The Most/Recent Articles

Showing posts with label පාර්ලිමේන්තුව. Show all posts
Showing posts with label පාර්ලිමේන්තුව. Show all posts

කුමන්ත්‍රණය අවසානයි – ඉදිරියට ? (2)






– සුනන්ද දේශප්‍රිය –





සිරිසේන - රාජපක්ෂ කුමන්ත්‍රණයේ සහායකයෝ ජනමාධ්‍යයි





සිරිසේන – රාජපක්ෂ කුමන්ත්‍රණය විසින් ඉස්මත්තට ගෙන එන ලද වැදගත් කාරණයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය භූමිකාව පිළිබද ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම නම් මෙරට ජනමාධ්‍ය බහුතරය එකී කුමන්ත්‍රණ සහායකයෝ බවට පත් වූහ.





පසුගිය සටහනෙහි අප කතා කළ එකිනෙකින් ස්වාධීන එමෙන්ම එකිනෙක තුලනය සහ සංවරණය කැරෙන ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණූ තුන, එනම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැරුණු විට හතරවැනි කුළුණ ලෙස සැලකෙන්නේ නිදහස් ජනමාධ්‍යය යි. මන්ද යත් පෙර කී කුළුණු තුනම පිළිබඳ හරවත් සංවාදයන් ජනතාව කරා ගෙන යෑමටත් එම කුළුණූ තුනම පිළිබඳ මහජන සුපරීක්ෂාකාරීත්වය පවත්වා ගැනීමටත් ඇති වේදිකාව ජනමාධ්‍ය වන නිසා ය.





එසේ නමුත් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ජනමාධ්‍ය සලකන්නේ දේශපාලන ප්‍රචාරක ආයතන වියයුතු ඒවා ලෙස ය. මේ බව වඩාම පැහැදිලි වන්නේ රාජ්‍ය පාලිත මාධ්‍ය සම්බන්ධයෙන් එකී පක්ෂ දක්වන ආකල්පයෙනි.









රාජපක්ෂ මැර බලය









රාජපක්ෂ මැර පිරිස් කුමන්ත්‍රණයට පසුදාම රාජ්‍ය මාධ්‍ය ආයතනයන්ට කඩා වැදී බලහත්කාරයෙන් එ්වා සියතට ගත්තේ ඒ නිසා ය. ඊටත් වඩා කණගාටුදායක කාරණයක් වූයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් රාජපක්ෂ සමයෙහි සටන් කළ මාධ්‍යවේදීන් ගණනාවක් සිරිසේන විසින් මෙම මාධ්‍ය ආයතනයන්හි ප්‍රධාන තනතුරුවලට පත් කිරීම යි. අවසානයේදී අනෙක් සමහර මාධ්‍යවේදීන් මෙන්ම ඔවුහු ද ජාතිවාදය සමඟ මුසු කරන ලද බොරු, පුවත් ලෙස ඉදිරිපත් කළහ.





මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉදිරිපෙළ සටන් කරන ලද බොහෝ දෙනෙක් 1994 සිට රාජ්‍ය ස්තෝත්‍ර ගායකයින් බවට පත් වූහ. ඉන් අයෙක් රාජපක්ෂ සමයෙහි ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ නෑසූ විරූ මර්දනයේ අපරාධ සහායකයින් බවට ද පත්වූහ. මෙවර සිදුවූයේ ද ඊට නොදෙවෙනි ක්‍රියාවලියකි. එනම් දේශපාලන කුමන්ත්‍රණයක සහායකයින් බවට නිදහස් මාධ්‍ය ක්‍රියාධරයින් පත්වීමයි.









මාධ්‍ය කාටද ?









මෙම සටහන ලියමින් සිටින අවස්ථාවෙහි ලැබුණූ ට්වීටර් පණිවිඩයක් මගින් කියැවෙන්නේ එජාප ආණ්ඩුවේ මාධ්‍ය ඇමැති සමරවීර සහ ජනපති සිරිසේන එක්ව රාජ්‍ය මාධ්‍ය බෙදා ගන්නා අන්දම පිළිබඳව එකඟත්වයකට එළඹ ඇති බවයි. ඔවුන්ට අනුව පොදු අයිතියට අයත්, රාජ්‍ය විසින් අයුතු ලෙස පාලනය කරන එකී ජනමාධ්‍ය ඔවුන්ගේ දේපලකි. සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට වීදි අරක් ගත් ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයට පිටුපා එජාපය යන සුපුරුදු ගමනෙහි තවත් හැරවුම් ලක්ෂයක් රාජ්‍ය මාධ්‍ය තවදුරටත් දේශපාලන අතකොළු වශයෙන් පවත්වා ගැනීමෙන් සනිටුහන් වෙයි.





1973 ජූලි මාසයෙදී සිරිමා බණ්ඩාරනායක විසින් කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂයන්හි ඉල්ලීම සහ සහයෝගය ඇතිව ලේක්හවුසිය (ANCL) සිය පාලනයට ගන්නා තුරු මෙරට රාජ්‍යයට අයත් පුවත්පත් තිබුණේ නැත. 1977 අගෝස්තුවෙහි දී ජේ.ආර්. ජයවර්ධන ලංකාදීප සහ ටයිම්ස් ඔෆ් සිලෝන් ප්‍රකාශයට පත් කළ ටයිම්ස් ඔප් සිලෝන් ලිමිටඩ් (TOCL) සිය යටතට ගත්තේ ය. (බංකොලොත් වූ එම සමාගම පසුව රංජිත් විජේවර්ධන විසින් 1985 දී මිලට ගෙන අද පවතින විජය ප්‍රකාශන දක්වා දියුණූ කරන ලදී.) 1979 දී ෂාන් වික්‍රමසිංහ විසින් ITN රූපවාහිනිය ආරම්භ කර දෙමසක් ගතවන විට ජේ.ආර්. ජයවර්ධන එය ද සිය යටතට ගත්තේ ය. ජාතික රූපවාහිනිය යැයි වරදවා නම් කර ඇති, එකී ආයතනය ආරම්භ කරන ලද්දේ ජපානය විසින් මහජන සේවා ජනමාධ්‍යයක් ලෙස පවත්වා ගෙන යාම පිණිස දෙන ලද මුල්‍ය සහ තාක්ෂණික ආධාර මත ය.





සිරිමාවෝ




ආරම්භක වසර කිහිපයෙන් පසු අද දක්වාම මෙම රාජ්‍ය පාලිත දැවැන්ත මාධ්‍ය යන්ත්‍රය පවතින්නේ බලයට පත්වන දේශපාලන පක්ෂය විසින් දේශපාලනිකව පාලනය කරන ගැති සහ ජඩ මාධ්‍ය ආයතන ලෙස ය. මෙම ආයතන ස්වාධීනව කටයුතු කරන ජන මාධ්‍ය බවට පත් කරන ලෙස අප විසින් කලක් මුළුල්ලේ මතවාදයක් ද ව්‍යාපාරයක් ද ගොඩ නැගූ නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් ඊට දායක වූයේ නැත. එම ව්‍යාපාරය ගොඩ නැගීමට දායක වූ පුද්ගලයින් ගණනාවක් ම දේශපාලන අනුග්‍රහයෙන් එම ආයතනයන්හි ප්‍රධානීන් බවට පත්ව ජඩ මාධ්‍ය භාවිතාවෙහි ම යෙදුණි.









තොරතුරු දැනගන්නට උනන්දුවෙන් පසුවූ ජනතාව





සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු තොරතුරු දැන ගැනීමේ උනන්දුව සමාජයෙහි උත්සන්න විය. එසේ නමුත් මුල්පෙළ විද්‍යුත් මාධ්‍ය ආයතන සියල්ල ම වාගේ රාජපක්ෂවාදී මාධ්‍ය භාවිතයක යෙදී සිටි අතර රාජ්‍ය මාධ්‍ය සිරිසේනගේ දේශපාලන පත්වීම් විසින් අල්ලාගෙන තිබුණි. නමුත් මේ සියළු මාධ්‍ය ජනයාට කියා සිටියේ තමන් ඇත්ත මිස වෙන යමක් නොකියන බවයි. එය අමූලික බොරුවකි. පුද්ගලික මාධ්‍ය ආයතනයන්ට රාජපක්ෂවාදී වීමට හෝ රනිල්වාදී වීමට හෝ අයිතියක් තිබේ. එවැනි භාවිතාවක යෙදෙන්නේ නම් එම ආයතනයන්ට ස්වකීය දේශපාලන නැඹුරුව සිය ග්‍රාහකයිනට දැනුම්දීමට යුතුකමක් තිබේ.









ප්‍රවෘත්ති පූජනීය යි ; අදහස් නිදහස් ය





එසේ වතුදු ජනමාධ්‍ය භාවිතයෙහි ස්වර්ණමය රීතිය වන ‘ප්‍රවෘත්ති පූජනීය යි; අදහස් නිදහස් ය’ යන්න සියල්ලන් විසින් ම අනුගමනය කළ යුතුය. ඉන් කියැවෙන්නේ ප්‍රවෘත්ති විකෘති නොකළ යුතු අතර ඊට සපයන විවරණ වෙන වෙනස් විය හැකි බවයි. නමුත් විකාශනය කරන පුවත් මොනවාදැ යි තීරණය කිරීම මගින් පක්ෂග්‍රාහී භාවිතයක යෙදීමට ජනමාධ්‍යයට ඉඩ තිබේ. ආදායම් ලබන ව්‍යාපාරයක් ලෙස ජනමාධ්‍ය පවත්වාගෙන යෑම කරවල විකිණීමට වඩා වෙනස් ය. කරවල විකිණීමට පවා නිසි ප්‍රමිතීන් තිබිය යුතු අතර ජනමාධ්‍ය සඳහා ප්‍රමිතීන් මෙන්ම ආචාර ධර්ම ද තිබිය යුතුය. එසේ නමුත් අද මෙරට කරවල වෙළඳාම සහ ජනමාධ්‍ය විකිණීම අතර එතරම් වෙනසක් බොහෝ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් දැකිය නොහැකිය.





සිරිසේනගේ කුමන්ත්‍රණය විසින් ඇතිකළ කැළඹීම තේරුම් ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමට ඊනියා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අසමත් වූ බැවින් එම තැන ගත්තේ සමාජ මාධ්‍ය යි. විශේෂයෙන්ම මුහුණු පොත එහිලා මූලික විය. එහි අදහස් පූජනීයයි යන රීතිය සැලකෙන්නේ ම නැති තරම් ය. සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහි විරෝධය ලැව් ගින්නක් සේ පැතිර ගියේ සමාජ මාධ්‍ය විසින් සපයන ලද අවකාශය නිසාය. මේ අවකාශය එකවරම ගින්න ඇවිලවීම පිනිස භූමිතෙල් ද ගින්න පිළිබඳ අදහස් හුවමාරුව සඳහා වේදිකාවක් ද නිර්මාණය කළේ ය.









#SriLanka / #LKA ට්වීටර් ජාලය









වඩා සංවරයකින් යුතු ප්‍රවෘත්ති කෙරෙහි වගවීමක් සහිත සමාජ මාධ්‍ය බවට පැමිනුණේ ටිවීටර් අවකාශය යි. අනෙත් අතට එය ඉංග්‍රිසි බසින් එසැණින් තොරතුරු වාර්තාවන ජාලය බවට ද පත්විය. ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් දෙස දෙස් විදෙස් අවධානය ඉස්මත්තට ගිය ඔක්තෝබර් අග සිට දෙසැම්බර් මැද දක්වා වූ කාලයෙහි #SriLanka / #LKA ට්වීටර් ජාලය ප්‍රධානතම එසැණ පුවත් මූලාශ්‍රය බවට පත් විය.





ඊට ප්‍රතිවිරුද්ධව ෆේස්බුක් නොහොත් මුහුණු පොත කාටූන්, විත්‍ර, දේශපාලන හාස්‍ය, කෙටි අදහස්, පුද්ගල අත්දැකීම් යනාදිය මගින් විවරණ සපයන වේදිකාවක් බවට පත් විය. කිසිදු මූලාශ්‍රයක් හෝ වාර්තාව සපයන මාධ්‍යවේදියා හෝ වේදිනියගේ නම නොමැතිව හෝ සහමුලින්ම ව්‍යාජ නමින් පළ කැරෙන වෙබ් අඩවි පුවත් ද මුහුණූ පොත අරක් ගත්තේ ය.





සිරිසේන කුමන්ත්‍රණය නිසා ඇතිවූ මහජන උද්යෝගයට සරිලන වගකීමෙන් යුතු ජනප්‍රිය අඩවියක්/පිටුවක් මුහුණූ පොත හරහා බිහිවූයේ ද නැත. එහි ජනප්‍රිය වූයේ කැපී පෙනෙන දේශපාලන ලැදියාවන්ගෙන් යුතු පිටු ය. මෙම දුබලතා තිබියදීත් සිංහල බසින් පවත්නා මුහුණූ පොත් අවකාශය ‘ප්‍රධාන ධාරාව’ බවට පත් විය. බහුතර ජනයාට තමන්ගේ ජංගම දුරකතනය මගින් ළගා විය හැකි ලෙහෙසි ම මාධ්‍ය එයයි. සමහර විට එහි සාර්ථකත්වයට එක් හේතුවක් වන්නේ බරපතල දේශපාලන සංවාද මැද හාස්‍ය ද උත්පාදනය කිරීමට මුහුණූ පොත්කරුවන්/කාරියන්ගේ ඇති දක්ෂතාවය යි.





මෙම කාලය තුළ අත්දකින්නට ලැබුණු තවත් මාධ්‍ය වර්ධනයක් වූයේ එතෙර සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සම්බන්ධ වෙබ් පුවත් අඩවි පසුකරමින් රට තුළ පිහිටි වෙබ් මාධ්‍ය වඩ වඩා ග්‍රාහකයින් කරා ළගා වීම යි. මෙම කාලය තුළ තමන්ගේම වෙබ් මාධ්‍ය ගණනාවක් නිර්මාණය කර ගැනීමට එජාප දේශපාලනඥයෝ කිහිප දෙනෙකු මූලිකත්වය ගත්හ. එනමුත් සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණය පැරදවීමට මහත් වැඩ කොටසක් කළ, ජවිපෙ හෝ දෙමළ සන්ධානය හෝ එවැනි වර්ධනයක් අත් කර ගත්තේ නැත.









ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ කරළියට ඒම









දැන් අප, පශ්චාත් සිරිසේන කුමන්ත්‍රණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයෙහි අත්‍යවශ්‍ය අංගයක් ලෙස ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගත යුතුය. එමෙන්ම ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය පිළිබඳ සංවාදය ද යළි සෑම මාධ්‍ය අවකාශයක ම සාකච්ජාවට ගත යුතු ය.





19වන සංශෝධනය සාකච්ජා වෙමින් තිබූ අවස්ථාවෙහි රාජ්‍ය ජනමාධ්‍ය ද ස්වාධීන කොමිසමක් යටතට පත් නොකරන්නේ නම් තමන් සහාය නොදෙන බව ප්‍රකාශ කීරීමට ජවිපෙ සහ දෙමළ සන්ධානය පියවර ගත්තේ නම් ලෙහෙසියෙන්ම එම ප්‍රජාතන්ත්‍රවාදී ජය දිනා ගන්නට ඉඩ තිබුණි. මෙම පක්ෂ දෙකටම පෙනෙන අනාගතය තුළ, තමන්ගේ ම හෝ තමන් ද හවුල් වූ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි ය. එසේ තිබියදීත් ඔවුහු රාජ්‍ය පාලිත ජනමාධ්‍ය බලයේ සිටින පක්ෂයේ බූදලයක් ලෙස ලියා දීමට කැමැත්තෙන් සිටින්නේ ද යන ප්‍රශ්නය අද තීරණාත්මක ය.





කලාකරුවන් පෙරමුණට




සිවිල් සමාජ ක්‍රියාධරයන් ලෙස අප ඍජුව ම මුහුණ දෙන ප්‍රශ්නයක් නම් දේශපාලන පක්ෂ මතවාදයන්ට පිටින් ස්වාධීන මාධ්‍ය අවකාශයක් නිර්මාණය කර ගැනීම හෝ පවත්නා අවකාශ ශක්තිමත් කිරීමයි. මෙහිලා ද කර්තෘ කේන්ද්‍රීය වෙබ් මාධ්‍යයන්ගෙන් බැහැර වීම අවශ්‍ය ය.





මර්දනකාරී රාජ්‍යයකට එරෙහි ගරිල්ලාභටයකු විනය, අතනෑර සිටීම, මතවාදී නිරවුල් බව යනාදිය පමණක් නොව තුවක්කුව පාවිච්චි කිරීමට ද අනිවාර්යයෙන් ම ඉගෙන ගත යුතුය. අද යුගයෙහි සමාජ ජාල භාවිතය පුහුණු වී දියුණු කර නොගන්නා සිවිල් සමාජ ක්‍රියාධරයකු සමාන වන්නේ වෙඩි තැබීමට නොදන්නා ගරිල්ලා භටයකුට ය.





