ඔළුගෙඩි වෙනුවට ක්‍රමය වෙනස් කිරීම - 1


l නිලන්ත ඉලංගමුව

ඔබ කවුරුන් වුවත්, ඔබ ඔබේ සිහින වලට ගමන් කරන විට මට බිය සිතේ.
ඒ සිහින ඇත්ත ලෝකයේ ඔබේ දෙඅත් සහ දෙපා මුල දිය වී යැයි බිය සිතේ.
--- ලීව්ස් ඔෆ් ග්‍රාස්, පිටුව 199, වෝල්ට් වයිට්මාන්

තමන් මේ දක්වා සිදුකළ දේශපාලනය කිසිඳු යහපාලනයකට තල්ලු නොකරන එකක් බව සහ පවතින ක්‍රමය වෙනස් නොකොට ඔළුගෙඩි මාරු කිරීමෙන් එය සිදු නොවන බව තමන්ට තේරුම් ගොස් ඇති බවත් පසුගියදා රුවන් ෆර්දිනන්දිස් විසින් ලබාදුන් සම්මුඛ සාකච්චාවේදී සටහන් විය. සංස්කෘතිය විසින් නිර්මාණය කරනු ලැබූ පවුල නිසා මෙන්ම සමාජ යතාර්ථය හමුවේ තමන්ගේ ප්‍රාණය ගැන ස්වාභාවිකවම ඇතිවන බිය නිසා නිකුත් වන ප්‍රත්‍යවේක්ෂණයත්; දේශපාලන උණ නිසා ඇති වන ට්‍රෝජන් වීරත්වයත් රුවන්ගේ අදහස් කියවීමෙන් නිරීක්ෂණය කළ හැකිය. මෙය සමාජීය පොදු බවේ පුද්ගලික ප්‍රකාශණයකි. සැබවින්ම ශ්‍රී ලංකාවේ පවතින මර්ධිත රැල්ල හමුවේ එවැනි අදහස් ප්‍රකාශකිරීමට යොමු වීමද සැලකිය යුතු මට්ටමේ වැදගත් ප්‍රවණතාවයක් බව කිව යුතුය. ඔහු කියූ අදහස් වලින් වඩාත්ම වැදගත් කාරණය වන්නේ ඔළුගෙඩි මාරු කිරීමට වඩා සමාජීය ක්‍රමය වෙනස් කිරීම වඩාත් වැදගත් බව තමනට තේරුම් ගොස් ඇති බවයි. රාජපක්ෂ නායකයා කර ඔහුගෙන් හිතුවක්කාර පාඩම් ඉගෙන ගන්නා තෙක් රුවන්ට එම කාරණය තේරුම් ගැනීමට නොහැකි වූ බව ඔහු කියන්නේය. එහිදී ඔහු ඇත්ත කියන්නේද නොඑසේනම් ඔහුගේ පියා කළ ඉල්ලීම එනම් " මංගලට කරදරයක් නොවීමට වග බලාගැනීම" නමැති සළුව මඟින් යතාර්ථය හෙවත් තමන්ගේ ඇත්ත සඟවා ගැනීමට ප්‍රයන්ත දැරීමක්ද යන්න දන්නේ ඔහු පමණි. එම කාරණයම ඔහු රනිල් වික්‍රමසිංහට සහයෝගය පලකිරීම සාධාරණිකරණය කිරීම සඳහාද ගෙන එනු ලබයි. ඔහුගේ විශ්වාසයට අනුව රනිල්, ක්‍රමය වෙනස් කිරීමට උත්සහ ගන්නා නායකයෙක් වන අතර රාජපක්ෂ පැවති කල්ලිවාදී දේශපාලනයේම පිළිබිඹුවකි. එකඟ වීමට නොහැකි කාරණය රනිල් අරඹයා ඔහු ගෙන එනු ලබන දිළිඳු තර්කය වන නමුත් ඔහුට අනුව භූමියේ පවතින විකල්පය රනිල් වටා කේන්ද්‍රගත වී තිබේ. එය වෙනම කතා බහ කළ යුතු කාරණයකි.

