The Most/Recent Articles

Showing posts with label සංස්කෘතික. Show all posts
Showing posts with label සංස්කෘතික. Show all posts

'නීල සංධ්වනිය' 31 වැනිදා අල්ගම ඇල්ලේදී




ගිනිගන්නා ඇමසන් වනය ගැන කතාකරන අප ජල සම්පත මෙන්ම ගහකොළ, සතා සිවුපාවුන් තුරන් වී නොයන්නට සිදුකරන්නේ කුමක්ද ?. ඒ වෙනුවෙන් මතු පරම්පරාවට කියාදෙන්නට අවශ්‍ය ආකල්පමය වෙනස ඇතිකරන්නේ කෙසේද ?. 'නීල සංධ්වනිය', සොබාදහමේ අපූර්වත්වය කියාදෙන, ගහකොළට ආදරය කරන්නට කියාදෙන ප්‍රාසාංගික අත්දැකීමකි. සාගර විජේසිංහගේ සංගීත නිර්මාණයක් වන 'නීල සංධ්වනිය', 'ඔපෙරා පාර්ක් පදනම' විසින් සංවිධානය කරන අතර මෙය එළඹෙන අගෝස්තු 31 වැනි සෙනසුරාදා පස්වරු. 3. 00 ට අල්ගම ඇල්ලේදී දියත්වීමට නියමිතය.  


මෙරට සමාජයට 'නීල සංධ්වනිය' වැනි නිර්මාණ වඩ වඩාත් අවශ්‍ය ඇයිදැයි යන්න ගැන පැහැදිලි කරන සාගර විජේසිංහ පවසන්නේ මෙවැනි අදහසකි. 


'නීල සංධ්වනිය' අවශ්‍ය ඇයි ? 

''ලාංකීය සමාජයේ නීල සංධ්වනියක සංකල්පමය අවශ්‍යතාව දැඩිව බලපෑම එය කලාත්මක වශයෙන් ප්‍රබල ස්ථානගතවීමකට හේතුවිය. නූතනයේ අප ජීවත්වන්නේ ඉතා තරඟකාරී කාර්යබහුල සමාජයක නීල සංධ්වනිය තුළින් නූතන ප්‍රේක්ෂකයාට හෝරා දෙකක් තුළ කායික හා මානසික සන්සුන් බවකට ආරාධනා කරනවා.

එම ලබන අපූර්ව අත්දැකීම ප්‍රේක්ෂකයාගේ මුළු ජීවිත කාලය පුරාවටම අමතන නොවන සුවිශේෂී සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පත්කිරීමයි නීල සංධ්වනියේ අරමුණ පරිභෝජනවාදී ආර්ථික රටාවක් තුළ පරිසරිය විශාල තර්ජනයකට මුහුණපාමින් සිටින යුගයක නීල සංධ්වනිය තුළින් සුන්දර පරිසරයක් රැකගැනීමේ වටිනාකම සංගීතමය රසභාවයන් ප්‍රේක්ෂක මනසේ තැන්පත් කිරීමට හැකිවීම ගැන ඇත්තේ සතුටකි. එය වඩාත් උද්දීපනය කිරීමට මෙම ප්‍රසංග මාලාව පවත්වනු ලැබූයේ සොබාව සෞන්දර්යයෙන් අනූන සුන්දර එළිමහන් පරිසර තුළ ඉලෙක්ට්‍රොනික ශබ්ද උපකරණ වලින් තොරවය. කිසිදා කිසිවකු බලාපොරොත්තු නොවන ස්ථානයක පැවැත්වුණු නීල සංධ්වනිය වාර හයක් මේ වනවිට ප්‍රාසාංගික අත්දැකීමක් බවට පත්කර ඇත.

'නීල සංධ්වනිය' සජීවි වාද්‍ය වෘන්ද ප්‍රසංගයක් 

සංගීතමය වශයෙන් නීල සංධ්වනිය වෙනස් තැනක ස්ථානගත වන්නේ එහි ඇති ආකෘතිමය ස්වභාවයේ සුවිශේෂත්වයයි. නිරන්තරයෙන් ඕනෑවටත් වඩා ගීත, මාධ්‍ය මගින් බලෙන් ශ්‍රවණය කරවන යුගයක කිසිදු ගීත ගායනාවකින් තොරව ශ්‍රාවකයා තෘප්තිමත් කරන සජීවි වාද්‍ය වෘන්දයක් ප්‍රසංගයක් වන මෙය පරිසරය හා සංගීතය අතර ඇති සබැඳියාව අර්ථ ගන්වයි. ජනප්‍රිය ගායක ගායිකාවන් නොමැතිව වර්තමානයේ සංගීතය ප්‍රසංගයක් සාර්ථක කරගත හැකිද යන්න විශාල අභියෝගයකි.

