ආචාර්ය උපාධියට රජයේ මුදල් කෝටි ගණනක්‌ වැය කළ ආචාර්යවරුන් තිදෙනකුට එරෙහිව පරීක්‍ෂණ

විනය පරීක්‍ෂණ කමිටුවෙන් ලබාදුන් වාර්තා පිළිබඳ පාලනාධිකාරිය නිහඬයිලු

පේරාදෙණිය - රංජිත් සේනවීර

සීඩා සරෙක්‌ ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි ගණනක ආධාර ලබා දී විශ්වවිද්‍යාලයෙන් ද වසර තුනකට වැඩි කාලයක්‌ අධ්‍යයන කටයුතු සඳහා වැටුප් සහිත නිවාඩු ද ලබාගෙන ආචාර්ය උපාධි සම්පූර්ණ කිරීමට ලබාදුන් කෝටි ගණනක මහජන මුදල් ද අපතේ යෑවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දෙදෙනකු හා ආචාර්යවරියක අදාළ ආචාර්ය උපාධි සම්පූර්ණ නොකර නැවත විශ්වවිද්‍යාලයට පැමිණ අධ්‍යයන කටයුතුවල නිරතව සිටීම පිළිබඳ විගණන අංශ අනාවරණය කර ගන්නා ලද තොරතුරු හා ඒ පිළිබඳ සිදුකරන ලද පරීක්‍ෂණ වාර්තාව විශ්වවිද්‍යාල බලධාරීන් යටගැසීමේ උත්සාහයක නිරත වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වාර්තා වේ.

මීට අමතරව එක්‌ ආචාර්යවරයෙක්‌ තමන්ට ලබා දී තිබුණු වැටුප් සහිත නිවාඩුවලට අමතරව ලබාගෙන තිබූ වැටුප් රහිත නිවාඩු මාස 8 ක කාලයෙන් මාස 4 ක කාලයක්‌ සඳහා නීති විරෝධී ලෙස වැටුප් ද ලබාගෙන ඇති බව ද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

2003 සැප්තැම්බර් 01 දිනෙන් ආරම්භ කර 2007.9.30 දිනෙන් අවසන් කිරීමට යටත්ව ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා සීඩා සරෙක්‌ ව්‍යාපෘතියෙන් හා විශ්වවිද්‍යාල අරමුදලින් වැටුප් හා දීමනා ගෙවා අධ්‍යයන කටයතු සඳහා මෙම ආචාර්යවරුන් තිදෙනා විශ්වවිද්‍යාලයෙන් නිදහස්‌ කර තිබුණ ද 2010 මැයි 30 දක්‌වාම අදාළ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් තොරව විශ්වවිද්‍යාල සේවයට නැවත වාර්තා කර තිබූ නමුත් විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයට හා දෙපාර්ශ්වයන් විසින් ඇතිකරගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර නොමැතිව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සීඩා සරෙක්‌ ව්‍යාපෘතියේ ගෙවීම් පරීක්‍ෂාව සහ අධ්‍යයන පාඨමාලා ගාස්‌තු ගෙවීමට අදාළව සිදුකරන ලද මූලික විමර්ශන වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මෙම මහජන මුදල් නාස්‌තිය පිළිබඳ විගණන දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගැනීමෙන් පසුව ඒ පිළිබඳ වාර්තාව උපකුලපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු උපකුලපතිවරයා විසින් ඒ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා දයානන්ද ජයවීර ඒකපුද්ගල කමිටුවක්‌ 2012.03.26 දින පත්කර ඇති අතර කමිටු වාර්තාව 2012.09.07 දින අදාළ ආචාර්යවරුන් තිදෙනා වෙත යෑවිය යුතු චෝදනා පත්‍ර ද සමඟ උපකුලපතිවරයා වෙත භාර දී ඇති නමුත් පාලනාධිකාරිය මෙතෙක්‌ ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ද විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා විශ්වවිද්‍යාලයෙන් රුපියල් කෝටි ගණනක වැටුප්ද, රුපියල් 3,7200, 330 ක සීඩා සරෙක්‌ ආධාර ද ලැබූ මෙම ආචාර්යවරුන් තිදෙනා අදාළ උපාධි සම්පූර්ණ නොකිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණයට යොදාගැනීමෙන් විනය විරෝධී ක්‍රියාවක්‌ සිදුකිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙත වැරදි පූර්වාදර්ශයක්‌ ලබාදීම මගින් විෂමාචාර ක්‍රියාවන් සිදුකර ඇති බවත්ය.

මීට අමතරව මෙම ආචාර්යවරුන් තිදෙනාගෙන් එක්‌ අයකු තමන්ට අනුමත කර ඇති වැටුප් සහිත නිවාඩුවලට අමතරව 2008.05.05 දින සිට 2008.12.31 දක්‌වා වූ මාස 8 ක වැටුප් රහිත නිවාඩු ද ලබාගෙන ඇති නමුත් එයින් 2008 සැප්තැම්බර්, ඔක්‌තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස 4 සඳහා වැටුප් ලබාගෙන මූල්‍ය වංචාවක්‌ සිදුකර ඇති බවත් අතපසු වීමකින් එම වැටුප් මූල්‍ය අංශ මගින් ගෙවා ඇති නමුත් එම මුදල් නැවත අයකරගැනීමට හෝ විශ්වවිද්‍යාල මූල්‍යාධිකාරිය කටයුතු කර නොතිබූ බව ද එම විමර්ශන වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දී තිබේ.

නියමිත පරිදි රජයේ ආධාර සහ සීඩා සරෙක්‌ ව්‍යාපෘතියේ ආධාර මත ගිවිසුම් ප්‍රකාර 2007.09.30 දිනෙන් අවසන් කළයුතු ආචාර්ය උපාධි 2010.05.30 දක්‌වාම සම්පූර්ණ නොකිරීම, මූල්‍ය රෙගුලාසිවලට අනුව තමන්ට හිමි නැති වැටුපක්‌ වංචනික ලෙස ලබාගැනීම යන කරුණු සම්බන්ධයෙන් ද අදාළ ආචාර්යවරුනට යෑවිය යුතු චෝදනා පත්‍ර ද පවා කෙටුම්පත් කර පරීක්‍ෂණ කමිටුව විසින් උපකුලපතිවරයා වෙත යවා ඇති නමුත් චෝදනා පත්‍ර අදාළ ආචාර්යවරුන් වෙත මෙතෙක්‌ නොයෑවීම මෙම වංචාවන් යට ගැසීමට කරනු ලබන උත්සාහයක්‌a ද යන්න පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සැකයට භාජන වී ඇති බව ද විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.