ක්‍රිෂාන්ති කුමාරස්වාමි දෙවන වරටත් දුෂණය වේ

අමිල ගුණරත්න

2011 ජුනි 12 දින ඉරිදා දිවයින පුවත් පතේ සමන් ගමගේ විසින් ලියන ලද "එදා රණවිරු මෙදා සිරකරු" ලිපියෙන් දුෂණය කොට මර දමන ලද ක්‍රිෂාන්ති කුමාරස්වාමි ප්‍රබල කොටි සාමාජිකාවක් බවට පත් කොට තිබේ. මෙන්න ඒ ලිපියේ කොටසක් ......

ඇය ක්‍රිෂාන්ති නම් වූවාය. යාපනය කයිතඩි ගම්මානයේ මේ ක්‍රිෂාන්ති පදිංචිව සිටියාය. රට කරවන නායකයෝ, ලොක්‌කෝ කොහොම වුණත් මේ රට වෙනුවෙන් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අතුගා දමන්නට ජීවිත සමග ඇස්‌, ඉස්‌, මස්‌, ලේ පුජා කරමින් හිටිය ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ ඒ වෙනකොට මේ ක්‍රිෂාන්තිව ප්‍රබල කොටි සාමාජිකාවක්‌ ලෙස හඳුනාගෙන තිබිණි. ඒද නිකම්ම නිකම් කොටි දෙනක්‌ ලෙස නොව. එල්ටීටීඊයේ ප්‍රධාන පෙළේ බුද්ධි සාමාජිකාවක්‌ ලෙසිනි. සිවිල් වැසියන් අතරේ සැඟව සිටින ත්‍රස්‌තවාදීන් හමුදා රථයකට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීම එහෙමත් නැතිනම් රැකවලෙහි සිටින ලෙබළෙකු පැහැරගෙන ගොස්‌ ගෙල කපා මරා දැමීම වැනි සිදුවීම් හමුදා පාලනයක්‌ පැවැතියද ඒ දිනවල යාපනයේ බහුලව සිදු වෙමින් තිබිණි.

"ඔව් මල්ලි ඉතින් මොකක්‌ද ඊට පස්‌සේa වුණේ... අද කිහිප දෙනකු ඇරෙන්නට අන් කිසිවෙකුත් නොදන්නා මේ කතාව මෙතන ඉඳන් හැමෝටම කියන්න එල්ලුම් ගහට ගියත් දැන් මගේ ඉදිරියේ ඉන්න ඒ මිනිස්‌සුන්ව මම දිරිමත් කරන්නට වීමි. ඒ ඇස්‌වල මහා බලාපොරොත්තුවක්‌ පිරී තිබේ. ඔව් ඒක ජීවිතය පිළිබඳ එකක්‌ බවට නම් කිසිම සැකයක්‌ පෙනෙන්ට නොවේ. මා ඔවුන් දෙස බලා සිටින අතරේ බර කල්පනාවකට වැටී සිටි එක්‌ සොයුරෙක්‌ සිය හඬ අවදි කරන්නට වූයේ මෙලෙසිනි.

"ඔව් අයියේ... ඔය ක්‍රිෂාන්තිව ඒ දවස්‌වල එක පාරක්‌ යාපනේදී හමුදාවෙන් ඇල්ලුවා... එහෙම කළේ බුද්ධි අංශ එයා කොටි සාමාජිකාවක්‌ විදිහට හඳුනගෙන හිටිය නිසා...

ඒත් එදා හමුදාවට සිද්ධ වුණා ක්‍රිෂාන්තිව දවස්‌ දෙක තුනකින් නිදහස්‌ කරන්න... බුද්ධි තොරතුරු තිබුණට හමුදාවට බැරිවුණා ක්‍රිෂාන්ති කොටි සමාජිකාවක්‌ කියලා තහවුරු කර ගන්න... ඒත් ඒකම නෙමේ නිදහස්‌ කරන්න එකම හේතුව වුණේ...ඉහළින්ම නියෝග ආවා... ක්‍රිෂාන්තිව නිදහස්‌ කරන්නම කියලා... ඒකයි එදා එහෙම වෙලා තිබුණේ... එහෙම නොවුණ නම් පොලිසිය හරහා සැකපිට ක්‍රිෂාන්තිව අධිකරණයකට ගේන්න හමුදාවට පුළුවන්කම තිබුණා.ඒත් අන්තිමට ක්‍රිෂාන්තිව නිදහස්‌ කරපු හමුදාව එයාට නියෝගයක්‌ කළා හැම සතියකම යාපනය හමුදා කඳවුරට ඇවිත් අත්සන් කරලා යන්න කියලා...ඒත් අයියේ... ක්‍රිෂාන්ති ඒ විදිහට නිදහස්‌ වෙලා ගියාට එයා දවස්‌ දෙකක්‌ විතරයි කෑම්ප් එකට ආවේ අත්සන් කරන්න... එතනින් පස්‌සේ මේ ක්‍රිෂාන්ති අතුරුදන් වුණා... ඒ කියන්නේ ක්‍රිෂාන්ති ගැන කිසිම හෝඩුවාවක්‌ හමුදාවටවත් හොයා ගන්න බැරි වුණා...


