මහින්ද දයාසිරිව ගත්තේ ඇයි? - උපුල් ජෝශප් ප්‍රනාන්දු

 2009 වයඹ පළාත් සභා ඡන්දය මහින්ද දින්නේ අතුල විජේසිංහව මහ ඇමැතිකමට දමලාය. ඒ අතුල වයඹ ජනප්‍රිය චරිතයක් නිසා නොවේ. මහින්ද පොල් පිත්තක් දැම්මත් දිනන බව මහින්ද දැන සිටි නිසාය. මහින්දට මහින්දගේ ජනප්‍රියත්වය ගැන එච්චර ෂුවර් එකක් තිබිණි.
 
"ඒ කියන්නේ මේ පාර මහින්ද දයාසිරිව දැම්මේ මහින්දගේ ජනප්‍රියත්වය ෂුවර් නැති නිසාද?"

ඒක කියන්න දන්නේ නැත. හැබැයි දයාසිරි කියන්නේ වයඹ පමණක් නොව ලංකාවේම ජනප්‍රිය චරිතයකි. ඔහු දේශපාලනඥයෙක් පමණක් නොව නළුවෙකි. ගායකයෙකි. මෙගා ස්ටාර් කෙනෙකි. මේ ළඟදී යූ.ඇන්.පී.යට හිතැති ව්‍යාපාරිකයකු යූ.ඇන්.පී. මන්ත්‍රිවරයකුට කියා තිබුණේ දයාසිරිට කෙදිනක හෝ යූ.ඇන්.පී. නායකයා විය හැකි බවය. "ඒ තරම් දක්‍ෂ විදියට මිනිස්සුන්ගේ හිතට වදින්න කතා කරන්න පුළුවන් මිනිහෙක් අද යූ.ඇන්.පී.යේ නැහැ" යැයි ඔහු කියා තිබිණි.
 
"හංසයාට බයයි මල්ලියේ..."

2010 ජනාධිපතිවරණයේ නැඟල ගියේ දයාසිරි හදල කිව්ව මේ සින්දුවය. හැමෝම මේ සින්දුව මුමුණන්න පටන්ගත්හ. දයාසිරිගේ මේ දක්‍ෂකම් මහින්ද හොඳින් තේරුම් ගෙන සිටියේය. කාලයක සිට මහින්ද දයාසිරිව බාගන්නට ඇම දැම්මේ ඒ නිසාය. ඒත් ඒ කාලයේ මහින්දට යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන් බාගන්නේ නැතිව තමන්ගේ ජනප්‍රියත්වයෙන් ආණ්ඩුව කරගෙන යන්න සහ ඡන්ද කරන්න හැකියාව තිබිණි. එම නිසා ආණ්ඩුව ඇතුළේ අලි බානවාට විරුද්ධ ජේ‍යෂ්ඨ ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන් තරහ කරගෙන දයාසිරි පස්සේ පන්නන්න මහින්දට ඕනෑකමක් නොවීය.
 
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ දෝෂාභියෝගය වෙලාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව එක්ක හැප්පුණු යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන් දෙතුන් දෙනා අතර දයාසිරි පෙරමුණේ සිටියේය. ඒ වෙලාවේ පාර්ලිමේන්තු ලොබියේදී දයාසිරි, බැසිල් රාජපක්‍ෂ එක්ක හැප්පිණි. ඒ වෙලාවේ කේන්ති ගිහින් බැසිල් දයාසිරිට අනතුරු ඇඟෙව්වේ රාජපක්‍ෂලා එක්ක හැප්පෙන්න එන්න එපා කියමින්ය. අද දයාසිරි ශ්‍රී ල.නි.ප.යට ගියාට ගහන යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන් එදා නායකයාත් එක්ක හිටියේ ආණ්ඩුවේ ඇඳ යටය.
 
ඒත් වයඹ ඡන්දය කට ළඟට ආ විට මහින්දට දයාසිරිව ඕනෑ විය. ඒ, එක්කෝ වයඹ ඡන්දය හිතන තරම් ලේසි නැහැ කියල ආණ්ඩුවේ ඔත්තු සේවාවලින් ආ වාර්තා නිසා විය හැකිය. නැතිනම් වයඹ ඡන්දයේදී යූ.ඇන්.පී.යට දිනීම කෙසේ වෙතත් කරට කර සටනක් දෙන්න පුළුවන් දයාසිරි බැස්සොත් විතරයි කියල ලැබුණ රහස් ඔත්තු වාර්තා විය හැකිය. මේ දෙකින් කෝක වුණත් ආණ්ඩුව වයඹින් අමාරුවේ වැටිලා ඉන්න බව පැහැදිලිය.
 
"ඉතින් දයාසිරිට පුළුවන්ද ආණ්ඩුව ගොඩ දමන්න?"

දයාසිරිට ආණ්ඩුව ගොඩ දමන්න බැරිය. හැබැයි දයාසිරිට යූ.ඇන්.පී.ය වට්ටවන්න පුළුවන. යූ.ඇන්.පී.ය වැටෙන කොට ආණ්ඩුව ඉබේම ගොඩ යයි. මහින්ද දයාසිරිව ගත්ත සිම්පල් තියරිය ඒකය.
 
