13 සහ විජයගේ අන්තිම ලිපිය - උපුල් ජෝශප් ප්‍රනාන්දු

"ඔය තුවක්කු හරස් කරගෙන මම කොහොමද දවස් පතා කරන මේ වැඩ ටික කරන්නේ. කොටින්ම ඔය ආයුධ ගැන මගේ විශ්වාසයක් නෑ. මගේ මූණ බලාගෙන මට වෙඩි තියන්න පුළුවන්ද?"

 මේ විජය කුමාරණතුංග ඔහුව ඝාතනය කරන්න ටික දිනකට කලින් කියපු කතාවකි. විජය එහෙම කිව්වේ ඔහුට එල්ල වෙලා තියෙන ජීවිත තර්ජන හින්දා ආරක්‍ෂාව වැඩි කරගන්න කියලා ඔහුගේ හිතවතුන් පිරිසක් කරපු ඉල්ලීමකටය. ඔහු එහෙම කියලා නිකන් හිටියේ නැත. තමන්ව හිරේ දාපු ජේ. ආර්. ගෙනාව ඉන්දු - ලංකා ගිවිසුම වෙනුවෙන් පෙනී සිටියේය. ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් විදියට පිහිටුවපු පළාත් සභා මෙරට ජාතික ප්‍රශ්නය විසඳන්න හොඳ මාර්ගයක් බව විජය විශ්වාස කළේය.
 
විජය අවසන් වරට පුවත්පතකට ලියූ ලිපියෙහි අඩංගුව තිබුණේද ඉන්දු - ලංකා ගිවිසුම පිළිබඳවත් ඊට පසුව පිහිටු වූ පළාත් සභා ගැනත්ය. විජයව ඝාතනය කළ 1988 පෙබරවාරි 16ට දින දෙකකට කලින් "අර්බුදය විසඳන්න ගිවිසුම පමණක් මදි" යන සිරස්තලයෙන් එම ලිපිය පළ වී තිබිණි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා ගැනත් උණුසුම් කතා බහක් රටේ ඇති වී තිබෙන මේ මොහොතේ විජය ලියූ අවසන් ලිපිය කියවීම වටී.
 
"අප මවුබිමේ මෑත ඉතිහාසයේ තීරණාත්මක දිනය වූයේ කවරදාද? ඒ ප්‍රශ්නයට මා දෙන පිළිතුර වර්ෂ 1987 ජුනි මස 4 වැනිදා යන්නයි. ඒ දිනයේදී අපේ මවුබිම ඉන්දියානු ගගනාක්‍රමණයට භාජන විය. ඒ ගගනාක්‍රමණයෙහිදී ලක් පොළොවේ උතුරු ප්‍රදේශයට හෙළන ලද්දේ ආහාර පාර්සල් මිස බෝම්බ නොවේ. එහෙත් ඒ ආහාර සමඟ යෝධ ඉන්දියා රජය විසින් පුංචි ලංකා රජයට එක්තරා පණිවුඩයක්ද නිවේදනය කරන ලදී. ඒ පණිවුඩයෙන් නිවේදනය වූයේ අප රටේ ජනවාර්ගික අර්බුදය පිළිබඳ ඉන්දියානු රජය අත පය දිගහැර කෙළින්ම ක්‍රියාකාරී වීමට සූදානම් බවය හෙවත් කෙළින්ම ඉන්දියානු ආක්‍රමණයක් පිළිබඳව අනතුරු ඇඟවීමයි.
 