..................එදා උදෙත් මුරපොළ හරහා විභාගෙට යන ළමයි පුරුදු විදිහටම එන්න පටන් ගත්තා... ඒ අතරේ ක්‍රිෂාන්තිත් හිටියා... අපි එක්‌ක හිටිය එල්ටීටීඊ එකා අපි ඔක්‌කොටම ක්‍රිෂාන්තිව ඉඟි කරලා පෙන්නුව... ඒ ක්‍රිෂාන්තිට කිසිම දෙයක්‌ නොදැනෙන්න.................."ළමයි දැන් ඔයාලා ක්‍රිෂාන්තිව දන්නවනේ... එහෙනම් මතකනේ... කිව්ව විදිහට අන්තිමට විභාගේ ලියලා යන දවසට එයාව අරගන්න... ඔයාලා මේ ටිකත් දැන ගත්තට කමක්‌ නැහැ... ඔය ක්‍රිෂාන්ති කියන්නේ එක පාරක්‌ ආමි එකෙන් අල්ලල කැම්ප් එකේ අත්සන් කරන්න කියල දුන්නු ඕඩර් එකක්‌ මගඇරල ඉන්න එක්‌කෙනෙක්‌...පුරුදු විදිහටම විභාගෙ ඉවර වෙලා ක්‍රිෂාන්ති පොයින්ට්‌ එක පහු කරගෙන යන්න අවා... උදේ එයත් එක්‌ක කතා කර කර ගිය ළමයත් ඉස්‌සරහින් අවා... ඉතින් අපි ඒ ළමයව ඉදිරියට යවලා අපිට කියපු විදිහටම පොයින්ට්‌ එකට ආපු ක්‍රිෂාන්තිව නතර කර ගත්තා...

අපි ක්‍රිෂාන්තිට කිව්වා "ඔයාගෙන් පොඩ්ඩක්‌ ප්‍රශ්න කරන්න තියෙනවා ඒ නිසා ඔයාව දැන්ම යවන්න බැහැ කියලා... එවෙලේ ඒ කෙල්ලගෙ මූණේ කිසිම බයක්‌ නම් තිබුණේ නැහැ අයියේ... එයා කළේ අපිව කන්ඩ වගේ අපි දිහා ඔරෝල බලපු එක විතරයි...පස්‌සේ අපි ක්‍රිෂාන්තිව පොයින්ට්‌ එකේ තිබුණු කූඩාරමට දැම්මා... එහෙම කරලා අපි සෙට්‌ එකෙන් සර්ට කිව්වා ක්‍රිෂාන්තිව අත්අඩංගුවට ගත්තා කියලා... ඒත් එහෙම කරලා පැයක්‌වත් යන්න හම්බ වුණේ නැහැ අයියේ... අපි කිසිම විදිහකින් බලාපොරොත්තු නොවුණු දෙයක්‌ එතන සිද්ධ වුණේ...

