උතුරට විග්නේශ්වරන් දකුණට ශිරාණි...? - උපුල් ජෝශප් ප්‍රනාන්දු


 'විනිසුරු විග්නේශ්වරන් කැමැතිවෙලා තියෙනවා ලංකාවේ අධිකරණයට එල්ල වෙලා තියෙන තර්ජනය ගැන ඉන්ටවීව් එකක් දෙන්න...'
 
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2005 මුල් කාලයේ එහෙම කිව්වේ විනිසුරු විග්නේශ්වරන් ගත් තීරණය ගැන පුදුමය පළ කරමිනි. ඒ අධිකරණයට අපහාස කළා යැයි චෝදනා එල්ල කොට එස්. බී.ව සිර ගත කරපු අලුතය. එකල අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව අධිකරණය තුළ හඬක් නඟන්න කිසිවෙක් බේතකටවත් සොයා ගත නොහැකි විය. එහෙත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව සහ සරත් සිල්වා අධිකරණයට සිදුකොට ඇති විනාශය ගැන කතා කරන්න විග්නේශ්වරන් කැමැති වී තිබිණි. ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී කතා කෙළේ දමිළ ජනතාවගේ ප්‍රශ්න හෝ නෝර්වේ සාම ක්‍රියාවලිය ගැන නොවේ. සිංහල, දමිළ, මුස්ලිම් හැමෝටම බලපාන අධිකරණ නිදහස අහෝසි වී යෑමේ තර්ජනය ගැනය.
 
එහෙව් විග්නේශ්වරන් අද උතුරු පළාත් සභාවේ මහ ඇමැති ධුරයට තරග කිරීම සඳහා දමිළ ජාතික සන්ධානය විසින් තෝරා ගනු ලැබ තිබේ. හැමෝම කියන්නේ එය හොඳ තේරීමක් කියාය.

'ටී.එන්.ඒ. එක දමිළ ජනතාව ගැන හිතල ගත්ත ඒ තීන්දුව අපේ විපක්ෂයට ආණ්ඩු විරෝධී ජනතාව ගැන හිතල ගන්න බැරි ඇයි...?'

මේ විපක්ෂයේ ක්‍රියාකාරිකයෙක් අහපු ප්‍රශ්නයකි.
 
ඔහුගේ ප්‍රශ්නය සැබෑ ප්‍රශ්නයකි. මහින්දගේ යෝධ බල යෝධ ආණ්ඩුව ඉදිරිපිට දමිළ ජතික සන්ධානයට අත්ව ඇති ඉරණමත් විපක්ෂයට අත්ව ඇති ඉරණමත් දෙකම එකකි. දමිළ ජාතික සන්ධානය සහ ආණ්ඩු විරෝධී දමිළ ජනතාවට මේ ඉරණම අත් වූයේ මහින්දගේ යුද ජයග්‍රහණය නිසාය. දමිළ ජාතික සන්ධානය සහ දමිළ ජනතාව කොන්ද කෙළින් තියාගෙන හිටියේ එල්.ටී.ටී.ඊ.යේ හයියෙන්ය. මහින්ද එල්.ටී.ටී.ඊ.යේ කොන්ද කඩල විනාශ කළාට පසු දමිළ ජාතික සන්ධානයත් වැටිණි. දමිළ ජනයාත් වැටිණි. ඔවුන්ව නැඟිටුවන්න කොන්ද කෙළින් තියෙන දමිළ නායකයෙක් එල්.ටී.ටී.ඊ.ය ඉතිරි කරල ගියේ නැත. කොන්ද කෙළින් තියාගෙන ඉන්න දමිළ නායකයන්ව එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරනු ලැබීය. අමිර්තලිංගම්ලා, සිවසිත්තම්පරම්ලා, නීලන් තිරුචෙල්වම්ලා ඝාතනය වූයේත්, ආනන්ද සංගරිලාට යන එන මං නැති වූයේත් එල්.ටී.ටී.ඊ.ය ප්‍රභාකරන්නට අභියෝගයක් වන නායකයන්ව ඉවසුවේ නැති නිසාය. ප්‍රභාකරන් ඉතුරු කළේ ඔහුට මෙහෙයවිය හැකි රූකඩ නායකයන්ය. ඔහු දමිළ ජාතික සන්ධානය භාර දුන්නේ ඔවුන්ටය. ප්‍රභාකරන් ඝාතනය වී එල්.ටී.ටී.ඊ.ය විනාශ වූවාට පසු මේ නායකයෝ අන්ත අසරණ වූහ. එකිනෙකා ගහ මරා ගන්න පටන් ගත්හ.