නිපුණ සමාජ ජාල ක්‍රියාකාරීන්/කාරිනියන් සියයක් රට පුරා විසිරී ජාල ගතව සිටින සිවිල් සමාජ සංවිධානයක් ඇත්නම් එය අද කොතරම් බලවත්වනු ඇත්දැයි නිකමට සිතන්න. එය දහසක් බවට පත්වුවහොත් ඇත්ත පුවත් වාර්තා කිරීමේත් මත නිපදවීමේත් කොතරම් ශක්තියක් එවැනි ජාලයකට හිමිවනු ඇත්ද?









කළයුත්තේ කුමක්ද ?









ප්‍රධාන ධාරාවේ ගැති මාධ්‍ය හැසිරීම විවේචනය කරන ජනමාධ්‍යවේදිනියන් සහ වේදීන් එක්ව මුල්‍ය දායකත්වයක් සහතික කර ගනිමින් අාචාරධර්මානුකූල සහ කාර්යක්ෂම වෙබ් පුවත් අඩවියක් ගොඩ නැගුව හොත් එවැන්නක්ද මහත් බලපෑමක් අත් කරගන්නට ඉඩ තිබේ.





2019 මැතිවරණ වර්ෂයක් වන්නේ යැයි කියනු ලැබේ. ඒ සන්දර්භයෙහි අප අමතක නොකළ යුතු කාරණයක් වන්නේ එළඹෙන මැතිවරණ සටන් හි තීරණාත්මක අවකාශයක් බවට සමාජ ජාල පත්වනු ඇති බවයි.





අපට පමාවීමට කාලයක් නැත.





















සබැඳි පුවත්









කුමන්ත්‍රණය අවසානයි - ඉදිරියට (1)


පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස 4 ට










පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් පිළිබඳ තීන්දුව අද (13) පස්වරු 4 ට ලබාදීමට නියමිත බව, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් පවසයි. 


පාර්ලිමේන්තුවේ විශ්වාසය රනිල්ට


අද (12) දින පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව 117 දෙනෙකුගේ බහුතරයෙන් සම්මත වූ බව කථානායකවරයා නිවේදනය කරයි. 









කථානායකවරයා නිකුත් කළ නිවේදනය 




 



















මෛත්‍රී ඒකාධිපතියෙක්ද ?


තරිඳු තොටවත්ත 





ඉකුත් ඔක්තෝබර් 26 වනදින සිදු වූ අගමැති මාරුව පිළිබඳ විවිධ පුද්ගලයෝ බොහෝ මතවාද පළ කර තිබුණි.  ඇතැම් නීතිවේදීන්, කලාකරුවන්, විද්වතුන් මේ ක්‍රියාවලියනිත්‍යානුකූල බවටත්, තවත් සමහරෙක් නිත්‍යානුකූල නොවන බවටත් තර්ක ඉදිරිපත් කළහ.  මේ අතර මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේගෞරවනීය නමක් දිනාගෙන සිටි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව බල්ලට දමා හෝ මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.  අපි මේ මොහොතේ දී ඔහුගේ ප්‍රකාශය ගැන කිසිවක්සාකච්ඡා නොකරමු.  එහෙත් ඔහු සිදු කර ඇති ප්‍රකාශයෙන්හෙළි වන කරුණක් පමණක් ඉදිරිපත් කිරීමට අදහස් කරමු.  ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තිරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ගුණදාස අමරසේකර මහතා දපිළිගෙන ඇති බවයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවකවිසුරවා හැරීමට බලයක් පවතී නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල්ලට දමා එවැන්නක් සිදුකිරීමට අවශ්‍ය නොවේ. ඔහුට එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ම එම ක්‍රියාවලියසිදු කළ හැකි බැවිනි.





රනිල්ට අකමැති
ඇයි ?





මීළඟට අපි සැලකිලිමත්
විය යුත්තේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලැබුයේ ඇයි ද
යන්නයි.  ඒ සිය පෞද්ගලික කාරණාවකි.  ඔහුම සවසන පරිදි ඔහුට රනිල් වික්‍රමසිංහ සමග
එකට වැඩ කිරීමට නොහැකි බවයි.  රනිල් තමන්ට
රිසි පරිදි ක්‍රියාකරන බවයි.  රනිල් ඇතුළු
පිරිසක් රාජ්‍ය ධනය සොරකම් කරන බවයි. රාජ්‍ය දේපළ සොරකම් කරන බවයි.  තවත් වරෙක ඔහු රනිල් සමලිංගිකයකු බව ද පවසයි. රනිල්
රාජ්‍ය ධනය සොරකම් කිරීම හා රාජ්‍ය දේපළ විකිණීම යන චෝදනා දෙක හැරුණු විට අනෙක්
තර්ක සියල්ලම හුදු පෞද්ගලික කාරණා ය.  රනිල්
සමලිංගිකයකු වුව ද ඔහුට පාර්ලිමේන්තු බහුතරය තිබේ නම් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය
හිමිවිය යුතු ය. මහජනතාව විසින් ව්‍යවස්ථාදායක පත්කරනු විනා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායකට
බලපෑම් කිරීමේ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන සපයා නොමැති බැවිනි.   





රාජ්‍ය පාලනයට පෞද්ගලික
රුචි අරුචිකම් ඇයි ? 





අනෙක් කරුණ ජයන්ති
සිරිසේන සමග ජීවත්විය නොහැකි නම්
ඔහුට ඇය ව දික්කසා ද කර වෙනත් කැමති කාන්තාවක් විවාහ කර ගත හැකි ය.  එහෙත් ඔහුට අග්‍රාමාත්‍ය ධූරයට එවැන්නක් සිදු
කළ හැකි නොවේ. අගමැතිවරයා වෙනුවෙන් මෙරට මහජනතාව ඉතා විශාල මුදලක් දෛනිකව වැය
කරන්නේ ජනාධිපතිවරයා සමග පවුල් කෑමට නොවන බැවිනි. 
ඒ අනුව සිරිසේනගේ පෞද්ගලික රුචි අරුචිකම් රාජ්‍ය පාලනයට සම්බන්ධකර නොගත
යුතු බව අවබෝධ කර ගැනීමට තරම්වත් පරිණතභාවයක් සිරිසේන ජනාධිපකිවරයාට නොමැතිවීම
පිළිබඳ ඇත්තේ කණගාටුවකි. 





සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත්
කරන අනෙක් ප්‍රධාන තර්ක දෙක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ නඩය රාජ්‍ය ධනය සොරකම් කළ
බවත්, රාජ්‍ය දේපළ විකුණු බවත් ප්‍රකාශ කිරීම යි. ඕනෑම සාමාන්‍ය මනුෂ්‍යයකු වුවත්
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බව දැන සිටිය ද මේ සරල ජනපතිට ඒ
පිළිබඳවත් අවබෝධයක් නැත. කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ඕනෑම තීරණයක් බලාත්මක වන්නේ
ජනාධිපතිවරයාගේ අත්සනින් බව හෝ මොහු නොදැන සිටිති යි විශ්වාසය කළ හැකිද?. රනිල්
වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය වරයා ලෙස හෝ විධායක ජනාධිපතිවරයාගේ බලතල අතික්‍රමණය කළ
හැකි ද ?.  මේ සියල්ල සිරිසේන විසින් තම
තීරණය සාධාරණීකරණය කිරීම වෙනුවෙන් සිදු කළ ප්‍රවාද විනා තර්කානුකූල හරයක් ඇති ප්‍රකාශ
ලෙස යම් මට්ටමක හෝ අවබෝධයක් ඇති පුද්ගලයෙකුට පිළිගත හැකි ද යන්න ගැටළුවකි.





අපි ජනාධිපතිවරයාට වඩා
අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩි බවත්, ජනාධිපතිවරයාට හොරෙන් ඒ සියල්ල අගමැතිවරයාට
සිදු කළ හැකි බවත්, උපකල්පනය කරමු. එහෙත් සිරිසේන ජනාධිපතිවරයා දිනපතා ප්‍රකාශ කරන
තරම් රටට ජාතියට ආදරෙයි නම්, රනිල්ලෙන් රට බේරා ගැනීමට මහින්ද අගමැති කිරීමේ තර්කය
කුමක් ද ?.





මහින්ද සිය වසර නවයක් වන
පාලන කාලය තුළ සොරකම මෙරට සෑම කේෂ්ත්‍රයකම සුලබ කළේ ය.  ඔහුට සහ සිය පවුලේ සෑම දෙනාම ප්‍රසිද්ධියේ කෝටි
ගණන් මුදල් සොරකම් කළ බවට සියලු සාක්ෂ්‍ය ඉදිරිපත් වී තිබේ.  ඔහු අද වන විට ශ්‍රී ලංකාවේ දෙවැනියාට ධනවත්ම
පුද්ගලයා බවට පත්ව තිබේ.  මන්ත්‍රී
වැටුපෙන් එවැනි වත්කමක් අත්කර ගත හැකි ද ?. 
රනිල් එළවා දමා මහින්දට අගමැති ධූරය ලබාදීම ඉඟුරු දී මිරිස් ගැනීමක් නොවේ ද
?.





ලංකා ඉතිහාසයේ රාජ්‍ය සම්පත්
සින්නක්කරව පිටරටට දුන්නේ මහින්ද





රනිල් රාජ්‍ය දේපළවිකුණූ බවට මෛත්‍රීට අමතක කරුණක් ද තිබේ. ලංකා ඉතිහාසයේ රාජ්‍ය සම්පත් සින්නක්කරව පිටරට සමාගම්වලට විකුණනු ලැබුවේමහින්ද රාජපක්ෂ බවයි.  උල්හිටිය අක්කර 1500ක්, පැලවත්ත අක්කර 1200 ක්, ශ්‍රීපාද රත්ෂිතයෙන්, විල්පත්තු රක්ෂිතයේ, සෝමාවතියරක්ෂිතයෙන් අක්කර දහස් ගණනක් පිටරට සම්ගම්වලට විකුණනු ලැබුවේ රාජපක්ෂ රෙජිමය බවඔහුට අමතක ය.  ගාලු මුවදොර යුදහමුදාමූලස්ථානය එතැනින් ඉවත්කර එම භූමිය ෂැංග්‍රිලා හෝටලයට සින්නක්කරව ලබා දුන්නේ ය. වරායනගරය සින්නක්කරව චීනයට ලබා දුන්නේ ය.





මහින්ද රාජපක්ෂගේ උපන්දිනය සමරමින්




මෙවැනි අයෙකුට අගමැති
ධූරය පිරිනමා රාජ්‍ය දේපළ සුරකින්නට සිරිසේන ක්‍රියා කරන්නේ කෙසේ ද ?.





මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිවරයා මේ කිසිවක් නොදන්නා බබෙකු නොවේ. 
සැමට රහසේ හිතුමනාපයට අගමැතිවරු මාරු කරන්නටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
උල්ලංඝනය කරමින් තම අවශ්‍යතා සංතෘප්ත කර ගන්නා සිරිසේන සිදු කළ මේ පුටු මාරුව තම
බලය වෙනුවෙන් සිදු කළ බලලෝභී ක්‍රියාවලියකි. 
දෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඡන්ද පදනමක් නොමැතිව සිටි ඔහුට
මහින්ද සමග සන්ධානගතව ඉදිරිපත් වීමට අගමැති ධූරය පිරිනැමීමක් ලෙස කෙනෙකුට හැඟී
ගියොත් එහි වරදක් දැකිය හැකි ද ?





මෛත්‍රී ගන්නා සියළු තීරණ
රට වෙනුවෙන්ද ? 





මෛත්‍රීපාල සිරිසේන
රංගනයේ යෙදී සිටින නාටකයේ මේ දිනවල ජවනිකාව වී ඇත්තේ ඔහු මෙම තීරණය රට වෙනුවෙන්
ගත් බවට නගන තර්කය යි. ඔහු මෙම ප්‍රකාශය 2014 වසරේ නොවැම්බර් 21 වන දිනත් පැවසූ බව
අපට මතක ය. කිසිදු වගකීමක් නොමැති මෙවැනි ප්‍රකාශ කරමින් ඔහු තම පහත් චර්යාවන්
ලොවට ප්‍රදර්ශනය කරමින් සිටී.





විදේශ මාධ්‍ය සමග පසුගිය
දිනක පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී මොහු රනිල් තමන්ව ඝාතනය කරන්නට උත්සාහ ගත් බව
ප්‍රකාශ කර තිබුණි. එවිට එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කර තිබුනේ 2015
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම් තමාව ඝාතනය කරන බවට ඒ වකවානුවේ
දී ප්‍රකාශ කළා නේ ද යන්න යි.  එවිට
සිරිසේන සුපුරුදු මෝඩ හිනාව දමා පවසා ඇත්තේ එය ඇත්තක් නොවන බවත්, සාමාන්‍යයෙන්
මැතිවරණ වේදිකාවල එවැනි ප්‍රකාශ සිදු කරන බවත් ය. 
සිරිසේනගේ ජරාජීර්ණ වූ මනස අවබෝධ කර ගැනීමට ඉහත ප්‍රකාශය වුව ද ප්‍රමාණවත්
ය.  ඔහුට තව ස්වල්ප දිනකින් මේ ඝාතන
උත්සාහයත් හුදු රංගනයක් ලෙස ප්‍රකාශ කරන්න විළිබියක් දැනෙතැයි සිතිය හැකි ද ?





මරා - සිරා ජුන්ටාව සිය
දේශපාලන බලය රැකගැනීමට අවසන් තුරුම්පුව ද කරළියට තබා අවසන්





මරා - සිරා ජුන්ටාව තම
දේශපාලන බලය රැක ගැනීම වෙනුවෙන් තමන් සතු අවසන් තුරුම්පුව ද කරළියට දමා තිබේ.  ඒ කොටි නැගිටින බවට මෙරට ජනයා බිය වැද්ද වී
මෙනි.  ඇතැම්විට වව්නියාවේ ඉකුත් දා සිදු
වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය මෙහි ආරම්භය වන්නට ඇත.  පසුගිය දා කරුණා අම්මාන් තවත් බරපතල ප්‍රකාශයක්
කර තිබේ.  ඒ පොට්ටු අම්මාන් ජීවත්ව සිටින
බවට කර තිබෙන ප්‍රකාශයෙනි.  ඔහු එවැන්නක්
කරන්නේ යුද්ධය අවසන් වී වසර නවයකට පසුව ය. 
මෙවැනි බරපතල ප්‍රකාශ සිදු කරන විට ජනපති සහ ඊනියා අගමැති මර නින්දේ
ය.  ඔවුන්ට අවශ්‍ය කෙලෙස හෝ තම බලය
සුරක්ෂිත කර ගැනීම යි.  1983
ජේ.ආර්.ජයවර්ධන ද කළු ජූලිය හරහා අපේක්ෂා කළේ මීට සමාන අරමුණකි. මහා මැතිවරණයක්
නොපවත්වා පාර්ලිමේන්තුවේ 5/6ක බහුතරය සහිතව තවත් වසර 6 ක් ධූර කාලය දීර්ඝ කර ගැනීම
වෙනුවෙන් කළුජූලියක් නිර්ණය කර මෙරට වසර තිහකටත් අධික කාලයක් පුරා දිවගිය යුද්ධයක්
නිර්මාණය කළේ ය.  මරා - සිරා ජුන්ටාව ද තම
පාලන බලය වෙනුවෙන් උත්සාහ කරන්නේ නැවත මේ රටේ ජනවාර්ගික ගැටළුවක් ඇති කර මළ මිනී
මතින් පාලන බලන සුරක්ෂිත කර ගැනීමට ය.  මෙරට
මහජනතාව අවදියෙන් සිටිය යුත්තේ එහෙයිනි.





මහා මැතිවරණයක් සඳහා වූ
ජනතා ව්‍යාපාරය කොයිබටද ?





පසුගියදා මහින්ද රාජපක්ෂකල්ලියේ ගිහි - පැවිදි පිරිසක් විසින් “මහා මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය‘‘ නමින් සංවිධානයක් ආරම්භ කළ හ. ඔවුන් තර්ක කරන්නේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ජනතාඅයිතිවාසිකමක් වන බැවින් ඉන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වනු මිස වෙනකක් නොවන බවයි.  බැලූ බැල්මට එය සත්‍ය්‍ය ය.  තර්කානුකූල ය. දේශ හිතෛෂී සළු පොරවාගෙන සිටිනඊනීයා මානවවාදීන් විසින් පපුවට අත තබමින් හැඟුම්බරව ප්‍රකාශ කරන විට සියල්ලෝ ම එයපිළිගන්නට පෙළෙඹෙන බවත් සැබෑ ය.  එහෙත්අපිට මෙහි සැඟව තිබෙන බරපතල තත්ත්වය අවබෝධ කරගත යුතු ය.





මැතිවරණයේ ප්‍රජාතන්ත්‍ර
විරෝධී ස්වභාවයක් නොමැත. වරද ඇත්තේ මැතිවරණය කැඳවූ ආකාරයෙහි ය. මෙරට උත්තරීතර ම
නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට
පාර්ලිමේන්තුව විසිරවීමේ බලය සීමා කර තිබේ. ඒ අනුව ඔහුට තම අභිමතය පරිදි
පාර්ලිමේන්තුව විසිරවීමේ බලය හිමිවන්නේ අභිනව පාර්ලිමේන්තුවෙහි ධුර කාලයෙන් වසර
හතර හමාරක් ගෙවීමෙන් ඉක්බිතිව ය.





