''වෙනසක් ඇතිකළ යුතුයි'' - අගමැති



මෙරට පවතින දේශපාලන ක්‍රමවේදය පිළිබඳව තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටී ඇති බවත් ඒ අනුව දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු බවත්, එම වෙනස රටේ තරුණ තරුණියන් සමග එක්ව ඔවුන්ගේ අදහස්වලට මුල්තැනදී සිදු කළ යුතු යැයි ඊයේ (17) දින අරලියගහ මන්දිරයේදී  පැවැති ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,

මේ රටේ දේශපාලඥයින් වන අප තරුණ හඬට ඇහුම්කන් දිය යුතුයි 

 "එක්තරා කාලයක තරුණ කැරළි ඇති වී තරුණයන් කෙරෙහි පැවැති විශ්වාසය කඩවුණු නිසා තරුණ සේවා සභාව ඇති කිරීමට පියවර ගත් බව මේ උත්සවයේ නිවේදක මහතා ප්‍රකාශ කළා. නමුත් අද සිදුව තිබෙන්නේ එය කනපිට හැරවීමක් බව කිව යුතුයි. මේ රටේ ආණ්ඩු ක්‍රමය ගැන අපේ තරුණ තරුණියන්ට අද වන විට විශ්වාසයක් නැතිවී තිබෙනවා. මේ අනුව බලනවිට මෙහි නිවැරදි වන්නේ කවුරුන්ද? තරුණ තරුණයින් ද? පාලකයින් ද? තරුණයන් ද වැඩිහිටියන් ද? අද උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ තරුණයන්ගේ හඬට අප ඇහුම්කම් දිය යුතුයි. 

මේ රටේ තරුණ තරුණියන්ට සමාජයේ ඉදිරියට පැමිණීම සඳහා මාවතක් සකස් කළ යුතුව තිබුණා. ඒ අනුව 1979 දී ස්වේච්ඡා සේවයට අප අගයක් ලබාදුන්නා. එදා යෞවන සමාජ ආරම්භ කරමින් ඒ මාවත අප විවෘත කළා. 2015 දී මේ වැඩකටයුතු යළි ආරම්භ කරන විට මා තුළ එක් බලාපොරොත්තුවක් ඉටුවී තිබුණා. ශක්තිමත් ස්වේච්ඡා සංවිධාන ගණනාවක් ග්‍රාමීය මට්ටමේ බිහිවී තිබුණා. එයට යෙඣීවන සමාජ සම්මේලනයත් එකතු කරමින් නව පුළුල් ව්‍යාපාරයක් අප ආරම්භ කළා. 

මේ රටේ දේශපාලනඥයන් වශයෙන් දැන් අපට සිදුවී තිබෙන්නේ එතැනින් ඒ තරුණ හඬට ඇහුම්කම් දීමටයි. පවතින ක්‍රමයෙන් ලැබෙන වාසිය කුමක්දැයි තරුණයන් විමසා සිටියා. මෙතෙක් අපි ඉදිරියට පැමිණියේ 1978 ඇති කළ රාමුව තුළයි. එය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා. 

2015 දී පක්‍ෂ ගණනාවක් එකතු වී අපි ආණ්ඩුවක් පිහිටෙව්වා. කොපමණ ප්‍රශ්න තිබුණත් පවතින රාමුව තුළ නිදහස හා සංහිදියාව ඇති කළ යුතු යැයි මා තීරණය කළා. ඒ නිදහස හා සංහිදියාව ඇති කිරීමෙන් පසු රාමුව වෙනස් කිරීමට අප තීරණය කළා. කොපමණ ප්‍රශ්න තිබුණත් ඉතා අමාරුවෙන් මම මේ ආණ්ඩුව වසර හතරාමාරක් ඇදගෙන ආවා.

ගතවූ කාලය තුළ රටේ නිදහස සම්පූර්ණයෙන්ම තහවුරු කරන්න හැකිවුණා 

ගතවූ කාලය තුළ රටේ නිදහස සම්පූර්ණයෙන්ම තහවුරු කිරීමට අපට හැකි වුණා. බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමේ පරිසරයක් උදාකර දීමට අපට හැකි වුණා. කිසිදු බයක් සැකක් නොමැතිව තම වැඩකටයුතු සිදු කෙරෙමින් ඉදිරියට යෑමට මේ රටේ ජනතාවට අවස්ථාව උදාවුණා. 

මේ රටේ ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි ඕනෑම ජාතියකට බේදයකින් තොරව සමගියෙන් ජීවත්වීමට අවස්ථාව උදා කළා. මේ සියලූ ජාතීන්ට අයත් තරුණ තරුණියන් ශ්‍රී ලාංකිකයන් ලෙස අප පිළිගත්තා. දැන් ඔබට උවමනා කරන අලූත් රට අප බිහි කළ යුතුයි. එය කරන්නේ කවුද? එය කොහොමද කරන්නේ? ක්‍රමවේදය කුමක්ද? මුහුණු මාරු කරමින් බලාපොරොත්තු වන වෙනස ඇති කරනවාද? එසේත් නැත්නම් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 වෙනස් කර අලූත් මුහුණුදාලා එය සිදු කරනවාද? එසේත් නැත්නම් ක්‍රමවේදය වෙනස් කර අප ඉදිරියට යනවාද? මේ ප්‍රශ්න අද අප හමුවේ තිබෙනවා. 
මේ වෙනස ගැන මා දිගුකාලයක සිට කල්පනා කළා. මගේ පුංචි කාලයේ අප රටට ඉදිරියෙන් සිටියේ ජපානය පමණයි. නමුත් දැන් අපට පිටුපස සිටින්නේ ඇෆ්ගනිස්ථානය පමණයි. ලංකාවට සිදුවුණේ කුමක්ද? දියුණුවකරා පැමිණීමට නොහැකි වුණේ කුමන හේතු නිසාද? අපට දියුණුව කරා ගමන් කිරීමට නොහැකි වුණේ රටේ පැවැති දේශපාලනය නිසාද? ඔව්. ඒ දේශපාලනය නිසා අපට දියුණුවීමට නොහැකි වූ බව අප පිළිගත යුතුයි. අද මේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. යුරෝපය, එංගලන්තය, ජපානය වැනි රටවල පාලකයින්  මාරු වුණත් ප්‍රතිපත්තිවල වෙනසක් සිදු වන්නේ නැහැ.

