‘‘කරු ජයසූරිය කියන පෙම්වතා, ප්‍රජාතන්ත්‍රවාදය කියන පෙම්වතියගේ ගෙල සිරකර මරලා දානවා‘‘ - ඩලස්

මේ වනවිට අග්‍රමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය මේ පැය කීපයේදී අන් කවරදාකටත් වඩා අභියෝගයට ලක්වෙමින් තිබෙන බවයි. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,


‘‘පාර්ලිමේන්තුව කියන්නේ දියවන්නාවේ මැද්දේ තියෙන මනරම් මන්දිරයක් නෙමෙයි. පාර්ලිමේන්තුව කියන්නේ සෙංකෝලය නෙමෙයි, පාර්ලිමේන්තුව කියන්නේ කතානායක නෙමෙයි. පාර්ලිමේන්තුව කියන්නේ ගොඩනැගිල්ලක් නෙමෙයි. කිසිසේත්ම යටපත් කළ නොහැකි, අන්සතු කළ නොහැකි ජනතාවගේ පරම පරමාධිපත්‍ය බලය තමයි පාර්ලිමේන්තුව කියන්නේ. හැබැයි ඒ ජනතාවගේ පරම බලය අභියෝගයට ලක්වෙමින් තිබෙන බව හැමදෙනාම පිලිගන්න වෙන කාරණාවක්.


කවුද හරි කවුද වැරදි කියනවට වැඩිය ඒ පරම බලය අභියෝගයට ලක්වෙලා තියෙන පැයක් වශයෙන් මේ පැය අපිට හඳුන්වන්න පුළුවන්.


අද දවසේ පාර්ලිමේන්තුව කැඳවන න්‍යාය පත්‍රයකුත් නෑ. පාර්ලිමේන්තු නිළධාරීන් කියනවා න්‍යාය පත්‍රයක් නෑ කියලා. අනික් පැත්තෙන් අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් විභාග වෙනවා. මේ නඩුවට අන්තර්ගතය බරපතල විදියට විකෘති කරනවා  පාර්ලිමේන්තුවේ රැස්වීම් හරහා. මෙතෙක් දවස් ඔබ දැක්කේ ව්‍යවස්ථාදායකය, විධායකය අතර තියෙන අර්බුදය විතරයි. අද අපි දැක්කේ ව්‍යවස්ථාදායක හා අධිකරණය අතරත් විධායකය හා අධිකරණය අතරත් තියෙන තවත් අවුලකට පාරකපන්න තමයි මේ සූදානම් වෙන්නේ.


 ඉතිහාසෙට ගෞරවයක් විදියට ඉතිහාසයේ කතානායකවරු දෙන්නෙක් පාර්ලිමේන්තුවේ මතුවුණු මේ අර්බුදයකදී කටයුතු කරපු ආකාරය ගැන නැවත ජනතාවට මතක් කර දිය යුතුයි. මීට සමාන තත්ත්වයක් ගොඩනැගුණා 2004 මැතිවරණයෙන් පස්සේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වෙලා කරපු පළවෙනි රැස්වීම තමයි කතානායකවරයා පත්කිරීම. 2004 දී. ඒ කතානායකවරයා තෝරන ඡන්දේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් අගමැතිවරයා ලෙස ජනාධිපතිතුමිය විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් පත්කරලා ඉන්නවා.


ඒ අගමැතිවරයා පාර්ලිමේන්තුව කැදවනවා. පළවෙනි දවසේ කතානායකවරයා තෝරනවා. ඒ කතානායකවරයා තෝරන ඡන්දෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා පරාජයට පත්වෙනවා. පරාජයට පත්වෙලා එජාපය ඉදිරිපත් කරපු කතානායක අපේක්ෂක විජමු ලොකුබණ්ඩාර ජයගන්නවා. ඔහු කතානායක පුටුවේ ඉදගන්නවා. හැබැයි, මතක තියාගන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිව්වේ නෑ ‘මේ යුඑන්පී කතානායක එක්ක මට වැඩකරන්න බැහැ‘ කියලා