රටේ මූලික ම නීතිය වන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එවැනි සීමාවක් පනවා තිබේ නම් එය උල්ලංඝනය කිරීම ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. රනිල් දූෂිතයෙකු නම් මොහු සම්බන්ධයෙන් තීරණය ගත
යුත්තේ මෙරට ව්‍යවස්ථාදායක වන පාර්ලිමේන්තුවෙන් මිස විධායකයේ ප්‍රධානියා වන
ජනාධිපතිවරයා නොවේ. එවිට වන්නේ රටේ ප්‍රධාන ආයතන දෙක වන විධායක හා ව්‍යවස්ථාදායක
අතර ගැටුමක් ඇතිවීම පමණි. අද වන විට එය තවදුරටත් සංකීර්ණ තත්ත්වයට පත්ව තිබේ.  ඒ අධිකරණය ද මීට මැදිහත් වීම හරහා ය.





ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
විවරණය කිරීමේ බලය හිමි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දෙස මේ මොහොතේ ලෝකයක් බලා
සිටී.  අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ,
අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය යන කාරණා ගණනාවක් එළඹෙන හත්වනදා නඩු තීන්දුව හරහා
ලබා දීමට නියමිත ය. අධිකරණයෙන් ලබා දිය හැකි තීරණය අපට උපකල්පනය කළ නොහැක. එහෙත්
එම තීන්දුව මෙරට නීතියේ ස්වාධිපත්‍ය බලය පිළිබඳ විශාල පාඩමක් ලබා දෙතැයි පමණක් ප්‍රකාශ
කළ හැකි ය.


රනිල් - ජනපතිට ආකෝෂ සූත්‍රය මතක් කරදෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (5) ගාලුමුවදොර හෝටලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදය අමතමින් ජනාධිපතිතුමා තමන්ට  එල්ල කරන චෝදනා පිළිබඳව අපූරු පැහැදිලි කිරීමක් සිදුකළේය.

 

‘මම දේශපාලන කරුමයක් කියලා කිව්වා, මට දොස් කිව්වා, බැන්නා, අවලාද කළා. ඒ සියළු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. මගේ සංස්කෘතිය අනුව පිළිතුරක් දෙන්නම්.

සංයුක්ත නිකායේ ආකෝෂ සූත්‍රය. ආකෝෂ පරිබ්‍රාජ බමුණා ගිහිං බුදුරජාණන්වහන්සේ මුණගැහුණා. බුදුරජාණන්වහන්සේට බැන්නා, අවලාද කළා, දොස් කිව්වා. මේ සියල්ලටම ඇහුම්කන් දීලා බුදුරජාණන්වහන්සේ අන්තිමට මෙහෙම දේශනා කළා.

‘බමුණ ඔබට මිත්‍රයන් ඉන්නවද ?‘

ආකෝෂ බමුණා කිව්වා මට මිත්‍රයෝ ඉන්නවා, නෑදෑයින් ඉන්නවා, දන්න අය ඉන්නවා‘ කියලා

‘ඒ අය ඔබේ නිවසට පැමිණියාම ආහාර දෙනවද ? සංග්‍රහ කරනවද ?‘

‘ඔව්, මම එහෙම සංග්‍රහ කරනවා‘ කිව්වා.

‘කවුරු හරි ඒ ආහාර අනුභව කරන්නේ නැත්නම් කාටද ඒක අයිති. ?‘

‘ඒක මට අයිතියි කිව්වා.‘

බුදුරජාණන්වහන්සේ කිව්වා  ‘මේ දොස්,  මම දොස් කිව්වේ නෑ, මට කිව්වේ දොස්.

මම අවලාද කිව්වේ නෑ, මට කිව්වේ අවලාද

මම නින්දා කරේ නෑ, මට කිව්වේ නින්දා ඔක්කොම
බමුණ ඔබට භාරයි‘‘ කියලා බුදුරජාණන්වහන්සේ කිව්වා.

මං ඊට වඩා ජනාධිපතිවරයට කියන්නේ නෑ.‘‘

 

‘‘රනිල්ගේ වුවමනාවට හැදූ 19 යේ සමහර විධිවිධාන අද අභියෝගයට ලක්වෙලා‘‘ - ජෝන් සෙනෙවිරත්න

යහපාලන ආණ්ඩුවේ ව්‍යාපෘතියක් ලෙස ගෙන ආ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට ඇති බලතල සීමා කර අගමැතිවරයාට  බලයේ රැඳී සිටීමට හැකි තත්ත්වයක් නිර්මාණය කරගෙන ඇති බව අද (6) දින පැවති පොදුජන පෙරමු‍ණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසා සිටියේය.

 

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ,

 

‘‘අද රටේ අමුතු දේශපාලන වාතාවරණයක් ඇතිවෙලා තියෙන්නේ. අගමැති කෙනෙක්, ඇමති මණ්ඩලයක් නැති වාතාවරණයක් තියෙන්නේ. මීට ප්‍රධාන හේතුව දින 100 ආණ්ඩුව ගෙනාපු 19 සංශෝධනය. මේක දින 100 ආණ්ඩුවේ ව්‍යාපෘතියක්. මේක ගෙනාවට පස්සේ අපිට පෙනුණා මේක එක්කෙනෙක් දෙන්නෙක් මුල්කරගෙන ගෙනාව ව්‍යවස්ථාවක් කියලා. ඒ වෙලාවේ යම් යම් අය ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වැනි අයට මේ රටේ දේශපාලනය කරන්න බැරි ආකාරයට විධිවිධාන ඇතුළත් කළා. ඒවගේම එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා වැනි අයට දිගින් දිගටම බලයේ ඉන්න පුළුවන් විදියට තමුන්ට ආවරණයක් ලැබෙන විදියට විධි විධාන ඇතුළත් කරලා තිබුණා.

 

ඒ එක විධිවිධානයක් තමයි අවුරුදු හතර හමාරක් යනකල් ඉන්න ඕන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ කියන එක. අපේ රටේ පළමුවෙන්ම තිබුණු විධිවිධානය තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව කිසිම කාල නියමයක් තිබුණේ නැහැ. ඕනම අවස්ථාවක අග්‍රාමාත්‍යවරයට පුළුවන්කම තිබුණා අග්‍රාණ්ඩුකාරවරයට උපදෙස් දීලා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.

 

නමුත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජේ. ආර්. ජයවර්ධන මහත්තයා යම්කිසි සීමාවක් පැවැත්වුවා. ඒ පනවපු සීමාව බොහොම සාධාරණයි අවුරුද්දක් ගිය තැනදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. අවුරුද්දක් යෑමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ කියන සීමාව එතුමා පැනෙව්වා. මේ අවුරුද්දක් කාල සීමාව පාවිච්චි කරලා තමයි එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය දෙවතාවක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. 19 වෙනි සංශෝධනයෙන් මේක අවුරුදු හතර හමාරක් කළා. රටේ මොන කලබල තිබුණත්, මොන විදියේ විෂමාචාර ඇති වුණත්, ආර්ථික හා සමාජීය කඩාවැටීමක් වුණත් විසුරුවා හරින්න අවුරුදු හතර හමාරක් යනකල් ඉන්න ඕන, බැලූ බැල්මට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව. පාර්ලිමේන්තු කාලය අවුරුදු 5 කට කෙටි කළා. කෙටිකරලා අවුරුදු හතර හමාරක් යනකල් ඉන්න ඕන පාර්ලිමේන්තුව විසුරුවන්න. මාස හයකට පෙර පමණයි පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. මේකෙන් අදහස් කළේ මොකක් ජනාධිපතිවරයගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය සීමා කරලා අගමැතිවරයා මොන විදියේ පිනුම් ගැහුවත් ඔහුට බලයේ ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි ඇතිකරගෙන තියෙන්නේ.  

 

නමුත්, අද ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ කාරණය විග්‍රහ වෙනවා. මෙහිදී ජනපතිතුමා ඉතාම නීත්‍යනුකූලව කටයුතු කරලා තියෙනවා කියන කාරණේ එළියට ආවා. ඊයේ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ඇවිල්ලා පැහැදිලි කළා, මේ රටේ ව්‍යවස්ථාදායකයට වුවමනා වෙලා තිබුණේ මේක අවුරුදු හතර හමාරක් කරන්න, ඒ වගේම ජනාධිපතිවරයගේ විධායක බලය යටතේ ඔහුට මේක විසුරුවා හරින්න තියෙන බලතල එහෙම්ම ආරක්ෂා කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වෙනි වගන්තිය යටතේ, ඒවගේම 62 වෙනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට තියෙනවා. එතුමා පාර්ලිමේන්තුව විසුරුවද්දි ඉතාමත්ම බුද්ධිමත්ව මේක කරලා තියෙනවා. එජාපය නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ඕනෑකමට සකස් කරපු මේ 19 වෙනි සංශෝධනයේ යම් යම් විධිවිධානයන් අද අභියෝගයට ලක්වෙලා තියෙනවා.

 

පාර්ලිමේන්තුවේ වැරදි සහගත ක්‍රියා කලාපය නිසයි මේක ඇතිවුණේ. ජේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කටයුතු කළේ මීට වඩා වෙනස් ආකාරයකටයි. එතුම වුවමනා වුණේ දුර්වල පාර්ලිමේන්තුවකුයි, ශක්තිමත් විධායකයකුයි‘‘  යන්නයි. 

 

 

 

 

‘‘පක්ෂග්‍රාහී නොවී කටයුතු කරන්න‘‘ - කථානායකතුමාගෙන් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට උපදෙස්

රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බව අද (05) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දෙන ලද අතර මේ පිළිබඳ විමසීමට  ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කථානායකවරයා හමුවට කැදවනු ලැබීය. කථානායකවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාළ උපදෙස් නිකුත් කරනු ලබන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. 


 

අදාළ මාධ්‍ය නිවේදනය,

‘‘රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බවට අද (2018.12.05) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දෙනු ලැබීය.

මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරවීම සහ පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීමේ වගකීම දරණ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එම විකාශනය අත්හිටුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා අද (05) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කථානායකවරයා හමුවට කැදවනු ලැබීය.

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ පූර්ණ ස්වාධීනත්වයෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරිමේ අවශ්‍යතාවය මෙහිදී කථානායකවරයා පෙන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධින රූපවාහිනී ආයතනය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇති බවද කථානායකවරයා සඳහන් කරන ලදී.

‍මේ අනූව,කථානායකවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාල උපදෙස් නිකුත් කරනු ලබන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම, ගුවන් විදුලි සංස්ථාවේ සජීවී විකාශණය අත්හිටුවීම පිළිබඳව ස්වකීය කණගාටුව ප්‍රකාශකල ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා හැකි ඉක්මණින් එම තත්වය නිවැරදි කරනු ලබන බවට තහවුරු කරන ලදී.‘‘ 

 

 

 

 

[caption id="attachment_22378" align="aligncenter" width="294"] කථානායකතුමා විසින් නිකුත් කළ නිවේදනය[/caption]

 

 

 

මැතිවරණයක් වුවමනා කාහටද? කුමකටද?

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

මැතිවරණ වනාහි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ මූලිකාංගයකි. නුතන රාජ්‍යයන්හි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ක්‍රියාවට නැංවෙන්නේ මහජනතාව මැතිවරණවලදී සිය ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයන් මගින්බැවින් අප එය හඳුන්වන්නේ “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙනි. ඒ අනුව මහජන නියෝජිතයන් යනු, මහජන මතයේ ප්‍රකාශනය වන අතර, ඔවුන් විසින්තමා ව්‍යවස්ථාදායකය වෙත තෝරා පත්කර එවන ලද ජනතාව නියෝජනය කළ යුතු ද වේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය වෙත අවධානය යොමු කිරීමේදී ප්‍රධාන ප්‍රවණතා කීපයක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න නම්, ජනාධිපතිවරයා විසින් හදිසියේ කුමන්ත්‍රණකාරී ලෙස නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා ඉවත්කර, ඔහුම ප්‍රධාන කොටගත් බලවේග විසින් 2015 දී පරාජයට පත්කළ දූෂිත යැයි චෝදනා ලත් අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීම යන කාරණය සපුරා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී  ක්‍රියාවක් ලෙස ගෙන ඊට විරුද්ධව රට පුරා විවිධ පිරිස් විසින් නොනවත්වා ගෙන යන අරගලයයි.

දෙවැන්න නම්, ජනාධිපතිවරයාගේ සියලු අත්තනෝමතික ක්‍රියා සාධාරණීකරණය කරමින් රාජපක්ෂවාදී වහල් ස්ථාවරයේම සිටිමින් අවිචාරවත් ලෙස ඔවුන්ගේ සියලු දූෂිත ක්‍රියා නොදුටුවාසේ නැවත රජ පවුලක් පාලන බලයට ගෙන ඒම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින පිරිසගේඅතාර්කික බලමුළුව යි.

තෙවැන්න නම්, කුමන පාර්ශවයක් නියෝජනය කරන්නේ දැයි පැහැදිලිව සිතාගත නොහැකි නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පිරිස පිළිබඳව යම් යම් පෞද්ගලික අමනාපකම් ඇති කරගත්, සැඟවී පහරදීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පරාජය කිරීමට උත්සාහ දරනපිරිසගේඅවස්ථාවාදී බලවේගයයි.මොවුන්ගේ හැසිරීම මගින් පිළිබිඹු වන්නේ දිනන පැත්තට සහාය පළකර වරප්‍රසාද දිනා ගැනීමේ චේතනාව යි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීමට වඩාත්ම වුවමනා වී ඇත්තේ ද ඒ වෙනුවෙන් තම කාලය විශාල ලෙස කැප කරන්නේ ද මේ පිරිසයි. අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව අක්‍රිය කර, ජනමතය මුදලට ගන්නට උත්සාහ දරනජනාධිපතිවරයා සහ ඔහුගේ පිහිටෙන් “ගොඩ යාමට” තැත් කරමින් සිටින දූෂිත මහජන නියෝජිතයන් විසින් ද එක හඬින් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසයි. මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම්, මෙම පිරිස් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුනාගන්නේ මැතිවරණය පැවැත්වීම පමණක් ද යන්නයි. ශ්‍රී ලංකාවේ මේ මොහොතේමැතිවරණයක් අවශ්‍ය කාටද? පැහැදිලි බහුතරයක් සහිත දැනට තිබෙන පාර්ලිමේන්තුව ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මැතිවරණයක් යනු,එක් එක් පුද්ගලයන්ගේ පුද්ගලික බල ආශාවන් මුදුන්පත් කර ගැනීම අරභයා, සිතැගි අවස්ථාවක පැවැත්විය හැකි ක්‍රියාවලියක් නොවේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම් ඒවා නිසි කලට නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීම අත්‍යවශ්‍යය. මැතිවරණ පැවැත්විය යුතු නිසි කාල සීමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ එබැවිනි. රාජ්‍යයක සමස්ත ආණ්ඩුකරණයාන්ත්‍රණය යම් නිශ්චිත කාල වකවානුවක් තුළ පවත්වාගෙන යාම යන භාරදූර වගකීමපැවරීම අත්තනෝමතික ලෙස කළ නොහැකිය. මැතිවරණ සඳහා වැය කරනුයේ මහජන මුදල් ය; ඒවායේදී විමසන්නේ මහජන මතයය. එසේනම් මැතිවරණ සම්බන්ධයෙන් තීරක බලය තිබෙන්නේ මහජනතාවටය. 2015 අගෝස්තුවේදී මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් ජනතා නියෝජිතයන්225 ක ගෙන් යුතු පාර්ලිමේන්තුව, එය විසුරුවා හරින ලෙස මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියයොත් හැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, 2020 පෙබරවාරි දක්වා වසර හතරහමාරක් යන තෙක් පැවතිය යුතුය. ඒ අනුව එම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එහි මන්ත්‍රීවරු තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියේ නැත; එහි කටයුතු කරගෙන යාමට නොහැකි ආකාරයෙන් ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ද නැත. එසේ නම් ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති පාර්ලිමේන්තුව සිතාමතා අක්‍රිය කරමින් මහත් අර්බුදයකට තල්ලු කර දමා තිබෙන්නේ, ජනාධිපතිවරයා සහ ඔහු වටා ගොනු වී සිටින කීප දෙනෙකුගේ පුද්ගලික අභිමතාර්ථ සාධනය කර ගැනීමට විනා, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම පිණිස නොවන බව ඉතා පැහැදිලිය.

පෙර සඳහන් කළ පිරිස් අතරින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නන් හැර සෙසු පිරිස් කීමට උත්සාහ කරන දේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය. ඔවුන්ට අනුව, වර්තමාන පාර්ලිමේන්තුව සත්ත්ව උද්‍යානයකි; එහි කාර්යයන් කරගෙන යාමට කථානායකවරයාට පොලිස් ආරක්ෂාව නැතුව බැරිය;කථානායකවරයාපක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන, බටහිර රාජ්‍යයන්ගේ ගැත්තෙකි;කථානායකවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමටවත් නොහැකි ලෙස හැසිරෙන මහජන නියෝජිතයන්ගෙන් යුතු වර්තමාන පාර්ලිමේන්තුවෙන් පලක් නැත; එබැවින් මැතිවරණයක් වහාම පවත්වා, නව මහජන නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළ යුතුය.

