ඕන තැනක හමුදාව ස්ථානගත කිරීම අපිට අයිති දෙයක්

එල්.ටී.ටී.ඊ.ය නැවත ප්‍රතිසංවිධානය කිරීමේ උත්සහයක් ඇතැයි, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් තුළ අයවැයෙන් වැඩි මුදලක් ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කිරීම පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවේ අනාගත අභියෝග මැයෙන් ඊයේ පැවති උත්සවයකදී ප්‍රධාන දේශනය පවත්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේය.

"අපි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හමුදාමය බලය සම්පූර්ණයෙන් ලංකාවෙන් ඉවත් කළා. එසේ නමුත් අපි මේ සියලු දේම අවසානයි කියලා අපිට ඒ ගැන අමතක කරලා හිටින්නට පුළුවන් කමක් නෑ. අපේ ලංකාවට විරුද්ධව තවමත් සතුරන් සිටිනවා.
ඒ සතුරන්ගේ විවිධ ක්‍රියාකාරකම් තිබෙනවා. ජාත්‍යන්තරයේ මේ ගෙනයන ව්‍යාපාරය අපිට ඉදිරියේදී රට තුළ නැවතත් මේ සංවිධානයේ ප්‍රතිසංවිධානයක් ඇතිවීමට මඟ පාදන්න පුළුවන්. ඒවාගේම මානුෂික මෙහෙයුම කාලයේදී රටින් පැන ගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් අපි දන්නවා. ආරක්ෂක බුද්ධි අංශ සොයා ගෙන තිබෙනවා. මේ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත මෙම ප්‍රතිසංවිධානය කිරීමේ උත්සහයක යෙදිලා තියෙන බව අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. අවාසනාවකට අපෙන් ප්‍රශ්න කරනවා ඇයි තවමත් මේ රටේ විශාල හමුදාවක් පවත්වාගෙන යන්නේ ඇයි මේ රටේ අයවැයෙන් විශාල මුදලක් ආරක්ෂක වෙනුවෙන් වැය කරන්නේ කියන එක අවාසනාවකට අපෙන් ප්‍රශ්න කරනවා. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා අපිට නාවික හමුදාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. මෙයට විරුද්ධ පුද්ගලයින් සහ කණ්ඩායම් සිටින බව අපි කවුරුත් දන්නවා. ඔවුන්ගේ චෝදනාව වන්නේ මේ ශ්‍රී ලංකාව හමුදාකරණිය කරනවායැයි කියන කාරණය. උතුරු ප්‍රදේශයේ දිනෙන් දින පවතින නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අපි භාරදීලා තියෙන්නේ පොලිසියටයි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපෙන් ප්‍රශ්න කරන විදේශීය බලවේගවලට මම මතක් කර දෙන්න ඕනේ ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට හමුදාව ස්ථානගත කිරීම අපිට අයිති දෙයක්. අපි ස්වෛරී රාජ්‍යයක් ලංකාව හැම තැනම අපි මේ කදවුරු පිහිටුවලා තිබෙනවා. මේ හමුදාකරණය කරනවයි කියන එක සම්පූර්ණ අභූත චෝදනාවක්"

හමුදාවට හා රජයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු දුන්නේය.

"අපිට ‍අපේ මේ හමුදාවන්ට රජයට රටට කරන විශාලම චෝදනාව තමයි මේ සිවිල් වැසියන් විශාල ගානක් ජීවිතක්ෂයට පත්වුණා. මේ මෙහෙයුමේදී කියන එක.මානූෂීය මෙහෙයුම ආරම්භ කරපු පළවෙනි දවසේම ප්‍රතිපත්තියක් වශයෙන් සිවිල් වැසියන්ගේ ජීවිතක්ෂයට පත්වීම බින්දුවක් වශයෙන්,ශුන්‍යයක් වශයෙන් විය යුතුයි කියන පරමාර්ථය අකුව ක්‍රියාත්මක කළා.යම්කිසි පුද්ගලයෙක්ව අපි ඉලක්ක කරගෙන අපි හමුදාමය ක්‍රියාදාමයක් කරලා ඔහු නැතිකලානම් එක රටේ ආරක්ෂාව සදහා සිදුකරන ලද ක්‍රියාදාමයක් බව අමතක කරන්න නරකයි.මේකට හොදම උදාහරණයක් තමයි ඔසාමා බින්ලාඩන්ගේ ඝාතනය.සමහරු කියනවා ඇයි ඔහුව ඝාතනය කළේ. ඔහු අපිට පණපිටින් අල්ලා ගන්නට තිබුණා.එක්සත් ජනපදය කියා සිටියේ මොකද්ද?ඔසාමා බින්ලාඩන් අපි අල්ලා ගත්තේ නැතිව ඝාතනය කළේ ඔහු අපේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන පුද්ගලයෙක් වෙන හින්දා කියලා.එහෙමනම් ඇයි ඒ පණිවිඩයම ‍ලංකාව වැනි කුඩා රටවලට යොදවන්නේ නැත්තේ"