ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය ජනපතිගේ ක්‍රියාව හෙළාදකියි


ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් ඊයේ (11) දිනයේදී සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වුණි. මෙහිදී අදහස් දැක්වූ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පැවසුවේ, ජනපතිවරයා හැට දෙලක්ෂයේ ජනවරමට පිටුපෑම තුළ ඒ ජනවරමේ රැකවරණය අහිමි කරගෙන ඇති බවයි. 


 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,


 

‘‘අද වනවිට උද්ගත වෙලා තියෙන ප්‍රශ්නය පැති කිහිපයකින් විග්‍රහ කරගන්න පුළුවන්. එකක් තමයි මෙතන ගැඹුරු නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙහි තියෙන දේශපාලනය ප්‍රශ්නය ගැන මං කතා කරන්නම්. 2015 ජනවාරි 8 වැනිදා වෙනකොට මේ රටේ ලක්ෂ හැට දෙකක ජනතාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඡන්දයකට ඉදිරිපත් කරලා ඒ ජනාධිපතිවරණයෙන් ඔහුට ජයග්‍රහණය ලබාදෙන්නේ එදා ඔහු ජනතාවට පොරොන්දු වෙච්ච සුවිශේෂී කාරණා කිහිපයක් ඉෂ්ඨ කරවා ගැනීමට.


 

ඒකේ පළවෙනි කාරණේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. ඔහු ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන්නේ ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට නොව ඒ ජනාධිපති ධූරය එතැනින් අවසන් කිරීමට. ඔහු පත්වෙලා ඉතා සුළු කාලයකින් ඔහු ඒ පොරොන්දුව කඩ කරනු ලැබුවා, ඒ පොරොන්දුව කඩ කරනු ලැබෙුවේ ඔහු විසින්ම ප්‍රකාශ කරපු ආකාරයට මට තවත් වාරයක ඉතුරු වෙච්ච වැඩ ටිකක් කරන්න තියෙනවයි කියලා. ඊට පස්සේ 2015 ජනවාරි 8 වැනිදා වන විට ලංකාවේ ඇති වෙලා තිබ්ච්ච දේශපාලන තත්ත්වය, සමාජ තත්ත්වය, සමාජයේ තිබිච්ච පරිහානිය ඇතුළු කාරණා වලට විසඳුමක් දෙනවා කියලා පොදු අපේක්ෂකයා ලක්ෂ 62 ක ජනතාවට පොරොන්දු වුණා. ඒ පොරොන්දු අතරේ තිබිච්ච එකක් තමයි එදා මහින්ද රාජපක්ෂ පාලනයේදි වෙච්ච අපරාධ, දූෂණ, වංචා මෙවැනි විශාල චෝදනා ලංකාවේ හරි අධිකරණ ක්‍රමයක් තුළ විභාග කරලා, ඒ චෝදනා වලට ලක්වූවන්ට නීතිය ක්‍රියාත්මක කරලා රටේ ක්‍රමවත් පාලනයක් ඇති කරනවයි කියන කාරණය. 




 



මේ කියන කාරණය වශයෙන් ජනාධිපතිවරයා වශයෙන් ඔහුගේ ක්‍රියාකාරීත්වය, දායකත්වය 2015 පත්වුණාට පස්සේ ඒ ආකාරයෙන් දක්නට ලැබුණේ නැහැ. අද වෙනකොට වෙලා තියෙන දේ වෙන්නේ ඔහු විසින් පත්කරගත්ත මේ ඊනියා කැබිනට් එකේ අධිකරණ ඇමතිවරයා කියනවා, මේ කාරණා සම්බන්ධයෙන් ජනතාවගේ බලපෑම මත, ජනතා සංවිධාන වල බලපෑම මත, වෙනත් දේශපාලන පක්ෂ වල බලපෑම මත ඇතිකරපු ත්‍රිපුද්ගල මහාධිකරණ වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නැවත සලකාබැලීමක් කරන්න සිද්ධවෙනවයි කියලා. මේක කියන්නේ රටේ අධිකරණ ඇමතිවරයා.


 

රටේ ජනතාව බලාපොරොත්තු වුණේ මේ රටේ රාජපක්ෂ පාලනයේදී සිද්ධ වුණු මිනීමැරුම්, පැහැරගැනීම්, ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, රටේ පොදු දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් එක්ක රටේ නීතිය ක්‍රියාත්මක වෙයි කියන කාරණය. නමුත්, ජනාධිපතිවරයා රටේ හැට දෙලක්ෂයක ජනතාවට පිටුපාලා මේ කියන තීරණය අරගත්තේ. ඒ තීරණයේ බරපතලකම තියෙන්නේ ඔහු එදා තමන් විසින් අධිකරණයට ගෙනයනවයි කියලා ඔහු එදා ජනතාවට පොරොන්දු වෙච්ච හොරු කණ්ඩායම ඔහුගේ පාලනයේ කොටස්කරුවන් බවට පත්කරගැනීම. මේ ජනාධිපතිවරයට මෙතැනින් එහාට මේ රටේ පාලනය ගෙනයන්න ජනවරම අහිමි වෙලා තියෙනවා. ලක්ෂ හැට දෙකක ජනතාවගේ ජනවරමට පිටුපාලා ක්‍රියාත්මක වෙන ජනාධිපතිවරයෙක් වීම තුළම ඔහුට මේ වෙනකොට මේ ජනවරමේ රැකවරණය, මේ ජනවරමේ ආවරණය අහිමි කරගෙන තියෙන්නේ.‘‘ යන්නයි.


 

ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා ඔහුගේ තනතුර අවභාවිතා කරමින් සිටින බව ද මෙහිදී අදහස් දැක්වූ  නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසා සිටියේය.   




 

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ, දේශපාලඥයින් සදාචාර විරෝධීව හැසිරෙන විට ජනතාව ඊට අනුබල දෙන නිසා ඔවුන් ද ඊට වගකිව යුතු බවයි. 



 

 

මෙම ‍මාධ්‍ය හමුවට නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ ශාන්ත ජයවර්ධන, නීතිඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී, නීතිඥ තුෂාර රණතුංග, නීතිඥ ශානිකා සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු උප ලේකම් නීතිඥ චරිත් ගල්හේන, නීතිඥ චතුර ගල්හේන, නීතිඥ මංජුල බාලසූරිය, නීතිඥ ධනුෂ්කි අබේවික්‍රම, නීතිඥ ලක්දිනු දීරසේකර, නීතිඥ නිමලා සිරිවර්ධන ඇතුළු මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගී විය.