The Most/Recent Articles

Showing posts with label Basil Fernando. Show all posts
Showing posts with label Basil Fernando. Show all posts

හඬනු මැන දේශය - කඟවේන කවි පොතක්

| සුනන්ද මහේන්ද්‍ර

බැසිල් ප්‍රනාන්දු කවිය ගෙනවිත් නතර කරණ තැනින් ඔබ්බට කතා කළ හැකි දේ බොහෝ තිබේ. අවශ්‍යනම් කිසිවක් කතා නොකර සිටීමටද පුළුවන.  “ මට කිසිම අදහසක් ප්‍රකශ කරන්නට බැහැ. ඒ තරමටම මගේ හදවත එකට කා වැදුනා”., යැයිද වුවනානම් යම් කිසිවෙකු හට පැවසීමට පුළුවන. සැබැවින්ම  බැසිල්ගේ කවි පිළිබඳ කළ හැකි හොඳම විචාරය එයයි. මිනිස්සු හඬති. ඒ හැඩිම්වලට අර්ථයක් තිබේ. ඒ නිසා මේවා පැසුණු කවිය. කිසිවෙක් නගරය මුර නොකරති යන කවිපන්තියද එවැනි තවත් පැසුණු කවි පෙළකි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ලියූ සම්පූර්ණ  ලිපිය කියවීම සඳහා පහත සේයාරුවට ක්ලික් කරන්න


ජත්‍යන්තර විමර්ශණයකට සහයෝගය නොදක්වන බවට රජය නිළ වශයෙන් මෙතෙක් ප‍්‍රකාශ කර නැහැ

ජාත්‍යන්තර විමර්ශණයකට විරුද්ධව රජය විසින් රට අභ්‍යන්තරයේ විවිධ අදහස් දැක්වුවත් එ් සම්බන්ධව නිල වශයෙන් මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නොමැති බව පසුගිය සතියේ දී එක්සත් ජාතීන් විසින් නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කර සිටී.

ඔහු එම අදහස් පළ කලේ අයිතිය වෙබ් අඩවිය මගින් ආරම්භ කළ රට ගොඩනැගීමට නම් සංවාදය සදහා සංවාදයට එකතුවෙමිනි. ඔහු සමග පැවැත් වූ සම්පුර්ණ දුරකතන සංවාදය පහත දැක් වේ.

රට ගොඩගැනීමට නම්....

ඉහත මාතෘකාව යටතේ ‘අයිතිය’ වෙබ් අඩවිය විසින් ආරම්භ කළ සංවාදය සදහා ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා දැක් වු අදහස්....

පසුගිය කාලය තුළදි ජාත්‍යන්තර සංවිධාන විසින් විශේෂයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් ලංකාවේ නීතිය බිඳ වැටීම පිළිබදව සහ මානව හිමිකම් උල්ලංඝණය වීම පිළිබඳව ප‍්‍රබල චෝදනා රැසක් එල්ල කළා. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයකටත් යෝජනා සම්මත වුණා. යෝජනා සම්මත වෙලා දැනට මාස දෙක තුනක් ගත වෙනවා. මේ සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක‍්‍රියා මාර්ග මොනවද ?

ලංකාවේ නීතිය කඩා වැටිල තියෙනවා කියන්නේ කුමක්ද කියලා මුලින්ම තේරුම් කර ගත යුතුයි. මොකද, හුඟ දෙනෙක් ඔය වචනය ඔහේ කියනවා. නමුත් මේකේ අර්ථය මොකක්ද? ඒ ප‍්‍රශ්නය පැහැදිළිකර ගන්න යනකොට අපිට පෙනෙනවා වැඩි වශයෙන්ම ඒ ප‍්‍රශ්ණේ ගැන කැක්කුමක් තිබෙන මිනිස්සු ඉන්නේ රටින් පිට නෙවෙයි, මේ රට ඇතුලේ කියලා. රට ඇතුලේ අද ඉන්න ජනගහනයෙන් බහුතරයකගේ හිතට වද දෙන ලොකු ප‍්‍රශ්නයක් විධියට තමයි මේ නීතියේ ප‍්‍රශ්නය තිබෙන්නෙ. 

මොකක්ද මේ නීතියේ ප‍්‍රශ්නය? අපි සමාජයේ ජීවත්වෙන කොට මිනිස්සු මිනිස්සු අතරම ගැටුම් ඇතිවෙනවා, ඒක ස්වභාවිකයි. අපි පාරේ වාහනයක් පදවගෙන යන කොට තවත් වාහන රාශියකට මුහුණ දෙන්න  ඕනෙ. යන එන මිනිස්සුන්ට මුහුණ දෙන්න  ඕනෙ. මේ හැම එකක්ම පොඞ්ඩක් වැරදුනොත් ගැටළුවක් බවට පත්වෙනවා. මොකද එතැනදී එක පැත්තක නැති නම් තව කෙනෙකුගේ ජීවිතයක් පවා නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි හැම දෙයක්ම. ව්‍යාපාරයක් කරන්න ගියත්, ජීවිතයේ මොනම කාරණාවකදිත් ස්වභාවයෙන්ම සමාජ ජිවිතයේ ගැටළු තිබෙනවා. ඒ නිසා සමාජය විශාල කාලයක් තිස්සේ, ශතවර්ශ ගණන් තිස්සේ හදාගෙන තිබෙනවා එකිනෙකා අතර එකඟ වෙච්ච යම් විධි ක‍්‍රම. මේවාට තමා කියන්නෙ රටක සදාචාර පද්ධතිය කියලා. මුලික වශයෙන් රටක සදාචාරය කියන්නේ මේ කලා කෘතීන්, භාෂාව වගේ දේවල් නෙවෙයි. එදිනෙදා ජීවිතයේ කාටත් කරදරයක් නැති විධියට සමහර වෙලාවට කාටත් හොඳක් වෙන්න පුළුවන් විධියට එකිනෙකා අතර ජීවිතය ගෙනිය ගන්නේ කොහොමද කියන එක, මේ පද්ධතියත් මුලිකවම ඇතිවෙන්නේ මානසීකව හා සමාජීකව සිතලා මිනිස්සු අතරින්මයි. 

ලෝකය දියුණු වෙනකොට, ආණ්ඩු ඇතිවෙන කොට ඒ ආණ්ඩු ඇවිල්ල ඒ සාදාචාර පද්ධතින් නීති බවට හරවනවා. එතකොට නිකම් එකඟතාවයක් විතරක් නොවෙයි, රටේ නීතියෙනුත් තියෙනවා අසවල් අසවල් දේවල් මේ විධියටයි කරන්නේ කියන එක. සියලූම දෙනා ඒ නීතිය අනුගමනය කළොත් කරදරයක් නැතිව කාටත් ඉන්න පුළුවන් බව හැමෝටම පේනවා. අන්න ඒ විධියට තමයි මේ නීතිවල පැණනැගීම සිදුවන්නේ. විශේෂයෙන්ම අපරාධ නීතියේ පැනනැගීම සිදුවෙන්නේ. ආණ්ඩුව තිබෙනවා මිනිසුන්ගෙ අනුමැති උඩ. එ් හදාගත්තු නීතිය උඩ ආණ්ඩුව කියනවා මිනිහෙක් මරන්න බැහැ. මැරුවොත් මෙන්න මේකයි අපි කරන්නෙ. අල්ල ගන්නවා, නඩු අහලා ඔප්පු උනොත් එල්ලූම්ගස් යවනවා. එහෙම නැත්නම් ජීවිතාන්තය තෙක් හිරේට යවනවා කියලා. ඒ අනුව කියනවා අසවල් දේවල් මේ සමාජයෙ කරන්න බැහැ. කෙරුවොත් ඒවට දඬුවම් තිබෙනවා. 

මෙන්න මේ පද්ධතිය මත තමයි රටේ නීතිය හැදෙන්නෙ. විශේෂයෙන් ම ඉංග‍්‍රිසින් මෙරටට ආවාට පස්සේ මිනිසුන්ගේ් ජීවිත සාමකාමිව ගතවුණේ මේවා මත. කවුරුවත් ඇවිත් කාටවත් පිහියෙන් අනින්නෙ නැහැ කියලා, සැනසීමෙන් පාරට බහින්න පුළුවන්, සැනසීමෙන් ගෙදර නිදාගන්න පුළුවන්, ඒ වගේම කාන්තාවකට බියක් සැකක් නැතිව පාරේ බැහැල යන්න පුළුවන් කියලා මිනිස්සු හිතන්න ගත්තේ මේ විධියේ නීති පද්ධතියක් තිබුණු නිසයි. 

දැන් මේ නීති පද්ධතිය ක‍්‍රියාත්මක කරවා ගන්න හදනවා තවත් සංස්ථාවක් නැතුව. ඒකට තමයි අපි කියන්නේ පොලීසිය කියලා! මේ පොලීසියට ලබා දෙනවා බරපතල වගකීමක්, ඒ තමයි තමන්ට අපරාධයක් වුනා කියා මිනිස්සු පැමිණෙන විට කරුණාකර එය නිවරැුදිව වාර්තා කරගන්න. ඔබලා රජය වෙනුවෙන් ඉන්නේ. ඒ නිසා මෙය නිවරැුදිවම වාර්තා කරගත යුතුයි. ඊට පසුව ඒ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන්න. ඒ සඳහා අවශ්‍යකරන වාහන දුරකථන, බලතල යනාදි පහසුකම් සළසා දෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගැනීමේ බලතල ලබා දෙනවා. මේ කාර්යය හරියට කරන්න කියලා ඉල්ලා සිටිනවා ,මොකද අපට අවශ්‍යයි මේ රටේ අපරාධ නැති කරන්න. ඒ නිසා ඔබට විශාල වගකීමක් පැවරෙනවා මේ කියන පැමිණිළි භාර අරගෙන, පරික්‍ෂා කරලා වැරදිකරුවන් ඉන්නවානම් ඒ අය අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත්කරලා, මේ මාර්ගයෙන් අපරාධ නැතිකරගන්න මිනිස්සු ගෙනයන උත්සාහයට සහාය දෙන්න. රජය ගෙනයන ක‍්‍රියාමාර්ගවලට සහයෝගය දෙන්න කියලා. නීතිය කඩා වැටුණා කියලා අපි කියන්නේ අන්න ඒ ක‍්‍රියාමාර්ගය කරගන්න පොලීසියට බැරි වුණාම. ඒකයි නීතිය කඩාවැටීම කියන්නෙ.  

මෙතනැදි තවත් ප‍්‍රශ්නයක් තිබෙනවා නේද මහේස්ත‍්‍රාත්වරයාගේ වගකීම සම්බන්ධයෙන්?

ඔව් ඊට සම්බන්ධ මහේස්ත‍්‍රාත්වරයාගේ වගකීමකුත් තිබෙනවා. උසාවියේ වගකීම තිබෙනවා. කිහිප දෙනෙක්ගෙම වගකීම් තිබෙනවා. නමුත් ඒ එක වගකීමක්වත් හරියට කරන්න බැහැ මග වැරදුනොත්. මොකද මහේස්ත‍්‍රාත්වරයාට බැහැ ප‍්‍රශ්න විසඳන්න. මහේස්ත‍්‍රාත්වරයාත් කථා කරල කියන්න  ඕනේ පොලීසියට. පොලීසියේ රාජකාරිය හරි හැටි කරගන්න බැරිවුනාම තමයි නීතිය කඩා වැටීම තියන්නෙ. ඔය රාජකාරිය හරියට ඉටුනොවී රටක ජනතාවට සාමකාමිව ජිවත්වීමේ පදනම නැතිව යනවා. අපි මුලින් කියපු ගැඹුරු සදාචාරාත්මක පදනමට පහර වදින්න පටන්ගන්නවා. සාමාන්‍ය ජන ජීවිතයට අදාලව මතුවන ගැටළු වලදී මැදිහත්වීමට ස්ථාපිතව ඇති ආයතනය තමයි පොලීසිය. නමුත් අද පොලීසිය එ් සම්බන්ධව කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ හෝ එසේ කි‍්‍රයාත්මක වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නෙ ප‍්‍රධාන වශයෙන්ම නීතිය කඩා වැටෙනවා කියලා. 

පොලීසියෙ පොඞ්ඩක් වැරදි තිබෙනවා නම් එතන හදන්න පුළුවන්. ඒක අහන්න තැනක් තිබෙනවා. ඒ තමයි අධිකරණය. මහේස්ත‍්‍රාත්තුමා තමයි මිනිස්සුන්ට කිට්ටුවෙන්ම ඉන්න නීති නිළධාරිතුමා. සෑම ප‍්‍රදේශයකම තිබෙනවා මහේස්ත‍්‍රාත් උසාවියක්. එයාලඟට තමා මිනිහෙක්ව අත්්ඩංගුවට ගත්තම ගෙනියන්නෙ. සුළු සුළු හැම කාරණාවකදීම එයා තමා වැදගත් සාධකයක් වෙන්නෙ. එතැනදීත් මේක හදන්න බැරි තත්ත්වයක් තිබෙනවා නම්, පොලීසියෙන් කළ යුතු මැදිහත්කම නොකිරීම හදන්න බැරි තත්ත්වයට මහේස්ත‍්‍රාත්වරු පත්වෙලා තියෙනවා නම් හරි, මහේස්ත‍්‍රාත්වරුන්ගේ රාජකාරිය කරන්නෙ නැත්නම් හරි, කියන්නේ නීතියේ කඩාවැටීම තව උග‍්‍රවෙනවා. ඒ ගොල්ල අතින් කරන්නෙ ඒකයි. නීතියේ කඩාවැටීම තවදුරටත් උග‍්‍ර කිරීම.  ඕනෙම වර්ගයක අපරාධයක් සිදු වුවහොත්, එම අපරාධය සම්බන්ධව පරික්‍ෂණ පවත්වලා එය අධිකරණයට ඉදිරිපත් කරන්න සිටින එකම සංස්ථාවයි පොලීසිය, නමුත් අද එ් සංස්ථාව සම්පුර්ණයෙන් කඩා වැටිලා. 

අපි දැන් ඔය කතා කරන ජාත්‍යන්තර පරික්‍ෂණය එන්නෙ කොතැනින්ද? ලෝකය කියනවා, මිනිස්සු පැමිණ අපිට කියනවා, අනේ අපේ මිනිමැරුමක් සිද්ධ වුණා, ස්ත‍්‍රී දුෂණ සිද්ධ වුණා, නොයෙක් නොයෙක් ආකාරයෙන් අතවර අපරාධ සිද්ධ වුණා, මේ කිසිම දෙයක් ගැන හොයන්න බලන්න කිසිම කෙනෙක් නැහැ, අපිට යුක්තියක් ලබා දෙන්න කියලා. යම් රටක් එ් රටේ සිදුවුනු අපරාධ සම්බන්ධව කි‍්‍රයාත්මක නොවන කොට කි‍්‍රයාත්මක වීම සදහායි මේ ජාත්‍යන්තර සම්මුතීන් හැදුනේ. එවැනි සම්මුතීන් නැතිවුණොත් ඒ රටවල මිනිස්සුන්ට ජීවත් වෙන්නට නොහැකි තත්ත්වයක් ගොඩනැගෙනවා. අද අපිට ජාත්‍යන්තර පරික්‍ෂණයක් ගැන කථා කරන්න සිදු වෙලා තිබෙන්නෙ, අපේ අභ්‍යන්තර යාන්ත‍්‍රණය බරපතල ලෙස බිඳ වැටිලා එ් සම්න්ධව ඇති ප‍්‍රශ්ණ විස`ද ගන්න බැරි තත්ත්වයක් උදා වී ඇති නිසයි. 