දැන් මෙම තර්ක දෙස බලා අපටනිගමනය කළ හැක්කේ මොනවාද? පාර්ලිමේන්තුවේ විනය විරෝධී ලෙස හැසිරෙමින් කථානායකවරයාට කටයුතු කිරීමට ඉඩ නොදුන්නේ කවුද? ඔවුන් එසේ කළේ ඇයි? පාර්ලිමේන්තුව සත්‍ත්ව උද්‍යානයක් බවට පත් කළේ කවුරුන් ද? ඒ ආකාරයේ හැසිරීම් සඳහා අණ ලැබුණේ කාගෙන්ද? කතානායකවරයා කළ යුත්තේ මැරවරයන් ලෙස හැසිරුණු මහජන නියෝජිතයන් සුළුතරයකට යටත්වී බහුතරය නොසලකා හැරීම ද? සුළු පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩු බලය බලෙන් අල්ලා ගැනීමට ගත් වෑයම අසාර්ථක වීම තුළ හදිසි මැතිවරණයක් කැඳවා ඔවුන්ට සහන සැලසිය යුතු ද? උත්තරීතර මහජන පරමාධිපත්‍යය අමු අමුවේ කෙළෙසීම වෙනුවෙන් ලබාදෙන සහනයක් ලෙස මහජන මුදල් කෝටි ගණන් වැය කර, අනවශ්‍ය මොහොතක පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු ද? මහජනතාව එවැන්නක් ඉල්ලා නැත; පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරය නියෝජනය කරන කිසිදු පක්ෂයක් එසේ ඉල්ලා නැත. සුළුතර කණ්ඩායමක් විසින් සිය දූෂිත ගනුදෙනු වසාගැනීම සඳහා බලය අත්තනෝමතික ලෙස උදුරා ගැනීම සාධාරණීකරණය කිරීම අරමුණු කරගෙන පමණක් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනු පෙනේ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මේ මොහොතේ පෙනෙන්නේ මැතිවරණයක් පැවැත්වීම පමණි.

මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක් වුවද, එම මැතිවරණ පැවැත්වෙන්නේ අසාධාරණ වටපිටාවක සුළු පිරිසකගේ මනදොළ සැපිරීමට නම්, ඒවා නිසිකලට නොපවත්වන මහජන මුදල් නිකරුණේ වැය කරන මැතිවරණ නම්, ඒවා ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරනු මිස ජනතා පරමාධිපත්‍ය සුරැකීම අරමුණු නොකරයි. ඛේදවාචකය නම්, හදිසි මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දකින්නන්, තමා සහයෝගය දක්වන පිරිසගේ සෙසු සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන නිහඬ පිළිවෙතයි. ඔවුන්ට මැතිවරණයක් පැවැත්විය යුතුයැයි කියන විට එසේ කීමට බල පෑ සෙසු වටපිටාව නොපෙනී යයි. අත්තනෝමතික ලෙස නීත්‍යානුකූල අගමැතිවරයා ඉවත් කර, පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය නොමැති අයෙකු නව අගමැති ලෙස පත් කිරීම, බහුතරය මිලයට ගනු වස් සහන කාලයක් ලබා ගැනීම පිණිස  පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම, එසේ කිරීම මගින් ද බහුතරය සකසා ගතනොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අධිකරණ නියෝගය හෑල්ලුවට ලක් කරමින් ඊට බලපෑම් කිරීමට උත්සාහ කිරීම, යුක්ති ගරුක නිලධාරීන් සිතාමතා නිලතලවලින් ඉවත්කරමින් අපරාධ විමර්ශන කටයුතුවලට බාධා කිරීම ආදී වශයෙන් ඔක්තෝබර් 26 වැනි දා සිට මේ දක්වා ජනතාව රවටමින්, රට අරාජික කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ අන්තේවාසිකයන් විසින් ගෙනයන අත්තනෝමතික ක්‍රියාවන් කිසිවක් ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කීමට මොවුන්ට වුවමනා නැත.

නිර්ලජ්ජී ලෙස බොහොමයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් සිටී. ඔවුන් සියල්ලන්ටම අවශ්‍ය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහාමැතිවරණයක් අවශ්‍ය බව කියමින් රටේ සියලු  ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙළෙසීමට බලපත්‍රයක් ලබා ගැනීමටයි.කෘතහස්තයැයි කියාගන්නා මාධ්‍යවේදීන්ද, ශාස්ත්‍රඥයන්ද, නීතිවේදීන් ද තම ආත්ම පාවාදෙමින් මැතිවරණයක් වෙනුවෙන් පෙළ ගැසී සිටින්නේ, දූෂිත මැතිවරණයක් මගින් බිහි කර ගන්නා රෙජීමයක වරප්‍රසාද භුක්ති විඳීමට මිස පොදු ජන යහපත පිණිස නොවන බව ඉතා පැහැදිලිය.

කණගාටුව නම්, ප්‍රජාතන්ත්‍රවාදය යන්න අකලට පවත්වන මැතිවරණයක් දක්වා ඌනනය කරමින් සෙසු සියලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතකා හැරීම මගින් තහවුරු වන ලාංකීය සමාජ දේශපාලන විඥානයේ දුගීභාවය යි. මෙය විසින් ලාංකීය සමාජය පතුල නොපෙනෙන අගාධයකට ගෙන යනවා පමණක් නොව ලෝකයේ කොන් වූනොදියුණු අරාජික රාජ්‍යයක් බවට ද පත් කරමින් තිබේ. වගකිවයුතු පුරවැසියන් ලෙස අප කළ යුත්තේ මැතිවරණ ඉල්ලා පුහු තර්ක  ගෙනැවිත් අවස්ථාවාදී දේශපාලකයන්ට තම පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා සහාය දීම නොව, ඊට එරෙහිව ජනතා පරමාධිපත්‍යය සුරැකීම පිණිස ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරීත්වයට තිබෙන අනර්ථකාරී බාධා ඉවත් කිරීමට අරගල කිරීමයි.එනම්, මේ මොහොතේ දැවෙන අවශ්‍යතාව වන්නේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික  බල ක්‍රියාකාරිත්වයට තිරිංග යෙදීමයි.

 

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය  

රුහුණු විශ්වවිද්‍යාලය 

ජන බලය, ව්‍යවස්ථාව හා පාලකයන්ගේ බලය (1)

-  මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර - 


 

මාධ්‍ය කියන්නේ මොනවද ?



රටේ පවතින වර්තමාන තත්වය පිළිබඳ ඉතා ප‍්‍රබල සංවාදයක් මේ දිනවල මුද්‍රිත මාධ්‍ය තුළ දියත්ව තිබේ. පාර්ලිමේන්තුවේ පසුගිය දා දක්නට ලැබුණු සතුරු සහ රොස්පරොස් බව සහ භික්ෂූන් වහන්සේලා පිරිසකගේ කලබැගෑනියට සමාන වාතාවරණයක් මුද්‍රිත මාධ්‍ය තුළ දක්නට නොවුණි. එහිදී, පෞද්ගලිකත්වයට නොගොස්, වෙනත් කෙනෙකු දක්වන අදහස් සම්බන්ධයෙන් තැන්පත්ව අදහස් දැක්වීමේ වාතාවරණයක් දක්නට ලැබුණි. වෙනස් අදහස් සහ දෘෂ්ටිකෝණ සම්බන්ධයෙන් වන ඒ ගෞරවය සහ ඉවසීම මෙන්ම, රටේ නොයෙක් තැන්වල සාමකාමීව විරෝධතා දැක්වීමේ තත්වයක් පැවතීම, ශ‍්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයට කාරණයකි. එයම, රටේ පොදු වැදගත්කමක් ඇති කාරණා ගැන සාකච්ඡා කිරීමට සහ සංවාද කිරීමට තිබෙන පාර්ලිමේන්තුව වැනි ස්ථානයක් කෙලසන, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට පේ වී සිටින්නේ යැයි කියන දේශපාලඥයන්ට ලැජ්ජාවට කාරණයකි.



මුද්‍රිත මාධ්‍ය තුළ සංවාදයට සහ සාකච්ඡාවට විවරව තිබෙන මේ අවකාශය ඔස්සේ අදහස් දැක්වීමට මම කැමැත්තෙමි. එහිදී, මා පුද්ගලයෙකු වශයෙන් පළ කළ අදහස් සම්බන්ධයෙන් සහ තවත් පිරිසක් සමග එක්ව ප‍්‍රකාශයට පත්කළ අපේ ඒකාබද්ධ නිවේදනයක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස් දක්වා තිබෙන අදහස් මම සැලකිල්ලට ගනිමි. එසේ කිරීමේදී, මේ කාරණා සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු මතු කොට තිබෙන තවත් අයගේ අදහස් ද සැලකිල්ලට ගැනෙයි.




සමාජ වැදගත්කමක් ඇති වර්තමාන ගැටළු සමහරක් : ජනතා පරමාධිපත්‍යය



මෙය, අද සාකච්ඡාවට ගැනෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයකි. වෘත්තිකයන් බොහොමයක් දෙනා මෙන්ම, මහාචාර්ය ජී. එච්. පීරිස්, ආචාර්ය පාලිත කොහොන, සමන්තා රත්වත්ත මහත්මිය සහ නිතර ලිපි සපයන නෙවිල් ලද්දුවහෙට්ටි සහ කුසල් පෙරේරා වැනි මහත්වරුන්, ඔක්තෝබර් 26 වැනි දා ඇති වූ ආණ්ඩු වෙනස, ජනතා ජයග‍්‍රහණයක් නියෝජනය කරන අවස්ථාවක් බවට තර්ක කොට ඇත. ඔවුන් බොහෝ විට උද්ධෘත කොට දක්වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියයි. එය මෙසේ ය: ‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය... පරමාධිපත්‍යයට, පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡුන්ද බලය ද ඇතුළත් වන්නේය.’’ එසේ වෙතත්, ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ සංකල්පය ඉහත කී පිරිස අර්ථ ගන්වන්නේ ව්‍යවස්ථාවේ රාමුවට පිටතින් පිහිටා ඇති සංකල්පයක් වශයෙනි.



වර්තමාන සන්දර්භය තුළ ව්‍යවස්ථාමය ප‍්‍රශ්න කෙරෙහි ඇති වී තිබෙන යොමු වීමේ ස්වභාවය දෝෂ සහගත බව මහාචාර්ය ජී. එච්. පීරිස් කියයි. ආණ්ඩුකරණය තුළ පැවති අසාර්ථකත්වයක් හේතු කොටගෙන ඔක්තෝබර් 26 වැනි දා තමන් විසින් ‘ප‍්‍රතිසංස්කරණ’ ඇති කෙළේ ය යන ජනාධිපතිවරයාගේ යෝජනාව, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීමේ වඩාත් වැදගත් කැපවීමක් වශයෙන් ඔහු ගෙනහැර දක්වයි. ඒ අදහස සමග කුසල් පෙරේරා මහතා එකඟ වන බවක් පෙනේ. ‘වැඩිමනත්’, නැතහොත් නිරර්ථක ව්‍යවස්ථාමය විධානයන් අප නොතකා හැරිය යුතු බවට ඔහු තර්ක කරයි. (2018 නොවැම්බර් 16 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ 12 වැනි පිටුව). විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ද, ප‍්‍රසිද්ධ ස්ථානවල පළ කොට ඇති දැන්වීම් පුවරු හරහා ද වර්තමාන තන්ත‍්‍රය ගෙන යන ප‍්‍රචාරක ව්‍යාපාරය, මෙවැනි අදහස් මගින් තවදුරටත් තහවුරු කෙරේ. ඔවුන් පුරවැසියන්ට මතක් කර දෙන්නේ, පාලන තන්ත‍්‍රයේ වෙනස මගින් රටක් බේරා ගත් බවයි. ජනතාවක් සවිබල ගැන්වූ බවයි. ‘ජනතා මහිමය’ යළි අත්පත් කර ගත් බවයි.



මූලික නීතියට පිටින් ජනතා පරමාධිපත්‍ය ගැන වටහාගැනීම



රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටතින් ජනතා පරමාධිපත්‍යය පිළිබඳ සංකල්පය අර්ථ ගැන්වීම, ශ‍්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අප වැඩි දුරටත් විභාග කොට බැලිය යුතුව තිබේ. දකුණු ආසියාවේ අපේ රට ඇතුළු ලෝකය පුරා සෑම රටක්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පනවාගෙන තිබෙන්නේ, රාජ්‍යයේ බලය පාලනය කෙරෙන සහ සීමා කෙරෙන ආයතන රාමුවක් මත ආණ්ඩුකරණය පදනම් විය යුතුය යන විශ්වාසය පෙරදැරිව ය. ‘ව්‍යවස්ථානුකූලවාදය’ පිළිබඳ න්‍යාය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. එය තුළ, රාජ්‍ය බලය සීමා කිරීමේ වැදගත්කම නිරූපණය වන්නේය. රාජ්‍ය බලයේ අවභාවිතයත්, හිතුවක්කාරී සහ අධිකාරීවාදී ආණ්ඩුකරණය වැලැක්වීමේ ඇති වැදගත්කමත් නිරූපණය වන්නේය. ඇත්තෙන්ම රාජ්‍යයේ බලය සීමා කිරීම මගින් කෙරෙන්නේ, රටක පුරවැසියන් වන ස්වෛරී ජනතාව වෙත වගවීමේ සංකල්පය ප‍්‍රවර්ධනය කිරීමයි.



ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළ පවතින රාමු වෙනස් විය හැකිය. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පදනම් වන්නේ, පූර්විකාවේ (ස්වස්ති) දැක්වෙන පරිදි, ‘ධර්මිෂ්ඨ, නිවහල් සමාජයක් සුරක්ෂිත කිරීම’ සඳහා වන ‘නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්’ මත ය. (ව්‍යවස්ථාවේ පූර්විකාවේ පළමු ඡේදය). නිදහසේ පටන් ලිඛිත ව්‍යවස්ථාවක් පනවා ගැනීම තුළින්, ලිඛිත ව්‍යවස්ථාව ප‍්‍රකාර ආණ්ඩුකරණ ව්‍යුහයන් මත ආණ්ඩුව පදනම් විය යුතු බව, ජනතාවක් වශයෙන් අපි පිළිගෙන ඇත්තෙමු.



 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියන්නේ කුමක්ද ?



1978 ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ තර්කණය වන්නේ, වෙනස් ආයතනයන් ඔස්සේ, ආණ්ඩුකරණයේ කෘත්‍යයන් සහ බලතල බෙදා හැරිය යුතු බවයි. 3 වැනි වගන්තියෙන් පිළිගෙන ඇති ජනතා පරමාධිපත්‍යය තුළට පූර්විකාවේ සඳහන් වන ආණ්ඩුකරණ මාදිලිය ඇතුළත් වන බව ඒ මගින් පැහැදිළි කොට තිබේ. ජනතාවගේ පරමාධිපත්‍යය, ‘ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත‍්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයකදී ජනතාව විසින් ද ක‍්‍රියාත්මක කළ යුත්තේය’ යනුවෙන්, 4 වැනි වගන්තියෙන් කියැවෙන්නේ එබැවිනි.



විධායක බලය සහ රටේ ආරක්ෂාව, ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයෙකු විසින් අභ්‍යාස කළ යුත්තේය. 4 වැනි වගන්තියෙන් තවදුරටත් දැක්වෙන පරිදි, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද, නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද, අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් ජනතාවගේ අධිකරණ බලය අභ්‍යාස කෙරේ’. ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ජනතාව විසින් අභ්‍යාස කරනු ලබන මූලික අයිතීන් සහ ඡුන්ද බලය, ජනතා පරමාධිපත්‍යයේ තවත් මුලික කුළුණු දෙකකි. මහාචාර්ය ජී. එච්. පීරිස් ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය ගෙනහැර දක්වයි. එහෙත් ව්‍යවස්ථානුකූලවාදයට අනුගතවත්, ව්‍යවස්ථාව මගින් හඳුනාගෙන ඇති ආයතන හරහා ආණ්ඩුකරණය සිදුවිය යුතු බවටත් එහි සඳහන් වැදගත් කාරණය ඔහු සැලකිල්ලට ගන්නේ නැත.



ඔක්තෝබර් 26 වැනි දා සහ ඉන් පසුව, ආණ්ඩු මාරුවක් සඳහා ජනාධිපතිවරයා ගත් ක‍්‍රියාමාර්ග යුක්ති සහගත කිරීමේ හැකියාවක්, ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව නැති බව මනාව පැහැදිළි ය. ව්‍යවස්ථාවෙන් පිටස්තරවත්, 4 වැනි වගන්තියේ පැහැදිළිව දක්වා ඇති ආයතන සහ ප‍්‍රතිපත්තිවලින් පිටස්තරවත් ඇති ජනතා ස්වෛරීත්වයක් පිළිබඳ සංකල්පයකින් ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියාව යුක්ති සහගත කළ නොහේ.



