ශිෂ්ටාචාරයේ තොටිල්ල පැද්දුන පැත්ත


ගාමිණී වියන්ගොඩ


වර්තමාන ශිෂ්ටාචාරය පටන්ගන්නේ ස්ථිර පදිංචියත් සමග ය. මේ ශිෂ්ටාචාරයට කලින් සිටි මිනිසා එක තැනක පදිංචි වී සිටි කෙනෙකු නොවේ. ඔහු ජීවිකාව ගෙන ගියේ තැනින් තැන දඩයමේ යමින් සහ ඇහිදන් කෑමෙනි. පිරිස සුළු ප්‍රමාණයක් වූ නිසා, කෑමවලින් අඩුවක් නොවුණි. කැලේ පලවැල තිබුණි. මරාගත හැකි සතුන්ගෙන් අඩුවක් නොවුණි. සතුන්ගේ ඇටකටු, ලී සහ ගල් කැබලි, ආයුධ වශයෙන් තිබුණි. ඒවා හොඳටම සෑහුණි. 

එහෙත්, එක දවසක් මේ මිනිහා එක තැනක පදිංචි වීමට තීරණය කෙළේය. (‘එක දවසක්’ යන්න වාච්‍යාර්ථයෙන් නොගන්න). ඊට විවිධ හේතු බලපාන්ට ඇති. ඒ අතර, තමන්ගේ පිරිස වැඩි වීමත් සමග, එලාගත හැකි දඩයම සහ අහුලන් කෑ හැකි පලවැල ඒ පිරිසට ප්‍රමාණවත් නොවුණා විය හැකියි. හැමදාම තැනින් තැනට යාමෙන් හෙම්බත් වුණා විය හැකියි. නිදැල්ලේ සිටීමේදී මෘග සතුන්ගෙන් එල්ල වන අනතුරු වැඩි වුණා විය හැකියි. තැනින් තැන යනවා වෙනුවට එක තැනක සිට, ස්වභාවයෙන් නිකන් දෙන දෙයක් වෙනුවට උවමනාවෙන් වවාගත්තොත් සහ ස්වභාවයෙන් නිකන් ලැබෙන සතෙකු වෙනුවට උවමනාවෙන් සතෙකු අල්ලාගෙන හීලෑ කරගත්තොත්, වැඩි වාසියක් ලැබෙතැයි සිතුවා විය හැකියි. තැනින් තැන ඇවිදින අතරේම අතරින්පතර යමක් වවාගැනීම නිසා නිෂ්පාදන වැඩි වීමක් හෙවත් නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති වීම නිසා එක තැනක විසීම වඩාත් ප්‍රායෝගික බව අත්දැකීමෙන් දැනුණා විය හැකියි. මේ සියල්ලටමත් වඩා, දරුවන් වැඩි වීම නිසා පවුලක් ගොඩනැඟී, පවුල නිසා පෞද්ගලික අයිතිය පිළිබඳ හැඟීමක් ඇති වී, ගෙයක්fදාරක් සහ එක තැනක පදිංචියක් ගැන අදහසක් ඇති වුණා විය හැකියි. මේ පරිවර්තනය සිදු වන්නේ, එක තැනක විසීම සහ ගොවිතැන යන සාධක දෙක එකිනෙකට බද්ධ වුණු තැනකදී ය. වර්තමානයේ අප හඳුන්වන ශිෂ්ටාචාරය බිහි වුණා යැයි කියන්නේ එදා සිටයි. 

මෙය සිදුව ඇත්තේ මීට අවුරුදු 10,000 කට පමණ පෙරාතුවයි. හෙල්ල පැත්තකින් තියා, දෑකැත්ත අතට ගත් කාලය එයයි. මේ අලුත් ක්‍රමය සඳහා යම් සංවිධාන ජාලයක් අවශ්‍ය කෙරේ. ඒ සංවිධානය මෙහෙයවීම සඳහා බලය අවශ්‍ය කෙරේ. බලය යනු, ප්‍රායෝගික සහ අභ්‍යන්තරික මෙවලමකි. ඒ දෙක අන්‍යොන්‍යයි. ප්‍රායෝගික බලය දේශපාලනිකයි. අභ්‍යන්තරික බලය ඇදහිලිවන්තයි. වර්තමාන අර්ථයෙන් ගත් විට, ආණ්ඩුවක් සහ පන්සලක්/පල්ලියක් මෙනි. මේ දෙකම, එනම් දේශපාලන බලය සහ ඇදහිල්ල, අර කියන අලුත් සංවිධාන ජාලය පවත්වාගැනීමට අවශ්‍ය කෙරුණි. වඩාත් නිවැරදිව කිව්වොත්, දේශපාලන බලයෙන් මෙල්ල කරගත නොහැකි තැන් ආගමෙන් මෙල්ල කරගත හැකි බව දැනෙන්ට ඇති. 

