'නිර්නාමික පිවිසුම' - ෆයිනස් පරිසර හානිය දුටු අන්දම


'නිර්නාමික පිවිසුම' විසින් දියත් කළ ද්‍රෘෂ්‍ය කලා සංචාරයක නවමු අත්දැකීම්


''ස්වාභාවික පරිසරය හා මිනිසා අතර ඇත්තේ වෙනස් නොවන සබඳතාවකි. නමුත් සමාජ-පාරිසරික පද්ධතිවල වර්තමාන ස්වභාවය හා සංකීර්ණතාව අතීතයට වඩා බෙහෙවින් අනිශ්චිත ස්වරූපයක පවතී. මධ්‍යම පළාතේ ඉහළ භූමි ප්‍රදේශවල වගා කර ඇති ‘ෆයිනස්’ නැමති ආගන්තුක ශාකයෙන් සිදුව ඇති හානිය එය ට කදිම උදාහරණයකි. මහපොළව ෆයිනස් ශාකයට දැක් වූ ප්‍රතිචාරය කල්ගත වී විපාකයක් ලෙස පැමිණිම හා ඒ පිළිබඳ පූර්ව අවබෝධයක් නොමැති වීම යන කාරණා හේතුවෙන් එම ප්‍රදේශවල වාසය කරන වර්තමාන ප්‍රජාව මහත් විපතකට මුහුණපා සිටිති.


ෆයිනස් රෝපණය කිරීමේ මූලික අරමුණ වී තිබෙන්නේ පාංශු ඛාදනය වලක්වා ගැනීම වුවද මේ වන විට වගා භූමියේ මතුපිට කුඩා හා විශාල ප්‍රමාණයේ ගල් පමණක් මතුව තිබෙනු දැකගත හැකියි. එය කිසිම සතෙකුගේ වාසය ට සුදුසු පරිසර තත්ත්වයක් නොවේ. ෆයිනස් කැලෑ ගිණි ගැනීමෙන් පරිසර පද්ධතියට හා ජෛව විවිධත්වයට සිදුවන හානිය ද විශාලය. ඉදිකටු වැනි සියුම් තුඩු සහිත ෆයිනස් පත්‍රවලට ශාකභක්ෂකයින්ගේ රුචියක් නොපෙන්වයි. බෙහෙත් පැළෑටියක්, වටිනා ශාක විශේෂයක්, ආහාරයට ගත හැකි අල වර්ගයක්, පළතුරු වර්ගයක් හෝ එහි දක්නට නැත. ප්‍රජාවගේ අදහස වන්නේ විධිමත් ක්‍රමවේදයකට එම වගාව ඉවත් කළ යුතුය යන්න යි. ඔවුන් පෙන්වා දෙන්නේ ජල හි`ගයට ද මෙම වගාව මූලික හේතුවක් වූ බවයි. එය වචන කිහිපයකින් විස්තර කළ හැකි දෙයක් නොවේ. ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇත්තේ එම පරිසරය තුළ එදිනෙදා ජීවිතය ගත කරන ජනතාවට යි.

මෙම සංචාරය තුළදී ෆයිනස් වගාවෙන් සිදුව ඇති හානිය පිළිබඳ දෘශ්‍ය කලා ශික්ෂණයෙන් සිදුකළ හැකි මැදිහත්වීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත. කලාත්මක රසය සියුම් හා රළු වස්තුවල සුන්දරත්වයෙන්, මවිතය හා විස්මය දනවන දේ තුළින්, දුෂ්කර වූ ක්‍රියා තුළින්, සංවේදනයට පත් අත්දැකීම් ආදී නොයෙක් හැසිරීම් තුළින් ඉස්මතු වේ. කලාව යනුවෙන් සලකන්නේ එම රසය පමණක්ම නොවේ. දෘශ්‍ය කලාකෘතියක් යනු එලෙස සෞන්දර්යාත්මක හා ආධ්‍යාත්මික ගුණාංග ද, කායික හැසිරීම්වල ද, විවිධ අර්ථ කැටි වූ රූප සමූහයක ද සමස්තයකි.


දින තුනක කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ බව්ලාන ඉහළ කන්ද ප්‍රදේශයට අයත් කඳුපන්තියේ සැරිසරමින් හා ස්වාභාවික පරිසරය ප්‍රයෝජනයට ගනිමින් නිර්නාමික පිවිසුමේ සාමාජිකයින් විසින් එවැනි රූප සංරචන කිහිපයක් සිදුකරන ලදී. භෞතිකව ස්වාභාවික පාරිසරය සමග ගැටෙමින් කලාවේ නියැලීම හා එහි සෞන්දර්ය විඳගැනීම, භුදර්ශනක් සිතුවම් කිරීම, උද්යාන මූර්තියක් ගොඩනැගීම හෝ රසවිඳීමට වඩා වෙනස් වේ. එමගින් සිදුවන්නේ ස්වාභාවික පරිසරය පවත්නා ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමක් ද නොවේ. එය පරිසරයේ පවත්නා දේවල්වලට හානියක් නොකොට ප්‍රයෝජනයට ගනිමින් කරන කලාත්මක මැදිහත්වීමකි.

සිංහල හා දමිළ ප්‍රජාව සමග සම්මුඛ වෙමින් ඔවුන්ගේ අදහස්, යෝජනා විමසා සිටි අතර ඔවුන්ගෙන් ලැබුණ සහය ද මෙම සංචාරයේ දී සිදුකරන ලද කලා කටයුතුවලට බෙහෙවින් උපකාරී විය.'' 







සබැඳි පුවත් 


යකඩ අංගනයකින් බිහිවූ අපූරු කලා කෘති