කෝප් වාර්තාවෙන් පෙන්වා දෙන අවදානම්


වත්මන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) දෙවැනි වාර්තාව පසුගියදා (ජුලි 23) එහි සභාපති ඩිව් ගුණසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2012 ජනවාරි 01 දින සිට 2013 මාර්තු 31 දින දක්‌වා කාලය තුළ සිදු කරන ලද පරීක්‍ෂණවලදී රාජ්‍ය ව්‍යවසායන් 212 ක්‌ සම්බන්ධයෙන් සිදු කරන ලද සොයා ගැනීම් මෙම වාර්තාවෙන් ආවරණය වේ. එසේම කාරක සභාව විසින් පරීක්‍ෂාවට ලක්‌ කරන ලද ආයතන 32 ක්‌ සම්බන්ධයෙන් 2012 ඔක්‌තෝබර් 25 දින අතුරු වාර්තාවක්‌ද ඉදිරිපත් කර ඇත. මේ අනුව කෝප් කමිටුව විසින් මෙවර පරීක්‍ෂා කර ඇති මුළු රාජ්‍ය ආයතන ගණන 244 කි. මෙසේ කෝප් කමිටුව විසින් පරීක්‍ෂාවට භාජනය කරන ආයතන ගණන වර්ධනය කිරීම, එම රාජ්‍ය ආයතනවල පවතින අයහපත් තත්ත්වයන් වෙනස්‌ කර ගැනීමට දායක වනු ඇති බව අපේ හැඟêමයි. කෝප් වාර්තාවේ ඇති සභාපතිවරයාගේ සටහනින් ඩිව් ගුණසේකර මහතා කියා සිටින්නේද, මෙම කාරක සභාව ක්‍රියාත්මක වූ අවුරුදු තුනක කාලසීමාව තුළ සිදු කරන ලද කාර්යය, රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය විනය ඇති කිරීම සඳහා විශාල බලපෑමක්‌ සිදු කර ඇති බවයි. මේ පසුබිම තුළ නවතම කෝප් වාර්තාවේ අන්තර් වැදගත් අනාවරණයන් කිහිපයකට මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වේ.

විශේෂයෙන් රාජ්‍ය ආයතනවල අවිධිමත් මූල්‍ය සැලසුම්කරණය ගැන මෙවර කෝප් වාර්තාව මගින් සිදු කර ඇති අනතුරු ඇඟවීම බරපතළ එකකි. වාර්තාවේ සඳහන් අයුරින්ම එය අපි මෙසේ දක්‌වමු.

"දැඩි තරඟකාරී, ප්‍රබල ව්‍යාපාරික පරිසරයක්‌ තුළ අඛණ්‌ඩව පවතිමින් රටෙහි ජාතික යහපත වෙනුවෙන් ඉටු විය යුතු අවශ්‍යතා ඉටු කරදීම පිළිබඳව සම්මුතියකට පැමිණීම, වාණිජ පදනමක්‌ සහිත රාජ්‍ය ව්‍යාපාර විසින් මුහුණ දී සිටින විශාලතම අභියෝගය වේ. පොදු මහජනතාව වෙත බර පැටවීමට නොහැකි වීම හේතුවෙන්, තම සේවාවන් අවමිලට විකිණීමට සිදුවීම, ලංකා විදුලිබල මණ්‌ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්‌ථාව සහ මිහින් ලංකා ආදී වූ ආයතන අධික අලාභ ලැබීමට හේතු වී තිබේ. මේ තත්ත්වයට කඩිනමින් ආමන්ත්‍රණය නොකළහොත්, ලංකා විදුලිබල මණ්‌ඩලය ඛණිජ තෙල් නීතිගත සංස්‌ථාව සහ මිහින් ලංකා සමාගම වැනි ආයතන කඩා වැටීමට ආසන්න තත්ත්වයට පත් වන අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස රටෙහි බැංකු පද්ධතියටද බලපෑමක්‌ එල්ල වනු ඇත."