ඉතිං, ඒ ආයතන දෙකේ ආරක්ෂාව තුළ, මේ අලුත් ගොවි සමාජයේ මිනිස්සු වගාවට අමතරව, මැටි වැඩ, වඩු වැඩ, මේසන් වැඩ සහ කලා වැඩ ආදියෙහි නියුක්ත වූහ. කුඩා ගම්, ලොකු ගම් බවට පත්විය. ඒවා නගර බවට පත්විය. ඒවායේ රජවරු බිහි වූහ. පූජකයෝ බිහි වූහ. මේ සංවිධාන ජාලයේ මහා පිම්ම වන්නේ වෙළෙඳාමයි. මේ වෙළෙඳ ගනුදෙනු සඳහා ‘පොත් තැබීමක්’ අවශ්‍ය කෙරුණි. මුලදී ඒ සඳහා භාවිත වුණේ රූප සහ විවිධ සංඥා ය. පසුව ඒවා අකුරු බවට පත්වුණි. ඒ පරිවර්තනය සිදුවන්නේ මීට අවුරුදු 5000 කට පමණ ඉහතදී ය. ඉතිං, ආපසු හැරී බලන විට, අවුරුදු 10,000 ක ශිෂ්ටාචාරයේ ඉතිහාසයක කතාවක් ඉහත විස්තර කර ඇති පරිදි එකී අකුරෙන් අපට අද කියවාගත හැකිව තිබේ.

ශිෂ්ටාචාරය අපේ ය. අශිෂ්ටාචාරය ඔවුන්ගේ ය

එහෙත් මේ විස්තරයේ පොඩි පරහක් තිබේ. අප කතා කරන මේ ශිෂ්ටාචාරයේ ඉතිහාසය සමග, කිරෙන් වතුර වෙන් කළ නොහැකි පරිද්දෙන්, බලය සහ ආගම එකට මිශ්‍ර වී ඇති නිසා, ඉහත කී කතාව ඇත්තක්මද යන ප්‍රශ්නය මතු වෙයි. ශිෂ්ටාචාරවත් මිනිසා ඉපදුණේ පසුගිය වසර 10,000 ක කාලයේ නම්, ඊට කලින් සිටි මිනිසා අශිෂ්ටයෙක්ද? ඔහු නිෂ්පාදනයක් නොකෙළේද? ඔහුට ඉතිරියක් සහ අතිරික්තයක් නොතිබුණේද? ඔහුට ලේඛනයක් නොතිබුණේද? ඔහුට කලාවක් නොතිබුණේද ආදී ප්‍රශ්න අප ඉදිරියේ මතුවෙයි. 

අපේ ලේඛනගත ඉතිහාසය යනු, එය ලේඛනගත කළ කාලයේ ඉතිහාසයයි. එනම්, ඉතිහාසයෙන් බොහෝවිට කියැවෙන්නේ, සංගෘහිත කිරීමට අරමුණු කරන කාලයේ ඉතිහාසයට වඩා, එය සංගෘහිත කළ කාලයේ ඉතිහාසය බවයි. උදාහරණයක් වශයෙන්, බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු දහසකට පමණ පසුව ‘මහාවංශය’ ලියන මහානාම හිමියන්, ලංකාවට බුදුන් වහන්සේ තෙවතාවක් වැඩියේ යැයි කියන්නේ, මහානාම හිමියන් ජීවත්ව සිටි කාලයේ සමාජ අවශ්‍යතාවක් වශයෙන් මිස ඇත්තෙන්ම බුදුන් වහන්සේ එක වරක්වත් ලංකාවට වැඩමකොට ඇති නිසා නොව. එසේ වැඩම කළ බවට කිසි සාක්ෂියක් තවම සොයාගෙන නැත. එහෙත්, බුදුන් වහන්සේගේ වැඩම කිරීමෙන් ලංකාව පුණ්‍ය භූමියක් බවට පත්ව ඇති බව කීමේ අවශ්‍යතාවක් මහානාම හිමියන්ට තිබුණි. ඒ අනුව, ඉතිහාසය වෙනස් කෙරුණි.

