සිවිල් නීතිය අහිමි කළ හදිසි නීතිය

ඌවතැන්නේ සුමන ස්‌ථවිර

හදිසි නීතිය හෙවත් මහජන ආරක්‍ෂක පනතේ විශේෂ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ඉතිහාසය වසර 53 ක්‌ තරම් දුරාතීතයට දිව යයි. දිවංගත එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ පාලන සමයේ උතුරු හා නැගෙනහිර වාසය කරන දෙමළ ජනයාට සාධාරණය ඉටු කරමින් ශ්‍රී ලංකා රාජ්‍යයේ කොටස්‌කරුවන් බවට පත් කරගෙන, ශ්‍රී ලාංකීය සමාජයක්‌ නිර්මාණය කිරීමට 1958 දී උත්සාහ කළ අවස්‌ථාවේ ඇරඹුණු ජාතිවාදී කෝලාහලය මැඩ පැවැත්වීම උදෙසා ශ්‍රී ලංකාවේ නීතියට මහජන ආරක්‍ෂක පනතේ විශේෂ විධිවිධාන හෙවත් හදිසි නීතිය ප්‍රථමවරට ක්‍රියාත්මක කළේය.

එය ක්‍රියාත්මක වීම ඉතාමත් කෙටි කාලයකට සීමා වූ අතර හදිසි නීතිය වසර කිහිපයක්‌ම මෙරට තුළ ක්‍රියාත්මක කිරීම ඇරඹෙනුයේ 1971 මාර්තු මාසයේදී ය. එම නීතියේ නෛතික නාමය "මහජන ආරක්‍ෂක පනතේ විශේෂ විධිවිධාන" යනුවෙන් සඳහන් වූවත්, එය ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රකාශයට පත්වීමත් සමගම මහජනයා බියට පත්වීම මගින් තහවුරු වූයේ න්‍යායාත්මකව කුමක්‌ සඳහන් වුවද, ප්‍රායෝගිකව එය ජනතාව පීඩාවට පත් කරන නීතියක්‌ ය යන්න අවබෝධ කරගෙන සිටි බවයි.

කොහොම නමුත් 1971 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ප්‍රමුඛ තුන් හවුල් ආණ්‌ඩුවට එරෙහිව තරුණ කැරැල්ල දියත් කෙරෙනුයේ 1971 අප්‍රේල් මස 05 වැනිදා වුවත්, හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට එවක ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා රජය මෙහෙයවීමට කටයුතු කළ ආකාරය නූතන ඉතිහාසයේ දැක්‌වේ.

1971 තරුණ නැගටීම කෙටි කාලයකට සීමා කිරීමට ආරක්‍ෂක අංශ උපයෝගී කර ගත්තේ මෙම හදිසි නීතිය පමණක්‌ නොව, ඇඳිරි නීතිය ද කදිමට උපයෝගී කරගත්තේය. කොහොම නමුත් ඒ ආකරයට කැරැල්ල කෙටි කාලයක්‌ තුළ නිමා කෙරුණත්. වසර ගණනාවක්‌ පුරා හදිසි නීතිය පවත්වා ගෙන යැමට එම රජය කටයුතු කිරීමත් 1977 ඓතිහාසික පරාජයට ද දායක විණි.

1977 දී බලයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව 1980 වැඩ කරන ජනතාවගේ මහා වැඩවර්ජනය මර්දනය කිරීමට ඉතාමත් තිරශ්චීන ආකාරයෙන් මෙම මහජන ආරක්‍ෂක පනතේ විශේෂ විධිවිධාන යොදා ගැනීමේ විපාකයක්‌ වශයෙන් දිනකට රුපියල් 10/- ක්‌ ඉල්ලා වර්ජනය කළ සේවකයන් 1,40,000 ක්‌ එක පෑන් පහරින් රැකියාවෙන් දොට්‌ට ඇද දැමුවේ "සේවය අතහැර ගියා සේ සලකන" බව ප්‍රකාශ කරමිනි.

අසූව දශකයේදී කම්කරු සටන් මැඩලීමට සේම විශ්වවිද්‍යාලයීය සිසුන්ගේ අරගල, භික්‍ෂූන් වහන්සේ මෙන්ම දෘශ්‍යාබාධිත අයගේ උද්ඝෝෂණ මැඩලීමටත්, එජාප රජය එකසේ යොදවා ගත්තේ මෙම හදිසි නීතිය නැමැති අවියයි.

මේ ආකාරයට වරෙක කම්කරු අරගල වරෙක සරසවි ශිෂ්‍ය අරගල මැඩලීමට සේම වරෙක සිය ප්‍රජාතන්ත්‍රවාදී විපක්‍ෂය මැඩලීමටත් මෙම "අපූරු නීතිය" යොදවා ගැනීමට ඡේ. ආර්. ජයවර්ධනයන් ප්‍රමුඛ ආණ්‌ඩුව කිසිදු හිරිකිතයකින් තොරව දායක කර ගත්තේය.