මේ ආයතන කඩා වැටීමට ආසන්න තත්ත්වයකට පත්වනු ඇතැයි මෙසේ කෝප් වාර්තාවේ සඳහන් වුවද ඇත්ත කතාව නම් මේ ආයතනවල පාඩු පියවීමට මහා භාණ්‌ඩාගාරය හරහා මේ රටේ බදු ගෙවන ජනතාවගේ සහාය නොලැබුණේ නම්, මේ ආයතන කඩා වැටී බොහෝ කල් බවයි. ඒ නිසා මේ ආයතන කඩා නොවැටී පවත්වාගෙන යන්නේ මහජනතාව පිට බර පටවමින් බව අප තේරුම් ගත යුතුය. මේ තත්ත්වය ගැන ඇතැමුන් නගන එක්‌ තර්කයක්‌ වන්නේ මේ ආයතන තම භාණ්‌ඩ හෝ සේවා නියමිත මිලට වඩා අඩු මිලට විකිණීම නිසා මේ අලාභ ලබන බවයි. මේ අඩු මිල හරහා ජනතාවට විශාල සහනයක්‌ සැලසෙන බවද කියති. එහෙත් රාජ්‍ය ආයතන අලාභ ලබන්නේ තම භාණ්‌ඩ හා සේවා අවමිලට විකිණීම නිසාම නොවන බව අප කොතෙකුත් පෙන්වා දී ඇති කරුණකි. එය එක්‌ කරුණක්‌ පමණි. මේ ආයතනවල පවතින අකාර්යක්‍ෂම කළමනාකරණය, වංචා, දූෂණ සහ අක්‍රමිකතා ද මේ සඳහා අඩුවැඩියෙන් හේතු වී තිබෙන බව රහසක්‌ නොවේ. තෙල් සංස්‌ථාවට අවාසිදායක ලෙස ඇති කරගත් ෙද්‍රdaහී හෙජින් ගිවිසුම් මෙන්ම ලංකා විදුලිබල මණ්‌ඩලය විසින් මණ්‌ඩලයට අවාසිදායක ලෙස පෞද්ගලික විදුලි සැපයුම්කරුවන් සමග ඇති කරගෙන ඇති විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්ද මේ සඳහා දැක්‌විය හැකි කවුරුත් දන්නා ප්‍රකට උදාහරණ දෙකක්‌ පමණි. මෙවැනි දූෂිත තත්ත්වයන් නිසා තෙල් සංස්‌ථාවේ හෝ විදුලිබල මණ්‌ඩලයේ වියදම් ඉහළ යැමේ බර මහජනතාව පිට පැටවීම සාධාරණ නොවේ. එහෙත් සත්‍ය වශයෙන්ම ඉහළ යන නිෂ්පාදන පිරිවැය, භාණ්‌ඩ හා සේවා මිල ඉහළ නැංවීම හරහා අදාළ පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීම අසාධාරණ නොවේ. එවිට තම පරිභෝජනය මත අඩුවැඩි වශයෙන් ඒ ඒ පාරිභෝගිකයන්ට බර පැටවුණත්, මෙහිදී එම අලාභ තත්ත්වයන් මහාභාණ්‌ඩාගාරය හරහා පියවීමෙන්, සමස්‌ත බදුගෙවන ජනතාවට සිදුවන බර පැටවීම සිදු වන්නේ නැත. ලංකා විදුලි බල මණ්‌ඩලය, තෙල් සංස්‌ථාව සහ මිහින් ලංකා සමාගම වැනි පාඩු ලබන ආයතනවල තත්ත්වයන්ට කඩිනමින් ආමන්ත්‍රණය නොකළහොත් එම ආයතන කඩා වැටීමට ආසන්න තත්ත්වයට පත් වන බව කෝප් වාර්තාව කීවත් එම "ආසන්න තත්ත්වය" උදා නොවන්නේ, එකී අලාභ තත්ත්වයන් මහාභාණ්‌ඩාගාරය හරහා හෝ බැංකු ණය මගින් පියවා ගන්නා නිසාය.

මේ රාජ්‍ය ආයතන බැංකු අංශයෙන් විශාල වශයෙන් ණය ගැනීම නිසා බැංකුවලට ඇතිව තිබෙන අහිතකර බලපෑම ගැන මෑතදී නිකුත් වූ මහ බැංකු වාර්තාවේ (2012) සඳහන් වන්නේ මෙසේය.