1987 ජුනි මස 4 වැනිදා සිදු වූ ඉන්දියානු ගගනාක්‍රමණයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ අපි අපේ විශේෂ අවධානය එක් වැදගත් ප්‍රශ්නයක් කෙරෙහි යොමු කළෙමු. එනම් සෘජු ඉන්දියානු ආක්‍රමණයකින් ලංකාව යථාර්ථවාදීව මුදා ගන්නේ කෙසේද යන්නයි. ඒ අරමුණ ඉටු කරගනු වස් අපට පෙනුණේ එකම මාර්ගයකි. ඒ වනාහි ඉන්දියාව සමඟ කිසියම් ගිවිසුමකට එළැඹීමයි. එහෙයින් ඉන්දියාව සමඟ ගිවිසුමකට එළැඹීමේ ප්‍රතිපත්තියට අපි එදා පක්‍ෂ වීමු. අදත් පක්‍ෂ වෙමු.
 
ඉන්දියාව සමඟ කිනම් ගිවිසුමකටද අප ඇතුළු විය යුත්තේ? වර්ෂ 1987 ජූලි මස 29 වැනිදා ඉන්දු - ලංකා ගිවිසුමට අස්සන් තබන තෙක් ඒ ප්‍රශ්නයට පිළිතුරු නිල වශයෙන් දැන සිටියේ විධායක බලැති මෙරට ජනාධිපතිතුමා පමණි. ගිවිසුමේ අන්තර්ගතය දැන ගැනීමට මෙරට ජනතාවට අවකාශ ලැබුණේ ගිවිසුම අස්සන් කළායින් පසුවය. ඒ පිළිබඳ ජනාධිපතිතුමා කියන්නේ අපේ පාර්ලිමේන්තුවට පවා නොදන්වා එවැනි ගිවිසුම්වලට ඇතුළු වීමට මෙරට විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාගත අයිතියක් තිබෙන බවය. එය එසේ නම් ඒකාධිපතීත්වයට ළඟා වන මෙවැනි විධායක ජනාධිපති ධුරයක් අපට රටට අවශ්‍ය නැත. එහෙයින් විධායක ජනාධිපති ධුරය අප ව්‍යවස්ථාවෙන් කටුගා දැමිය යුතුය. එසේ කිරීමට ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ඇප කැප වී සිටින බව මෙහිලා ඉඳුරාම පවසමු. එහෙත් එය වෙනම ප්‍රශ්නයකි.
 
විධායක බලැති ජනාධිපතිවරයා ඉන්දියාව සමඟ ගිවිසුමට එළැඹුණේ ශ්‍රී ලංකා රජය තමාය යන සංකල්පය මත පිහිටාය. එය එසේ නම් ජනාධිපතිවරයාට එරෙහි වන්නන් රාජ්‍යතන්ත්‍රයට විරුද්ධව නැඟී සිටීමට පෙලැඹීම පුදුමයක් නොවේ. ඔවුන් අතරින් අදූරදර්ශී නොහික්මුණු උදවිය රජයේ දේපොළ විනාශ කිරීමට පෙලැඹීම අරුමයක් නොවේ. ගිවිසුම අස්සන් කළ කාලයේදී අප රටේ දකුණේ සහ බස්නාහිර පළාතේ දක්නට ලැබුණේ එම ප්‍රවණතාවයි. ඒ ප්‍රවණතාව අදත් වටින් විට තැනින් තැන ප්‍රදර්ශනය වේ. එහෙත් ගිවිසුමට විරෝධය එවැනි ක්‍රමවලින් ප්‍රකාශ කිරීම එතරම් ඵලදායී නොවන බව අද බොහෝ දෙනකුට ඒත්තු ගොස් තිබෙන්නා සේ පෙනේ.

ඉන්දු - ලංකා ගිවිසුමේ මුඛ්‍ය අරමුණ වූයේ පුරා වසර 4ක් තිස්සේ රජය සහ සන්නද්ධ ද්‍රවිඩ කණ්ඩායම් අතර බුර බුරා ඇවිළුණු ජනවාර්ගික යුද්ධය නිමාවකට පත් කිරීම බව නිසැකය. ඒ ගිවිසුමේ විශේෂ ලක්‍ෂණයක් විය. එනම් ගිවිසුමට පංගුකාරයකු වූ ඉන්දියාව ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර ගෙන තිබීමයි. වෙසෙසින් වගකීම් 3ක් ඉටු කිරීම පිණිස ඉන්දියාව බැඳී සිටී. ඒවා මෙසේය.
 