ජාතිය අමතා ජනාධිපතිවරයා කළ කතාවේදී සඳහන් කළ ආණ්ඩුකරණයේ අසාර්ථකත්වය පිළිබඳ කාරණය හෝ පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණයේදී ප‍්‍රකාශයට පත් ජනතා මතය මගින් හෝ, ව්‍යවස්ථානුකූලවාදය පිළිබඳ න්‍යාය සහ ව්‍යවස්ථාවෙන් හඳුනාගෙන ඇති ආයතනවල ක‍්‍රියාකාරීත්වයේ වැදගත්කම පසෙකට ලෑම කළ නොහැක්කේය. නිදහසෙන් පසු ශ‍්‍රී ලංකාවේ 70 වසරක කාලය තුළ ආණ්ඩුකරණය පදනම්ව තිබී ඇත්තේ, ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් ද හඳුනාගෙන ඇති, (ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ) නැමැති ආණ්ඩුකරණයේ ශාඛා තුනකින් සැදුම්ලත් ව්‍යුහයක් මත ය. මේ ආයතන තුන අතරේ තුලනය, ව්‍යවස්ථාවේ වෙනත් විධිවිධාන මගින් නිරූපණය කෙරේ. ඉන් එකක් වන්නේ, ව්‍යවස්ථාව යටතේ පවරා ඇති බලතල සහ කෘත්‍යයන් අභ්‍යාස කිරීමේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගවිය යුතු බවයි. ව්‍යවස්ථාදායක සහ විධායක බලය අතර පැවතිය යුතු තුලනය පිළිබඳ මේ මූලික නියාමය, 1978 ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය තුළ සේම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 33 (අ) වගන්තිය තුළත් අඩංගු කොට තිබේ.



 

ජී. එල්. පීරිස් කියන්නේ මොනවද ?



ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, 1994 දී ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී, අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මේ කියන පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය අතර තුලනය හඳුන්වා ඇත්තේ, පාර්ලිමේන්තුවාදී විධායක මාදිලියක්’ වශයෙනි. (2018 නොවැම්බර් 20 වැනි දා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ කතුවැකිය), ජනාධිපති සිරිසේන ඇතුළු දේශපාලඥයන්, මේ ආණ්ඩු මාදිලිය විධායක ජනාධිපති තනතුරට පමණට වඩා බර වෙන ක‍්‍රමයක් වශයෙන් එක දිගටම හෙලාදැක ඇත්තේ කෙසේද යන්න කවුරුත් දනිති. ඔක්තෝබර් 26 වැනි දා පත්කර ගත්තේ යැයි කියන ආණ්ඩුව ඇතුළු තවත් සමහර දෙනා දැන් ගර්හාවට ලක්කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සුජාත භාවය, වර්තමාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡුන්දයකින් 2015 දී සම්මත කර ගන්නා ලදි. ඒ සම්මුතිය ඇති වුණේ, 2015 මහ මැතිවරණය ද ඇතුළත්ව, දශක ගණනාවක් තිස්සේ දේශපාලන පක්ෂ වේදිකාවල ඇති කර ගත් එකඟත්වයක් මත ය. 1978 ව්‍යවස්ථාවේ සඳහන් බලගතු ජනාධිපති ක‍්‍රමයක් රටට අවශ්‍ය නැති බවට එදා කවුරුත් එකඟ වූහ. රාජ්‍ය බලය දමනය කිරීමේ හැකියාව එවැනි විධායක බලයක් විසින් නිෂේධ කරන බවත්, ඒ මගින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කෙරෙන බවත්, ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒ මගින් හෑල්ලූ වන බවත් කවුරුත් පිළිගත්හ.



ව්‍යවස්ථානුකූලවාදයට අනුගත වීමේ අවශ්‍යතාව එසේ තිබියදී, ව්‍යවස්ථාවට පිටින් විධායක බලය අභ්‍යාස කරනු ලැබීම, ජනාධිපතිවරයා විසිනුත්, ඔහු විසින් පත්කර ගත්තේ යැයි කියන ආණ්ඩුව සහ වෙනත් පුද්ගලයන් විසිනුත් දැන් අනුදැන සිටීම, තියුණු උත්ප‍්‍රාසය දනවන්නකි. ඔවුන් කතා කරන්නේ, ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ පැහැදිළිව සඳහන් ආකාරයට වෙනස්ව, ආණ්ඩුවේ ආයතනවලට පිටස්තරින් අභ්‍යාස කරනු ලබන ජනතා පරමාධිපත්‍යයක් ගැන සංකල්පයක් පිළිබඳව ය. මෙය, පෙර නොවූ විරූ අර්බුදයකට රට ඇද තබා තිබේ. පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර ඇති වී තිබෙන පරුෂ එදිරිවාදිකම කෙනෙකුගේ මතකයට නංවන්නේ, සියවස් ගණනාවකට ඉහතින් එංගලන්තයේ රජු සහ පාර්ලිමේන්තුව අතර පැවති ඒ ඓතිහාසික ගැටුමයි. අද ලෝකයේ බොහෝ රටවල පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයේ මූලික ප‍්‍රතිපත්ති ව්‍යුත්පන්න වුණේ ගැටුමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.



 
(2018 නොවැම්බර් 24 වැනි දා ‘ද අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ, “People's Power, The Constitution & Rulers' Power"ලිපියේ  පළමු කොටස. පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)



 

‘‘කරු ජයසූරිය කියන පෙම්වතා, ප්‍රජාතන්ත්‍රවාදය කියන පෙම්වතියගේ ගෙල සිරකර මරලා දානවා‘‘ - ඩලස්

මේ වනවිට අග්‍රමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය මේ පැය කීපයේදී අන් කවරදාකටත් වඩා අභියෝගයට ලක්වෙමින් තිබෙන බවයි. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,


‘‘පාර්ලිමේන්තුව කියන්නේ දියවන්නාවේ මැද්දේ තියෙන මනරම් මන්දිරයක් නෙමෙයි. පාර්ලිමේන්තුව කියන්නේ සෙංකෝලය නෙමෙයි, පාර්ලිමේන්තුව කියන්නේ කතානායක නෙමෙයි. පාර්ලිමේන්තුව කියන්නේ ගොඩනැගිල්ලක් නෙමෙයි. කිසිසේත්ම යටපත් කළ නොහැකි, අන්සතු කළ නොහැකි ජනතාවගේ පරම පරමාධිපත්‍ය බලය තමයි පාර්ලිමේන්තුව කියන්නේ. හැබැයි ඒ ජනතාවගේ පරම බලය අභියෝගයට ලක්වෙමින් තිබෙන බව හැමදෙනාම පිලිගන්න වෙන කාරණාවක්.


කවුද හරි කවුද වැරදි කියනවට වැඩිය ඒ පරම බලය අභියෝගයට ලක්වෙලා තියෙන පැයක් වශයෙන් මේ පැය අපිට හඳුන්වන්න පුළුවන්.


අද දවසේ පාර්ලිමේන්තුව කැඳවන න්‍යාය පත්‍රයකුත් නෑ. පාර්ලිමේන්තු නිළධාරීන් කියනවා න්‍යාය පත්‍රයක් නෑ කියලා. අනික් පැත්තෙන් අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් විභාග වෙනවා. මේ නඩුවට අන්තර්ගතය බරපතල විදියට විකෘති කරනවා  පාර්ලිමේන්තුවේ රැස්වීම් හරහා. මෙතෙක් දවස් ඔබ දැක්කේ ව්‍යවස්ථාදායකය, විධායකය අතර තියෙන අර්බුදය විතරයි. අද අපි දැක්කේ ව්‍යවස්ථාදායක හා අධිකරණය අතරත් විධායකය හා අධිකරණය අතරත් තියෙන තවත් අවුලකට පාරකපන්න තමයි මේ සූදානම් වෙන්නේ.


 ඉතිහාසෙට ගෞරවයක් විදියට ඉතිහාසයේ කතානායකවරු දෙන්නෙක් පාර්ලිමේන්තුවේ මතුවුණු මේ අර්බුදයකදී කටයුතු කරපු ආකාරය ගැන නැවත ජනතාවට මතක් කර දිය යුතුයි. මීට සමාන තත්ත්වයක් ගොඩනැගුණා 2004 මැතිවරණයෙන් පස්සේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වෙලා කරපු පළවෙනි රැස්වීම තමයි කතානායකවරයා පත්කිරීම. 2004 දී. ඒ කතානායකවරයා තෝරන ඡන්දේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් අගමැතිවරයා ලෙස ජනාධිපතිතුමිය විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් පත්කරලා ඉන්නවා.


ඒ අගමැතිවරයා පාර්ලිමේන්තුව කැදවනවා. පළවෙනි දවසේ කතානායකවරයා තෝරනවා. ඒ කතානායකවරයා තෝරන ඡන්දෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා පරාජයට පත්වෙනවා. පරාජයට පත්වෙලා එජාපය ඉදිරිපත් කරපු කතානායක අපේක්ෂක විජමු ලොකුබණ්ඩාර ජයගන්නවා. ඔහු කතානායක පුටුවේ ඉදගන්නවා. හැබැයි, මතක තියාගන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිව්වේ නෑ ‘මේ යුඑන්පී කතානායක එක්ක මට වැඩකරන්න බැහැ‘ කියලා


 ඒ කතානායකතුමා එජාපයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තුව ගැටුමකට අරන් යනවද ?, මේ සුළුතරයේ නියෝගය මං පිළිගන්නේ නෑ කියලා විධායකයට අභියෝග කරනවද ?. විජමු ලොකුබණ්ඩාර මැතිතුමා පළවෙනි කාරණාව විදියට තේරීම් කාරක සභාව පත්කරනවා. එහි බහුතරය 23 න් 14 ක්ම ආණ්ඩු පක්ෂයට දෙනවා. 9 ක් විපක්ෂයට දීලා ආණ්ඩුවට ව්‍යවස්ථාදායකයේ කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට කතානායක පුටුවේ ගෞරවය ආරක්ෂා කරනවා.


2015 ජනවාරි මාසේ 9 වැනිදා අතිශයින්ම සුළුතරයේ අගමැති පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා. 44 ක් විතර හිටපු. ඒකට පුංචි කණ්ඩායමක් එකතු වෙලා 50 ගාණක් හැදෙනවා. එතකොට කතානායක පුටුවේ ඉන්නේ කවුද ?. ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති චමල් රාජපක්ෂ. ඔහු කරන්නේ මොකක්ද ?. මේ මන්ත්‍රීවරු 44 දෙනෙක් ඉන්න, පාර්ලිමේන්තුවේ 1 / 4 ක් නැති කෙනා අගමැති කරලා තියෙනවා, මම ඒක පිළිගන්නේ නෑ කියලා අභියෝග කරපු එකද කරේ. නෑ. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට තියෙන බලතල පිළි අරන් ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති වුණු කතානායකතුමා අර පුංචි සුළුතරයේ අගමැතිට කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට තේරීම් කාරක සභාව නම්කළා. ඒ තේරීම් කාරක සභාවේ 15 දෙනයි. 15 න් 9 ක් ආණ්ඩුවට. 6 ක් විපක්ෂයට යනවා.


2004 කතානායක පුටුවට පත්වුණු එජාපයේ නියෝජ්‍ය සභාපති ශ්‍රීලනිපයට ආණ්ඩුව ගෙනියන්න පුළුවන් විදියට ඉඩදීලා විධායකයට එක්ක ආරාවුලක් ඇතිකරගත්තේ නැති ඉතිහාස කතාවක් 2015 ජනවාරි මාසේ ශ්‍රිලනිපයේ සභාපතිවරයා, එජාප සුළුතර අගමැතිට ඉඩදීලා විධායකය එක්ක ගැටුමක් නැතිව පාර්ලිමේන්තුව ගෙනගියපු ආකාරයත් රට ස්ථාවර වෙච්ච ආකාරයත් ගැන ඉතිහාස කතාව නැවත ජනතාව අතර කරලියට ගෙනියන්න ඕන. එහෙම තමයි එදා රැකුණේ.


ඒ නිසා අපි කරු ජයසූරිය මැතිතුමාට නැවත අවධාරණය කරන්නේ මේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ අත අර්බුදයකට ගෙනියන්න එපා. මේකට තියෙන විසඳුම වහාම මැතිවරණයකට යන එක.‘‘ යන්නයි.


මෙහිදී කතානායකතුමා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම පිටුපස සිටින බව අවධාරණය කළ අලහප්පෙරුම මහතා දැක්වූවේ,


''පෙරේදා අපි දැක්කා රූප රාමුව, මොනරාගල පෙම්වතියගේ ගෙල සිරකරලා මරලා දාන, පෙම්වතාගේ රූප රාමුව හා ඒක වීඩියෝ කරන පුරවැසියෝ. මැදිහත් නොවී. එවැනි සිද්ධියක් නොවෙයිද දැන් පාර්ලිමේන්තුවේ තියෙන්නේ.


කරු ජයසූරිය කියන පෙම්වතා ප්‍රජාතන්ත්‍රවාදය කියන පෙම්වතියගේ ගෙල සිරකරලා මරලා දානවා. ජනතාව වීඩියෝ කැමරා අතේ තියාගෙන මේක රූප රාමුවට ගන්නවා ‘‘ යන්නයි. 



ඡන්දය කුමකටද ? කුමක් සඳහා ද ?

ගාමිණී වියන්ගොඩ - 


කොක්කෙන් බැරි නම් කෙක්කෙන්


මෙහිදී මුලින්ම, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කළ යුතුය. පසුගිය දින කිහිපයේ සිරිසේන - රාජපක්ෂ හවුල කටයුතු කෙළේ ඒ ඡන්ද අයිතිය බලහත්කාරයෙන් අහිමි කරමිනි. ඔවුන් පාර්ලිමේන්තුවේ හැසිරුණු සහ තවමත් හැසිරෙමින් සිටින ආකාරය පෙන්නුම් කෙළේ, මහජන නියෝජිතයන්ගේ ඡන්දයකට තමන් ඉඩ හරින්නේ, වැඩි බලයක් තමන්ට ප‍්‍රදර්ශනය කිරීමේ හැකියාවක් ඇති තත්වයකදී පමණක්ම බවයි. එය කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ විය. එසේ කළ නොහැකි වන වෙනත්  ඕනෑම අවස්ථාවකදී, පාර්ලිමේන්තුවේ සියලූ කටයුතු කඩාකප්පල් කරමින්, ඒ ජනතාවගේ අයිතිය අහිමි කිරීම සඳහා  ඕනෑම අශීලාචාර ක‍්‍රියාවක නිරත වීමට තමන් පසුබට නොවන බව ඔවුන් මේ වන විට පෙන්වා දී ඇත.


ජනතාවට ඡන්ද අයිතියක් ලැබී ඇත්තේ, තමන්ගේ පළාත්බද ජනතා නියෝජිතයන් ද (පළාත් සභා, පළාත් පාලන ආයතන), තමන්ගේ පරමාධිපත්‍යය බලය තමන් වෙනුවෙන් අභ්‍යාස කරන පාර්ලිමේන්තු නියෝජිතයන් ද, විධායක ජනාධිපතිවරයෙකු ද පත්කර ගැනීම සඳහා ය. පළාත් පාලන නියෝජිතයන් සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 10 වැනි දා ජනතාවගේ ඒ අයිතිය ඔවුන්ට ලැබුණු අතර, ඒ අනුව ඔවුන් තමන්ගේ නියෝජිතයන් තම තමන්ගේ ප‍්‍රදේශ පාලනය කර ගැනීම සඳහා පත්කර ගත්හ. ඊළඟට, පළාත් සභා සඳහා තමන්ගේ නියෝජිතයන් පත්කර ගැනීමට ඔවුන්ට මේ දක්වා අවස්ථාව ලැබී නැත. එය ඉදිරියේදී ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් අවධානයට ලක්විය යුතු බරපතල කාරණයකි.


 

සිරිසේන - රාජපක්ෂ හවුලේ පාර්ලිමේන්තු මැතිවරණ හීනය


මේ මොහොත වන විට, සිරිසේන-රාජපක්ෂ හවුල ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයකි.


මතක තියාගන්න: මීට සති කිහිපයකට පෙර, ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ කඳවුර තමන්ගේ ‘අගමැතිවරයා’ වන මහින්ද රාජපක්ෂ සඳහා පාර්ලිමේන්තුව තුළ ඇතැයි කියන බහුතරය පෙන්වීමේ ඡන්ද අභියෝගයට ලක්විය. ව්‍යවස්ථා විරෝධීව සහ නීති විරෝධීව ජනාධිපතිවරයා විසින් මේ ‘අගමැතිවරයා’ පත්කරන ලද්දේ ඔක්තෝබර් 26 වැනි දා ය. ඔහු කෙරෙහි ඇතැයි කියන යම් ජනතා විශ්වාසයක් උරගා බැලීමේ එකම ක‍්‍රමය වන්නේ, ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන සාමාජිකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවේදී එම කාරණය පරීක්ෂාවට ලක්කිරීමයි. එනම් පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් කිරීමයි.


සිරිසේන ජනාධිපතිවරයා එය හිතාමතා මගහැරියේය. තමා පත්කරන ලද ‘අගමැතිවරයා’ කෙරෙහි වහාම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබියදී ඔහු කෙළේ, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමයි. ඊළඟට අලූත් සැසිවාරය සඳහා නියම කරන ලද දිනය පැමිණීමටත් කලින් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ, තමාට අවශ්‍ය අගමැතිවරයෙකු තෝරාපත් කර ගැනීමට ඔහුට නොහැකි වූ අවස්ථාවේදී ය.


