චම්පික-විමල් පරාදයි චන්ද්‍රිකා දිනුම්

උපුල් ජෝශප් ප්‍රනාන්දු

'බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා ඉන්දියාවට යන්නේ 13 වෙනස් කරනවා කියලා කියන්නයි...' මේ බැසිල් ඉන්දියාවට යන්න කලින් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පපුව ඉස්සරහට දමාගෙන කී කතාවය.
          


බැසිල් ඉන්දියාවේ සිට ආ විගස 13 වෙනස් කරන හදිසි පනත් දැන් ගේන්නේ නැතිදැයි මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකට දුන්නේ අමුතු උත්තරයකි.

'මෙවැනි පනත් ගෙනල්ලා ඉවත් කර ගත් වෙලාවල් තියෙනවා. ඒත් අපි 13 වෙනස් කරන වැඩේ අත්හරින්නේ නැහැ...'

මේ බැසිල් දුන්න උත්තරයය.
හැබැයි හැමෝම බලාගෙන හිටියේ බැසිල් ලංකාවට ඇවිත් මෙන්න මෙහෙම කියයි කියාය.

'13 වෙනස් කරන එක අපේ පක්ෂයේ, අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මම ඒක ඉන්දියාවට කිව්වා...'
 
බැසිල් ඔහොම නොකිව්වාට බැසිල්ට හමු වූ ඉන්දීය විදේශ ඇමැති ඉන්දීය මාධ්‍යයට කීවේ මෙහෙමය.

'13 වෙනස් නොකර 13ට එහා ගිය බලය බෙදීමක් කළ යුතු බව මම අවධාරණය කළා...'

මේ ඉන්දීය විදේශ ඇමැති කිව්ව කතාවය.

 'ඒ කියන්නේ 13 වෙනස් නොකර උතුරේ ඡන්දය තියන්න ආණ්ඩුව එකඟ වෙලා නේද...?'

ඇත්තටම වෙලා තියෙන්නේ ඒකය.

'එතකොට ආණ්ඩුව ඇතුළේ 13 ගැටුමෙන් රාජිතලා දිනල නේද...?'
 
පේන්නෙ නම් එහෙමය.

13 වෙනස් නොකරන ලෙස ඉල්ලා රාජිත, ඩිව් ඇතුළු ඇමැතිවරු පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූහ. මහින්දට කේන්ති ගියේ එම මාධ්‍ය හමුවටය.

'ශ්‍රී ල.නි.ප.යේ ප්‍රතිපත්තිය 13 වෙනස් කිරීමයි. ඒකට විරුද්ධ ඕන අයෙක්ට එළියට යන්න පුළුවන්...'

මහින්ද එහෙම කිව්වේය.

හැබැයි දැන් රාජිතලාට, ඩිව්ලාට එළියට යන්න ඕන නැත. මොකද රාජිතලා, ඩිව්ලා කීවේ 13 වෙනස් කරන පනත් ආවොත් පරාජයට පත් කරනවා කියාය. දැන් ඒ පනත් එන්නේ නැත. උතුරේ ඡන්දයට කලින් එන්නේ නැති බව ෂුවර්ය.
 
'ආණ්ඩුව ඒ පනත් අකුළා ගත්තේ ඉන්දියාවට බයේද...?'

කතාව ඇත්තය. හැබැයි ඉන්දියාවට බයටත් වඩා බයක් ආණ්ඩුවට තිබිණි. ඒ පනත් සම්මත කර ගන්න තුනෙන් දෙක නැති වෙයි කියන බයය.

'ඒ කියන්නේ ආණ්ඩුව ඇතුළේ රාජිතලා - ඩිව්ලා ගහපු 13ට පක්ෂ කැරැල්ලට මහින්ද බය වුණාද...?'
 
මහින්ද බය වුණේ 13 වෙනස් කරන්න ගිහින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නැති කර ගත්තොත් මහින්දයි ආණ්ඩුවයි දෙකම ඉවර යැයි කියාය.

'ඉතින් දැන දැන ඇයි 13 වෙනස් කරන එක පක්ෂ ප්‍රතිපත්තිය කියන්නේ...'

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. චන්ද්‍රිකා 1994 දින්න දා ඉඳලා කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක පක්ෂ ප්‍රතිපත්තිය කියලාය. ඒත් ඇයට ඒක කරන්න තුනෙන් දෙකේ බලයක් තිබුණේ නැත. ඒත් මහින්දට පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන්න තුනෙන් දෙකේ බලයක් තිබේ. හැබැයි 13 වෙනස් කරන්න තුනෙන් දෙකේ බලය නැතිනම් ඒ කියන්නේ ආණ්ඩුව තුළ ලොකු බෙදීමක් තිබේ.
 
'එහෙනම් 13ට පක්ෂ අයව අයින් කරල බෙදීම නතර කර ගන්න මහින්දට පුළුවන්නේ...?'

'තුනෙන් දෙකක් තියා ශ්‍රී ල.නි.ප.යට බහුතර බලයක් නැති වෙලාවේ මංගලලාව ශ්‍රී පතිලාව අයින් කළේ...?'

මිනිස්සු අහන්නේ එහෙමය.
 
මහින්ද රාජිතලා - ඩිව්ලා අයින් කරන්නේ නැත්තේ ඉන්දියාවට තියෙන බය නිසාය.

