උතුරු නැගෙනහිර ගැටලුවේදී ආණ්ඩුව අසමත්

උ/නැ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීමට ආණ්‌ඩුවෙන් තවමත් කිසිදු වැඩපිළිවෙළක්‌ නෑ - ඩී. එම්. ස්‌වාමිනාදන්

දශක දෙකකට අධික කාලයක්‌ යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාව මේ වනවිට දැඩි ආර්ථික පීඩාවන්ට මුහුණපා සිටින බවත්, ඔවුන් ඒ තත්ත්වයෙන් මුදා ගැනීමට ආණ්‌ඩුව මෙතෙක්‌ කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක්‌ දියත් කොට නොමැති බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා පැවසීය.

උතුරු - නැගෙනහිර සංවර්ධනය කරනවා සේම ඒ පළාත්වල ජනතාව ආර්ථික වශයෙන් ශක්‌තිමත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

උතුරු නැගෙනහිර හා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් මේ බව සඳහන් කළ ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා මෙසේද කීය.

දශක දෙකකට අධික කාලයක්‌ පැවැති යුද්ධය නිසා රටේම ජනතාව දැඩි පීඩාවන්ට ලක්‌ව සිටි බව කිව යුතුයි. දකුණේ ජනතාවට වඩා උතුරු නැගෙනහිර යුද්ධය පැවැති පළාත්වල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටුනා.
උතුරු නැගෙනහිර ජනතාවට යුද බිමේ ජීවත් වීමට සිදු වුණා. එහිදී ඇතැම් අය මිය ගියා. තවත් සමහරුන් කඳවුරුවලට යොමු වුණා. තවත් සමහර අය විදේශගත වුණා. එසේත් නැතිනම් කොළඹට හෝ රටේ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වුණා.

විවිධ දුක්‌ ගැහැටවලට මුහුණපෑ එම ජනතාවගෙන් බොහෝ පිරිසක්‌ මේ වනවිට සිය ගම් බිම් කරා පැමිණෙමින් සිටිනවා. කඳවුරුවල සිටි බොහෝ පිරිසක්‌ නැවත සිය ගම් බිම් වෙත ගෙන එමින් සිටිනවා. දැන් යළිත් මේ ප්‍රදේශ නගා සිටුවනවා සේම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගයට රජය මුහුණපා සිටිනවා.

යුද්ධය අවසන් වීමත් සමග යාපනය, මුලතිව්, කිළිනොච්චි වැනි ප්‍රදේශ මෙන්ම නැගෙනහිර පළාත තුළත් සංවර්ධනයක්‌ ඇති වෙමින් තිබෙනවා. කඩ සාප්පු, මහා මාර්ග, නිවාස ආදිය ඉදිවෙමින් තිබෙනවා. එහෙත් එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවගේ ප්‍රධානතම ප්‍රශ්නය වන ඔවුන් ආර්ථිකමය වශයෙන් ශක්‌තිමත් කිරීම සඳහා තවමත් සාර්ථක පියවර ගෙන නැහැ.
ජනතාව ආර්ථික වශයෙන් ශක්‌තිමත් වනවා නම් නිරායාසයෙන්ම දේශපාලන විසඳුමක්‌ ඇති කරගත හැකියි. ජනතාව ආර්ථික වශයෙන් ශක්‌තිමත් නොකර කුමන ආකාරයේ දේශපාලන විසඳුම් ඉදිරිපත් කළත් ඉන් සාර්ථක ප්‍රතිඵල අපේක්‍ෂා කළ නොහැකියි.

යාපනය දිස්‌ත්‍රික්‌කයේ අද විශාල සංවර්ධනයක්‌ සිදු වෙමින් තිබෙනවා. නමුත් එහිදී ජනතාවගේ කටයුතු එක්‌ පක්‍ෂයකට හෝ එක කණ්‌ඩායමකට පැවරීම නොකළ යුතුයි. ජනතාවට යමක්‌ ලබා දෙනවා නම් හෝ යම් පියවරක්‌ ගන්නවා නම් එය පොදුවේ ශ්‍රී ලංකා රජය විසින් කළ යුතුයි. එසේ නොමැතිව ඒ වගකීම එක්‌ පක්‍ෂයකට හෝ කණ්‌ඩායමකට භාර දීමෙන් අනවශ්‍ය ප්‍රශ්න මතුවිය හැකියි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල නව කර්මාන්ත ශාලා, හෝටල්, ගොඩනැඟිලි මෙන්ම සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී හා රාජ්‍ය ආයතනවලට ද එම ප්‍රදේශවල ජනතාව බඳවා ගත යුතුයි.
ගුරු වෘත්තිය, පොලිසිය හා අනෙකුත් රැකියාවලට එම ප්‍රදේශවල ජනතාව හැකි පමණින් බඳවා ගැනීමෙන් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි අතර එසේ නොකර ඒ ප්‍රශ්න උඩු දිවීමට ඉඩ දීමෙන් තව තවත් ජනතාව පීඩාවට පත්විය හැකියි. ඒ නිසා එවැනි තත්ත්වයන් නිර්මාණය වීමට ඇති ඉඩ ප්‍රස්‌ථා සංවර්ධන ක්‍රියාදාමයට සමගාමීව අහුරා දැමිය යුතුයි.

යාපනය දිස්‌ත්‍රික්‌කයේ ජීවත් වන ජනතාවගෙන් බහුතරය ද්‍රවිඩ ජනතාව බැවින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ දී රටේ අනෙකුත් දිස්‌ත්‍රික්‌කවල ජනතාව සමග සන්සන්දනය නොකර විශේෂ අවධානය යොමුකර ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි.

මේ වන විට රටේ සමස්‌ත ජනතාව දැඩි ජීවන අර්බුදයකට මුහුණපා සිටිනවා. යුද්ධය අවසන් වූ වහා සහන ලබා දෙනු ඇතැයි ජනතාව අපේක්‍ෂා කළා. ඒ සහන කිසිවක්‌ ලබා දීමට මේ ආණ්‌ඩුව ක්‍රියා කළේ නැහැ. ආණ්‌ඩුව සිදු කළේ බදු බර ඉහළ දමමින් දිනෙන් දින බඩු මිල ඉහළ දැමීමයි.

එය කෙතරම්ද කිවහොත්, 2004 දී රුපියල් 27 වූ හාල් කිලෝව මේ වනවිට රුපියල් 70 දක්‌වා ඉහළ ගොස්‌ තිබෙනවා. එදා රුපියල් 101 ක්‌ වූ මිරිස්‌ කිලෝව අද රුපියල් 205 යි. එදා 75 ක්‌ වූ පරිප්පු කිලෝව අද 190 යි. එදා පොල් ගෙඩියක්‌ රුපියල් 13 යි. අද රුපියල් 50 යි. රුපියල් 13 ක්‌ වූ පාන් රාත්තලක්‌ අද රුපියල් 50 යි. එදා රුපියල් 5 ට පැවැති බිත්තරයක්‌ අද රුපියල් 15 යි. මේ ආකාරයට ලුණු කැටයේ සිට සෑම ආහාර ද්‍රව්‍යයකම හා භාණ්‌ඩයකම මිල ඉහළ ගොස්‌ තිබෙනවා. මෙවැනි තත්ත්වයක්‌ මත ජනතාවගේ ආදායම් මාර්ග වැඩි නොවන්නේ නම් ඔවුන් ජීවත් වන්නේ කෙසේද? Tell a Friend