නීතියේ මේ කඩාවැටීම් සම්බන්ධයෙන් පොලීසියෙන් ඇසුවොත් ඇයි ඔයගොල්ලන්නට මේ රාජකාරි කරන්න බැරි? ඇයි මේවා නොකර ඉන්නේ ? ඇයි මේ වගේ අපරාධ මේ රටේ මිනිස්සුන්ට කරන්නේ? කියා විමසුවාම ඒ අය කියන්නේ ”අනේ අපිට අපේ රාජකාරිය කරන්න දෙන්නෙ නැහැ.” මේ රාජකාරි කරගෙන යන්න දෙන්නෙ නැත්තෙ කවුද?, අපේම ආණ්ඩුව. අපේම බලවත් දේශපාලඥයෝ. අනේ ඒ ගොල්ලන්ව හදන්න අපිට බැහැ. අපි ඒගොල්ලන්ගේ සේවකයෝ. ඒ නිසා අපි ඒගොල්ල කියන විධියට නොකොළොත් අපේ රස්සාව නැතුව යනවා. අපි පොලිස්කාරයෝ වෙලා ඉපදුණේ නැහැනේ. අපි රස්සාවකට තමයි පොලීසියට ආවේ. ඉතිං මෙතන තියෙන්නෙ, අපි රාජකාරි කරන්න ගිහිල්ලා, අපේ ආණ්ඩුව අපේ රස්සාව නැති කරනවා නම්, අපි රාජකාරිය නොකර ඉන්නම්. ආණ්ඩුව හැර තිබෙන්නට පුළුවන් තවත් හේතු මොනවාද ? තමන්ගෙ තත්ත්වය ප‍්‍රයෝජනයට ගන්න පොලිස් නිළධාරීන් ඉන්නවා, පගා ගන්න අය ඉන්නවා, මැරවරයින් එක්ක සම්බන්ධකම් තිබෙන අය ඉන්නවා, නමුත් මේ එකක්වත් ඇතිවෙන්න ඉඩක් නැහැ ආණ්ඩුව හරියට මැදිහත්වෙලා තිබුණා නම්. මෙවැනි තත්ත්වයන් ඇතිවීමට පවා වග කියන්න  ඕනෙ ආණ්ඩුව. ආණ්ඩුවක් විසින් නීතිය කඩකරලා රට අරාජික තත්ත්වයකට යන්න රටට ඉඩ හරිනවා නම් ඒ රටේ මිනිස්සු ඒක විඳගෙන ඒකෙ නහින්න  ඕනෙද? 

ඔය අවුරුදු ගණන් හදාගත්ත සදාචාරයක් අවශ්‍යත් නැහැ. කාන්තාවන්ට කොහොම සැළකුවත් අපිට ප‍්‍රශ්නයක් නැහැ. මොන යකාව කවුරු මැරුවත් අපිට කමක් නැහැ. කොයි විධියට පාරේදි හොරකම් කළත් කමක් නැහැ.....එහෙම කියන්න පුළුවන් ද? නමුත් එහෙම කියන තත්ත්වයක් අද ලංකාවේ තියෙනවා. ඒ නිසාවට ඇති වුණු එක් උත්සාහයක් හැටියට තමයි අද මේ ප‍්‍රශ්ණ ජාත්‍යන්තරයට ගියේ. ජාත්‍යන්තර පරික්‍ෂණයක් කරනවා කියන්නේ, ජාත්‍යන්තරය ඇවිත් ලංකාවේ පොලීසි භාරගන්නවා කියන එක නෙවෙයි. ඒ ගොල්ලන්ට යම් උත්සාහයක් ගන්න පුළුවන් නැවතත් රට තිබිය යුතු ක‍්‍රමයේ තබන්නට යම් ආධාරයක් වෙන්නට. බලාපොරොත්තුවෙන අවසාන ප‍්‍රතිඵලය ඒකයි. ආණ්ඩුවේ මැදිහත්වීම් නිසා පොලීසිය නොකරන සමහර පරීක්‍ෂණ සිදුකරලා එනම් වැදගත් විශාල කාරණා ඒ වගේම මිනිමැරුම් වැනි දේ පිළිබඳ පරීක්‍ෂණ කරලා තිබිය යුතු නීති පද්ධතිය නැවත හදා දෙන්න කරන උත්සාහයක්. මේකට තමයි ජාත්‍යන්තර මැදිහත්කමක් කියන්නේ. 

සමහර අයට මෙහෙම කියන්නත් පුළුවන්, ඔය කොච්චර කිව්වත්  ඕවා වටේට ලොකු ලොකු දේශපාලන වැඩකරන්න තමයි මිනිස්සු එන්නෙ කියලා.  ඕනැ දෙයෙක්  ඕන කෙනෙකුය කියන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම වෙන්න සුළු සුළු ඉඩකඩකුත් තිබෙනවා. නමුත් අපි මේ කථා කරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව සෑම රටක්ම මැදිහත්්වෙලා හදාගත්ත සංස්ථාවක් ගැන. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම කියලා කියන්නේ, ලංකාවත් ඇතුළුව, හැම රටක්ම මැදිහත්වෙලා හදාගත්ත සංස්ථාවක්. ඉතිං ඒ සංස්ථාව කියනවා ඔයගොල්ල කරන්නෙ නැත්නම් අපි මැදිහත්වෙලා කරනවා. මොකද අපිටත් තියෙනවා වගකීමක් කියලා. මුළු ලෝකෙම හැරිල අපෙන් අහනවා අහවල් රටේ මෙහෙම වෙනවා, ඔයාලට පැමිණිළි කරලත් තියෙනවා, ඔයගොල්ල මොකද කළේ ? එතකොට කිව්වොත් මුකුත් කරන්න  ඕනෙ නැහැ කියලා, ඒ කියන්නේ අපේ සංස්ථාව වහල දාන්න  ඕනෙ කියලද ? ඒ කියන්නෙ එක්සත් ජාතින්ගේ මණ්ඩලය වහල දාන්න  ඕනෙ කියලද ? ලංකාවේ පොලීසි වහලා දාලා තියෙනවා වගේ මානව හිමිකම් කොමිෂම වහල දාන්න  ඕනෙ කියන එකද?  

අනාගතයෙදි මේ විමර්ශන කටයුත්තට රජය සහයෝගය ලබා නොදුන්නොත් තත්ත්වය කුමක් වේවිද ?

මේ රටේ මිනිස්සුන්ගේ අතේ ඒක තියෙන්නේ. මිනිස්සු මැදිහත් වෙන්න අවශ්‍යයි ඒ අවස්ථාවදි. රජයට සම්පුර්ණයෙන්ම මීට සහයෝ්ගය නොදී ඉන්න බැහැ. එ්කට හේතු තිබෙනවා. මොකද, මේක එන්නේ ලෝකේ තිබෙන ඉහළම මානව හිමිකම් මණ්ඩලයෙන්. ඒක සම්පුර්ණයෙන්ම එක්සත් ජාතින්ගේ බලය යටතේ පවතින දෙයක්. අද වෙනතුරු ලංකාව නිල වශයෙන් කියලා නැහැ සහයෝගය දෙන්නෙ නැහැ කියලා. අද එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ඒකෙ කියා තිබෙනවා ලංකාව නිල වශයෙන් අපට දැනුම් දීලා නැහැ අපේ පරීක්‍ෂණයට එගොල්ල ඒ වගකීමෙන් ඉවත් වෙනවාය, සහයෝගය දෙන්නෙ නැහැ කියා නිල වශයෙන් කියා නැහැ. ඔය ලංකාවේ පත්තරවලයි , රැුස්වීම්වලයි ඒ ගැන එක එක දේ කියන එක වෙනම දෙයක්. නමුත් නිල වශයෙන් ජාත්‍යන්තරයට එහෙම දැනුම් දීමක් කර නැහැ. නමුත් එසේ දැනුම්දෙන තත්ත්වයක් ආවොත් ලංකාවට විශාල වශයෙන් අවාසිදායක තත්ත්වයන් ඇතිවෙනවා. එකක් තමයි නොයෙක් සම්භාධක පැනවීමේ ඉඩක් මෙහි තිබෙනවා. 

මොනව කිව්වත් ලංකාවේ භාණ්ඩ ඇමරිකාවට යැවීම තුළින් තමයි යම් තරමක ආදායමක් රටට ඇතුලට එන්නේ. මේ යෝජනාවේදි වෙන කාගෙවත් අවසරයක් නැතිව හරි මේක කරන්න පුළුවන් ඇමරිකාවට තනියමත්,  අනික් රටවලටත් පුළුවන් ! අවසාන වශයෙන් නිල වශයෙන් එක්සත් ජාතින්ගේ මණ්ඩලයටත් මේ පියවර ගන්න පුළුවන්. මේකෙන් මොකද වෙන්නේ ? රජයේ මේ ක‍්‍රියා මාර්ගයෙන් අමාරුවේ වැටිල ඉන්න මිනිස්සුන්ව තවත් අමාරුවෙ දාන එකනේ කරන්නේ. ! මිනිස්සුන්ට හෙණ ගැහුව්වත් කමක් නැහැ, බඩු මිළ ඉහළ ගිහිං ආර්ථික ප‍්‍රශ්න ඇතිවුනොත්, තවත් ආර්ථීක භාධක ආවොත් ඒත් කමක් නැහැ කියයි! ඒක වගකීමක් ඇති රාජ්‍යයක් කිය යුතු දෙයක් නෙවෙයි. ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය නැත්නම් ලංකාවේ නීතිය කඩාවැටීම ගැන ආණ්ඩුව මොනව ද කියන්නේ ?  විසදුමක් නැතිව ජීවත්වෙන්න කියලද කියන්නේ ? මේ ගැටළුව ගැන ඇත්තටම රටේ තවම සාකච්ඡුාවක් නැහැ. රටේ නීතිය කඩාදැමීමේ වාතාවරණය ආණ්ඩුවමනේ නිර්මාණය කරල තියෙන්නේ. ආණ්ඩුව මේ කරදරය විසඳන්න  ඕනේ, එක්කෝ නැත්නම් විසඳන්න එන කෙනෙකුට අවසර දෙන්න  ඕනේ. එහෙම නැති උනොත් රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිවෙන තත්ත්වයක් උදා වෙනවා. එහෙම වෙච්ච රටවල් තියෙනවා.      

මේ විමර්ශනය සඳහා ජාත්‍යන්තර වශයෙන් මොන වගේ ක‍්‍රියා මාර්ගයක් ද දැනට අරගෙන තියෙන්නේ ?

පළමුවෙනිම ක‍්‍රියා මාර්ගය හැටියට ඒ ගොල්ල කරන්නේ, ලෝකයටම කැඳවිම් කරලා ඊට අදාළ වන වගිකීම දැරීමට හැකි කණ්ඩායමක් තෝරා ගැනිමයි. පරණ අත්දැකීම් මත පරීක්‍ෂණයක් කරන්නට හැකියාව තිබෙන මණ්ඩලයක් සකස් කරගැනීමයි. ඊට පස්සේ මුදල් සකස්කර ගැනීම. ඒ සඳහා අවශ්‍ය මුදල් ඩොලර් මිලියන එකකුත් දශම හතරක් වැය වෙනවා කියලා කියනවා, ඒවා සොයාගැනීම දැන් සිද්ධ වෙනවා. ඒ වගේ යම් පරීක්‍ෂණයක් කිරීමට අවශ්‍ය සියලූම දේ සුදානම් කරගැනීම මේ වනට විට ආරම්භ වෙලා තිබෙනවා. ඒ අතරේ ලංකාවේ ආණ්ඩුව එක්කත් මේ ගැන සාකච්ඡුා කරන්න  ඕනෙ. 

මේ විමර්ශන කමිටුවට වර්තමානයේ කඩවන මානව හිමිකම් පිළිබඳවත් ඉදිරියේදි පැමිණිළි කරන්න පුළුවන් වෙයි ද ? 

උසාවියකට බැහැනේ අනාගතයේ දෙයක් ගැන තීන්දු දෙන්න. ඒ වගේ පත්වෙන මණ්ඩලයට තිබෙන්නේ වෙච්ච දේවල් පිළිබඳව ඒ අයට ලබාදෙන නිල බලයට අදාළව කටයුතු කිරීමයි. ඒකෙන් යම් තත්ත්වයක් ඇති වුනොත් රටේ නීතිය නැවත ගොඩ නැගෙන, ඒකට පුළුවන් ලංකාවේ දැන් සිදු වන දේවල් ගැන බලන්න. එහෙම නැතිවුනොත් මිනිස්සු ඉල්ලා සිටියිි. අනෙක් ප‍්‍රශ්න විසදුවා වගේ දැන් සිදුවෙන දේවල් පිළිබඳවත් මැදිහත්වෙලා යම් තත්ත්වයකට ගේන්න කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙන්න  ඕනේ ඒක නෙවෙයි. සාදාකාලේටම පටින් මිනිස්සු ඇවිත් අපේ ප‍්‍රශ්න විසඳන්න නෙවෙයි අපිට ඔිනේ, ඒ අයගේ මැදිහත්වීම පාවිච්චි කරගෙන රටේ ඇති වෙලා තිබෙන මූලික කේන්ද්‍රීය ප‍්‍රශ්නයට මුහුණ දෙන්න. පොලීසියට නැවත බලය ලබා දෙන්න, ඒ අයගේ රාජකාරිය විධිමත් කරන්න, ඒ මාර්ගයෙන් මහජනතාව තමන්ටම තමන්ගෙ ප‍්‍රශ්ණ විසඳගන්න පුළුවන් සංස්ථාව නැවත ගොඩනඟා ගන්න. ඒ සඳහා යට් දේශපාලන කි‍්‍රයාමාර්ග ගන්න  ඕනෙ නට් ඒකත් ගන්න  ඕනේ.

මේ විමර්ශනය සඳහා නිළධාරීන්ගේ නම් යෝජනා වෙලා තිබෙනවාද ?

නැහැ. එක එක්කෙනා වෙන වෙනම නම් කරන්නේ නැහැ. දැන් කණ්ඩායමක් හදාගෙන යනවා, කණ්ඩායම සම්පුර්ණ වුනාම ඒ ගැන ප‍්‍රසිද්ධ කරාවි. 

මෙම විමර්ශනය අවසානයේ මොන ආකාරයේ දෙයක් ද සිදු විය හැක්කේ ? 