1. සන්නද්ධ ද්‍රවිඩ ඊළාම්වාදීන් නිරායුධ කිරීම.

2. උතුර සහ නැඟෙනහිර පළාත්වාසීන් සියලු ජන කොටස්වල ශාරීරික ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතභාව සහතික කිරීම.

3. වර්ෂ 1987 දෙසැම්බර් මස 31 වැනිදාට පෙර පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම.
 
ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව එළැඹුණ පළමු වැනි සති කිහිපය තුළ උතුර සහ නැඟෙනහිර පළාත්වල සංසුන් තත්ත්වයක් උදා වූ නමුත් තවත් සති කිහිපයක් ගෙවී යත්ම උතුර සහ නැඟෙනහිර පළාත්වල උද්ගත වූයේ භයානක ආකූල ව්‍යාකූල තත්ත්වයකි. එය අහම්බෙන් සිදු වූවාද නොඑසේ නම් කිනම් බලවේගයක් විසින් හෝ සිතා මතා ඇති කළාද යන්න අදාළ වෙනම වැදගත් ප්‍රශ්නයකි. එය කෙසේ හෝ වේවා ගිවිසුම අස්සන් තබා සය මසක් ගෙවී ඇත. එහෙත් ගිවිසුම මඟින් ඉන්දියාව සහතික වූ වැදගත් කටයුතු තුන සිදු වී නැත. සන්නද්ධ ද්‍රවිඩ කල්ලි සියල්ල නිරායුධ කර නැත. උතුර සහ නැඟෙනහිර පළාත්වාසී සියලු ජන කොටස්වල ශාරීරික ආරක්‍ෂාව සැලසී නැත. වර්ෂ 1987 දෙසැම්බර් 31 වැනිදා ගෙවී ගොස්ය. එහෙත් පළාත් සභා සඳහා ඡන්ද පවත්වා නැත.
 
අනෙක් අතට ඉන්දීය සාම සාධක හමුදාව දැන් 50,000කට ආසන්න බව කියනු ලැබේ. නිල වාර්තාවලට අනුව ඔවුන්ගෙන් 353 දෙනකුට ජීවිත පූජා කිරීමට සිදු වී තිබේ. 1,127 දෙනකු බරපතළ තුවාල ලබා සිටී.

යට කී කරුණු සලකා බලන විට එක් ප්‍රශ්නයක් ඉඳුරාම පැන නඟී. එනම් ඉන්දු - ලංකා ගිවිසුම මේ ඉරණමට පාත්‍ර වූයේ මන්ද? යන්නයි.

පළමුකොට එක්සත් ජාතික පක්‍ෂය රජය තුළ ගිවිසුම ගැන මතභේද තිබුණු බව නොරහසකි. ඒ නිසාම ගිවිසුම හරියාකාරව ක්‍රියාත්මක කිරීමට රජය උත්සුක නොවීය. ඒ මදිවාට ද්‍රවිඩ කොටි කල්ලිය ගිවිසුමට පසුවත් අනුගමනය කළ අමනෝඥ, අදූරදර්ශී, ත්‍රස්තවාදී ක්‍රියාකලාපය ගිවිසුම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට අනුබලයක් විය. ඒ තත්ත්වය හමුවේ ඉන්දීය හමුදාව නිෂ්ක්‍රිය වී සිටියේය. ඒ නිසා සිංහල අප බොහෝ දෙනකු අතර පමණක් නොව දෙමළ සහ මුස්ලිම්වරුන් බොහෝ දෙනකු අතරද ඉන්දියාව බලවත් අප්‍රසාදයට පත් විය. මෙනයින් බලන කල ගිවිසුමට සම්බන්ධ සියලු පාර්ශ්ව අද අප රටේ පවතින ඛේදනීය තත්ත්වය පිළිබඳ වගකිව යුතුය.
 
