නිදහස අතීතය සැමරීමක් නොව අනාගතය සඳහා ඇති බලාපොරොත්තුවයි

| නීතිඥ බැසිල් ප්‍රනාන්දු

( 06.02.2012 | lankaguardian.com) කිසියම් පෞඩත්වයක් හෝ බැරෑරුම් කමකින් තොරව පැවැත්වූ නිදහස් දින උත්සවයක් ලෙස 2012, 64 වන නිදහස් දිනය වාර්තා කළ හැකිය. රටේ පවතින ඉතා බැරෑරුම්ම ප්‍රශ්න පිළිබඳව අබමල් රේණුවකවත් අවබෝධයක් හෝ තැකිමක් රජයට නැති බව ජනාධිපතිවරයාගේ නිදහස් දින ජාතිය අමතා කළ කථාවෙන් ඉතාම පැහැදිලිවේ. ජාතිය ඉදිරියේ ඇති අභියෝගය ඔහු ඉදිරිපත් කළේ මෙසේය.

"අකාර්යක‍ෂමතාවයෙන් කාර්යක‍ෂමතාවයටද,
විරැකියාවෙන් රැකියාවටද;
අපිරිසිදුකමින් පිරිසිදුකමටද;
යල්පැණගිය දේශයෙන් නවීන දේශයක් කරා යන්නද බලාපොරොත්තු වෙනවා

අවනීතිය පැතිරිගිය රටතුළ නීතිය නැවත ස්ථාවරකර ගැනිම, රට මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය බව, එම කථාවේ කොහේවත් සඳහන් නොවිය. එය හිතාමතා අමතක කලා යැයි සිතිම අසාධාරණ නොවේ. මන්දයත් රටේ පවතින කිසිම ප්‍රශ්නයක් අවනීතිය පිළිබඳව ප්‍රශ්නය නොවිමසා නිරාකරණය කරගත නොහැකි නිසාය. එහෙත් අවනීතිය පිළිබඳව ප්‍රශ්නය නිරාකරණය කිරිමට මෙම රජයට නොහැකි බව ජනාධිපතිවරයා දනි. එයට හේතුව සරලය. අවනිතිය ඇතිකරන ප්‍රධාන හේතුව දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමයම බව, ජනාධිපතිවරයා දනි. එම ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට පොරොන්දුවක් දී, ජනතාවගේ ඡන්දය ඉල්ලා ගැනිමෙන්ම පෙනි යන්නේ එම ප්‍රශ්නය පිළිබඳව අවබෝධයක් ඔහු සතු බවය.

එය අමතක වී තිබුනා නම්, එය මතක්කරන සිදුවීම් රටපුරා හැමදිනකම සිදුවේ. නිදහස සමරන දිනවලම කහවත්තේ මවක හා 18 හැවිරිදි දියණියක මෙලේච්ච ලෙස මරාදමා තිබිනි. එම කහවත්ත ප්‍රදේශයේම මෙවැනිම මෙලේච්ච මිනිමරුම් දහයක් වාර්තා වූයේ මීට ටික කලකට පෙරය. එවැනි මෙලේච්ච මිනිමරුම් සිදුවන්නේ කහවත්තේ පමණක් නොවේ. රටේ සෑම ප්‍රදේශයකින්ම එවැනිම මෙලේච්ච මිනිමරුම් වාර්තා වේ. ජනාධිපති මන්දිරයේ අපරාධ පිළිබඳව වාර්තා පොතක් ඇත්නම් රටේ ඇතිවෙමින් ඇති මහා අපරාධ නවත්වා ගැනීම, රට මුහුණදෙන ප්‍රධානම අභියෝගයක් බව නොවැටහී තිබිමට බැරිය.

