‘‘රටේ විනයක් ඇතිකරන්න සූදානම්‘‘ - ලක්ෂ්මන්



කිසිම රාජ්‍ය ආයතනයකට හෝ පළාත් රාජ්‍ය ආයතනයකට මින් ඉදිරියේදී විදේශ රටවල් සමග කිසිදු  ගිවිසුමකට හෝ අවබෝධතා ගිවිසුමකට එළඹිය නොහැකි බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (24) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේය. 

රජයේ පවතින නිර්ණායකවලින් පිට ක්‍රියා කිරීමට එමගින් නොහැකි  වන අතර එමගින් රටේ විනයක් ඇති කරමින් රට පාලනය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය. 

ජාත්‍යන්තර සහයෝගීතා, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේ, රාජ්‍ය අංශයේ දූෂණ අවම කරමින් කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීම සදහා නව තාක්ෂණය යොදාගෙන කෙටි කාලයක් තුළදී රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට තීරණය කළ බවයි. මේ වන විට ඒ සදහා අවශ්‍ය මූලික වැඩකටයුතු  සාකච්ඡා කර අවසන් අතර එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන අරමුදල (UNDP) තාක්ෂණ සහය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද පෙන්වා දුන්නේය.