වසර හයක්‌ තිස්‌සේ වී සහතික මිල වැඩිවී නැහැ

රත්න බී. ඒකනායක

අද පවතින වී මිල එනම් නාඩු කිලෝව රුපියල් 28 කි. සම්බා කිලෝව රුපියල් 30 ට පිහිටෙව්වෙ 2005 දී. දැන් වසර 6 ක්‌ ගෙවිලා. පිටතින් ගන්න දේ අහස උසට නැඟලා. අපේ වී මිල එකම තැන... ගොවි සංවිධාන කියා සිටිති.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ එප්පාවල ගොවි සමිතියේ සභාපති විජිත රත්නමලල මහතා - වී ගොවියාට පවුලේ සියලු කටයුතු කරගන්න තියෙන්නේ වියෑට ගෙඩිය. පවුලේ කෑමට... ලෙඩට දුකට... දරුවන්ට උගන්වන්න... ගමන්බිමන් වලට... මේ හැම දේකටම තියෙන්නෙ වියෑට ගෙඩිය. දැන් නිදහස්‌ අධ්‍යාපනය කියන්නේ බොරුවක්‌. පුංචි පංන්තිවල ඉඳල දරුවන්ට ටියුෂන් දෙන්න ඕන. එක දරුවකුට මාසෙකට පංන්ති ගාස්‌තු රුපියල් දෙතුන් දාහක්‌. ඉගෙනගන්න ළමුන් දෙතුන් දෙනකු හිටියොත්... රුපියල් හත්අට දාහක්‌ මාසෙකට ඕන. බඩු මිලත් අහස උසට. අපට ලුණුයි බතුයි වත් කන්න මදි. වී මිල එකම තැන දැන් අවුරුදු හයක්‌. මේ අවුරුදු හයට රටේ ලෝකෙ මොනතරම් වෙනස්‌කම් වුණාද? අපි ඉතිං නොපෙරළෙන ගලේ පාසි බැඳන්නා වගේ දුක්‌ කම්කටොලු පොදිබැඳගෙන ඉන්නවා.

වී මිල ගැන කතා කළ කැටකාලේ කපුරුබණ්‌ඩා ගොවි මහතා - ගොවි ගෙදරට පිටතින් ගන්න හැම දේකම මිල දැන් තුන් හතර ගුණයකින් වැඩි වෙලා. සීනි කිලෝවක්‌ ගන්න වී කිලෝ 4 ක්‌, පරිප්පු කිලෝවක්‌ ගන්න වී කිලෝ 6 ක්‌, පාන් ගෙඩියක්‌ ගන්න වී කිලෝ 02 ක්‌, පාසල් දරුවකුට පාවහන් කුට්‌ටමක්‌ ගන්න වී කිලෝ 40 ක්‌, ලාම්පුතෙල් බෝතලයක්‌ ගන්න වී කිලෝ 3 ක්‌.. ඔය විදියට ගෙදර වියදමට වී ටික බෙදිලා ගියාම... ගෙදර අය කන්නෙ මොනවද?

එප්පාවල වි.සේ.ස. සමිතියේ සභාපති සරත් චන්ද්‍රසේකර මහතා - වී ගොවිතැනේ දැන් යෙදවුම්වල මිල වැඩියි. අක්‌කරයක්‌ හාන්න ට්‍රැක්‌ටර් කුලිය රුපියල් 6000 ක්‌. බිත්තර වී කිලෝ හතළිහකට රුපියල් 2000 ක්‌. දිනක කම්කරු කුලිය රුපියල් 700 ක්‌. වල්නාශක, කෘමි නාශකවලට රුපියල් 1200 ක්‌. ගොයම් කපා පෑගීමට රුපියල් 8000 ක්‌. පොහොරවලට 1400 ක්‌. ඔය ඔක්‌කොම එකතු වුණාම වියදම රුපියල් තිස්‌දාහක්‌ විතර වෙනවා. නාඩු වී ඉස්‌සොත් රුපියල් 44,000 ක්‌. සම්බා වී ඉස්‌සොත් රුපියල් 52,000 ක්‌ ගන්න පුළුවන්. වියදම ගියාම ගොවියගෙ මාස හයක කුලිය ගියාම ඉතිරිවෙන දෙයක්‌ නෑ. වියදම පියවාගෙන ගොවියාට ගොඩඑන්න නම් වී කිලෝවක මිල රුපියල් 40 ක්‌ වත් කළ යුතු වෙනවා.

යකල්ලේගම තරුණ ගොවියකු වූ පියල් මහින්ද මහතා - අද ගොවිතැන් කරල ඵලක්‌ නෑ. අසනීපයක්‌ වෙලා චැනල් එකකට ගියොත් දොස්‌තර කඩෙන් එළියට බහින කොට රුපියල් දෙතුන් දාහක්‌ වෙලා. µdමසියකට ගියොත් සාක්‌කු ශුද්ධයි. සති පොළකට ගියොත් සාක්‌කුව හිස්‌ වෙනවා. සාමාන්‍ය අපට කොතැනකින් වත් සැනසීමක්‌ නෑ. හැම තැනම අපිව හූරා කන යක්‌කු. වී මිලවත් ටිකක්‌ වැඩි කළොත් වේලක්‌ ඇර වේලක්‌වත් කාලා ජීවත්වෙන්න පුළුවන්.

පවතින වියදම්වලට සාපේක්‍ෂව ගොවීන්ට පොහොර ටික පමණක්‌ අඩු මිලට දුන් තරමින් වී ගොවියන්ගේ ආර්ථිකය ගොඩගත නොහැකි බව ඔවුන් සමග කළ කතාබහෙන් පෙනී යයි.

ගොවියා සැනසීමට වී මිල වැඩි කළොත් පාරිභෝගිකයාට රුපියල් හැටට - හැත්තෑවට සහල් ලබාeනීමට නුපුළුවන. වී කිලෝව රුපියල් 30 ට තිබුණත් සහල් කිලෝවක්‌ නිපදවීමට රුපියල් 45 ක වී වුවමනාවෙයි. වී කිලෝව රුපියල් 40 ක්‌ කරනු ලැබුවහොත් සහල් කිලෝවක මිල රුපියල් සියය දක්‌වා ඉහළ නඟී. එයින් පාරිභෝගිකයා පීඩාවට පත්වේ

Tell a Friend