කතානායකතුමනි, ඔබ එය කළ යුතු යි..!

 රනිල් වික්‍රමසිංහ

ගරු කතානායකතුමෙනි, මම මේ අවස්ථාවේ මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී මහත්මියගේ නිදහස් කිරීම පිළිබඳවත් පෙන්වා දෙන්නට කැමතියි. මේ ලබා දුන් නිදහස තිරසාර එකක් වනු ඇතැ යි ද, එතුමියට මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම සඳහා ක්‍රියා කළ හැකි වනු ඇතැ යි ද මා සිතනවා.

එසේම මියැන්මාර ආණ්ඩුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට ක්‍රියා කරනු ඇතැ යි ද මා බලාපොරොත්තු වනවා. අවුන් සාන් සූ කී සිද්ධියෙන් තහවුරු වන සත්‍යය වන්නේ ප්‍රජාතාන්ත්‍රික අගයයන් සැම දා සිර කර තැබිය නොහැකි බව යි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ අයිතියක්. ස්වෛරීභාවයේ මුවාවෙන් එය ජනතාවගෙන් උදුරා ගත නොහැකි යි. මේ ජගත් බලවේගය හා අගයයන් සිවිල් සහ දේශපාල අයිතිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියෙන් හා පොදුරාජ්‍ය මාණ්ඩලීය මූලධර්මවලින් තහවුරු කර තිබෙනවා.

ඒ නිසා කරු කතානායකතුමෙනි, මේ පසුබිම මත මෙය ජෙනරාල් සරත් ෆොන්සේකාට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නෙවෙයි. ම් කරුණු ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිමාසිකම් පාගා දැමීම, විහේෂයෙන්ම මාධ්‍ය මර්දනය හා වන්නියේ අවතැන් වී සිටන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන්ද බලපානවා. මේ ප්‍රශ්න විසඳීමට අවංක සංහිදියාවක් අවශ්‍යයි. එය කොමිසන් සභා මගින් ඇති කළ නොහැකියි. එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සියළු පක්‍ෂ අතර සම්මුතියකින් පමණයි.

2001 ජූනි 20 වනදා ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් කතානායක අනුර බණ්ඩාරනායක මහතා මෙසේ පැවසූවා.

"කතානායකවරයාගේ හා ව්‍යවස්ථාදායකයේ නිලධාරීන්ගේ කටයුතු පිළිබඳව කවර හෝ අකාරයක පාලනයක් කිරීමට උසාවියට අධිකරණ බලයක් නොමැති වීම ශතක බාගයකට වැඩි කාලයක් තිස්සේ අපගේ ම නීතියෙන් පිළිගෙන ඇත්තකි..” එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායයන් හා බැඳුනු එම තීන්දුවට සැබැවින්ම පදනම් වී ඇත්තේ අපේ ව්‍යවස්ථාවේ 4 වන සහ 67 වන වගන්තිවල සහ පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පණතේ මූලධර්ම යි.

ව්‍යවස්ථාවේ 4 වන වගන්තියට අනුව අධිකරණ බලය පාර්ලිමේන්තුව සතු අතර, ‘පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල’ සම්බන්ධ අධිකරණ බලතල පාර්ලිමේන්තුව විසින් සෘජුව ම ක්‍රියාත්මක කළ යුත්තේ ය. 67 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පණතෙහි විධිවිධානයන්ට අදාළ වන්නේ ය.

එහෙයින් පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු කරුණු සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු වෙනත් කිසිදු අධිකරණයකට අර්ථ නිරූපණ දැක්වීමේ අවකාශයක් නැහැ.

හමුදා අධිකරණ දෙකක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පිළිබඳ දුන් තීන්දු සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තුවේ කරුණු පෙන්වා දුන්නේ මේ පසුබිම යටතේ යි. සැප්තැම්බර 24 වන දා මේ සම්බන්ධ තීරණය කුමක්දැ යි කතානායකතුමන්ගෙන් විමසූ විට ඔබ කීවේ මෙය දැන් අධිකරණය ඉදිරියේ ඇති ප්‍රශ්නයක් බව යි. නමුත් මා අවධාරණය කළේ මෙය අධිකරණයට අයත් ප්‍රශ්නයක් නොවන බව යි. ඒ නිසා කතානායකවරයා ලෙස මේ පිළිබඳ තීරණයක් ලබා දීමට පූර්ණ අධිකාරී බලය ඔබ සතු බව මා පෙන්වා දුන්නා.