මෙලේච්චත්වය පවතින්නේ රටේ සිදුවන මිනිමැරුම් තුළ පමණක් නොවේ. අද රටේ දූෂණය අස්සක් මුල්ලක් නෑර පැතිර, සියලුම සමාජ සම්බන්ධතාවයන් විසම තත්ත්වයකට පත්කොට ඇත. දුමින්ද සිල්වා පිලිබඳ සිදුවීම් පමණක් නොව, තවත් දහසකුත් දෙනා පිළිබඳව සිදුවීම් තුළින් කියවෙන්නේ දූෂණය සෙල්ලමක් බවට පත්විමට ඉඩදි බලාසිටින රජයක් පිළිබඳව කථාවකි. දූෂණය මැඩිමට ඇති අවශ්‍යතාවය ජනාධිපතිවරයාගේ කථාවෙහි සඳහන් නොවීම පුදුමයක් නොවේ. දූෂණය වගා කිරිම මිස, දූෂණය නැතිකිරිම තවදුරටත් ලංකාවේ රාජ්‍ය ප්‍රථීපත්තියක් නොවේ.

විරැකියාව නැතිකිරිම ජනාධිපතිවරයාගේ කථාවේ සඳහන් වූ නමුත් රටපුරාම පවතින්නේ වෙනත් තත්ත්වයකි. යාන්තම් හෝ හැකියාවක් ඇති කවුරුන් වුවත් දැන් බලන්නේ රටෙන් පිටවී ගොස්වත් යම් රැකියාවක් සොයාගැනීමටය. ලෝකයේ දුෂ්කර දේශවලට ගොස් ඉතාමත් දුෂ්කර රැකියා කිරිමට රටවැසියෝ මැළි නොවෙති. රට පිළිබඳව රටවැසියා තුළ ඇති අවිශ්වාසය එපමණටම බලවත් වී ඇත.

රැකියා ඇති අය වුවද අඩු වේතන නිසා දිවි ගැටගසා ගැනිමට බැරි තත්ත්වයක පසුවන බව රට පුරාම පැතිරෙමින් පවතින වැඩ වර්ජන තර්ජන වලින් පෙනියයි. වැඩවර්ජන මර්ධනය කිරිමේ පිළිවෙත හැර වේතන වැඩිකිරිමේ ප්‍රතිපත්තියක් ගැන රජයට අවධානය යොමුකල නොහැකිය. වගකිම් විරහිත ආකාරයට මහා පොලී වලට ණය ගැනිම මඟින් රට බංකොලොත් තත්ත්වයකට ඇද දමා තිබෙන තත්ත්වයක් තුළ රටේ වේතන ප්‍රශ්න විසඳීම පිළිබඳව මොනයම්ම හෝ ප්‍රතිපත්තියක් දියුණු කර ගැනිමට රජයට නොහැකි වීමද පුදුමයක් නොවේ.

ඩෙංගු උණ තවතවත් වැඩිවේ. රජයේ සිවිල් සේවයත්, වෛද්‍යවරුන් හා වෙනත් අදාල සේවයනුත් රටේ සිවිල් සමාජයත් එකට සංවිධානය කරගනිමින් මෙම ප්‍රශ්නයට මුහුණදිමේ හැකියාව රජයට නැත. මැලේරියාව මර්ධනය කළ යුගයේ සමාජය ඒකායන අරමුණක් සඳහා සාධනීයව මෙහෙයවා ගැනිමට රජයකට තිබූ හැකියාව දැන් පවතින්නේ නැත. ඒ වෙනුවට දඩමුදල් වැඩිකිරිම්, රාජ්‍ය සේවයකයන් ගස් බැඳීම් හා වෙනත් තර්ජන මගින් ප්‍රශ්නය විසඳනවා යැයි මවා පෑමට ගන්නා උත්සාහය විහිලුවට ලක්කරමින් ඩෙංගු මදුරුවා රජකරන තත්ත්වයක් ඇතිවිමට තරම් ලංකාව අභාග්‍ය සම්පන්න වී ඇත.

නිදහස් සෞඛ්‍ය ක්‍රමය දැන් බොහෝ දුරට අහෝසි වී ඇත. නිදහස් අධ්‍යාපනය දැන් තීරණාත්මක අභියෝගයකට මුහුණ දී ඇත. මේ පිළිබඳව රජයේ ප්‍රකාශ කෙසේ වෙතත් සැබෑ රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ නිදහස් සෞඛ්‍ය ක්‍රමය හා නිදහස් අධ්‍යාපනය නැතිකර දැමීම බවත් හුදෙක් ලාභය මත පදනම් වන ව්‍යාපාර බවට මේවා හරවා ගැනිම බවත් රහසක් නොවේ.

විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා රටේ සියලුම ප්‍රසිද්ධ සංස්ථාවන් බල විරහිත කර ඇත. 18 වන ව්‍යවස්ථා සංශෝදනය මගින් එම ප්‍රසිද්ධ සංස්ථා යම් තරමකට හෝ ගොඩගැනිමට, 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන තිබූ පියවර නිශ්ප්‍රභාකරදමන ලදි. 18 වන සංශොධනය මගින් පෙන්නුම් කරන්නේ ලංකාවේ පවතින උමතු දේශපාලන ක්‍රමයේ හැටි ස්වභාවයය.

නිදහස යන වචනයෙනහි ඇත්තේ ඉතා සරල අර්ථයකි. එනම් රජයෙන් හිරිහැරයට පත් නොවි සිටිමට රට වැසියාට ඇති අයිතියය. වර්තමාන රාජ්‍ය පිළිවෙත ජනතාවට හිරිහැර කිරීමේ පිළිවෙතය. හිතුවක්කාර අත්අඩංගුවට ගැනිම්, වදහිංසා කිරිම්, ඔසවාගෙන යෑම්, ඝාතනය කිරීම් හා සියලුම වර්ගයේ අපරාධ මගින් රජය ජනතාවට හිරිහැර කරයි. හිතීම, ලිවීම, කථාකිරීම, ප්‍රකාශන නිකුත් කිරීම ආදි සියල්ල දඬුවම් ලැබිය යුතු වැරදි බවට පත්කොට ඇත. එම ක්‍රියාවල යෙදීම නිසා ජීවිතයෙන් හෝ වෙනත් ආකාර වලින් වන්දි ගෙවීමට සිදුවූ අයගේ ප්‍රමාණය අතිමහත්ය.

එම හිරිහැර කිරිම් වලින් බේරී සිටිමට නිතිය මගින් නිර්මාණය වී පැවතුණු ආරක‍ෂා විධිවිධාන රජය විසින් පරල කර දමා ඇත. අධිකරණය අඩපණ කොට ඇත. පොලිසිය දේශපාලනයකරණය තුළින් බලවිරහිත හා ඵලදායි වැඩක් කල නොහැකි සංස්ථාවක් බවට පත්කොට ඇත. නීතිපති ක්‍රමය තුළ තිබූ ස්වාධීනත්වය නැති කොට දේශපාලන පළිගැනීමේ අතකොළුවක් බවට පත්කොට ඇත. මෙසේ ඇතිකොට ඇති රජයේ විපරීත ස්වභාවය රජය විසින්ම පත්කල උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳව කොමිසම මගින් පවා පෙන්වා දී ඇත.

නිදහස් දිනයේ සැමරුම තුළින් බලවත්ව ලෙස හෙළිදරව් කළේ දැන් පවතින රජය පමණක් නොව එය පදනම් වී ඇති දේශපාලන ක්‍රමය නිදහසට තර්ජනයක් වී පවතින ආකාරයයි.

මෙම මහා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට තරම් අවබෝධයක් හා අධිෂ්ඨානයක් රටවැසියා තුළ ඇතිවන තාක් කල් රජයෙන් පැණ නගින මෙම හිරි හැර තුළින් අත්මිදී සිටිමට ජනතාවට හැකිවන්නේ නැත. නිදහස සඳහා අරගලය අතීතය සැමරිමක් නොව අනාගතය සඳහා ඇති බලාපොරොත්තුවක් පමණය. එම බලාපොරොත්තුව ඉටු කොට ගැනිමට හැකිවන්නේ කෙටි කලකින්ද දිඝු කලකින්ද යන්න තීන්දු වන්නේ ජනතාවගේ අවබෝධයේ ප්‍රමාණය අනුවය.