සෑමවිටම  පහසුව බලාපොරොත්තු වන ප්‍රේක්ෂකයා විශේෂ සූදානමකින් දුර කතර ගෙවා පැමිණිය යුතු ගමන් මාර්ගයක හුදකලා තැනක පවත්වන ප්‍රසංගයකට ප්‍රේක්ෂකයින් ගෙන්වා ගැනීම ද එම දුෂ්කර ස්ථාන වලට ග්‍රෑන්ඩ් පියානෝවක් වැනි සංගීත ලෝකයේ බරින් වැඩිම සංගීත භාණ්ඩයක් රැගෙන යාම ද අභියෝගයකි. සොබාදහමේ සුන්දරත්වය විඳිමින් විවෘත අවකාශයක් තුළ අව්, වැසි ආදිය මගහරිමින් නීල සංධ්වනිය ප්‍රසංගයක් සාර්ථකව ඉදිරිපත් කිරීම ද සිදුවන්නේ ඕනෑම බාධකයක් හමුවේ සොබාදහමට අවනත වෙමිනි.

සංගීතමය හැකියාව මිනිත්තු 3-4 කට කොටු කරන්නේ ඇයි ?

ගීතය මුල්කරගත් ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ගායකයාගේ සිවිල් බලය පද රචකයාටත් සංගීත නිර්මාණ ශිල්පියාටත්, වාදකයාටත් සාපේක්ෂ්ව අධි නිෂ්චයවීමක් දක්නට ලැබේ. නෛතිකව ගීතයක් පද රචකයාටත්, තනු රචකයාටත් වැඩි අයිතියක් තිබුණත් සාමාන්‍ය ව්‍යවහාරයේ ගීතය නම් කරන්නේම අසවලාගේ ගීතය යනුවෙන් ගායකයාගේ නමිනි. ලංකාවේ බොහොමයක් සංගීතඥයන්ද ඊට රුකුල් දෙමින් තමන්ගේ දැවැන්ත සංගීතමය හැකියාව මිනිත්තු 3 – 4ක ගීතයකට පූජා කරමින් සිටිති. සංගීතඥයින් පරම සංගීතයක් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. භාෂාවකට හිරවී නිර්මාණයක යෙදෙනවාට වඩා සංගීතඥයෙකුට සංගීත ස්වර වලින් පමණක් මුළු සමාජයක්ම විශ්වයට පත්කළ හැකිය. එය ජාතිභේදයෙන් ඔබ්බට ගිය නිදහස් කලාත්මක අවකාශයකි. සංගීතය යනු ලෝකයේ මානවයා ලැබූ පොදු ජයග්‍රහණයකි. එහි රුව ගුණ රසවිඳීමට ජාතිකත්වය ප්‍රශ්නයක් කරගත යුතු නැත. හරිත සංධ්වනිය හැමවිටම මෙම තේමාවේ රැඳී සිටියි. දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂක සහභාගීත්වයක් ද ලැබීමට හරිත සංධ්වනියට වරම් ලැබෙන්නේ එබැවිනි. මෙය වාදකයන්ගේ සූක්ෂ්ම සංගීත භාවිතාවක් ප්‍රේක්ෂකයාට හමුවන ගෙනෙනා අවස්ථාවකි.

නිහඬතාව ගැන කතාකරමු


එමෙන්ම, ලාංකීය සමාජය තුළ නීල සංධ්වනිය මගහැරයාමට නොහැකි වී ඇත්තේ ‘ගොඩනංවන ලද නිහඬතාවට’ (Constructed Silence) මුල් තැන දෙන බැවිනි. මුළු ලංකාවට හඬ ගැන කතාකරන විට මෙම ප්‍රකාශය නිහඬතාව ගැන කතාකරයි. මුළු ලංකාවම ගීතය ගැන කතාකරන විට මෙම ප්‍රසංගය සංගීතය ගැන කතාකරයි. නීල සංධ්වනියේ දාර්ශනික ගැඹුර ලෙස මා දකින්නේ ඉහත සඳහන් කළ නිර්මාණාත්මකව ගොඩනංවන ලද නිහඬතාවයි. එම ශ්‍රවණය කළ හැකි නිහඬතාවයකි. මෙහි ස්වභාව සෞන්දර්යෙන් අනූන මානවයා විසින් උපදවන කෘතිම ශබ්ද වලින් තොර නිශ්ශබ්දතාවට ඉතා ආසන්න පරිසරය නැමති කැන්වසය තුළ සංගීතමය රේඛා නැමති පින්සල් පහර හරඹ කරන අවස්ථාවක් ප්‍රේක්ෂකයා අත්පත් කරගනී.

පරිසරය තේමා කරගත් මෙම නිර්මාණය දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරයේ උන්නතිය උදෙසාා ද යොදාගත හැක.