ඒක බොහෝ දුරට සිදුවන්නේ මේ ක‍්‍රියා මාර්ගයන් සම්බන්ධව ලංකාව ඇතුලේම සිදු වන නොයෙක් ප‍්‍රතික‍්‍රියාවන් මතයි. අපි හිතමු මෙම විමර්ශණ කටයුතු නරක පැත්තට හැරෙමින් තිබෙනවා කියලා, එහෙම උනොත් ඒගොල්ල දෙන වාර්තාව මත, ඒකේ හේතු සාධක ඉදිරිපත් කරලා තියෙනවා නම්, මේ වගේ අපරාධ වෙලා තිබෙනවා ඒවාට ක‍්‍රියාමාර්ග අරගෙන නැහැ, ඒ දත්තයන් විශාල වශයෙන් එකතු කරළ ඒවා බලමණ්ඩලයට ඉදිරිපත් කළාම ඒගොල්ලො ඒක ක‍්‍රියාත්මක කරගන්න උචිත ක‍්‍රියාමාර්ගයක් යෝජනා කරගන්නවා. ලංකාවේ මිනිස්සුන්ව මැදිහත් කරවා ගන්න ලංකාවේ අපරාධ නැතිකර ගැනීම සඳහා ක‍්‍රියාමාර්ගයකට නීතිය යටතේ ක‍්‍රියාත්මක වෙන බලවත් පොලීසියක් හදා ගන්න තිබෙන බාධක නැතිකරගන්නට, දේශපාලන බාධක නැතිකර ගන්නට, විශේෂයෙන්ම ව්‍යවස්ථාවෙන් පැන නැගී තිබෙන බාධක නැතිකර ගන්න මහජන සම්බන්ධතාවය, මහජන මැදිහත්විම වර්ධනය කරගන්න, රටම අභ්‍යන්තරයෙන් තවත් ශක්තිමත් කරන්න යනාදිය තමයි ඉන් බලාපොරොත්තු වෙන අවසාන අපේක්‍ෂාවන් වෙන්නෙ.

සංවාදය - පිලිප් දිසානායක, සංවාද සටහන් මෙලනි මානෙල් පෙරේරා

ස්වාධීන කොමිෂන් සභා එක ලෙඩකට ගෙනා බෙහෙතක් විතරයි

ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා සමග  සිදු කළ සංවාදයේ දී ඒ මහතා ප‍්‍රකාශ කළේ 17 වෙනි සංශෝධනය මගින් ගෙනා ස්වාධීන කොමිසන් සභා එක ලෙඩකට ගෙනා බෙහෙතක් පමණක් බවයි.


ජනාධිපති ක‍්‍රමය ඇතිවෙලා ලොකු විනාශයක් සිදුවලා තිබුණා. ජනාධිපති ක‍්‍රමය නැතිකරන්න ඕනෙයි කියන අධිෂ්ඨානය තිබුණේ නැහැ. ඒ අතරමැද පොඩි බෙහෙතක් හෙව්වා. නමුත් ඒක කරන වෙලාවෙ කවුරුත් කල්පනා කළ යුතුව තිබුණේ, ජනාධිපති ඒ වෙලාවෙදි ඒකට එකඟ වුණාට, එයාට හයිය ආව හැටියේ මේක අයින් කරල දානවානේ එතකොට මොකද කරන්නෙ කියලා? ඒක නොතිබුණු නිසා අවසානෙට 17වෙනි සංශෝධනය නැතිව ගියා. ඇත්තටම කියනවා නම් ආයතනවල ඇති කළ යුතු ස්වාධීනත්වය ඇතිකරනවා මිසක් කොමිසන් සභාවලින් ඕක කරන්න බැහැ. පොලිසිය ඇතුලේ උඩ හිට යටට ඇතිවන පාලන ක‍්‍රමය හදනවා මිසක් කාට හෝ කෝටුව දීලා පොලීසිය හදන්න කිව්වට ඒක කරන්න බැහැ. අභ්‍යන්තර පාලනයක් තියෙන්න ඕනෙ. අභ්‍යන්තර පාලනයක් නැතිකොට තමයි කෝටුවක් දීල හදන්න ගියේ.