ශ්‍රී ලංකාව වූ කලී මානසික වශයෙන් මහත් කලබලයට පත් වූ සමාජයකි. එම මානසික කලබලය ඇතිවන්නේ සාමාජය තුළ අවස්ථා අඩු වීමෙනි. අවස්ථා අඩුකිරීම වූ කලී දේශපාලනික උපායක් ලෙස තේරුම් ගත හැකි අතර ඒ නිසා දේශපාලනයට අනවශ්‍ය බලාධිකාරියක් හෙවත් මර්ධනය කිරීමේ නිශේධ බලයක් හිමි වේ. එය කරනු ලබන්නේ සැලකිය යුතු පිරිසකට අනවශ්‍ය බලයක් ලබා දීම මඟිනි. කාලාන්තරයක් තිස්සේ කරනු ලැබූ එකී උපාය මාර්ගය නිසා මැතිවරණ ක්‍රමය මහජනතාවගේ කැමැත්ත වෙනුවට " බලයේ/ශක්තියේ " කැමැත්ත මත තීරණය වන කටයුත්තක් වී තිබේ. එය නිදහස යයි හෝ " ප්‍රජාතන්ත්‍රවාදය" යැයි පිළිගැනීම හාස්‍ය ජනක වන්නා සේම භයානකද වේ. ක්‍රමය වෙනස් කිරීම සඳහා අවධානය යොමු කිරීම මෙන්ම එය " හරයාත්මක" ගැටලුව ලෙස ගැනීම ආකර්ශනීය වන පැරණි මතවාදයම වේ. ගැටලුව එය තමන්ට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කරගැනීමට සහ අර්ථකථනය කිරීමට බලයට පත් වූ සියල්ලටම හැකි වීමය. කදිම නිදසුනක් වන්නේ මෙරට 70 දශකයෙන් පසු සාමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා ප්‍රමාණවත් බලය ලබා දුන් ප්‍රධාන නායකයින් තිදෙනෙක් සිටි අතර ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමය. සිංහල හෙවත් බොහෝදෙනා අර්ථ දක්වන පරිදි දකුණේ ජේ. ආර් සහ චන්ද්‍රිකාටත්, දෙමළ කතා කරන හෙවත් උතුරේ ප්‍රභාකරන්ටත් ක්‍රමය වෙනස් කිරීම සඳහා අනගි අවස්ථාවන් මෙන්ම බලයද ලැබුණි. රුවන් ඇතුළු බොහෝ දෙනා අද දකින සිහිනය එකලද බොහෝ දෙනෙක් දුටුවහ. ඒ ගැන කියූහ. ප්‍රතිඵලය ගැන කිව යුතු නැත. දකුණෙන් රාජපක්ෂ නමැති විෂය ජාතක විය. දෙමළ කතාකරන මිනිසුන් අතරින් 'කරුණා' වැනි යුධමය සහ පශ්චාත් යුධමය සමාජයේ ගුදම දේශපාලකයින් බිහි විය. ඉන් සාමාජ ක්‍රමය තවදුරටත් ශක්තිය පවතින කල්ලිය ( මූල්‍ය) වෙතට සංකේන්ද්‍රණය විය. සිහිනය විකාර රූපී විය.