"ඉතින් යූ.ඇන්.පී.ය කොහොම හරි කරල දයාසිරිව තියා ගත්තා නම් යූ.ඇන්.පී.ය ගොඩනේ"

යූ.ඇන්.පී.යට එහෙම වුවමනාවක් නැත. ජයලත්ගෙන් හිස් වුණ ජාතික සේවක සංගමයේ තනතුර කලින්ම දයාසිරිට දුන්නා නම් අද වයඹ ඡන්දය අදින්නේ දයාසිරිය. ඒක දුන්නේ නායකයාට "ඉයස් සර්" කියන, කාලයක් විශ්‍රාම යන්න බලාගෙන සිටි ජෝන්ටය. විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකත් ජෝන්ය. වැඩ බලන විපක්‍ෂ නායකයාත් ජෝන්ය. ඒ මදිවාට ජයලත්ගෙන් හිස් වුණු ජාතික සේවක සංගම් තනතුරත් ජෝන්ටය. ජෝන්ට මේ තනතුරු දෙන්නේ වැඩ කරගන්න නොව වැඩ නොකර ඉන්නටය.
 
ජේ.ආර්. ජාතික සේවක සංගමය දුන්නේ එකල දක්‍ෂ තරුණ රැඩිකල් සිරිල් මැතිව්ටය. එකල යූ.ඇන්.පී.යම රැඩිකල් කරල නැඟිට්ටුවේ ජාතික සේවක සංගමයෙන්ය. දයාසිරිත් සිරිල් මැතිව් වගේ කඟවේනා වගේ දුවන අයෙකි. අනෙක දයාසිරිට සිවිල් සමාජය සහ වෘත්තීය සමිති සමඟ හොඳ සම්බන්ධයක් ඇත. එහෙව් දයාසිරිට වෘත්තීය සමිති බාර දෙන්නේ නැතිව ඒක දුන්නේ ජෝන්ටය. මේකෙන් පේන්නේ යූ.ඇන්.පී.යට ඡන්ද දිනන්නවත් බලය ගන්නවත් ඕනෑ නැති බවය.
 
යූ.ඇන්.පී. නායකත්වය වයඹට කරන විනාශයෙන් ඒ බව පැහැදිලිය. කුරුණෑගල යූ.ඇන්.පී.ය හදපු තරුණ නායකයන් ජොන්ස්ටන්, ඉන්දික, දයාසිරි ඔක්කොම පක්‍ෂය හැර ගියහ. අශෝක අබේසිංහ ඉන්නේ වෙනමය. ඉන්නේ අකිල විරාජ් කාරියවසම් විතරය. මේ ඔක්කොම පක්‍ෂය හැර ගියේ අකිලව දිස්ත්‍රික්ක නායකයා කරන්න යූ.ඇන්.පී. නායකත්වය එදා ඉඳල ගහපු දහංගැට නිසාය. එහෙම නැතුව අකිලට කරුණු තේරුම් කරල දීල තමා බලය ගන්නකන් ඉවසන්න කියල දයාසිරිව දිස්ත්‍රික්ක නායකකමේ තියාගත්තා නම් දයාසිරි යන්නේ නැත. ඇත්තටම වයඹ ඡන්දයේ කරට කර සටනක් දෙන්න ඕනෑ වුණා නම් යූ.ඇන්.පී. නායකයා දයාසිරිට යන්න දෙන්නේ නැත. යූ.ඇන්.පී. නායකයාට ඕනෑ වයඹ අන්තෙට පැරදිලා හරි ඊළඟ මහා ඡන්දයේදී අකිලව කුරුණෑගල එකට ගේන්නටය. ඒකට බාධාව දයාසිරි බව ඔහු දනී. ඔහු ඒ බාධාව ඉවත් කර ගත්තේය.
 
මහින්ද යූ.ඇන්.පී. නායකයාව දිවි හිමියෙන් ආරක්‍ෂා කරන්නේ ඒ නිසාය. යූ.ඇන්.පී. නායකත්වය වෙනස් වුණොත් දයාසිරි පමණක් නොව මැක්කෙක්වත් යූ.ඇන්.පී.යෙන් බා ගැනීම බොරු බව ඔහු දනී. ඒත් ඔහු ඡන්දෙට පෙර හෝ පසුව දයාසිරිට මහ ඇමැතිකම දෙන්නේ කුරුණෑගල ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන් සමහරක් තරහ කරගෙනය. අලි මදිවාට හරක් කිව්වා වගේ ජොන්ස්ටන් නිසා කලකිරිලා ඉන්න පක්‍ෂ ජේ‍යෂ්ඨයන් දයාසිරි ආවාම කුලප්පු වෙන එක අහන්න දෙයක් නෙවේ. එම නිසා වයඹ ඡන්දෙන් දෙකක් වෙයි. යූ.ඇන්.පී. නායකයා එක්ක මේ ගමන යන්න බැරි බව යූ.ඇන්.පී.කාරයන්ට තේරුම් යයි. මහින්ද එක්ක ගමනක් නැති බව ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන්ට තේරුම් යයි.