අධිකරණයෙත් කෝටු තියාගෙන ඉන්න බැහැනේ. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රශ්නය මතින් එන්නේ විනය. අභ්‍යන්තර විනය නැතිවී තිබිම තමයි ප‍්‍රශ්නය. සියලූම සමාජයන් පවතින්නෙ විනය තිබෙනතාක් පමණයි. විනය කියන්නෙ බයට යටත්වෙලා ඉන්න එක නෙවෙයි. බොහොම සියුම් දෙයක්. යම් මූලධර්ම වලට යටත්වෙලා ඉන්නෙ. ප‍්‍රතිපත්තිවලට යටත්වෙලා ඉන්නෙ. ප‍්‍රතිපත්තිවලට යටත්වීම සැම සංස්ථාවක් ඇතුලෙම හදන්න වෙනවා. මේක නිතියට විතරක් නෙවෙයි පාසලේ ගුරුවරයටත් බලපානවා. මේක නැතිව ගියාට පස්සේ වැඩක් නැහැ. ලංකාව වැටී තිබෙන්නෙ නීතිය නැති එක විතරක් නෙවෙයි, සෑම අංශයක්ම වැටිල තියෙන්නෙ.
ප‍්‍ර: ලංකාවේ විශාල අපරාධ රැල්ලක් වර්ධනය වෙමින් පවතිනවා. සාමන්‍ය මිනිසුන් පමණක් නෙවෙයි මේ වන විට පොලිසීයේම නිළධාරීන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ දක්වා තත්වය බරපතල වෙලා තිබෙනවා. මේකට හේතුව කුමක් ද?
පි: එ්ක බොහොම ස්වභාවික හේතුවක්. අපරාධ මර්ධනය කරන්නට නීතිය පාවිච්චිකරන කොට තමයි අපරාධ මර්ධනය වෙන්නෙ. පාලකයින් විසින් නීතිය අතහැර දැම්මට පස්සෙ හරියට නිකම් වැටක් අයින් කළා වගෙයි. එතකොට ඕනෑම කෙනෙකුට ඇතුළු වෙන්නත් ඕනෑම දෙයක් විනාශ කරන්නත් පුළුවනි. මනුෂ්‍ය සමාජය තුළ එ් තරගකාරිත්වය ස්වභාවිකවම පවතිනවා. එ් අතරේ හැකි සෑම ආකාරයකින්ම තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගන්නට උත්සාහා ගන්නවා. නීතිය මගින් කරන්නේ, තමන්ගේ උවමනාවන් ඉෂ්ටකර ගනිද්දි අහවල් නීතිවලට යටත්වෙලා එ්ක කරන්න ඔනෙයි කියන එක මනුස්ස සමාජයට ගේන එක. මිනිස්සුන්ට නිදහස තිබෙනවා. නමුත් නිදහස පාචිච්චි කරන්න බැහැ අනෙක් අයට හිරිහැර කිරීමට හෝ අපරාධ කිරීමට. මේ සීමාව නීතියකින් තොරව පවත්වා ගෙන යන්න බැහැ. නීති හදාගැනීම කෙරුණේ, ශතවර්ශ ගණන් තිස්සේ කරපු අත්හදා බැලීම් මගින්. කොහොමද යම් බාධකයක් පුමුණුවන්නේ මිනිස්සු අනික් අයට හිරිහැර කරන එක වළක්වන්න. වෙනත් විධියකින් කිව්වොත් මනුෂ්‍ය සහයෝගීතාවය වර්ධනය කරන්නෙ කොහොමද ? මිනිස්සු මිනිස්සු සහයෝගයෙන් ක‍්‍රියාකරනවා නම්, ඕනෑම ප‍්‍රශ්නයක් විසදැගන්න පසුබිමක් තිබෙනවා. සහයෝගය ඇතිවෙන්න නම් ඊට බලපාන බාධා නැතිකරන්න ඕනෙ. ඒ පසුබිම ඇතිකිරීම තමයි නීතියකින් බලාපොරොත්තු වෙන්නෙ.
ලංකාවේ සිද්ධවී තිබෙන්නේ, විශේෂයෙන්ම 1972න් පටන් අරගෙන පසුව 1978 ව්‍යවස්ථාව මාර්ගයෙන් නීතිය බාධකයක් හැටියට නම් කෙරුවා. යම්කිසි වැඩක් කරන්නට නීතිය තිබෙනවාට වඩා නීතිය නොමැතිව කරන්න හැකි බව පෙන්නුවා. කාලයක් තිස්සේ විශේෂයෙන්ම බි‍්‍රතාන්‍ය පාලනය යටතේ වර්ධනය කරගත්ත නීතින් ඒ නිතිවලට අදාලව ඇතිකරගත් නොයෙක් සම්ප‍්‍රදායන් අතහැරදාන්න පටන් ගත්තා. මොකද මේ ආණ්ඩුව කරන්න හදන දේවලට ඒවා බාධකයක් කියලා. ඒකට 1978දි ව්‍යවස්ථාවෙන්ම මාර්ගය පාදාගත්තා. ජනාධිපතිව පත්කළා සියලූ දෙනාටම උඩින්, නීතියට යටත් නැති කෙනෙක් විධියට. නීතියට යටත් නොවන රාජ්‍ය පාලකයෙකු පිළිබදැ සම්ප‍්‍රදාය කියන්නේ වැඩවසම් යුගයට අයිති සම්ප‍්‍රදායක්. ඒක නැති කිරීමේ ඉතාම සංකේතාත්මක දිනය වන්නේ එංගලන්තයේ පළමු වන චාල්ස් රජ්ජුරුවන්ගේ බෙල්ල කපලා මැරුවා. මොකද පාර්ලිමේන්තුවේ අණට කීකරු වෙන්න එයා අකමැති වුණු නිසා.
අපි දකිනවා, එක කාලයකදි කවුරු හෝ රජ පෙළපතක් විසින් මිනිස්සුන්ව පාලනය කරනවා. මිනිස්සුන්ට ඒක හිරිහැරයක් වුණා. එ් හිරිහැරය නැතිකරල තමයි නීතියක් හදල පාර්ලිමේන්තුවක් හදල පාර්ලිමේන්තුවේ නීතියට අනුව රට පාලනය කරන්න ඕනෙයි කියන අදහස වර්ධනය වුණේ. ඒ ක‍්‍රමය ලංකාවට ගෙනාවේ වැඩිවශයෙන්ම බි‍්‍රතාන්‍යයන් විසින්. පසුව ඒක රටේ කොටසක් බවට පත්කෙරුවා. ඒක ඉවත්කර දැමීම තමයි 1978 දි ව්‍යවස්ථාව මාර්ගයෙන් කෙරුණේ. මීට ප‍්‍රධාන හේතුව වුණේ එවක හිටපු ජනාධිපතිට, ජේ ආර් ජයවර්ධනට වුවමනා වුනා මැරෙනකම් ම ජනාධිපති වෙන්නට. ඊට භාධාව තිබුණේ නීතියෙන්, මෙතැනදී ඔහු දුටුවා ඔවුන්ගේ පාලනය ගෙනියන්න නම්, එක පක්‍ෂයයි තියෙන්න ඕනෙ කියලා. ඔහු නායකයා වෙලා ඉන්න පක්‍ෂය පමණක් තියෙන්න ඕනෙ කියලා. මේ පක්‍ෂ ක‍්‍රමය නැතිකිරීමේ එක් විශාල පියවරක් හැටියට තමයි, නීතියට පහර දීම පටන් ගත්තේ.
එවකට ඔවුන් තුළ තිබුණා මේ රට සිංගප්පුරුව වගේ කරන්න ඕනේ කියන සිහිනය. ලී ක්වාන් යු සිංගප්පුරුවට කළ දේ තමයි අනෙක් පක්‍ෂ යටපත් කරල එක් පක්‍ෂයක් හදාගත්ත එක. රටේ ස්වභාවය නිසා, පුංචි රටක් නිසා ඒක පහසුවෙන් කරගන්න පුළුවන් වුණා මොකද දේශපාලන ව්‍යාපාර විශාල වශයෙන් ගොඩනැගිලා තිබුණේ නැහැ. පෙර මැලේෂියාවේ කොටසක් හැටියට තිබුණේ, ඒක බෙදිච්ච වෙලාවෙදි තිබුණු තත්ත්වයන් පාචිච්චිකර ගෙන ලී ක්වාන් යු බලයට පත්වෙලා හිටපු විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන්ව හිරේට දමලා බොහෝ දරදඩු නීති ගෙනල්ලා එක පක්‍ෂයක් විතරක් පවතින තත්ත්වයක් හදා ගත්තා. ඒ අනුව ඒ රටේ සැබෑ මැතිවරණයක් නැහැ.
1960 ගණන්වල ඉදැලා මේ වන තුරුම විරුද්ධ පක්‍ෂයට දෙතුන් දෙනෙකුට එහා පත්වන්නට ඉඩ දෙන්නෙ නැහැ. ඒ හදාගත්ත දර්ශනයේම ලංකාවට ගේන්න කරපු උත්සාහය තමයි 1978දි උච්චම ස්ථානයට ආවේ. එක නාකි මිනිහෙකුගේ උවමනාවකුත් එක්ක. ඒ තමයි තමුන්ට ඒ පාලනයේ මැරෙනකම්ම ඉන්න ඕනෙයි යන මතය. එක් අතෙකින් ඒ පුද්ගලයාගේ මානසීක තත්ත්වය බලපෑවා නමුත් ඒ හැර මධ්‍යම පන්තියෙයි ඉහළ වරප‍්‍රසාද තියෙන අයගෙයි මතයක් තිබුණා පාර්ලිමේන්තු ක‍්‍රමය මේ තිබෙන විධියට හොදැ නැතිය , තරමක බලවත් ආණ්ඩුවක් ඕනැය යන්න. ඔවුන් ඉන් අදහස් කළේ පක්‍ෂ මාරුවෙන්නෙ නැති එක පක්‍ෂයක් යටතට තිබෙන ආණ්ඩුවක්. ඒක ලංකාවේ මධ්‍යම පන්තිය ඇතුලේ ටික කාලයක් තුළ දරපු මතයක්. සියයට 80කට වඩා ඡුන්ද ප‍්‍රමාණයක් තිබුණු නිසා එහි සහයෝගයත් ලබාගන්න පුළුවන් වුණා. ඉතිං පුළුවන් තරම් ඉක්මනට තිබුණු ව්‍යවස්ථාව වෙනස් කළා.
ප‍්‍ර: හොදැයි, මේ තත්ත්වයෙන් මිදෙන්න නිශ්චිතව ඔබ යෝජනා කරන්නේ කුමක්ද?
පි: ලංකාවේ තවදුරටත් නීතිය මත පාලනය කියන සංකල්පය ඒ කියන්නේ, ඍමකැ දෙ ඛ්අ කියන එක නැහැ. එහෙමනම් ලංකාවට ගොඩ එන්න තියෙන එකම විධිය වෙන්නේ නීතියට පාලනය කියන එක නැවත ඇතිකර ගැනීමයි. මේ සදැහා ගන්න පියවරවල්වල ප‍්‍රධානම දේ වෙන්න ඕනේ, නීතිය තමයි ලංකාවේ කාටත් බලපාන දේ, නීතියට ඉහළ කවුරුත් නැහැ. නීතියට යටත් වෙච්ච පාලනයක් ලංකාවේ තිබෙන්නට ඕනෙ. එය ලෙහෙසියෙන් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපට දැනෙනවා මේක නමුත් පහසුවෙන් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද, පාලන ක‍්‍රමයක් නැතිකෙරුවට පස්සේ... මේක ලංකාවට එදා පිටින් ගෙනාවේ, නමුත් දැන් පිටින් ගේන්න කෙනෙක් නැහැ අභ්‍යන්තරයෙන්මයි ගොඩනගා ගන්න වෙන්නෙ.
අත්‍යවශ්‍යම පියවර තමයි, ලංකාවේ පාර්ලිමේන්තුව විනාශ වෙන්නට දීපු එක නැතිකරන එක. නීතිය හරියට ක‍්‍රියාත්මක කරන්න නම්, සර්ව සාධාරණ ලෙසට නීති ගේන්නත් පුළුවන් වෙන්න ඕනෙ. ඒ කියන්නේ මහජනතාවත් එක්ක සම්බන්ධවෙලා නීති ගේන්න. නීතිය මත පාලනය තිබෙන ප‍්‍රධානම කොන්දේසිය තමයි නීති පැනවීම ප‍්‍රසිද්ධියේ කරන්න ඕනෙ කියන එක. 1978 ව්‍යවස්ථාවෙන් ඒක කරන්නේ හොරෙන්. පාර්ලිමේන්තුවේ පනතක් හදන්න ගියාම ,ව්‍යවස්ථාව වෙනස්කිරිම තරම් බරපතල එකක් වුනත් දවස් දෙකක් තුනක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීලා එතැනින් අනුමැතිය ලබාගත්තට පස්සේ ප‍්‍රශ්නය ඉවරයි. ජනතාවට සාකච්ඡ කරන්න විධියක් නැහැ.
1950 ස් ගණන්වල 1960 ගණන්වල තිබුණේ මේක නෙවෙයි, මූලික හැම පනතක්ම කාලයක් තිස්සේ සාකච්ඡුා වෙලා මිනිස්සුන්ගේ දැනුවත්කම තුළ සිදුකෙරෙන දෙයක්. පවතින නීතිය කුමක්ද කියලා මිනිස්සු දන්නවා. නමුත් අද පවතින නීති පිළිබදැව බහුතරයක් දන්නේ නැහැ. ඔච්චර ප‍්‍රමාණයක් මිනිස්සුන්ව උස්සගෙන ගිහිං අතුරුදහන් කළේ කොහොමද ? ඒකට අවශ්‍ය රෙගුලාසි හදාගත්තා. ඉතිං මේ තත්ත්වය නැති කිරීම සදැහා ජනාධිපති ක‍්‍රමය නැතිකිරීමකින් තොරව ලංකාවේ නීතිය හදන්න බැහැ.
එක පාර්ශවයක් කියනවා මේ නිතිය නැතිව අපි පාලනය කරනවා කියලා. මේ නීතිය කඩන්න ඒ අයට කිට්ටු ටික දෙනෙකුට ඉඩ දෙනවා. එතකොට ඒ අය හිතන්නෙ අපි විතරයි මේ නීතිය කඩන්නෙ කියලා. රටේ සිටින හැම වර්ගයකම මිනිස්සු බලාගෙන ඉන්නවා මේක. තවත් කණ්ඩායමක් හිතනවා ඇයි නීතිය කඩලා මේ ලාභ ප‍්‍රයෝජන ගන්න ටික දෙනෙකුට විතරද පුළුවන්? මටත් පුළුවන්නේ ? සමාජයේ ඉන්නවා විශාල පිරිසක් නීති කඩන්න කැමති නැහැ. මධ්‍යස්ථ සාමාන්‍ය මිනිස්සු. නමුත් මේ මැද ඉන්න කිඹුලො බලනවා මොනවා හරි ඩැහැගන්න. එයා කරනවා නම් ඇයි මට කරන්න බැරි යැයි සිතමින් නීතියට ඇති භය නැතිව යනවා. නීතියක් තියෙනවා කියන්නෙ නීතිය කැඩුවොත් දඬුවම්කරනවා කියන එක. නමුත් මිනිස්සු දකිනවා නීතිය කඩලා ලාභ ප‍්‍රයෝජන ගන්න පුළුවන් බවත් දඬුවම් නොලබා නීතිය කඩන්න පුළුවන් බවත්. මේ තුළ නීතිය තියෙන්න ඕනෑ කියන අය නිෂ්ශබ්ද වෙන්න පටන් ගන්නවා, ඒ අය වෙනුවෙන් මැදිහත්කරුවන්වත් නැහැ. ඒ නිසා නීතියක් ඕනෙ නැහැ කියන අයගෙ මතය තමයි ක‍්‍රියාත්මක වෙන්නෙ.
ප‍්‍රඃ ජනාධිපති ක‍්‍රමය නැතිකිරීම තුළින් විශ්වාස කරන්න පුළුවන්ද නීතිය මත පාලනයක් ගොඩනැගෙයි කියලා ?
පිඃ ඒ දෙක එකට කෙරෙන්නට අවශ්‍යයි. එ්ක නැති කළ යුතු වන්නේ නීතිය මත පාලනයක් ගෙන ඒම ගැන ගත යුතු පියවර වහාම ගන්න කියන පොරොන්දුව මත. ජනාධිපති ක‍්‍රමය නැතිවෙනවා ඒ වෙනුවට පාලනය ගෙන යන වෙන ක‍්‍රමයක් එනවා. හිස්තැනක් හදන එකක් නොවෙයි. රටකට ආණ්ඩුවක් , පාලනයක් අවශ්‍යයි. ආණ්ඩුවක් තියෙන්න ඕනෙ නීතියට යටත් වෙච්ච ආණ්ඩුවක් දැන් තිබෙන්නෙ නීතියට යටත් නැති ආණ්ඩුවක්. නමුත් මීට පෙර ලංකාවේ තිබුණා එහෙම නීතියට යටත් වෙච්ච ආණ්ඩුවක්. ලංකාවේ මිනිස්සුන්ට තේරුම්ගන්න බැරි දෙයෙක් නෙවෙයි ඒක. මූලිකව මෙය ඇතිකරන අතරේ ප‍්‍රධාන වශයෙන්ම නීතිය රකින්න පුළුවන් සංස්ථාවන්ගේ බලය නැවත ඇති කරන්න ඕනෙ.
විශේෂයෙන්ම ලංකාව ඇතුලේ විශාල සාකච්ඡවක් තිබිය යුතු වෙනවා අධිකරණය විනාශ වී යාම ගැන. මොකද අවසාන වශයෙන් නීතිය රැකෙන්නෙ අධිකරණයක් තිබුණොත් පමණයි. නීතිය කඩන අධිකරණයක් තියෙනවා නම් නීතිය කඩනවාට උදව් කරන අධිකරණයක් තියෙනවා නම් නීතිය කඩන වෙලාවට අහක බලාගන්න අධිකරණයක් තියෙනවානම් නීතිය කැඩුවත් නැතත් ඒ ගොල්ලන්ගෙ බඩ පුරවා ගන්න සමහර අධිකරණ නිළධාරීන් සිටින තත්ත්වයක් තිබෙනවා නම් ඒක හරියට වෙද්දු ලෙඩ හැදිච්ච සමාජයක්. වෙද්දුන්ම ලෙඞ්ඩු වෙලා ඉන්නවානම් ඒකට කරන්න දෙයක් නැහැ.
පළමුවෙන්ම, අධිකරණයට වෙලා තිබෙන දේ පිළිබඳව විශාල සාකච්ඡාවක් කරන්න සිදුවෙනවා නැවත කොයි විධියටද අධිකරණයට එක්කො ඉන්න ඇතැම් මිනිස්සුන්ව අස්කර දමන්න ඕනෙද ? අලූතෙන් මිනිස්සුන්ව පත්කර ගන්නවාද ? දැනට සිටින අය ඉන්නවා නම් මොන ක‍්‍රමයක් යටතෙද මේ අයව තබා ගන්න ඕනේ ? මේ ප‍්‍රශ්න වැදගත් ! මේවා රටේ දැවෙන ප‍්‍රශ්න ! මේ පිළිබඳව සාකච්ඡවක් වර්ධනය වෙනවා. ලංකාවේ ඕන තරම් මිනිස්සු ඉන්නවා කොහොමද මේ නීතියක් මත පාලනයක් ගෙනයන්නෙ කියලා. ඒ ගැන අධ්‍යාපනයක් තියෙන අය ඉන්නවා.
ප‍්‍රඃ අද ලංකාවේ සාකච්ඡවක් ආරම්භවෙලා තිබෙනවා විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනයට ලක් කිරීම, විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභා නැවත ඇති කිරීම, 18 වෙනි සංශෝධනය ඉවත් කිරීම සහ 35 වෙනි ව්‍යවස්ථාට තිබෙන බලය අහිමි කිරීම. අනෙක තමයි සම්පුර්ණ මෙම ව්‍යවස්ථාව වෙනස් කරල පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කරන්න ඕනෙ කියන කතිකාව, මේ දෙක ගැන ඔබගේ අදහස කුමක්ද? වඩා සුදුසු පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යන එකද නැතිනම් විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කරන එකද ?
පිඃ ඇමරිකාවේ පවතිනවා කොංග‍්‍රස් ඒක පාර්ලිමේන්තු ක‍්‍රමයට සමාන ක‍්‍රමයක්. මෙතනදි මුලික තින්දු ගැනීමේදි ඒ අයගේ දැනුවත්කමෙන් තොරව ගන්න බැහැ. ඒ අතරතුර ජනාධිපතිටත් සීමා සහිත බලයක් තිබෙනවා. ඒක සීමා කරපු බලයක්. පාර්ලිමේන්තුව තමයි ශක්තිමත් ආයතනය. පාර්ලිමේන්තුවට යටත් වන අය, විධායකය ගෙනියන කෙනා ඉන්න ඕනෙයි කියන එක, එහෙම නැතිව ඒකාධිපතියෙක් ඕනෙයි කියන මට්ටමට ආවොත් මේ ක‍්‍රමයම තවදුරටත් පවත්වාගෙන යනවා කියනඑක ඒකෙ තමයි තේරුම.
ප‍්‍රඃ සංශෝධන සහිත ජනාධිපතිධුරයක් ගැන යම්කිසි එකඟත්වයකට එන්න පුළුවන් ?
පිඃ ඒකට ප‍්‍රශ්නයක් නැහැ. අගමැති කෙනෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් යුද්ධයක් ප‍්‍රකාශ කළා, ඒ වගේ දෙවල්වලදි ලෝකය පිළිගත්ත බලතල තිබෙනවා, ජනාධිපතිවරුන්ට කරන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයෙකුට කොහොමටවත් බැහැ පාර්ලිමේන්තුව නැති කරන්න. ලංකාවේ නොකියා නැතිකරලා තියෙන්නේ. ඒක සල්ලිවලට අරගෙන. දැන් සමහරදේවල් වෙනස්කරන්න වෙනවා, එය පක්‍ෂවලින් පැනීම... පක්‍ෂවල ස්ථාවරත්වය හදන්නෙ කොහොමද ? පක්‍ෂවල විනය පවත්වාගෙන යාම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදි ක‍්‍රියාමාර්ග හැදෙන්නෙ කොහොමද ? යනාදිය අවශ්‍ය වෙනවා. නමුත් මූලිකව පටන් ගැනීමේදි යා යුතු ප‍්‍රධානම තැන වෙන්නෙ පාර්ලිමේන්තුවෙ බලය ඇතිකරන එකයි. පාර්ලිමේන්තුවට යටත් වෙච්ච රටේ ප‍්‍රධානියෙක් ඇති කරන එකයි.
ප‍්‍රඃ පොලිසිය අධිකරණය හා නීතිපති යන මේ තුනම යම් ආකාරයකින් එක්සත්ව කටයුතු කිරීමේ දි නේ අනාගතයේදි හෝ අපරාධ අඩුකරගන්න පුළුවන් වෙන්නෙ. මේ සඳහා ඇතිකරල තියෙන ස්වාධීන කොමිසන් සභා නැවත කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාණවත් ද නැතිනම් ඉන් එහාට ගිය ප‍්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුද ?
පිඃ ඔය තුන ඒකාබද්ධව වැඩකරනවා කියන එකත් එතරම් හරි අදහසක් නෙවෙයි. ඒ අය තුළ එක්තරා ස්වාධීනත්වයක් තියෙන්න ඕනෙ. එකම අරමුණුවලට වැඩකරන නමුත් වෙන් වෙන් ම ස්වාධිනව වැඩකරන ස්වභාවය තියෙන්න ඕනෙ. එක්කෙනෙක් අනෙක් කෙනාගේ සේවකයෙක් නෙවෙයි. නීතිපති නීතියට අනුව වැඬේ කරන්න ඕනෙ. ඒක තවකෙනෙකුගේ කිම මත හෝ වෙනත් කෙනෙකුගේ පාලනයක් මත හෝ ලාභ ප‍්‍රයෝජන ගැනීම මත හෝ කෙරෙන්නට බැරිවිය යුතුයි. එහෙම පරිසරයක් තිබුණා නේ. මේ එකක්වත් ලංකාවට අලූත් දේවල් නෙවෙයි.
ලංකාවේ සාමාන්‍යයෙන් පැවතිච්ච නීතිපති ක‍්‍රමය 1978 පෙර කාලපරිච්ඡ්දයේ බොහෝදුරට සාර්ථක ක‍්‍රමයක්. ඒක තුළ තිබුණා සම්ප‍්‍රදායක් කාටවත් යටත් නොවී තමන්ගේ කාර්යය හරියට ඉටු කළා. අධිකරණයට තිබෙනවා වෙනම කාර්යයක්. ඒ අයත් කිසිවෙකුටත් යටත් නැතිව ඒ කාර්යය කරන්න ඕනෙ. නමුත් දැන් වෙලා තිබෙන්නේ ජනාධිපතිටයි දේශපාලන පක්‍ෂවලටයි යටත්වෙලා කි‍්‍රයා කිරීමනේ. එහෙම වෙනකොට ඒ ගොල්ල අස්වෙලා ගෙදර ගියා නම් ඊට වැඩිය හොඳයි. 'ඔයගොල්ලො කියන විධියට අපි නඩු අහන්න ඔනෙ නම්, ඔයගොල්ලම අහගන්න' මේක පැහැදිළියි කාටත්! නඩු ඇසීමේ සම්ප‍්‍රදායක් තියෙනවා, ඒකට අනුව කෙරෙන්න ඕනෙ. එසේ නොකෙරනවා නම් ඒකට දඬුවම් පැමිණවිමේ ක‍්‍රමයක් තියෙන්න ඕනෙ. පැමිණිලි කළාම ඒවා ස්වාධිනව විභාග කිරීමේ ස්වාධිනත්වය තියෙන්න ඕනෙ.
දේශපාලනයේ වෙනසකට වඩා මහජන මතයේ වෙනසකුයි ඇතිවෙන්න ඕනෙ. රටේ මිනිස්සු නිදාගෙන ඉන්න එක තමයි තිබෙන ලොකුම ප‍්‍රශ්නය. පොලීසිවල වැරදි සිද්ධවෙනකොට මිනිස්සු ඒකට මැදිහත් වුණේ නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පන්තිය තමයි ලංකාව විනාශ කරගත්තේ. නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධිනත්වය වැනි ප‍්‍රධාන අදහස් ගැන කථාකරන පන්තිය තමයි මධ්‍යම පන්තිය. අභාග්‍යකට වගේ අධිරාජ්‍යවාධි කළේ ඇතිවුණු මධ්‍යම පන්තිය ලංකාවේ ඒ කාර්යය කෙරුවේ නැහැ. ඒ ගොල්ල එකෙන් ලාභ ප‍්‍රයෝජන ගත්තා. සුද්දන්ගෙ බලපෑම තිබෙන කාලයේදි සිදු කළා. සුද්දො ගිය හැටියෙම දම්වැල කඩාගත්ත බල්ලො ටිකක් වගෙ උනා. එතැන් පටන් ඒ අයට ඔනෙකමක් තිබුණේ නැහැ මේවා ආරක්‍ෂා කරගන්න ඕනෙ නැතිනම් අපිව විනාශ වෙනවා කියලා. සාකච්ඡව සඳහා ඒ මතය රට ඇතුලෙ ඇතිකර ගන්න ඕනේ, ඒ නිසාවටම පුවත්පත් වලට, ආයතනවලට තිබෙන නිදහස ආරක්‍ෂකර ගන්නෙ නැතිව නීතියේ ආධිපත්‍ය හදන්න බැහැ.
ප‍්‍රඃ අනාගතයේ ඇතිවෙන්නාවු වෙනසකදී 17 වෙනි සංශෝධනය මගින් ගෙනා ස්වාධීන කොමිසන් සභා ප‍්‍රමාණවත් ද? එහි දුර්වලතා තිබෙනාවාද?
පිඃ නැහැ ඒක ලෙඩකට තිබුණු බෙහෙතක් විතරයි. ජනාධිපති ක‍්‍රමය ඇතිවෙලා ලොකු විනාශයක් සිදුවලා තිබුණා. ජනාධිපති ක‍්‍රමය නැතිකරන්න ඕනෙයි කියන අධිෂ්ඨානය තිබුණේ නැහැ. ඒ අතරමැද පොඩි බෙහෙතක් හෙව්වානේ! නමුත් ඒක කරන වෙලාවෙ කවුරුත් කල්පනා කළ යුතුව තිබුණේ, ජනාධිපති ඒ වෙලාවෙදි ඒකට එකඟ වුණාට, එයාට හයිය ආව හැටියේ මේක අයින් කරල දානවානේ එතකොට මොකද කරන්නෙ කියලා? ඒක නොතිබුණු නිසා අවසානෙට 17වෙනි සංශෝධනය නැතිව ගියා.
ඇත්තටම කියනවා නම් ආයතනවල ඇති කළ යුතු ස්වාධීනත්වය ඇතිකරනවා මිසක් කොමිසන් සභාවලින් ඕක කරන්න බැහැ. පොලිසිය ඇතුලේ උඩ හිට යටට ඇතිවන පාලන ක‍්‍රමය හදනවා මිසක් කාට හෝ කෝටුව දීලා පොලීසිය හදන්න කිව්වට ඒක කරන්න බැහැ. අභ්‍යන්තර පාලනයක් තියෙන්න ඕනෙ. අභ්‍යන්තර පාලනයක් නැතිකොට තමයි කෝටුවක් දීල හදන්න ගියේ. අධිකරණයේත් කෝටු තියාගෙන ඉන්න බැහැනේ. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රශ්නය මතින් එන්නේ විනය. අභ්‍යන්තර විනය නැතිවී තිබිම තමයි ප‍්‍රශ්නය. සියලූම සමාජයන් පවතින්නෙ විනය තිබෙනතාක් පමණයි. විනය කියන්නෙ බයට යටත්වෙලා ඉන්න එක නෙවෙයි. බොහොම සියුම් දෙයක්. යම් මූලධර්ම වලට යටත්වෙලා ඉන්නෙ. ප‍්‍රතිපත්තිවලට යටත්වෙලා ඉන්නෙ. ප‍්‍රතිපත්තිවලට යටත්වීම සැම සංස්ථාවක් ඇතුලෙම හදන්න වෙනවා. මේක නිතියට විතරක් නෙවෙයි පාසලේ ගුරුවරයටත් බලපානවා. මේක නැතිව ගියාට පස්සේ වැඩක් නැහැ. ලංකාව වැටී තිබෙන්නෙ නීතිය නැති එක විතරක් නෙවෙයි, සෑම අංශයක්ම වැටිල තියෙන්නෙ.
‘‘අයිතිය’’ වෙබ් අඩවිය විසින් ‘‘රට ගොඩනැගීමට නම්.....’’ මැයින් ආරම්භ කළ සංවාදය සදහා ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා සමග 2014 මැයි 08 වනදා දුරකතනය ඔස්සේ සිදු කළ සංවාදය සටහන් තැබුවෙ ‘අයිතිය’ වෙබ් අඩවියේ මෙලනි මානෙල් පෙරේරා මෙනවිය විසිනි.