වසර 30 ක් මේ රටේ යුද්ධයක් පැවතුණා. ඒ වගේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මේ සිද්ධීන් ඇති වූයේ කුමන හේතු නිසා දැයි අප විමසා බැලිය යුතුයි. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු වෙනසක් සිදු කළ යුතු බව බොහෝ දෙනෙකු ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාම පන්නා දැමිය යුතු බව තවත් සමහරුන් ප්‍රකාශ කළා. එම මුහුණු වෙනස් කළ යුතු බව තවත් අය පැවසුවා. නමුත් මේ කිසිවක් සිදු කිරීමෙන් අපට විසඳුමක් ලබාගත නොහැකියි. විසඳුමක් ලබාගැනීමට නම් අප කළ යුත්තේ පවතින ක්‍රමවේදය වෙනස් කිරීමයි.

වෙනසක් ඇතිකළ යුතුයි 

මගේ ස්ථාවරය වී තිබෙන්නේත් වෙනසක් ඇති කළ යුතු බවයි. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට මා සූදානම් බව කිව යුතුයි.  මා දේශපාලනයට නොපැමිණියා නම් මට ඕනතරම් මුදල් හම්බ කරන්න අවස්ථාව තිබුණා. නමුත් එදා සිට මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් මගේ කාලය වැය කළා.

පැවැති අධ්‍යාපන ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් මා ඇති කළා. මට අවශ්‍ය වුණේ මේ රට ඉදිරියට ගෙන යෑමටයි. 2015 ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස තොරතුරු තාක්‍ෂණය පදනම් කර ගත් නව අධ්‍යාපන ක්‍රමයක් මෙන්ම යහපත් සෞඛ්‍ය ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් මා කටයුතු කළා. මේ සෑම දෙයකටම වඩා මේ රටේ ණය බර තරුණ පරපුර මත පටවන්නේ නැතිව අපේ ජීවිත කාලය තුළ එය ගෙවා දැමීමට කටයුතු කළා.

මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ ජාතීන් අතර නැවත සටන් ඇති නොවී ශ්‍රී ලාංකිකයන් ලෙස සැමටම ඉදිරියට යෑමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමට මට අවශ්‍ය වුණා. ඒ සඳහා මා කැපවුණා. ඒ ගමන ශක්තිමත්ව ඉදිරියට පැමිණියා. 

දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නිසා පවත්නා ක්‍රමය වෙනස් කිරීමට අපේ තරුණ කාලයේ අවස්ථාව ලැබුණා. එදා අපි හැදූ ක්‍රමය වෙනස් කිරීමට කාලය එළඹතිබෙන බව අප විශ්වාස කරනවා. 

සති දෙකක් තුළ තරුණ ඔබේ අදහස් දෙන්න 

විවෘත සමාජයක් ඇති කිරීමට අපට හැකි වුණා. ඉදිරියට යෑමට අවශ්‍ය වෙනස කුමක් දැයි ඔබගෙන් අහන්න කැමැතියි. ඒ වෙනස ඇති කිරීමට අවශ්‍ය යෝජනා ලබාගැනීමට යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ෂෙහාන් කෞෂිල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා. සති දෙකක් තුළ එම වාර්තාව ලබාදෙන ලෙස ඔහුට උපදෙස් ලබාදෙනවා. එම සති දෙකක කාලය තුළ තරුණ ඔබේ අදහස් ලේකම්වරයාට ලබාදීමට කටයුතු කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා. එම වෙනස පිළිගෙන එම වෙනස ඇති කිරීමට අප සියලූ දෙනාම කටයුතු කරමු යැයි ඉල්ලා සිටින්න කැමැතියි. 

ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මහතා තරුණ සේවා සභාවට හා රටේ තරුණයන් වෙනුවෙන් සිදු කළ සේවයට මාගේ ස්තුතිය පුද කරනවා. මම විපක්‍ෂයේ කටයුතු කරන විට එතුමා දක්‍ෂ නීතිඥයෙකු ලෙස හඳුනාගැනීමට හැකි වුණා. ජාතික තරුණ සේවා සභාවට එතුමාගෙන් විශාල සේවයක් සිදු වූ බව සඳහන් කරන්න කැමැතියි. මුල් කාලයේ චරිත රත්වත්තේ මහතා වගේම ඉන්පසු එරංග වැලිඅංගේ මහතාත් මට විශාල සහයෝගයක් ලබාදුන්නා.”