කොහොම නමුත් වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක කෙරෙන "හදිසි නීතිය" ප්‍රථමයෙන් ක්‍රියාත්මක කරනුයේ 1989 ජනවාරි 20 වැනිදාය. ඡේ. ආර්. ජයවර්ධනයන්ගෙන් පාලන සමයේ බෙදුම්වාදී කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව ගෙන ගිය යුද්ධය උදෙසා එය ක්‍රියාත්මක කෙරුණි. එදා මෙදා තුරා ආණ්‌ඩු මාරු කෙරුණ ද හදිසි නීතිය අඛණ්‌ඩව ක්‍රියාත්මක කෙරෙනුයේ මැතිවරණ පැවැත්වූ අවස්‌ථා පමණක්‌ හැරවීමත් සුවිශේෂ කාරණයකි.

මේ අතර 2000 මැයි මාසයේදී රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ක්‍රියාත්මක වූයේ උතුරේ බෙදුම්වාදී ත්‍රස්‌තවාදයට එරෙහි සටන වඩාත් බලාත්මක කිරීමේ අරමුණින් යුතුව ය. ඒ වාගේ ම අපනයන කර්මාන්ත අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කළේද මෙම හදිසි නීතිය ම උපයෝගී කර ගනිමිනි. විදුලිබල සේවක වර්ජනය මර්දනය කළේද එය දායක කර ගනිමිනි.

කොහොම නමුත් 2003 නොවැම්බර් 07 දා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින්ම එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බෙදුම්වාදී කොටි සංවිධානය සමඟ අත්සන් කර තිබූ ගිවිසුම ප්‍රකාර ව හදිසි නීතියේ තිබූ තදබල බලතල අඩු කිරීමට පියවර ගත්තා ය.

අනතුරුව හදිසි නීතිය ඉවත් කිරීමට ද ජනාධිපතිනිය කටයුතු කරනුයේ රනිල් වික්‍රමසිංහ මහතා හා වේළුපිල්ලේ ප්‍රභාකරන් අත්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක වීමේදී රට බෙදුම්වාදයට ගොදුරු වෙමින් පවතින බව දැකගත හැකිව තිබූ තත්ත්වය මත, ඊට එරෙහිව ජනතා උද්ඝෝෂණ පෙළ ගැසීමත් සමඟිනි.

ඉන් අනතුරුව 2004 වසරේදී ජනපති විධායක බලතල භාවිත කරමින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ආණ්‌ඩුව විසුරුවා හරිමින් මහා මැතිවරණයකට මංපෙත් විවර කළාය.

එම මහා මැතිවරණයෙන් ජය ලබාගත් එක්‌සත් ජනතා නිදහස්‌ සංධානය ආණ්‌ඩුවක්‌ ස්‌ථාපිත කළේ මහින්ද රාජපක්‍ෂ මහත්මා අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගනිමිනි.

මේ ආකාරයට බලයට පත් සංධාන ආණ්‌ඩුව, 2002 පෙබරවාරි 22 දා රනිල් ප්‍රභාකරන් අත්සන් කළ රට බෙදීමට නීතිමය පසුබිමක්‌ නිර්මාණය කළ ගිවිසුම අක්‍රීය කිරීමට යොමු කරවන ප්‍රගතිශීලී බලවේග හමුවේ හීලෑ පිළිවෙතක්‌ අනුගමනය කිරීමට පෙළැඹුණි. 2005 අගෝස්‌තු මාසයේදී රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව පෙළැඹුණේය. එවක විදේශ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ ඝාතනයෙන් පසුවයි.

මේ අතර 2006 ජූලි මස 07 වැනිදා ඒ වනවිට මාසිකව පාර්ලිමේන්තුව මගින් දීර්ඝ කළ හදිසි නීතියට වසරක්‌ ගෙවී ඇති බව පෙන්වා දෙමින් පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට විපක්‍ෂය කටයුතු කළේය. එහිදී විපක්‍ෂය හදිසි නීතියට පක්‍ෂව ඡන්දය දීමෙන් වැළකී සිටියේ රට තුළ දමිළ ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමට ආණ්‌ඩුව අපොහොසත්ව ඇති බවට චෝදනා නගමිනි.

මේ අතර 2007 අගෝස්‌තු 24 වැනිදා ජනමාධ්‍ය නිදහස හා අදහස්‌ පළ කිරීමේ අයිතියත්, ලොව මාධ්‍යවේදීන්ට නරකම ස්‌ථානයක්‌ බවට පත්වීම වැළැක්‌වීමත් ඉල්ලා මාධ්‍ය සංවිධාන රජයට බල කළේ හදිසි නීති බලතල අවම කරන ලෙසටයි.

