"ප්‍රභූ" විතරක්‌ ජීවත් වුණොත් මදැයි!

දිවයින කතුවැකිය

කොළඹ සර්පන්ටයින් පාරේ යතුරු පැදියකින් ගමන් කළ විශ්‍රාමික ඉංජිනේරුවකු සහ ඔහුගේ බිරිය යටකරගෙන පලා ගිය ඇමැති ආරක්‍ෂක රිය ගැන ඊයේ (01 වැනිදා) අපි මුල් පිටුවේ මුල් පුවත ලෙස පළ කළෙමු. අනතුරු නිසා කාන්තාවගේ පාදය හතරපළකින් කැඩුණු අතර ඉංජිනේරුවා මළේ ය. අනතුර සිදු වන අවස්‌ථාවේ දී අදාළ ඇමැතිතුමා හෙවත් එස්‌. බී. දිසානායක මහතා හතර මායිමක සිට නැත. එහෙත් ආරක්‍ෂක රථයේ සිටි මිනීමරු රියකරුවා රිය පැදගෙන ගියේ ඇමැතිතුමා සමඟ යානවාක්‌ බඳුව ඉගිලීගෙන ය. පසුව අත්අඩංගුවට ගන්නා ලද අවස්‌ථාවේදී රියෑදුරා කියා ඇත්තේ යතුරු පැදිය රියෙහි ගැටෙනු නො දුටු බව ය. අනතුර සිදු වන අවස්‌ථාවේ දී රියෑදුරා බීමතින් සිටින්නට ඇති බවට අපි යෝජනා කරමු. යතුරු පැදියක්‌ තම රථයේ ඉදිරිපස ගැටුණු බව නො පෙනෙන්නේ බේබද්දකුට පමණි.

ඉහත සඳහන් සිද්ධිය මගින් පෙනී යන්නේ ප්‍රභූ ආරක්‍ෂක රථ, මේ රටට වසංගතයක්‌ වී ඇති බව ය. පසුගිය කාලයේදී අවස්‌ථා ගණනාවකදී ම ප්‍රභූ ආරක්‍ෂක රථ ප්‍රභූවරයා සිටියත් නැතත් මිනිසුන් යටකරගෙන පලා ගොස්‌ තිබුණි. දිනක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පාරේ තනිව රිය පදවාගෙන යද්දී ප්‍රභූ ආරක්‍ෂක රියක්‌ වලිගය කරකැවූ මීහරකකු නාස්‌ පුඬුවලින් දුම් පිටකරමින් එන්නාක්‌ බඳුව ඉදිරියට ආවේය. පසුව මේ ගැන ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ විවේචනය කළේ ය. මේ රටේ සිටින ඇමැතිවරුන් සියලුම දෙනාට ප්‍රභූ ආරක්‍ෂක රථ තිබේ. මේ ඇමැතිවරුන් සියලු දෙනා එකම දවසේ ගමන් යන්නට ගියොත් මුළු රට නන්දිකඩාල් කලපුව හෝ වෙල්ලමුල්ලිවෛක්‌කාල් යුද සමයේදී පැවැති භීෂණකාරී තත්ත්වයට පත්වනවා ඇත.

ඇමැතිවරුන්ට ආරක්‍ෂාව අවශ්‍යද? අපගේ වැටහීම වන්නේ ඇමැතිවරුන් කිහිප දෙනකුට හැර අන් අයට කිසිදු ආරක්‍ෂාවක්‌ අවශ්‍ය නැති බව ය. ඔවුන් ආරක්‍ෂා විය යුත්තේ ඔවුන් අතින් අපහරණය වූ මිනිසුන් අතිනි. (මෙය අදාළ වන්නේ එවැනි අපහරණ කටයුතුවල නිරත වූ ඇමැතිවරුන්ට පමණි.) ඔවුන් විසින් දෙන ලද ව්‍යාජ ඡන්ද පොරොන්දු නිසා වල්මත් වූ ඡන්ද අපේක්‍ෂකයන්ගෙන් පමණි. මේ ආරක්‍ෂාව තනි පොලිස්‌ රාළහාමි කෙනකුගෙන් සපයා ගත හැකි ය. මීට වඩා ලොකු උගුල්වලින් කදිමට බේරී පැනගත් දේශපාලනඥයන් අප අතර නො සිටිත් ද? සම්බාහනාගාරවලදී පොලිසියට හසු වී කනෙන් රිංගා ගිය මැති ඇමැතිවරු අප අතර නො සිටිත් ද? විශාල මුදල් කඳුවලට යට වී සිට සියලු දෙනාගේ කනින් රිංගූ ඇමැතිවරුන් අප අතර නො සිටියේ ද? එමට සිටියහ.

