නීතිවිරෝධී ලිබියානු ආක්‍රමණය

"අදාළ ප්‍රඥප්ති ප්‍රකාරව ලිබියාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට පෙර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නම් කරනු ලබන නියෝජිතයන් පිරිසක් ලිබියාවේ සංචාරය කල යුතුය. එහි අරමුණ වන්නේ සාමකාමී විසඳුමක් ලබා ගැනීම සඳහා පවතින තත්වය තල්ලු කළ හැකිද යන්න සොයා බැලීමය. තවදුරටත් ප්‍රඥප්තියේ 41 වන වගන්තිය ප්‍රකාරව ලිබියානු නායකයා සාකච්චාමය විසඳුමක් කරා අවනත නොවන්නේ නම් ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට රටින් පිටවීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතුය. කෙසේ නමුත් අදාළ ප්‍රඥප්තියේ වගන්ති 29 කෙරෙහිම අවධානයෙන් බැලූ විට පෙනී යන්නේ සියල්ලම ලිබියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමේදී උල්ලංඝනය කොට ඇති බවයි."



කිෂානි ප්‍රනාන්දු විසිනි


දශකයක් ඇතුලත තෙවන වරටත් මුස්ලිම් රටක් ඉලක්ක කරගනිමින් බටහිර බල කඳවුර පසුගිය මාර්තු 19 වැනිදින ප්‍රහාර එල්ල කළේය. ජනධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ඉරාකය ආක්‍රමණය කිරීමට මොහොතක පෙර ප්‍රකාශ කළ ආකාරය හා සමාන අදහස් ජනාධිපති බැරක් ඔබාමාගේද අදහස් සමාන විය. තමන් ජනාධිපති ධූරයට පත්වන විට ඔබාමා ඇති කිරීමට ගිය වෙනස වෙනුවට සිදු වී ඇත්තේ ඔහුට වෙනස් වීමට සිදු වීමයි. ලිබියානු ආක්‍රමණය ඇමෙරිකාව ඇතුළු රාජ්‍ය සමූහයට අනුව ඉතාමත් නීත්‍යානුකුල එකකි. නමුත් ජාත්‍යන්තර නීතියේ නීතිමය මුලිකාංගයන් වලට අනුව එය නිතිවිරෝධීය.

1973 ආරක්ෂක මණ්ඩල ප්‍රඥප්තිය ලිබියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම සඳහා බලෙන් සම්මත කරගත් බවට චෝදනා නැගේ. එහි ප්‍රතිපලය ලෙස ජාත්‍යන්තර යුක්ති යුක්තබාවයක් ලිබියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එහි වෙසෙන ජනතාව ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීම සඳහා ලබා දී ඇත. අදාළ යෝජනාව සම්මත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සාමාජිකයින් 15 දෙනාගෙන් අයත් නිත්‍ය සහ අනිත්‍ය සාමාජිකයින් 10 දෙනෙකු කැමැත්ත ප්‍රකශ කළ අතර ඉන් 05 දෙනෙකු එනම් නිත්‍ය සාමාජිකයින් දෙදෙනෙකු වන රුසියාව, චීනය සහ ආනිත්‍ය සාමාජිකයින් තිදෙනෙකු අදාළ යෝජනාව සම්මත කර ගැනීමට පැවති චන්ද විමසීම සඳහා පැමිණ සිටියේ නැත.

කෙසේ වෙතත් ඊජිප්තුවේ, ටියුනිශියාවේ, බහරේනයේ, යේමනයේ සහ සවුදි අරාබිය වැනි රටවල දක්නට ලැබුණු අහිංසා වාදී ජනතාවගේ අරගල වෙනුවට පසුගිය පෙබරවාරී 17 වන දින සිට ආරම්භ වූ ලිබියාවේ අරගල වලින් දක්නට ලැබුණේ වෙනත් ආකාරයේ ස්වභාවයකි. එනම් උද්ඝෝෂණ ආරම්භ වී ඉතා කෙටි කාලයකදීම දෙපාර්ශවය විසින්ම යුධ ටැංකි, ගුවන් යානා නාශක මිසයිල, ප්‍රහාරක ජෙට් යානා ඇතුළු බර අවි භාවිත කරන අකාරය දැක ගත හැකිවිය. ආණ්ඩුව පාර්ශවයෙන් අවි පුහුණුව ලත් හමුදාව සිටි අතර ඊට විරුද්ධ පාර්ශවය නියෝජනය කිරීමට සිවිල් වැසියන් සේම හමුදාවෙන් වෙන්ව ගිය සොල්දාදුවන් ඇතුළු නිලධාරින් ඒක රාශි වී සිටියහ. එසේම යුද්ධය සඳහා ලිබියාවේ තානාපති සේවයේ සැලකිය යුතු මට්ටමේ පිරිසක් ගදාෆිට එරෙහිව පෙළ ගැසී සිටි අයුරු දක්නට ලැබුණි.

