‘‘රට ව්‍යාකූල නොකර ඉවත්ව යන්න‘‘ - බහු ආගමික කණ්ඩායමක් ජනපති ඇතුළු පිරිසගෙන් ඉල්ලයි

ආගමික නායකයින් ද ඇතුළු බහු ආගමික කණ්ඩායමක් විසින් ජනාධිපතිතුමා ඇතුළු සියළු දේශපාලන නායකයින් විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ජනපතිතුමා ඇතුළු දේශපාලන බලාධිකාරිය විසින් මෙරට මිලියන විසි එකක ජනතාව ඇපයට ගෙන රට තුළ දීර්ඝ කාලීන ව්‍යාකූලත්වයක තවදුරටත්  රඳවා තබාගැනීමට කිසිදු අයිතියක් නැති බවත් නැතහොත් ඉවත්ව යන ලෙසත් මෙමගින් අවධාරණය කර ඇත. එම ප්‍රකාශය පහතින් වේ. 

 

‘‘ජනාධිපතිතුමා සහ සියළු දේශපාලන නායකයන් වෙත ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන ආගමික නායකයන්ද ඇතුළු බහු ආගමික කණ්ඩායමක් විසින් කිසිම පෞද්ගලික අපේක්ෂාවකින් තොරව මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ ය.

 

අප මාතෘ භූමිය අද දින මුහුණ දෙමින් සිටින තත්ත්වය පිළිබඳ ඇතිවී තිබෙන බලවත් කනස්සල්ල සහ බිය අප සියලු දෙනාටම එක්ව එක් හඬකින් කථා කිරීමට බල කෙරී ඇත. 2018 ඔක්තෝබර් මස 26 වන දින සිට මේ රටේ පුරවැසියන් සියලු දෙනාම ව්‍යාකූල සහ අවුල් සහගත එමෙන්ම බිය සහ කනස්සල්ලෙන් යුතු තත්ත්වයකට පත්කර ඇත. දිනෙන් දින එකකට පසුව එකක් වශයෙන් සිදුවූ දේශපාලන සිදුවීම් අප සියලු දෙනා තවතවත් ව්‍යාකූලත්වයට, ශෝකයට මෙන්ම අනුක්‍රමයෙන් වර්ධනය වූ අපේක්ෂා භංගත්වයට පත් කර තිබේ. මෙම අර්බුදයට වගකිවයුත්තේ වෙන කිසිවෙකු නොව, අප රටේ මහජනතාව විසින් විශ්වාසය තබන ලද ඔබ සියලු දෙනායි. රට වැසියන් අතරමං කරන ලද මෙම බරපතල විශ්වාසය බිඳ දැමීමේ ක්‍රියාවලියේ මූල හේතුව ඔබ සියලු දෙනාගේ නොවැදගත් දේශපාලන න්‍යාය පත්‍ර සහ බල ලෝභය බව ඉතා දැඩිලෙස අවධාරණය කරමු.

මහජනයාගේ අවශ්‍යතාවලට ද රටේ සංවර්ධනයට ද වඩා ඔබ සියලු දෙනාගේ බලතණ්හාව වඩාත් ඉස්මතුවී ඇති බව පෙනේ. ඔබ සැම මහජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩකොට ඇති අතර ඔබ සැමගේ ප්රකාශන වලින් තවදුරටත් මේ රටේ ජනතාව සහ රට ඔබට වැදගත් වන බව අපට ඒත්තු ගැන්විය නොහැකිය. අප ජනතාවගෙන් අති බහුතරය පසුගිය සති කිහිපය තුළ මෙම විනාශකාරී ක්‍රියා කළාපයේ වර්ධනය ඉවසිල්ලෙන් සහ නිශ්ශබ්දව බලා සිටි බව ඔබ සැම දැනගත යුතුය. දේශපාලන අධිකාරියේ ඉහළම තනතුරු දරන ඔබසැම ජනතාවගේ නීත්‍යානුකුල අයිතීන් සහ ඔවුන්ගේ ශුභ සිද්ධිය නොතකා හරිමින් ‘යහපාලනය’ පිලිබඳ ඔබගේ වගකීම් පැහැර හැර කටයුතු කළ ආකාරය ඔවුහු බලා සිටියහ.

එමෙන්ම අපගේ සමාජයේ ඇති සදාචාරසම්පන්න භාවයේ සමස්ත ව්‍යුහය ඉරා දමා ඇති බවත්, රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජිවන මාර්ග වල සුරක්ෂිත තාව නැවත ගොඩ නැගිය නොහැකි මට්ටමේ තර්ජනයකට ලක් කර ඇති බවත් ජනතාව ඉවසිල්ලෙන් බලා සිටියහ. මෙම අර්බුදයේ හේතුව ඔබ සැම වන බැවින් මෙය විසඳීමේ වගකීම ද ඔබ සියලු දෙනා සතුය. එකිනෙකාට දෝෂාරෝපනය කිරීමෙන් අප වැටී ඇති අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමට නොහැක. මෙම තත්ත්වය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකිය. එමෙන්ම ජනතාවට මෙම වාතාවරණය තවදුරටත් දරා ගත නොහැකි අතර ඔවුන්ගේ ඉවසීම අනුක්‍රමයෙන් හීන වෙමින් පවතී.

ඔබ සැම ගේ වැරදි පිළිගෙන රට සහ ජනතාවගේ අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය දී සියළු දෙනා එක්වී සාකච්ඡා කරන්න. රටේ ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්ට ගරු කරමින් ස්ථාවර පාලනයක් ඇති කිරීමෙන් නීතිය හා සාමය තහවුරු කිරීමට කටයුතු කරන්න. මෙම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නායකත්වය දෙමින් ඒ සඳහා කැප කිරීම් කරන ඔබ සැම අතුරෙන් යම් කිසිවකු වේ නම් ඔහු හෝ ඇය, විශේෂයෙන්ම මැතිවරණ සමයේ, ජනතාවගේ මතකයේ රැඳෙනු ඇත.

එක් දෙයක් නිශ්චිතය. එනම්, මිලියන විසි එකක ජනතාව ඇපයට ගෙන ඔවුන් දීර්ඝ කාලීන ව්‍යාකූලත්වයක තවදුරටත් රඳවා තබා ගැනීමට ඔබ කිසිවෙකුටත් කිසිම අයිතියක් නැත. ඔබ දැන් ප්‍රතිඵල පෙන්විය යුතුය. නැතහොත් එසේ කළ හැකි අයට ඉඩ දී ඉවත්ව යා යුතුය. ඔබ සැම ඉදිරියේ ඇති ගෞරවණීය විකල්පය මෙයයි.‘‘