කෙසේ වෙතත්, ඉතිහාසය විද්‍යාවක් වන තැනක් සහ යුගයක් තිබේ. ඒ, පුරාවිද්‍යාව නිසා ය. ඊට සහාය වන භූ-විද්‍යාවක් තිබේ. ඊට සහාය වන මානව විද්‍යාවක් තිබේ. මේ නිසා, ලෝකය ඉදිරියට යද්දී, ඉතිහාසය ආගමෙන් සහ අවස්ථාවාදයෙන් වෙන්කොට, විද්‍යාත්මක ඉතිහාසයක් ලිවිය හැකි කාලයක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි යුගයක් බිහි විය. එහිදී, පරණ ඉතිහාසය සංස්කරණය විය. එක්කෝ, බොරු විය.  

ලෝක ඉතිහාසය සහ මිනිස් ඉතිහාසය පිළිබඳ ලොකුම ආගමික ග්‍රන්ථය වන බයිබලයේ ‘උත්පත්ති කතාව’ අනුව, මේ ලෝකයේ වයස අවුරුදු 7000 කට වඩා වැඩි විය නොහැක. මේ කතා වස්තුව අනුව යමින්, එනම් බයිබලයේ ‘උත්පත්ති කතාව’ අනුව යමින්, එහි සඳහන් දින වකවානු සහ වංශාවලිය අනුව යමින්, ලෝකයේ පටන්ගැනීම ගණනය කළ අයර්ලන්තයේ එක් අගරදගුරුවරයෙක් එය නිශ්චිත දිනයකින්ම දක්වා තිබුණි. එනම්, ක්‍රිස්තු පූර්ව 4004 ඔක්තෝබර් මාසයේ 24 වැනි සෙනසුරාදා හැන්දෑවේ දෙවියන් වහන්සේ ලෝකය මැවූ බවයි! මේ ගැන තර්ක විතර්ක අවශ්‍ය නැත. පුරාවිද්‍යාවෙන් සොයාගෙන ඇති රාශියක් ඇටසැකිලි සහ වෙනත් පුරාතන භාණ්ඩත් පැත්තකින් තියන්න. වර්තමාන භූ-විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි, මේ පොළොවේ නිශ්චිත ආරම්භයක් හෝ නිශ්චිත අවසානයක් පිළිබඳ කිසි හෝඩුවාවක් මේ වන තෙක් සොයාගෙන නැති බව පමණක් සැලකිල්ලට ගන්න. (මෙසේ කරුණු නිවැරදිව ඉතිහාසයෙන් පෙරාගෙන තිබියදීත්, මිථ්‍යා විශ්වාස සහ ආගමික ඇදහිලි මත රඳාපවතිමින් ඉතිහාසය විකෘති කිරීමට දඟලන බුද්ධික පතිරණ වැනි මිනිසුන් තවමත් සිටිති. රාවණා රජු ගැන සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත්කරන්නැයි පසුගිය දා ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබුණි. නැති දෙයක් සෙවීමට මහජන මුදල් වැය කරනවාට අමතරව, විද්‍යාව විසින් එළිපෙහෙලි කරගන්නා ඉතිහාසය පවා, බලය සමග ගැටගැසුණු දෘෂ්ටිවාදයන්ගේ අවශ්‍යතා පෙරදැරිව මෙහෙයවන මෙවැනි පුද්ගලයන් නිසා, ඉතිහාසය නැවත ව්‍යාකූල වීමත් නිතර දක්නට ලැබෙයි. ඒ නිසා, ඉතිහාසය ලිවීම කිසි දවසක නොනවතී. දිනපතා එය පිරිපහදු කෙරෙනු ඇත. දිනපතා එය දූෂ්‍ය කෙරෙනු ඇත). 