" සාර්ව ආර්ථික ස්‌ථායිතාව සහ මුල්‍ය පද්ධතියේ ස්‌ථායිතාව වඩාත් ශක්‌තිමත්ව පවත්වා ගැනීමට රජය සතු ව්‍යවසායන්ගේ මුල්‍ය ශක්‍යතාව ඉහළ නැංවීම තීරණාත්මක වනු ඇත. නොකඩවා පාඩු ලබන ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකක්‌ වන ලංකා විදුලිබල මණ්‌ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව, එම ආයතනයන්හි අඛණ්‌ඩ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට සහ පාඩු පියවීම සඳහා බැංකු ණය මත විශාල ලෙස රැඳී සිටී. මෑත කාලයේ සිදු කළ බලශක්‌ති මිල සංශෝධනයන් නිවැරදි පියවරක්‌ වන අතර, මෙම ආයතනවල මෙහෙයුම් කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා පියවර ගැනීම අවශ්‍ය වේ. බලශක්‌ති අංශයේ මිල පිරිවැයට අනුරූපී ලෙස නම්‍යශීලීව තීරණය කිරීම, මෙම ආයතන වාණිජ ශක්‍යතාවයෙන් යුතු සාර්ථක ආයතන බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වන අතර, එමගින් වාණිජ බැංකු මත ඇති පීඩනය අඩු කිරීමත්, පුද්ගලික අංශය වෙත වැඩි සම්පත් ප්‍රමාණයක්‌ නිදහස්‌ කිරීමත් සිදු කළ හැකි වේ."

මේ අනුව විදුලිබල මණ්‌ඩලය සහ තෙල් සංස්‌ථාව, විශේෂයෙන් රාජ්‍ය බැංකු ඇතුළු බැංකු ක්‍ෂේත්‍රයෙන් ලබා ගන්නා ලද ණය, බැංකු ක්‍ෂේත්‍රය කෙරෙහි විශාල අහිතකර බලපෑමක්‌ එල්ල කරන ලද බවද මහ බැංකුව කියයි. 2011 වසර අගදී මේ ආයතන දෙකේ පැවති මුළු ණය ප්‍රමාණය රු. බිලියන 160.6 ක්‌ වූ අතර එය 2012 වසර අග වන විට රු. බිලියන 245 දක්‌වා සියයට 52.6 කින් ඉහළ ගොස්‌ තිබිණි. බැංකුවල ඇති මුදල් මෙසේ විශාල වශයෙන් රාජ්‍ය ආයතන විසින් ණයට ගැනීමෙන් සිදු වන්නේ පුද්ගලික අංශයට මෙන්ම සාමාන්‍ය ජනයාටද බැංකුවකින් ණයක්‌ ගැනීමට අපහසු තත්ත්වයක්‌ ඇති වීමයි. එය රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයටද අහිතකරය. මහා පරිමාණ ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමේදී පමණක්‌ නොව, ගමේ ඇති සාමාන්‍ය සිල්ලර කඩයක්‌ ආරම්භ කිරීමේදී ද එම ව්‍යවසායකයන් බැංකුවලින් අරමුදල් සපයා ගැනීම (ණය ගැනීම) සාමාන්‍ය දෙයකි. එහෙත් මේ අයට බැංකුවලින් ණයක්‌ ගැනීමට නොහැකි වන විට අඩපණ වන්නේ රටේ ආර්ථික ක්‍රිsයාකාරීත්වයයි. ඒ තුළින් ආර්ථික වර්ධනයද මන්දගාමී වෙයි. අපගේ ආර්ථිකයටද මේ තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබේ.

අප මේ විස්‌තර කළේ කෝප් වාර්තාවේ සඳහන් වන පරිදි පාඩු ලබන රාජ්‍ය ආයතනවල අධික බැංකු ණය නිසා, බැංකු පද්ධතියට ඇති වන අහිතකර බලපෑම පිළිබඳවයි. මේ අහිතකර බලපෑම වලක්‌වා ගැනීම සඳහා කෝප් වාර්තාවේ සඳහන් නිර්දේශය මෙසේය.

" බැංකු පද්ධතියේ ඇති විය හැකි බිඳ වැටීමක අවදානම මග හැරවීම අරඹයා, මහා භාණ්‌ඩාගාරය සමග එක්‌ව මහ බැංකුව, එවැනි ව්‍යාපාරවලට බැංකු විසින් ණය ලබාදීමේ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීමේ යාන්ත්‍රණයක්‌ සකස්‌ කළ යුතු යෑයි මෙම කාරක සභාව නිර්දේශ කරයි."