(right2lifelanka.org)

හඬනු මැන දේශය - බැසිල් ප්‍රනාන්දු

නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් වසර ගණනාවක් තිස්සේ රචනා කරනු ලැබූ කාව්‍යන් සිංහලෙන් , “ හඬනු මැන දේශය”, නමින් පරිවර්තන වී ඇත. නීතිඥ රදිකා ගුණරත්නගේ පරිවර්තනයක් වන මෙහි කතුවරයා විසින් රචනා කරනු ලැබූ කවි 72 ක් පමණ අඩංගු වී ඇත. අදාළ කෘතියට , බැසිල් ප්‍රනාන්දු මහතාගේ කවීන් ගැන දීර්ඝ විචාරයක යෙදෙන මහාචාර්ය කේ. ජී. සංකරපිල්ලේ මහතා විසින් ලියනු ලැබූ සටහනක්ද අඩංගු කොට තිබේ. තුලනාත්මක විචාරයක් වන එමඟින් බැසිල් යනු කවුරුන්ද ඔහුගේ භූමිකාව කුමක්ද යන්න සවිස්තර කොට තිබේ. 

අදාල කෘතිය සම්බන්ධයෙන් බැසිල් ප්‍රනාන්දු , නිලන්ත ඉලං ගමුව සමඟ යෙදුන සම්මුක සාකච්චාවකි මේ.

දණ බිම ගසනු නෝනාවරුනි, මහත්වරුනි, දණ බිම ගසනු



බැසිල් ප‍්‍රනාන්දු  


ශ‍්‍රී ලංකාවේ යථාර්ථය කාටුන් ශිල්පියාගේ නිර්මාණශීලී චින්තනය සමග මුසුකොට ඬේලි මිරර් පුවත්පතේ කතුවැකිය සමග පසුගිය දිනෙක පළ වූ මේ කාටුනය, විමසුමට භාජනය විය යුත්තකි.

 
කාටුන් ශිල්පියා විසින් මෙම කාටූනය නිර්මාණය කිරීමට සම්බන්ධිත ඡුායරූපය ද ඬේලි මිරර් පුවත්පතේම පළවිය. එහි දැක්වුණේ මතභේදයට තුඩු දී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා හට පොලිස් නිලධාරියෙකු විසින් ආචාර කරන අන්දමයි. කාටුන් ශිල්පියා සිය චින්තනය විශේෂිත සිද්ධියක සිට සාමාන්‍යකරණට ලක්කරන අතර එමගින් සෑම ශ‍්‍රී ලාංකිකයෙකුම දන්නා ශ‍්‍රී ලංකා පොලිස් සේවය තුළ සිදුව තිබෙන පරිවර්තනය විස්තර කරයි. සෑම දේශපාලනඥයෙකු ඉදිරියේම දණ නැමීම ඕනෑම නිලයක සිටින සෑම පොලිස් නිලධාරියෙකුගේම බැඳීමයි. ඔවුන් ජාතික ධජයට පමණක් සැලියුට් ගැසූ දිනයන් අයිති අතීතයට ය.

විද්‍යුත් මාධ්‍ය මේ වන විට ශ‍්‍රී ලංකාවේ යථාර්ථය පිළිබඳ අවබෝධය ලබාගැනීම සහ එම සැබෑ යථාර්ථය පිළිබිඹු කිරීම දිරිගන්වනසුලූ ප‍්‍රවණතාවකි. ඇත්ත වශයෙන්ම මේ ආකාරයට ‘‘හතර ගාතෙන් දණින් වැටීම’’ අලූත් දෙයක් නොවේ. දැන් වසර ගණනක සිට මෙම පරිවර්තනය සිදුවෙමින් පවතින නමුත් දේශීය මාධ්‍ය මේ තත්වය මහජනයා ඉදිරියට ගෙනයාමට එක්කෝ අපොහොසත් විය. නැතිනම් අකමැති වූහ.

නේපාල රජ පවුල විසින් එරට පාලනය කරන සමයේ කාන්තාවන්ට රජු පය සේ¥ ජලය පානය කිරීමට සිදුවීමේ සම්ප‍්‍රදායක් විය. දෙවියන්ටත් වඩා වැදගත් ලෙස ඔවුන්ට පෙනී යන දේශපාලකයන් සඳහා ද වත්මන් ශ‍්‍රී ලංකා පොලීසිය නිසැක වශයෙන්ම එය පවා කරනු ඇත.

දැන්, සැබෑ තත්වය විචිත‍්‍ර ලෙස සහ සහතික වශයෙන්ම නිරූපණය කර තිබෙන අතර, පාලිත දේශපාලකයන් වෙත පළ කෙරෙන පොලීසියේ මේ අලූත් දාසකමේ සෑම අංගයක්ම හෙළිදරව් කිරීම නිසැක වශයෙන්ම මාධ්‍යයේ වගකීම වේ. මාධ්‍ය මෙසේ කරනු ඇත්ද යන්න බොහෝ වශයෙන්ම රඳාපවතින්නේ පොලිස් නිලධාරීන් මෙන් දණින් වැටීමට මාධ්‍ය ආයතන ප‍්‍රතික්ෂේප කරන්නේද යන්න මත ය.

නිර්මාණශීලී කාටුන් ශිල්පියෙකු විසින් සිදුකර තිබෙන්නේ ඕනෑම පොලිස් නිලධාරියෙකු තමන් දෙස කැඩපතින් බැලූ විට දිස්වන පෙනෙන පරිදි පොලීසියේ ප‍්‍රතිරූපය පෙන්වා දීමයි. ඉතා පහත් තත්වයකට වැටුණු පොලිස් සේවයක් කිසිදු පාඩමක් උගෙන ගන්නා බවක් නොපෙනෙන නිසා පොලීසිටය ප‍්‍රත්‍යක්ෂ නොවන පණිවුඩය, ඇත්ත වශයෙන්ම, මහජනතාව වෙත සහ විශේෂයෙන්ම තවමත් සිය විචාරශීලී මනස් අත්නෑර තබාගෙන සිටින්නන් සඳහා වේ. මෙවැනි පොලිස් නිලධාරීන්ගෙන් ජනතාවට අපේක්ෂා කළ හැක්කේ කුමන ආකාරයක ආරක්ෂාවක් ද? සැබවින්ම භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර සහ වෙනත් ප‍්‍රකට ඝාතනයන්ගේ වින්දිතයන් බවට පත්වූවන්ට මීට වඩා කිසිවක් බලාපොරොත්තු විය නොහැක.

වඩාත්ම ගැටලූ සහගත ප‍්‍රශ්නය වන්නේ, කාටූනයෙන් පළ කෙරෙන ඉරියව්ව මගින් පොලීසිය රෝල් මොඞ්ල් කෙනෙක් ලෙස දැක්වෙන්නේද යන්න සහ එය එසේ නම් සමාජයේ හැම කෙනෙක්ම එම උදාහරණය අනුගමනය කරමින් පාලක පක්ෂයේ දේශපාලනඥයෙක් යැයි කියා ගන්නා ඕනෑම අයෙකු ඉදිරියේ දණින් වැටේවිද යන්නයි. පොලීසියේ මෙම දාස භාවය, සමස්ත ජනතාවගේ දාස භාවය පිළිබඳ හුදු විදහාදැක්වීමක්ද?

මේ දිනවල හොඳින් ස්ථාවර වී සිටින මාධ්‍යයන්ට වඩා වැරෙන් හඬ නැගූ අවංක කාටුන් ශිල්පියෙකු හට අපි ආචාර කළ යුත්තෙමු. එවැනි කි‍්‍රයාවකට ගරුකිරීමක් වශයෙන් කළ හැකි එක් දෙයක් වන්නේ මේ කාටුනය සෑම මේසයක් ඉදිරියේම තබාගෙන ශ‍්‍රී ලංකාව අද කුමක් බවට පත්වී ඇත්දැයි අප විසින් අපටම සිහිකැඳවා ගැනීමයි.

(ඡුායාරූපය සහ කාටුනය ඬේලි මිරර් පුවත්පතේ අනුග‍්‍රහය මත පළ කරන ලදී)

 COLOMBO_TELEGRAPH

නිදහස අතීතය සැමරීමක් නොව අනාගතය සඳහා ඇති බලාපොරොත්තුවයි

| නීතිඥ බැසිල් ප්‍රනාන්දු

( 06.02.2012 | lankaguardian.com) කිසියම් පෞඩත්වයක් හෝ බැරෑරුම් කමකින් තොරව පැවැත්වූ නිදහස් දින උත්සවයක් ලෙස 2012, 64 වන නිදහස් දිනය වාර්තා කළ හැකිය. රටේ පවතින ඉතා බැරෑරුම්ම ප්‍රශ්න පිළිබඳව අබමල් රේණුවකවත් අවබෝධයක් හෝ තැකිමක් රජයට නැති බව ජනාධිපතිවරයාගේ නිදහස් දින ජාතිය අමතා කළ කථාවෙන් ඉතාම පැහැදිලිවේ. ජාතිය ඉදිරියේ ඇති අභියෝගය ඔහු ඉදිරිපත් කළේ මෙසේය.

"අකාර්යක‍ෂමතාවයෙන් කාර්යක‍ෂමතාවයටද,
විරැකියාවෙන් රැකියාවටද;
අපිරිසිදුකමින් පිරිසිදුකමටද;
යල්පැණගිය දේශයෙන් නවීන දේශයක් කරා යන්නද බලාපොරොත්තු වෙනවා

අවනීතිය පැතිරිගිය රටතුළ නීතිය නැවත ස්ථාවරකර ගැනිම, රට මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය බව, එම කථාවේ කොහේවත් සඳහන් නොවිය. එය හිතාමතා අමතක කලා යැයි සිතිම අසාධාරණ නොවේ. මන්දයත් රටේ පවතින කිසිම ප්‍රශ්නයක් අවනීතිය පිළිබඳව ප්‍රශ්නය නොවිමසා නිරාකරණය කරගත නොහැකි නිසාය. එහෙත් අවනීතිය පිළිබඳව ප්‍රශ්නය නිරාකරණය කිරිමට මෙම රජයට නොහැකි බව ජනාධිපතිවරයා දනි. එයට හේතුව සරලය. අවනිතිය ඇතිකරන ප්‍රධාන හේතුව දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමයම බව, ජනාධිපතිවරයා දනි. එම ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට පොරොන්දුවක් දී, ජනතාවගේ ඡන්දය ඉල්ලා ගැනිමෙන්ම පෙනි යන්නේ එම ප්‍රශ්නය පිළිබඳව අවබෝධයක් ඔහු සතු බවය.