ප්‍රේමදාස ඔහුගේ දේශපාලන ජීවිතයේ ගත්ත මෝඩම තීන්දුව ගාමිණී දිසානායකව ඇමැතිකමින් අයින් කරන්න ගත්ත තීන්දුවය. ඔහු ගාමිණීව අයින් කරන්න තීරණය කළේ ගාමිණී කැබිනට් රහස් ඉන්දියාවේ 'රෝ' රහස් ඔත්තු සේවයට දෙනවා යැයි කියාය.

'විදේශ රටවල ඒජන්තයෝ මගේ කැබිනට් එකේ ඉන්න ඕන නැහැ...'

 ප්‍රේමදාස ගාමිණීව අයින් කරල කිව්වේ එහෙමය.

ඉන්දු - ලංකා ගිවිසුමේ නිර්මාපකයකු වූත් ඉන්දියාවේ සමීප මිත්‍රයකු වූත් පළාත් සභා වෙනුවෙන් කැප වූ ගාමිණීව ඉවත් කිරීම ඉන්දියාව දුටුවේ ප්‍රේමදාස තමන්ගේ කම්මුලට ගහපු පහරක් හැටියටය.
 
ගාමිණීව ඉවත් කොට වැඩි කාලයක් ගියේ නැත. ගාමිණී ලලිත් සමඟ එක්වී ප්‍රේමදාසට එරෙහිව ආණ්ඩුව ඇතුළේ දෝෂාභියෝග කැරැල්ලක් ගැහුවේය. ඒ කැරැල්ල වෙලාවේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය තීරණය වූයේ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ යැයි මහාචාර්ය රොහාන් ගුණරත්න "ඉන්දියානු මැදිහත් වීම" නමැති ග්‍රන්ථයේ ලියා ඇත.
 
ඉතින් මේවා දැන දැන මහින්ද රාජිතලාව - ඩිව්ලාව අයින් කරන්න යන්නේ නැත. ඇමැතිකම්වලින් අයින් කළත් මන්ත්‍රිකම්වලින් අයින් කරන්න බැරිය. මොකද එ.ජා.ප. මන්ත්‍රින්ව බාගන්න ගිහින් අධිකරණ තීන්දු හරහා ආණ්ඩුව පක්ෂ මාරුව නීතිගත කර ඇති හෙයිනි.

ඇත්තටම 13ට පක්ෂව ශ්‍රී ල.නි.ප. ඔළුව හැදුවේ චන්ද්‍රිකාය. ඇය 1991 යළි ශ්‍රී ල.නි.ප.යට එන විට ශ්‍රී ල.නි.ප.ය පළාත් සභා මැතිවරණ වර්ජනය කොට තිබිණි. 1993 පළාත් සභා මැතිවරණ තරග කරන්නත් 13 යටතේ බලය බෙදීම පිළිගන්නත් ශ්‍රී ල.නි.ප.යට බල කළේ චන්ද්‍රිකාය. ඒ වෙලාවේ පක්ෂයේ හෙළ උරුම කල්ලිය චන්ද්‍රිකාට එරෙහිව නැඟී සිටියත් ඇය ශ්‍රී ල.නි.ප.ය ඇයගේ මතයට නම්මවා ගන්න සමත් විය.
 
මහින්ද 2005 ජනාධිපතිවරණය දිනන්න ජ.වි.පෙ. සහ හෙළ උරුමය සමඟ ගිවිසුම් ගසාගෙන චන්ද්‍රිකා මතය කොන් කෙළේය. එතැන් සිට ශ්‍රී ල.නි.ප. මතය වූයේ ජ.වි.පෙ. විමල්වාදීන්ගේ සහ හෙළ උරුම මතයය. යුද්ධ ජයග්‍රහණයත් සමඟ එය තව තවත් ශක්තිමත් විය.

ආපසු ශ්‍රී ල.නි.ප.ය තුළ චන්ද්‍රිකා මතය ගොඩනඟන්නේ චන්ද්‍රිකාගේ සමීප සටන් සගයන් වූ ඩිව්, තිස්ස, රෙජිනෝල්ඩ් වැන්නවුන්ය. චන්ද්‍රිකා සමඟ පසුව ගැටුම් ඇති කර ගත්තත් විජය සහ චන්ද්‍රිකාගේ බලය බෙදන මතවාදයේ ප්‍රධාන කසකාරයෙක් වූ රාජිතද මේ චන්ද්‍රිකා මතය ගොඩනඟන ඩිව්ලා - තිස්සලා අතර කැපී පෙනෙන චරිතය බවට පත්වෙයි. චන්ද්‍රිකා මතය වෙනුවෙන් පෙනී සිටින මොවුන්ට එරෙහිව විමල්ලා සහ හෙළ උරුමය අවි අමෝරා ගෙන එයට මහින්දගේ ශක්තිය ලබා ගත්තත් උතුරේ ඡන්දයට පෙර 13 වෙනස් නොවීමෙන් පෙනෙන්නේ දැනට විමල්ලා සහ හෙළ උරුමය පරාජය වී ඇති බවය. විමල් සහ චම්පිකලා කීවේ උතුරේ ඡන්දයට පෙර 13 වෙනස් කළ යුතුය කියාය. පොලිස් සහ ඉඩම් බලතල සමඟ උතුරේ ඡන්දය තිබීම රට බෙදීමට පාර කැපීමක්ය යන්න ඔවුන්ගේ මතය විය. ඒ මතය දැන් පරාජය වී ඇත. ඒ වගේම 2005 ජනාධිපතිවරණයට ඔවුන් නිර්මාණය කළ මහින්ද මතය වෙනුවට චන්ද්‍රිකා මතය ජයගෙන ඇත.