ඊට එකඟ වෙමින් ඔබ එදා මෙසේ පැවසූවා. ර්‍ණතමුන්නාන්සෙලා කියපු කරුණු හැම එකක් ගැන ම අධ්‍යයනය කරලා ඕනෑ තීරණයක් ගන්න. මම ඒ ගැන බලන්නම්”

නමුත් පසුව අපට දැනගන්ට ලැබුණේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වී ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යවා ඇති බව යි. එවිට මා ප්‍රශ්න කළේ ඔබතුමන් මේ පිළිබඳ තීරණයක් ලබා දීමට පෙරාතුව එවැනි ලිපියක් මැතිවරණ කොමසාරිස්වරයාට යැවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට අයිතියක් ඇත් ද කියා යි.

නොවැම්බර 10 වනදා මාගේ කතාව අතරතුර ඔබ පැවසූවේ අධිකරණයේ තීරණය එන තුරු අප බලා සිටිය යුතු බව යි. මෙතන දී මූලික ප්‍රශ්නයක් මතුවෙනවා. මම මේ ගරු සභාවේ අදාළ ප්‍රශ්නය මතු කරන අවස්ථාවේ හමුදා අධිකරණ තීන්දු සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වී නොතිබුණු අතර, එතුමන් වෙනුවෙන්් පාර්ලිමේන්තුවට කිසිවෙකු නම්කර තිබුනේද නැහැ. නමුත් ඔබතුමන් මේ පිළිබඳ තීරණයක් ගැනීමට පෙර සියළුම කරුණු අධ්‍යයනය කිරීමට කල් ඉල්ලා ගත්තා. එ නිසා මේ පිළිබඳව ඔබතුමන්ගේ තීරණය ප්‍රකාශ කිරීමට දැන් වුවත් පුළුවන්. ඊට කිසිම බාධාවක් නැහැ. මන්ද, මේ කරුණු අධිකරණය හමුවට පත් කෙරුණේ මේ කරුණු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව ඔබතුමන් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව යි. ඒ නිසා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ මා මතු කළ කරුණු අධිකරණ තීරණ වලට පූර්වයෙන් සිදු වූ ඒවා යි. මා මෙහි දී ක්‍රියා කර ඇත්තේත් ස්ථාවර නියෝගයන් හා ව්‍යවස්ථාවේ 4 වන සහ 67 වන වගන්ති වලට අනුකඣලව යි. අධිකරණයේ ක්‍රියා පිටිපාටීන් යටත් වනුයේ ව්‍යවස්ථාවේ 105 වන වගන්තියට යි. ඊටත් අමතරව පෙන්වා දිය යුත්තේ ශ්‍රේෂ්ඨාධීකරණයේ බලය පහළ උසාවිවලට හා විනිශ්චය සභාවන්ට සීමාවන අතර, එහි බලය කිසිවිටෙක පාර්ලිමේන්තුවට විහිදවිය නොහැකි බව යි. පාර්ලිමේන්තුව පිළිබඳ සියළු තීරණ ගත හැක්කේ පාර්ලිමේන්තුවට පමණ යි.

ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථාපිත කරනු ලැබුවේ ව්‍යවස්ථාව මගින්. ව්‍යවස්ථාව නිර්මාණය කරනු ලැබුවේ පාර්ලිමේන්තුව විසින්. ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණ ලබා දිය හැකි යි. නමුත් රටේ නීතිය වන්නේ ව්‍යවස්ථාව යි. ඒ නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව යි. එසේ නොමැතිව රටේ නීතිය වන්නේ අධිකරණ තීන්දු නොවෙයි. ඒ නිසා පාර්ලිමේන්තුව පිළිබද තීන්දු ගැනීමට අධිකරණයට නොහැකියි.

මා මෙහි දී කරුණු ගණනාවක් මතු කළා.

පළමු හමුදා අධිකරණයේ තීන්දුව මගින් විශ්‍රාම වැටුප, තනතුර මෙන්ම සිය සේවා කාලයත් අහිමි වී සිටි සරත් ෆොන්සේකා මහතාට දෙවන හමුදා අධිකරණය මගින් වසර 30 ක සිර දඬුවම් නියම කිරීම මේ සභාවේ බලය හා වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බව මා මුලින්ම පෙන්වා දුන්නා. තමන් හමුවේ ඇති සාක්‍ෂි වලට පටහැනිව මෙවැනි තීන්දු ලබා දීම මේ සභාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් මෙන්ම මෙම සභාවේ සාමාජිකයෙකුට අභඣත චෝදනා ඉදිරිපත් කිරීමක්.

ඊළඟ ප්‍රශ්නය වන්නේ කතානායකතුමන්ගේ තීරණය ප්‍රකාශ කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් සරත් ෆොන්සේකා මහතාගේ අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමසාරිස් වරයා වෙත දැන්වීම යි.
මේ මූලික කාරණා පිළීබඳ කතානායකවරයා ලෙස තීන්දු ගත යුත්තේ ඔබ යි.

අපේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වලට පදනම් වී ඇත්තේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා සිරිත් විරිත් හා ඒවා උරුම කරගත් අනෙකුත් පොදුරාජ්‍ය මාණ්ඩලීය රටවල පාර්ලිමේන්තු සම්ප්‍රදායනු යි.

ශ්‍රී ලංකාව ද පොදුරාජ්‍ය මාණ්ඩලීය සාමාජිකයෙක්. පොදු රාජ්‍ය මණ්ඩලය කැප වී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී අගයයන් ආරක්‍ෂා කිරීමට යි. යහ පාලනය ස්ථාපිත කිරීමට යි. මානව හිමිකම් සහ පාර්ලිමේන්තු ස්වෛරීත්වය ආරක්‍ෂා කිරීමට යි. පොදුරාජ්‍ය මණ්ඩලයේ මේ ගුණාංග 1971 වසරේ සිංගප්පූරු පඥප්තියෙන් සහ පසුව ටි්‍රනිඩෑඩ් සහ ටුබැගෝ සම්මුතියෙන් තහවුරු කර තිබෙනවා. මේ ප්‍රඥප්තියේ කොටස් කරුවෙකු වූ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මාණ්ඩලීය ගුණාංග සහ මූලධර්ම ආරක්‍ෂා කිරීමට මුළුමනින් ම කැපවී සිටිනවා.

මේ මූලධර්ම නම්
* ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සහ ක්‍රියාදාමයන් වර්ධනය කරන ප්‍රජාතන්ත්‍රවාදය
* මිනිස් අයිතිවාසිකම්
* ඉවසීම, ගරුකිරීම හා අවබෝධය
* බලය බෙදීම
* නීතියේ ආධිපත්‍යය

ඊටත් අමතරව ටි්‍රනිඩෑඩ් සහ ටුබැගෝ හි දී ශ්‍රී ලංකාව අතුළු අනෙකුත් සාමාජික රටවල් ප්‍රජාතාන්ත්‍රික ආයතන සහ ප්‍රජාතාන්ත්‍රික සංස්කෘතිය වර්ධනය කිරීමේ වෑයමට අඛණ්ඩව සහය දක්වන බව ද, ඒ සඳහා පොදුරාජ්‍ය මාණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සමග සමීපව සහ එක්ව ක්‍රියා කරන බව ද යළි අවධාරණය කළා.

දැන් කතානායකතුමෙනි අප තීරණය කළ යුත්තේ මේ මේ ප්‍රජාතාන්ත්‍රික අගයයන් ආරක්‍ෂා කරනවා ද යන්න යි. මා හිතන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ හා පොදුරාජ්‍ය මාණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකයන් ලෙස අප මේ අගයයන් ආරක්‍ෂා කළ යුතු බව යි. එසේ නම් නීතියේ ආධිපත්‍යයේ ආරක්‍ෂකයා ලෙසත්, මිනිස් අයිතිවාසිකම් සංවර්ධනය කරන්නා ලෙසත්, යහ පාලනය නිර්මාණය කරන්නා ලෙසත්, පාර්ලිමේන්තුවට තමන්ට ම ආවේනික ෙක්‍ෂ්ත්‍රයන්හි අධිකාරී බලය හිමිව තිබෙනවා. විධායකයේ Vජු හෝ වක්‍ර ඇඟිලි ගැසීම් හා තර්ජන වලින් තොරව නිදහසේ කටයුතු කිරීමේ හැකියාව ව්‍යවස්ථාදායකයට තිබෙනවා. මා මේ සභාවේ පෙන්වා දුන්නේ අන්න ඒ කරුණු යි.

මේ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් අනුව මෙවැනි කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවට උපදෙස් දීමට නීතිපතිවරයාට බැහැ. එසේ නොකළ යුතු යි.