 


අගමැතිවරයෙකු පත්කර ගත හැකි ක‍්‍රම දෙකක් තිබේ. එකක් වන්නේ, පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් පසු වැඩිම මන්ත‍්‍රීන් සංඛ්‍යාවකගේ විශ්වාසය දිනාගත හැකි කෙනෙකු අගමැති වශයෙන් පත්කිරීමයි. දෙවැනි ක‍්‍රමය වන්නේ, මහ මැතිවරණයක ප‍්‍රතිඵලයක් වශයෙන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පාර්ලිමේන්තුවක් තුළ සිටින අගමැතිවරයෙකු වෙනුවට වෙනත් අගමැතිවරයෙකු පත්කර ගැනීමයි. ඒ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඉඩ ඇත්තේ, මහ මැතිවරණයක් හරහා නොව, පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ඡුන්දයක් හරහා කෙනෙකු පත්කර ගැනීමටයි. පසුගිය සති තුනකට අධික කාලයක් තිස්සේ ජනාධිපති සිරිසේනත්, රාජපක්ෂ කඳවුරත් කටයුතු කෙළේ, ජනතාවගේ ඒ පරමාධිපත්‍යය අයිතිය ජනතා නියෝජිතයන්ගෙන් උදුරා ගනිමිනි.


එසේ ජනතා පරමාධිපත්‍යයේ අයිතිය උදුරා ගත් ඔවුහූ දැන් මහ මැතිවරණයක් ඉල්ලා සිටිති. එවැනි මහ මැතිවරණයක් ප‍්‍රතික්ෂේප කරන්නන් ඔවුන් හඳුන්වන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය ජනතාවට ලබා දීමට ප‍්‍රතික්ෂේප කරන, ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පිරිසක් වශයෙනි.


 

මෙය සත්‍යයක් ද ?


සෑම මැතිවරණයක්ම- පළාත් පාලන මැතිවරණයක් වේවා, පළාත් සභා මැතිවරණයක් වේවා, පාර්ලිමේන්තු මැතිවරණයක් වේවා, ජනාධිපතිවරණයක් වේවා, ඒ සෑම ඡන්දයක් අරභයාම අනුගමනය කළ යුතු ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රමවේදයක් සහ පිළිපැදිය යුතු නීතිරීති පද්ධතියක් තිබේ. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ වෙනත් අණපනත්වල ඒවා පැහැදිලිව සඳහන් කොට තිබේ. යම් පිරිසක්, විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ සිටින සුළුතරයක් විසින් ඉල්ලා සිටි පමණින් මහ මැතිවරණයක් පවත්වන ක‍්‍රමයක් ලෝකයේ කොහේවත් නැත. එසේ සුළුතරයක් විසින් ඉල්ලා සිටි පමණින් මහ මැතිවරණ පැවැත්විය නොහැකි බවට ප‍්‍රජාතන්ත‍්‍රීය සම්මතයක් ඇති වී තිබෙන්නේ, සෑම මැතිවරණයකින්ම පත්කර ගන්නා යම් පාලන ආයතනයකට, ඊට අදාළ ජනතා වරම අනුව කටයුතු කරගෙන යාම සඳහා යම් සාධාරණ කාලයක් අවශ්‍ය කරන බැවිනි. උදාහරණයක් වශයෙන්, පළාත් පාලන හෝ පළාත් සභා හෝ පාර්ලිමේන්තු ආදී ආයතන සඳහා අවුරුදු පතා හෝ මාස් පතා හෝ සතිපතා හෝ මැතිවරණ පැවැත්විය නොහැක්කේය. එසේම, තනි බලධාරියෙකුට, එනම් ජනාධිපතිවරයා වැනි කෙනෙකුට, එවැනි මැතිවරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම, තනි මතයට කළ නොහැක්කේය. (19 වැනි ව්‍යවස්ථා සංශෝධනය).


ජනතා පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන ප‍්‍රධාන මැතිවරණ දෙකක් තිබේ. එකක්, පාර්ලිමේන්තු මැතිවරණයයි. අනික, ජනාධිපතිවරණයයි. අවසාන වරට ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුයේ 2015 ජනවාරියේ ය. අවසාන වරට පාර්ලිමේන්තු මැතිවරණයක් ලංකාවේ පැවැත්වුයේ 2015 අගෝස්තුවේ ය. වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ මේ ආයතන දෙකේ වාර කාලය අවුරුදු පහකි. ඒ අනුව, වර්තමාන ජනාධිපති ධුරය 2020 ජනවාරිය දක්වා වලංගුයි. වර්තමාන පාර්ලිමේන්තුව 2020 අගෝස්තු දක්වා වලංගුයි.


 කල් පිරීමට මත්තෙන් මේ වලංගු භාවය අවසන් කර ගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබේ. සිරිසේන-රාජපක්ෂ හවුල ඉල්ලා සිටින පරිදි, පාර්ලිමේන්තුවේ වලංගු භාවය එසේ කල් ඉකුත් වීමට මත්තෙන් ඉවරයක් කර ගත හැකි එකම ව්‍යවස්ථානුකූල මාර්ගය වන්නේ, ‘‘පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරයන් ද ඇතුළුව මුළු මන්ත‍්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම්’’ හෝ ‘‘පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රුස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වීමෙන් පසුව හෝ..’’ පමණි.  (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 (1) වගන්තිය)


 පසුගිය 9 වැනි දා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප‍්‍රකාශයට පත්කෙළේ, ඉහත කී ක‍්‍රම දෙකෙන් එකක්වත් අනුගමනය කරමින් නොවේ.



ජනතා අභිමතයේ සදාචාරය


 දැන් අපි, මේ නීතිරීති සහ ව්‍යවස්ථා ප‍්‍රතිපාදන සියල්ල මොහොතකට පැත්තකින් තියමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසාන සාරය වන ජනතා අභිමතයේ සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නයට යොමු වෙමු. එහිදී කෙනෙකුට මෙසේ තර්ක කළ හැකිය: ‘වර්තමාන පාර්ලිමේන්තුව වෙත 2015 අගෝස්තුවේ පවරන ලද සුජාත භාවය මේ වන විට අහෝසි වී ඇත. ඒ බව, 2018 පෙබරවාරි 10 වැනි දා පැවති පළාත් පාලන ඡුන්දයෙන් ඔප්පු කොට තිබේ. එබැවින්, එසේ වෙනස් වී ඇති ජනමතය වහාම පාර්ලිමේන්තුව තුළ යථා පරිද්දෙන් නිරූපණය විය යුතු නිසා මහ මැතිවරණයකට යා යුතුය’.


ඉහතින් කී පරිදි, නීතිරීති සහ ව්‍යවස්ථා ප‍්‍රතිපාදන සියල්ල මොහොතකට පැත්තකින් තිබ්බොත්, ඔවුන්ගේ එම තර්කය මම පිළිගනිමි. එහෙත් ඒ එක කොන්දේසියකට යටත්ව ය. ජනතා පරමාධිපත්‍යය උරගා බලන ප‍්‍රධාන ආයතන දෙක වන ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තු) සහ විධායකය (ජනාධිපතිවරයා) අරභයා වන ජනතා අභිලාෂයන් දෙක සම්බන්ධයෙන් ඉහත කී අවශේෂ පෙබරවාරි ජනමතය එක හා සමානව ආදර්ශයට ගෙන ආදේශ කළ යුතු බවයි. ඒ අනුව, සියයට 13 ක් වැනි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් සිරිසේන, සියයට 33 ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට වඩා ජනතාවගෙන් ඒ පෙබරවාරියේදී ප‍්‍රතික්ෂේප විය.


දෙවැනුව, 2015 ජනවාරි 8 වැනි දා සිරිසේන ලද මුල් ජනවරම, 2019 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ පිහිටුවීම හරහා ඔහු මුළු රට ඉදිරියේ ඇස්පනාපිට අහිමි කරගෙන තිබේ. මේ අනුව, 2015 ජනවාරියේ මේ රටේ ජනතාව කළ එක ‘වරදක්’ සහ 2015 අගෝස්තුවේ මේ රටේ ජනතාව කළ තවත් ‘වරදක්’ නිවැරදි කර ගැනීම සඳහා ජනතාවට (ඉහත කී සියලූ නීතිරීති පැත්තකින් තබා) අයිතිය පැවරිය යුතු නම්, මුලින් නිවැරදි කර ගැනීමට ඇත්තේ ජනවාරියේ වරද මිස අගෝස්තුවේ වරද නොවේ. අප භාවිත කරන කැලැන්ඩරයේ ජනවාරි මාසය එන්නේ අගෝස්තුවට කලිනි. එබැවින්, අප මුලින් යා යුත්තේ ජනාධිපතිවරණයකට මිස මහ මැතිවරණයකට නොවේ.


මේ සියලූ කරුණුවලින් මා කීමට උත්සාහ කෙළේ, ජනවරම උරගා බැලීමට කිසි අකමැත්තක් අප තුළ නැති බවත්, එය උරගා බැලිය යුත්තේ, ව්‍යවස්ථානුකූලව, නීතියට යටත්ව බවත් ය. ඊට පිටින් හුදු සදාචාරමය පදනමක් උඩ යුක්ති සහගත කර ගත හැකි යැයි සිතෙන වෙනත් ක‍්‍රමවේදයකට අප යන්නේ නම්, එය පටන්ගත යුත්තේ ජනාධිපතිවරණයකින් බවත් ය.


 

රාජපක්ෂ පවුලේ ජනාධිපති අපේක්ෂකයෙකු පිළිබඳ පවතින අවුල


දැන්, ඉහතින් කී කල් ඉකුත් වීමට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාමය හෝ නීතිමය බාධක කිසිවක්, කල් ඉකුත් වීමට කලින් ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අපට අභිමුඛ නොවන බව ඊළඟට මතක් කර ගත යුතුය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 38 (1) (ආ) වගන්තිය ප‍්‍රකාරව, ‘‘කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයාට තම ධුරයෙන් අස් විය හැකි’’ ය. ජනමතයට කන්දීම උත්තුංග කාරණයක් වශයෙන් ගෙනහැර දක්වන මහත්තුරු ජනාධිපතිවරයාට මේ බව කියා දිය යුතුව තිබේ. ජනතා මතය, පාර්ලිමේන්තුවේ තුනෙන දෙකක ඡුන්දයකින් තොරව, තනි පුද්ගලයෙකුගේ තීරණයක් මගින් පමණක්, කල් ඉකුත් වීමකට මත්තෙන් පවා, උරගා බැලිය හැකි එකම ව්‍යවස්ථාමය මාර්ගය වන්නේ, ජනාධිපතිවරයා ‘තමාගේ අත්සන යටතේ ඉල්ලා අස්වී’ ජනාධිපතිවරණයකට යාමයි. ජනතාවගේ ඡුන්ද අයිතිය පාවිච්චි කිරීම සඳහා අවස්ථාවක් සොයමින් සිටින, එය වළක්වන්නේ යැයි අනෙක් පාර්ශ්වවලට අවලාද නගමින් සිටින ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්’ මේ සරළ සූත‍්‍රය ජනාධිපති සිරිසේනට මතක් කර නොදෙන්නේ ඇයි ?


සරළ පිළිතුරු කිහිපයක් තිබේ. එකක්, රාජපක්ෂ පවුලේ ජනාධිපති අපේක්ෂකයෙකු පිළිබඳ පවතින අවුලයි. දෙවැන්න, ඒ ජනාධිපති පුටුවට කෙල හලාගෙන මුළු රටක්ම ප‍්‍රපාතයට ඇද හෙලා ඇති ‘සතාගේ’ තරම රාජපක්ෂ කඳවුර වටහාගෙන සිටීමයි. සිරිසේන දැන් සිටින්නේ ඉතා දුර්වල කඩුල්ලක ය. 2015 ජනවාරියේ ඔහු කවුදැ යි යහපාලන ප්‍රේමීජනතාව දැනගෙන සිටියේ නැත. ඒ අව්‍යාජ ජනතාවගේ අහිංසක නොදැනුමේ පූර්ණ වාසිය සිරිසේන ගත්තේය. අද ඔහු භුක්ති විඳින තාවකාලික මනෝමය සුවය එහි ප‍්‍රතිඵලයකි. ඒ ‘ලොතරයිය’ රාජපක්ෂලාගෙන් කිසි දවසක සිරිසේනට නොලැබෙන්නකි. මන්ද යත්, රාජපක්ෂලා පමණක් නොව, සිරිසේන ප‍්‍රපංචය පිළිබඳ යථා දැනුම අද මුළු රටක්ම සතුව පවතින අතැඹුලක දැනුමක් බවට පත්ව ඇති බැවිනි.


 

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉරණම සිරිසේනගේ ගිලටීනය අභියස

‘‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’’ යන්න ප‍්‍රචලිත කියමනකි. එහි අන්තර්ගත වුණේ දේශපාලඥයා සම්බන්ධයෙන් බලපවත්වන බාහිර චර්යා ධර්ම ස්වභාවයකි. එසේ වෙතත්, දේශපාලඥයා ද මනුෂ්‍යයෙකු වන බැවින් මේ කියමන කෙරෙහි ඇතැම් කොන්දේසි බලපවත්වන බවට විශ්වාසයක් අප තුළ විය. ඊළඟට, මනුෂ්‍යයා සංස්කෘතික ජීවියෙකු ද වන බැවින් තවත් කොන්දේසියක් හෙවත් ශිෂ්ටත්වයක් යම් මට්ටමකින් හෝ ඉහත කී පාඨය කෙරෙහි සීමා පනවන බවට විශ්වාසයක් ද අප තුළ විය. එහෙත් ඒ සියල්ල බොරුවක් විය හැකි බව, සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ සිරිසේන අපට පෙන්වා දුනි. මනුෂ්‍යත්වය සහ ශිෂ්ටත්වය අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත ලමින්,  ඕනෑම මොහොතක,  ඕනෑම තත්වයක් යටතේ, ස්වාර්ථය පමණක්ම හඹා යාමටත්, එහිදී ලජ්ජා බය, ප‍්‍රතිපත්ති සහ සම්ප‍්‍රදායයන් පමණක් නොව, නීතිරීති සහ ව්‍යවස්ථා අණපනත් පවා අමු අමුවේ දූෂ්‍ය කිරීමට මනුෂ්‍යයෙකු සතු හැකියාව මේ යැයි ඒ කෙටි කාලය තුළ අපට පෙන්වා දීමටත් සිරිසේන සමත් විය. ‘‘මිනිස් සම්බන්ධතා තුළ සදාකාලික මිතුරන්වත් සදාකාලික හතුරන්වත් නැත, ඇත්තේ කුපාඩි කම පමණි’’ යන්න, මේ කෙටි කාලය තුළ ඔහු ආදර්ශයෙන් පෙන්නුම් කළ පාඩමයි.



යහපාලනය අසාර්ථක වුණේ සහ රාජපක්ෂවාදය යළි හිස එසැවූයේ, විමල් වීරවංශ සහ ගම්මන්පිල වැනි දූෂිත සහ උසාවි ඉදිරියේ කප්පරක් නඩු වැටී සිටින අවස්ථාවාදී දේශපාලඥයන්ගේ විරෝධතා දේශපාලනයේ නිපුණත්වයක් හෝ ඔවුන් නොනවත්වා ගෙන ගිය අරගලයක් නිසා හෝ නොව, ඔවුන් ගෙන ගිය අරගලයේ ආත්මය සමග මුල පටන්ම සිරිසේන අන්‍යාකාරයෙන් අනන්‍ය වී සිටි නිසා බව දැන් පැහැදිළියි. එදා, සුසිල් පේ‍්‍රමජයන්ත හෝ ඩිලාන් පෙරේරා යහපාලන පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් ඉතා ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ නිකුත් කරමින් සිටි අවස්ථාවේ අප එය වටහා ගත්තේ, යහපාලනික විනය උල්ලංඝණය කිරීමක් සහ ඊට එරෙහිව පක්ෂ නායකත්වය විසින් විධිමත් විනය පියවර නොගැනීමක් වශයෙන් පමණි. වරක් මේ කාරණය මා මතු කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මට කීවේ, ‘‘මම ඩිලාන්ට හොඳටම බැන්නා’’ කියා ය. එහෙත්, ඇත්තෙන්ම සිදුව තිබෙන්නේ, එදා පටන්ම ඔවුන්ගේ ශබ්දය පසුපස ජනාධිපතිවරයාගේ අප‍්‍රකාශිත අරගලය සටහන්ව තිබී ඇති බවයි. ඒ නිසා ඔවුන්ගේ අරගලයේ විශාල වීරත්වයක් නැත. ‘වීරත්වය’ ඇත්තේ, සිරිසේනගේ ද්‍රෝහීත්වය තුළ ය.



මා කිසි සම්මත ආගමක් අදහන්නෙකු නොවන නිසා සිරිසේනට මනුෂ්‍යයෙකු වශයෙන් පල දීමක් ගැන කිසිවක් කීමට පුළුවන් කමක් නැත. එහෙත්, දේශපාලනික සහ නෛතික වශයෙන් රටට වගවීමට ඔහුට අනිවාර්යයෙන් සිදු වන බව නම් ඉඳුරා කිව හැකිය. ඒ තරමට, ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ව්‍යවස්ථානුකූල නෛතිකත්වයේ අතිමූලික ප‍්‍රමිතීන් මේ වන විට සාපරාධී අන්දමින් දූෂ්‍ය කරමින් සිටින නිසා ය.



