එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාව සම්බන්ධයෙන් එජාපයේ ස්ථාවරය

එක්සත් ජාතික පක්ෂය

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් භාගයේදී මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් මහතා විසින් පත් කළ විද්වත් කමිටුවේ සම්පූර්ණ වාර්තාව මේ දක්වා ප්‍රකාශයට පත් වී නැතත්, දැනට ප්‍රකාශයට පත් වී ඇති වාර්තාවේ සංක‍ෂිප්ත කරුණුවලට අනුව පවා එම වාර්තාව තුළින් අප රටේ ගෞරවය හා කීර්තියට බරපතළ කැළලක් සිදු වී ඇති බවට අපි විශ්වාස කරමු.

කෙසේ වුවද, අප රට සම්බන්ධයෙන් සිදු කෙරෙන ඕනෑම ආකාරයක බාහිර මැදිහත්වීම් අප පක‍ෂය තරයේ හෙළා දකින අතරම, මෙවැනි වාර්තාවක් පවා එළිදැක්වීමට අවශ්‍ය කරන වටපිටාවක් සැකසීම සම්බන්ධයෙන් රාජපක‍ෂ ආණ්ඩුව ද වගකිව යුතු බව අපි අවධාරණය කර සිටිමු.

මෙම වාර්තාව හරහා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ ආරක‍ෂක හමුදාවන් ජාත්‍යන්තර යුද අධිකරණයක් වෙත ගෙන යා හැකි බවට ජනාධිපතිවරයා සහ සමහර මැති ඇමතිවරුන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව මුලින්ම පෙන්වා දිය යුතුය. එය, හුදෙක් රට තුළ යළි ජාතිවාදය අවුළුවා පටු දේශපාලන වාසි ලබා ගැනීමට දරන බොළඳ ප්‍රයත්නයක් ම පමණි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විධි විධානයන්ට යම් රටක් යටත් වන්නේ එම රට ජාත්‍යන්තර අධිකරණය පිළිබඳ රෝම ප්‍රඥප්තියට අත්සන් තබා ඇති නම් පමණි. මේ රෝම ප්‍රඥප්තියට අත්සන් තබන ලෙස 2002 වසරේදී අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වුණි. ඔහු එම බලපෑම් තරයේ ප්‍රතික්ෂේප කළේය. එදා ඔහුගේ තර්කය වුණේ, ශ්‍රී ලංකා පුරවැසියෙකුට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල විය හැකි ඕනෑම චෝදනාවක් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමේ නිදහස් හා සාධාරණ නීති පද්ධතියක් හා යාන්ත්‍රණයක් අප රටේ ක්‍රියාක්මක වන බවයි. ඊටත් වඩා, 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්දේශපාලනීකරණය කරන ලද ස්වාධීන කොමිසන් සභා රාශියක් අපට ඇති බවත් ජාත්‍යන්තරය හමුවේ එදා එතුමා පෙන්වා දුනි.

මෙම තත්ත්වය යටතේ, මොනම අපරාධයක් සම්බන්ධයෙන් වුවද ශ්‍රී ලංකා රාජ්‍යයට හෝ එහි කිසිදු හමුදා සාමාජියෙකුට එරෙහිව "රෝම ප්‍රඥප්තිය" යටතේ නඩු පවරා ද`ඩුවම් පැමිණවීමේ බලයක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හිමි නොවේ. ජාත්‍යන්තර නීතියේ සැබෑ නෛතික තත්ත්වය එයයි.

කෙසේ වෙතත්, උතුරු නැගෙනහිර යුද්ධය නිමාවෙන් පසුව පසුගිය වසර කිහිපය තුළ අප රටේ පැවති ස්වාධීන කොමිෂන් සභා යාන්ත්‍රණයත්, නීතියේ ස්වාධිපත්‍යයත් රාජපක‍ෂ ආණ්ඩුව විසින් මුළුමනින් විනාශ කර දමා තිබේ. සිවිල් පුරවැසියන්ගේ මානව හිමිකම් කඩ කරමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධීව දිගින් දිගටම කටයුතු කළ පාලකයින් පසුගිය ජනාධිපතිවරණයේදී විපක‍ෂයේ පොදු අපේක‍ෂකයා ලෙස ඉදිරිපත් වූ හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාව හිරේ දමා ඇත.

තමන්ට පක‍ෂපාතී නොවූ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක කළ රාජපක‍ෂ ආණ්ඩුව මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය කර දැමීමේ සිද්ධීන්වලට ද සිරස, සියත හා ලංකාඊනිව්ස් ආයතනවලට ගිනි තැබීමේ සිද්ධීන්වලටද මුළුමනින් වගකිව යුතුය. එසේම වෘත්තීය සමිතිවලට, ශිෂ්‍ය සංවිධානවලට සහ සිවිල් සංවිධානවලට නිදහසේ කටයුතු කිරීමේ මඟ අහුරා ඇත.