සරත් ෆොන්සේකා මහතා ගොනු කළ නඩුවේ දී රජය වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිපතිවරයා යි. එලෙස ම තවත් නඩු වල දී සරත් ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේත් ඔහු යි. නීතිපතිවරයා අධිකරණය හමුවේ විනිශ්චිත ප්‍රතිපත්තිය (අඥඵ බ්භඤඪජචබච) සම්බන්ධයෙන් ද කරුණු මතු කර තිබෙනවා. හමුදා අධිකරණයේ තීන්දු පිළිබඳ කුමන හෝ පිළිගත් අධිකරණයක් මගින් සොයා බැලීම විනිශ්චිත ප්‍රතිපත්තිය යටතට ගැනෙන්නේ නෑ. මේ පිළිබඳ තීරණය ගත යුත්තේ අධිකරණය විසින්ම යි. නමුත් මේ තීරණය අධිකරණයට පමණක් නොව පාර්ලිමේන්තුවටත් බලපානවා. එවන් පසුබිමක මා මේ ගරු සභාවේ මතුකළ කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමට නීතිපතිවරයාට අවකාශයක් නැහැ. ස්වාධීන උපදෙස් මෙහි දී අවශ්‍ය වන්නේ ඒ නිසයි. අපි මිල්බුක් පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රියාන්විත වැඩසටහන මගින්, පොදුරාජ්‍ය මාණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය හා එක් වී ප්‍රජාතාන්ත්‍රික සංස්කෘතිය හා සම්ප්‍රදායයන් ඇතුළු මූලික අගයයන් ආරක්‍ෂා කිරීමට ඒ ඒ රටවල ආණ්ඩුවලට සහය වීමේ බලය පොදුරාජ්‍ය මාණ්ඩලීය ලේකම් කාර්යාලයට පවරා තිබෙනවා. පොදුරාජ්‍ය මාණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයෙන් එවැනි සහායක් ඉල්ලීම අපේ ස්වෛරීත්වයට බාධාවක් නෙවෙයි. එයින් සිදු වන්නේ පොදුරාජ්‍ය මාණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය හා ලේකම් කාර්යාලය සහායෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතික ලක්‍ෂණ හා සම්ප්‍රදායයන් තව තවත් ශක්තිමත් වීම යි. අප ඒ සංගමයේ සාමාජිකයන් වී සිටිනවා නම් එවැනි උපදෙසක් ලබා ගැනීම වරදක් නෙවෙයි. අප එය ප්‍රතිෙක්‍ෂ්ප කරනවා නම් ඉන් හැඟී යන්නේ පොදුරාජ්‍ය මාණ්ඩලීය අගයයන් ආරක්‍ෂා කිරීම අප ප්‍රතිෙක්‍ෂ්ප කරන බව යි. එසේනම් අප පොදුරාජ්‍ය මණ්ඩලය හෝ පොදු රාජ්‍ය මාණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය හෝ සමග අප කටයුතු කරනවා යැ යි පැවසීම නිකම්ම නිකම් වචන කීපයක් පමණ යි.

අප එහි සාමාජිකයන් නම් ඒ මූලධර්ම ආරක්‍ෂා කළ යුතු යි. පිළිපැදිය යුතු යි. නැතිනම් සාමාජිකත්වයෙන් ඉවත් විය යුතු යි. ඒ මූල ධර්ම ආරක්‍ෂා කරන්නේ නැති නම් 2012 පොදුරාජ්‍ය මාණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අප බලාපොරොත්තු වන්නේ මොන පදනමකින් ද?

ඒ නිසා අප අනුගමනය කළ යුතු සුදුසු ම ක්‍රියා පිළිවෙත වන්නේ මේ මතුව ඇති කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා විශේෂ මණ්ඩලයක්, ත්‍රිපුද්ගල මණ්ඩලයක් යෝජනා කරන ලෙස පොදුරාජ්‍ය මාණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ලේකම් වරයාගෙන් ඉල්ලා සිටීම යි. මෙවැනි අවස්ථා ගැන පූර්වාදර්ශයන් තිබෙනවා. ගයනාවේ ආණ්ඩුපක්‍ෂයට හා විපක්‍ෂයට තීරණයකට එළැóය නොහැකි වූ අවස්ථාවේ දී ආණ්ඩුව තමන්ට සහය වන ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයට ආරාධනා කළා.

අවසාන වශයෙන් මා ඔබට යළි අවධාරණය කරන්නේ අප මේ මතු කරන්නේ තනි මන්ත්‍රීවරයෙකුගේ අයිතීන් හා වරප්‍රසාද පිළිබඳ ගැටළුවක් නොවන බව යි. මෙය මුළු මහත් පාර්ලිමේන්තුවේ ම අයිතීන් හා වරප්‍රසාද මෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලයේ අගයයන් හා මූල ධර්ම පිළිබඳ ගැටළුවක්.

අද අප බලාපොරොත්තු වන්නේ අපක්‍ෂපාතී තීන්දුවක්. මේ ගරු සභාව ප්‍රජාතන්ත්‍රවාදී අගයයන් ආරක්‍ෂා කිරීමට සූදානම් ද? පොදුරාජ්‍ය මාණ්ඩලීය මූල ධර්ම හා අගයයන් රැක ගැනීමට දායක වීමට සූදානම් ද? එසේනම් අපට ඇත්තේ එක ම එක විකල්පය යි.
ගරු කතානායකතුමනි, ඔබ එය කළ යුතු යි..!

(2010. 11. 16 වැනි දින විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශය )
Tell a Friend