ඔක්තෝබර් 26 වැනි දා සිට ඔහු රටේ ව්‍යවස්ථාව දෙවරක් සෘජුව උල්ලංඝණය කොට තිබේ. ඒ, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය අස් කිරීමෙන් සහ පසුගිය සිකුරාදා (9) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙනි. ඒ අතරේ, එක් වරක් ඔහු ආනුෂංගිකව ව්‍යවස්ථාව උල්ලංඝණය කොට තිබේ. එනම්, වෙනත් උල්ලංඝණයක් හේතු කොටගෙන (අගමැතිවරයා ඉවත් කිරීම හේතු කොටගෙන) තවත් උල්ලංඝණයක් සිදු වීමට ඉඩ හැරීමෙනි. ඒ, තවත් අගමැතිවරයෙකු පත්කිරීමෙනි. තව ද, ඒ අලූත් අගමැතිවරයා කෙරෙහි තිබිය යුතු පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ වගකීමෙන් මගහැරීම සඳහා ඔහු පාර්ලිමේන්තුව වාරාවසාන කෙළේය. එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් නොවෙතත්, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ තිබිය යුතු සදාචාර ප‍්‍රමිතිය උල්ලංඝණය කිරීමකි.



සුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණේ ඉහතින් කී දෙවැනි ව්‍යවස්ථා උල්ලංඝණය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක‍්‍රියාවයි. දැනට, එම ක‍්‍රියාව හෙවත් ජනාධිපතිවරයාගේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙසැම්බර් 7 වැනි දා දක්වා අත්හිටුවා තිබේ. එහි සෘජු ප‍්‍රතිඵලයක් වශයෙන් ඊයේ (14) දිනයේ පාර්ලිමේන්තුව යළි කැඳවුණි. අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් කොට මහින්ද රාජපක්ෂ අලූත් අගමැතිවරයා වශයෙන් පත්කිරීම එහිදී සාර්ථකව අභියෝගයට ලක්කෙරුණි. ඒ අනුව, පාර්ලිමේන්තුවේ බහුතරයක් අලූත් අගමැතිවරයාට නැති බව ඔප්පු වුණි. මේ ඔප්පුව වැළැක්වීම සඳහා රාජපක්ෂ-සිරිසේන සන්ධානය හූ කියමින් පාර්ලිමේන්තු පරිපාටිය අඩාල කිරීමට සහ කඩාකප්පල් කිරීමට හැම ප‍්‍රයත්නයක්ම ගත්තත්, ජනතා විමුක්ති පෙරමුණ ගෙනා යෝජනා සම්මතයක් මගින් රාජපක්ෂගේ අගමැති භාවය ව්‍යවස්ථානුකූලව අවලංගු කෙරුණි. අද වන විට, රනිල් වික‍්‍රමසිංහ පෙර පරිදිම අගමැති වන්නේ ද, නැත්නම් ජනාධිපතිවරයා විසින් නැවත අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත්කළ යුතුව ඇත් ද යන්න තවම නිශ්චිත නැත.



කෙසේ වෙතත්, ඊයේ පාර්ලිමේන්තුවේ ඇති කර ගන්නා ලද යෝජනා සම්මතය කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දන්වන ලදුව, ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත අද දැනුම් දීමක් කර තිබේ. එහි මෙසේ සඳහන් වෙයි:


 

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මවිසින් අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේදී මාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට විධිවිධාන ඇති නමුත්, අග‍්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් නොමැති බව දැනුම් දෙනු කැමැත්තෙමි.’’



 හිතවත් පාඨකය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, නීතිය, සම්මතය හෝ සම්ප‍්‍රදායය මොහොතකට පසෙකින් තබන්න. සිරිසේන කියන ඉහත සඳහන් වාක්‍යය පමණක් සැලකිල්ලට ගන්න. එම වාක්‍යය තුළ, ‘‘පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති’’ යන්න ඉවත් කරන්න. එවිට ඔහුගේ සමස්ත වාක්‍යයට තාර්කික අර්ථයක් ලැබෙයි. එහෙත් පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පුද්ගලයා යැයි එහි සඳහන් වන නිසාත්, ජනාධිපතිවරයාගේ ‘මතය’ ඒ උපරිම විශ්වාසයට යටත් විය යුතු නිසාත්, අදාළ විශ්වාසය උරගා බැලීම අනිවාර්ය කෙරේ. මන්ද යත්, එය එසේ නොවන්නේ නම්, ඒ වාක්‍යය ලියැවිය යුතුව තිබුණේ මෙසේ බැවිනි:



‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මවිසින් අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේදී මාගේ මතය අනුව... පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට විධිවිධාන ඇති හෙයින්, අග‍්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් නැති බව දැනුම් දෙනු කැමැත්තෙමි.’’



 වෙනස පැහැදිළි ද ? දැන්, පාර්ලිමේන්තුවේ ‘උපරිම විශ්වාසය ඇති’ කෙනා යන්නෙන් අදහස් කෙරෙන්නේ, වැඩිම විශ්වාසය ඇති කෙනා ය. පාර්ලිමේන්තුවක් යනු මිනිස් ඒකකවලින් සමන්විත ස්ථානයක් නිසා, ඒ ‘උපරිම විශ්වාසය’ ගණන් බැලිය හැකිව සහ ගණන් බැලිය යුතුව තිබේ. යමෙකු ඒ ගණන් බැලීම  ඕනෑකමින්ම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ කඩාකප්පල් කරන්නේ නම් (මේ මොහොතේ පවා පාර්ලිමේන්තුවේ සිදුවන පරිදි*, උපරිම විශ්වාසය ඇති පුද්ගලයා පිළිබඳ ජනාධිපතිවරයාගේ ‘මතය’ ශූන්‍ය වන්නේය.



   ඊළඟට, කතානායකවරයාට ලියූ එම ලිපියේම මෙසේ ද සඳහන් වෙයි:



‘‘2015 ජනවාරි මස 09 වැනි දින එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගරු දි. මු. ජයරත්න මැතිතුමාට පාර්ලිමේන්තුවේ ආසන 162 ක් තිබියදී එතුමා ඉවත් කර, පාර්ලිමේන්තුවේ ආසන 41 ක් පමණක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරන ලද්දේ ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ඉල්ලීම මත බව ද මතක් කරමි.’’



මේ කියන දවසේ ලංකාවේ ක‍්‍රියාත්මකව පැවතියේ වෙනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. එහි 47 (අ) වගන්තියේ සඳහන් පරිදි, ‘ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කරනු ලැබිය හැකි‘ ය. එබැවින් එදා දි.මු. ජයරත්න අගමැතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල ක‍්‍රියාවකි. එහෙත්, අද පවතින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉහත කී 47 (අ) වගන්තිය මුළුමණින් ඉවත් කර තිබේ. වර්තමාන ව්‍යවස්ථාව තුළ අගමැතිවරයා ඉවත් කිරීමේ කිසි බලයක් ජනාධිපතිවරයාට දී ඇති බවක් ව්‍යවස්ථාවේ කිසි තැනක සඳහන් නොවේ. මේ නිසා, 2015 ජනවාරි 9 වැනි දා දි. මු. ජයරත්න අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධුරයේ පිහිටුවීම සහ 2018 ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍ය ධුරයේ පිහිටුවීම වූ කලී, වෙනස් ව්‍යවස්ථාමය සන්දර්භයන් දෙකක් යටතට ගැනෙන වෙනස් කාරණා දෙකකි. එදා ඉවත් කිරීම ව්‍යවස්ථා-විරෝධී නොවන අතර, අද ඉවත් කිරීම ව්‍යවස්ථා-විරෝධී වන්නේය.



 ව්‍යවස්ථාමය තත්වය එසේ වෙතත්, ආසන 162 ක් තිබූ දි. මු. ජයරත්න ඉවත් කොට ආසන 41 ක් පමණක් තිබූ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්කිරීම සදාචාර විරෝධී ක‍්‍රියාවක් නොවේද යන සාධාරණ ප‍්‍රශ්නය මෙහිදී පැන නැගේ. එහිදී අප කරුණු දෙකක් සැලකිල්ලට ගත යුතුය. එකක් නම්, 2015 ජනාධිපතිවරණයට සිරිසේන ඉදිරිපත් වන අවස්ථාවේ, තමන් ජනාධිපතිවරණය ජයගත්තොත් අගමැතිවරයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ පත්කරන බවට සිරිසේන එදා ඡුන්දදායකයාට පොරොන්දුවක් දී තිබීමයි. එබැවින් ඔහු ලැබූ ජනවරම තුළ ඒ අංගයත් ඇතුළත් විය. ඊළඟට, මේ සදාචාරාත්මක ප‍්‍රශ්නය (දි. මු. ජයරත්න ඉවත් කිරීම සහ රනිල් වික‍්‍රමසිංහ පත්කිරීම* එදා මතුකොට ඊට එරෙහිව නැගී සිටිමේ හැකියාව තිබූ 162 ක් මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටියහ. එහෙත් ඒ එක් කෙනෙකු හෝ දි. මු. ජයරත්න ඉවත් කිරීම සහ රනිල් වික‍්‍රමසිංහ පත්කිරීම ගැන කිසි විරෝධයක් පෑවේ නැත. එහි අදහස වුණේ, අසාධාරණයක් හෝ සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නයක්, ඒ අලූත් පත්කිරීමේ වින්දිතයන් විණැයි සිතිය හැකි පිරිස තුළ පවා එදා නොතිබුණු බවයි. හෙවත්, 2015 ජනවාරි 8 ජයග‍්‍රහණයේ සුජාත භාවය ඒ 162 ක් වූ සියල්ලන් විසින් පිළිගත් බවයි.



 ඉතා පහසුවෙන් ඒ ආකාරයෙන් ඔවුන් ඒ සුජාත භාවය පිළිගත්තේ ඇයි? එසේ නොවුණි නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බව දැන සිටි බැවිනි. ඊටත් වඩා, එදාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට ගියේ නම් තමන්ට අන්ත පරාජයක් අත්වන බව ඒ කවුරුත් හොඳින් දැන සිටි බැවිනි. එය, පසු අවස්ථාවක සිරිසේන විසින්මත් ඔවුන්ට පෙන්වා දී තිබූ කාරණයකි. එයින් පෙනී යන්නේ, ව්‍යවස්ථාමය සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නය රාජපක්ෂලා විසින්ම, එදා තමන්ගේ පටු දේශපාලන වාසි තකා ඉවත ලා තිබුණු බවයි. මෙය, ඉහත ලිපිය කතානායකවරයාට අද ලියන සිරිසේන නොදන්නවා නොවේ.



 ඉහත සඳහන් පාඨය ලිවීමේදී සිරිසේන තවත් කරුණක් හිතමතා වසං කරයි. එනම්, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී, අගමැති වශයෙන් රනිල් වික‍්‍රමසිංහ පත්කරන බවට පොරොන්දුවක් රට ඉදිරියේ තැබීමට තමාට සිදුවුණේ මන්ද යන්නයි. එය, හුදෙක් එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම නිසා ද? කොහෙත්ම නැත. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡුන්දයෙන් බලයට පත්වීම සඳහා ඒ අගමැති ‘වරය’ දිය යුතුව තිබුණු බැවිනි. අද සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි වී සිටින්නේ, එම ‘අල්ලස’ එක්සත් ජාතික පාක්ෂිකයාට දීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. දේශපාලනික සහ සදාචාර ‘අල්ලසක්’ එක්සත් ජාතික පාක්ෂිකයාට දීමෙන් ජනාධිපති පුටුවට එදා පැන ගත් ඒ අසත්පුරුෂයා, ‘රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්කරන ලද්දේ ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ඉල්ලීම මත’ යැයි කතානායකවරයා අමතා අද කියන්නේ, තවත් වාරයක් ජනාධිපති පුටුවට පැන ගැනීම සඳහා මෙවර එම අල්ලසම රාජපක්ෂලාට දීමෙන් පසුව වීම, ඉතිහාසයේ අපූරු සරදමකි.



සිරිසේනගේ ගිලටීනය දැන් ලෙළදෙයි. ඒ ඉදිරියේ මාරක පරදුවට වැටී ඇත්තේ, රනිල් වික‍්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය හෝ නොවේ. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ශිෂ්ටත්වයයි.



ගාමිණී වියන්ගොඩ


''අගමැති වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාව ආරම්භයක් පමණයි‘‘ - රාජිත

නියෝජ්‍ය කතානායක  ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පාර්ලිමේන්තුව රැස්වූ අතර විනාඩි හතක්වැනි කෙටි කාලයකදී පාර්ලිමේන්තුවේ කටයුතු පැවැත්වුණි.  ලබන 23  වැනිදා  උදෑසන 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණි.


ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ, ''අගමැති වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාව ආරම්භය පමණයි.‘‘ යන්නයි.


මෙමගින් රටේ අර්බුදයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවට මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සේනාරත්න මහතා පැවසුවේ, ‘‘රටේ අර්බුදයක් ඇතිවෙන්නේ කොහොමද ?, නීත්‍යනුකූල නොවන විදියට අගමැතිවරයෙකු පත්කිරීම හරහානේ අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත වේ නම් ඒ අවස්ථාවේදීම අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා කියලා. එතකොට දැන් ඒ ගැන කතාකරන්න දෙයක් නෑ. අහෝසි වෙලා තියෙන්නේ. ඔවුන්ට පඩි නඩි ගෙවීම නීති විරෝධීයි. 


මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ‘‘මේ සැණකෙළිය දිගින් දිගටම යයි. කෝටි ගණනක් වැය කරයි. රැස්වීම්, සාකච්ඡා ගැන කතාකරනවා. මේ සියලු දේ දකිනකොට සිනමා ක්ෂේත්‍රයේ තියෙන එමී සම්මාන, ඔස්කාර් සම්මාන වලට වැඩිය උසස් සම්මාන ලබාදෙන වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන.‘‘ යන්නයි.


 


 

නපතිතුමා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂට රජය මගින් ලබාදෙන අරමුදල් වහාම නතර කළයුතු බව දක්වමින් එජාපය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙකු කථානායකතුමා වෙත මෝසමක් ඉදිරිපත් කළහ. 

අද පාර්ලිමේන්තු සැසිය මොනම හේතුවකටවත් කල්දාන්නේ නෑ - ජනපති / පාර්ලිමේන්තුව ලබන 19 ට කල් යයි - කථානායක

ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම ජනපතිතුමා සිය ට්ව්ටර් ගිණුමට පණිවිඩයක් එක්කරමින් පවසා සිටින්නේ‍ මේ වනවිට පැවැත්වෙමින් තිබෙන  පාර්ලිමේන්තු සැසිවාරය කිසිදු හේතුවක් නිසා හෝ අත්හිටුවීමට කටයුතු නොකරන බවයි. 

එමෙන්ම, සිය ට්ටිටර් ගිණුමට පණිවිඩයක් නිකුත් කරන ජනාධිපතිතුමා වැඩිදුටරත් පවසන්නේ, ‘‘පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු කරන ලෙසට මා තරයේ දන්වා සිටිනවා. කිසිදු හේතුවක් නිසා හෝ අද පාර්ලිමේන්තු සැසිවාරය කල්දාන්නේ නෑ‘‘ යන්නයි

කෙසේවුවත්, කථානායක මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙන්නේ ලබන 19 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබූ බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරන පිරිස් මෙම නොසන්සුන් තත්ත්වය ඇතිකිරීමට දායක වූ අතර කථානායකතුමාගේ ආසනය ද මන්ත්‍රීවරයෙකු විසින් වෙනත් තැනකට ගෙනගොස් ඇති බව පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසයි.



 







 

 

 

‘‘අද පෙට්‍ර්ල් මිල අඩු කරනවා‘‘ - මහින්ද පාර්ලිමේන්තුවේදී

ජනාධිපතිතුමා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පාර්ලිමේන්තු සභාව අමතමින් පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය රට අගාධයට ගෙන ගිය බවත් යළි තමා සමග අත්වැල් බැඳගෙන රට අගාධයෙන් ගොඩගැනීමට එක්වන ලෙසටත් මහජනතාවට මෙන්ම මන්ත්‍රීවරුන්ට ආරාධනා කර සිිටියේය.  මෙහිදී කථානායකතුමා සිය පක්ෂය වෙනුවෙන් පෙනී සිටීම ගැන තමන් අතිශය කම්පාවට පත්වන බවත් ඊයේ මෙන් අඳුරු දිනයක් පාර්ලිමේන්තුවේදී නොදුටු බවත් අද රාත්‍රියේ පෙට්‍ර්ල් මිල අඩුකරන බවත් පවසා සිටියේය. 


කෙසේවුවත්, මහින්ද රාජපක්ෂ මහතා සභාව අමතන අතරතුරදී සභාවේ පිරිස් ඝෝෂා කරනු දක්නට ලැබුණි.


මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතා සිදුකළ කතාව,  ‘‘පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා වන විට ජනතාව සිටියේ දැඩි පීඩනයෙන්. ඉන්ධන මිල සුත්‍රය, බදු බර, ඉඩම් විදේශිකයින්ට විකිණීම ආදී කාරණා නිසා ජනතාව දැඩි අප්‍රසාදයෙන් පසුවුණා. 