එය අමතක වී තිබුනා නම්, එය මතක්කරන සිදුවීම් රටපුරා හැමදිනකම සිදුවේ. නිදහස සමරන දිනවලම කහවත්තේ මවක හා 18 හැවිරිදි දියණියක මෙලේච්ච ලෙස මරාදමා තිබිනි. එම කහවත්ත ප්‍රදේශයේම මෙවැනිම මෙලේච්ච මිනිමරුම් දහයක් වාර්තා වූයේ මීට ටික කලකට පෙරය. එවැනි මෙලේච්ච මිනිමරුම් සිදුවන්නේ කහවත්තේ පමණක් නොවේ. රටේ සෑම ප්‍රදේශයකින්ම එවැනිම මෙලේච්ච මිනිමරුම් වාර්තා වේ. ජනාධිපති මන්දිරයේ අපරාධ පිළිබඳව වාර්තා පොතක් ඇත්නම් රටේ ඇතිවෙමින් ඇති මහා අපරාධ නවත්වා ගැනීම, රට මුහුණදෙන ප්‍රධානම අභියෝගයක් බව නොවැටහී තිබිමට බැරිය.

මෙලේච්චත්වය පවතින්නේ රටේ සිදුවන මිනිමැරුම් තුළ පමණක් නොවේ. අද රටේ දූෂණය අස්සක් මුල්ලක් නෑර පැතිර, සියලුම සමාජ සම්බන්ධතාවයන් විසම තත්ත්වයකට පත්කොට ඇත. දුමින්ද සිල්වා පිලිබඳ සිදුවීම් පමණක් නොව, තවත් දහසකුත් දෙනා පිළිබඳව සිදුවීම් තුළින් කියවෙන්නේ දූෂණය සෙල්ලමක් බවට පත්විමට ඉඩදි බලාසිටින රජයක් පිළිබඳව කථාවකි. දූෂණය මැඩිමට ඇති අවශ්‍යතාවය ජනාධිපතිවරයාගේ කථාවෙහි සඳහන් නොවීම පුදුමයක් නොවේ. දූෂණය වගා කිරිම මිස, දූෂණය නැතිකිරිම තවදුරටත් ලංකාවේ රාජ්‍ය ප්‍රථීපත්තියක් නොවේ.

විරැකියාව නැතිකිරිම ජනාධිපතිවරයාගේ කථාවේ සඳහන් වූ නමුත් රටපුරාම පවතින්නේ වෙනත් තත්ත්වයකි. යාන්තම් හෝ හැකියාවක් ඇති කවුරුන් වුවත් දැන් බලන්නේ රටෙන් පිටවී ගොස්වත් යම් රැකියාවක් සොයාගැනීමටය. ලෝකයේ දුෂ්කර දේශවලට ගොස් ඉතාමත් දුෂ්කර රැකියා කිරිමට රටවැසියෝ මැළි නොවෙති. රට පිළිබඳව රටවැසියා තුළ ඇති අවිශ්වාසය එපමණටම බලවත් වී ඇත.

රැකියා ඇති අය වුවද අඩු වේතන නිසා දිවි ගැටගසා ගැනිමට බැරි තත්ත්වයක පසුවන බව රට පුරාම පැතිරෙමින් පවතින වැඩ වර්ජන තර්ජන වලින් පෙනියයි. වැඩවර්ජන මර්ධනය කිරිමේ පිළිවෙත හැර වේතන වැඩිකිරිමේ ප්‍රතිපත්තියක් ගැන රජයට අවධානය යොමුකල නොහැකිය. වගකිම් විරහිත ආකාරයට මහා පොලී වලට ණය ගැනිම මඟින් රට බංකොලොත් තත්ත්වයකට ඇද දමා තිබෙන තත්ත්වයක් තුළ රටේ වේතන ප්‍රශ්න විසඳීම පිළිබඳව මොනයම්ම හෝ ප්‍රතිපත්තියක් දියුණු කර ගැනිමට රජයට නොහැකි වීමද පුදුමයක් නොවේ.

ඩෙංගු උණ තවතවත් වැඩිවේ. රජයේ සිවිල් සේවයත්, වෛද්‍යවරුන් හා වෙනත් අදාල සේවයනුත් රටේ සිවිල් සමාජයත් එකට සංවිධානය කරගනිමින් මෙම ප්‍රශ්නයට මුහුණදිමේ හැකියාව රජයට නැත. මැලේරියාව මර්ධනය කළ යුගයේ සමාජය ඒකායන අරමුණක් සඳහා සාධනීයව මෙහෙයවා ගැනිමට රජයකට තිබූ හැකියාව දැන් පවතින්නේ නැත. ඒ වෙනුවට දඩමුදල් වැඩිකිරිම්, රාජ්‍ය සේවයකයන් ගස් බැඳීම් හා වෙනත් තර්ජන මගින් ප්‍රශ්නය විසඳනවා යැයි මවා පෑමට ගන්නා උත්සාහය විහිලුවට ලක්කරමින් ඩෙංගු මදුරුවා රජකරන තත්ත්වයක් ඇතිවිමට තරම් ලංකාව අභාග්‍ය සම්පන්න වී ඇත.

නිදහස් සෞඛ්‍ය ක්‍රමය දැන් බොහෝ දුරට අහෝසි වී ඇත. නිදහස් අධ්‍යාපනය දැන් තීරණාත්මක අභියෝගයකට මුහුණ දී ඇත. මේ පිළිබඳව රජයේ ප්‍රකාශ කෙසේ වෙතත් සැබෑ රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ නිදහස් සෞඛ්‍ය ක්‍රමය හා නිදහස් අධ්‍යාපනය නැතිකර දැමීම බවත් හුදෙක් ලාභය මත පදනම් වන ව්‍යාපාර බවට මේවා හරවා ගැනිම බවත් රහසක් නොවේ.

විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා රටේ සියලුම ප්‍රසිද්ධ සංස්ථාවන් බල විරහිත කර ඇත. 18 වන ව්‍යවස්ථා සංශෝදනය මගින් එම ප්‍රසිද්ධ සංස්ථා යම් තරමකට හෝ ගොඩගැනිමට, 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන තිබූ පියවර නිශ්ප්‍රභාකරදමන ලදි. 18 වන සංශොධනය මගින් පෙන්නුම් කරන්නේ ලංකාවේ පවතින උමතු දේශපාලන ක්‍රමයේ හැටි ස්වභාවයය.

නිදහස යන වචනයෙනහි ඇත්තේ ඉතා සරල අර්ථයකි. එනම් රජයෙන් හිරිහැරයට පත් නොවි සිටිමට රට වැසියාට ඇති අයිතියය. වර්තමාන රාජ්‍ය පිළිවෙත ජනතාවට හිරිහැර කිරීමේ පිළිවෙතය. හිතුවක්කාර අත්අඩංගුවට ගැනිම්, වදහිංසා කිරිම්, ඔසවාගෙන යෑම්, ඝාතනය කිරීම් හා සියලුම වර්ගයේ අපරාධ මගින් රජය ජනතාවට හිරිහැර කරයි. හිතීම, ලිවීම, කථාකිරීම, ප්‍රකාශන නිකුත් කිරීම ආදි සියල්ල දඬුවම් ලැබිය යුතු වැරදි බවට පත්කොට ඇත. එම ක්‍රියාවල යෙදීම නිසා ජීවිතයෙන් හෝ වෙනත් ආකාර වලින් වන්දි ගෙවීමට සිදුවූ අයගේ ප්‍රමාණය අතිමහත්ය.

එම හිරිහැර කිරිම් වලින් බේරී සිටිමට නිතිය මගින් නිර්මාණය වී පැවතුණු ආරක‍ෂා විධිවිධාන රජය විසින් පරල කර දමා ඇත. අධිකරණය අඩපණ කොට ඇත. පොලිසිය දේශපාලනයකරණය තුළින් බලවිරහිත හා ඵලදායි වැඩක් කල නොහැකි සංස්ථාවක් බවට පත්කොට ඇත. නීතිපති ක්‍රමය තුළ තිබූ ස්වාධීනත්වය නැති කොට දේශපාලන පළිගැනීමේ අතකොළුවක් බවට පත්කොට ඇත. මෙසේ ඇතිකොට ඇති රජයේ විපරීත ස්වභාවය රජය විසින්ම පත්කල උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳව කොමිසම මගින් පවා පෙන්වා දී ඇත.

නිදහස් දිනයේ සැමරුම තුළින් බලවත්ව ලෙස හෙළිදරව් කළේ දැන් පවතින රජය පමණක් නොව එය පදනම් වී ඇති දේශපාලන ක්‍රමය නිදහසට තර්ජනයක් වී පවතින ආකාරයයි.

මෙම මහා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට තරම් අවබෝධයක් හා අධිෂ්ඨානයක් රටවැසියා තුළ ඇතිවන තාක් කල් රජයෙන් පැණ නගින මෙම හිරි හැර තුළින් අත්මිදී සිටිමට ජනතාවට හැකිවන්නේ නැත. නිදහස සඳහා අරගලය අතීතය සැමරිමක් නොව අනාගතය සඳහා ඇති බලාපොරොත්තුවක් පමණය. එම බලාපොරොත්තුව ඉටු කොට ගැනිමට හැකිවන්නේ කෙටි කලකින්ද දිඝු කලකින්ද යන්න තීන්දු වන්නේ ජනතාවගේ අවබෝධයේ ප්‍රමාණය අනුවය.




දෙසැම්බර් 10: ජගත් මානව හිමිකම් දිනය

| බැසිල් ප්‍රනාන්දු

නීතිය මත පාලනය

2011 මානව හිමිකම් දිනය සාකච්ඡා කරන විට අපට මුළු ලෝකේ පුරාම විවිධ ජනතාවන් මෙම දිනය සමරන අකාරය දැක ගත හැකිය. සමහර රටවල මානව හිමකම් දිනයක කියවෙන්නේ ඔහුන් අත්පත් කරගත් ජයග්‍රහණයන්ය. විවිධාකාරයෙන් මානව හිමකම් අපි සතුව ඇතැයි කියා ඔහුන් සතුටට පත් වෙති. නමුත් බොහොමයක් රටවල ජනතාවට මානව හිමිකම් දිනය මතක් වෙන්නේ තමන්ට නැති හිමිකම් සම්බන්ධයෙනුයි. එක ආකාරයකින් කණගාටුවකුත් අනෙක් ආකාරයෙන් අනාගතයේදී මෙම අයිතිවාසිකම් ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට මුහුණ දෙමින් ඔවුන් තමන්ගේ අධිෂ්ඨානය ගොඩ නගා ගත යුත්තේ මොන ආකාරයෙන්ද යන්න සාකච්ඡා කරනු ලබනවා.

මානව හිමිකම් වූ කලී

මෙම අවස්ථාවේදී මානව හිමිකම් යන්නෙහි අර්ථය මුලින්ම අවබෝධ කරගැනීම වැදගත් වේ. මුලින්ම යුරෝපය තුළ වර්ධනය වූ මෙම සංකල්පයට හේතු වූයේ 16 වන ශත වර්ෂය දක්වාම වැදගත් කමක් ඇති අය හෝ ගරු කටයුතු වලට සුදුසු යැයි සලකනු ලැබූ අය ප්‍රභූවරුන්ගේ කණඩායම් වලට අයිති වූවන් ලෙස සලකනු ලැබීමයි. රජතුමා විසින් විවිධ තානාන්තරයක් එසේ විශේෂ උදවියට ලබා දීමෙන් ඒ අය ඒ නිසා ගරු සැලකිල්ලට භාජනය විය යුතු යැයි සංකල්පයක් පැවතුනි. ඒ නිසා රටේ වැඩි සංඛ්‍යාවකට මානව ගරුත්වය කියා දෙයක් තිබුණේ නැත. රටේ බහුතරයක් යටහත් පහත් කණඩායමක් වූ අතර බොහොමයක් අයිතිවාසිකම් ප්‍රභූවරුන් සතු වූහ. මෙම අදහස වෙනස් වීමට විප්ලවයන් ගණනාවක් බලපෑවේය. මේ අතර ප්‍රංශ විප්ලවය ප්‍රධාන විය. එම විපලවයේදී ලෝකයේ මුල් වතාවට මානව හිමිකම් පිළිබඳව ප්‍රකාශනයක් එය මෙහය වූ විපලවදීන් විසින් ප්‍රකාශයට පත් කළහ. එහිදී පිළිගැනුණු ප්‍රධාන අදහස වූයේ , සියලුම මිනිසුන් උපතින්ම ගරුත්වයට සුදුසු කම් ලබන්නෝය,යන්නයි. ඉන් ගරුත්වය එක විශේෂ කණ්ඩායමකට පැවතියේය යන අදහස මුළුමනින්ම ඉවත් කොට සියලු දෙනාටම මනුෂ්‍යයින් ලෙස තමන්ට හිමි ගරුත්වයට හිමිකම් කිව යුතුය යන අදහස එහිදී ඉදිරිපත් විය. එනම් අපි මානව හිමිකම් දිනයේදී සමරන්නේ මෙම ගරුත්වයට සියලුම දෙනාටම එනම් පොදු වූ තත්වයක් හෙවත් කිසියම් විශේෂ කණ්ඩායමකට සුවිශේෂී නොවූ තත්වයක් පිළිබඳවය.

නීතිය මත පාලනය

එනම් මේ පිළිබඳව කතා කිරීමේදී අපි සැලකිය යුතුවන්නේ කුමන පදනමක් යටතේද මානව හිමිකම් හිමි වන්නේ යන්නයි. වර්තමාන ලෝකයේ මානව හිමිකම් ලබා ගැනීමට ඇත්තේ එකම එක පදනමක් පමණි. එම පදනම නම් නිතීය මත පාලනය යන පදනමයි. යම් රටක නිතීය මත පාලනය නැත්නම් එම රටේ කිසියම් හෝ මානව හිමකම් රැක ගැනීම සඳහා හැකියාවක් නොමැත. මෙහෙදී සැලකිය යුතු වන්නේ නිතීය මත පාලනය යන්නෙහි මුලික අදහස කුමක්ද යන්නයි. ඊට මුලික අදහස් තුනක් තිබේ. එනම් පළමුවැන්න, නිලයක් දරන ඕනෑම කෙනෙක් ( එනම් රජයේ හෝ පුද්ගලික අංශයක ) දැරිය යුත්තේ ඔහුට හෝ ඇයට නීතියෙන් දෙන බලතල තුළ පමණි. එසේම ඔහු/ ඇය එය ක්‍රියත්මක කළ යුත්තේ නීතියෙන් දෙන බලතල තුළ පමණි. දේශපාලනඥයින් වේවා, නිලධාරීන් වේවා, පොලිස් නිලධාරීන් වේවා, පරිපාලන නිලධාරීන් වේවා, ආදී වශයෙන් ඕනෑම නිලධාරියෙක් තම රාජකාරීය සිදු කරන්නේ නීතිය මඟින් තමන්ට ලබා දී ඇති බලතල ප්‍රකාරව බව ප්‍රකාශ කිරීමට හැකියාව තිබිය යුතුය. එම බලයේ සීමාවට යටත්ව එම ක්‍රියාව සිදු කරනු ලබන්නේය යන්න කීමට ඔවුන්ට හැකියාව තිබිය යුතුය. දෙවැනි කාරණය වන්නේ එසේ කටයුතු කිරීමේදී යුතුකම් මෙන්ම ලාභ ප්‍රයෝජන ඇති වීමයි. යම් කෙනෙක් ඔහුට/ඇයට හිමි රාජකාරිය සිදු කිරීමේදී ඔහුට හිමි අයිතිවාසිකම් රැසක් තිබේ. එසේම ඔහුට එය සිදු කිරීමේදී ලාභයක් හෙවත් ප්‍රයෝජනයක් තිබේ. තුන්වැනි කාරණය වන්නේ තමන්ට පැවරී ඇති බලතල අනුව කටයුතු කිරීමේදී ඒ පිළිබඳව ගැටලුවක් මතු වුව හොත් ඒවා නිරාකරණය කර ගත යුත්තේ අධිකරණයේදී පමණය යන අදහසය. ලෝකයේ ප්‍රකට නිතීවේදියෙක් මෙම කාරණා තුන මේ ආකාරයෙන් නිරවචනය කොට තිබේ, " පවතින මුලධර්මයන්ගේ හරය මෙසේය. යම් රාජ්‍යක් තුළ සිටින සියලුම පුද්ගලයින් සහ රජයේ සහ පුද්ගලික අංශයේද බලධාරීන් ප්‍රසිද්ධියේ නිර්මාණය කරන ලද නීති වලින් බැඳෙන අතර ඒවායින් ලැබෙන ඵල ප්‍රයෝජන වලට අයිතිවාසිකම් කියන අතර එම ඵල ප්‍රයෝජනය සාමානයෙන් ක්‍රියාත්මක වන්නේ අනාගතයේදීය. එම නීති ප්‍රසිද්ධියේ අධිකරණය මඟින් ක්‍රියාත්මක කළ යුතු වේ."