'ටී.එන්.ඒ. එකත් දෙකට තුනට කැඩලා ඉවර වෙයි...'

හැමෝම හිතුවේ එහෙමය. ටී.එන්.ඒ. එකට තිබුණ එකම හයිය ඉන්දියාවේ හයියය. කෙසේ හෝ ඔවුන් තීරණාත්මක අවස්ථාවේ දමිළ ජනයා වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණය ගත්තේය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් සහ සන්නද්ධ නායකයන් අහිමි වී මහින්දට අභියෝග කරන්න නායකයෙක් හොය හොයා සිටි දමිළ ජනයාට නායකයෙක් හොයල දීමය. ඒ විග්නේශ්වරන්ය.
 
යූ.ඇන්.පී.ය ඇතුළු විපක්ෂයට දැන් වෙලා තියෙන්නේ ටී.එන්.ඒ. එකට අත්වෙලා තිබුණ ඉරණමම යැයි කීවේ නිකම්ම නොවේ. විපක්ෂය විනාශ වී තියෙන්නේත් මහින්දගේ යුද ජයග්‍රහණය සහ ඡන්ද ජයග්‍රහණය නිසාය. අද විපක්ෂයේ ඉන්නේ මහින්දට නටවන්න පුළුවන් දුර්වල නායකයන්ය. යුද ජයග්‍රහණයෙන් සහ ඡන්ද ජයග්‍රහණයෙන් මහින්ද විපක්ෂයේ කොන්ද කඩල විනාශ කර දමා ඇත. ඔහු අද විපක්ෂයේ තියාගෙන ඉන්නේ තමන්ට හැසිරවිය හැකි නායකයන්ය. ඊළඟ ඡන්දෙත් පරදිනවා යැයි මහින්ද හිතන මහින්දට ෂුවර් නායකයන්වය.
 
මේ නිසාම ආණ්ඩු විරෝධී මිනිස්සු අලුත් නායකයකු හොයති. මහින්දට අභියෝග කරන්න පුළුවන් මහින්ද බය නායකයකු සොයති. 1994 චන්ද්‍රිකා ආවා වගේ නායකයෙක් එයි කියා බලාගෙන සිටිති. ඇත්තටම දමිළ ජනයාට විග්නේශ්වරන්ව ලැබී ඇත්තේ 1994 යූ.ඇන්.පී. විරෝධී ජනතාවට චන්ද්‍රිකා ලැබුණා වගේය. චන්ද්‍රිකා යූ.ඇන්.පී. විරෝධී නායිකාව වී රටේ නායිකාව වූයේ බස්නාහිර පළාත් සභා ඡන්දයෙන්ය. විග්නේශ්වරන් දමිළ ජනයාගේ නායකයා වෙන්න යන්නේ උතුරේ පළාත් සභා ඡන්දයෙන්ය.
 
මහින්ද 2010 ජනාධිපතිවරණය දිනල ෆොන්සේකාව හිරේට දැම්මාට පසු මහින්දට ලොකුම අභියෝගය එල්ල වූයේ අධිකරණයෙන්ය. ඒ ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයෙන්ය. අධිකරණය එකාවන්ව ශිරාණි බණ්ඩාරනායක වටා ගොනු වීමත්, ඇය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළාට පසු උපුල් ජයසූරිය නීතිඥ සංගම් නිලවරණයෙන් ජය ලැබීමත් මහින්දට එරෙහිව විපක්ෂය ඉටු නොකරන වගකීම අධිකරණය භාර ගැනීම පිළිබඳ කදිම නිදසුනකි. ඒ වේලාවේ ක්‍රියාකාරී චරිතයක් රඟ පෑ විග්නේශ්වරන් මහින්දට එරෙහි අධිකරණයේ අභියෝගය සංකේතවත් කරමින් උතුරෙන් සටනට ඇවිත් තිබේ.
 
'ඒ කියන්නේ දකුණෙන් සටනට ආ යුත්තේ ශිරාණි බණ්ඩාරනායකද...?.

ඒක තීරණය කළ යුත්තේ විපක්ෂයය. ඒ සඳහා ටී.එන්.ඒ. එකට මෙන් දකුණේ විපක්ෂයට මොළේ

පෑදේදැයි කියන්න දන්නේ නැත.