1987 ඔක්තෝබර් 3 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද කොටි කල්ලියේ ප්‍රබල සාමාජිකයන් 17 දෙනකුගෙන් 12 දෙනකු සයනයිඩ් කරල් ගිල දිවි නසා ගැනීමෙන් පසුව කොටි කල්ලිය වියරු වැටුණි.

ඔවුහු හිස් ලූ ලූ අත දුවමින් ම්ලේච්ඡ ඝාතන කළහ. ඔවුන් අත්අඩංගුවේ සිටි සිංහල භටයන් 8 දෙනකු අමු අමුවේ මරා දැමූහ. රූපවාහිනි සේවයේ නිරත සිංහලයන් 5 දෙනකු පැහැර ගෙන ගොස් ඝාතනය කළහ. ත්‍රිකුණාමලයේ සහ මඩකළපු ප්‍රදේශයේ වාසය කළ අහිංසක නිරායුධ සිංහල පිරිමින්, ගැහැනුන් සහ ළමයින් 200 දෙනකු පමණ සිත් පිත් නැතුව මරා දැමූහ. මේ සියල්ල සිදුවෙද්දී ඉන්දීය සාම සාධක හමුදාව අතපය සෙලවූයේවත් නැත. මේ හේතුකොටගෙන සිංහල ජනයා අතර ඉන්දීය හමුදාවේ ක්‍රියා කලාපය ගැන සාධාරණ සැකයක් ඇති විය. එය ගිවිසුම ඉරා දමා (ඉන් අනතුරුව කරන්නේ කුමක්ද කියා නොපවසන) සිංහල පිරිස්වලට විශාල අනුබලයක් විය. ඉන්දීය සාම සාධක හමුදාව කරන්නේ සිංහලයන් නැඟෙනහිර පළාතෙන් පන්නා දැමීමට කොටින්ට සහාය වීමයි යන චෝදනාව ඒ පිරිස් මතු කළහ. එය උග්‍ර ඉන්දියානු විරෝධී හැඟීම් සිංහල ජනයා තුළ පුබුදුවාලීමට කදිම රුකුලක් විය. මෙනයින් බලන කල උතුරේ කොටි කල්ලියේ සහ දකුණේ ගිවිසුම විරෝධීන්ගේ ක්‍රියාකලාපවල අවසාන ප්‍රතිඵලය හාත්පසින්ම සමානය. එය අහම්බෙන් සිදුවන දෙයක්ද? නොඑසේ නම් කිසියම් අදෘශ්‍යමාන හස්තයක් මතින් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරවන වැඩසටහනක්ද යන්න විමසා බැලීම වටී.

අවසානයේදී සාම සාධනය උදෙසා ද්‍රවිඩ කොටින් මෙල්ල කිරීමට ඉන්දීය හමුදාවට නියෝග කරන ලදී. ඒ ව්‍යායාමය සඳහා යොදාගනු ලැබූ ආයුධ ප්‍රහාරයෙන් උතුරේ ද්‍රවිඩ ජනතාවට විඳින්නට සිදු වූ දුක් වේදනා අනන්තය: අප්‍රමාණය. ඉන්දියානු භටයන් පළමුව උතුරට පැමිණි අවස්ථාවේදී ඔවුන් මෙරට දෙමළ ජනයා විසින් පිළිගනු ලැබුවේ මහත් හරසරෙනි. එහෙත් අද මෙරට බොහෝ දෙමළ ජනයා භාරත මාතාව තමන්ට ද්‍රෝහී වූවා යැයි කියති. යථෝක්ත කරුණු සියල්ල මෙනෙහි කරන විට අනිවාර්යයෙන්ම මතුවන සුවිශේෂ ප්‍රශ්නයක් වේ. එනම් මෙතැනින් අප යා යුත්තේ කොතැනටද? යන්නයි. අර්බුදය තීරණාත්මක අයුරින් නොවිසදා දිග් ගැස්සීමට ඉඩ හැරීම බලයේ හැකිතාක් කල් රැඳී සිටීම අධිෂ්ඨාන කර ගෙන සිටින උදවියට විශාල වාසියකි. එයින් සිදුවන්නේ ද්‍රවිඩ කොටි සිය ගරිල්ලා යුද්ධය දිගටම කරගෙන යෑමයි. එවැනි යුද්ධවලින් කිසිවකු දිනන්නේද නැත. පරදින්නේද නැත. ඒ ක්‍රියාකලාපය ඔස්සේ මේ රටේ පොදු ජනයාට සාමය සහ සුරක්‍ෂිතභාවය ළඟා වන්නේ නැත.
 