එම නිර්වචනය යටතේ ලංකාවේ මානව හිමිකම් පිළිබඳව පවතින ගැටලූ සාකච්චා කොට බලමු. උදාහරනයක් ලෙස යම් පොලිස් නිලධාරියෙක් හොරකමට සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා යම් අයෙකුට පහර දෙන්නේ යැයි සිතමු. එම අවස්ථාවේදී ඔහුට කිව හැකිද මම මේ පහර දෙනු ලබන්නේ මට අහවල් නිතී ප්‍රකාරව ලබා දී ඇති බලතල අනුව යැයි කියා. එහෙදී අපි පැහැදිලිවම දන්නවා එසේ බලයක් නීතියෙන් ලබා දී නොමැති බව සහ ලබා දෙන්නේද නැති බව. එය සකල නිතීයට පට හැනියි. එවිට පොලිස් නිලධාරීයා එම අවස්ථාවේදී නිතීය මත පාලනය මුළුමනින්ම අමතක කොට දමා ඇත. පොලිස් නිලධාරියෙක් යනු නිතීය ක්‍රියාත්මක කරවීමේ රාජකාරීය පැවරී ඇති නිලධාරියෙකි. තවත් උදාහරණයක් ගෙන බැලුවහොත්, යම් හමුදා නිලධාරියෙකු යම් කිසි තත්වයක් යටතේ ස්ත්‍රී දුෂණයක යෙදෙනවා යැයි සිතමු. එවිට අදාළ හමුදා නිලධාරියාට තමන්ට අහවල් නීතීන් ලබා දී ඇති නිතී ප්‍රකාරව තමන් ස්ත්‍රී දුෂණයේ යෙදෙන බව ප්‍රකාශ කළ හැකිද? එසේ කිව නොහැකිය. මන්ද එවැනි නිතීයක් නොමැත. එවිට එම හමුදා නිලධාරියාද නිරත වන්නේ නිතීය මත පාලනයට පටහැනි කටයුත්තකි. ඔහු නිතීය මත පාලනය ආරක්ෂා කරනු වෙනුවට ඔහු එය නැති කොට දමා ඇත. මෙය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා උඩවලවේ ප්‍රදේශයේදී මෑතක සිදු වූ මිනි මැරීම ගත හැකිය. එහිදී එකම පවුලේ පියා, මව මෙන්ම වයස අවුරුදු 08 ක් සහ 14 වන ඔවුන්ගේ දුවට සහ පුතාට වෙඩි තබා මරා දමනු ලැබුහ. එය ලංකාවේ අඛණ්ඩව සිදුවන සිදුවීම් වීම ගණනාවක එක විශේෂ සුදු වීමකි. ඉන් ගම්‍ය වන්නේ රටේ අපරාධ මර්ධනය සඳහා ගෙන ඇති වැඩ පිළිවෙල වල පවතින දුර්වලතාවයන්ය. බොහෝමයක් රටවල් වල බොහෝ සෙයින් සාර්ථක කරගෙන ඇති නමුත් මෙරට තවමත් ඒ සඳහා පැහැදිලි වැඩ පිළිවෙලක් ගෙන නොමැත. ලංකාවේ වුවද 1960 ට පෙර එක්තරා සීමාවන් යටතේ වුවද මෙරට සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාත්මක විය. නමුත් 1970න් පසු එය ටිකෙන් ටික නැති වී ගොස් ඇත.

මානව හිමිකම් නැතිවීමේ හේතුව

මේ වනවිට මුලික ගැටලුව වී ඇත්තේ මහ ජනතාවට තමන්ගේ නිදහසේ සුරක්ෂිතව කටයුතු කරගැනීම සඳහා අවශ්‍ය පදනම, නිතීය කඩ නොකොට එය මත පිහිටා නිතීය ආරක්ෂා කරමින් කටයුතු සකස් කොට ඇත්තේ කවුද යන්නයි. එය මුලිකවම විධායක, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට පැවරී ඇති කාරණයකි. නමුත් රටක විශාල වශයෙන් අපරාධ සිදු වන්නේ නම් ඉන් පිළිබිඹු වන්නේ නිතීය මත ක්‍රියාත්මක කරවීමට රටේ විධායකයත්, අධිකරණයත් මෙන්ම ව්‍යවස්ථාදායකයත් ක්‍රියා කොට නැති බවයි. මේ අනුව බැලීමේදී අපි දකින දෙය තමයි රටේ විශාල ප්‍රමාණයෙන් අපරාධ සිදු වීම. සියගණන් මිනිසුන් බලයෙන් පැහැරගෙන ගොස් ඇති බවත් එසේ පැහැර ගෙන ගිය අයවලුන්ගෙන් විශාල ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය. මිනිසුන් බලෙන් පැහැරගෙන යාම සහ අතුරුදන් කිරීම යන කාරණ දෙකේදී රජයට පැවරෙන යුතුකම් දෙකක් තිබේ. එකක් නම් මේවා නොවෙන්න වග බලා ගැනීම, බොහොමයක් රටවල ඇසීමට පවා නොහැකි දෙයක් වන මෙය එවැනි සිදුවීමක් සිදු වුවහොත් මුළු රාජ්‍ය තන්ත්‍රයම ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අවධානය යොමු කරනු ලබයි. නමුත් පැහැරගෙන යාම් සහ අතුරුදන් කරවීම සම්බන්ධයෙන් ලංකාවේ එවැනි කටයුතු සිදු කරන්නේ නැත. ඒ වෙනුවට රජයෙන් හෝ පොලිසියෙන් විමසුව හොත් කියනු ලබන්නේ ඔහුන් නොදන්නා බවයි. නමුත් නිත්‍ය මත පාලනය යටතේ එවැන්නක් කිඊමට ඒ කිසිවෙකුට අයිතියක් නැත. මට මුර කිරීමේ රාජකාරීය පැවරී අත්තේනම් මගේ රාජකාරි වෙලාවේදී කුමක් හෝ සිදු වුව හොත එය තමන් නොදන්නා බව කීමට මට කිසිම අයිතියක් නැත. එසේම රට මුර කිරීම කරය භාර වී ඇත්තේ පොලිසියටය. එය අධික්ෂය කිරීම විධායකයට පැවරී ඇති අතර ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම පාර්ලිමේන්තුවට පැවරී තිබේ. එසේම ඊට අවශ්‍ය මග පෙන්වීම අධිකරණයට පැවරී ඇත. එය සිදු වන්නේ නැත්නම් නිතීය මත පාලනය කිරීම සුදු වන්නේ නැත. වර්තමානය වන විට හොරුන් වැඩි වීමටත්, ලිංගික හිංසා වලට ගොදුරු වන්නන් වැඩි වීමටත් හේතුව මෙය වේ. පොලිසියට ගිය විට පැමිණිලි කරුවාට දඬුවම් දීමට හෝ මරා දැමීමට පොලිසිය පෙළඹී සිටියි. සෑම තැනින්ම අපට ඇසෙන බයංකාර අදෝනාවක් වන්නේ මෙම මුලික නිදහස අහිමි වීම පිළිබඳව වූ කටුක අත්දැකීමයි. ලංකාවේ මතු වී ඇති මහා පරිමාණ ගැටලුව වන්නේ මෙයයි.

විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණයේ කාර්ය භාර්ය

මානව අයිතිවාසිකම් ලබා ගැනීම වූ කලී ලෙහෙසි පහසු කාරණයක් නොවේ. ඒ සඳහා සියල්ලටම වඩා උනන්දුවත්, කැපවීමත්, පරිත්‍යාග කිරීමත් කළ යුතු වන්නේ මහ ජනතාවමයි. එය නැතුව ගිය හොත් මුලික අයිතිවාසිකම් නැති වන්නේ මහජනතාවටමයි. ඒ නිසා මේ අකාරයෙන් නිතිය මත පාලනය නැති වී තිබීම ගැන සාකච්චාවට භාජනය කිරීමට සහ ඒවා ආරක්ෂා කර ගැනීමට තම සංවිධාන, දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව මාර්ගයෙන් සිදු කරගෙන පවතින තටහ්වය වෙනස් කර ගැනීමේ යුතුකමක් මෙන්ම වගකීමක ජනතාවට පැවරී තිබේ. නමුත් මීට ජනතාව ලබා දෙන පිළිතුර වන්නේ මෙයයි. එනම් අපට අදාළ අයිතිවාසිකම් ඇති බවත් ඒවා අහිමි වී ඇතිනම් ලබා ගැනීමට ගියහොත් තමන් අපහසුවට පත් වෙන බවයි. ඒහි ප්‍රතිඵලය ලෙස පහර දීමට, පැහැරගැනීමට මෙන්ම අතුරුදන් කිරීමට ලක් විය හැකිය. එසේම රැකියාව අහිමි වීමට , තම දරුවනට පාසල අහිමි වීම වැනි කාරණා වලටද මුහුණ දිය හැකිය. නිතීය රැකීමට ගියහොත් සිදුවන්නේ මෙවැනි ඉරණමකට ගොදුරු වීමටය යන පොදු අදහස අප සතුව තිබේ. මේ නිසා නිතීය රැකීමට අවශ්‍ය බව ඉල්ලා සිටීමට ඇති අයිතියත් අහිමි වී තිබීම අප මුහුණ දී සිටින අභියෝගය වේ. තමන්ගේ අයිතිවාසිකම් කඩවන්නේය යන්න ප්‍රකාශ කිරීම පවා විශාල ගැටලුවක් මතු කිරීමට හේතුවන කාරණයක් බවට කොට තිබේ. එවිට එම ගැටලුව විසඳා ගන්නේ කෙසේද?

කළ යුත්තේ කුමක්ද ?

විවිධ මිනිසුන් මෙම ගැටලු විසඳා ගැනීමට උත්සහ ගන්න බව අපි දකින්නෙමු. ඇතැමුන් නොයෙක් ගැටලු මධ්‍යයේ අධිකරණයට යති. නමුත් වැරදි කරන අයවලුන් නිදහස් වීමටත් වැරදි නොකළ අය දඬුවම් ලැබීමත් කුඩු වෙළඳාම් නොකළ අය දඬුවම් ලබා වෙළඳාම කරන අයට දේශපාලන රැකවරණය යටතේ රැකවරණය ලැබීමත් සිදු වන අකාරය අපට දැක ගත හැකිය. මේ යථාර්තය මධ්‍යයේ පවා ජනතාව මීට විරුද්ධව කටයුතු කිරීමේ වුමනාවක් තිබෙන බව එදිනෙදා සිදු කරන කතා බහෙන් හඳුනා ගත හැකිය. මේ නිසා මෙම තත්වයන් යටතේ ජනතාව තම අයිතීන් දිනා ගත යුත්තේ කෙසේද යන මුලික ප්‍රශ්නයට තල්ලු වෙමින් තිබේ. මේ ගැන විමසීම්දී ලෝකයේ වෙනත් රටවල නැති සුවිශේෂී කාරණයක් ලංකාවේ තිබේ. එය වූ කලී ලංකාවේ 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා නිතීයට ඉහලින් සිටින කෙනක් බවට පත් කර ගැනීමය. නිතීය මත පාලනය කිරීම යන්නෙහි ප්‍රධාන හරය වන්නේ සෑම දෙනාටම නිතීයක් යටතේ කටයුතු කිරීම යන්නයි. එනම් නිතීයට හෝ අධිකරණයට ඉහළින් කිසිවෙකුත් නැත යන්නයි. නමුත් ලංකාවේ එසේ නොවේ. එනම් ලංකාවේ විධායකය නීතියෙන් පිට පිහිටුවීමයි. ඔවුන්ට නිතීය ඉදිරියට ගෙන ඒමට නොහැකිය. ජනතාවට අයිතිවසිඅකම් රක ගැනීමට හැකි වන්නේ අයිතිවාසිකම් කඩන කෙනාව අධිකරණයට රැගෙන ඒමෙන් පමණි. අද ලංකාවේ පවතින මුලික ගැටලුව වන්නේ මෙයයි එනම් විධායකයෙන් සිදු කරන හෝ එහි අනුබල දීමෙන් සිදු කරන ක්‍රියා අධිකරණයට ගෙන ආ නොහැකිය.

අද දිනට උදා වී ඇති මානව හිමිකම් දිනය පිළිබඳව අපි කතා කරනු ලබන්නේ විශාල ගැටලු රාශියක් ජනතාව ඉදිරියේ තිබෙන කාලයකය. මෙම ගැටලු සාකච්ඡා කොට එකිනෙකාගේ සහභාගීත්වයෙන් මේවාට විසඳුම් ලබා ගන්නේ කෙසේද යන්න පවතින මුලික ගැටලුව බවට පත් වී තිබේ. මෙවැනි ගැටලු විසඳා ගැනීමට ගන්නා උත්සාහයන් වල ජනතාවට තමන්ගේ එකමුතු කම වැඩි කරගැනීමට හැකියාව ලැබේ. මේවා නොවිසඳෙන තාක් දුරට මිනිසුන් එකිනෙකාගෙන් වෙන් වී තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳා ගැනීම කෙරෙහි පෙළඹෙති. එනම් වර්තමානයේදී පවතින මුලික අභියෝගය නිතීය මත පාලනය ඇති කර ගැනීම මෙන්ම මානව හිමිකම් රැක ගැනීම සමන්ධයෙන් ගැඹුරු සාකච්ඡාක් ඔස්සේ ඒවා රැක ගැනීම සඳහා කටයුතු කිරීමයි. ඒ සඳහා ජනතාවගේ සාමූහික මැදිහත්වීමයි. 


ආසියානු මානව හිමිකම් කොමිසම
දෙසැම්බර් 10 වන දිනට යෙදී ඇති ජගත් මානව හිමිකම් දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයයි.