බොහෝ දෙනා දකින නමුත් යථාර්තයක් නොවන මේ සිහිනය සඳහා හේතුව කුමක්ද? එක්කෝ දැකීමේ අවුලකි. නැතහොත් සමස්තයක් ලෙස අනෙකාව රැවටීමට රැවටිලිකාරයාට ඇති අසීමිත හැකියාවය. රැවටිලිකාරයා වූ කලි කිසිවෙකු නොවේ. එනම් අප විසින්ම සමාජීය මතුපිට අවශ්‍යතාවයන් ලෙස හැඩගන්වා ගෙන එය අනෙකාටද පිළිගැනීමට යැයි බල කරනු ලබන දෛයිනික දේශපාලන වෙළඳපොලේ සිල්ලර බඩු විකුණන මුදලාලිය. රාජපක්ෂ වූ කලී එම රාජකාරිය මැනවින් කළ සහ කරන මුදලාලි කෙනෙකි. නමුත් ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ ඇත්තේ වෙනම න්‍යාය පත්‍රයකි. රාජපක්ෂගේ පුත්‍රයන් තිදෙනාගේ අනාගත සිහින ගැන සඳහන් පුවත් වාර්තා කියවීමෙන් එය වඩාත් නිවැරදිව තේරුම් ගත හැකිය. මේ වන විට බොහෝ දෙනෙකුට ඉවසීමට නොහැකි වී ඇත්තේ හෝ අමාරුවෙන් හෝ පිළිගැනීමට සිදු වී ඇත්තේ එකී පෞද්ගලික අභිලාශයන්ය. සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා හඳුනා ගත යුත්තේ අපේම අතීත අත්දැකීමයි. වැරැද්ද වැරැද්ද ලෙස පිළිගැනීමයි. එසේම හැකි තරම් සාමන්‍ය ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ භිය නැති කිරීමයි. බිය නැති කිරීම වූ කලී දෛනික ජීවිතය කඩාකප්පල් කොට ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය විනාශ කිරීමට වක්‍රාකාරයෙන් උල්පන්දම් දීම නොවේ එනම් නිසි කළ නිසි තීන්දුව ගැනීම සඳහා යොමු කර වීමයි. එය අතිශය සංකීරණ කටයුත්තකි.

සාමාජ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව බී. ආර්. අම්බෙඩ්කාර්, විග්‍රහ කරනු ලබන මුලික අත්දැකීමක් ගැන සඳහන් කිරීම මෙහිදී වැදගත් වේ.

" සමාජ ප්‍රතිසංස්කරණ පක්ෂයට එහි සටන අහිමු වූයේ මන්ද? මෙය නිවැරදිව තේරුම් ගැනීම වැදගත් වන්නේ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිසංස්කරණවාදීන් කටයුතු කරනු ලැබූ ආකාරය පැහැදිලි කරගැනිමේදීය. මෙම සම්බන්ධය නිර්මාණය කිරීම සඳහා වැදගත් වන්නේ හින්දු පවුලක සිදුවන ප්‍රතිසංස්කරණය සහ හින්දු සමාජය තුළ යළි සංවිධානය වීම සහ යලි ගොඩනැගීම යන කාරණා අතර සිදුවන වෙනස්කම්ය. වැන්දඹුවනට යළි විවාහ වීම සහ ළමා විවාහවැනි කාරණා සියල්ලම "කුල ක්‍රමය අහෝසී කිරීම" හා බැඳී පවති. සමාජීය සමුළුව මුලික වශයෙන් අවධානය යොමු කරන බව පැවසුවේ උසස් කුලයේ හින්දු පවුල ප්‍රතිසංස්කරණය කිරීම සඳහාය. එය මුලික වශයෙන් ඉහළ කුලවලට අයත් හින්දු වරුන්ගේ සමන්විත වූ නමුත් ඔවුහු කුල ක්‍රමය අහෝසී කිරීම බලවත් ඕනෑකමක් ලෙස නොදුටුවහ. ඔවුහු බලහත්කාර වැන්දඹු ජීවිතයට, ළමා විවාහ වැනි කාරණා වලට පොදුවේ විරෝධයක් දැක්වුව ද එය ඔවුන් වෙත ආදේශ කරගැනීමට මැලිකමක් දැක්වූහ. ඔවුහු පෞද්ගලිකව එය සමඟ සිටියහ. හින්දු සමාජයේ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුහු යොමු වූයේ නැත. පවුල ප්‍රතිසංස්කරණය නමැති ගැටලුව එකතැන කරගෙන සටනක් බවට පත් විය. එය කුල ක්‍රමය කඩා දැමීමට කිසිඳු සැලකිල්ලක් දැක් වූයේ නැත. එය ප්‍රතිසංස්කරණවාදීන්ට කාරණයක්ද නොවීය. සාමාජ ප්‍රතිසංස්කරණ පක්ෂය නෂ්ඨ වීමට හේතුව වූයේ එයයි."  (ඇනිහිලේසන් ඔෆ් කාස්ට් , පිටු 38-39, බී. ආර්. අම්බෙඩ්කාර්) මෙම කාරණයම ශ්‍රී ලංකාවට ආදේශ කිරීමෙන් සිදු වූයේ කුමක්ද යන්න තේරුම් ගැනීම එතරම් දුෂ්කර නොවේ. සිංහල සමාජය තුළ මෙන්ම වඩාත් වැදගත් ප්‍රවණතාවයන් රැසක් ඉස්මතු වූ දෙමළ සමාජය තුළද මෙම කාරණය විවිධ මට්ටමෙන් දැක ගත හැකි විය.