මෙන්න සත්‍ය කතාව

ක්‍රිෂාන්ති කුමාරස්වාමි යාපන ප්‍රදේශයේ ජීවත්වූ තරුනියකි.අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් සාමාර්ථ 7ක් සහිතව සමත් ව සිටි ඇය උසස් පෙල සදහා විද්‍යා විෂයන් හදාලාය. 1996 සැප්තැම්බර් 07 වන දින ඇය පාසල වෙත නික්මුනේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම සදහාය.පිලිතුරු ලියූ ඉක්බිති සිය පා පැදියෙන් මිතුරියක බැලීමට ඇය පිටත් වූවාය.අතරමගදී කයිතාඩි හමුදා මුරපොලේදී ඇයව රදවා ගනු ලැබින.පස්වරු 2ට ඇයව හමුදා භාරයට ගනු මග යන එන කිහිප දෙනෙක් විසින් දක්නා ලදී. එසේ දුටූවෝ ඇය හමුදා භාරයට පත්වූ පුවත ඇගේ මවට දන්වනු ලැබීය.කයිතාඩි මහා විද්‍යාලයේ උප විදුහල්පතිනිය ලෙස සේවය කල 59 හැවිරිදි රාසම්මා කුමාරස්වාමිගේ සැමියා පිලිකා රෝගයට ගොදුරුව කලකට ඉහතදී මිය ගොස් තිබුනි.සිය දහසය හැවිරිදි පුත්‍රයා වූ පරවනන් හා අසල්වාසියෙක් වූ 32 හැවිරිදි සිතම්පරම් සමග සිය දියනිය සෙවීම උදෙසා රාසම්මා කුමාරස්වාමි සිය නිවසින් හමුදා කදවුර වෙත පිටත් වූවාය. දවස අවසාන වීමට ප්‍රථම මේ සියල්ලෝ අතුරුදහන් වූහ. අතුරුදහන් වූවෝ යලි මතු වූයේ දින 45ට පසුවය. හමුදා පරිශ්‍රය අසල නොගැඹුරු මිනී වලකින් සිවුදෙනාගේ සිරුරු ගොඩගන්නා ලදී.පලල් කඹයකින් ගෙල සිරකරනු ලැබ රාසම්මා කුමාරස්වාමි මාතාව මරා දමා තිබුනි.සිතම්පරම්ගේ සිරුර එවැනිම කඹයකින් වෙලනු ලැබ හුස්ම හිර කොට ඝාතනය කොට තිබුනි.ක්‍රිෂාන්තිගේ හා ඇගේ දහසය හැවිරිදි සොයුරාගේ මල සිරුරු කෑලි කෑලි වලට කපා දමා තිබුනි. පසුව සාක්ෂි වලින් හෙලි වූ පරිදි හමුදා භාරයේදී ක්‍රිෂාන්ති සොල්දාදුවන් සය දෙනෙකු අතින් සාහසික ලෙස දූෂනයට ලක්වී තිබුනි.රංචු ගැසී දූෂනය කිරීමක (gang rape ) ගොදුර බවට විභාගය අවසන් කොට ගෙදර එමින් සිටි මෙම තරුනිය පත්විය.සය වෙනි සෙබලා සිය අවස්ථාව අර ගැනීමට පෙර - ඒ වනවිටත් පස් වරක් දූෂනයට ලක්ව හෙම්බත්ව සිටි තරුනිය වතුර පොදක් බීමට ඉල්ලා තිබේ."කරුනාකර විනාඩි පහක් මට පාඩුවේ ඉන්න අරින්නැයි" ඇය හය වෙනි සෙබලාගෙන් ඉල්ලූ බවද හෙලිදරවු විය. ඇය මරා දැමුනේ ඉන් පසුවය.

මෙම තරුණිය දුෂණය කිරීමට මුල් වූ ලාන්ස් කෝප්රල් සෝමරත්න රාජපක්ෂ ක්‍රිෂාන්ති කුමාරස්වාමිව දුෂණය කළා පමණක් නොව ඇයගේ මාලය පැහැරගෙන තම සොහොයුරියට තිලින කිරීමට තරම් හැකියාව තිබු නරුමයෙකු විය. ඔහුට එදිරිව පවතී නඩු විභාගයේදී ඔහු කල අපරාධය සඟවමින් ශ්‍රී ලංකා යුද හමුදාව චෙම්මනිහි සමුහ මිනීවලක් පවත්වාගෙන යන බවට අසත්‍ය ප්‍රකාශ කොට අන්තර්ජාතිකව ශ්‍රී ලංකා යුද හමුදාවට අපකීර්තිය ගෙන ආවේය. චෙම්මනිහි සමුහ මිනීවලේ තිබුනේ ඔහු විසින් බිලිගත් ගොදුරුය. කාම අපරාධකරයින්ගේ තවත් ගොදුරක් බවට පත්වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි දෙවන වරටත් පුවත්පතක් හරහා දුෂණය කිරීම මනුෂත්වයේ නාමයෙන් අප හෙලා දකිමු. අප කොටි සංවිධානයේ ලේ පිපාසිත ක්‍රියා විවේචනයට නොපසුබට වන නමුත් අහිංසක පාසල් දැරියක ශාරීරිකව ඝාතනය කොට පුවත්පතක් හරහා ප්‍රබල කොටි සාමාජිකාවක් බවට ප්‍රචාරණය දී ඇයගේ චරිතයද ඝාතනය කිරීම නොඉවසමු.

Tell a Friend