ජනනේන්ද්‍රිය අතින් ගෙන පැමිණි මිනිසාගේ අලුත්ම කතාව




මීට මාස තුනකට පෙර එනම් 2013.10.07 වැනිදා කොළඹ ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයට පෙරවරු 8.30 ට පමණ ඇතුළත් කරනු ලැබූ ජනනේන්ද්‍රිය තියුණු ආයුධයකින් සම්පූර්ණයෙන්ම සිරුරින් වෙන්වන ලෙස කපා දැමීමට ලක්‌වූ පුත්තලම ප්‍රදේශයේ පදිංචි එක්‌දරු පියා ගැන මුළු රටේම අවධානයට ලක්‌විය. මෙවැනි අනතුරක්‌ අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයටද මෙය අලුත්ම අත්දැකීමක්‌ව තිබිණි. මෙම අනතුරට වඩා බරපතළ සහ සංකීර්ණ අනතුරු සඳහා සැත්කම් කර තිබුණ ද මෙලෙස ජනනේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම සිරුරින් වෙන්ව සහ එම වෙන්ව ගිය ජනනේන්ද්‍රිය ආරක්‍ෂා කාරී ලෙස රැගෙනවිත් තිබූ පළමු රෝගියා මොහුය.

ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා, උපප්‍රධාන විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක සහ ක්‍රිෂාන්ත බෙනරගම ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අරුණජිත් අමරසිංහ සහකාර විශේෂඥ වෛද්‍ය කපිල මෙන්ඩිස්‌ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් වන රවීන්ද්‍ර රාජපක්‍ෂ ගයාන් සුරේන්ද්‍ර, චම්පිකා අමරසිංහ අනුෂා ගුණසේකර නිර්වින්දන වෛද්‍යවරුන් වන සුනේත්‍රා රත්නසිරි, විදත් බාලසූරිය සහ පාතිපන්ද හෙදියන් සාත්තු සේවිකාවන්ද සමග විස්‌සකට වැඩි කාර්ය මණ්‌ඩලයක්‌ සමග පුරා පැය දොළහකට ආසන්න කාලයක්‌ මෙම රෝගියාගේ කැපී වෙන්වූ ජනනේන්ද්‍රීය බද්ධ කිරීමේ සැත්කම සිදු කළහ.

සැත්කමේ සාර්ථක අසාර්ථක බව තීරණය කළ හැක්‌කේ රෝගියා සුවය ලබන විටදීය. එබැවින් අපි මෙම සැත්කමට සම්බන්ධවූ ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අරුණජිත් අමරසිංහ මහතාගෙන් විමසුවෙමු.

දැනට සතියකට පමණ පෙර රෝගියා සායන ප්‍රතිකාර සඳහා පැමිණියා ඔහු පවසන විදියට පෙර පරිදි ජනනේන්ද්‍රියේ ක්‍රියාකාරිත්වය සිදු වෙනවා. ලිංගය ප්‍රාණවත් වෙන බව ඔහු අපට පැවසුවා.

මුත්‍රා පිටකිරීමත් සාමාන්‍ය පරිදි සිදුකරනවා. හදිසි අවශ්‍යතාවක්‌ ඇති වුවහොත් භාවිත කරන්න කියා අප අමතර මුත්‍රා බටයක්‌ සම්බන්ධකර තිබුණා. එය ඔහුට භාවිත කරන්න අවශ්‍යතාවක්‌ මතුවෙලා නැහැ. එනිසා එය අප ළඟදීම ඉවත් කරනවා.

දැන් අපි ඔහුගේ හෝමෝන ක්‍රියාකාරිත්වය සහ ශුක්‍රාණු නිපදවීම පිළිබඳව පරීක්‍ෂා කර ගෙනයනවා. අපට හිතෙන්නේ එයත් සාර්ථකයි කියලා. ඒ අනුව අපගේ සැත්කම සම්පූර්ණයෙන් සාර්ථක වූ බවට තහවුරු කර ගත හැකියි.

තමාට සිදුවූ අනතුර ගැන රෝගියා ඉන්නේ කම්පනයකින්. ඔහු රැකියාව ලෙස සිදුකළ බ්ලොක්‌ ගල් සෑදීමේ වෘත්තියේ තවම නිරතවන්නේ නැහැලු. තමාගේ අම්මාගේ නිවසේ පදිංචිව ඉන්නවා. නමුත් දැන් ඔහුට කිසිදු බියක්‌ නැතිව බරවැඩ කරන්න පුළුවන්. අභ්‍යන්තර තුවාල සියල්ල සුවවෙලා තියෙන්නේ. බාහිර තුවාල කිහිපයක්‌ තවම සම්පූර්ණයෙන් සුව වෙලා නැහැ. එයත් ඉතා ඉක්‌මනින් සුවවේවි.

ඔහු මෙම අනතුර සිදුවීම ගැන කියන්නේ මොනවද?

ඇත්තටම ඒ ගැන ඔහු ඉන්නේ කම්පනයකින්. එනිසා අපත් ඔහුගෙන් ඒ ගැන විමසන්නෙ නැහැ. අප අපගේ වගකීම පමණක්‌ ඉටුකරනවා.

මෙවැනි සැත්කමක්‌ සාර්ථකවීම පිළිබඳව අප සියලුදෙනාම ආඩම්බර විය යුතුයි. අපටත් දක්‍ෂ පළපුරුදු විශ්වකර්ම වෛද්‍යවරුන් සිටින බවත් ඒ සඳහා පහසුකම් ජාතික රෝහලේ පැවතීම ගැනත් ශ්‍රී ලාංකිකයන් ලෙස අවංකවම අප සතුටු විය යුතුයි. නමුත් මෙවැනි අනතුරු සිදුකර ගැනීම හෝ කිසිවකුටත් මෙවැනි අනතුරක්‌ සිදුවීම ගැන අප දුක්‌විය යුතුයි.

හදිසි අනතුරක්‌ සිදුවීම වළක්‌වා ගැනීම අසීරුය. නමුත් මෙවැනි අනතුරු වළක්‌වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ යහපත් දිවියක්‌ ගත කිරීමය.

උපාලි ද සේරම්
දිවයින