ඇසිඩ් ගසා ගෙල කපා දෙදරු මව මරයි

අනියම් සැමියා අල්ලන්න පොලිසියෙන් පරීක්‍ෂණ

අරුණ බෝගහවත්ත

මීගහතැන්න කුම්බදුව පස්‌හවුල්හේන කුලී නිවසක පදිංචිව සිටි දෙදරු මවක ඇයගේ අනියම් පුරුෂයා විසින් (20 වැනිදා) දහවල් ඇසිඩ් ගසා ගෙල කපා ඝාතනය කර ඇත.

මෙසේ සාහසික ලෙස ඝාතනය කර ඇත්තේ විසිපස්‌ හැවිරිදි හිරෝෂණි මධුවන්ති නමැති දෙදරු මවක්‌ බව මීගහතැන්න පොලිසිය පවසයි.

කුලී නිවසේ ඇයගේ මව මල්ලී සහ දරුවන් දෙදෙනා ද සිටියදී මෙසේ අනියම් පුරුෂයා විසින් කාන්තාවගේ මුහුණට ඇසිඩ් ගසා පසුව ගෙල පිහියකින් කපා මරා දමා ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඇසිඩ් ප්‍රහාරය නිසා ඇයගේ අවුරුදු හතරක්‌ වයසැති කුඩා දරුවාද තුවාල ලබා මීගහතැන්න රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය කාන්තාවගේ සැමියා අපරාධයක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි අයකු වන අතර මෙම පිරිස කුලියට නවාතැන්ගෙන ඇත්තේ ඝාතනය සිදුකරන ලද අනියම් සැමියාගේ නිවසේය.

සැකකාර අනියම් පුරුෂයා අත්අඩංගුවට ගැනීම සඳහා මීගහතැන්න පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ගාමිණී රණවීර මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‌ෂණ සිදු කරති.

Tell a Friend