නිලන්ත ඉලංගමුව
මීට වසර තිහකට පමණ පෙර දකුණේ සිංහල නායකත්වය විසින් සිංහල තරුණයින් 60 ,000 කට ආසන්න ප්‍රමාණයක මරා දමන විට "අකවුන්ටබිලිටි" පිළිබඳ කිසිවෙකුට හෝ ගැටලුවක් මතු කළේද? නමුත් දැන් නිකුත් කොට ඇති දරුස්මාන් වාර්තාව හරහා එක්සත් ජාතින්ගේ සංවිධානය අපේක්ෂා කරන මට්ටමේ ජාත්‍යන්තර තත්වයන් සහ නෛතික රාමුවක් යටතේ පැවති යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූයේ යැයි කියන යුධ අපරාධ පිළිබඳව පරීක්ෂණ කළ යුතු යැයි ඉල්ලීම ලංකාවේ දේශීය දේශපාලනයට කෙසේ බලපාන්නේද? වසර ගණනාවක් තිස්සේ පැවති ස්වභාවය එකසත් ජාතීන්ගේ ඉල්ලීම මත වෙනස් වන්නේ නම් එය ලංකාව අභිමුකව සිදු විය හැකි ප්‍රතිහර්යකි. එසේම දරුස්මාන් වාර්තාවෙන් ඉල්ලා සිටින අදාළ පරීක්ෂණය ලංකාව විෂයෙහිලා විහිළුවක් මිස එවැන්නක් කිසිම දිනක බලාපොරොත්තු විය නොහැකිය. මේ නිසා ගොඩනැගෙමින් පවතින දේශාපාලන ප්‍රවණතාවය හමුවේ වැදගත් වන්නේ මෙම කටයුතු වලින් අවසානයේ සිනහව උරුම කරගන්නා පුද්ගලයා මිස වෙන කිසිවෙකුත් නොවේ. ඒ වෙන කිසිවෙකුත් නොව, එනම් මේ ලෝකයේ රටකට හිමි පරමාධිපත්‍ය බලය නාමයෙන් කුමක් කළත් කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි සීමා රහිත බලයක් උරුම කරගෙන සිටින සහ එකී බලය කිසිඳු අධිකරණයක් හමුවේ නිශේධනය කළ නොහැකි තත්වයේ උරුමක්කාරයා වන රාජපක්ෂ ජනාධිපතිවරයාය. මෙකි නාඩකම අවසානයේදී එක්සත් ජාතීන්ගේ මහා ලේඛම් බන් කි මූන්ද ගොදුරක් වීම හැර වෙනත් බුද්ධිය මුහුකුරා ගිය සාධනීය වැඩ පිළිවෙලකට රටේ පාලනාධිකාරිය තල්ලු වේ යැයි සිතීම උගහටය. කරන තරමක් කපටි සහ අසාධාරණ ලෙස කටයුතු කොට ඒවා සියල්ල සිදු නොවුණා සේ යට ගසමින් එල්ලවෙන සියලුම ගැටලු බටහිර අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණය නමැති කුලකයට බැර කරමින් තමන්ගේ අත සෝදා ගැනීම හැර වෙනත් දේශපාලන ක්‍රමෝපායක් මෙරට සංවේදී නායකයාගේ ඔලු ගෙඩිය තුළ නැත. රැවටීම සහ මර්ධනය එහි ධාවක බලවේගය වේ. මෙකි සංගීතයට නැටවෙන සාමාන්‍ය වැසියන් සියල්ල අවසානයේදී උරුම කරගන්නේ බෙරේ පලුවකුත් නැති නැටු නැටුමකුත් නැති හිස් තත්වයක් මිස වෙන කිසිවක් නොවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට යුධ අපාරාධ සිදු කරණු ලැබුවේ 71 දී සහ 88-89 දී සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ නැගීටීම් මර්ධනය කළ ආණ්ඩුව විසින්ය. සමස්ත ඛේදාවචක නිසා රටට ලක්ෂයකට ආසන්න පිරිසකට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. සම්පුර්ණ පරම්පාරාවක් අහිමි විය. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ ලේඛම් එම්. සී.එම්. ඉක්බාල් විසින් එකතු කළ සිදුවීම් 30,000 කට ආසන්න සිදු වීම් සම්බන්ධයෙන් එක්රැස් කළ වාර්තාවන් දෙස බැලීමේදී එහි ඇති බරපතල තත්වය තේරුම් ගත හැකිය. එකී වාර්තාද මේ වන විට ඇත්තේ විදේශ රටක මිස ලංකාවේ කිසිවෙකුට ඒවා පරිශීලනය කිරීමේ නිදහස් අවස්තාව නැත. ඇතැම් සිදුවීම් ආරක්ෂක අංශවල අත්වැරද්දෙන් සිදු කළ මිනිස් ඝාතන ලෙස සඳහන් කොට ඇත. වසර හතලියක් තිස්සේ සිදු වූ මෙකි ඛේදවාචකයන් හමුවේ දේශපාලන බලය වෙනස් වුවද මිනිසුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහ ඝාතකයින් සම්බන්ධයෙන් සොයා බැලීමේ, තොරතුරු රැස් කිරීමේ හෝ වැරදි කරුවනට දඬුවම් දීමේ කිසිඳු වුවමනාවක් අප විසින් පෙන්වා නැත. එසේම ජාත්‍යන්තර තත්වයන් හෝ නෛතික රාමුන් තබා රටේ සම්මත කරගත් පොදු නිතියටවත් ගරු නොකරන ආණ්ඩුවකින් එවැනි තත්වයක් අපේක්ෂා කිරීමම දවල් හීනයකි. මෙය වඩාත් අනුවේදනීය කාරණයක් වන්නේ අදාළ වාර්තාව නිල වශයෙන් නිකුත් කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහා ලේඛම් වරයාම තමන්ට කිසිවක් කළ නොහැකි බව සඳහන් කිරීමෙන් සියල්ල ස්ථාන ගත වී සිටින සැබෑ තත්වය අවබෝධකර ගත හැකිය.