ශිෂ්ටාචාරය යන වචනයේ, ප්‍රගතිය යන අදහසක් තිබේ. ශිෂ්ටාචාරයේ ඉතිහාසය යනු ප්‍රගතියේ ඉතිහාසය යැයි ඒ අනුව කියැවෙයි. මේ ප්‍රගතිය ඇති කළෝ ශක්තිවන්තයෝ ය. ජයග්‍රාහකයන් වුණේ ඔවුන් ය. ඔවුන් කියන කතාව ඇත්තක්ම යැයි ගැනීමට, ඩාවින්ගේ පරිණාමවාදයෙන් තවත් තල්ලුවක් ලැබුණි. ස්වභාව ධර්මයේ නියාමය තුළ ශක්තිවන්තයා ඉදිරියට යන බවත්, දුර්වලයා අභාවයට යන බවත් ඩාවින්ගේ පරිණාමවාදයෙන් කියැවෙයි. එය බොරුවක් නොවේ. එහෙත් ඒ අභාවයට ගිය හෝ පරාජයට පත් ඉතිහාසයේ විසූ මිනිස්සු, ශිෂ්ටාචාරයට අයත් නැති අශිෂ්ටයන් සේ සැලකීම ප්‍රශ්නයකි. එසේම, ඔවුන් පරාජයට පත්වුණේ, ස්වභාව ධර්මයේ නියාමයක් නිසාද, නැතහොත් උවමනාවෙන් ඇති කරගත් සංවිධාන බල ව්‍යුහයක අවශ්‍යතාවන් නිසාද යන්න තවත් ප්‍රශ්නයකි. ඒවා ඩාවින්ගේ ප්‍රශ්න නොව, අපේ ප්‍රශ්න ය. 

කතාවේ නව දිසාවක්

උර්ෆා නමින් හැඳින්වෙන නගරයක් තුර්කියේ තිබේ. ඒ නගරයට එපිටින් හිරිගල් කඳුවැටියක් තිබේ. මේ කඳුවැටියේ එක් උස් මුදුනක ‘පොට්බෙලි හිල්’ හෙවත් ‘බණ්ඩි කන්ද’ නමින් හැඳින්වෙන තැනක් තිබේ. ක්ලාවුස් ෂ්මිඩ් නමැති ජර්මානු පුරාවිද්‍යාඥයෙක් 1994 දී මෙතැන කැණීම් කෙළේය. මෙය භූ-විද්‍යානුකූලව ගත් විට, ස්වභාව ධර්මයෙන් ඇති වූ කන්දක් නොව, මිනිසුන් විසින් ගොඩනඟන ලද්දක් බව ඔහු විසින් සොයාගැනුණි. මෙය ප්‍රාග්-ඉතිහාසයට හෙවත් ශිෂ්ටාචාරයෙන් එපිට කාලයකට අයත් පරිශ්‍රයකි. එය ගොඩනඟා ඇත්තේ, මීට අවුරුදු 12,000 කට ඉහත කාලයක ය. එනම්, වර්තමානයේ සැලකෙන ශිෂ්ටාචාරය ඇති වීමට කලිනි. 

දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, ශිෂ්ටාචාරය යැයි අප අද විශ්වාස කරන ප්‍රපංචය තුළ ඇති මූලික දේවල් සියල්ල එහි තිබී සොයාගෙන ඇත. ඒ අතර, අතින් නෙළුෑ සොහොන් ගල් රාශියකි. අඹන ලද විශාල මිනිස් හිසක්, වෙස්මුහුණු සහ අඩියක් දිග පුරුෂ ලිංගයක්, අතේ පළඳින ගලින් කළ මුදු සහ ඉංග්‍රීසි ‘ටී’ අකුරේ හැඩය ඇති අඩි විස්සක් උස, ටොන් දහයක් බර යෝධ ගල් කුලුනු සහ සතුන්ගේ රූප රාශියක් ඒ අතර තිබේ. එසේ සොයාගත් සාම්පල 1500 අතරේ, හීලෑ කරගත් කිසි සතෙකුගේ ඇටකටුවක් නොවුණි. එහි අදහස වන්නේ, මෙතරම් සංකීර්ණ සහ විශාල ස්ථානයක්, මෙතරම් දුෂ්කර ස්ථානයක ගොඩනැඟූ මිනිසුන්, එක තැනක පදිංචි, කෘෂිකර්මයේ යෙදුණු ගොවියන් නොව, තැනින් තැන ගිය දඩයක්කාර සහ ඇහිදන් කන ජන ප්‍රජාවක් වී ඇති බවයි. එසේ නම්, ශිෂ්ටාචාරය පටන්ගැනෙන්නේ, තනි තැනක පදිංචි, පවුලක් නඩත්තු කරන, ගොවිතැන් කළ සමාජ ක්‍රමයක් තුළින් ය යන ප්‍රවාදය බිඳවැටෙන්නේය.