ඉතා සංකීරණ මට්ටමකට තල්ලු වූ යුද්ධය මාර්තු 19 වැනිදින වන විට එක්තරා කඩ ඉමකට ලං වී තිබුණි. එහිදී දෙපාර්ශවය විසින්ම කියා සිටියේ තමන් සතුරු කඳවුර සතුව තිබු ප්‍රහාරක ජෙට් යානයක් බෙන්ගාසි ආසන්නයේදී බිම හෙලු බවයි. මෙලෙස රට තුළ ඇති වූ සිවිල් යුද්ධය නිම කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ තීරණය වූයේ විපක්ෂයට සහය පල කිරීමය. එනම් මාර්තු 17 වනදින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1973 වන ප්‍රඥප්තිය ලිබියාව විෂයෙහි ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය විය. ඉන් පසු පැය 48 ක් ගත වීමටත් පෙර බ්‍රිතානයේ ආරක්ෂක ලේඛම් සඳහන් කළ ආකාරයෙන්ම මොහොම්මඩ් ගඩාෆි මරා දැමීම සඳහා වූ පළමු වෙඩි මුරය පත්තු විය. ලිබියානු අහස තහනම් කලාපයක් විය. ආර්ථිකමය, සංස්කෘතිමය, දේශපාලනික සහ සමාජීය වශයෙන් ජගත් දේශපාලන භූමිකාව යලිත් බුෂ් පරිපාලනයේ අඳුරු සෙවනැලි වෙත තල්ලු කළේය. ලිබියානු විපක්ෂයේ සහයට බටහිර බලය එකාරශී වන විට ගඩාෆි බටහිර සමඟ ගෙන ගිය තමන්ගේ සියලු ගනුදෙනු අමතක කොට දමා මුහුණ දීමට යන අභාග්‍ය සම්පන්න ඉරණමෙන් බේරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට පටන් ගත්තේය. බොහොමයක් බටහිර රටවල් නොනිල මට්ටමින් ගඩාෆිගේ මිත්‍රයෙකු ලෙස බොහෝ කාලයක් සිටියහ. විශේෂයෙන් ලන්ඩනයේ උසස් අධ්‍යාපනය හදරූ තමන්ගේ පුත්‍රයා හට ආරක්ෂාව ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය වන MI5 විසිනි. එසේම තමන්ගේ බොහොමයක් අයතා ලෙස උපයා ගත් මුදල් තැම්පත් කරනු ලැබුවේ ඇමෙරිකා එකසත් ජනපදයට අයත් බැංකු වලය.

කෙසේ වෙතත් පසුගිය මාර්තු 19 වැනිදා වොෂින්ටන් වේලාවෙන් මාධ්‍යන 12 ට ප්‍රංශය විසින් ලිබියාවට එරෙහි මුල්ම ප්‍රහාරය එල්ල කළ අතර ඉන් පසු එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය කර්නල් ගඩාෆී සොයා තම මෙහෙයුම ආරම්භ කරනු ලැබීය. බොහොමයක් අරාබි රටවල් අදාළ මෙහෙයුම සම්බන්ධයෙන් විරෝධය පල නොකිරීම සුවිශේෂී කාරණක් විය. එසේම චීනය, රුසියාව මෙන්ම අරාබි ලීගයේ මහා ලේඛම් ඊජිප්තු ජාතික අමීර් මොසා ප්‍රහාරය වැරදි කටයුත්තක් බව පසුව සඳහන් කරනු ලැබුවේ ප්‍රහාර වලින් සිවිල් වැසියන් මිය යන බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟිනි.

ලිබියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම 1973 එකසත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ප්‍රඥප්තියට අනුව කළ බව කීවද එහි කරුණු සැලකීමේදී පෙනී යන්නේ සැලකිය යුතු මට්ටමෙන් එහි අඩංගු කාරණා උල්ලංඝනය වී ඇති බවයි. පරිච්චේද අටකින් සමන්විත වන අදාළ ප්‍රඥප්තිය මෙහෙයුම් චේද 29 කින් සමන්විත වේ. එහි පළමුවෙන්ම සඳහන් වන්නේ " වහාම සටන් විරාමයක්" ප්‍රකාශ කිරීමය. මන්ද ජාත්‍යන්තර නීතියට ගරු කරමින් අදාළ ගැටුම හේතුවෙන් පීඩා විදින සාමාන්‍ය වැසියනට මානුෂික සහනාධාර ලබා දීම එහි මුඛ්‍ය පරමාර්ථය වේ. කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව අනුව යමින් ලිබියානු නායකයා වහා ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ප්‍රකාශ කළ නමුත් එය ව්‍යාජයක් බව කියා පාමින් ආක්‍රමණික පාර්ශවය ප්‍රහාර එල්ල කළේය. එසේම අදාල ප්‍රඥප්තියේ 2 වන ඡේදයේ 07 වන වගන්තිය ප්‍රකාරව රටක ස්වාධිපත්‍යට ගරු කිරීමට අදාළ ජාත්‍යන්තර නිතී සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

එසේම අදාළ ප්‍රඥප්ති ප්‍රකාරව ලිබියාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට පෙර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නම් කරනු ලබන නියෝජිතයන් පිරිසක් ලිබියාවේ සංචාරය කල යුතුය. එහි අරමුණ වන්නේ සාමකාමී විසඳුමක් ලබා ගැනීම සඳහා පවතින තත්වය තල්ලු කළ හැකිද යන්න සොයා බැලීමය. තවදුරටත් ප්‍රඥප්තියේ 41 වන වගන්තිය ප්‍රකාරව ලිබියානු නායකයා සාකච්චාමය විසඳුමක් කරා අවනත නොවන්නේ නම් ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට රටින් පිටවීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතුය. කෙසේ නමුත් අදාළ ප්‍රඥප්තියේ වගන්ති 29 කෙරෙහිම අවධානයෙන් බැලූ විට පෙනී යන්නේ සියල්ලම ලිබියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමේදී උල්ලංඝනය කොට ඇති බවයි.

මේ අතර ඇමෙරිකානු රහස් ඔත්තු සේවය වන සි. අයි. ඒ. සංවිධානය ලිබියාවේ කාලාන්තරයක් තිස්සේ රැගෙන යන පුහුණු කඳවුරු ගැන තොරතුරු රැසක් තිබේ. ඒ බව අද පල වූ ලිස් ඇන්ජලීස් ටයිම්ස් පුවත් පතේ පල වූ වාර්තාවකට අනුව සඳහන් වූයේ සී. අයි. ඒ සංවිධානය ලිබියාවේ පවතික කැරලිකාරී තත්වයේදී, විපක්ෂ සාමාජිකයින්ට අවශ්‍ය සහය දෙන බවයි. එය එකසත් ජනපදය විසින්ද මේ වන විට පිළිගෙන තිබේ. පවතින හැඩගැසීම අනුව බහරේනයේ සහ යේමනයේ ගැටුම් වලින් සාමාන්‍ය වැසියන් ඝාතනය වන විට මැදිහත් නොව බටහිර බලය ලිබියාව කෙරෙහි මැදිහත් වී සිටියි. මෙය තවත් එක් භයානක මිනිස් දඩයමක් පමණක් වන අතර ඉන් කිසිඳු ස්ථීර සාර සාමයක් හෝ ලිබියානු ජනතාවට අවශ්‍ය දේශපාලන විසඳුමක් අපේක්ෂා කිරීම සැබෑ නොවන සිහිනයක් පමණි.

Tell a Friend