ශ්‍රී ලංකාවේ හදිසි නීති ප්‍රශ්නයට ජාත්‍යන්තර ප්‍රජාවත් මැදිහත්වීම අරඹමින් ප්‍රංශයේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන µeන්කොයිස්‌ සිම්ක්‍රේ ආණ්‌ඩුවට බල කරමින් කියා සිටියේ යුරෝපා සංගමය මගින් වෙළෙඳ සම්බාධක පැනවීමෙන් වැළකීම උදෙසා රට තුළ හදිසි නීතිය අවසන් කිරීමත්. යුද අපරාධ නිමා කරන ලෙසත්ය.

කොහොම නමුත් බෙදුම්වාදී ත්‍රස්‌තවාදය රට තුළින් යුදමය වශයෙන් මුනිනුපුටා දැමීමට 2009 මැයි 18 වැනිදා ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වයත්, ජනතා සහයෝගයත්, රණවිරුවන්ගේ කැපවීමත් මත සාර්ථකව සිදු කිරීමට හැකි වූ අතර, එයට රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක වීමත් විශාල ආශිර්වාදයක්‌ වුණ බව තර්කානුකූල සත්‍යයයි.

නමුත් මේ ආකාරයට ත්‍රස්‌තවාදය නිමාවීමෙන් පසුවත්. 2010 ජනාධිපතිවරණය, මහා මැතිවරණය, පළාත් සභා මැතිවරණ පැවැත්වීමට හදිසි නීතිය පවත්වාගෙන යැම ආණ්‌ඩු පක්‍ෂයේ ඇතැමුන්ගේ පවා විවේචනයට හේතු වූ බව ජාත්‍යන්තර වෙබ් අඩවිවල ප්‍රචාරය කෙරුණි.

කොහොම නමුත් ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් මුලිනුපුටා දමා වසර දෙකක්‌ සම්පූර්ණ වූ 2011 මැයි 18 වැනිදා වනවිට හදිසි නීති බලතල යම් ප්‍රමාණයකට අවම කිරීමට ආණ්‌ඩුව කටයුතු කළ ද, හදිසි නීතිය හා ත්‍රස්‌ත මර්දන පනත තවමත් රට තුළ ක්‍රියාත්මක වීම සිවිල් ප්‍රජාවගේ බලවත් කනස්‌සල්ලට හේතුවී ඇති බව පවත්නා යථාර්ථයයි.

දශක ගණනාවක්‌ මුළුල්ලේ හදිසි නීතිය ක්‍රියාත්මක වීම නිසා රට තුළ ඇති වී ඇති බරපතළ ප්‍රශ්නයක්‌ වනුයේ රටක සිවිල් නීතිය යනු කුමක්‌ද යන්න පුරවැසි ජනතාවට පමණක්‌ නොව පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලටත් අවබෝධයක්‌ නොමැති වීමයි. එම නිසා මහජනතාව සමඟ කටයුතු කළ යුතු පොලීසිය, සිවිල් නීතිය බලාත්මක කෙරෙන විට අවි ආයුධ පොලීසිය තුළ යතුරුලා රඳවා තැබිය යුතු වුවත්. හදිසි නීතිය දායක කරගෙන අවි ආයුධ අත දරමින්, මහජනයා අතර ගැවසීමත්, බලය අනිසි ලෙස භාවිත කරමින් සාමාන්‍ය, නිරායුද, නීතිගරුක පුරවැසියන් පවා පීඩාවට පත්කරමින් අයථා ලෙස මුදල් උපයා ගැනීමට සේම, නීතිය විධිමත් ලෙසත්, සාධාරණ ලෙසත් ක්‍රියාත්මක කිරීමෙන් වැළකීමටත් පෙළැඹී සිටින ආකාරය නිතිපතා මාධ්‍ය මගින් අනාවරණය කෙරේ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, සාමයට සහජීවනයට සේම එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යැමට සහ රටේ සංවර්ධන ක්‍රියාවලියටත් ඒ වාගේම රටේ කීර්තිනාමයටත් හානිකර ලෙසින් බලපෑම් එල්ල කිරීමට මෙම හදිසි නීතිය හා ත්‍රස්‌ත මර්දන නීතිරීති පැවැතීම දායක වී තිබෙන ආකාරය බෑන්කී මූන්ගේ වාර්තාව තුළින් පවා දැකගත හැක. මේ පිළිබඳව ආණ්‌ඩුවේ අවධානය දැඩිව යොමු වීම පුරවැසි කාගේත් අව්‍යාජ අපේක්‍ෂාවයි.



Tell a Friend