වර්ගවාදී යුද්ධය අවසන් කොට සියලු විදේශීය භටයන් මෙරටින් ඉවත් කොට අපේ රට යළි ප්‍රජාතන්ත්‍රික කිරීම අපේ අරමුණ නම් ඒ සඳහා අප අනුගමනය කළ යුත්තේ කෙබඳු වැඩපිළිවෙළක්ද? හුදු මිලිටරි ප්‍රහාරවලින් පමණක් උතුරේ, නැඟෙනහිර සහ දකුණේ අද දිස්වන අසහනය සහ අස්ථාවරභාවය පහ කළ නොහැකිය.

කළයුත්තේ ගිවිසුමේ අඩංගු විධිවිධාන අප්‍රමාදව ක්‍රියාත්මක කිරීමය. වෙසෙසින් නොපමාව පළාත් සභා පිහිටුවා ඒවා ක්‍රියාත්මක කිරීමය. එසේ කිරීමට අවශ්‍ය සියලු දෑ වගා කරන මෙන් ශ්‍රී ලංකා රජයට සහ ඉන්දීය රජයට අපි තරයේ කියමු. එහෙත් ඉන්දු - ලංකා ගිවිසුම අකුරටම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මෙරට ජනවාර්ගික අර්බුදය සම්පූර්ණයෙන් විසඳේය යන මිථ්‍යාවේ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ අපි ඇලි ගැලී නොසිටිමු. අර්බුදය ප්‍රධාන වශයෙන් මෙරට ආර්ථික සහ දේශපාලන බලය බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයකි. එවැනි අර්බුදයකට ස්ථීරසාර විසඳුමක් ඉන්දු - ලංකා ගිවිසුමේ නැත. ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට ගිවිසුම ක්‍රියාත්මක කිරීම අතිශයින් ප්‍රයෝජනවත් මූලික පියවරක් පමණි.
 
මෙරට ජනවාර්ගික අර්බුදයට ඒකායන සහ ස්ථීරසාර විසඳුම වන්නේ මෙරට තිබෙන අසාධාරණ සමාජ - ආර්ථික රටාව මූලික වශයෙන් වෙනස් කිරීම විනා අනෙකක් නොවේ. විශේෂයෙන් පසුගිය දශකයේ විවෘත ආර්ථික නමින් රට තුළ ක්‍රියාත්මක වූ සමාජ ආර්ථිකය ක්‍රියා කලාපය හේතුකොට ගෙන අප සමාජයේ තිබූ විවිධ විසමතා බෙහෙවින් උග්‍ර විය. ඒ විසමතා සමනය කොට අප මවුබිමේ වෙසෙන සියලු ජන කොටස්වලට සමානාත්මතාවයෙන් සහ පූර්ණ නිදහසින් යුතුව ජීවත් විය හැක්කේ මෙරට සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජයක් බිහි වූ කල පමණි. එබැවින් මෙයින් අප යා යුත්තේ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ලංකාවක් කරාය. එයයි ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ පරමාදර්ශය."
 
සිළුමිණ
1988.02.14