'හරිත සංධ්වනිය' 

'නිර්නාමික පිවිසුම' - ෆයිනස් පරිසර හානිය දුටු අන්දම


'නිර්නාමික පිවිසුම' විසින් දියත් කළ ද්‍රෘෂ්‍ය කලා සංචාරයක නවමු අත්දැකීම්


''ස්වාභාවික පරිසරය හා මිනිසා අතර ඇත්තේ වෙනස් නොවන සබඳතාවකි. නමුත් සමාජ-පාරිසරික පද්ධතිවල වර්තමාන ස්වභාවය හා සංකීර්ණතාව අතීතයට වඩා බෙහෙවින් අනිශ්චිත ස්වරූපයක පවතී. මධ්‍යම පළාතේ ඉහළ භූමි ප්‍රදේශවල වගා කර ඇති ‘ෆයිනස්’ නැමති ආගන්තුක ශාකයෙන් සිදුව ඇති හානිය එය ට කදිම උදාහරණයකි. මහපොළව ෆයිනස් ශාකයට දැක් වූ ප්‍රතිචාරය කල්ගත වී විපාකයක් ලෙස පැමිණිම හා ඒ පිළිබඳ පූර්ව අවබෝධයක් නොමැති වීම යන කාරණා හේතුවෙන් එම ප්‍රදේශවල වාසය කරන වර්තමාන ප්‍රජාව මහත් විපතකට මුහුණපා සිටිති.


ෆයිනස් රෝපණය කිරීමේ මූලික අරමුණ වී තිබෙන්නේ පාංශු ඛාදනය වලක්වා ගැනීම වුවද මේ වන විට වගා භූමියේ මතුපිට කුඩා හා විශාල ප්‍රමාණයේ ගල් පමණක් මතුව තිබෙනු දැකගත හැකියි. එය කිසිම සතෙකුගේ වාසය ට සුදුසු පරිසර තත්ත්වයක් නොවේ. ෆයිනස් කැලෑ ගිණි ගැනීමෙන් පරිසර පද්ධතියට හා ජෛව විවිධත්වයට සිදුවන හානිය ද විශාලය. ඉදිකටු වැනි සියුම් තුඩු සහිත ෆයිනස් පත්‍රවලට ශාකභක්ෂකයින්ගේ රුචියක් නොපෙන්වයි. බෙහෙත් පැළෑටියක්, වටිනා ශාක විශේෂයක්, ආහාරයට ගත හැකි අල වර්ගයක්, පළතුරු වර්ගයක් හෝ එහි දක්නට නැත. ප්‍රජාවගේ අදහස වන්නේ විධිමත් ක්‍රමවේදයකට එම වගාව ඉවත් කළ යුතුය යන්න යි. ඔවුන් පෙන්වා දෙන්නේ ජල හි`ගයට ද මෙම වගාව මූලික හේතුවක් වූ බවයි. එය වචන කිහිපයකින් විස්තර කළ හැකි දෙයක් නොවේ. ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇත්තේ එම පරිසරය තුළ එදිනෙදා ජීවිතය ගත කරන ජනතාවට යි.

මෙම සංචාරය තුළදී ෆයිනස් වගාවෙන් සිදුව ඇති හානිය පිළිබඳ දෘශ්‍ය කලා ශික්ෂණයෙන් සිදුකළ හැකි මැදිහත්වීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත. කලාත්මක රසය සියුම් හා රළු වස්තුවල සුන්දරත්වයෙන්, මවිතය හා විස්මය දනවන දේ තුළින්, දුෂ්කර වූ ක්‍රියා තුළින්, සංවේදනයට පත් අත්දැකීම් ආදී නොයෙක් හැසිරීම් තුළින් ඉස්මතු වේ. කලාව යනුවෙන් සලකන්නේ එම රසය පමණක්ම නොවේ. දෘශ්‍ය කලාකෘතියක් යනු එලෙස සෞන්දර්යාත්මක හා ආධ්‍යාත්මික ගුණාංග ද, කායික හැසිරීම්වල ද, විවිධ අර්ථ කැටි වූ රූප සමූහයක ද සමස්තයකි.


දින තුනක කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ බව්ලාන ඉහළ කන්ද ප්‍රදේශයට අයත් කඳුපන්තියේ සැරිසරමින් හා ස්වාභාවික පරිසරය ප්‍රයෝජනයට ගනිමින් නිර්නාමික පිවිසුමේ සාමාජිකයින් විසින් එවැනි රූප සංරචන කිහිපයක් සිදුකරන ලදී. භෞතිකව ස්වාභාවික පාරිසරය සමග ගැටෙමින් කලාවේ නියැලීම හා එහි සෞන්දර්ය විඳගැනීම, භුදර්ශනක් සිතුවම් කිරීම, උද්යාන මූර්තියක් ගොඩනැගීම හෝ රසවිඳීමට වඩා වෙනස් වේ. එමගින් සිදුවන්නේ ස්වාභාවික පරිසරය පවත්නා ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමක් ද නොවේ. එය පරිසරයේ පවත්නා දේවල්වලට හානියක් නොකොට ප්‍රයෝජනයට ගනිමින් කරන කලාත්මක මැදිහත්වීමකි.