ප්‍රභාකරන් සහ විජේවීර නැමති චරිත වල මුල් කාලය ගත්කල සාධනීය වෙනසක් දැක ගත හැකි වූ නමුත්, ඔවුහු මුලික සතුරා තේරුම්ගෙන පළමුව ඊට එරෙහිව ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරනු වෙනුවට සතුරන් රැසක් බිහිකරගෙන අධිපතිකාරිත්වයක් වෙතට තල්ලු වූහ. සිහිනය කෙරෙහි විනා යථාර්තය ගැන කතාකිරීම දෙවැනි කොට සැලකූහ. ඊට අපේක්ෂිත මානසික ප්‍රමෝදය ලැබුණු නමුත් පොදු අපේක්ෂාවන්හී පරිධියේ පමණක් ගමන් කිරීමට සිදුවිය. ඒ නිසා සිදු වූයේ මධ්‍ය විනාශ කළ විට පද්ධතියම විනාශ වීමය. භාවිතය සහ උපායමාර්ග අතින් හරි හෝ වැරදි කාරණා ගැන දින ගණන් විවාද කළ හැකි වුවත් අල් කයිඩා වැනි සංවිධාන වල මෙන්ම 'යුදෙව් ඩයස්පෝරාව' වැනි සමාජීය කාරණා සැලකීමේදී තේරුම් ගත හැකි මුලික න්‍යාය වන්නේ අදාළ ප්‍රජාවන් නිශ්චිත තනි පුද්ගල මූලයක් වෙතට නාභිගත නොකිරීම සහ ඒවායේ පෘතුල අභිමතාර්ථයන් වෙනුවෙන් ව්‍යුහයක් සකස් කොට එය පවත්වාගෙන යෑමයි.

ඔලු වෙනුවට ක්‍රමය වෙනස් කිරීමට හැකි ක්‍රම වේදයක් වෙතට තල්ලු වීම සහ ඒ වෙනුවෙන් ප්‍රගතිශීලී සංවාද ඇතිවීම සහ ඇතිකිරීම අතිශය වැදගත් වේ. විශේෂයෙන් පශ්චාත් යුධමය දේශපාලන වටපිටාවක් හමුවේ සිදු විය යුත්තේද එයයි. මන්ද යුද්ධය නැති වීමෙන් වසර ගණනාවක් තිස්සේ නිර්මාණය වී තිබු රාමුව කැඩී ඇති අතර එය සාමාජ සංකාවක් බවට පත් කොට තව දුරටත් තබා ගැනීම රාජපක්ෂ විසින් සිදු කරමින් සිටින මුලික උපායද වේ. එය කැඩීමටනම් මිත්‍යාවෙන් මිදීම අතිශය වැදගත්වේ.

මතු සම්බන්ධයි.