ජනාධිපතිවරයා ආර්ථික කමිටුව විසුරුවන්න කටයුතු කලේ. ඒ සමයේදී පොලිසියේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සමග එක්ව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න උත්සහ දරන බව ආරංචි උනා. ඒ අනුවයි ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් කරගන්න තීරණය කරන්නේ. ඒ අනුවයි ජනාධිපතිවරයා මට ආරාධනා කළා අගමැතිකම පිළිගන්න කියලා. ඒ අනුව රටට වෙනුවෙන් වෙන්න ගිය විනාශය වලක්වා ගන්න. ඒ නිසා මම රට ආරක්ෂා කරන්න ඒ වගකීම භාරගන්න තීරණය කලේ.




 

අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට මැතිවරණයක් ඉල්ලුවා, නමුත් රජය ඒ සදහා කටයුතු කලේ නැහැ. පළාත් පාළන ජන්දය පැවැත්වීම පවා පමා කළා.


මට එරෙහිව කතානායකවරයා ශබ්දයට අනුව යෝජනාවක් සම්මත කර ගත්තා. කතානායකයාගේ ඊනියා විශ්වාසභංගයට අනුව මම පරාජය වුනා කියලා හිටපු අගමැතිවරයා අගමැතිලෙස ඇතැම් ඇමතිවරු ප්‍රකාශ කළා. කතානායකවරයා විසින් සිය බලය අනිසි ලෙස භාවිතා කරනවා. මම කියනවා මෙතන 225 අතරේ මේ ප්‍රශ්නය විසඳ ගන්නේ නැතුව ජනතාව ඉදිරියට යමු කියලා.


මම සතුටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණ කියනවා පාර්ලිමේන්තුව විසුරුවලා ජන්දයකට යන්න යෝජනාවක් ආවොත් ඒ සදහා තමන් සහය දෙනවා කියලා. මම ඉල්ලා සිටිනවා මැතිවරණයකට යමු. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා අපිත් සමග එක්වෙන්න කියලා.


අද දිනයේදී පෙට්ට්‍රල් මිල අඩුකරනවා. අපි බලාපොරොත්තු වන්නේ පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නෙමෙයි සියලු දෙනාටම පොදු කතානායකවරයෙක්.‘‘ 


විශ්වාසයක් නැති නිසා ඡන්දයක් ඉල්ලන ලෙසට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී යෝජනා කරසිටීමත් සමග මේ සමග නැගී සිටි ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කරනු දක්නට ලැබුණි. නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ දිලුම් අමුණුගම මහතාගේ අත තුවාල වී තිබෙන අයුරු ද පාර්ලිමේන්තු සජීවී විකාශයේ දක්නට ලැබේ. 



මේ අවස්ථාවේ ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කළ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දක්වා තිබෙන්නේ, මන්ත්‍රීවරුන් කථානායකතුමාට තර්ජනය කරන බවත් එජාප මන්ත්‍රීවරු එක්වී කථානායකතුමා ආරක්ෂා කිරීමට පියවර ගත් බවයි. 


 

මේ අතර බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන් සිය ට්විටර් ගිණුමට ඡායාරූපයක් එක්කරමින් පවසා තිබෙන්නේ, මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට තුවාල ද සිදුකරමින් අතිශය නින්දාසහගත ලෙස පාර්ලිමේන්තුව සැසිය අවසන් වූ බවත් මහින්ද රාජපක්ෂ මහතාට සය පළකරන මන්ත්‍රීවරුන්  කථානායකවරයා දෙසට ඉවතලන කඩදාසි බහාලූ කුණු කූඩයක් ද විසිකර සිටි බවයි. 

 



 

 

 

(දර්ශන හා ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

පාර්ලිමේන්තුව හෙට ට කල්දැමේ

වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර හෙට (15) උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ අත්සනින් යුතුව කථානායකතුමා වෙත ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතා පිළිගත් අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටීම ද විශේෂත්වයකි.

 

අද පාර්ලිමේන්තුවේදී දුටු අපූරු දසුන්..

කෙටි කලකින් පසුව හමුවී 

[caption id="attachment_21947" align="alignnone" width="300"] නිමල් සිරිපාල ද සිල්වා හා මලික් සමරවික්‍රම [/caption]

වසන්ත සේනානායක යළිත් යූ.එන්.පී යට  ? 

[caption id="attachment_21948" align="alignnone" width="300"] වසන්ත සේනානායක[/caption]

ෆවුසි යළි ඒවිද ? 



ආගිය කතා 



සෙල්ෆි විත්



නොසන්සුන්ව 



 

‘‘ගෝලීය සමාජය ප්‍රජාතන්ත්‍රවාදය සමග ඉන්නවා‘‘ - අගමැති රනිල් NDTV ට කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය NDTV රූපවාහිනී නාලිකාව සමග අද (1) දිනයේදී මීට පැය කීපයකට පෙර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය.


එහිදී NDTV මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසූවේ, ‘‘අගමැතිධූරය පුරප්පාඩු නොවූ අවස්ථාවකදී දෙවැනි පුද්ගලයෙකු  ‍අගමැතිවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සමග මේ ගැන සාකච්ඡා කළා. මීට එරෙහිව  ජනමතය ඒකරාශී වී තිබෙනවා‘‘ යන්නයි. 


මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා බවට පත්කිරීම අද, ඊයේ සිදුවූවක් නොවන බව පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා පැවසුවේ,  ‘‘පසුගිය සති කීපය පුරාවටම මහින්ද රාජපක්ෂ හා ජනපතිවරයා අතර පක්ෂ දෙක ඒකරාශී වී ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙකු පත්කර ගැනීම ගැන කතාබහ ඇතිවුණා. මේක ඒ ඩීල් එකේ කොටසක් විය යුතුයි. මොකද, මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න බැහැ. ඉතිං මේක ඔවුන්ගේ ගනුදෙනුව විසඳෙන අන්දම විය යුතුයි‘‘‘


‘‘ගනුදෙනුව අහවර වුණා කියන්නේ රාජපක්ෂ මහත්තයා අගමැති වුණා‘‘ යනුවෙන් මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසන්නේ, ‘‘ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනපතිතුමා ජනාධිපති අපේක්ෂකයා බවට පත්වේවි‘‘ යන්නයි.


ගෝලීය සමාජය ප්‍රජාතන්ත්‍රවාදය සමග සිටින බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළ අතර මේ සිදුවීම පිටුපස ඉන්දීය රෝ සංවිධානයේ මැදිහත්වීම පවතීද ?  යන්න, වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට රනිල් වික්‍රමසිංහ ගත් උත්සහයත් සමග මෙවැන්නක් සිදුවීද ? යන්න, මුදලට විකිණෙන මන්ත්‍රී ධූර ගැන ද අගමැතිතුමා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය බලවත්ද ?

වත්මනේ උද්ගතවී ඇති දේශපාලන තත්ත්වය පිළිබඳව සිදුකෙරෙන නීතිමය පැහැදිලි කිරීම අන්තර්ගත මෙම ලිපියේ පළමු කොටස පසුගිය ඔක්තෝබර් 28 වැනිදා පළවූ අතර මෙහි පළවන්නේ එහි දෙවැනි කොටසයි.


අගමැතිවරයා ඉවත් කිරීම නව අගමැතිවරයෙක් පත් කිරීම පිළිබද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන සම්බන්ධයෙන් විමසා බැලූ විට අගමැතිවරයා පත් කිරීම ගැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.” යනුවෙනි.


අගමැතිවරයා ඉවත් කිරීම


අගමැතිවරයා ඉවත් කිරීම පිළිබදව කිසිදු ප‍්‍රතිපාදනයක් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත්ව නැත. නමුත් අගමැතිධූරය හිස්වීම පිළිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46 (2) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව අගමැති ධූරය හිස්වන ආකාර 3ක් දැක්වේ




  • ඉල්ලා අස්වීම

  • පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු නොවීම

  • ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අවසන් වීම


අමාත්‍ය මණ්ඩයේ පැවැත්ම අවසන්වීම සිදුවන අවස්ථාවන්


මේ පිළිබඳ ප‍්‍රතිපාදන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 48 (2) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අවසන් වන්නේ




  • පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළ විටක

  • ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ විටෙක


මේ අනුව පැහැදිලි වන්නේ 2018 ඔක්තෝබර් 26 වන දින වන විට අමාත්‍ය මණ්ඩලය විසුරුවා නැති බැවින් අගමැතිවරයා ගේ ධුරය හිස්ව නැති බවයි.


පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් කැබිනට් මණ්ඩලය විසිරෙන්නේද ?


රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වන්නේ ජාතික ආණ්ඩුවේ නොවේ. ජාතික ආණ්ඩුව පිහිටුවන පාර්ලිමේන්තු යෝජනාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙනඑන්නේ 2015 සැප්තැම්බර් මස 2 වන දින වන අතර ඔහු අගමැති ලෙස පත්වන්නේ 2015 අගොස්තු මාසයේය. එම මාසයේම අමාත්‍යවරුන් කිහිප දෙනෙක් දිවුරුම් දෙන ලදී.


2015 සැප්තැම්බර් 2 වන දින යෝජනාවෙන් පොදුජන එක්සත් පෙරමුණ ඉවත් වූ විට සිදුවන්නේ ආණ්ඩුව 2015 සැප්තැම්බර් මස 2 වන දින යෝජනාවට පෙර තිබූ තත්වයට පත් වීම මිස විසිරීම නොවේ. කැබිනට් සාමාජිකයින්ගේ සංයුතිය වෙනස් කිරීමෙන් ආණ්ඩුවේ අඛණ්ඩතාවට බාධාවක් නොවන බව ව්‍යවස්ථාවේ 43 (3) ව්‍යවස්ථාවේ දක්වා තිබේ.


‘‘ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.”


2015 ජනවාරි 9 වනදා සිදුවීම මේ හා සමානද


2015 ජනවාරි 9 වනදා වන විට මෙරට ක‍්‍රියාත්මක වූයේ 18 වන සංශෝධනය දක්වා සංශෝධන මගින් සංශෝධනය වූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි එහි අගමැතිවරයාගේ ධුරය අවසන් වන ආකාර 3ක් ඇත.




  • ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම

  • ඉල්ලා අස්වීම

  • පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරය අවසන් වීම හා අමාත්‍ය මංඩලයේ පැවැත්ම අවසන් වීම


(එතෙක් පැවති ව්‍යවස්ථාවේ 47 වන ව්‍යවස්ථාව)


නමුත් වර්තමානයේ භාවිතා වන්නේ 19 වන සංශෝධනයෙන් සංශෝධනය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. එහි එවැනි ප‍්‍රතිපාදනයක් නොමැත.


එසේම 2015 ජනවාරි මාසයේදී හිටපු අගමැති ඉවත් කර නව අගමැති පත් කරන්නේ එය ජනාධිපතිවරණයේ මැතිවරණ පොරොන්දුවක් පරිදිය. එබැවින් ඒ සදහා ජනතා අනුමැතියක්ද පවතී. එසේම 2015 ජනවාරි 20 වන දින පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී මෙම අගමැති ධූරය කිසිවෙකු විසින් අභියෝගයට ලක් කළේ නැත. ඒ වෙනුවට නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්‍ෂ නායක ලෙස පත් කිරීම එහිදී සිදුවිය.


48 (1) ව්‍යවස්ථාවේ අගමැතිවරයා ඉවත් කිරීම පිළිබදව වන සඳහන


48 වන ව්‍යවස්ථාව වෙන්වී ඇත්තේ ‘‘අමාත්‍ය මණ්ඩලය විසිරීම” සම්බන්ධයෙන් විනා අගමැතිවරයාගේ ධූරය කාලය සම්බන්ධයෙන් නොවන බව එහි ලූහුඩු මාතෘකාවෙන් පැහැදිලිවේ. අගමැතිවරයාගේ ධූරකාල පිළිබඳව ප‍්‍රතිපාදන ඇතුළත් වන 46 (2) ව්‍යවස්ථාවේ එතෙක් අගමැතිවරයා ඉවත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට තිබූ බලය 2015 වසරේදී 19 වන සංශෝධනය මගින් ඉවත් කරන ලදී. ඒ අනුව ව්‍යවස්ථාදායකයේ අරමුණ වූයේ ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමට තිබූ බලතල ඉවත් කිරීම බව ඉතා පැහැදිලිය. එබැවින් එබැවින් අගමැතිවරයාට ගේ ධූරයට අදලා නොවන ප‍්‍රතිපාදන ඇතුළත් කිරීම සදහා වූ ව්‍යවස්ථාවක සදහන්වන ප‍්‍රතිපාදනයක් මගින් ව්‍යවස්ථාදායකගේ අභිලාෂය බලරහිත කළ නොහැක. (නීතිමය තර්කයකි)


එමෙන්ම, එකී ව්‍යවස්ථාවේ ‘‘ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන්” යනුවෙන් සදහන් වන නමුත් ඉවත් කරන්නේ කවුද යන්න සදහන්ව නැත. (එකී සදහන 47 ව්‍යවස්ථාවේ පැවති අතර එය 19 වන සංශෝධනය මගින් ඉවත් කළ බව ඉහත සඳහන් කරන ලදී). මෙම සදහන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඉංග්‍රීසි මුද්‍රණයේ 48 (1) ව්‍යවස්ථාවේ දක්නට නොලැබේ.



සිංහල භාෂා පාඨය බලවත්ද ?


 ‘‘ඒ ඒ භාෂාවෙන් වූ පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, බලපැවැත්විය යුත්තේ කවර පාඨය ද යන්න පාර්ලිමේන්තුව විසින් යම් නීතියක් පනවන අවස්ථාවේ දී තීරණය කළ යුතු ය”


යනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 16 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත 23 (1) ව්‍යවස්ථාවේ සදහන් වේ. නමුත්  භාෂා පාඨයන් අතර අනනුකූලතාවයක් ඇතිවන විට බලපැවැත්විය යුත්තේ කවර භාෂා පාඨයද යන්න 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්ව නැත. (නීතිමය තර්කයකි).



අගමැති ඉවත් කිරීම සදහා අර්ථ නිරූපන ආඥා පනතේ ප‍්‍රතිපාදන භාවිතා කළ හැකිද ?


අර්ථ නිරූපන ආඥා පනතේ 14 (ඊ) වන වගන්තිය දක්වන්නේ යම් නිලධාරියකු පත්කළ තැනැත්තාට  ඔහුව ඉවත් කිරීමේ බලය පැවරෙන බවයි. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පත්කිරීම් සම්බන්ධයෙන් මෙම වගන්තිය භාවිතා කල නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් පිළිගෙන ඇත. (එක් තීන්දුවක් නම් අතපත්තු එදිරිව මහජන බැංකුව(1997 (1) ශ‍්‍රී ලංකා නීති වාර්තා 208)


එසේම එකී පනතේ සදහන් වන්නේ ‘‘නිලධාරියෙකු” ඉවත් කිරීමක් සම්බන්ධයෙනි. අගමැතිධුරය නිලධාරියකු නොවේ. (නීතිමය තර්කයකි) අගමැතිවරයා රජයේ නිලධාරියකු යන්නට අයත් නොවන බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 170 ව්‍යවස්ථාවේ සදහන් වේ.


මෙම තත්වය නිසා ඇතිවන නීතිමය ගැටලූ




  • අගමැතිවරුන් දෙදෙනෙකු සිටීම මත නීත්‍යානුකූල භාවය පිළිබද සැකය

  • අමාත්‍ය මණ්ඩල පත් කිරීම ආදී නව අගමැතිවරයා පත් කිරීමට අදාල ආනුශංගික කරුණුවල නීත්‍යානුකූලභාවය පිළිබද සැක මතුවීම (අමාත්‍ය මණඩලය පත් කිරීම / ආණ්ඩුකම ව්‍යවස්ථා සභා නියෝජනය වැනි)

  • ජනාධිපතිවරයා භාරයේ පවතින අමාත්‍යංශවල හැර අනෙක් අමාත්‍යංශවල නිලධාරීන්ට කටයුතු කිරීමේදී අමාත්‍යවරයාගේ අන පිළිපැදීමේදී ඇතිවන අපැහැදිලිතා.


මෙම ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳාගත හැකි ද ?


මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි අවස්ථා කිහිපයක් ඇත. එනම් මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ ජනාධිපතිවරයා විසින් අධිකරණයේ මතය විමසීමක් වශයෙනි. සමහර විට අභියාචනාධිකරණයේ රිට් ආඥාවක් ඉල්ලිය හැකිවුවත් මෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපනයක් පවතින බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවනු ඇත. එවැනි අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදිය හැකි තීරණ 3කි.




  • අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට තීරණය කිරීම

  • අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කිරීම

  • පෙත්සම නිශ්ප‍්‍රභා කිරීම


මෙම තීරණ 3න් කුමන තීරණය දෙනු ලැබූවද  ආණ්ඩුවේ පැවැත්ම තීරණය වන්නේ ආසන්තම දින පැවැත්වෙන පාර්ලිමේන්තුවේදීය. එහිදී බහුතර බලය පෙන්විය හැකි පුද්ගලයාට අගමැතිධුරය ලබාදිය යුතුය.


අගමැති කවුද ? – ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකිද