යුවළ වලට ළමයින් ජනිත කරනවා ද, නැද්ද, ජනිත කරන්නේ නම් ඒ කොයි කාලයේ ද යන්න තීරණය කරන්නට බලය ලබා දුන් විට එමගින් කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඇතුළු ඔවුන්ගේ පවුල්වලට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් අත්පත් කරගත හැකි ය. FP2020 යනු රජයන්, සිවිල් සමාජය, බහුපාර්ශ්වීය සංවිධාන, ආධාරක ප්‍රජාව, පෞද්ගලික අංශය සහ පර්යේෂණ හා සංවර්ධන ප්‍රජාව එක්සත් කර, හිමිකම් පාදක පවුල් සැලසුම සඳහා ඔවුන් යොමු කරමින් මෙය යථාවත් කිරීම සඳහා වැඩ කරන ගෝලීය හවුල්කාරිත්වයකි.
FP2020 විධායක අධ්‍යක්ෂිකා, බෙත් ෂ්ලක්ටර් ශ්‍රී ලංකාවට සපැමිණි අතර, මෙහිදී ජනමාධ්‍ය අමතමින් සියලු ගැබ්ගැනීම් සැලසුම් සහගත ගැබ්ගැනීම් බවට පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා ය. “පවුල් සැලසුම විසින් ජීවිත බේරා දෙනු ලැබේ. වසර 2018දී, නවීන උපත් පාලන ක්‍රම භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, FP2020 අවධානය යොමු වී තිබෙන රටවල් 69ක මිලියන 119ක් අනවශ්‍ය ගැබ්ගැනීම් සහ මිලියන 20ක් අනාරක්ෂිත ගබ්සා වළක්වන ලදී. එමගින් වළක්වන ලද මාතෘ මරණ සංඛ්‍යාව 137,000කි.”
මෙම පුවත්පත් සාකච්ඡාව ඇමතූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍ය සංජීව ගොඩකන්ද මෙසේ පැවසී ය: “පසුගිය සමය තුළ පවුල් සැලසුම් සේවා සැපයීමෙන් ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. කලාපයේ සෙසු රටවල් සමග සන්සන්දනාත්මකව බැලූ කල ශ්‍රී ලංකාවේ දර්ශක කැපී පෙනෙයි. කෙසේ වෙතත්, මෑත අතීතයේදී මේ සම්බන්ධ ශ්‍රී ලංකාවේ වර්ධනය එක තැන නතර වී ඇති බවක් පෙනේ. එය සෞඛ්‍ය තත්වයට පමණක් නොව, සමස්ත සමාජ යහපැවැත්මට ම නරක ලෙස බලපාන්නට ඉඩ තිබේ. එබැවින් වඩාත් ම පසුපසින් සිටින කොටස් වෙත ළඟා විය යුතු අතර කාන්තාවන්ට සහ නව යොවුන් වියේ පුද්ගලයන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ නිවැරදි තොරතුරු සැපයිය යුතු ය.”
ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ජයග්‍රහණ තිබුණත්, 2016 ජනවිකාස හා සෞඛ්‍ය සමීක්ෂණය අනුව, ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් 35%ක් උපත් පාලන ක්‍රම භාවිතා කරන්නේ නැත. පූර්ණ නොකරන ලද පවුල් සැලසුම් අවශ්‍යතා ප්‍රතිශතය 7.3%කි. ඊට අමතරව, නවයොවුන් වියේ ගැබ්ගැනීම් ප්‍රතිශතය 4.6%ක් වේ. ඇතැම් පළාත්වල මෙය 5-8% දක්වා වෙනස් වීම් තිබේ.
දෛනිකව ගබ්සා 650 ක්
දෛනිකව ගබ්සා 650 ක්
එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ දෛනිකව ගබ්සා කිරීම් 650ක් පමණ සිදු වන බව තක්සේරු කර තිබේ. එම සංඛ්‍යා මෑත වකවානුවේදී පහත වැටුණු බවට සාධක නැත. එම ගබ්සා කිරීම් අතරින් 80%ක් පමණ කරන්නේ වයස අවුරුදු 30ට වැඩි විවාහක කාන්තාවන් ය. පශ්චාත් ගබ්සා සත්කාරකත්වය පිළිබඳ 2015දී නිකුත් කරන ලද මාර්ගෝපදේශ මගින් අවධාරණය කරන පරිදි ශ්‍රී ලංකාවේ මාතෘ මරණවලින් 10-13% අතර ප්‍රමාණයකට වගකිව යුත්තේ අනාරක්ෂිත ගබ්සා ය. එය රටේ මාතෘ මරණවලට දෙවන වඩාත් සුලබ හේතුවයි. නීතිමය බාධක තිබියදී පවා, අනාරක්ෂිත ගබ්සා දිගින් දිගට ම කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ජීවිත අවදානමේ හෙළයි.
අනාරක්ෂිත ගබ්සා අවම කිරීමේ ප්‍රධාන මාර්ගය වැළැක්වීමයි. ගර්භනීභාවය වළක්වාගත යුතු කාන්තාවන් ආරක්ෂිත සහ ඵලදායී පවුල් සැලසුම් ක්‍රම භාවිතා කළ යුතු ය. එයින් අදහස් වන්නේ තම සිරුර සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවශ්‍ය දැනුම, ගුණාත්මක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් වෙත පිවිසීමට හැකිකම සහ තම සාඵල්‍යතාව කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය සැපයුම් ඔවුන්ට ඇති බවයි. ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ සභාපතිනි වෛද්‍ය ජානකී විදානපතිරණ විසින් ද මෙම කරුණ අවධාරණය කරන ලදී.
රිට්සු නකේන් |
හිමිකම් සහ තෝරාගැනීම් පිළිබඳ අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මෙසේ පැවසුවා ය. “පවුල් සැලසුම යනු මානව හිමිකමකි. දරුවන් ජනිත කරනවා ද, එසේ කරනවා නම් කවදා ද, කොපමණ අන්තරයකින් ද යන්න නිදහස්ව තීරණය කිරීමේ තෝරාගැනීම සහ අයිතිය පුද්ගලයන්ට තිබේ. නවීන උපත් පාලන ක්‍රම වෙත ප්‍රවේශය වර්ධනය කිරීමෙන් සැලසුම් නොකළ ගැබ්ගැනීම් වැළැක්විය හැකි ය. එමගින් අනාරක්ෂිත ගබ්සා ද වැළැක්වේ. එක්සත් ජාතීන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය නියෝජිතායතනය ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වෙහෙස වන්නේ සෑම ගැබ්ගැනීමක් ම අවශ්‍ය එකක් බවට පත් කිරීමට ය. ශ්‍රී ලංකාවේ පවුල් සැලසුම් සම්බන්ධ පූර්ණ නොකරන ලද අවශ්‍යතාවන් සපුරාලීම සඳහා අපි දිගට ම ශ්‍රී ලංකා රජයට උපකාර කරන්නෙමු.”
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හිමිකම් පාදක පවුල් සැලසුම සඳහා ආයෝජනය කරමින් කාන්තාවන් සහ ගැහැණු ළමයින් බලසතු කිරීම සඳහා කටයුතු කරන ගෝලීය හවුල්කාරිත්වයක් වන FP2020හි ප්‍රධාන හවුල්කාර පාර්ශ්වයකි. ගුණාත්මක පවුල් සැලසුම් සේවා සැපයීම පිණිස සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ හැකියාවන් සංවර්ධනය කිරීමට ද, මඳසරුභාවය පිළිබඳ ජාතික පැකේජයක් සංවර්ධනය කිරීම සඳහා සමීක්ෂණ සිදුකිරීමට ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරයි. ඊට අමතරව, පාසල්වල සේවයේ නියුතු සහ අලුතෙන් එක් වන ගුරුවරුන් හට පරිසමාප්ත ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ඉගැන්වීම සඳහා ඇති හැකියාවන් සංවර්ධනය කිරීමට ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහාය සපයයි.
Post a Comment