සිංහල හා දමිළ ප්‍රජාව සමග සම්මුඛ වෙමින් ඔවුන්ගේ අදහස්, යෝජනා විමසා සිටි අතර ඔවුන්ගෙන් ලැබුණ සහය ද මෙම සංචාරයේ දී සිදුකරන ලද කලා කටයුතුවලට බෙහෙවින් උපකාරී විය.'' 







සබැඳි පුවත් 


යකඩ අංගනයකින් බිහිවූ අපූරු කලා කෘති

පිලිපීන ගායන ශිල්පිනියක වන ආසි මුනෝස් මෙරටට


සුප්‍රකට පිලිපීන ගායිකාවක හා රංගන ශිල්පිනියක වන ආසි මුනෝස් ජනපතිතුමාගේ ආරාධනාවකට අනුව මෙරට සංචාරයේ නිරත වේ. රමෝනා සිසිලියා දටුනි මුනෝස් නම් වන ඇය Philia නමින් හැඳින්වෙන පිලිපීන රොක් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනිය ලෙස කටයුතු කරන්නීය. 

සංචාරය අතරතුරදී


StarStruck රියැලිටි තරගාවලිය හරහා 2005 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු ඇය මේ වනවිට 
 30 හැවිරිදි වියේ පසුවන්නීය. කෙසේවුවත්, ආසි හා ජනපතිතුමා සිටින මේ ඡායාරූපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා හාස්‍යාත්පාදක පෝස්ට් පළවන අන්දම දක්නට ලැබේ. 



‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ සිනමාපටයේ තිරය පිටුපස දසුන් කරළියට


මීමුරේ ජීවත් වන අවසාන තලවම් කණ්ඩායමේ ජීවිත රටාව පදනම් කරගනිමින් නිර්මාණය වූ ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ සිනමාපටය ළඟදීම මෙරට සිනමාහල් වලදී ප්‍රදර්ශනය වීමට නියමිතය. 

තවලම් කණ්ඩායමේ එක් පවුලක සිටි  "සුද්දා" නැමති වස්සා අතුරුදහන් වීමත් සමඟ මෙම තවලම් පවුල මුහුණ දෙන ගැටලු, පුංචි දරුවෙක් පවුලේ සාමාජිකයෙකු ලෙස සැලකු සුද්දා සොයා මින් පෙර කිසිම දිනක නොපැමිණි කොළඹ නගරයට පැමිණීම කේන්ද්‍ර කරගනිමින් ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ නිර්මාණය වී තිබේ. 

නුවන් ජයතිලකගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘සුළඟ අප රැගෙන යාවි‘‘  හා එහි කතාව ගැන ඔහු පළකරන්නේ මෙවැනි අදහසකි. 

"මම ගමේ ඉඳන් කොළඹට එන්නේ. මම එතකොට එච්චර ලොකු ජනාකීර්ණ, විශාල නගරයක් දැකලා තිබුණේ නැහැ මුලින්ම. මම ඉපදුනේ රත්නපුරේ, පැල්මඩුල්ලේ පැත්තට යනකොට ජෝ අබේවික්‍රමයන්ගේ ගම වුණු ලෙල්ලුවපිටිය ගමේ ඉඳනුත් කිලෝ මීටර් කිහිපයක් ඇතුළට වෙන්න හද්ද පිටිසර කැළෑවලින් වට වුණු ගමක් වුණු  හිරිලියැද්ද කියන ගමේ. ඒ ගමේ ඉඳන් රත්නපුරයට එන්න එකත් ඒ තරම් ලේසි දෙයක් වුණේ නැහැ.

මම උසස් පෙළ ලියලා කොළඹ පදිංචියට එන්නට කළින් මම පොඩි කාලේ ළමා නාට්‍යවල රඟපෑවා. ඒ නාට්‍යවලට කොළඹ⁣ට ඇවිත් තියෙනවා. එතකොට පළවෙනි පාරට කොළඹ දැකපු මම පුදුමයට පත් වෙලා හිටියා. ලොකු ගොඩනැගිලි, ජනාකීර්ණ බව මේ හැමදෙයකටම මම හැඩ ගැහෙන්න කොහොමද කියන දේ ගැන මගේ හිතේ චකිතයක් තිබුණා"

මෙහි දැක්වෙන්නේ ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ සිනමාපටයේ නිළ ෆේස්බුක් පිටුවේ පළකර තිබෙන එහි තිරය පිටුපස දසුන්ය.