යුද්ධයේ අවසන් පියවරේදී පමණක් නොව ලංකාවේ ඉතිහාසයටම එනම් කුවේණිගේ සිට ගත වූ වසර දහස් ගණනාවටම නිවැරදි අකවුන්ටබිලිටියක් අවශ්‍ය වී ඇත. අපේ අකවුනටබිලිටිය හෙවත් ගිණුම්කිරීමේ වගකීම අපි විසින් පේනවා ඇත්තේ මහජන මුදල් සහ බලය මංකොල්ල කෑමෙන්, රැවටීමෙන් සහ සොරකම් කිරීමෙන් මිස යහ පාලනයෙන් නොවේ. රටේ නායකයින් බිහි වූයේ කලාතුරකිනි . නමුත් ජාතියක් ලෙස හින්දු සිංහල අන්තවාදී මතය කරපින්නාගත් බමුණන් රැලකගේ ගොදුරු බවට අපි පත් වීමු. එය එසේ නොවේ නම් තමන්ගේ දාමරික කම නිසා කොණ්ඩය භූ ගා තමන්ගේ පියා විසින්ම පිටුවහල් කරනු ලැබූ විජය නමැති කොල්ලකරුවෙකු අපේ ජාතියේ පියා වන්නේ නැත. එක්සත් ජාතින් 2011 දී අසන ගැටලුවේ ඇති මූල ධාතුව වන්නේ එයයි. එසේනම් වසර දස දහස් ගණනක් තිස්සේ පවතින අවුලක් හෙවත් සාමාජ මානසිකත්වයක් හනික විසඳීමට හැකි යැයි සිතන්නේ නම් එය තමා විසින් තමන්ම රවටා ගැනීමක් මිස වෙන කිසිවක් නොවේ. එසේම එක්සත් ජාතින් විසින් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට වගඋත්තරකරුවන් අදාළ සංවිධානය තුළම සිටින බවට දැන් මතුවෙමින් සහ ඔප්පු වෙමින් පවතින කාරණයකි. එය තමන්ගේ වෙළඳපොල නිසා ලංකා ආණ්ඩුවට සහය දක්වන රුසියාව සහ චීනයට වඩා භයානක තත්වයකි.
එනයින් බලන කළ දරුස්මාන් වාර්තාව ඔස්සේ සිදු කොට ඇත්තේ බීරි අලින්ට වීණා වැයීමක් වැනි තත්වයකි. මන්ද ලංකාවේ කිසිතැනක සම්මත වී ඇති නිතිය ඒ අකාරයෙන්ම ක්‍රියාත්මක නොවන හෙයිනි. නමුත් එය එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගෙන සිටින ගෝඨාබය රාජපක්ෂ වැනි අයට බලපෑම් කළ හැකිය. මන්ද එක්සත් ජනපදය ඇතුළු බොහොමයක් රටවල් නීතියට ඉහලින් කිසිවෙකුත් තබා නැති හෙයින් සහ යුධ අපාරධකරුවන් ලෙස සැක කළ අයවලුන් ඇමෙරිකානු පුරවැසියන් වීම ඔස්සේ එය සිදු විය හැකිය. නමුත් ලංකාව සිටින්නේ ඊට වඩා බොහොමයක් පිටුපසිනි. අඩුතරමින් මහින්ද රාජපක්ෂ වූ කලි ලංකාව නොවේය, යන අවබෝධයට පැමිණීමට බහුතරයකට හැකියාව තිබේනම මෙවැනි අවස්ථාවක එයම ප්‍රමාණවත් වේ. තමන්ගේ දුර්වල ආර්ථික කලමානකරණය වැසීම සඳහා සිදු කිරීමට නියමිත මැයි දින රැලියේදී මෙහි සැබෑ රඟපෑම වඩාත් හොඳින් අවබෝධ කර ගත ගැකිය. මෙවැනි බොරුවක් මත දෝලනය වන රටකින් "අකවුන්ටබිලිටියක්" අපේක්ෂා කිරීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් හා සමානය. එසේම අබ්භාගත වූ විපක්ෂයක් හමුවේ සහ පොදු හැඟීම මරා දමනු ලැබූ ජන සමාජයක් තුළින් මර්ධනයට අනුගත වීම හැර විරෝධයක් බලාපොරොත්තු විය නොහැකිය. රටක ප්‍රථම තරු හතරේ ජනරාල් වරයා මෙන්ම කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර හමුවේ රෝගියෙකු වූ සරත් ෆොන්සේකා කුදාලාගෙන ගොස් වැස්සට තෙමෙන අව්වට වේලෙන උණු වතුර පොඳක් නැති කාමරයක කොටු කළ හැකි ට්‍රැජඩිය කොමඩියක් වූ රටක කළ නොහැක්කේ හෝ සිදු නොවිය හැක්කේ කුමක්ද? බන් කි මූන් අකුන්ටබිලිටියක් සොයන්නේ මෙවැනි දූෂණයට ලක් වූ බලයකිනි. මර්ධනයට යටත් වූ ජාතියකිනි. අවසාන විග්‍රහයේදී ලංකාවට වාඩා තම සංවිධානයට එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැනම අකවුන්ටබිලිටියක් අත්‍යවශ්‍ය වී ඇත.
Post a Comment