 ඒ කතානායකතුමා එජාපයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තුව ගැටුමකට අරන් යනවද ?, මේ සුළුතරයේ නියෝගය මං පිළිගන්නේ නෑ කියලා විධායකයට අභියෝග කරනවද ?. විජමු ලොකුබණ්ඩාර මැතිතුමා පළවෙනි කාරණාව විදියට තේරීම් කාරක සභාව පත්කරනවා. එහි බහුතරය 23 න් 14 ක්ම ආණ්ඩු පක්ෂයට දෙනවා. 9 ක් විපක්ෂයට දීලා ආණ්ඩුවට ව්‍යවස්ථාදායකයේ කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට කතානායක පුටුවේ ගෞරවය ආරක්ෂා කරනවා.


2015 ජනවාරි මාසේ 9 වැනිදා අතිශයින්ම සුළුතරයේ අගමැති පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා. 44 ක් විතර හිටපු. ඒකට පුංචි කණ්ඩායමක් එකතු වෙලා 50 ගාණක් හැදෙනවා. එතකොට කතානායක පුටුවේ ඉන්නේ කවුද ?. ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති චමල් රාජපක්ෂ. ඔහු කරන්නේ මොකක්ද ?. මේ මන්ත්‍රීවරු 44 දෙනෙක් ඉන්න, පාර්ලිමේන්තුවේ 1 / 4 ක් නැති කෙනා අගමැති කරලා තියෙනවා, මම ඒක පිළිගන්නේ නෑ කියලා අභියෝග කරපු එකද කරේ. නෑ. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට තියෙන බලතල පිළි අරන් ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති වුණු කතානායකතුමා අර පුංචි සුළුතරයේ අගමැතිට කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට තේරීම් කාරක සභාව නම්කළා. ඒ තේරීම් කාරක සභාවේ 15 දෙනයි. 15 න් 9 ක් ආණ්ඩුවට. 6 ක් විපක්ෂයට යනවා.


2004 කතානායක පුටුවට පත්වුණු එජාපයේ නියෝජ්‍ය සභාපති ශ්‍රීලනිපයට ආණ්ඩුව ගෙනියන්න පුළුවන් විදියට ඉඩදීලා විධායකයට එක්ක ආරාවුලක් ඇතිකරගත්තේ නැති ඉතිහාස කතාවක් 2015 ජනවාරි මාසේ ශ්‍රිලනිපයේ සභාපතිවරයා, එජාප සුළුතර අගමැතිට ඉඩදීලා විධායකය එක්ක ගැටුමක් නැතිව පාර්ලිමේන්තුව ගෙනගියපු ආකාරයත් රට ස්ථාවර වෙච්ච ආකාරයත් ගැන ඉතිහාස කතාව නැවත ජනතාව අතර කරලියට ගෙනියන්න ඕන. එහෙම තමයි එදා රැකුණේ.


ඒ නිසා අපි කරු ජයසූරිය මැතිතුමාට නැවත අවධාරණය කරන්නේ මේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ අත අර්බුදයකට ගෙනියන්න එපා. මේකට තියෙන විසඳුම වහාම මැතිවරණයකට යන එක.‘‘ යන්නයි.


මෙහිදී කතානායකතුමා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම පිටුපස සිටින බව අවධාරණය කළ අලහප්පෙරුම මහතා දැක්වූවේ,


''පෙරේදා අපි දැක්කා රූප රාමුව, මොනරාගල පෙම්වතියගේ ගෙල සිරකරලා මරලා දාන, පෙම්වතාගේ රූප රාමුව හා ඒක වීඩියෝ කරන පුරවැසියෝ. මැදිහත් නොවී. එවැනි සිද්ධියක් නොවෙයිද දැන් පාර්ලිමේන්තුවේ තියෙන්නේ.


කරු ජයසූරිය කියන පෙම්වතා ප්‍රජාතන්ත්‍රවාදය කියන පෙම්වතියගේ ගෙල සිරකරලා මරලා දානවා. ජනතාව වීඩියෝ කැමරා අතේ තියාගෙන මේක රූප රාමුවට ගන්නවා ‘‘ යන්නයි.