාල සීමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ එබැවිනි. රාජ්‍යයක සමස්ත ආණ්ඩුකරණයාන්ත්‍රණය යම් නිශ්චිත කාල වකවානුවක් තුළ පවත්වාගෙන යාම යන භාරදූර වගකීමපැවරීම අත්තනෝමතික ලෙස කළ නොහැකිය. මැතිවරණ සඳහා වැය කරනුයේ මහජන මුදල් ය; ඒවායේදී විමසන්නේ මහජන මතයය. එසේනම් මැතිවරණ සම්බන්ධයෙන් තීරක බලය තිබෙන්නේ මහජනතාවටය. 2015 අගෝස්තුවේදී මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් ජනතා නියෝජිතයන්225 ක ගෙන් යුතු පාර්ලිමේන්තුව, එය විසුරුවා හරින ලෙස මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියයොත් හැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, 2020 පෙබරවාරි දක්වා වසර හතරහමාරක් යන තෙක් පැවතිය යුතුය. ඒ අනුව එම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එහි මන්ත්‍රීවරු තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියේ නැත; එහි කටයුතු කරගෙන යාමට නොහැකි ආකාරයෙන් ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ද නැත. එසේ නම් ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති පාර්ලිමේන්තුව සිතාමතා අක්‍රිය කරමින් මහත් අර්බුදයකට තල්ලු කර දමා තිබෙන්නේ, ජනාධිපතිවරයා සහ ඔහු වටා ගොනු වී සිටින කීප දෙනෙකුගේ පුද්ගලික අභිමතාර්ථ සාධනය කර ගැනීමට විනා, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම පිණිස නොවන බව ඉතා පැහැදිලිය.

පෙර සඳහන් කළ පිරිස් අතරින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නන් හැර සෙසු පිරිස් කීමට උත්සාහ කරන දේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය. ඔවුන්ට අනුව, වර්තමාන පාර්ලිමේන්තුව සත්ත්ව උද්‍යානයකි; එහි කාර්යයන් කරගෙන යාමට කථානායකවරයාට පොලිස් ආරක්ෂාව නැතුව බැරිය;කථානායකවරයාපක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන, බටහිර රාජ්‍යයන්ගේ ගැත්තෙකි;කථානායකවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමටවත් නොහැකි ලෙස හැසිරෙන මහජන නියෝජිතයන්ගෙන් යුතු වර්තමාන පාර්ලිමේන්තුවෙන් පලක් නැත; එබැවින් මැතිවරණයක් වහාම පවත්වා, නව මහජන නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළ යුතුය.

දැන් මෙම තර්ක දෙස බලා අපටනිගමනය කළ හැක්කේ මොනවාද? පාර්ලිමේන්තුවේ විනය විරෝධී ලෙස හැසිරෙමින් කථානායකවරයාට කටයුතු කිරීමට ඉඩ නොදුන්නේ කවුද? ඔවුන් එසේ කළේ ඇයි? පාර්ලිමේන්තුව සත්‍ත්ව උද්‍යානයක් බවට පත් කළේ කවුරුන් ද? ඒ ආකාරයේ හැසිරීම් සඳහා අණ ලැබුණේ කාගෙන්ද? කතානායකවරයා කළ යුත්තේ මැරවරයන් ලෙස හැසිරුණු මහජන නියෝජිතයන් සුළුතරයකට යටත්වී බහුතරය නොසලකා හැරීම ද? සුළු පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩු බලය බලෙන් අල්ලා ගැනීමට ගත් වෑයම අසාර්ථක වීම තුළ හදිසි මැතිවරණයක් කැඳවා ඔවුන්ට සහන සැලසිය යුතු ද? උත්තරීතර මහජන පරමාධිපත්‍යය අමු අමුවේ කෙළෙසීම වෙනුවෙන් ලබාදෙන සහනයක් ලෙස මහජන මුදල් කෝටි ගණන් වැය කර, අනවශ්‍ය මොහොතක පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු ද? මහජනතාව එවැන්නක් ඉල්ලා නැත; පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරය නියෝජනය කරන කිසිදු පක්ෂයක් එසේ ඉල්ලා නැත. සුළුතර කණ්ඩායමක් විසින් සිය දූෂිත ගනුදෙනු වසාගැනීම සඳහා බලය අත්තනෝමතික ලෙස උදුරා ගැනීම සාධාරණීකරණය කිරීම අරමුණු කරගෙන පමණක් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනු පෙනේ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මේ මොහොතේ පෙනෙන්නේ මැතිවරණයක් පැවැත්වීම පමණි.

මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක් වුවද, එම මැතිවරණ පැවැත්වෙන්නේ අසාධාරණ වටපිටාවක සුළු පිරිසකගේ මනදොළ සැපිරීමට නම්, ඒවා නිසිකලට නොපවත්වන මහජන මුදල් නිකරුණේ වැය කරන මැතිවරණ නම්, ඒවා ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරනු මිස ජනතා පරමාධිපත්‍ය සුරැකීම අරමුණු නොකරයි. ඛේදවාචකය නම්, හදිසි මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දකින්නන්, තමා සහයෝගය දක්වන පිරිසගේ සෙසු සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන නිහඬ පිළිවෙතයි. ඔවුන්ට මැතිවරණයක් පැවැත්විය යුතුයැයි කියන විට එසේ කීමට බල පෑ සෙසු වටපිටාව නොපෙනී යයි. අත්තනෝමතික ලෙස නීත්‍යානුකූල අගමැතිවරයා ඉවත් කර, පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය නොමැති අයෙකු නව අගමැති ලෙස පත් කිරීම, බහුතරය මිලයට ගනු වස් සහන කාලයක් ලබා ගැනීම පිණිස  පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම, එසේ කිරීම මගින් ද බහුතරය සකසා ගතනොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අධිකරණ නියෝගය හෑල්ලුවට ලක් කරමින් ඊට බලපෑම් කිරීමට උත්සාහ කිරීම, යුක්ති ගරුක නිලධාරීන් සිතාමතා නිලතලවලින් ඉවත්කරමින් අපරාධ විමර්ශන කටයුතුවලට බාධා කිරීම ආදී වශයෙන් ඔක්තෝබර් 26 වැනි දා සිට මේ දක්වා ජනතාව රවටමින්, රට අරාජික කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ අන්තේවාසිකයන් විසින් ගෙනයන අත්තනෝමතික ක්‍රියාවන් කිසිවක් ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කීමට මොවුන්ට වුවමනා නැත.

නිර්ලජ්ජී ලෙස බොහොමයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් සිටී. ඔවුන් සියල්ලන්ටම අවශ්‍ය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහාමැතිවරණයක් අවශ්‍ය බව කියමින් රටේ සියලු  ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙළෙසීමට බලපත්‍රයක් ලබා ගැනීමටයි.කෘතහස්තයැයි කියාගන්නා මාධ්‍යවේදීන්ද, ශාස්ත්‍රඥයන්ද, නීතිවේදීන් ද තම ආත්ම පාවාදෙමින් මැතිවරණයක් වෙනුවෙන් පෙළ ගැසී සිටින්නේ, දූෂිත මැතිවරණයක් මගින් බිහි කර ගන්නා රෙජීමයක වරප්‍රසාද භුක්ති විඳීමට මිස පොදු ජන යහපත පිණිස නොවන බව ඉතා පැහැදිලිය.

කණගාටුව නම්, ප්‍රජාතන්ත්‍රවාදය යන්න අකලට පවත්වන මැතිවරණයක් දක්වා ඌනනය කරමින් සෙසු සියලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතකා හැරීම මගින් තහවුරු වන ලාංකීය සමාජ දේශපාලන විඥානයේ දුගීභාවය යි. මෙය විසින් ලාංකීය සමාජය පතුල නොපෙනෙන අගාධයකට ගෙන යනවා පමණක් නොව ලෝකයේ කොන් වූනොදියුණු අරාජික රාජ්‍යයක් බවට ද පත් කරමින් තිබේ. වගකිවයුතු පුරවැසියන් ලෙස අප කළ යුත්තේ මැතිවරණ ඉල්ලා පුහු තර්ක  ගෙනැවිත් අවස්ථාවාදී දේශපාලකයන්ට තම පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා සහාය දීම නොව, ඊට එරෙහිව ජනතා පරමාධිපත්‍යය සුරැකීම පිණිස ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරීත්වයට තිබෙන අනර්ථකාරී බාධා ඉවත් කිරීමට අරගල කිරීමයි.එනම්, මේ මොහොතේ දැවෙන අවශ්‍යතාව වන්නේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික  බල ක්‍රියාකාරිත්වයට තිරිංග යෙදීමයි.

 

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය  

රුහුණු විශ්වවිද්‍යාලය 

‘‘රට ව්‍යාකූල නොකර ඉවත්ව යන්න‘‘ - බහු ආගමික කණ්ඩායමක් ජනපති ඇතුළු පිරිසගෙන් ඉල්ලයි

ආගමික නායකයින් ද ඇතුළු බහු ආගමික කණ්ඩායමක් විසින් ජනාධිපතිතුමා ඇතුළු සියළු දේශපාලන නායකයින් විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ජනපතිතුමා ඇතුළු දේශපාලන බලාධිකාරිය විසින් මෙරට මිලියන විසි එකක ජනතාව ඇපයට ගෙන රට තුළ දීර්ඝ කාලීන ව්‍යාකූලත්වයක තවදුරටත්  රඳවා තබාගැනීමට කිසිදු අයිතියක් නැති බවත් නැතහොත් ඉවත්ව යන ලෙසත් මෙමගින් අවධාරණය කර ඇත. එම ප්‍රකාශය පහතින් වේ. 

 

‘‘ජනාධිපතිතුමා සහ සියළු දේශපාලන නායකයන් වෙත ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන ආගමික නායකයන්ද ඇතුළු බහු ආගමික කණ්ඩායමක් විසින් කිසිම පෞද්ගලික අපේක්ෂාවකින් තොරව මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ ය.

 

අප මාතෘ භූමිය අද දින මුහුණ දෙමින් සිටින තත්ත්වය පිළිබඳ ඇතිවී තිබෙන බලවත් කනස්සල්ල සහ බිය අප සියලු දෙනාටම එක්ව එක් හඬකින් කථා කිරීමට බල කෙරී ඇත. 2018 ඔක්තෝබර් මස 26 වන දින සිට මේ රටේ පුරවැසියන් සියලු දෙනාම ව්‍යාකූල සහ අවුල් සහගත එමෙන්ම බිය සහ කනස්සල්ලෙන් යුතු තත්ත්වයකට පත්කර ඇත. දිනෙන් දින එකකට පසුව එකක් වශයෙන් සිදුවූ දේශපාලන සිදුවීම් අප සියලු දෙනා තවතවත් ව්‍යාකූලත්වයට, ශෝකයට මෙන්ම අනුක්‍රමයෙන් වර්ධනය වූ අපේක්ෂා භංගත්වයට පත් කර තිබේ. මෙම අර්බුදයට වගකිවයුත්තේ වෙන කිසිවෙකු නොව, අප රටේ මහජනතාව විසින් විශ්වාසය තබන ලද ඔබ සියලු දෙනායි. රට වැසියන් අතරමං කරන ලද මෙම බරපතල විශ්වාසය බිඳ දැමීමේ ක්‍රියාවලියේ මූල හේතුව ඔබ සියලු දෙනාගේ නොවැදගත් දේශපාලන න්‍යාය පත්‍ර සහ බල ලෝභය බව ඉතා දැඩිලෙස අවධාරණය කරමු.

මහජනයාගේ අවශ්‍යතාවලට ද රටේ සංවර්ධනයට ද වඩා ඔබ සියලු දෙනාගේ බලතණ්හාව වඩාත් ඉස්මතුවී ඇති බව පෙනේ. ඔබ සැම මහජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩකොට ඇති අතර ඔබ සැමගේ ප්රකාශන වලින් තවදුරටත් මේ රටේ ජනතාව සහ රට ඔබට වැදගත් වන බව අපට ඒත්තු ගැන්විය නොහැකිය. අප ජනතාවගෙන් අති බහුතරය පසුගිය සති කිහිපය තුළ මෙම විනාශකාරී ක්‍රියා කළාපයේ වර්ධනය ඉවසිල්ලෙන් සහ නිශ්ශබ්දව බලා සිටි බව ඔබ සැම දැනගත යුතුය. දේශපාලන අධිකාරියේ ඉහළම තනතුරු දරන ඔබසැම ජනතාවගේ නීත්‍යානුකුල අයිතීන් සහ ඔවුන්ගේ ශුභ සිද්ධිය නොතකා හරිමින් ‘යහපාලනය’ පිලිබඳ ඔබගේ වගකීම් පැහැර හැර කටයුතු කළ ආකාරය ඔවුහු බලා සිටියහ.

එමෙන්ම අපගේ සමාජයේ ඇති සදාචාරසම්පන්න භාවයේ සමස්ත ව්‍යුහය ඉරා දමා ඇති බවත්, රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජිවන මාර්ග වල සුරක්ෂිත තාව නැවත ගොඩ නැගිය නොහැකි මට්ටමේ තර්ජනයකට ලක් කර ඇති බවත් ජනතාව ඉවසිල්ලෙන් බලා සිටියහ. මෙම අර්බුදයේ හේතුව ඔබ සැම වන බැවින් මෙය විසඳීමේ වගකීම ද ඔබ සියලු දෙනා සතුය. එකිනෙකාට දෝෂාරෝපනය කිරීමෙන් අප වැටී ඇති අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමට නොහැක. මෙම තත්ත්වය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකිය. එමෙන්ම ජනතාවට මෙම වාතාවරණය තවදුරටත් දරා ගත නොහැකි අතර ඔවුන්ගේ ඉවසීම අනුක්‍රමයෙන් හීන වෙමින් පවතී.

ඔබ සැම ගේ වැරදි පිළිගෙන රට සහ ජනතාවගේ අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය දී සියළු දෙනා එක්වී සාකච්ඡා කරන්න. රටේ ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්ට ගරු කරමින් ස්ථාවර පාලනයක් ඇති කිරීමෙන් නීතිය හා සාමය තහවුරු කිරීමට කටයුතු කරන්න. මෙම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නායකත්වය දෙමින් ඒ සඳහා කැප කිරීම් කරන ඔබ සැම අතුරෙන් යම් කිසිවකු වේ නම් ඔහු හෝ ඇය, විශේෂයෙන්ම මැතිවරණ සමයේ, ජනතාවගේ මතකයේ රැඳෙනු ඇත.

එක් දෙයක් නිශ්චිතය. එනම්, මිලියන විසි එකක ජනතාව ඇපයට ගෙන ඔවුන් දීර්ඝ කාලීන ව්‍යාකූලත්වයක තවදුරටත් රඳවා තබා ගැනීමට ඔබ කිසිවෙකුටත් කිසිම අයිතියක් නැත. ඔබ දැන් ප්‍රතිඵල පෙන්විය යුතුය. නැතහොත් එසේ කළ හැකි අයට ඉඩ දී ඉවත්ව යා යුතුය. ඔබ සැම ඉදිරියේ ඇති ගෞරවණීය විකල්පය මෙයයි.‘‘  

 

 

 

 

ව්‍යවස්ථාවට එරෙහිව යක්ෂාවේශවී සිටින ජනාධිපතිවරයෙක්

- ගාමිණී වියන්ගොඩ - 


 

විධායක ජනාධිපතිගේ ආශාවන් හා රුචිකත්වයන් අනුව රාජ්‍ය පාලනයක් ගෙන යන පළමු වතාව


රටේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නොව, රටේ විධායක ජනාධිපතිවරයාගේ ආශාවන්ට සහ රුචිකත්වයන්ට අනුව රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන නිදහස් ලංකාවේ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයා විසින් පත්කරන ලදැයි කියන ආණ්ඩුවක් වශයෙන් ආණ්ඩු දෙකක් මේ අවස්ථාවේ රටේ  පවතින බවක් පෙනේ. ආණ්ඩු දෙකක් එක විට රටක පැවතීම තාර්කික නැත. ව්‍යවස්ථානුකූල නැත. එනිසා, දැනට රටේ කිසි ආණ්ඩුවක් නොපවතින බව කතානායකවරයා ප‍්‍රකාශයට පත්කොට තිබේ. එවැනි තත්වයක් හැඳින්වෙන්නේ අරාජිකත්වයක් වශයෙනි.


ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සිටී. පත්කරන ලදැයි කියන ආණ්ඩුව, පාර්ලිමේන්තුවෙන් පිටත සිට රට මෙහෙයවයි. ඒ පාර්ලිමේන්තුවෙන් පිටස්තර ආණ්ඩුව විධායක ජනාධිපතිවරයාගේ මනදොළ අනුව පත්කර ගත් ‘ආණ්ඩුව’ වන නිසා, පොලීසිය සහ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය පාලනයේ මර්මස්ථාන ඔවුන් අත්කරගෙන සිටී. ඇඟට දැනෙන ආණ්ඩුව ඔවුන්ගේ ය. ඒ නිසාම, විධායකය සතු ව්‍යවස්ථා-විරෝධී එකී පාලනය ‘ආණ්ඩුව’ වශයෙනුත්, ව්‍යවස්ථානුකූල පාර්ලිමේන්තු ආණ්ඩුව ‘විපක්ෂය’ වශයෙනුත්, බහුතරයක් මාධ්‍ය තුළ සහ සාමාන්‍ය ව්‍යවහාරය තුළ, මේ අවස්ථාවේ හැඳින්වෙනු දක්නට ලැබේ.


ආණ්ඩුව යැයි කියන පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ලොව එකම රට ලංකාවයි


තමන් ආණ්ඩුව යැයි කියා ගන්නා පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ එකම රටත් ලංකාවයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ, විපක්ෂ කණ්ඩායම් සහ සුළුතර කණ්ඩායම් විසින් පාර්ලිමේන්තුව වර්ජනය කරනු ලැබීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ හැම තැනකම පාහේ පාර්ලිමේන්තු බහුතරයකින් ආණ්ඩුවක් සමන්විත වන්නේ වුවත්, සුළුතරයේ ආණ්ඩු රටවල් කරවන අවස්ථා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළ නැතිවා නොවේ. එහෙත් ඒ, පාර්ලිමේන්තුවේ වෙනත් පාර්ශ්ව සහ පක්ෂවල නිල නොවන සහයෝගය මත ය. මන්ද යත්, රාජ්‍ය පාලනය සඳහා සෑම කටයුත්තකටම පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය කරන බැවිනි. එනිසා, තනි පක්ෂයකට බහුතරයක් නැතත්, වෙනත් පක්ෂවල සහයෝගයෙන් සුළුතර ආණ්ඩුවක් කරගෙන යාමට පුළුවන් කමක් තිබේ.


 

එහෙත් ලංකාවේ ජනාධිපතිවරයාගේ වර්තමාන ‘ආණ්ඩුව’, ඒ දෙකෙන් එකකටවත් නොගැනෙන පාලනයකි. එය, බහුතර ආණ්ඩුවක් වන්නේත් නැත. සුළුතර ආණ්ඩුවක් වන්නේත් නැත. බහුතර ආණ්ඩුවක් නොවන්නේ, පාර්ලිමේන්තුව තුළ තමන් කෙරෙහි වන බහුතරයක් පෙන්වීමට මේ දක්වා එය අසමත්ව ඇති බැවිනි. සුළුතර ආණ්ඩුවක් නොවන්නේ, එවැනි සුළුතර ආණ්ඩුවක් වශයෙන් පවා පාර්ලිමේන්තුව තුළ පෙනී සිටීම ඔවුන් ස්වේච්ඡුාවෙන්ම මේ මොහොතේ අතහැර දමා ඇති බැවිනි. එය අද හුදෙක්, විධායක බලය දරණ එක පුද්ගලයෙකුගේ ආශාවක් සහ රුචිකත්වයක් මත කටයුතු කිරීම සඳහා, පාර්ලිමේන්තුවෙන් පිටස්තරව පවත්වාගෙන යන රංචු ගැසීමකි. මේ කාරණය, හුදෙක් දේශපාලන සංවාදයක් තුළ සාමාන්‍යයෙන් කෙරෙන ආකාරයේ ‘අනෙකා’ හෙලාදැකීමක් වශයෙන් නොගන්න. එය ඔබටම වාස්තවික පරීක්ෂාවට ලක්කළ හැකිය.


දැන් පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින මන්ත‍්‍රීන් සංඛ්‍යාව කීයද ? එය ගණන් බැලිය හැකි එක ක‍්‍රමයක් වන්නේ, දැන් පාර්ලිමේන්තුවට සහභාගී වන මන්ත‍්‍රීන් සංඛ්‍යාව ගණන් බැලීමෙනි. ඒ ප‍්‍රමාණය, (අර, සේනානායක පවුලෙන් පැවත එන්නේ යැයි කියන ‘භාණ්ඩය’ මේ මොහොතේ සිටින ස්ථානය අනුව ගත් විට) 123 කි. පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීන් සංඛ්‍යාව 225 කි. ඒ අනුව, පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ 102 කි. (ඒ අතරේ, වර්ජනය කිරීමට නොව, වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුවට නොඑන පිරිසකුත් සිටිති.) ඒ කෙසේ වෙතත්, මේ සමස්තය, මොන පැත්තකින් ගත්තත් සුළුතරයක් මිස බහුතරයක් නොවේ. පසු ගිය ඔක්තෝබර් 26 වැනි දා සිට, ජනාධිපති සිරිසේන ගණිත පටලැවිල්ලක සිරව සිටී. ගණිතය තරම් නිශ්චිත දෙයක් විද්‍යාව තුළ නැත. ඒකක දෙකට, ඒකක දෙකක් එක් කළ විට, එය ඒකක හතරක් බව ව්‍යවහාරික ලෝකය ඒකමතිකව පිළිගනී. එහෙත් එතරම් නිශ්චිත නැති මුත් සාමාන්‍ය ඇසට පැහැදිළිව පෙනෙන තවත් කප්පරක් දේවල් ගැන කිසි ලැජ්ජාවකින් තොරව මේ වන විට බොරු කරන සහ බොරු කියන සිරිසේන, මේ අංකගණිතය ගැනත් දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ බොරු කරමින් සිටී. ඔහු කියන්නේ, 102 යනු පාර්ලිමේන්තුවේ බහුතරය බවයි.



රාජපක්ෂලා මේ සැකහැර ඔප්පු කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට නැති බවයි


 මේ මගින් රාජපක්ෂලා සැක හැර ඔප්පු කොට පෙන්වා ඇත්තේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් තමන්ට නොමැති බවයි.


පසුගිය 25 වැනි දා විදේශ මාධ්‍යවේදීන් සමග පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත තිබුණත් රනිල් වික‍්‍රමසිංහට හෝ සරත් ෆොන්සේකාට තමා අගමැති ධුරය නොදෙන බවයි. මේ ගැන අපේ රටේ උත්තරීතර ලියවිල්ල වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ කුමක් ද ?


‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.’’ (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය).


එහෙත් ඉහත කී පරිදි, රනිල් වික‍්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා වෙත පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුම් කළත් තමා ඒ දෙන්නාගෙන් කිසි කෙනෙකු අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරන්නේ නැතැයි ජනාධිපතිවරයා කියන විට, ඉහත කී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය අපට කියැවීමට සිද්ධ වන්නේ මෙසේය:


‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති, රනිල් වික‍්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා නොවන, මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය’’.


ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද ? 


මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවබෝධ කරගෙන ඇති පරිදි, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු, තමාගේ අභිමතයට අනුගතව, තමාට පහළින් සහ තමාට යටත්ව සිටින ලියවිල්ලක් විය යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන නැමැති පුද්ගලයා මේ රට කරවන්නේ 1815 ට කලින් දවසක විණි නම්, ඔහුගේ මේ කල්ක‍්‍රියාව අපට යුක්ති සහගත කර ගැනීමට ඉඩ තිබුණි. එදා ලංකාවේ පැවති රජ ක‍්‍රමයට අනුගත සම්ප‍්‍රදාය යටතේ, රජුට බලය පැවරුණේ දළදා ස්වාමීන් වහන්සේගෙන් ය. දළඳා ස්වාමීන් වහන්සේ අත්පත් කර ගත් තැනැත්තා ලංකාවේ රජ කමට සුදුස්සා බවට සම්මතයක් එදා තිබුණි. ඊට තරමක් ඈත කාලයක, එනම් 18 වැනි සියවසේ අවසාන කාලයට ඉහතින් යුරෝපයේ රාජ්‍ය ක‍්‍රමයේ සම්මත සම්ප‍්‍රදායත් එයම විණි. ඔවුන්ගේ රජවරුන්ට රාජ්‍යත්වයේ බලය ලැබුණු බව විශ්වාස කෙළේ දෙවියන් වහන්සේගෙනි. එනම්, ලෝකයේ හැම තැනකම රජුගේ හෝ නායකයාගේ බලයේ උල්පත වුණේ ලෝකෝත්තර ප‍්‍රභවයක් බවයි. මේ ලෝකෝත්තර මූලාශ‍්‍රය හෙවත් බලයේ ප‍්‍රභවය සාමාන්‍ය ජනතාවට පරීක්ෂාවට ලක්කළ නොහැකි විය. ඒ රාජකාරිය එදා ඉෂ්ට කෙළේ, පූජක පංතියයි. යුරෝපයේ නම් පල්ලිය ය. ලංකාවේ නම්, පන්සල ය.



ලෝකයා, එම රාජ්‍ය ක‍්‍රමයෙන් ප‍්‍රජානත්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමයට සංක‍්‍රමණය වූ පසු, මේ බල මූලාශ‍්‍රය උඩුයටිකුරු විය. එය, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන වචනය තුළම ගැබ්ව තිබේ. ප‍්‍රජාව යනු ජනතාවයි. තන්ත‍්‍රය යනු පාලනයයි. එනම් ජනතාවගේ පාලනයක් බව ය. එහිදී, බලය උත්පාදනය වන්නේ හෙවත් බලයේ තිඹිරිගෙය වන්නේ, දෙවියන් වහන්සේ හෝ ආගමක් හෝ නොව, ජනතාව ය. එය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ මෙසේ සඳහන් කොට තිබේ:


‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.’’


ඒ පරමාධිපත්‍යයේ ස්වභාවය සහ එය ක‍්‍රියාත්මක වන ආකාරය දන්වා ඇති ලියවිල්ල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. දෙවියන් වහන්සේගෙන් එදා රජුට ලැබුණු බලය පාලනය කිරීමට දෙවියන් වහන්සේ මහ පොළොවේ වැඩ සිටියේ නැත. මහ පොළොවේ පය ගසා සිටි මහජනතාවට දෙවියන් වහන්සේව ප‍්‍රශ්න කිරීමට බලයක් තිබුණේ නැත. අද එය මුළුමණින් අනිත් පැත්තට හරවමින්, බලයේ අයිතිකාරයා වන මහජනතාව, තමාව පාලනය කිරීමට පාලකයාට බලය පවරන්නේ, පාලකයා විසින් එම බලය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන්නේ ද යන්න බලාකියා ගැනීමට මාර්ගයක් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ද සකසා එය රටේ රාජ්‍යකරණයේ මුල්ගල වශයෙන් ස්ථාපිත කර ඇති තත්වයක් තුළ ය. එතැන් පටන් පාලකයා කටයුතු කළ යුත්තේ, ඒ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මිස, හිතුවක්කාරීව හෝ අත්තනෝමතිකව හෝ නොවේ.


රටක ව්‍යවස්ථාවක අඩංගුව මූලික නියාමය ජනපති අවබෝධ කරගත යුතුයි


රාජ්‍යකරණයට අදාළව රටක ව්‍යවස්ථාවක අඩංගු ඒ මූලික නියාමය සිරිසේන මුලින්ම අවබෝධ කර ගත යුතුය. ඔහු කියන ‘සම්ප‍්‍රදාය’ අයත් වන්නේ රජ කාලයට බව එවිට ඔහුට වැටහෙනු ඇත. රජ වෙන්නට සිටි මහින්ද රාජපක්ෂට 2015 ජනවාරි 8 වැනි දා අත්වූ ඉරණම, මේ රටේ වෙනත්  ඕනෑම පුද්ගලයෙකුටත් අනාගතයේ වලංගු වන බව, අවසාන වශයෙන්, මේ අවස්ථාවේ සිරිසේනට සිහිකැඳවීමට කැමැත්තෙමි.


 

(වීඩියෝව අන්තර්ජාලයෙනි)

 

සබැඳි පුවත් 


 

ඡන්දය කුමකටද ? කුමක් සඳහා ද ?

 

මිරිස්කුඩු ප්‍රහාර සහ හිංසාකාරී අවි රැගෙන ඒම ගැන පරීක්‍ෂණ කරනවා- කථානායක

කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තු  සභා ගැබ තුළට හිංසාකාරී අවි රැගෙන ඒම සහ මිරිස්  කුඩු ප්‍රහාරයක් එල්ල වීම පිළිබද මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බවයි. මේ සම්බන්දව  අද 19 වනදා කථානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනය පහතින්..




 

 

සබැඳි පුවත් 

 

”ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි” – කතානායකගෙන් ජනපතිට පිළිතුරක්

සිරිසේන ජනපතිගෙන් කථානායකට මධ්‍යම රාත්‍රියේ පිළිතුරක්

විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට – කථානායක නිවේදනය කරයි 

පාර්ලිමේන්තුව හෙටට කල්දැමේ 

 

සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ

සුනන්ද දේශප්‍රිය


තුරුම්පු කියා සිරිසේන ඇද්දේ ජෝකරයෙක්


තුරුම්පු කියා සිරිසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර ඇඳුමට බැස සිටින සෙයකි.


අහන අහන හැමෝම අද මෙරට කියන, අසන කතාව කුමක්ද ?. එනම්, ‘මේ මිනිසාට අන්ද කයිප්පු කැවුණේ කොහොමද ?’ කියා ය. වෙස්වෙලා ගෙන මහ රෑ ගමින් ගම යමින් රටෙහි ඇත්ත සෙවූ ජනප්‍රවාද ගත රජතුමා මෙන් ඇත්තට ම සිරිසේනට වෙස් මූණක් දාගෙන රට වටේ රෑට රෑට යන්නැයි උපදෙසක් දෙන්නට ඔහුගේ කේවට්ට උපදේශකයින්ට බැරිද ?


 

‘රජතුමා හෙළුවෙන්‘



රටේ ජනයා සිරිසේන ගැන කියන කතා ඇත්තට ම ඔහු දන්නේ නැතිවාවත්ද ?, ‘රජතුමා හෙළුවෙන්‘ යැයි කියන්නට සමත්කම ලැබෙන්නේ සව්වන්ට සහ කේවට්ටයින්ට නොව කොලු ගැටයකුට පමණ ය. රටේ මිනිස්සු තමා ගැන කියන දේ දන්නේ නම් සිරිසේනට සිදුවන්නේ අපේ පැතිවල මිනිස්සු අපතයින්ට කියන ලෙස බනිස්ගෙඩි දෙකක් අරං ගල් ගෙඩියක් බැඳගෙන බඩද පලාගෙන මුහුදට පනින්නට ය.


සමහර විට තවමත් රටෙහි ජනප්‍රියම දේශපාලනඥයා රාජපක්ෂම විය හැකිය. සිරිසේනගේ පාපයට, කර ගැසීමෙන් ඔහු කළේ දුවන කෝච්චියකට පැනීම ය. සිරිසේන විසින් රටේ ඇතිකළ වියවුලේ පාපය දැන් අයත් වන්නේ වික්‍රමසිංහට නොව රාජපක්ෂට ය.  සිරිසේනට මුක්කු ගහනන්නට ගිය රාජපක්ෂ දෙමළ මුස්ලිම් පක්ෂ ද සිය පසමිතුරන් බවට පත් කර ගත්තේ ය.


රාජපක්ෂට දුවන කෝච්චියක් - වික්‍රමසිංහට වේග බෝට්ටුවක්


ඇත්ත වශයෙන් ම නම් කිදාබසිමින් සිටි වික්‍රමසිංහට සිරිසේන විසින් ලබා දුන්නේ වේග බෝට්ටුවකි. (ඒ බෝට්ටුවෙන් වික්‍රමසිංහ තනියම බුදුවන්නට ගියහොත් යළි කිඳා නොබසිනු ඇතැයි කිව නොහැකි ය.)


මේ සටහන ලියන්නේ 15 වන බ්‍රහස්පතින්දා ලංකාවේ වේලාවෙන්  අළුයම ය. ඉදිරි පැය 24 ඇතුළත අර්බුදය විසඳන බවට සිරිසේන කියා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අතරම වාර්තා වන්නේ සියළු අමාත්‍යාංශයන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස සිරිසේන නියෝග කර ඇති බවකි.  සිරිසේනට දැන් අවශ්‍ය නම් යළිත් වතාවක් පාර්ලිමේන්තුව කල් තැබිය හැකිය. ඒ මගින්ද සිදුවනු ඇත්තේ අර්බූදය තවත් උග්‍රවීම පමණි.


දැන් සිරිසේන බලයෙන් කොතරම් දූෂ්‍ය වී ඇත් ද යත් ඔහු විසින් කතානායක කරු ජයසූරිය පිළිගන්නේ ද නැත. ඔහු තවමත් පිළිගන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය නැති රාජපක්ෂගේ අනීතික ආණ්ඩුවයි. තමන් රාජපක්ෂ අගමැති ලෙස පත්කීරීම සාධාරණ කිරීමට ‘පොඩි එකාගේ ලියුම’ක් යවමින් සිරිසේන කියන්නේ  2015 ජනවාරියේ දී වික්‍රමසිංහ අගමැති බවට පත් කළේ ද බහුතරයක් නොමැතිව බවයි. නමුත්, සිරිසේන වසන් කරන්නට යන්නේ ඔහු පොදු අපේක්ෂකයා ලෙස කළ මුල් කතාවෙහිදී ම තමා ජනාධිපතිවුවහොත් වික්‍රමසිංහ අගැමති කරවන බවට ප්‍රකාශ කළ බවය. ඔහු ලද ජනවරමට ඒ පොරොන්දුව ද ඇතුළත්ව තිබුණි.


සිරිසේන කුණාටුව



අනෙක් අතට වික්‍රමසිංහට විරුද්ධව ඒ වන විටත් සිරිසේනගේ නායකත්වය යටතට පත්ව තිබූ ශ්‍රීලනිපය පියවරක් ගත්තේ ද නැත. වික්‍රමසිංහ අගමැති බවට පත් නොකරන ලද්දේ නම් සිරිසේනට වහාම ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවීමට සිදුවන්නට තිබුණි. එසේ වූයේ නම් වික්‍රමසිංහ ලෙහෙසියෙන්ම පාර්ලිමේන්තු බහුතරය දිනා ගන්නටත් තිබුණි. වික්‍රමසිංහට වැරදුණේ බැදුම්කර වංචාව හෙළිදරව් වී මහා අපවාදයක් බවට පත්වීම නිසා ය.


සිරිසේන විසින් නීති විරෝධී ලෙස රාජපක්ෂ අගමැති කිරීමෙන් පටන් ගත් දුෂ්ඨ දාම ක්‍රියාදාමය දැන් මුළු රටම වෙලා ගත් දේශපාලන ආර්ථික සමාජීය කුණාටුවක් බවට පත්ව තිබේ.  හෙට සිදුවන්නේ කුමක්දැයි දන්නා කෙනෙක් නැත.  එකක් පසු පස එකක් බැගින් අර්බූද වැලක් ඇති වේගෙන යයි.


සිරිසේන පාර්ලිමේන්තු බහුතරය පිළිනොගන්නේ නම් කතානායක පිළිනොගන්නේ නම් ව්‍යවස්ථාව පිළිනොගන්නේ නම් ඔහුට යා හැක්කේ කොහාටද‍ ?. කතානායකවරයාගේ තීන්දු සහ වාර්තා පිළිනොගන්නා නිසා සිරිසේන හමුනොවීමට විශ්වාස භංග යෝජනාවට පක්ෂ වූ සියළු දේශපාලන පක්ෂ බදාදා රැයෙහි තීරණය කිරීම ඔහුට එල්ල වූ අලුත්ම කණේ පහර ය. විශ්වාස භංගයකින් පරාජය වූ රාජපක්ෂ අගමැති තනතුරේ තබා ගැනීමත්, ඒ සමඟම අහෝසි විය යුතු ඇමැති මණ්ඩලය එලෙසම පවත්වා ගැනීමත් වැරදි බවට කවරකු හෝ අධිකරණයට ගිය හොත් සිරිසේනට වැලේ වැල් නැතිවනු ඇත.


සිරිසේන බූරු පිටියක මෙන් තුරුම්පු ඇදීමෙන් රටක දේශපාලනය හැසිරවිය හැකි යැයි සිතා සිටි සෙයකි. මහා කයිවාරුවක් ගසා ඔහු තුරුම්පු ඇද්දේ වික්‍රමසිංහ පරාජය කරනු පිණිස ය. ඔහුගේ රාජපක්ෂ තුරුම්පුව දැන් පාර්ලිමේන්තුවෙහි කැපී ගොසිනි. විසුරුවා හැරීමේ තුරුම්පුව කල් ගියේ ය. යළිත් කල් දැමිම හැරුණ විට දැන් ඔහුට ඇත්තේ එකම එක තුරුම්පුවක් පමණි. එනම් ඍජු ආඥාදායකත්වයේ තුරුම්පුව පමණි.


දැන් ඔහුට කියා දේශපාලන පක්ෂයක් ද නැත. වැඩි කල් නොගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඔහුගෙන් ගිලීහි යන්නට ද ඉඩ තිබේ. එහි පාරම්පරික අයිතිකාර පාර්ශ්වයන් දැන ඇහැ ගසාගෙන ඉන්නේ යළි පක්ෂය අල්ලා ගන්නට ය. සිරිසේනටය කියා එකදු දේශපාලනඥයකුවත් නැති දවසක් උදාවන බව දැන්ම ලියා තැබිය හැකි ය.


ඔක්තෝබර් 26 දා තමා විසින් දියත් කළ දේශපාලන කුමන්ත්‍රණය දැන් සිරිසේනට ඉදිරියට ගෙන ගිය හැක්කේ ලේ සහ බෝම්බ දුමාරය මැදින් පමණි.  නැත්නම් ඔහු ආපසු හැරී ආණ්ඩු බලය වික්‍රමසිංහට ලබා දිය යුතුය.  ඒ වනාහී සිරිසේනට හීනෙන්වත් සිතිය නොහැකි තෝරා ගැනීමකි. මන්ද යත්, එසේවුවහොත් සිරිසේන - රාජපක්ෂ නීති විරෝධී ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කළ බොහෝ දෙනෙකු උපමා උපමේය ව්‍යවහාර බසින් කියන්නේ නම් ගහේ යන්නට ඉඩ තිබෙන නිසා ය. ඇත්ත වශයෙන්ම නම් දිනෙක ව්‍යවස්ථාව කෙළෙසා දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම සම්බන්ධයෙන්, සමහරවිට දස වසරකට පසු හෝ සිරිසේන ද ගහේ යන්නට ඉඩ තිබේ.  ඔහු විසින් රට ගෙන යමින් සිටින්නේ පතුලක් නැති අඳුරු අගාධයකට ය.


සිරිසේන වැටුණේ ඔහුගේම කේවට්ටයන් කැපූ වලක


යුද ආඥාදායකත්වයක් මෙරට ඇති කිරීම ලෙහෙසි නොවේ. එවැනි හැකියාවක් තිබුණේ නම් ඒ රාජපක්ෂට පමණ ය. නමුත් අසල්වැසි ඉන්දියාව ගැන නොසිතා එවැනි පියවරකට මොළේ ඇති දේශපාලනඥයකු යන්නේ නැත.  පූජිත වැනි අපූජිතයකු යොදා ගෙන පොලිස් රාජ්‍යයක් ඇති කිරීමට ද නොහැකි ය.


ස්වකීය කේවට්ටයින්ගේ කීම් බස් අසා සිරිසේන තමන් විසින්ම කපා ගත් මෙම වළෙන් ඔහු ගොඩ එන්නේ කෙසේද යන ප්‍රශ්ණයට තාර්කික පිළිතුරක් සෙවීම දුෂ්කරය‍. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය සාර්ථක වෙනු ඇතැයි එතරම් විශ්වාසයක් තබා ගැනීමට ද නොහැකිය. මන්ද යත් සාධාරණ හේතු සාධක නොමැති නම් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරියට ගෙන යාමට අවසර නොදෙන නිසා ය. දැන් ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුව කල් දමන්නැයි එකී කේවට්ටයින්ම උපදෙස් දෙන බව කියනු ලැබේ. සිරිසේන ඒ මඩවලටත් නොබසිනු ඇතැයි කීමට නොහැකි ය.


දැන් අවසානයට මේ ටිකත් කිව යුතුය.


2015 මැද භාගයේ දී  සිරිසේනගේ සව්වකු මට පණිවිඩයක් එවී ය. ඒ පයින්ඩයෙන් කියැවුණේ රාජපක්ෂ ගැන මා ‘රාවය‘ පුවත්පතට ලියූ ලිපි කිහිපයක් පොත් පිංචක් ලෙස පළ කිරීමට අලුත පත්ව සිටි ජනපති සිරිසේනට සිතක් පහළ වී ඇති බව යි. ඒ 2015 අගෝස්තු මැතිවරණයේ දී රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරය පිණිස ය‍.


පණිවිඩය ගෙනා සව්වා මට මෙසේ කීවේය: ‘ජනාධිපතිතුමා කවදාවත් කීයටවත් රාජපක්ෂට නම් යළි තැනක් දෙන්නේ නෑ’ ඒ ලිපි කිහිපය සිරිසේනගේ දායකත්වයෙන් පිටපත් ලක්ෂයක් ම මුද්‍රණය කරන ලද්දේ ‘වහල් බවින් නිදහස්වීම’ යන නමිනි.


සිරිසේනට අමතක වී තිබූ ‘වහල් බවින් නිදහස්වීම’ ලිපි මාලාව



සිරිසේන විසින් ම තෝරා එහි ඇතුළත් කරන ලද ලිපි මෙසේ ය: ‘ පොලිස් රාජ්‍යය, හිට්ලර් සහ මානව හිමිකම් මතක් වීම’; ‘මෙන්න රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන යහපාලනය’; 19වන සංශෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය; ‘පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකිද ?’.


 

සිරිසේනට අමතක වී තිබෙන බව පෙනෙන ඒ ඉතිහාසය යළි මතක් කළ යුතු යැයි සිතුණේ ඔහුගේ නීතිඥයා ලෙස පසුගිය 12දා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙනී සිටි නීතිපතිවරයාගේ නින්දා සහගත තර්ක දුටු විට ය. නීතිපතිගේ තර්ක අනුව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරුවා ඇති විටෙක පවා ඒ පිළිබඳ නඩු විභාග කිරිමට මෙරට කිසිම අධිකරණයකට අයිතියක් නැත. එමෙන්ම ඔහු තර්ක කළේ 19වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල කිසිසේත් ම සීමා කර නැති බවට යි. (නීතිපතිවරයාගේ භූමිකාව රජවාසළ කවටයකු වීම නොව ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම යැයි හිටපු පුවත්පත් කතුවරයකු සමාජ ජාලයකට ලියා තිබුණි.) සිරිසේනට වසර පහක් නොව හයක් ම බලයේ සිටිය හැකි යැයි කියන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පස්ස බිම ඇණ ගත්තේද මේ නීතිපතිම ය.


 යමෙකු වසළයෙකු වන්නේ සිය ක්‍රියාවෙන්මය



සිරිසේන විසින්ම දායකත්වය සපයා මුදුණය කරන ලද ඉහත කී පොත් පිංචේ  ඇතුළත් වූ එක් ලිපියක් 19වන සංශෝධනය අරභයා ය‍. දැන් සිරිසේන කියන්නේ ඉන් තමාගේ බලතල සීමා නොවූ බව ය. සිරිසේන වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඉදිරිපත් කරන ලද තර්ක අනුව ඔහුට ඕනෑම අවස්ථාවක ඕනෑම වාර ගණනාවක් සිය සිතැඟි අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ය.


පුරවැසි බලය එකතුවෙහි මූලිකයකු වූ මහාචාර්ය සරත් විජේසූරිය, සිරිසේනට ජන්දය දෙන්නැයි තමා කළ ඉල්ලීමට සමා වන්නැයි මහා ජනයාගෙන් ඇයද සිටියේ මාදුළුවාවේ සමරු රැළියෙහිදී ය. ඒ මට්ටමින් ම සිරිසේන බලයට ගෙන ඒමට දරදිය ඇද්දාවූ දඹර අමිල හිමි කීයේ ‘මහ රජාණන් මැදමූළන ජනේලයක එල්ලලූ අපට සිරිසේන පොළාන්නරුවේ පඹයකු සේ එල්ලීම මහ ලොකු දෙයක් නොවන’ බවයි.


ඉතින් අපි කුමක් කියමු ද ?, බුදු වදනින් මෙසේ කියමු : යමෙකු වසළයකු වන්නේ ක්‍රියාවෙනි !

මහින්ද සමග ආණ්ඩුව ගෙදර යයි..

කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඔක්තෝබර් 26 වනදා අග්‍රමාත්‍යවරයා ලෙස පත් කළ මහින්ද රාජපක්‍ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමෙන්තුවේ බහුතරයේ විශ්වාසය නොමැති බව අද නොවෙම්බර් 16 වනදා යලිත් තහවුරු බවයි. එම නිසා සුදුසු ඉදිරි පියවර ගන්නා ලෙස කථානායකතුමා ජනපතිතුමාට දන්වා තිබේ. අද 16 සවස කථානායකතුමා විසින් ජනපතිතුමාට යැවූ ලිපිය පහතින්.

අද පාර්ලිමේන්තු සැසිය මොනම හේතුවකටවත් කල්දාන්නේ නෑ - ජනපති / පාර්ලිමේන්තුව ලබන 19 ට කල් යයි - කථානායක

ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම ජනපතිතුමා සිය ට්ව්ටර් ගිණුමට පණිවිඩයක් එක්කරමින් පවසා සිටින්නේ‍ මේ වනවිට පැවැත්වෙමින් තිබෙන  පාර්ලිමේන්තු සැසිවාරය කිසිදු හේතුවක් නිසා හෝ අත්හිටුවීමට කටයුතු නොකරන බවයි. 

එමෙන්ම, සිය ට්ටිටර් ගිණුමට පණිවිඩයක් නිකුත් කරන ජනාධිපතිතුමා වැඩිදුටරත් පවසන්නේ, ‘‘පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු කරන ලෙසට මා තරයේ දන්වා සිටිනවා. කිසිදු හේතුවක් නිසා හෝ අද පාර්ලිමේන්තු සැසිවාරය කල්දාන්නේ නෑ‘‘ යන්නයි

කෙසේවුවත්, කථානායක මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙන්නේ ලබන 19 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබූ බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරන පිරිස් මෙම නොසන්සුන් තත්ත්වය ඇතිකිරීමට දායක වූ අතර කථානායකතුමාගේ ආසනය ද මන්ත්‍රීවරයෙකු විසින් වෙනත් තැනකට ගෙනගොස් ඇති බව පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසයි.



 







 

 

 

ආඥාදායකයා වහා පලවා හැරිය යුතුය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයේ සද්භාවීය අරමුණ වන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම වැළැක්වීම යන්න, වර්තමාන ජනාධිපතිවරයා සිය ක්‍රියා කලාපය හරහා උල්ලංඝනය කරමින් සිටීමයි. ඔහු මේ අපයෝජනය කරමින් සිටින්නේ, ඔහු ජනපති ධුරයට පත් කිරීම සඳහා සිය ඡන්දය භාවිත කළ ජනතාවගේ ජනමතයයි. ජනමතයට සපුරා පටහැනිව අද ඔහු කටයුතු කරමින් සිටින්නේ කුරිරු ගුණමකු ආඥාදායකයකු ලෙසිනි.

සතියේ සිකුරාදාව ළඟා වෙන විට වෙනදා නම් යම් සහනදායී බවක් සිතට දැනුණත් පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදායින් පසුව එළඹුණු සෑම සිකුරාදාවක් ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගයන ජනතාව මහත් අසහනයට සහ කම්පනයට පත් කළේය. තවත් සිකුරාදාවක් එළඹෙමින් තිබේ. පසුගිය අඟහරුවාදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ බදාදා රැස්වූ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව මගින් පරාජයට පත්කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග පිළිබඳව ඇති කරගත් යම් සහනශීලී සිතුවිල්ලකින් නින්දට යාමට සැරසුණු සැනින් නැවතත් ජනාධිපතිවරයා තම මුග්ධ ආඥාදායකත්වය විදහාපාමින් කතානායක වරයාට ලිපියක් යැවීය.


රජයේ උත්තරීතර නෛතික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ආකාරයෙන් හෑල්ලුවට ලක් කළ වෙනත් කිසිදු ලාංකීය නායකයෙකු මගේ මතකයේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එහි වචනාර්ථයන්හි එල්බ ගත් අවස්ථාවාදී දේශපාලකයන්ගේ ස්වාභිමතය ඉටු කිරීමට යොදා ගන්නා අත්තනෝමතික ලියවිල්ලක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමට නූගත් ජනාධිපතිවරයෙකුට හැකි නම්, ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කුමකට ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම තුලින් බලාපොරොත්තු වන ප්‍රධානම කාරණය වන්නේ නීතියේ රන් රෙගුලාසි (Golden rules) වලට යටත්ව රාජ්‍යයක උත්තරීතර නීතිය විවරණය කිරීමයි. එනම්, කිසියම් නීතියක් පැනවීමේ පරම අරමුණ කුමක්ද යන්න සහ එම නීතිය හරහා සද්භාවයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දැක්විය යුතු අනිවාර්ය අවධානයයි.
අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වචනවල තිබෙන අඩුපාඩු සොයමින් ඒවායේ එල්ලී තම අවස්ථාවාදී පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට උත්සාහ කරන ජනාධිපතිවරයාත්, ඔහු වටා සිටින බලලෝභීන් සහ නීති උපදේශකයනුත් හිතාමතාම මග අරින්නේ පරමාදර්ශී ලෙස සැලකෙන මෙම රන් රෙගුලාසි පිළිබඳ මූලධර්මය යි.


මෙහිදී අවධානයට ලක් කළ යුතු කාරණා දෙකක් තිබේ. පළමුවැන්න නම්, ජනාධිපතිවරයා පුනරුච්චාරණය කරන ආකාරයට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇතැයි තමා කල්පනා කරන අයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ හැකි බැවින් 2015 ජනවාරි 8 වෙනිදා කළ පරිදිම ඔහු කැමැති පුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බවත්, ඒ සඳහා ආණ්ඩුවේ බහුතරයක් පෙන්වීම අවශ්‍ය නොවන බවත්ය. මෙය නම් යහපාලනය ගෙන ඒමට ශපථ කළ ජනතා නියෝජිතයකු විසින් සිහිනයකින්වත් කළ යුතු ප්‍රකාශයක් නොවේ. ඔහු මේ උත්සාහ කරන්නේ, යහපාලනය ගෙන ඒමට මුල් වූ සද්භාවී දේශපාලන වටපිටාව, දැන් ඔහු විසින් ම ඇති කර තිබෙන දූෂිත අවස්ථාවාදී දේශපාලන ව්‍යාකූලත්වය සමග සමාන කිරීමට උත්සාහ දැරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කරන ලද්දේ විධායක ජනාධිපතිවරයාගේ අසහාය බලතල අඩු කිරීමට මිස වැඩි කිරීමට නොවේ. එබැවින් ජනතා ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගත් අගමැතිවරයෙකු සිටියදී, තමා කැමති වෙනත් අයෙකු හිටි අඩියේ අගමැති ධුරයට පත් කිරීම දරුණු අඥාදායකත්වයක් මිස, ප්‍රජාතන්ත්‍රවාදයේ කිසිදු මූලධර්මයකට අදාළ කළ නොහැකිය.


දෙවැනි කාරණය වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයේ සද්භාවීය අරමුණ වන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම වැළැක්වීම යන්න, වර්තමාන ජනාධිපතිවරයා සිය ක්‍රියා කලාපය හරහා උල්ලංඝනය කරමින් සිටීමයි. ඔහු මේ අපයෝජනය කරමින් සිටින්නේ, ඔහු ජනපති ධුරයට පත් කිරීම සඳහා සිය ඡන්දය භාවිත කළ ජනතාවගේ ජනමතයයි. ජනමතයට සපුරා පටහැනිව අද ඔහු කටයුතු කරමින් සිටින්නේ කුරිරු ගුණමකු ආඥාදායකයකු ලෙසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජනතා පරමාධිපත්‍යය දිගින් දිගටම නොසලකා හැරීම තුළ ජනාධිපතිවරයා පෙන්වන මෙම ආඥාදායකත්වයට පිළිතුරු දිය යුත්තේ ද ජනමතයෙන් ම ය.


එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමතය අවස්ථාවාදී දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් අර්ථකථනය කරගත හැකි මෙවලම් බවට පත් කර ගැනීමට එරෙහිව, වගකිවයුතු ලාංකීය පුරවැසියන් ලෙස ආඥාදායක ජනාධිපතිවරයා පලවා හැරීමට වහා පෙළගැසිය යුතු ව තිබේ.


ආචාර්ය ඉන්දි අකුරුගොඩ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

''ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි'' - කතානායකගෙන් ජනපතිට පිළිතුරක්

අද (15) පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර  ඇත. 


නොවැම්බර් 26 වන දා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රට දැඩි අස්ථාවර භාවයකට පත් වෙමින් පවතින බව මෙම ලිපිය මගින් කථානායකතුමා දැනුම් දෙයි.


ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම හා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ලබා තිබූ කීර්තිනාමය මෙන්ම ජනාධිපතිවරයාගේ ගෞරවය ද ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව කථානායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන අතර පවතින අර්බුදය හේතුවෙන් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වී ඇති බව ද දක්වා ඇත.


පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී මෙම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ඊයේ කථානායකවරයාට යොමු කළ ලිපියේ සඳහන් ව්‍යවස්ථාමය හා අනෙකුත් කරුණු පැහැදිලි කරමින් නීති විශාරදයින්ගේ උපදෙස් ඇතිව පිළිතුරු ලිපියක් එවීමට අපේක්ෂා කරන බව ද කථානායක කරු ජයසූරිය මහතා සිය ලිපිය මගින් දැනුම් දෙයි.


 







 

 

 

 

සබැඳි පුවත් 

 

සිරිසේන ජනපතිගෙන් කථානායකට මධ්‍යම රාත්‍රියේ පිළිතුරක්

විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට - කථානායක නිවේදනය කරයි 

පාර්ලිමේන්තුව හෙටට කල්දැමේ 

 

විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට - කථානායක නිවේදනය කරයි

අද (14) පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කථානායක මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව තුළ අද සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සවිස්තර විස්තරයක් දක්වා ඇත.


කථානායකතුමා මෙමගින් වැඩිදුරටත් දන්වා සිටින්නේ, ‘‘අද දින භාරදෙන ලද විශ්වාස භංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාාවේ තීරණය ද, ජනාධිපතිතුමන් විසින් පසුගියදා පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද , ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපතිතුමා වෙත දන්වා යැවීමට කථානායකතුමන් පියවර ගෙන ඇත‘ යන්නයි.  


 

[caption id="attachment_21962" align="aligncenter" width="237"] නිවේදනය [/caption]

සිරිසේන ගේ ඉරණම හා රටේ ඉරණම

අසේල සිරිවර්ධන


සිරිසේන ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 දින හදිසියේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගර්හිත කරවන ආකාරයට ගත් තීන්දුව හා එහි විපාක ඇති කරන්නේ පුද්ගලිකව මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමවින්හට හෝ එහිදී පිල් රැකගත් හෝ පිල් මාරු කළ කිහිප දෙනෙකුට පමකන් නොවේ, මුළු රටට ම ය. මහින්ද රාජපක්ෂ දිවුරුම් දීම, රනිල් වික්‍රමසිංහ සිරවීම හා 19 සංශෝධනය ගර්හිත කරවීමේ තැත් නිසා ඇතිවන විපාක 1982 කුප්‍රකට ජනමතවිචාරණය තරම්ම අහිතකර බලපෑම් රටට එල්ල කරණු නිසැකය.


දැනටමත් පෙනෙන අන්දමට ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ආරක්‍ෂිත නොවෙන බව ලොව සැම තැනම ප්‍රචාරය වී ගොසිනි. ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති සමග එක්ව කළ කුඩා සෙල්ලම මේ වනවිට ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ලෙස අන්තර්ජාතික වශයෙන් හංවඩු ගැසී අවසානය, දේශීය වශයෙන් රජයේ හා පුද්ගලික මාධ්‍ය ජනතාවට කුමක් කීවත් ‘කුමන්ත්‍රණය’ ඉදිරි වසර කීපය පුරාම ශ්‍රී ලංකාවේ නම සමග එකම වාක්‍යයේ යෙදීම ජනපතිට හෝ හිටපු ජනපතිට හෝ ඔවුන්ගේ තක්කඩි න්‍යායාචාර්ය කැලතට හෝ වැළැක්විය නොහැකිය.


ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හරිමින් අසමත් වූ සිය ප්‍රධාන සැලසුම වන මහින්ද-සිරිසේන ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවට අතුරු සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ අන් සියලු අගතීන් අතරේ වුවද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයක් අතර සදාචාරයේ ඉතුරු-බිතුරු හෝ ඇති බව පෙන්වමින් ඔහුට බහුතරය අහිමි කරවමිනි. ඔහු බහුතරය හදා ගැනීමට අසමත් වූ බවත්, මන්ත්‍රී වරුන්ට පැති මාරුවට දුන් අල්ලස බිලියන භාගයක් දක්වා ඉහළ ගිය බවත් 11 වැනිදා ජනාධිපතිවරයා ගේ අව්‍යක්ත හා වාගාඩම්බරයන් ගෙන් වැසී ගිය ප්‍රකාශය මගින් එළිදරව්විය.


ඔහු සුපිරි වර්ගයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස නම් කරමින් නොසන්සුන් මොහොතක, අකාලයේ කැඳවන මහමැතිවරණය මගින් පෙන්නුම් කරන්නේ ඔහු ක්‍රියා පටිපාටි, ස්වාධීන කොමිෂන් සභා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාදායකය, අධිකරණය ආදී ශිෂ්ට බවේ සියලු සංකේතයන් නොසළකා හරිමින් කටයුතු කරන බවයි. එය වැඩිදුරටත්, මහජනයාගේ ඇඟේ ගැසූ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය. එමගින් රට අස්ථාවර කරමින්, ආර්ථිකය කඩා වැටීම, විදේශ ණය වාරික ගෙවීමට අසමත් වීම, ආයෝජන රට හැර යෑම වේගවත් කෙරුණි.


1982 ජේ ආර් ජයවර්ධන මැතිවරණ සිතියම ඇකිලීමට ගෙන ආ ජනමතවිචාරණය ද පෙනුණේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවක් ලෙසිණි. එහිදී ඔහු තිබුණු ආණ්ඩුවේ කාලය දිගුකළේය. නමුත් සමාන්තරව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් හා ක්‍රියාවලීන් අවුල් කරමින් ඔහු ගත් එම පියවර නිසා රටේ ‘අත්තනෝමතිකබව’ වීරත්වයක් ලෙස කුලුගැන්වුනි. එම අවුරුද්දෙම (මේ මොහොතේ සැඟවී ක්‍රියාත්මක වන) අධිකරණය බියගැන්වීමේ ක්‍රියාව විනිසුරුවන්ගේ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම හා ඒවාට ගල් ගැසීම දක්වා දුරදිග ගියේය. එම සිදුවීම් කූටප්‍රාප්ත කිරීමට කුප්‍රකට නැක්සලයිට් කුමන්ත්‍රණය හා ජනපති ඝාතන තැත ඉදිරියට ගෙනවිත් විජය කුමාරතුංග හිර හිරීම මගින් සිය ක්‍රියාව සාධාරණීකරණය කිරීමට ඔහු උත්සාහ කළේය. විමසිල්ලෙන් බලන කෙනෙකුට එම ඉතිහාසයම පෙළගැස්ම වෙනස්ව නැවත සිදුවෙමින් පවතින බව පෙනී යනු ඇත.


ඒ සියල්ලෙන් ම සිදුවුණේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේත සියල්ල ගැන මහජන විශ්වාසය භංග වී යාමයි. ජේ ආර් ජයවර්ධන සඟවා කළ දෙය මෛත්‍රිපාල සිරිසේන එළිපිට කරණ බවයි. 1982 ඉහත සිදුවීම් වල කුටප්‍රාප්තිය වූයේ 1983 ජාතිවාදී කෝලාහල කිරීමට සිරිල් මැතිව්ට හා ඔහුගේ කණ්ඩායමට අවිචාරාත්මක අවකාශයක් විවෘත වීමයි. (සිරිසේන සමග සිරිල් මැතිව් ලා ගණනාවක් සිටිති). එනිසා ඉන්දියානු මැදිහත්වීමද, 1988-89 ජවිපෙ කැරැල්ලද එම සිදුවීම් දාමයේ ම ඉදිරි විපාක ලෙස ලක් සමාජය මත පාත් විය. එකල බලයේ සිටිමින් මේ සිදුවීම් වලට අත එසවූ රනිල් වික්‍රමසිංහ මෙකල එක්තරා අන්දමක වින්දිතයෙක් වීම සරදම් සහගත තත්වයක් වුවත්, මෛත්‍රිපාල සිරිසේනගේ හා මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් එයින් සාධාරණී කරණය නොවන්නේ ඔවුන් පෙනී පෙනී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බැවිණි. ඉහත සමීකරණයට අලුතෙන් ඇතුල්ව ඇති සමාජ මාධ්‍ය මගින් එම යුක්තියුක්ත නොවෙන ක්‍රියාවන් සාධාරණීකරණය කරන ආධානග්‍රාහීන් තමන් උඩගෙඩි දෙන ‘අත්තනෝමතික’ බවේ ඉදිරි විපාකයන්ට වගකීමට, තමන්ට ද එලෙසම සිදුවන බව සිහියේ තබා ගත යුතුය.


තවද තම ක්‍රියාවන්ගෙන් සිරිසේන ජනාධිපති වරයා අපේක්ෂා කළ අන්දමේ ප්‍රතිඵල නොලැබෙන බව මේ වන විට සහතිකය. ඔහුට සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ගේ පසුපස යාමට මිසක රාජපක්ෂලා මෙහෙයවීමට නොවේ. ඔහුගේ 2020 ජනාධිපති සිහිනය, 113 සාදා ගැනීමට ඔහුගේ නොහැකියාව නිසා අවලංගු වී ගියේය. දැනටද මහින්ද රාජපක්ෂ හා ඔහු අතර ආරක්ෂක පළිහක් ලෙස ක්‍රියා කරන්නේ 19 වන සංශෝධනය බව තේරුම් නොයනවා නම් ජනාධිපති සිරිසේනට කිසිදු විකල්පයක් ඉතුරු නොවෙනු ඇත. ඔහුගේ වලංගුභාවය පවතින්නේ මැතිවරණ තරඟ ලැයිස්තු හදන තෙක් පමණි. ඉන්පසුව ඔහුට අපකීර්තිමත් ලෙස විශ්‍රාම යාමට සිදුවනු ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක දුරදිග නොබලා 1970 ආණ්ඩුවේ කාලය අවුරුද්දකට දිගු කරගත් නිසා ශ්‍රීලනිපය පමණක් නොව ඔවුන් හා සම්බන්ධ සියලු බලවේග අවුරුදු 17කට අවලංගු වී ගියේය. මෛත්‍රිපාල සිරිසේන දුරදිග නොහිතා කළ ක්‍රියාවේ ප්‍රතිඵල ලෙස ශ්‍රී ලංකාවේ ඉරණම කොතැනකට යොමු වී ඇත්දැයි දන්නා දෙවියෙකු වත් ඇත්දැයි සිතිය නොහැකිය.


මේ ලිපිය පළ වනවිට අධිකරණය සිය ඓතිහාසික තීන්දුව ප්‍රකාශ කර තිබීම නිසා රටේ ඉරණම වෙනස් වී තිබිය හැකිය. එයින් ඔක්තෝබර් 26 දින ට පෙරළා යා හැකි බවක් කියවේ නම් ඉදිරියේ ඇතිවිය හැකි දුර්විපාක තරමක් දුරට හෝ අඩු කර ගත හැකි බව අවසානයේ සටහන් කළ යුතුය.




ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය ජනපතිගේ ක්‍රියාව හෙළාදකියි


ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් ඊයේ (11) දිනයේදී සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වුණි. මෙහිදී අදහස් දැක්වූ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පැවසුවේ, ජනපතිවරයා හැට දෙලක්ෂයේ ජනවරමට පිටුපෑම තුළ ඒ ජනවරමේ රැකවරණය අහිමි කරගෙන ඇති බවයි. 


 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,


 

‘‘අද වනවිට උද්ගත වෙලා තියෙන ප්‍රශ්නය පැති කිහිපයකින් විග්‍රහ කරගන්න පුළුවන්. එකක් තමයි මෙතන ගැඹුරු නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙහි තියෙන දේශපාලනය ප්‍රශ්නය ගැන මං කතා කරන්නම්. 2015 ජනවාරි 8 වැනිදා වෙනකොට මේ රටේ ලක්ෂ හැට දෙකක ජනතාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඡන්දයකට ඉදිරිපත් කරලා ඒ ජනාධිපතිවරණයෙන් ඔහුට ජයග්‍රහණය ලබාදෙන්නේ එදා ඔහු ජනතාවට පොරොන්දු වෙච්ච සුවිශේෂී කාරණා කිහිපයක් ඉෂ්ඨ කරවා ගැනීමට.


 

ඒකේ පළවෙනි කාරණේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. ඔහු ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන්නේ ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට නොව ඒ ජනාධිපති ධූරය එතැනින් අවසන් කිරීමට. ඔහු පත්වෙලා ඉතා සුළු කාලයකින් ඔහු ඒ පොරොන්දුව කඩ කරනු ලැබුවා, ඒ පොරොන්දුව කඩ කරනු ලැබෙුවේ ඔහු විසින්ම ප්‍රකාශ කරපු ආකාරයට මට තවත් වාරයක ඉතුරු වෙච්ච වැඩ ටිකක් කරන්න තියෙනවයි කියලා. ඊට පස්සේ 2015 ජනවාරි 8 වැනිදා වන විට ලංකාවේ ඇති වෙලා තිබ්ච්ච දේශපාලන තත්ත්වය, සමාජ තත්ත්වය, සමාජයේ තිබිච්ච පරිහානිය ඇතුළු කාරණා වලට විසඳුමක් දෙනවා කියලා පොදු අපේක්ෂකයා ලක්ෂ 62 ක ජනතාවට පොරොන්දු වුණා. ඒ පොරොන්දු අතරේ තිබිච්ච එකක් තමයි එදා මහින්ද රාජපක්ෂ පාලනයේදි වෙච්ච අපරාධ, දූෂණ, වංචා මෙවැනි විශාල චෝදනා ලංකාවේ හරි අධිකරණ ක්‍රමයක් තුළ විභාග කරලා, ඒ චෝදනා වලට ලක්වූවන්ට නීතිය ක්‍රියාත්මක කරලා රටේ ක්‍රමවත් පාලනයක් ඇති කරනවයි කියන කාරණය. 




 



මේ කියන කාරණය වශයෙන් ජනාධිපතිවරයා වශයෙන් ඔහුගේ ක්‍රියාකාරීත්වය, දායකත්වය 2015 පත්වුණාට පස්සේ ඒ ආකාරයෙන් දක්නට ලැබුණේ නැහැ. අද වෙනකොට වෙලා තියෙන දේ වෙන්නේ ඔහු විසින් පත්කරගත්ත මේ ඊනියා කැබිනට් එකේ අධිකරණ ඇමතිවරයා කියනවා, මේ කාරණා සම්බන්ධයෙන් ජනතාවගේ බලපෑම මත, ජනතා සංවිධාන වල බලපෑම මත, වෙනත් දේශපාලන පක්ෂ වල බලපෑම මත ඇතිකරපු ත්‍රිපුද්ගල මහාධිකරණ වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නැවත සලකාබැලීමක් කරන්න සිද්ධවෙනවයි කියලා. මේක කියන්නේ රටේ අධිකරණ ඇමතිවරයා.


 

රටේ ජනතාව බලාපොරොත්තු වුණේ මේ රටේ රාජපක්ෂ පාලනයේදී සිද්ධ වුණු මිනීමැරුම්, පැහැරගැනීම්, ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, රටේ පොදු දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් එක්ක රටේ නීතිය ක්‍රියාත්මක වෙයි කියන කාරණය. නමුත්, ජනාධිපතිවරයා රටේ හැට දෙලක්ෂයක ජනතාවට පිටුපාලා මේ කියන තීරණය අරගත්තේ. ඒ තීරණයේ බරපතලකම තියෙන්නේ ඔහු එදා තමන් විසින් අධිකරණයට ගෙනයනවයි කියලා ඔහු එදා ජනතාවට පොරොන්දු වෙච්ච හොරු කණ්ඩායම ඔහුගේ පාලනයේ කොටස්කරුවන් බවට පත්කරගැනීම. මේ ජනාධිපතිවරයට මෙතැනින් එහාට මේ රටේ පාලනය ගෙනයන්න ජනවරම අහිමි වෙලා තියෙනවා. ලක්ෂ හැට දෙකක ජනතාවගේ ජනවරමට පිටුපාලා ක්‍රියාත්මක වෙන ජනාධිපතිවරයෙක් වීම තුළම ඔහුට මේ වෙනකොට මේ ජනවරමේ රැකවරණය, මේ ජනවරමේ ආවරණය අහිමි කරගෙන තියෙන්නේ.‘‘ යන්නයි.


 

ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා ඔහුගේ තනතුර අවභාවිතා කරමින් සිටින බව ද මෙහිදී අදහස් දැක්වූ  නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසා සිටියේය.   




 

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ, දේශපාලඥයින් සදාචාර විරෝධීව හැසිරෙන විට ජනතාව ඊට අනුබල දෙන නිසා ඔවුන් ද ඊට වගකිව යුතු බවයි. 



 

 

මෙම ‍මාධ්‍ය හමුවට නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ ශාන්ත ජයවර්ධන, නීතිඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී, නීතිඥ තුෂාර රණතුංග, නීතිඥ ශානිකා සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු උප ලේකම් නීතිඥ චරිත් ගල්හේන, නීතිඥ චතුර ගල්හේන, නීතිඥ මංජුල බාලසූරිය, නීතිඥ ධනුෂ්කි අබේවික්‍රම, නීතිඥ ලක්දිනු දීරසේකර, නීතිඥ නිමලා සිරිවර්ධන ඇතුළු මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගී විය.




 






ආඥාදායක දේශපාලනයට එරෙහිව සටන් කිරීම හැර විකල්පයක් නොමැත - ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලන මූලධර්ම ගරු කටයුතු පුරවැසියෙකුගේ ඉතා වැදගත් අවශ්‍යතා බවට පත් විය යුතු යැයි මම විශ්වාස කරමි. නමුත් දේශපාලන අවස්ථාවාදීන් විසින් සිය පෞද්ගලික අරමුණු සපුරා ගැනීම වස් බොහෝ ව්‍යාජයන් සමාජගත කරමින් සිටින වාතාවරණයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන මූලධර්ම වෙනුවෙන් පෙනී සිටීම සියතින් ගෙල සිඳ ගැනීමක් බව දැන දැනම, ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන බියකරු ආඥාදායක දේශපාලන ප්‍රවණතාවලට එරෙහිව සටන් කිරීම අත් නොහැරිය යුතුය. ජන මනස වියවුලට පත්කරන මෙවන් අරාජික දේශපාලන සන්දර්භයන් තුළ නිහඬව සිටීම ශාස්ත්‍රඥයෙකුට තරම් නොවේ යයි මට සිතේ. මෙම සටහන එම සිතුවිල්ලේ ප්‍රතිඵලයකි.



ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය. රාජ්‍යයක් සතු උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අත්තනෝමතික ලෙස අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් තුළින් මීට දෙසතියකට පෙර උද්ගත වූ දේශපාලන අර්බුදය තුළින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඇති ග්‍රාම්‍ය, නොමේරූ දැනුම මට්ටම සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ ජනමතය කෙරෙහි ඔහු තුළ ඇති අතිශය දරුණු නොසැලකිලිමත් භාවයයි. ජනාධිපතිවරයා විසින් තමාම එක්තරා යුගයක ප්‍රතික්ෂේප කරන ලද බලවේග සමඟ නැවත එකතු වී කුමන්ත්‍රණකාරී සහ දූෂිත ලෙස ආණ්ඩු බලය අත්පත් කර ගැනීමට උත්සාහ දැරීම හරහා සමස්ත ශ්‍රී ලංකාවම අනතුරුදායක අස්ථාවරත්වයක් කෙරෙහි නැඹුරු කර ඇති බව දැනටමත් පැහැදිලිය. ජාත්‍යන්තර අපකීර්තිය, ආර්ථික අර්බුදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලීන්හි සහ පරිපාලන යාන්ත්‍රණයන්හි ඇනහිටීම, දරුණු ආණ්ඩුකරණ පසුබෑමක පෙරනිමිති පෙන්වයි.



මහජන නියෝජිතයන්ට ජනමතය අභියෝගයට ලක් කළ නොහැකිය. ජනමතය අභියෝගයට ලක් කිරීම වනාහි රාජ්‍යයක පුරවැසියන් විසින් එකහෙළා ප්‍රතික්ෂේප කළ යුත්තකි. පුරවැසියන් විසින් සිය ඡන්දයෙන් තෝරා පත් කරන්නේ තමා නියෝජනය කිරීම සඳහා, තම ඉල්ලීම් නියෝජන ආයතනවල ඉදිරිපත් කිරීම සඳහා නියෝජිතයන් මිස, අතීත රජවරුන් මෙන් වන්දනාමාන සහ බැලමෙහෙවර කිරීමට යටත්වැසියන්ට නියෝග කරන ආඥාදායකයන් පිරිසක් නොවේ. එබැවින් 2015 ජනවාරි 8 වැනිදා ජනතා ඡන්දයෙන් පත් කරගත් ජනාධිපතිවරයාද ජනතා නියෝජතයෙකු මිස, නියෝග හරහා ජනමතය වැළැක්විය හැකි ආඥාදායකයෙකු නොවේ. නමුත් ඔහු පසුගිය දෙසතිය තුළ හැසිරුනේ දරුණු ආඥාදායකයෙකු ලෙසින් වීම ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අගයන සියල්ලන්ගේ දැඩි පිළිකුලටත් විවේචනයටත් ලක් විය. නීත්‍යානුකූල අගමැතිවරයෙකු සිටියදී, කුමන්ත්‍රණකාරී ලෙස නීති විරෝධී අගමැතිවරයෙකු පත් කිරීම, නීත්‍යානුකූල අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීම වැළැක්වීම සඳහාත්, තමා විසින් පත්කළ 'ව්‍යාජ' අගමැතිවරයාට බහුතරය නිර්මාණය කරගැනීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 'මිලයට ගැනීම' දිරිමත් කිරීමට 'සහන කාලයක්' ලබා දීම සඳහාත් පාර්ලිමේන්තුව අනපේක්ෂිත ලෙස වාරාවසාන කිරීම ආදී වශයෙන් ජනතා පරමාධිපත්‍යය භයානක ලෙස විනාශ කිරීමට ජනාධිපතිවරයා යොමුවීම අතිශයින් ඛේදජනකය.


පාර්ලිමේන්තුව වහා කැඳවා ඇති වී තිබෙන අරාජික තත්වයට පිළියම් යොදන්නැයි දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලීම් නොකඩවා ඉදිරිපත් වුවද ඒ සියල්ල මගහරිමින් සිට අවසානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත වතාවක් උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් අත්තනෝමතික තීරණය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ දැඩි විවේචනයට ලක්විය යුත්තකි.



19 වැනි සංශෝධනයේ 17 වැනි වගන්තිය මගින් පහත දැක්වෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය විතැන් කරයි.



"(1) ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය:


එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය."



මෙහි පැහැදිලිව සඳහන් වන්නේ, නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහොත් මිස, එහි පළමු රැස්වීම පැවැත් වූ දින සිට අවුරුදු හතරක් සහ මාස හයක් අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බවයි. එබැවින් ජනාධිපතිවරයා ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවත්, ඔහු දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ සිය ආත්මාර්ථකාමී දේශපාලන ආශාවන් මුදුන්පත් කර ගැනීමට බවත් පැහැදිලිය. යහපාලනය පිළිබඳ පොරොන්දු දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ජනාධිපතිවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සහ ආචාර ධාර්මික වටිනාකම් පිළිබඳ සිය පෙර ස්ථාවරයන් ක්ෂණිකව පසෙක තබා කුරිරු ආඥාදායකයකු ලෙස හැසිරෙන විට ජනතාවගේ භූමිකාව කුමක් විය යුතුද?



මේ මොහොතේ අප ඉදිරියේ ඇත්තේ අනවශ්‍ය මැතිවරණයකි. ජනතාව විසින් අපේක්ෂා නොකළ සහ ඉල්ලා නොසිටි මැතිවරණයක් වෙනුවෙන් අතිමහත් මහජන මුදල් ප්‍රමාණයයක් වැය කිරීමට නියමිතව තිබේ. මැතිවරණ අවශ්‍ය ජනතාවට ද? එසේ නැතිනම් ජනතා නියෝජිතයන්ට ද? මේ මොහොතේ නම් මැතිවරණයක් අවශ්‍ය වී තිබෙන්නේ ජනමතය මුදලට හෝ දූෂිත ආකාරයෙන් පැහැර ගැනීමට සැලසුම් කරන ආඥාදායකයන් සුළු පිරිසකට පමණි. ශ්‍රී ලංකාවේ අද පවතින අස්ථාවර සහ අරාජික වාතාවරණය තම අවස්ථාවාදී දේශපාලන ඉලක්ක සපුරා ගැනීම පිණිස මෙම ආඥාදායකයන් විසින් නිර්මාණය කරන ලද්දක් බව අප මතක තබා ගත යුතුය. මෙම දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට නම් කළ යුත්තේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ එකතු වී ජනමතය අපයෝජනය කිරීමට සහ ආඥාදායක බලාධිකාරියට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ස්ථාපිත කරගැනීම වෙනුවෙන් සටන් වැදීම පමණි. මෙය කිසිසේත්ම පහසු ඉලක්කයක් නොවේ. එබැවින් ඔබගේ උනන්දුව, කැපවීම සහ ධෛර්යය සජීවීව පවත්වා ගනිමින්, වර්තමාන ශ්‍රී ලංකාවේ ආඥාදායක දේශපාලනයට එරෙහිව සටන් කිරීම අත්‍යවශ්‍යය. උපරිම ධාරිතාවයකින් සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, ඔබගේ නිශ්ශබ්දතාවය මේ මොහොතේ කිසිදු ප්‍රතිඵලයක් අත් කර නොදෙන බවත් මෙහිලා සටහන් කළ යුතුය.


 

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය

රුහුණ විශ්වවිද්‍යාලය

රජයේ නීත්‍යානුකූල භාවය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් තිබිය යුතුව තිබුණා - කරු ජයසුරිය

පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක්කරන බැව් මට දන්වා සිටියහ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හි නීත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීමේ හේතුවෙන් මෙම කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගතයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.


මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ මම විමසිල්ලෙන් නිරීක්ෂණය කළෙමි. විධායකය, ශ්‍රී ලංකා ස්වෛරීත්වයේ යාන්ත්‍රණය වන පාර්ලිමේන්තුව ඕනෑකමින්ම නොසලකා හැරීම ජනතා නිදහසට හා අයිතියට බරපතල අවදානමක් වනු ඇත.


මෙවන් බරපතල පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙහි දිවුරුම් දී ඇති සියළු රජයේ සේවක පිරිස් වෙත අවධාරණය කර සිටිනුයේ තමන් දුන් එම දිවුරුම පිළිබඳ යළිත් සිහිපත් කරන ලෙසයි. කිසියම් තැනැත්තෙකු හෝ බලයක් පිළිබඳ නොව මෙම ලියවිල්ල කෙරෙහි විශ්වාසය පලකළේ කවර කරුණක් නිසාදැයි ඔබ ඔබෙන්ම විමසා බැල්ම යෝග්‍ය වේ. අපගේ පරම බැඳීම පවතිනුයේ හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙතය.


අප මවුබිමේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ අප සතු වගකීම රාජ්‍ය සේවය මෙන්ම පොලීසිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අපගේ වගකීම මතකයේ තබාගන්නා ලෙස මම ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලමි. කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙසද සියළු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් දරන්නා වූ සියළු රටවැසියාගේ යුතුකම වනුයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගල සබැඳියාව නොසළකා අද දවසේ රට පිළිබඳව ස්වදේශානුරාගයෙන් සිතා මවුබිමෙහි නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත භාවයත් වෙනුවෙන් පෙනී සිටීමයි.


කල් තැබීමෙන් පසු පාර්ලිමේන්තුව කැඳවීමට තිබූ නොවැම්බර් මස 14 දින රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත්කිරීමෙහිලා ජනාධිපතිවරයා වලක්වාලීමට මා අදහස්කළ බව ජේ‍ෂ්ඨ දේශපාලනඥයෙකු වන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අභූත චෝදනාවක් නඟමින් එම කරුණ පාර්ලි‍‍මේන්තුව විසිරුවා හැරීමට හේතු වන්නට ඇතැයි ප්‍රකාශ කිරීම පිළිබඳ මම විමතියට පත්වීමි.


තම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ එම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වඩාත් අවංක හා විශ්වාසනීය හේතුවක් දැක්වූයේ නම්, ලෝකයා හමුවේ අප මව්බිමේ ගෞරවයට වන හානිය අවම කර ගැනීමේ ඉඩ ප්‍රස්ථාව තිබුණු බව මගේ විශ්වාසයයි.


කථානායක වරයෙකුගේ ක්‍රියාවන් සෑම කල්හිම විධායකයේ සතුටට හේතු වන්නේ නැත. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ මෙම සම්ප්‍රදායේ ඉතිහාසය 1641 දක්වා ගමන් කරන බව පෙන්වා දෙමි. ‍


බ්‍රිතාන්‍යයේ පළමු වැනි චාල්ස් රජු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ කථානායක විලියම් ලෙන්තල් එය වලකා ඔවුන් ආරක්ෂාකරනු වස් රජු ඉදිරියේ දණින් වැටී මෙසේ පැවසීය.


“ මහරජතුමනි, මා මේ පවසන කරුණු ඔබවහන්සේගේ චිත්තප්‍රීතියට හේතුවේවා! මෙම ස්ථානයේ සිදුවන දේ මාගේ දෙනෙතින් දැකීමටහෝ ඒ පිළිබඳ කිසිවක් පැවසීමට නොහැකි මුත්, මා කීකරු සේවකයෙකු පමණක් වන මෙම සභාව විසින් මා වෙත ලබා දී ඇති තීරණය හැර ඔබ වහන්සේ විසින් ඉල්ලා සිටින ආකාරයේ පිළිතුරක් ඔබ වහන්සේ වෙත ලබා දීමට නොහැකි බැවින් මා වෙත සමාව භජනය කරන සේක්වා.”


රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු මා පෞද්ගලිකව හමුවී ඉල්ලාසිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් මා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටියහ. සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් මම සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කළෙමි.


රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයක් ඉදිරිපත්කිරීම වැළැක්විය යුතු බවට කිසිදු මන්ත්‍රීවරයෙකු ඉල්ලා නොසිටි අතර එවැන්නක් මාගෙන් ද අනුමත නොවනු ඇත.


හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මගේ මවුබිම අපේක්ෂා කළ කවර වූ හෝ කැප කිරීමක් ‍කිරීමට මම නිරතුරුව සූදානමින් සිටියෙමි. විධායකය හමුවේ පෙනීසිට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම මා ලද වරප්‍රසාදයක් විය.


ඉහත සඳහන් මගේ ක්‍රයාකාරකම් පිළිබඳ කිසිඳු පැකිලීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයකට මුහුණ දීමෙහි මා සූදානම් බැව් වැඩිදුරටත් සඳහන් කරමි.


කරු ජයසූරිය - පාර්ලිමේන්තුවේ හිටපු කථානායක

අධිපතිවාදියෙකුගේ පුනරාගමනය

 - අනුර ගුණසේකර - 

දේශපාලනය තුළ ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි


‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’ යන, අර පට්ට ගැසූ කතාව, ශ‍්‍රී ලංකාවේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අභූතරූපී රංගනය තුළ තරම් මනාව විසද වෙන වෙනත් කිසි අවස්ථාවක් තිබී නැත. මීට වසර හතරකට පෙර, දිවි හිමියෙන් සුරකින් බවට ජනාධිපති සිරිසේන පොරොන්දු වූ නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ සකල සාරධර්ම, හුදෙක් දේශපාලනික වාසිය සඳහා, හිතාගත නොහැකි අන්දමින් ඔහු අද පාවා දී ඇත. අවිශිෂ්ට චර්යාවක් සහිත අවිශිෂ්ට මිනිසෙකු වූ මෛත‍්‍රීපාල සිරිසේන, යුග පෙරලිකාරී සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් දවසක සැමරෙනු ඇත. ඒ දෙකම සිදුව ඇත්තේ ඔහුගේ දේශපාලනික දිවියේ සැන්දෑ සමයේ ය. ඒ සිදුවීම් දෙක නොවන්නට, ඔහුගේ මට්ටමේ වෙනත්  ඕනෑම සාමාන්‍ය දේශපාලඥයෙකු මෙන් ඔහු ද කාලයාගේ ඇවෑමෙන් ජනතා මතකයෙන් වියැකී යන්නට තිබුණි.


 


2014 වූ පළමු සිදුවීම - මෛත්‍රී වඩාත් ජනකාන්ත දේශපාලඥයාට අභියෝග කිරීම


පළමු සිදුවීම ඇති වුණේ 2014 නොවැම්බර් මාසයේ ය. සමගාමී දේශපාලන ව්‍යාපාරයේ සගයන් සහ සහායකයන් පිරිවරාගෙන ඔහු එදා ජාතිය ඉදිරියේ පෙනී සිටිමින්, නිදහසින් පසු මේ රට හඳුනාගෙන සිටි වඩාත් ජනකාන්ත සහ වඩාත් බලවන්ත දේශපාලඥයාට අභියෝග කෙළේය. ඒ කාලයේ හැටියට, එසේම එදා සිටි ප‍්‍රතිවාදියාගේ තරමේ හැටියට, එය එඩිතර ක‍්‍රියාවක් විය. එය, සාමාන්‍ය තත්වයන් යටතේ වැඩි ආටෝපයක් නොතිබුණු මිනිසෙකුගේ සැබෑ ශ්‍රේෂ්ඨත්වය නිරූපණයට පත් අවස්ථාවක් විය. මහින්ද රාජපක්ෂගේ අතීත ක‍්‍රියාකලාපය දෙස බලන විට, මෙවැනි අභියෝගයක් හේතුවෙන් සිරිසේනට එල්ල විය හැකිව තිබූ ජීවිත තර්ජනය අතිශයෝක්තියක් නොවේ. බිහිසුණු ඝාතනය, අතුරුදහන් කැරැවීම, තනතුරුවලින් පහ කිරීම, සිරගත කිරීම හෝ විදේශයකට පලා යාමට සැලැස්වීම ආදී නොයෙක් අත්දැකීම්, ඊට කලින් මහින්ද රාජපක්ෂගේ යකඩ හස්තයට අභියෝග කළ අයවළුන් සම්බන්ධයෙන් අනන්තවත් අප දැක තිබුණි.



දෙවැනි සිද්ධිය - අගමැති රනිල් වික්‍රමසිංහ හිටි ගමන් අස් කිරීමෙන් හැට දෙලක්ෂයක ජනතා විශ්වාසය කඩ කිරීම


දෙවැනි සිද්ධිය ඇති වුණේ දැන් දින කිහිපයකට කලිනි. අගමැති රනිල් වික‍්‍රමසිංහව හිටිගමන් අස් කිරීමෙන් හැට දෙලක්ෂයක් ජනතාව සිරිසේන කෙරෙහි තැබූ විශ්වාසය කඩ කොට, තමා විසින්ම කලකට ඉහතදී නතර කරන ලද යක්ෂයාව සිරිසේන මුදා හැරියේය. තමා විසින්ම කලකට ඉහතදී නතර කිරීමට පියවර ගත් රාජපක්ෂ රාජාවලී ව්‍යාපෘතිය එක පෑන් පහරකින් යළිත් සිරිසේන ස්ථාපනය කෙළේය. යම් හාස්කමක් සිදු නොවෙතොත්, ඒ ව්‍යපෘතිය දැන් මහ දවල් පාරට බැස තිබේ. මගේ විශ්වාසයේ හැටියට හාස්කම් සිදු වන්නේ නැත. රාජපක්ෂ කල්ලියෙන් ඉස්සර සිදුවූ අතපසු වීම් යළි සිදුවන එකක් නැත. ඒ, ඉස්සරට වඩා ඔවුන් දැන් හැදී වැඞී ඇති නිසා නොවේ. විපක්ෂයකට යළි හිස එසැවීමට ඉඩ නොදෙන ලෙස, වඩාත් පරිස්සමින්, වඩාත් නිර්දය ආකාරයෙන් සහ නියත භාවයකින් යුතුව මෙවර ඔවුන් කටයුතු කළ හැකි බැවිනි.


විශේෂයෙන්, රජවරුන්ම පතන, ලජ්ජා නැති ජී. ඇල්. පීරිස් වැනි පුද්ගලයන්ගේ නීති තර්ක කෙසේ වෙතත්, වික‍්‍රමසිංහව ඉවත් කිරීම සහ රාජපක්ෂව පත්කිරීම පිළිබඳ සමස්ත ක‍්‍රියාදාමය තුළ ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයක සියලූ අඩුවැඩිය තිබේ. එය, රහසින් සැලසුම් කරන ලද, හදිසියේ ක‍්‍රියාවට යොදවන ලද, බිල්ලට ගැනෙන පුද්ගලයාගෙන් අවසානය දක්වාම වසං කරගෙන සිටි, කුමන්ත‍්‍රණයකි. පාර්ලිමේන්තුව සහ කතානායකවරයා මෙන්ම, කුමන්ත‍්‍රණකරුවාවත්, එහි බිල්ලට පත් වින්දිතයාවත්, තමන්ව බලයට ගෙනා ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් මේ ක‍්‍රියාවලිය ගැන අඳුරේ තබා ගැනීමට ඔහු වගබලාගෙන තිබුණි. මෙය, වර්ණවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ කිසි විටෙක සිදු නොවිය යුතුව තිබුණකි. එය, රාජපක්ෂ පාලන කාලයේ ලංකාව පත්කොට තිබුණු ආකාරයේ, ලෝකයේ ඉතා නොදියුණු වෙනත් තැන්වල සිදුවන ආකාරයේ සංසිද්ධියකි. වෙනසකට ඇත්තේ, එවැනි රටවල්වල සිදුවන්නා සේ, (සිපෙට්කෝ කාර්යාලයේ හැරුණු කොට), තවම වෙඩි තැබීම් සිදු වී නොතිබීම පමණි. එහෙත්, සාධාරණ වූත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූත් පිළිගත හැකි විසඳුමක් සොයා නොගත්තොත්, රටේ වෙනත් තැන්වලත් වෙඩි තැබීම් සිදු වීමට ඉඩ තිබේ.


මෑත කාලීන ලෝකයේ ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසයෙන් කිසි තැනක සිරිසේනගේ ක්‍රියාවට සමාන කිසිවක් සිදුවී නැත


මෑත කාලීන ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රීය ඉතිහාසයෙන් කිසි තැනක සිරිසේනගේ මේ ක‍්‍රියාවට සාම්‍යත්වයක් දරන සාදෘශ්‍යයක් සොයා ගැනීමට නැත. මෑතකදී ජාතිය අමතා ඔහු කළ කතාවේදී, තමා මේ පියවර ගැනීමට හේතු වූ පසුබිම වශයෙන් ඔහු ගෙනහැර දැක්වූයේ, අගමැතිවරයා කෙළේ යැයි කියන වැරදි මාලාවකි. ඒ වැරදිවලට, ඔහු සහ අගමැතිවරයා අතර පැවතිණැයි කී සංස්කෘතික පරතරයක් ද ඔහු එක් කෙළේය. වික‍්‍රමසිංහ රට කරවන්නේ, ඔහුට සමීප වරප‍්‍රසාදිත පංතියේ කල්ලියක් සමග ය යන්න ඔහුගේ චෝදනාවයි. සිරිසේනගේ ක‍්‍රියාවේ ප‍්‍රතිඵලය වන්නේ රාජපක්ෂලා යටතේ ඇති විය හැකි බිහිසුණු පාලනයක සම්ප‍්‍රාප්තිය නොවන්නට, ඔහුගේ මේ ප‍්‍රකාශය ගැන අපට සිනාසී නිකං ඉන්නට තිබුණි.


වික‍්‍රමසිංහට වඩා වෙනස් ආකාරයකින් සහ ඊට වඩා ප‍්‍රජාත්නත‍්‍රවාදී ආකාරයකින් රාජපක්ෂලා කටයුතු කරති යි සිරිසේන සැබවින්ම විශ්වාස කරන්නේ ද ?. රාජපක්ෂ යටතේ රට පාලනය වනු ඇත්තේ, ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ තවත් සමීපතම අතලොස්සකගේ බැල්ම යටතේ ය. අවුරුදු නවයක ඔහුගේ පාලන කාලය තුළ අප ලද අත්දැකීම එයයි. වික‍්‍රමසිංහගේ සහ රාජපක්ෂලාගේ පාලන ක‍්‍රම අතර එක් වෙනසක් නම් සැබවින්ම පවතිනු ඇත. එනම්, රනිල් වික‍්‍රමසිංහ යටතේ, පාලකයන්ව විවේචනයට ලක්කිරීමට සහ පාලකයන්ට එරෙහිව කටයුතු කිරීමට ලැබී තිබූ ඒ මුග්ධ අවසරයේ ඉඳුරා ප‍්‍රතිලෝමය රාජපක්ෂලා යටතේ අත්දකින්ට සිදුවිය හැකි වීමයි.


වික‍්‍රමසිංහව ඉවත් කිරීමේ නෛතික සහ ව්‍යවස්ථාමය වලංගුභාවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳෙනු ඇත


රනිල් වික‍්‍රමසිංහව ඉවත් කිරීමේ නෛතික සහ ව්‍යවස්ථාමය වලංගු භාවය තවදුරටත් වාද විවාදයට ලක්වනු ඇත. එය අවසානයේ විසඳා ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. එහෙත් ඒ, රාජපක්ෂලා සීග‍්‍රයෙන් අත්පත් කර ගනිමින් යන ඒ යකඩ පාලනය යටතේ එවැනි ආයතනයකට ඉඩක් ඉතිරි වුණොත් ය. මාත්, මේ රටේ වෙසෙන සාධාරණ කවුරුත් වටහා ගන්නා පරිදි, ආණ්ඩුවක සුජාත භාවය නිශ්චය කෙරෙන තීරණාත්මක ලිට්මස් පරීක්ෂාව වන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට ඇති බව පෙන්වීමයි.



පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සම්බන්ධයෙන් ඊට පක්ෂ පිරිස් දක්වන හේතුවාචක කුමක් වුවත්, සැබවින්ම එය, රාජපක්ෂගේ අවජාතක උසස් වීම, මිල මුදලින් සහ වෙනත් වරදාන පිරිනැමීමාදියෙන් සුජාත කර ගැනීම සඳහා ලබා දෙන ලද සහන කාලයක් බව පැහැදිළි ය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මත්තෙන් රාජපක්ෂ බලය රාජ්‍ය පරිපාලනය කෙරෙහි තහවුරු කර ගැනීම, සමහර විට අවසානයේදී, මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී නෛතික විනිශ්චයකට එළැඹීමට බාධාවක් විය හැකිය. මේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේ මධ්‍යකාලීන අරමුණ වන්නේ, රාපක්ෂලාගේ කඩප්පුලියෙකු වශයෙන් දෙවැනි වතාවටත් සිරිසේනට ජනාධිපති වීමේ අවස්ථාව ලබා ගැනීම බව පෙනේ. එය ඔහුට එක්සත් ජාතික පක්ෂයෙන් කිසි දවසක නොලැබෙන්නකි.


සිරිසේන මේ ක්‍රියාව හරහා පෙර නොවූ විරූ ව්‍යවස්ථා අර්බුදයක් දියත් කර ඇත


නෛතික සහ ව්‍යවස්ථාමය තර්ක විතර්ක පැත්තකින් තිබ්බොත්, සිරිසේන මේ අපරීක්ෂාකාරී ක‍්‍රියාව හරහා දියත් කොට ඇත්තේ පෙර නොවූ විරූ ව්‍යවස්ථා අර්බුදයකි. අගමැති පුටුව සහ පාලන බලය පිළිබඳ මාරාන්තික අරගලයකට ඔහු පාර කපා ඇත. ඊට අමතරව, පවතින ව්‍යවස්ථාවේ වලංගු භාවය සහ සුජාත භාවයත් ඔහු අනතුරේ හෙලා තිබේ. මහජන කෝලාහලවලට පරිසරය සකස් කොට තිබේ. එය, රාජපක්ෂලාට තෝතැන්නකි. ජයග‍්‍රහණය සඳහා කෙටිම මාර්ගය, බලය පාවිච්චි කිරීම සහ එම බලය අවභාවිතයත්, අනීතික බිය වැද්දීම්, බලාත්කාරය පෑම් සහ කුලී හමුදා මර්දනයත් බවට පත්වන පරිසරයක සිටිය හැක්කේ එක ජයග‍්‍රාහකයෙකු පමණි.


ඒ සඳහා වන මනා නිදර්ශනය වන්නේ, මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් දිව්රුම් දුන් ගමන්ම, ජාතික රූපවාහිනියේ සහ අයි.ටී.එන්. නාලිකාවේ දිග හැරුණු ප‍්‍රචණ්ඩත්වයයි. එසේම, රනිල් වික‍්‍රමසිංහව බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයෙන් එළියට ඇද දැමීම ගැන විමල් වීරවංශ කී කතාව, ඔහුගේ හාම්පුතාගේ හඬ ප‍්‍රතිරාව කිරීමක් බව පෙනේ.


වික්‍රමසිංහ මෙන්ම මෛත්‍රී ද වෙනස් ආකාරයෙන් දුෂ්ට ය


මේ ලිපියේ අරමුණ වන්නේ, වික‍්‍රමසිංහට සුදු හුණු ගෑමවත්, රාජපක්ෂව යක්ෂයෙකුට ඇන්දවීමවත් නොවේ. දෙදෙනාම, වෙනස් ආකාරයන්ගෙන්, දුෂ්ට ය. ප‍්‍රතිපත්ති විරහිත ය. එක හා සමානවම බලයට කෑදර ය. වික‍්‍රමසිංහගේ වෙනස වන්නේ, විසම්මුතිය මැඩ පවත්වා තමාගේ බලය ස්ථාපනය කර ගැනීම ඔහුගේ ක‍්‍රමය නොවීමයි. එසේම, බිය වැද්දීම සහ ඝාතනය ඇතුළු කායික තර්ජන ඔහුගේ විලාසයට අයත් නොවීමයි. අද අප ඉදිරියේ මතුව ඇති ප‍්‍රශ්නය වන්නේ, අගමැති තනතුරට සුදුස්සා කවුරුන්ද යන්න නොව, රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය පාලනයේ සුජාත භාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයයි. එය, මේ කියන පුද්ගලයන් දෙන්නාට වඩා බෙහෙවින් වැදගත් ය.


මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ නතර වනු ඇත


රාජපක්ෂ පාලනයක් යටතේ වහා අපේක්ෂා කළ හැකි ප‍්‍රතිවිපාක ගණනාවක් තිබේ. මුලින්ම, දැනට පටන්ගෙන ඇති මූල්‍ය අක‍්‍රමිකතා පිළිබඳ සියලූ පරීක්ෂණ නතර වනු ඇත. රාජපක්ෂ සමයේ සිදු වූ, දේශපාලනික ඝාතන පිළිබඳ සියලූ පරීක්ෂණ නතර වනු ඇත. දැනට සිර භාරයේ සිටින, තෝරා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු හිරෙන් එළියට එනු ඇත. ගලගොඩඅත්තේ ඥාණසාර ජම්පරය ගලවා, බුදුන්ගේ පූජණීය සිවුරට බැස, නැවත වරක් මුස්ලිම්-විරෝධී සංග‍්‍රාමය අරඹනු ඇත. වැඩි කල් නොගොස් දුමින්ද සිල්වා නැවත වරක් මැතිවරණ රැස්වීම් අමතනු ඇත. සන්නද්ධ සේවාවන් තුළ, පොලීසිය තුළ, අධිකරණය තුළ රාජපක්ෂවාදීන් අරක්ගනු ඇත. ජාතියට අපක්ෂපාති සේවයක් කිරීමට සිටින රාජ්‍ය සේවය, රාජපක්ෂ ව්‍යාපෘතියේ ස්වේච්ඡා ගමන් සගයන් වනු ඇත.



දැනටමත් ආර්ථික ප‍්‍රශ්න වලටත්, යෝධ රාජ්‍ය දූෂණයන්ටත් මුහුණදී සිටින රටක්, හැම පැත්තකින්ම ව්‍යාකූලත්වයට සහ අරාජිකත්වයකට පත්කරන තත්වයක් සිරිසේන නිර්මාණය කොට ඇත. එය වහා විසඳීම ඔහුගේ වගකීමකි. රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම සඳහා තමාගේ ජීවිතය පවා පරදුවට තබන බව 2015 දී ඔහු කීවේය. අද රට මුහුණදී දී සිටින තත්වය එදාට වඩා අතිශය භයානක වෙතත්, දැන් ඔහුට නැවතත් කිරීමට ඇත්තේ එයයි. තමන්ගේ අරමුණුවලට ද්‍රෝහී වන්නන්ට සමාව දීම රාජපක්ෂලාගේ සිරිත නොවේ. විශේෂයෙන් දෙවැනි වරටත් එවැනි ද්‍රෝහී ක‍්‍රියාවකට ඔවුන් සමාව නොදෙනු ඇත.


මෛත්‍රී බලයට පත්වූ දා නෙවිල් ජයවීර කිව්වේ මොනවද ?


මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණය මහින්ද රාජපක්ෂ විසින් නිල වශයෙන් පිළිගත්, මීට වසර හතරකට පමණ පෙර උදා වූ ඒ ඉරණම්කාරී දා මට මිතුරෙක් දුරකථනයෙන් කතා කෙළේය. ‘සිලෝන්’ නමින් හැඳින්වුණු ලංකාවේ සිවිල් සේවය තුළ අති ගෞරවයට පාත‍්‍රව සිටි ඔහු මට කතා කරන විට සිටියේ එංගලන්තයේ විශ‍්‍රාම සුවයෙනි. මා සිටියේ නපුරට එරෙහිව යහපත ජයග‍්‍රහණය කිරීමෙන් පිනා ගිය මනෝ භාවයක ය. එහෙත් මගේ මිතුරා මාව මහ පොළොවට ගෙනාවේය. ‘‘කවදාවත් දේශපාලඥයෝ ගැන විස්වාසේ තියන්න එපා. මං හුඟ කාලයක් තිස්සේ ඒගොල්ලෝ එක්ක ළඟින් වැඩ කරලා තියෙනවා. සිරිසේනම දවසක මහින්ද රාජපක්ෂට ආයි සැරයක් ජයග‍්‍රාහීව එන්න පාර කපන්න පුළුවන්.’’


 


 


1967-1970 කාලයේ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කළ, විවිධ අවස්ථාවල යාපනේ සහ වවුනියාවේ දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ නෙවිල් ජයවීර එදා හරියටම පාවිච්චි කළ වචන එයාකාර ය. වෙනස් ආකාරයක දේශපාලඥයන් රට කැරැවූ යුගයක දේශපාලඥයන්ගේ හොඳ මෙන්ම නරකත් ඉතා ළඟින් දැන සිටි මිනිසෙකුගේ ඒ වචන තුළ ඇත්තෙන්ම අනාගත වක්තෘවරයෙකුගේ දැක්ම තිබුණි.


මෛත‍්‍රීපාල සිරිසේන, ආපසු හැරවිය නොහැකි ආකාරයෙන්, තමා මොන තරම් තුච්ඡ මිනිසෙකු ද යන්න දැන් පෙන්වා තිබේ. ගිනි තියන්නන්ම ගින්නෙන් දැවී යාම සදාතනික නියාමයකි. 


(2018 නොවැම්බර් 3 වැනි දා ‘ශ‍්‍රී ලංකා ගාර්ඩියන්’ වෙබ් අඩවියේ පළවූ, අනුර ගුණසේකර ලියූ, “Sri Lanka: The Return of a Supremacist’’ නැමති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)