හඡ් දිනයෙන් කියන්නේ අයහපත් දේ දුරලා සිත පිරිසිදු කරගත යුතු බවය

රනිල් වික්‍රමසිංහ හඡ් දින පණිවිඩයෙන් කියයි

පාරිශුද්ධ චින්තනයකින් යුතුව දානමානාදී කටයුතු සිදු කිරීම දෙවියන් වහන්සේගේ ආදරයට හේතුවන්නේ යෑයි යන ඉස්‌ලාමීය ඉගැන්වීමෙන් ආත්මාර්ථකාමීත්වය හා ලෝබය වටා ගොනුවී ඇති වත්මන් ලෝකයට මහඟු පණිවුඩයක්‌ ලැබෙන්නේ යෑයි හඡ් උත්සවය වෙනුවෙන් සුබාශිංසන පණිවුඩයක්‌ නිකුත් කරමින් එක්‌සත් ජාතික පක්‍ෂ හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම පණිවුඩය සම්පූර්ණයෙන් මෙසේය.

හඡ් අවුරුද්ද වෙනුවෙන් ලක්‍ෂ සංඛ්‍යාත මුස්‌ලිම් බැතිමත්හු සියලු බේද දුරලා එකමුතු වී මක්‌කා නගරයට එක්‌රැස්‌ වී තමන්ගේ මෙන්ම සෙසු පුද්ගලයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්ද, ලෝක සාමය වෙනුවෙන් ද ප්‍රාර්ථනාවේ නිරත වෙති.
ඊදුල් අල්හා හඡ් අවුරුද්ද සමරන මේ මොහොතේ එහි ඉතිහාසයෙන් පාඩම් උගත යුතුය යන්න ඉස්‌ලාමීය විශ්වාසයයි. ඉබ්‍රරාහීම් හා ඉස්‌මායිල් නබිවරුන්ගේ පරිත්‍යාගයන් සනිටුහන් කරන මෙම හඡ් අවුරුද්ද දෙවියන්ගේ අණට වඩා උතුම් හා වටිනා වස්‌තුවක්‌ මෙලොව නැති බව කියා දෙයි.

ලෝභය හා කෑදරකම වැනි අයහපත් දේ දුරලා සිත පිරිසිදු කරගත යුතු බව ඉන් සිහිපත් කර දෙයි. මන්ද එවිට කරුණාව, මෛත්‍රිය සහ ආදරය අපේක්‍ෂා කළ හැකි බැවිනි. පාරිශුද්ධ චිත්තයකින් යුතුව තමන් වෙහෙස මහන්සි වී උපයා ගත්දේ දානමානාදී සුබ කටයුතු සඳහා වෙන් කිරීම දෙවියන් වශන්සේගේ ආදරයට හේතු වන බව ඉස්‌ලාමීය ඉගැන්වීමයි. ආත්මාර්ථකාමීත්වය හා ලෝභය වටා ගොනු වී පවතින වත්මන් ලෝකයට එය මහඟු පණිවුඩයකි.

ඒ අනුව මනුෂ්‍යත්වය. ලෝක සාමය හා සංහිඳියාව පැතිරේවා යන්න මෙම උතුම් දිනයේ මුස්‌ලිම් ජනතාවගේ උතුම් වූ ප්‍රාර්ථනයයි. අද දින හඡ් අවුරුද්ද සමරන මෙරට හා ලෝකවාසී මුස්‌ලිම් ජනතාවට සුබ හඡ් අවුරුද්දක්‌ වේවායි මම ප්‍රාර්ථනා කරමි. Tell a Friend