සදාචාරය හා සමාජ සංවිධානය

| නිතිඥ බැසිල් ප්‍රනාන්දු

නීතිය නැවත බලසහිත නොකොට ලංකාවට සංවිධානාත්මක සමාජයක් සේ පැවතිය නොහැකිය. සමාජ සංවිධානයේ බිඳ වැටිම හා සදාචාරයේ බිඳ වැටිම එකට සිදුවේ. මේවා වෙන් වෙන් වු ප්‍රශ්න ලෙස විසඳිය නොහැකිය. නීතියෙන් තොරව සදාචාරය ඇති කළ නොහැකිය. නීතිය හා සදාචාරයෙන් තොරව සංවිධානය වූ සමාජයක් සේ ලංකාවට පැවතිය නොහැකිය. මේසා විශාල ප්‍රශ්නයක් විසඳ ගැනිම ලංකිකයා වර්තමාන තත්ත්වය තුළ මුහුණ දෙන අභියෝගයයි. නිතියේ ආධිපත්‍යයට ඉඩ ඇතිවන සේ 1978 ව්‍යවස්ථාව නිශ්ප්‍රභාකිරිම හෝ සංශෝධනය කිරිම මෙම පරිහානියෙන් ගැලවිමට ඇති එකම මාවතය.

17 වන සංශෝධනය නැවත පණ ගැන්විය යුතු යැයි කියන්නන් ද කරණු ලබන්නේ ප්‍රශ්නයේ සැබෑ මූලය අමතකකර දැමිමය. ජනාධිපතිවරයා නීතියට ඉහළින් පිහිටා තිබිම නැතිකල යුතුය යන ස්ථාවරය අමාරු දේශපාලන ක්‍රියාමාර්ගයක් වන හෙයින් එයට මුහුණ නොදි 17 වන සංශෝධනයක් ගැන කථාකරන්නේ එක්කෝ තමන්ම මුලා වි ඇති නිසා හෝ වෙනත් රටවැසියා මුලා කිරිම සඳහා විය යුතුය.
අද සමාජයේ ඉහළම තලයේ ආයතන හා කණ්ඩායම් තුළින් පවා ඇසෙන්නට ලැඛෙන්නේ ලංකාවේ නීතියක් නැතිවියෑම ගැනය. අද සමාජයේ කාටත් මෙය දැරිය නොහැකි ප්‍රශ්නයක් බවට පත්වී ඇත. ඔක්තෝබර් 19 වන දා "ද අයිලන්ඩ්" පුවත් පතේ කතුවැකියේ එක් ඡේදයක පරිවර්ථනය මෙසේය. හොරකමකට ගොදුරුවි නැති එකද ගෙයක්වත්/ වෙළඳසලක්වත් නැති තරම්ය. මාල කඩාගන්නන් ගැන බියෙන් තොරව ආභරණයක් පැළඳගත් කාන්තාවකට පාරේ යා නොහැක. මුදල් පැහැර ගන්නන්, පුද්ගලයන් ඔසවාගෙන යන්නන් හා ඉඩම් පැහැරගන්නන් පිලිබඳ නිරන්තර බියෙන් තොරව ව්‍යාපාරිකයෙකුට ජීවත්විය නොහැක. රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් ඇති අවනීතිය නිසා ඇතිවි ඇති බිය අද ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ව්‍යාපාරය ගෙන යෑමටද, සාමාන්‍ය ජනතාවට තමන්ගේ වැඩපලට හා සමාජ ජිවිතයේ සම්බන්ධ වීමටද, කුඩා දරුවෙකුට වුවද මහපාරේ භීතියෙන් තොරව ගමන් කිරිමටද, බැරි තත්ත්වයක් උදා කර ඇතැයි පැවසිම තවදුරටත් කවුරුවත් අතිශයෝක්තියක් කොට නොසලකයි. එහෙත් මෙම තත්ත්වයෙන් අත්මිදිම සම්බන්ධයෙන් ගත් කල ඒ පිළිබඳව කිසිදු සෑහිමකට පත්විය හැකි පිළිතුරක් ව්‍යාපාරිකයෙකුටවත්, සාමාන්‍ය රටවැසියෙකුටවත් ලබාදිමට ඉදිරිපත් වන කිසිවෙකු නැත. විසඳුම් ලෙස ඉදිරිපත්කර ඇති සමහර අදහස් ව්‍යාජය.

ව්‍යාජ විසඳුම් -1- විශේෂ කාර්ය බලකාය

"ද අයිලන්ඩ්" පුවත් පත පවා ඉදිරිපත් කරන අදහස වන්නේ අවනීතිය හා එයින් ඇතිවන බිය පිළිබඳව ප්‍රශ්නය නිරාකරණය කර ගැනිමට මග ලෙස පවතින්නේ විශේෂ කාර්ය බලකායට එම කාර්ය කිරිම සඳහා සියලුම බලතල පැවරිමෙන් බවය. එහෙත් එම යෝජනාව දැන් පැණ නැගි ඇති නීතියේ කඩා වැටිම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරක් යැයි කිසිවෙකුටවත් ඒත්තු ගැන්විය නොහැකිය. විශේෂ කාර්ය බලකායද රටේ පවතින නීතිමය අර්බුදයේ කොටස්කරුවන් වනවා මිසඑයින් අත්මිදුනු කණ්ඩායමක් වශයෙන් පැවතිමට ඇති හැකියාවක් එයට පවතින්නේ නැත. මෙය නිමල් ලංසා නැමති බස්නාහිර පලාත් සභා අමාත්‍යවරයා පිළිබඳව ඇතිවු සිද්ධිය තුළින් පෙනේ. තවමත් පැහැදිලි කොට නොමැති කිසියම් හේතුවක් නිසා විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ඔහුගේ ගෙය වටලා එය සෝදිසි කළහ. එයට රජයෙන් ලැබුනු ප්‍රතික්‍රියාව වුයේ ජනාධිපතිතුමාම නිමල් ලංසාගේ නිවසට ගොස් ඔහුගේ ගෙය පරික‍ෂා කිරිම පිළිබඳව ඔහුට කණගාටුව ප්‍රකාශ කිරිමය. කිසියම් රාජ්‍ය ප්‍රධානියෙකු විසින් මේ අයුරින් ක්‍රියාකල අවස්ථාවක් තවත් ඇත්දැයි සිතිමට අමාරුය. කෙසේ වුවත් මෙම ක්‍රියාවලිය නිසා රටපුරාම ඇතිවු ව්‍යාකුලත්වය ඉමහත්ය.

ව්‍යාජ විසඳුම් -2- හමුදා අධීක්ෂණය

තවත් කණ්ඩායමක් නීතිය පිළිබඳව පැණනැගි ඇති අර්බුදය විසඳීම සඳහා යෝජනා කරන්නේ දේශපාලනඥයන් ළඟ ඇති ගිණි අවි පිළිබඳව අධීක්ෂණය කිරිම හමුදාවට පැවරිය යුතු බවය. රටේ දේශපාලනඥයන් අධික්ෂනය් කිරිම හමුදාවට පැවරිම තුළින් ඇඟවෙන්නේ මෙම දේශපාලනඥයින් හමුදාවේ අධීක්ෂණය ලක්විය යුතු බවය. කෙසේ වුවත් නීති විරෝධි අවි ළඟ තබා ගැනිම පිළිබඳව පරීක්ෂණය කිරිම පැවරෙන්නේ පොලිසියට මිස හමුදාවට නොවේ. මෙය හමුදාවට පවරන්නේ එය පොලිසියට කළ නොහැකි වැඩක් නිසා යැයි කිවහොත් ඒ මගින් ද ඇතිවන්නේ විශාල ව්‍යාකූල තත්වයකි. පොලිසියට මෙම ක්‍රියාවන් කිරිමට බැරිවි ඇත්තේ එය මුළුමනින්ම දේශපාලනීකරණය වී ඇති නිසාය. 2010 ජනවාරි මැතිවරණයේ සිට මේ දක්වා හමුදාවේ සිදුවි ඇති වෙනස්විම්, ඒ තුළ සිදුවි ඇති රැකියා අත්හිටවිම්, මාරු කිරිම් හා වෙනත් ක්‍රියා සිදුවන ආකාරයන් දෙස බලන විට හමුදාවද රටපුරා පවතින දේශපාලනිකරණය යන රටාවට ඇතුළත් නොවේ යැයි ඒත්තු ගැන්විම පහසු කාර්යයක් නොවේ. කෙසේ වුවත්, ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක සියලුම කටයුතු අධීක්ෂණය කිරිම ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ කටයුත්ත වනවා මිස එය හමුදාව සතුකාර්යයක් නොවේ.

ව්‍යාජ විසඳුම් -3- 17 වන සංශෝධනය

රටේ පවතින නීතිය කඩාවැටිම සම්බන්ධයෙන් තවත් අය ඉදිරිපත් කරන විසඳුමක් වන්නේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත පණ ගන්වා ක්‍රියාත්මක කරවන ලෙසය. මෙය ප්‍රායෝගික යෝජනාවක් නොවේ. 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරිමට නම් 18 වන සංශෝධනය අවලංගු කල යුතුවේ. එසේ කිරිමට තරම් දේශපාලන අවශ්‍යතාවයක් ආණ්ඩුවට පවති නම් 18 වන සංශෝධනය නීතිගත කිරිම නොකර සිටිමට තිබුණි. මේ නිසා 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරිම සඳහා කරන ඉල්ලිම දේශපාලන මවා පෑමක් හැර තත්ත්වාවබෝධයකින් කෙරෙන යෝජනාවක් නොවේ.

කෙසේ වුවත් 17 වන සංශෝධනය නීතියට නැගුනේ1978 සිට ලංකාව මුහුණ දෙන ව්‍යවස්ථාමය හා නීතිමය ගැටලු මගහැරගත් පියවරක් ලෙසය. 2001 වන විට ඉතා පැහැදිලිව පෙනුනේ 1978 ව්‍යවස්ථාවේ නිසා රාජ්‍යපරිපාලනය පවත්වාගෙන යෑමට බැරි තත්ත්වයකට රට කඩා වැටි තිබු බවය.

එම කඩාවැටිමට හේතු වුයේ 1978 ව්‍යවස්ථාව මගින් ලංකාවේ විධායක ජනාධිපතිවරයා නීතියෙන් ඉහළ පුද්ගලයෙකු බවට පත්කොට තිබිමය. ඒ තුළින් නීතියේ රජකම නැතිවි විධායක ජනාධිපති නීතිය අභිබවා යන පුද්ගලයෙකු බවට පත්කලේය. මෙය නීතිය මත පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකම නොතකා හැරිමක් විය. 2011 වන විට පොලිසිය මැතිවරණ ක්‍රමය රාජ්‍ය සේවය හා වෙනත් ප්‍රධාන රාජ්‍ය සංස්ථා ක්‍රියාකරවා ගැනිමට බැරිතරම් දේශපාලනීකරණය සිදුවි තිබුනේ මේ නිසාය. මේ ප්‍රශ්නය ලංකාවේ පාර්ලිමේන්තුවේදී සාකච්චා විය. 17 වන සංශෝධනය එම සාකච්චාවේ ප්‍රථීපලයකි. එහෙත් එම සංශෝධනය ප්‍රතිපත්ති විරහිත දේශපාලන සම්මුතියක් විය. ප්‍රශ්නය හරි හැටි විසඳිම සඳහා එවකට ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බන්ඩාරණායක නීතියට ඉහළින් ඔසවා තිබු ලංකා ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය හා ඊට අනුකූල තවත් වගන්ති ගණනාවක් ඉවත් කිරිමට අවශ්‍ය විය. එහෙත් එම යෝජනාව පාර්ලිමේන්තුවේ ගෙනාවානම් එයට ජනාධිපතිවරියටත්, ඇයට සහයෝගය දුන් ඇයගේ පාක්ෂිකයන්වත් කැමති වන්නේ නැත. එම නිසා ඇයගේ කැමැත්තද ලබාගත හැකි ආකාරයෙන් යෝජනාවක් ඉදිරිපත්කරන ලදි. ඉන් කලේ යම් තනතුරුවලට පත්කිරිම් වලදි එසේ කිරිම ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත මත කරනු වළක්වා විවිධ කොමිෂන් සභා තුළින් ඒවා කිරිමට සැලැස්විමය. එහෙත් එසේ කලයුතු වාතාවරණය වුයේ ජනාධිපතිවරිය නීතියට හා අධිකරණයට ඉහළින් සිටින තත්ත්වයක් තුළය. තමන් කැමැති අවස්ථාවක 17 වන සංශෝධනය නිශ්ප්‍රභාකර දැමිය හැකි බව ජනාධිපතිවරිය දැන සිටියාට සැකයක් නැත. ඇයගේ අනුප්‍රාප්තිකයා වු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරන ලද්දේ එම නිශ්ප්‍රභාකිරිමයි. එම ක්‍රියාවට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනිමට උත්සාහ කල විට, එයට ලැබුණ පිළිතුර වුයේ ජනාධිපතිවරයා අධිකරණයට කැඳවීමේ හැකියාව අධිකරණයට නොමැති හෙයින් ඔහු කල ක්‍රියා නිශ්ප්‍රභා කල නොහැකි බවය. 2001 දි මෙවැනි තත්ත්වයක් උදාවනු ඇතැයි සිතිමට නොහැකියාවක් පැවතුනේ නැත. එහෙත් ඒ වේලාව සඳහා සුදානම් කර ගත් ප්‍රතිපත්ති විරහිත සංශෝධනයක් ලෙස 17 වන සංශෝධනය සම්මත විය. 

සැබෑ විසඳුම - ජනාධිපතිවරයා නීතියට යටත් කිරිම

17 වන සංශෝධනය නැවත පණ ගැන්විය යුතු යැයි කියන්නන් ද කරණු ලබන්නේ ප්‍රශ්නයේ සැබෑ මූලය අමතකකර දැමිමය. ජනාධිපතිවරයා නීතියට ඉහළින් පිහිටා තිබිම නැතිකල යුතුය යන ස්ථාවරය අමාරු දේශපාලන ක්‍රියාමාර්ගයක් වන හෙයින් එයට මුහුණ නොදි 17 වන සංශෝධනයක් ගැන කථාකරන්නේ එක්කෝ තමන්ම මුලා වි ඇති නිසා හෝ වෙනත් රටවැසියා මුලා කිරිම සඳහා විය යුතුය.

ලංකාව පුරා සාමාන්‍ය ජනයාත් ව්‍යාපාරිකයෝත් භීතියෙන් පසුවන බව ඇත්තය. එහෙත් එම භීතිය තවතවත් වැඩිවෙනවා මිස එය නැතිකර ගැනිමට ඇති එකම යථානුරූපික ක්‍රියාමාර්ගය ගැනිම පිළිබඳව දැඩි මතවාදයක් තවමත් ඉදිරිපත් වි නැත. මෙහි ප්‍රථීපලය වන්නේ තවතවත් අවනීතිය රජ වී ජිවිත හා දේපල විනාශවි යාමය.

1978 ව්‍යාවස්ථාවේ විධායක ජනාධිපතිවරයා නීතියට ඉහළින් ඔසවා තබමින් නීතියේ ආධිපත්‍යය නැති වූ කල සියලුම වගන්තින් අහෝසි කිරිම ලංකාව පුරා පවතින භීතිය නැතිකිරිමටත් නීතිය නැවත ක්‍රියාත්මක විමටත්, නිතිය මත පදනම්වු රජයේ සංස්ථා ක්‍රියාකරවිමටත් හැකි එකම පියවර සේ පවති.

Tell a Friend