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජුලි මස මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාවෙන් පෙන්වා දී ඇති පරිදි ඉකුත් මැයි මාසයේ දී රාජ්‍ය අංශයට ලබාදුන් ණය රු. බිලියන 6.2 කින් (රු. කෝටි 620 කින්) පමණ අඩු වී ඇත. රාජ්‍ය අංශය වෙත වූ ණය වර්ධනය අඩුවීම සහ පියවිය යුතු ණයවලින් කොටසක්‌ පියවීම නිසා ප්‍රධාන රාජ්‍ය සංස්‌ථා විසින් සිදු කළ ණය ලබා ගැනීම් මෙසේ පහළ ගොස්‌ තිබේ. රාජ්‍ය අංශයේ කාර්යසාධනය තවදුරටත් වැඩිදියුණු වීම තුළින් පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට අමතර උත්තේජකයක්‌ ලබාදීම සඳහා බැංකු අංශයෙන් අරමුදල් මුදාහැරීමට අපේක්‍ෂා කරන බව ද මහ බැංකුව කියයි. එසේම පසුගිය කාලය තුළ පෞද්ගලික අංශයට ලබාදුන් බැංකු ණය ප්‍රමාණය ඉහළ ගොස්‌ තිබේ. ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේදී පෞද්ගලික අංශයට ලබා දුන් රු. බිලියන 7.6 ක ණය ප්‍රමාණය මැයි මාසයේදී රු. බිලියන 18.3 කින් වර්ධනය වී තිබේ. එනම් රාජ්‍ය ආයතන බැංකු අංශයෙන් විශාල ලෙස ණය ලබා ගැනීම නිසා බැංකු අංශය මුහුණ දී පැවැති පීඩනය මේ වන විට තරමක්‌ දුරට සමනය වෙමින් තිබේ. මේ අහිතකර තත්ත්වයට පිළියම් යෙදිය යුතු වුවත්, කෝප් වාර්තාවේ සඳහන් පරිදි බැංකු පද්ධතිය බිඳ වැටීමේ අවදානමක්‌ තවමත් මතුව නොමැති බව ද කිව යුතුය.

මෙවර කෝප් වාර්තාවේ සඳහන් තවත් වැදගත් නිර්දේශයක්‌ වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා ලේකම් කාර්යාලය යන ආයතන දෙක ශක්‌තිමත් කිරීම සහ ඒවායේ ධාරිතාවන් වර්ධනය කිරීමේ අවශ්‍යතාවයි. වාර්තාවේ සඳහන් වන්නේ මේ කරුණ දැඩිව නිර්දේශ කරන බවයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව මෙම ආයතන දෙක මත ප්‍රධාන වශයෙන් ර¹ පවතින බැවින්, මේ නිර්දේශය කරන බව ද කෝප් වාර්තාවේ සඳහන් ය. මේ අතරම කෝප් කමිටුවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා අනුගමනය කිරීමට අපේක්‍ෂිත ක්‍රියා මාර්ග ද වාර්තාවේ සඳහන් ය. ඉන් එක්‌ කරුණක්‌ වන්නේ පසු විපරම් ක්‍රියාකාරකම් ය. මේ අනුව අදාළ ආයතනය සමඟ

රැස්‌වීම අවසන් කළ වහාම ගත යුතු නීතිමය, විනය, ප්‍රතිසාධන හා ප්‍රතිකාරක ක්‍රියාමාර්ග පිළිබඳව කෝප් කමිටුව තීරණය කරනු ලබයි. එම එක්‌ එක්‌ ක්‍රියාමාර්ගය පිළිබඳ වගකීම් කාල රාමුවකට ද යටත් කෙරේ. එසේම පසු විපරම් ක්‍රියාමාර්ගය පිළිබඳ ප්‍රගතිය එක්‌ එක්‌ පාර්ශ්වය කැඳවා ෙත්‍රෙමාසිකව පවත්වනු ලබන විශේෂ රැස්‌වීමකදී ලේකම් කාර්යාලය විසින් පොදුÊව්‍යාපාර පිළිබඳ කාරක සභාවට දැනුම් දෙනු ලබයි. කෝප් වාර්තාවේ අනාවරණයන් මෙන්ම ඊට පිළියම් ලෙස සිදුකර ඇති නිර්දේශයන්, වාර්තාවට පමණක්‌ සීමා නොවී ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා පසු විපරම් වැඩපිළිවෙළ ඉතා වැදගත් වනු ඇති බව අපගේ ද හැඟීමයි. මේ සඳහා නායකත්වය දෙමින් කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ඉටුකරන කාර්යභාරය මෙන්ම කාරක සභාවේ සියලු පක්‍ෂ නියෝජනය කරන සාමාජිකයන්ගේ දායකත්වය හා කැපවීම ද අගය කළ යුත්තකි. මේ ක්‍රියාවලිය තුළින් ඉදිරියේදී මෙකී රාජ්‍ය ආයතනවල කාර්යසාධනය තවදුරටත් වර්ධනය කර ගත හැකි නම්, එහි ප්‍රතිලාභ ලැබෙන්නේ එම ආයතනවලට පමණක්‌ නොව සමස්‌ත ආර්ථිකයටමය.


ශ්‍යාම් නුවන් ගනේවත්ත