පවුල මුල් කරගත් ගොවි සමාජය වඩාත් කාර්යක්ෂම බල ව්‍යුහයක් තුළ ගොඩනැඟෙද්දී, පරණ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය පරාජය වන්නේ සහ අභාවයට යන්නේ, ජයග්‍රාහී සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ උත්කෘෂ්ට භාවයක් නිසාම නොව, ජයග්‍රාහී සංස්කෘතිය සතු දේශපාලනික බලය මර්දනීය අවියක් වශයෙන් නිර්දය ලෙස භාවිතයට ගැනීමද නිසා ය. ඊළඟට, ඒ ඉතිහාසය ලියන්නේ, ජයග්‍රාහී සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය විසින්ම වන නිසා ය. (මීට වෙනස්, ව්‍යතිරේකයක් තිබේ. රෝම අධිරාජ්‍යය බිඳවැටීම පිළිබඳ දුක්මුසු කතාව ලියා ඇත්තේ, එය බිඳදැමූ ජයග්‍රාහක ම්ලේච්ඡයන් විසින් නොව, පරාජිත රෝමවරුන් විසිනි. ඊට හේතුව, ජයග්‍රාහක ම්ලේච්ඡයන්ට තමන්ගේ ඉතිහාසය ලියා තැබීමට තරම් ලිඛිත භාෂාවක් නොතිබීමයි). 

පාඩම මෙයයි: අපේ ගොවි ශිෂ්ටාචාරය උත්කෘෂ්ට බවත්, එම ශිෂ්ටාචාරය විසින් පරාජයට පත්කොට අභාවයට යවන ලද කෘෂිකාර්මික නොවන ‘වනචාරී’ ශිෂ්ටාචාරය පහත් බවත් ඇඟවෙන්නේ, එය ඇත්තෙන්ම එසේ වී ඇති නිසාම නොව, එසේ වී ඇතැයි ලියා තිබීම නිසා ය. 

මෙය, මොන විදිහකින්වත්, ඉස්සර දේ (හෝ නොලැබුණු දේ) සිරිසැප දේ යන මිථ්‍යාවට සහ බොළඳ අතීතකාමයට අතවැනීමක් නොවන බව අවධාරණය කළ යුතුය. ඉස්සර දේවල් හෙවත් ඉතිහාසය වඩාත් පෘථුල මානයකින් අවබෝධ කරගැනීම, වර්තමානය තේරුම්ගැනීමටත්, අනාගතය සකස් කරගැනීමටත් යම් ආකාරයකින් ඉවහල් කරගත හැකි ය යන පරිශීලන අර්ථයෙන් පමණක් මෙය භාරගත යුතුව තිබේ.   

තුර්කියේ මෙන් කැණීම් යම් දවසක ලංකාවේ කළොත්, අවුරුදු 2500 ක සිංහල-බෞද්ධ ඉතිහාසය තරමටම හෝ සමහරවිට එයත් පරයන තරමට ‘දියුණු’ ශිෂ්ටාචාරයක් ඊට ඉහතින් මෙහි තිබී ඇති බව සමහරවිට නිශ්චිතව සොයාගැනීමට පිළිවන් වේවි. එවැනි ඉතිහාස ගවේෂණවලට උරදිය යුත්තේ, රාවණා මිථ්‍යාවක් පස්සේ දුවන බොළඳ දේශපාලනඥයන් හෝ මහානාම හිමියන් වැනි ආගම්වාදී ඉතිහාසඥයන් නොව, ක්ලාවුස් ෂ්මිඩ් වැනි (පුරා)විද්‍යාඥයන් ය.