නාලනී වික්‍රමසිංහ පිළිබඳ කෙටි සටහනක්‌

ඇය ඩී. ආර්. විඡේවර්ධන මහතාගේ දියණියයි. එස්‌මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ බිරිඳයි. කුඩා කල පටන්ම නිවසේ පරිසරයෙන් පන්නරය ලැබුවාය. නිදහස්‌ සටනේ වැදගත් සංධිස්‌ථාන රැසක්‌ පිළිබඳව පෞද්ගලික අත්දැකීම් ලබන්නට මේ නිසා ඇයට හැකිවිණි.

සීමාසහිත එක්‌සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්‍ෂවරියක්‌ ලෙස සමාගම රජයට පවරාගන්නා තෙක්‌ම ක්‍රියා කළාය. මේ නිසා මාධ්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ඇය සතු දැනුම පුළුල්ය.

ලේක්‌හවුස්‌ ප්‍රින්ටර්ස්‌ සහ ලේක්‌හවුස්‌ ඉන්වෙස්‌ට්‌මන්ට්‌ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂිකාවකි. ලේක්‌හවුස්‌ ප්‍රින්ටර්ස්‌ යටතේ සුවිශේෂී ග්‍රන්ථ ගණනාවක්‌ එළිදැක්‌වීමට පියවර ගත්තාය. Sri Lanka - Island Civilization, Rock and Wall Paintings of Ceylon, Light of Asia (illustrated) ඒ අතර කැපී පෙනෙයි.

නිදහස්‌ ලංකාවේ දේශීය කලාවන් නඟාසිටුවීමටත්, ඒවායේ සංවර්ධනයටත් ඇපකැපවී ක්‍රියා කළාය. සංස්‌කෘති ආයතනය පිහිටුවීමට පුරෝගාමීව ක්‍රියා කර දේශීය නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් වෙහෙසුණාය. එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන ආදී නාට්‍යකරුවන්ට ඇයගෙන් ලැබුණු පිටිවහල අතිමහත්ය.

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කොළඹ ප්‍රදර්ශනය කරලීම සඳහා මූලිකත්වය ගත්තේ වික්‍රමසිංහ මහත්මියයි. මුළු නාට්‍ය කණ්‌ඩායම වෙනුවෙන්ම ආහාරපාන පහසුකම් සැපයුණේ ද ඇගේ නිවසිනි.

"සංගීත" ආයතනය යටතේ මනමේ හා සිංහබාහු නාට්‍යද්වය දීර්ඝ ධාවන තැටිවලට නැංවීමට ද ක්‍රියා කළේ එතුමියයි. 1977 වසරෙන් පසුව සිංහල සංස්‌කෘති ආයතනය යළි නඟාසිටුවීමට රජයේ හා පෞද්ගලික අංශයේ ආධාර උපකාර ලබාදීමට ක්‍රියා කළාය.

නාලනී වික්‍රමසිංහ මහත්මිය 1980 වසරේ ලංකා කලා මණ්‌ඩලයේ සභාපතිනිය ලෙස පත්කෙරිණි. 1989 වසර දක්‌වාම ඒ ධුරය දරමින් මෙරට කලා කටයුතුවල පෝෂණයට වැදගත් මෙහෙවරක්‌ ද ඇය ඉටු කළාය.

ටී. එන්. එල්. මාධ්‍ය ආයතනය ආරම්භ කරලීම සඳහා උපදෙස්‌ හා සහාය ලබා දුන්නාය. තීන්ත නිෂ්පාදන සමාගමක්‌ වූ "සිත්තර" ආයතනයේ සභාපතිනිය ලෙස ද ඇය සේවය කළාය.

කොළඹ ගංගාරාමය, කොල්ලුපිටියේ වාලුකාරාමය හා උඩුබද්දාවේ ශිලාපොන්කරණි පුරාණ විහාරස්‌ථානයන්හි දායිකාවක ලෙස අතිමහත් සේවාවක්‌ ඉටුකළාය.

වික්‍රමසිංහ මහත්මිය පස්‌දරු මවකි. ශාන්තිලාල්, රනිල්, ශානිකා, චන්න සහ නිරාඡ් ඇයගේ වියෝවෙන් ශේකයට පත් දරු පිරිසය.

Tell a Friend