එසේ නම් කොටි තර්ජන කිසිවක්‌ නැති ඇමැතිවරුන්ට මෙතරම් ආරක්‍ෂාව කුමකට ද? අපගේ වැටහීම වන්නේ මෙය එක්‌තරා විකෘති මානසික තත්ත්වයක්‌ බව ය. වැලේ වැල් නැතිව වේලි වේලී සිට මැති ඇමැති තනතුරු ලද පසු තමා වටා පිරිස රොක්‌වන ආකාරය දැකීමටද, තමාට යන යන තැන සිටින මිනිසුන් "සර්" කියනු දැකීමට ද තමා වටා ආරක්‍ෂක වළල්ලක්‌ තිබෙනු දැකීමට ද පැජරොවේ හෝ. බී. එම්. ඩබ්ලිව්. නිල රථයේ පිටුපස තමා හිඳගෙන යන විට ඉදිරියෙන් හා පිටුපසින් ආරක්‍ෂක රථ දෙකක්‌ යනු දැකීමට ද ප්‍රියකරන දේශපාලනඥයෝ අප අතර සිටිති. මෙබඳු අයට ආරක්‍ෂාව සැපයීම සඳහා ආරක්‍ෂකයෝ දහස්‌ ගණනක්‌ වෙති. එසේම මෙබඳු අය පිරිවරා ගෙන යැමට රථ තුන්හාරසියයක්‌ වෙන් කර තිබේ. දැනට මේ රටේ ආරක්‍ෂාවට අවශ්‍ය වන්නේ ජනාධිපතිතුමාටත්, සදාකාලික කොටි ඉලක්‌කයක්‌ වූ ආරක්‍ෂක ලේකම්ටත් තවත් ඇමැතිවරු එක්‌කෙනකු හෝ දෙදෙනකුටත් පමණි. සෙසු මැති ඇමැතිවරුන් මහපාරේ ඇවිදිමින් සිටියත් කවුරුවත් ඔවුන් ගණන් නො ගන්නවා ඇත.

මැති ඇමැතිවරුන් පාරේÊයන විට පාරවල් වසන්නට සිදු වන්නේ නම් ඔවුන් පාරේ නොගොස්‌ ගෙදර සිට රාජකාරි කළ යුතු බවට මෙයට දෙවසරකට පෙර නවදිල්ලියේ විනිශ්චයකාරවරයකු නඩු තීන්දුවකින් නියම කළේ ය. එය විදේශික අත්දැකීමකි. ඒ හා සමාන නො වුණත් ආරක්‍ෂක ප්‍රශ්නයට අදාළ දේශීය අත්දැකීමක්‌ මෙසේ යá ළඟදී නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු ආරක්‍ෂක රථ, ආරක්‍ෂක මෝටර් බයිසිකල් පිරිවරාගෙන කොළඹ ගංගාරාමයට ගියේය. එතුමා පන්සල තුළට යන අතර දුටුවේ කුමක්‌ ද? යාබද රථ ගාලේ රිය නවත්වා තනිවම හා පයින්ම පන්සල වෙත එන පොලිස්‌පති ඉලංගකෝන් මහතා ය.

හැදෙනවා නම් හැදෙන්නට මේ පාඩම ම ඇති.


Tell a Friend