එපමණක් නොව, විපක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ ඉඩකඩ අහුරා තිබේ. පසුගිය පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයේදී ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලමින් අප පක‍ෂය විසින් සංවිධානය කළ "නිදහසේ විලාපය" උද්ඝෝෂණයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම අප පක‍ෂයේ ක්‍රියාකාරිකයින්ට ද ආණ්ඩුවේ මැරයින් යකඩ මුඟ=රුවලින් සහ ගල්මුල්වලින් පහර දෙනු ලැබුවේ අතිශයින් ම්ලේච්ඡ ලෙසය.

කොටින්ම, මේ වන විට යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොවන පාලන තන්ත්‍රයක් බිහි කොට ඇත. අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් මැදිහත් වීමේ අවස්ථාව ජාත්‍යන්තරයට උදා වුණේ ඒ වටපිටාව මතයි.

එපමණක් නොව, යුද්ධය නිමාවීමත් සමඟ අප රටේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇතැයි ජාත්‍යන්තරයෙන් නැගී ආ චෝදනා හමුවේ, 2009 මැයි මස 29 වැනිදා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 12ක් සමඟ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කරනු ලැබ තිබේ. දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් වහා මැදිහත් වන බවටත්, උතුරු නැගෙනහිර මුළුමනින්ම සංවර්ධනය කරන බවටත්, අභ්‍යන්තර අවතැන් වූවන් සම්බන්ධයෙන් වහාම කටයුතු කරන බවටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනය සමඟ හා අනෙකුත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සමඟ ඉතා සමීපව කටයුතු කරමින් සිවිල් යුද්ධයේ බලපෑමට ලක් වූ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා සහයෝගයෙන් කටයුතු කරන බවටත් අප රජය එමගින් ප්‍රතිඥා දී තිබිණ.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අංශයේ සම්බන්ධීකාරක ජෝන් හොම්ස් මහතාටත්, මහලේකම් බැන්කී මූන්ගේ නියෝජිත වෝල්ටර් කිලන් මහතාටත් එම කොන්දේසි අනුව කටයුතු සිදුවන්නේදැයි සොයා බැලීමට මෙරටට පැමිණෙන ලෙසද එමගින් ශ්‍රී ලංකා රජය ආරාධනා කර තිබිණ. එහෙත් මේ දක්වා එම කරුණු සම්බන්ධයෙන් රජය යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබීමද මෙවැනි ජාත්‍යන්තර මැදිහත් වීමකට තව දුරටත් මඟ පාදා තිබේ.

බැන් කී මූන් මහතාගේ විද්වත් කමිටුව සම්බන්ධයෙන් රාජපක‍ෂ ආණ්ඩුව මුල සිටම කටයුතු කළ දෙබිඩි පිළිවෙත කෙරෙහිද මෙහිදී අපගේ සැළකිල්ල යොමු විය යුතුය. එම කමිටුව පත් කළ මොහොතේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලවා, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට 'මාරාන්තික උපවාසයක්' සංවිධානය කළ රජය, අනතුරුව උසස් නිලධාරීන් කණ්ඩායමක් ඇමෙරිකාවට යවා හොර රහසේ විද්වත් කමිටු සාමාජිකයන් හමුවී සාකච්ඡාද පැවැත්විය.

අප රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීම මේ ආකාරයෙන් කැඳවා ගත් රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මානව විරෝධී ක්‍රියාමාර්ග හා අණපනත් යළි නිවැරදි කරන ලෙස රාජපක‍ෂ ආණ්ඩුවට බල කර කියා සිටින අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කටයුතු කරන්නේ නම්, අපි ඒ සඳහා උපරිම සහය ලබා දෙන බවට ද සහතික වෙමු. කෙසේ නමුත්, රාජපක‍ෂ පාලනය ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ නිදහස, මානව අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් නොපැකිළිව පෙරමුණ ගන්නා බවද අවධාරණය කර සිටිමු.

අවසාන වශයෙන් පෙන්වා දිය යුතුව ඇත්තේ, ජාත්‍යන්තරයෙන් එල්ල වන මේ සියළු චෝදනා පසුබිමේ ඇති අපේ ජාතික ප්‍රශ්නයට කඩිනම් දේශපාලන විසඳුමක් සෙවීමේ ඇති හදිසි අත්‍යාවශ්‍යතාවයයි. අනාගතයේ දී වුව මෙවැනි බාහිර මැදිහත්වීම්වලින් තොරව අපේ රටට පැවතිය හැක්කේ සියලූ ජාතීන්ට සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමෙන් පමණි. එසේ නොමැතිව එක්සත් ජාතීන්ගේ කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වා හෝ ජාත්‍යන්තර ප්‍රජාවට එරෙහිව ප්‍රවෘත්ති නිවේදන නිකුත් කොට හෝ මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත නොහැකි බව අපි රජයට දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

කෙසේ වුවද, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත් කළ විද්වත් කමිටුවේ සම්පූර්ණ වාර්තාව ප්‍රකාශයට පත් වූ පසු ඒ සම්බන්ධයෙන් විධිමත් පරිදි අධ්‍යයනයක් කොට රට හමුවේ අපගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අපි බලාපොරොත්තු වෙමු.



Tell a Friend